සියලු සමේ රෝග නිට්ටාවටම සුව කරන ආයුර්වේද ඉසිවරිය | සිළුමිණ

සියලු සමේ රෝග නිට්ටාවටම සුව කරන ආයුර්වේද ඉසිවරිය

- රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර ආරම්භ කළොත් පොතුකබර රෝගය ඉතාම කෙටි කාලයකින් නිට්ටාවටම සුවපත් කළ හැකියි
- අවුරුදු 23ක් මම නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ගස්වැල් එක්ක පර්යේෂණයක යෙදුණා. පොතුකබර රෝගය සඳහා මවිසින් සොයා ගත් විශේෂ ඖෂධ සමඟ පංචකර්ම ප්‍රතිකාර ක්‍රමත් යොදා ගන්නවා

නීරෝගි, පැහැපත් සමකට හිමිකම් කීමට අප කවුරුත් පාහේ කැමැතිය. එබැවින් තමා සතු නීරෝගි පැහැපත් සුන්දර රුව ආරක්ෂාකර ගැනීමට අප බොහෝ දෙනා උනන්දු වේ. ඊට කිසියම් සිරීමක්, තුවාලයක්, කැළලක් හෝ විකෘති බවක් හදිසියේ සිදු වුවහොත් ඒ පිළිබඳ අප කොතරම් සිත්තැවුලට පත්වනවාද? යම් රෝගී තත්ත්ව මත බාහිර රූපයට පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට ද හානි වන අවස්ථා අප ඕනෑතරම් අසා දැක ඇත. සුදු කබර, පොතු කබර, දද කුෂ්ඨ, වණ, පිළිකා වැනි රෝග ද එවැනි ය. මෙවැනි රෝගී තත්ත්වයන් නිසා බොහෝ දෙනකු කායිකව මෙන්ම මානසිකව ද ඇද වැටෙති. එසේම අංශභාග, සන්ධි රෝග, දියවැඩියාව, කුෂ්ඨ, වාතරක්ත අර්ශස්, බගන්දරා, ඇතුළු සර්වාංගගත රෝග බොහොමයකට ප්‍රතිකාර කර රෝගීන්ට සැනසිලිදායක සුවයක් ළඟා කරදෙන වෛද්‍යවරියක මෙවර ‘ඉසිවර අරණට’ සම්මුඛ විය. ඇය කායචිකිත්සා (සර්වාංග රෝග) ආයුර්වේද වෛද්‍ය විශේෂඥ අනුරා දේවනාරායන ය. ඇය මේ වන විට බොරැල්ල ජාතික ආයුර්වේද මහ රෝහලේ පංචකර්ම ප්‍රතිකාර අංශයේ කටයුතු කරන්නීය. 

සිළුමිණ ඉසිවර අරණට ඇය මෙලෙස සම්මුඛ වූවාය.

“මානව ශරීරයේ විශාලතම හා සංවේදීම අවයවය වන්නේ සමයි. එසේම බාහිර පාර්ශ්වයන්ට අප වෙනස් අනන්‍යතා සහිතව පෙනීමට මුල් වන්නේ සමේ ස්වභාවය අනුවයි. ශරීර හැඩය, නම්‍යශීලි බව, පෙනුම මේ සියල්ලක්ම පවතින්නේ සමේ ස්වභාවය මතයි. බැලූ බැල්මට කෙනකුගේ රූප ස්වභාවය අවලස්සන වුණොත් ඇය හෝ ඔහු එම සමාජයෙන් ප්‍රතික්ෂේප වූ අයකු බවට පත්වෙනවා. මේක මානසික ආබාධ ඇති වීම දක්වා දුරදිග යා හැකියි. කෙනකු සමාජය විසින් පිළිකුල් කරන විට ඔහු හෝ ඇය මානසිකව ඉතාම පහත් මට්ටමට ඇද වැටීම සාමාන්‍යයි. සමාජයෙන් කොන් වීම නිසා සමාජයෙන් සැඟවී, සමාජයට වෛර කරමින් ජීවත් වීමට පෙල‍ෙඹන එවැනි අයකු දිවි තොර කර ගැනීමට පවා පෙලඹිය හැකියි. චර්ම රෝගයට ගොදුරු වූ තැනැත්තා අධ්‍යාපන කටයුතුවල යෙදෙන වයසේ පසුවන කෙනෙක් නම් හෝ රැකියාවක නිරතවන අයකු නම්, එසේත් නැති නම් විවාහ වන වයසේ පසුවන අයකු නම් මේ රෝගී තත්ත්වය නිසා ඒ සෑම දෙයකටම බාධා එල්ල වෙනවා. විවාහක අයකු නම් දරු ඵල අහිමි වීම නිසා විවාහ ජීවිතය පවා අසාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන් පොතුකබර රෝග තත්ත්වය නිසා පීඩාවට පත්වී සිටින අය වෙනුවෙන් සාර්ථක ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ කියල මම කල්පනා කළා. ”

