කොවිඩ්වලින් බිඳ වැටුණු ව්‍යාපාර ගොඩගන්න පින්වත්තේදී කෝටිපතියා මැරූ වෙඩික්කරුගේ හෙළිදරව්ව | සිළුමිණ

කොවිඩ්වලින් බිඳ වැටුණු ව්‍යාපාර ගොඩගන්න පින්වත්තේදී කෝටිපතියා මැරූ වෙඩික්කරුගේ හෙළිදරව්ව

අනුරාධ සම්පත් කුඩාගොඩ

මෙරට ප්‍රසිද්ධ මෙන්ම අප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම මෑතකදී ඝාතනය වූයේ ආන්දෝලනාත්මක ලෙසිනි. ඒ සෑම ඝාතනයක්ම හා බැඳුණු අභිරහස් ගොන්නකි. ප්‍රකට සමාගම් අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය පවා අදටත් ඇත්තේ නොවිසඳුණු අපරාධයක් ලෙසිනි.

සැක සහිත සිදුවීම් ගොන්නකින් පිරුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් ව්‍යාපාරික ඝාතනයක් මෙරටින් වාර්තා වූයේ බත්තරමුල්ල පැලවත්තෙනි. නිමි ඇඳුම් ජාලයක හිමිකරුවෙක් වූ රොෂාන් වන්නිනායක නමැති එම ව්‍යාපාරිකයා ඝාතනය වන්නේ ඔහුට අයත් අලුත්වැඩියා කරමින් තිබුණු නිවෙසක තෙවැනි මහලේ වූ නාන තටාක‍ය තුළ ය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සාර්ථක විමර්ශනයකින් අනතුරුව රොෂාන් වන්නිනායකගේ ඝාතන අභිරහස විසඳන විට තවත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් ඝාතනය වන්නේ ඉන්දුනීසියාවේ ජාකර්තා හි පිහිටි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නි‍ෙවසක් තුළදීය. ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ එසේ ඝාතනය වන්නේ සිය බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ මිතුරියකගේ සැලසුමකට අනුව බව කියැවෙයි. සැලසුම්සහගතව ඔනේෂ් සුබසිංහව ඉන්දුනීසියාවට ගෙන ගොස් මරා දමා පලා යන බ්‍රසීල ජාතික බිරියත් ඇගේ සහයිකාවත් මේ වන විට රැඳී සිටින්නේ යැයි කියැවෙන්නේ බ්‍රසීලයේය. 

ඉන්දුනීසියාවේදී ඔනේෂ්ගේ ඝාතනය සිදු වූවත් එම ඝාතනයේ පූර්ව සූදානම මෙරට ආශ්‍රිතව සිදුවී තිබුණු බැවින් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නියෝගයෙනි. ඒ අනුව දැන් පැහැදිලි වී ඇත්තේ ඔනේෂ්ගේ ඝාතනය මෙරටදී සිදු වුණු සැලසුමකට අනුව ඉන්දුනීසියාවේදී සිදු වී ඇති බවය. බිරිය සහ ඇගේ මිතුරිය විසින් ඔහුව ඉන්දුනීසියාවේදී මරා දැමූ බව කියවුණත් ඔහුව මරා දැමුවේ කෙසේ දැයි කියා මෙතෙක් ඉන්දුනීසියාවෙන් මෙරටට තොරතුරු ලැබී නැත. ඔනේෂ්ව මරා දැමූ බව කියවෙන බිරියත් ඇගේ මිතුරියත් තාම සිටින්නේ නිදැල්ලේය. අඩුම තරමින් ඒ අය අල්ලා ගන්නට ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක්වත් මෙතෙක් නිකුත් වී ඇති බවක් පෙනෙන්නට නැත.