චර්ම රෝග අතර වඩාත් බරපතළ රෝගී තත්ත්වයක් වන පොතුකබර රෝගය සඳහා ඉතා සාර්ථකව ප්‍රතිකාර කරන වෛද්‍ය අනුරා, ඒ සඳහා කළ වෑයම පිළිබඳ පවසන්නේ මෙවන් අදහසකි.

“මෙම රෝගය සඳහා සාර්ථක ඖෂධ හා ප්‍රතිකාර විදියක් සොයා ගන්න මම විවිධ පර්යේෂණ කළා. ඒ අනුව රෝගීන් පරීක්ෂා කර පර්යේෂණ මඟින් සොයා ගත් ඖෂධ හා විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් මේ රෝගය සුව කිරීමට උත්සාහ කළා. ඒ උත්සාහය ඉතාම සාර්ථක වුණා. ඒ සඳහා ගොඩාක්ම බලපෑවේ නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ උද්භිද විද්‍යා අංශයේදී ඖෂධ පැළෑටි ගැන ලැබූ දැනුම සහ විවිධ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වී මම ප්‍රායෝගිකව ලබා ගත් අත්දැකීම් සම්භාරයයි. මම අවුරුදු 23ක් නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ගස්වැල් එක්ක පර්යේෂණයක යෙදුණා.

පොතුකබර රෝගය සඳහා මවිසින් සොයා ගත් විශේෂ ඖෂධ එක්කම පංචකර්ම ප්‍රතිකාර ක්‍රමය මූලිකව යොදා ගැනෙනවා. එහිදී බාහිර සහ අභ්‍යන්තර ඖෂධ යොදා ගනිමින් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න මට හැකියාව ලැබුණා.”

ආහාරමය හේතු, විහරණය (ඇවතුම් පැවතුම් විධි), අපිරිසුදුකම, මානසික හේතු, පාරිසරික හේතු මේ රෝගය වැලඳීම සඳහා බලපාන හේතු අතර වෙනවා. ඒ වගේම ලේ ධාතුව කෝප කරන ශෝකය, ක්‍රෝධය, බය වැනි සිතිවිලි නිසා ද මෙවැනි රෝග තත්ත්වයන් ඇති විය හැකියි. රක්තය දූෂණය වීමට විවිධ හේතු බලපානවා. ඒ විවිධ ආහාර රටාවන්, ආහාර පුරුදු, ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන විෂමතා, එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රකෘතිය එනම් වාත, පිත, සෙම යන ප්‍රකෘතීන්ගේ ස්වභාවය මේ සඳහා හේතු වෙනවා. පිත වැඩි වූ විට රක්තය දූෂණය වෙනවා.

වැරැදි ආහාර පුරුදු අතර, මස් මාළු වැඩිපුර ආහාරයට ගැනීම, උෂ්ණ ආහාර වැඩිපුර ගැනීම ද වේ. මාංස ආහාර පමණක් නොව තක්කාලි, රාබු, බිලින්, ගොරකා, සියඹලා, උඳු වැනි උෂ්ණ ආහාර මෙන්ම සීතල ආහාර වන මුං ඇට, මී කිරි වැනි ආහාර වැඩිපුර ගැනීම ද මෙවැනි රෝග තත්ත්වයන් ඇති වීමට බලපායි. එසේම නොගැළපෙන ආහාර ගැනීම ( මස් කෑමෙන් පසු කිරි බීම වැනි ආහාර පුරුදු), සංස්කරණය නොකළ ආහාර, කලින් පිසින ලද ආහාර ගැනීම වැනි ආහාර පුරුදු නිසා ද මෙවැනි රෝගවලට ගොදුරු විය හැකිය. එමෙන්ම අපිරිසුදුකම, විවිධ චර්යාවන් සහ පුරුදු මේ සඳහා බලපෑ හැකිය. අධික ලෙස කල්පනා කිරීම, මානසික ආතතිය මෙන්ම පාරිසරික හේතූන් ලෙස ශීත =පරිසරයක වාසය කර උෂ්ණ පරිසරයක වාසය කිරීමට පැමිණීම වැනි කාරණා පෙන්වා දිය හැකිය. කර්මජ හේතු ලෙස මෙම රෝග ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදන, ස්පර්ශය, ලිංගික ක්‍රියා හා අපිරිසුදුකම වැනි හේතුන් දැක්විය හැකිය. 