අප්‍රකට ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයකු වන අනුරාධ සම්පත් කුඩාගොඩ පාණදුර පිංවත්තේදී පසුගිය 28 වෙනිදා ඝාතනය වන්නේ ද මෙම ව්‍යාපාරික ඝාතන ගොන්නේ තවත් එක් ඝාතනයක් බවට පත් වෙමිනි. මෙදින උදෑසන ඔහු පාණදුර ටී. ඩිමන් ද සිල්වා මාවතේ ඉදිවන සිය සුවිසල් නිවෙසේ වැඩ කටයුතු ගැන සොයා බැලීමට සුඛෝපභෝගී ජීප් රථයක නැඟී ගමන් කරමින් සිටියදී වෙඩි තබා මරා දමන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසිනි. ඒ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබාය. තනි වෙඩිල්ලකින් මරා දැමුණු අනුරාධ සම්පත් කුඩාගොඩගේ ඝාතනයේ සැකය මුලින්ම එල්ල වන්නට වූයේ පාතාලය දෙසටය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඒ පැත්තේ රජ කරන කුඩු පාතලයේ ප්‍රබලයන්ට කප්පම් නොදී ව්‍යාපාරිකයන්ට ඔළුව උස්සා ගෙන සිටින්නට බැරිකම නිසාය. අනුරාධ සම්පත් කුඩාගොඩ ද නා‍ෙහට නාහන අයෙක් වූ බැවින් පාතාලයට කප්පම් නොදීම නිසා ඔහුගේ ඝාතනය එසේ සිදු වූයේ දැයි ලොකු සැකයක් මුලින් මතු වූවත් එම සැකය පැය කිහිපයකට වඩා පැවතුණේ නැත. ඒ ඊට එහා ගිය සිදුවීම් මාලාවක් මෙම ඝාතනය හා බැඳී ඇති බවට තොරතුරු පොලිස් විමර්ශකයන්ට ගලා එන්නට වූ බැවිනි.

අනුරාධ සම්පත් කුඩාගොඩ සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ලැබුවේ කඩවත කේන්ද්‍ර කරගෙනය. මත්පැන් හල් හිමිකරුවෙක් ද වූ කුඩාගොඩට තවත් අප්‍රකට ව්‍යාපාර රැසක්ම හිමිව තිබුණේය. තට්ටු නිවාස සංකීර්ණ රැසක නිවාස බොහොමයක්ම කුඩාගොඩ සතු විය. ඒවා ඔහු අඩු මිලට ගෙන මිල වැඩි වන විට විකුණමින් දේපොළ වෙළඳාමේ ද නිරත වූයේය. ඒ හැරුණු කොට වතුපිටි පවා කුඩාගොඩ සතු විය. මේ හැමදෙයක්ම ඔහු රැස්කර ගනු ලැබුවේ දුක් මහන්සියෙනි. ඊට ඔහුට හයියක් වූයේ බිරිය ප්‍රියංකාය. අවසානයේදී සිදු වන්නේ සිය බිරිය පැත්තකට දමා වෙන අඹුවක් පස්සේ යන්නට ගොසින් කුඩාගොඩ මාරයා ළංකර ගැනීමය.

කුඩාගොඩ සිය අඹුදරුවන් සමඟ ජීවත් වූයේ කඩවත කිරිල්ලවල බංගලාවත්තේ පිහිටි නි‍ෙවසේය. එහෙත් ඝාතනය වන විට ඔහු සිටියේ පාණදුර පැත්තේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවෙසක් කුලියට ගෙනය. ඒ අනියම් බිරිය හා ඇගේ දරුවන් සමඟිනි. ඇය නැටුම් ගුරුවරියකි. කුඩාගොඩගේ විවාහයේදී දෙවැනි මනමාලිය වූයේ ද ඇයයි. බිරියගේ පුංචි අම්මාගේ දුව වන ඇය කළුතර පැත්තේ පාසලක නැටුම් ගුරුවරියක් වූවාය. ඇය විවාහ වී සිටියේ ගුවන් හමුදාවේ සාමාජිකයකු සමඟිනි. එම විවාහය දෙදරා ගියේ යැයි පැවසෙන්නේ බැංකු කළමනාකරුවෙක් සමඟ ඇය බැඳුණේ යැයි කියන අනියම් ඇසුරක් මුල් කරගෙනය. 2018 සැමියා ඇගෙන් නීතියෙන් වෙන් වන විට ඇගේ පිහිටට එන්නේ ප්‍රියංකාය. ඒ දරු දෙදෙනා සමඟ ඇයව කිරිල්ලවල නිවෙසට ගෙන්වා ගෙන එහි නවාතැන් දෙමිනි. කුඩාගොඩ හා ඇය අතර අනියම් ඇසුරක් ගොඩනැඟුණේ යැයි කියැවෙනුයේ ඒ කාලයේදීය.