“මෙම රෝගයේ ලක්ෂණ අනුව කැසීම පොතු ගැලවීම, වියළි සම සහ ඝනතාව පෙන්වා දිය හැකියි. කැසීම නිසා සමේ පොතු ගැලවී යෑමෙන් රුධිර බිඳිති ඇති වෙන්න පටන් ගන්නවා. පොතු ගැලවෙන්න ගැලවෙන්න එම ස්ථානයේ ඝනත්වය වැඩිවෙන්න පටන් ගන්නවා. බොහෝම අප්‍රසන්නයි. මෙය මුළු ශරීරය පුරාම ඇතිවෙන්න පටන් ගන්නවා. දුගඳක් ඇති වෙනවා. දියර ගලනවා, රුධිරය එළියට පැමිණීමත් සමඟ පැසවන්න පටන් ගන්නවා. ඒ විදිහට පැසවපු තැන්වල සුදු පාට පුල්ලි වගේ මතු වෙනවා. රක්තය සම්බන්ධ වෙලා පිත සම්බන්ධ වුණාම තමයි රතුපාට වෙලා වර්ණ වෙනස් වී සැරව සහිත ප්‍රදාහිත තත්ත්වය ඇති වන්නේ. එවැනි තත්ත්වයට ගමන් කළාම රෝගය සුව කරන්න කාලයක් ගත වෙනවා. මේ තත්ත්වයට පත් වුණාම මානසික ආතතිය වැඩි වෙන්න පටන් ගන්නවා. රස ධාතු දූෂිතයි, රක්ත ධාතුව දුෂීතයි, මාංස ධාතුව දූෂිතයි. මේදස් ධාතුව දූෂිත වෙලා ගලනවා. අස්ථි ධාතුව දූෂිතවී සොරයිසිස් ආතරයිටිස් තත්ත්වයට පත්වෙනවා. අස්ථිවලට ගමන් කළාම අස්ථි ඇද වෙනවා, ඉදිමෙනවා. අස්ථි මජ්ජාව බිඳී යෑමෙන් මරණයට පත්වන්නත් පුළුවන්. ඒ නිසා මේ රෝගය ඉතාම නරක අතට පත් වීමට පෙර මේ රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර ගැනීමෙන් ඉතාම කෙටි කාලයකින් නිට්ටාවටම සුවපත් කළ හැකියි.

මෙවැනි රෝගියකුට ප්‍රතිකාර දීමේදී පළමුව අසමතුලිත වූ දෝෂයෝ සම තත්ත්වයට ගේන්න ඕන. ඒ සඳහා අභ්‍යන්තරව මෙන්ම බාහිරව ශෝධන ප්‍රතිකාර ලබා දෙනවා. අභ්‍යන්තර ප්‍රතිකාරයේදී මුලින්ම රෝගියාගේ ආම තත්ත්වය නිසා බඩගින්න දුර්වල වී තිබෙනවා. එසේ වන්නේ නොදිරවූ ආහාර කොටස් ශරීරයේ තිබෙන නිසයි. එනිසා ඒවා ශරීරයෙන් ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා අප පංචකර්ම චිකිත්සාව යොදා ගැනෙනවා. ඒ සඳහා පළමුව වමන කර්මයක් සිදු කරනවා. දරා ගැනීමේ ශක්තිය තියෙන අයකුට පමණයි මේ වමන කර්මය කළ හැකි වන්නේ. ඉන් පසු විරේචන කර්මයක් කරනවා. ඊළඟට වස්ති කර්මය යොදා ගැනෙනවා. ඒ තුනම කරන්නේ ශරීරයේ අභ්‍යන්තර ශෝධනය සඳහායි. මෙය පොතුකබර රෝගීන්ට වගේම අවශ්‍යම වූ කුෂ්ඨ රෝගීන් සඳහා ද සිදු කරනවා. බාහිර රක්ත ශෝධනය සඳහා රක්තමෝක්ෂණ කර්මය සිදු කරනවා. එය කරන්නේ කූඩලු ප්‍රතිකාරය මඟින්. මේ සියල්ල තීරණය වන්නේ රෝගියාගේ ස්වභාවය අනුවයි.

මෙම ශෝධන ප්‍රතිකාරවලින් අනතුරුව සමන ප්‍රතිකාර ලබා දිය යුතුය. ඒ සඳහා කසාය, ගුළි, චූර්ණ, කල්ක සහ සේදුම් දියර හා තෙල් වර්ග පත්තු යොදා ගැනෙනවා. මෙම ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම රෝගියාගේ සම සුව තත්ත්වයට පත් වූ පසු ඇතැම් රෝගීන්ට තක්‍රධාරා ප්‍රතිකාරය ලබා දෙනවා. මෙය මුදවපු කිරි යොදාගෙන හිසට කරන ප්‍රතිකාර විශේෂයක්. එය ශරීරයේ සියලු ඉන්ද්‍රියන්ට බලපානවා. මෙම ප්‍රතිකාර ලබා දෙන විට රෝගීන් සියයට 90 පමණ සුව වී අවසන්. ඊළඟට මම මෘත්තිකා ප්‍රතිකාරයක් ලබා දෙනවා. මඩ්තෙරපි කියලා හඳුන්වන්නේ මේ ප්‍රතිකාර ක්‍රමයයි. මෙම ප්‍රතිකාරයේ රෝගියාගේ සම පැහැපත් වී ලස්සන පෙනුමක් ලැබෙනවා. මින් ශරීරයේ තිබුණු සියලු ලප කැලැල් මැකී යනවා. සාමාන්‍යයෙන් මාස තුනක කාලයකින් මෙවැනි රෝගියකුට පූර්ණ සුවය ලබා දිය හැකියි."

මේ සඳහා වෛද්‍ය අනුරා විසින්ම සැකසු විරේචන කසායක් හා බාහිර ලේපයක් යොදා ගන්නා අතර, ඉතා කෙටි කලකින් මෙවැනි රෝගියකු සම්පූර්ණයෙන්ම සුවපත් කර ලස්සන පෙනුමක් ලබා දිය හැකි බව පැවසුවාය. තමා වෙත පැමිණෙන ඕනෑම මට්ටමේ රෝගියකු පූර්ණ සුවයට පත් කිරීමේ වගකීම ප්‍රතික්ෂේප නොකර බාර ගන්නා බව ද වෛද්‍ය අනුරා දේවනාරායන අවධාරණය කළාය. පංචකර්ම සායනයට හා වාට්ටුවට පැමිණෙන රෝගීන් අතර, පක්ෂාඝාත,(අංශභාග), සන්ධිගත වාත (රූ මටොයිඩ් ආතරයිට්ස්, ඔස්ටියෝ ආතරයිටිස්), ආමවාත (රූමටික් ආතරයිටිස්), කඨිශූල (බැක්පේන්), ගෘධ්‍රසි (සයටිකා) වාතරක්ත (එක්ස්සීමා), අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) වැනි රෝගීන් බහුල වේ. එමෙන්ම කල් නොගිය පක්ෂාඝාත රෝගීන් සඳහා සුවිශේෂි පංචකර්ම ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් රෝගීන් සුවපත් කිරීමේ හැකියාවක් ඈ සතුව පවතී.

පක්ෂාඝාත රෝග තත්ත්වය සඳහා ශාරීරික හා මානසික හේතු රැසක් බලපාන අතර, වාතකෝපකාර හේතු නිසා මස්තිෂ්කයේ සිදු වන ආබාධ ද, අධික රුධිර පීඩනය නිසා මොළයේ ඇති වන රුධිර වහනය ද, මොළයේ රුධිරවාහිනී තුළ ලේ කැටි සිර වීම් (ත්‍රොම්බොයිස්, එම්බොලිසම්) නිසා ද, පිළිකා, ගෙඩි වර්ග, අර්බුද සහ අනතුරු හේතුකොට ගෙන මස්තිෂ්ක ක්‍රියා හානිය ද, ශරීරයේ ඇති වන ක්‍රියා හානි වීම් ද සිදු වේ. මස්තිෂ්කයේ ආඝාතය සිදු වන ස්ථානය අනුව, ශරීරයේ එක් අංශයක් අප්‍රාණික වීම හෝ, පැත්තක්, (එක් පසෙක අත හා පාදය) අප්‍රාණික වීම හෝ, පාද දෙකම අප්‍රාණික වීම හෝ සර්වාංග ඝාත ඇති වීම සිදුවේ. මීට අමතරව කථා කිරීමේ අපහසුව, ඇස්වල පෙනීම දුර්වල වීම හෝ මතක ශක්තිය දුර්වල වීම හෝ සිහිමුර්ජාව පවා ඇති වේ.