සිය බිරිය සහ දියණිය සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කළ කුඩාගොඩ අවසානයේදී සිය බිරියගේ දෙවැනි මනමාලිය අනියම් බිරිය බවට පත්කර ගන්නේ ප්‍රියංකාව අත්හැර දමමිනි. ඒ යැයි කියා කුඩාගොඩ සිය දියණියගේ අනාගතය වෙනුවෙන් කළ සැලසුම් අත්හැර දැමුවේ නැත. ඔහු සිහින දුටුවේ දියණියව ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා යොමු කරවන්නටය. බිරියගෙන් වෙන්ව සිටියත් ඔහු ඊට අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරනු ලැබුවේය.

සිය බිරිඳ සහ දියණිය සමඟ ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කළ කුඩාගොඩගේ මේ වෙනස ගැන ඔහුගේ සමීපතමයන් බොහෝ දෙනෙක් ඔහුට දොස් පවා නගා තිබුණේය. ඒ යැයි කියා ඔහු එය නිවැරැදි කර ගන්නට කිසිවිටකත් උත්සාහ ගත්තේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ඒ අය සමඟ කුඩාගොඩ උරණ වී හිතවත්කම් නැතිකර ගැනීමය. ඒ තරමට ඔහු සිය බිරිඳගේ දෙවැනි මනමාලිය වූ නැටුම් ගුරුවරියට වහ වැටී සිටියේය. පාණදුර පිංවත්තේ ටී.ඩිමන් පාරේ තෙමහල් සුවිසල් නි‍ෙවස කෝටි ගානක් මුදල් වැයකර ඉදි කරන්නට වූයේද ඇය වෙනුවෙනි.

කුඩාගොඩ සිය අනියම් බිරිය වූ නැටුම් ගුරුවරිය සමඟ ඒ වන විට පදිංචිව සිටියේ පාණදුරේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නි‍ෙවසකය. එදා උදෑසන ඇගේ දරුවන් දෙදෙනා පාසල් ඇරලවා ඔහු සුපුරුදු ලෙස ජීප් රථයේ නැඟී පිංවත්ත බලා එන්නට වූයේ ඉදි කෙරමින් පවතින නිවෙස වෙතය. ඒ පැමිණෙමින් සිටි ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේ ජිප් රථය පිටුපසින් හඹා ආ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසිනි.

මෙම වෙඩි තැබීමෙන් සුළු වේලාවකට පසු වාද්දූව වේරගම සයිප්‍රස් උද්‍යානයේ සිදු වන්නේ අපූරු සිදුවීමකි. සයිප්‍රස් උද්‍යානය යැයි කීවාට එය නිවාස සංකීර්ණයකි. මෙම නිවාස සංකීර්ණය පිහිටි කොන්ක්‍රීට් මාර්ගය දිගේ පැමිණෙන යතුරුපැදිකරුවෙක් යතුරු පැදිය නතර කර ඔහු ඇඟලා ගෙන සිටි ජැකට්ටුව ගලවා දමා යතුරු පැදියේ අංක තහඩු ගලවන අයුරු අසල නි‍ෙවසක වැසියකු දුටුවේය. මෙවැනි සිදු වීමක් දුටු විට නොදුටු ගානට අද සමාජයේ බොහෝ අය සිටීමට පුරුදුව සිටියත් මේ තැනැත්තා කළේ සිය ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් යකඩ පොල්ලක් ද අතට ගෙන ඒ පුද්ගලයා අසලට ගමන් කිරීමය. ඒ ඔහුගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

“කවුද ඔයා“

යතුරුපැදියේ අංක තහඩුව ගලවමින් සිටි පුද්ගලයාගෙන් ඔහු විමසුවේය.

“ අයියේ මගේ බයිසිකලේ කැඩුණා” යැයි කියමින් එහිදී ඒ පුද්ගලයා යතුරුපැදිය මත තබා තිබුණු කළු පැහැති ජැකට්ටුව ද රැගෙන කරමින් සිටි වැඩේ පැත්තක තබා ඉදිරියට එන විට යකඩ පොල්ල අතින් ගෙන සිටි පුද්ගලයා ඔහුව ඈත තියාම නතර කර ගන්නේ සිය ආරක්ෂාව ගැනද කල්පනා කරමිනි.

“පැත්තකට පලයන්” යැයි එහිදී යකඩ පොල්ල අතින් ගත් පුද්ගලයා පවසන විට යතුරුපැදිකරු පවසන්නට වූයේ “ බයවෙන්න එපා“ යැයි කියාය.

“නම්බර් ප්ලේට් ගලවන්නේ මොකද කියහන්” යැයි එහිදී යකඩ පොල්ල අතැතිව සිටි පුද්ගලයා විමසන්නට වූයේය.

මෙහිදී ඒ පුද්ගලයාගේ යකඩ පොලු පහරවල්කමින් යතුරු පැදිය තල්ලු කරමින් මඳක් ඉදිරියට ගොස් එහි නැඟී විදුලි වේගයෙන් පලා යන යතුරුපැදිකරු අවසානයේදී කළු පැහැති ඒ යතුරුපැදිය අත්හැර දමා යන්නේ ඊට මීටර් 200ක් පමණ දුරකිනි.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ඩී. පී. ක්‍රිෂාන්තගේ උපදෙසින් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව සිය කණ්ඩායමේ විමර්ශන නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුෂාන්, අතුල, සැරයන්වරුන් වන ගුණේන්ද්‍ර (55301), ප්‍රසන්න (69479), ජයසූරිය (69615), කොස්තාපල්වරුන් වන පද්මකුමාර (88400), අංජුල (98857) , සම්පත් (98947) , පොලිස් කොස්තාපල් රියදුරුවරුන් වන ලසිත (80123) සහ සංකල්ප (89774) සමඟ ඒ වන විට සිටියේ පිංවත්තේ වෙඩික්කරුවන් පස්සේ පන්නමිනි. ඒ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ ගාලු පාර ඔස්සේ ආරක්ෂක කැමරා එකින් එක පරීක්ෂා කරමිනි. ඉදිරියට එන තිලංග සංජීව ඇතුළු කණ්ඩායමට වාද්දුව වේරගම පැත්තේ අතහැර දමාගොස් තිබුණු කළු පැහැති අංක තහඩු නැති යතුරුපැදියක් ගැන තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරදීය. එම යතුරුපැදිය අත්හැර දමා තිබුණේ සයිප්‍රස් උද්‍යානය කිට්ටුව පාතකය. එම යතුරුපැදිය වෙඩික්කරුවන් ගමන් කළ යතුරුපැදිය බව පැහැදිලිවම හඳුනාගත් තිලංග සංජීව ඇතුළු නිලධාරීන්ට එහි චැසි අංකය හා එන්ජින් අංකය ඔස්සේ හිමිකරුවන් හඳුනා ගැනීමට වෙහෙසක් ගත්තේය. යතුරුපැදියේ ඇන්ජින් අංකය හූරා මකා දැමීමට උත්සාහයක් ගෙන තිබුණත්, තිලංග සංජීව ඇතුළු විමර්ශන කණ්ඩායම තුන්වැනි පාර්ශ්වයක සහායෙන් සියුම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මකා දැමූ අංකය මතුකර ගත්තේය. ඒ ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය හා එහි හිමිකරු හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිවය.

ඊට අනුව යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරු සිටියේ තෙලිකඩ පැත්තේය. එම යතුරුපැදිය ඔහු මිලදී ගෙන තිබුණේ කල්බදු සමාගමක් හරහාය. එබැවින් කල්බදු සමාගමේ තොරතුරු ඔස්සේ පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු විමර්ශන කණ්ඩායම එම යතුරුපැදියේ හිමිකරු සොයා තෙලිකඩට ගියේය. එහිදී හෙළි වන්නේ එම යතුරුපැදිය ඒ වන විට පරිහරණය කරමින් සිටින්නේ ලියාපදිංචි හිමිකරු නොව, බස් රථ රියදුරෙක් බවය. ඔහු තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචිකරුවෙකි. හසන්ත දිල්ෂාන් නමැති ඔහුව තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ වේරගම සයිප්‍රස් උද්‍යානයේ නිවෙසක් ඉදිරිපිට යතුරුපැදියේ අංකය ගලවා සෙල්ලමක් දමන්නේ ඔහු බව කල්තියා හඳුනා ගෙන සිටි බැවිනි. ඒ එදා ඔහුට යකඩ පොල්ලකින් පහර දෙන පුද්ගලයාගේ ජංගම දුරකතනයේ පටිගතව තිබුණු දර්ශන ඔස්සේය.