එසේම පක්ෂඝාත, ඒකාංගඝාත, අධරාංගඝාත, සර්වාංගඝාත රෝගීන්ට සිදු කරන ප්‍රතිකාරය සුවිශේෂි වු ප්‍රතිකාරයකි. පවතින දෝෂ කෝපතාවයට අනුව (වාත අනුබාධිත කඵද, වාත අනුබාධිත පිතද) ධාතු සහ ශ්‍රෝතස් දුෂිත වු ප්‍රමාණය අනුව, රෝගියාගේ ආම, අග්නි කෙසේද? යන්න හොඳින් සලකා බලා ප්‍රකෘතියට ගැළපෙන අයුරින් චිකිස්සා සුත්‍රයට අනුව ඉතා පරිස්සමින් පක්ෂාඝාත චිකිත්සාව සිදු කළ යුතුය. චිකිත්සා මූලධර්මයන්ට පට හැනි නොවන අයුරින් හිසට සහ ශරීරයට තෙල් ගැල්වීම (පිසිෂිල්, ශරීරඅභ්‍යංග) යොදා ගන්නා අතර, මෙහිදී ශීෂී අභ්‍යංග කිරීම, ශිරෝධාරා, ශිරෝමිචු, ශිරෝලේප, සහ ශිරෝවස්ති මගින් තෙල් ගැල්වීම් සිදු කිරීමද ප්‍රතිකාර ක්‍රමයයි. විශේෂයෙන් මෙහිදී ආඝාතය සිදු වී සති 02ක් ඉක්ම ගිය පසුව මේ ආකාරයට ස්නේහන විධි යොදා ගන්නා අතර පසුව, ස්වේද කර්ම යොදා ගනී. ඒ සඳහා විශේෂයෙන් තැවිලි පොට්ටනි, නාඩිස්වේද, වාෂ්ප ස්වේද මඟින් තද වී ඇති අත් සහ පාද ක්‍රියා කිරීමට හැකියාව ලැබේ. රෝගියාගේ වකුටු වී දිග හැරිය නොහැකි අත් සහ පාදවල ඇඟිලි දිග හැරීම සඳහා විශේෂ පත්තු වර්ග (උපනාහ ස්වේද) භාවිත කරමින් රෝගියා සුවපත් භාවයට ක්‍රමයෙන් පත් කර ගත හැකිවේ. මෙම ක්‍රියාවලිය සිදු කරන අතරතුර අභ්‍යන්තරව ගුළි, කල්ක, චූර්ණ, කෂාය ආදිය යොදා ගන්නේ ශෝධන, ශමන, තර්පණ ආදී ආයුවේද මූලධර්ම ක්‍රියාවලියට ගැළපෙන ආකාරයටය.

තෙල් ආදී ක්‍රියාවලියෙන් පසුව, පිණ්ඩ ස්වේද, අත්නාලේප ( කිරි බත් අඩංගු) මඟින් රෝගියාගේ දුර්වල වූ ශරීරය නැවත ශක්තිමත් වී පීඩිත වු කොටස් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම සිදු වේ. එමෙන්ම දැන් දුෂිත වූ වාත දෝෂය නැවත සමනය කිරීම සඳහා වස්ති කර්ම යොදා ගන්නා අතර, දුෂිත වු සෙම් දෝෂ ශමනය කිරීම සඳහා නස්‍ය කර්ම යොදා ගැනීම වෛද්‍යතුමිය විසින් ඉතා සාර්ථකව සිදු කරනු ලබයි. එසේ කිරීමෙන් දුෂිත වු වාත, පිත්ත, කඵ දෝෂ සම තත්ත්වයට ගෙන ඒමෙන් රෝගියා සුවපත් වේ. ස්නායු ගත වාත රෝගීන් සඳහා ද මෙවැනිම පංචකර්ම චිකිත්සාවත් යොදා ගන්නා අතර, අභ්‍යන්තර වශයෙන් යොදන ක්ෂාය, ගුළි, කල්ක, චර්ණ විවිධ වේ. එමෙන්ම මාංශ ක්ෂය වු රෝගීන් සඳහා එළු මස් භාවිත කරන, පොට්ටනි තැවිලි වර්ග ද, වස්ති කර්ම ද (එළුමස් හා කිරි අඩංගු) විශේෂයෙන් යොදා ගනිමින් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් රෝගීන් සුවපත් කිරීමට ඇය විසින් යොදා ගන්නීය.

ගාලුපාරේ පාණදුරත් වාද්දුවත් අතර ඇති නල්ලුරුවට පැමිණ දිබ්බැද්ද පාරේ මීටර් 300ක් පමණ ගිය විට දකුණු පැත්තේ ඇති පුඤ්ඤානන්ද මාවතට හැරී පන්සල පසු වී කාලිංග මාවතට හැරුණ ස්ථානයේ පිහිටි සුරක්ෂා ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේදී ඔබටත් ආයුර්වේද වෛද්‍ය විශේෂඥ අනුරා දේවනාරායන හමුවිය හැකිය.

Comments