මේ පුද්ගලයා යුද හමුදාවේ කලක් සේවය කළ අයෙකි. නමින් හසන්ත දිල්ෂාන්ය. ගමේ අය ඔහුට කීවේ මරිසි පොඩී යැයි කියාය. ඒ ඔහු මරිසිකාරයෙක් වූ බැවිනි. තිලංග සංජීව ප්‍රමුඛ විමර්ශන නිලධාරීන් කුඩාගොඩගේ ඝාතනය ගැන මරිසි පොඩීගෙන් ප්‍රශ්න කරන්නට වූයේ දීර්ඝ ලෙසිනි. එම ප්‍රශ්න කිරීම් හමුවේ එළියට එන්නට වූයේ ඔහු එදා කුඩාගොඩ ඝාතනයට ගිය වෙඩික්කරු ගමන් කළ යතුරුපැදියේ පැදිකරු පමණක් බවය. කුඩාගොඩට පිංවත්තේදී වෙඩි තැබූ වෙඩික්කරු කවුරුන්දැයි කියන්නේද මරිසි පොඩී ය. ගිනිමැල්ගහ පැත්තේ පදිංචිකරුවෙක් වූ ඔහු ජී. එම්. ධනුෂ්කය. ගිනිමැල්දෙණිය පැත්ත හොල්ලා ගෙන සිටියෙක් වන ඔහු බස් රථ හිමි ව්‍යාපාරිකයෙකි. ඒ හැරුණු කොට තවත් ව්‍යාපාර කිහිපයක්ම ධනුෂ්ක කරගෙන ගියේය. තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් ඔහුවද අත්අඩංගුවට ගත්තේය. දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සියල්ල වමාරන්නට ගත්තේ කුඩාගොඩව මරා දැමීමට ඔහුට කොන්ත්‍රාත්තුව ලබා දුන් අය ගැන ද හෙළි කරමිනි.

ඊට අනුව කුඩාගොඩව මරා දැමීම රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට අනුව සිදු වූවකි. එම කොන්ත්‍රාත්තුව ධනුෂ්කට ලැබී ඇත්තේ කුඩාගොඩගේ පවුලේම සාමාජිකයකු මඟිනි. ඔහු බිරියගේ පැත්තේ ඥාතියෙකි. ඔහු බිරියගේ සහෝදරයෙක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. කුඩාගොඩගේ ව්‍යාපාරවලින් කොටසක් බලා කියා ගැනීමේ වගකීම පවා පවරා තිබුණේ එම සහෝදරයාටය. ඔහු විසින් ධනුෂ්කට මෙම කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 10 අත්තිකාරමක් සමඟ ගිනි අවියක් ද ඔහු අතට පත්කරමිනි. ඒ මාස දෙක තුනකට ඉහතදීය. කොරෝනා වසංගතයෙන් සිය ව්‍යාපාර බිඳ වැටී බස් රථවලට නිසි ලෙස ලීසිං වාරික පවා ගෙවා දැමීමට නොහැකිව සිටි ධනුෂ්ක මෙම ඝාතන කොන්ත්‍රාත්තුව බාර ගන්නේම මේ තුළින් ගොඩඒමේ අපේක්ෂාව ඇතිවය.

මරිසි පොඩීව මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට සම්බන්ධ කර ගන්නේ ධනුෂ්කය. ඒ ඔහු ධනුෂ්කගේ බස් රථවල රියදුරෙක් මෙන්ම කොන්දොස්තරවරයෙක් ලෙස ද කටයුතු කරමින් ලොකු විශ්වාසයක් ගොඩනඟා ගෙන සිටි බැවිනි. කොන්ත්‍රාත් මුදලින් මුල් ම ලක්ෂය ධනුෂ්ක වැය කරන්නේ උකසට තබා තිබුණු මරිසි පොඩීගේ යතුරුපැදිය බේරා ගැනීමටය. රුපියල් 80,000කට උකස් කර තිබුණු එම යතුරුපැදිය පොලියත් සමඟ ලක්ෂයකට කිට්ටු මුදලක් ලබා දෙමින් බේරා ගන්නා ධනුෂ්ක එහි ඇන්ජින් අංකය හූරන්ගේ කියත් පටියකිනි. කුඩාගොඩව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව මාස තුනකට පෙර බාරගත්තත් එය ඉටු කිරීමට තරම් ධනුෂ්කට හෝ මරිසි පොඩීට එතරම් උනන්දුවක් ද නොවීය. කොන්ත්‍රාත්තුව බාර දුන් බිරියගේ සහෝදරයාට ද ඒ ගැන මුලදී එතරම් උනන්දුවක් ද තිබී ඇති බවක් විමර්ශනවලින් පෙනී ගියේ නැත. මෙම ඝාතනය හදිසි වන්නේ කුඩාගොඩ කිරිල්ලවල පිහිටි නිවෙසට ගොස් සේප්පුවේ තිබුණු මුදල්, රන් භාණ්ඩ මෙන්ම ඉඩකඩම් හා ව්‍යාපාරවලට අදාළ ඔප්පු තිරප්පු හැම දෙයක්ම රැගෙන යෑමෙන් අනතුරුවය. එය සිදු වන්නේ මෑතකදීය.

එදා කුඩාගොඩ ඉලක්ක කරමින් ඔවුන් තෙලිකඩ සිට පිටත්ව එන්නේ උදේ රැයින්මය. මරිසි පොඩී එන්නේ යතුරුපැදියේ නැඟීය. ධනුෂ්ක එන්නේ මගී බස් රථයකට ගොඩවෙමිනි. දෙදෙනා එකිනෙකාට මුණ ගැසෙන්නේ වාද්දුවේදීය. වාද්දුවේ සිට ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් එන්නේ පිංවත්ත සුසාන භූමිය අසලටය. ඊට පෙර අවස්ථා දෙකකදීම එතැනට පැමිණ ඔත්තු බලා තිබුණු බැවින් කුඩාගොඩ උදෑසන අට නවය වන විට එතැනින් ගමන් ගන්නා බව දෙදෙනාම දැන සිටියේය.

කුඩාගොඩගේ ජීප් රථය වෙනදාට වඩා වේලපහින් එදා කනත්ත පසු කරමින් ධාවනය කරන්නට ගත්තේය. කුඩාගොඩත් තෙලිකඩ වැසියෙක් වූ බැවින් ධනුෂ්ක ඔහුව හොඳින් දැන හඳුනා ගෙන සිටියේය. ඒ වන විට ධනුෂ්ක රැඳී සිටියේ මුහුණ වැසෙන ලෙස සුදු පැහැති හිස් වැසුමක් පැලඳ ගෙන බැවින් කුඩාගොඩ ඔහුව හඳුනා ගත්තේ නැත. කුඩාගොඩ පමණක් නොව, කුඩාගොඩගේ බිරිය ප්‍රියංකා මෙන්ම අනියම් බිරියත් තෙලිකඩ වැසියන්ය. කුඩාගොඩ මරා දැමීමට කොන්ත්‍රාත්තුව රැගෙන ආ ප්‍රියංකාගේ සහෝදරයා ද තෙලිකඩය. ධනුෂ්කට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ගෙන එන්නේ ද ඒ නිසාමය.

පිංවත්ත සුසාන භූමිය පසු කරමින් එදා කුඩාගොඩ සිය ජීප් රථය පදවා ගෙන යමින් සිටියදී යතුරුපැදිය පණ ගන්වා ගත් මරිසි පොඩී ජීප් රථය පිටුපසින් යතුරු පැදිය ධාවනය කරන්නට වූයේ ධනුෂ්කගේ උපදෙස් මතය. ජීප් රථය ටී.ඩීමන් පාරට ඇතුළු කර ඉදිරියට ගමන් කරනවාත් සමඟ මරිසි පොඩීට ධනුෂ්ක පවසන්නේ ජීප් රථය ඉස්සර කරමින් යතුරුපැදිය ධාවනය කරන ලෙසය. ඒ අනුව මරිසි පොඩී යතුරුපැදිය ධාවනය කරන විට ධනුෂ්ක ඔහු පැලඳ සිටි හිස් වැසුම ඔසවා සිය මුහුණ පෙන්වා ජිප් රථයේ සිටි කුඩාගොඩට සිනහවකින් සංග්‍රහ කළේය. ඒත් එක්කම කුඩාගොඩ ජීප් රථය අයිනකට කර නතර කරනුයේ කුඩා කල සිට දැන හඳුනන ධනුෂ්කව හඳුනාගෙනය.

මරිසි පොඩීට යතුරු පැදියේ එන්ජිම නතර නොකරන ලෙස දැනුම් දෙමින් ධනුෂ්ක ජීප් රථය අසලට ගමන් කරන්නට වූයේ ගිනි අවිය සූදානම් කර ගනිමිනි. ඒ බවක් නොදකින කුඩාගොඩ ජිප් රථයේ රියැදුරු අසුන පැත්තේ ඇති වීදුරුව පහත් කරමින් “ මල්ලි මොකද මේ පැත්තේ” යැයි විමසුවේය. ඊට ධනුෂ්කගෙන් පිළිතුරු ලැබෙන්නේ ඔහු අත වූ ගිනි අවිය කුඩාගොඩ දෙසට එල්ල කරමින් කොකා ගස්සමිනි. එම වෙඩිල්ල වදින්නේ කුඩාගොඩගේ කටටය. ඒ ඔහුව එතැනම නිහඬ කරමිනි.

තනි වෙඩිල්ලෙන් වැඩේ හමාර කළ ධනුෂ්කත් මරිසි පොඩීත් යතුරුපැදියේ නැඟී එතැනින් පලා ගිය ද ධනුෂ්ක පිංවත්තෙන් ගොඩවන්නේ කළුතර බලා ධාවනය වන මගී බස් රථයකටය. ඒ ඔහු ඒ වන විටත් පැළද සිටි සුදු පැහැති හෙල්මට්ටුව දමාගෙනමය. එම හෙල්මට්ටුව දමාගෙනම වාද්දුවෙන් බස් රථයෙන් බසින ධනුෂ්ක නැවතත් ගොඩවන්නේ මතුගම බලා ධාවනය වන බස් රථයකටය. ඒ මරිසි පොඩී සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. ඒ වන විට මරිසි පොඩී සිටින්නේ වේරගම සයිප්‍රස් උද්‍යානයේ ගැටුමට මැදිහත් වීය. යතුරුපැදිය මඟ දමා එන්නැයි මරිසි පොඩීට කියන්නේ ධනුෂ්කය. යතුරුපැදිය මඟ දමා මරිසි පොඩී ගොඩවන්නේ මාතර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයකටය. මතුගම බස් රථයේ සිටි ධනුෂ්ක කළුතර බෝධිය අසලින් බස් රථයෙන් බැස මාතර බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයට ගොඩවූයේ එහි මරිසි පොඩී සිටින බව දැනගෙනය. දෙදෙනා තෙලිකඩ බලා යන්නේ එතැන් සිට එකටය.

මේ හැමදෙයක්ම මොවුන් දෙදෙනාගේ කටින්ම වමාරා ගත් පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් කුඩාගොඩට වෙඩි තැබූ ගිනි අවිය පවා සොයා ගත්තේය. ඒ පතරොම් 08ක්ද සමඟිනි. දැන් විමර්ශන නිලධාරීන්ට ඉතිරිව ඇත්තේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන් කුඩාගොඩගේ බිරියගේ සහෝදරයා කොටු කර ගන්නටය. ඉදිරි දින කිහිපය තුළ ඔහුව සාක්ෂි ගොන්නක් සහිතව තිලංග සංජීව ඇතුළු විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු නියතය. එහිදී ඔහුගෙන් හෙළි වන තොරතුරු මත මෙම ඝාතන සැලසුම පිටුපස සිටින තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනෙනු ඇත.

Comments