
ඉන්ධන ආනයනයට අතිවිශාල මුදලක් වාර්ෂිකව වැය කරන ශ්‍රී ලංකාව වැනි රටකට සුදුසුම වාහන විශේෂය වන්නේ විදුලි බලයෙන් හෙවත් ආරෝපිත බැටරිවලින් ධාවනය වන වාහනයි. ලෝකයේ රටවල් රැසක මේ ලෙසින් වාහන ධාවනය වුවත් ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරුම එය සංකල්පයක් පමණක් විය.
එහෙත් ඒ සංකල්පය දැන් ප්‍රායෝගික තලයට ගෙන ඒමට කටයුතු කර තිබේ.
එහිදී යතුරු පැදි මෝටර් රථ පමණක් නොව පොදු ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථ ද විදුලියෙන් ධාවනයට පියවර ගැනීමට නියමිතය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගිය මාසයේ අනුමැතිය හිමි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගී කරගෙන ධාවනය කළ හැකි බස් රථ ව්‍යාපෘතිය හඳුන්වා දෙන බවයි. එහි නියමු ව්‍යාපෘතිය කොළඹ සහ තදාසන්නව බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරම්භ කරන බව ද ඔහු පැවැසීය. මෙහි අරමුණ විදුලියෙන් දුවන වාහන ඇති කර ‘සිස්ටම් චේන්ජ්‘ ඇති කිරීම බව ද ඔහු පෙන්වා දෙයි.
එහි තවත් පියවරක් ලෙස ඉදිරි වසර 5ක කාලය තුළ මෙරට හරිත බලශක්ති ආර්ථිකයක් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ සංකල්පයක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පියවර ගෙන තිබේ. ඔහු ඒ බව හෙළි කෙළේ පසුගිය 2 වෙනිදා මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විදත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාව පවතින මෙවැනි යුගයක මෙරට එකලස් කරන ලද ට්‍රැක්ටර්, විදත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ මිලට ගැන්මට අවශ්‍ය පහසුකම් වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්ස් ආයතනය විසින් කටයුතු කර තිබේ. වෝල්ටා කර්මාන්තශාලාව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පා පැදි, විදත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකි පියවර ගන්නා බව කීවේය. විශේෂයෙන්ම හරිත බලශක්තිය ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති එම පියවර අගය කරන බවත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ලෝකයේ සෙසු රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් කරා යොමු වෙමින් සිටින හෙයින් ශ්‍රී ලංකාව ද එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කෙළේය.
එම සංකල්පයේ තවත් එක් පියවරක් ලෙස මෙරට පොදු මගී ප්‍රවාහනය ශක්තිමත් කිරීම වෙනුවෙන් විදුලියෙන් ධාවනය වන බස් රථ 1000ක් ධාවනයට යෙදවීමට පියවර ගෙන තිබේ. එහි පළමු පියවර ලෙස බස් රථ 200ක් කොළඹ හා තදාසන්න ධාවනයට යෙදවනු ලබන බව ලංගම සභාපති ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් පෙන්වා දෙයි. ‘‘ රාජ්‍ය මගී ප්‍රවාහන සේවාව ලෙසින් ශ්‍රී ලංගම ශක්තිමත් කරන්න විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන තියෙනවා. ලංගම බස් රථ 6.000ක් පමණ තිබුණත් සාමාන්‍යයෙන් බස්රථයක් අවුරුදු 15කට වඩා කාලයක් ධාවනය කරන්න බැහැ. කොහොමත් මේ තත්ත්වය ලංගම වැනි මහා පරිමාණ ප්‍රවාහන කර්මාන්තයකට පොදු රාජ්‍ය ව්‍යාපෘතියක් අවශ්‍ය වෙනවා. එම නිසා විදුලියෙන් ධාවනය වන බස් රථ 1000ක් ලංගමට එකතු කිරීමේ ව්‍යාපෘති වාර්තාවක් මේ වන විට ලබා දී තියෙනවා. එහි පළමු පියවර ලෙසින් බස් රථ 200ක් ආනයනය කෙරෙනවා. ඒ බස් රථ පළමු තොගය බස් රථ 50ක් හා දෙවන හා තුන්වන තොග ලෙසින් බස් රථ 75ක් බැගින් ආනයනය කෙරෙනවා. මේ බස් රථ ප්‍රධාන මාර්ග 10ක යෙදවීමටයි දැන් සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව කඩවත නිට්ටඹුව හා කඩවත ගම්පහත් කටුනායක / මීගමුව හා කොළඹ අතරත් පාණදුර සිට මීගමුව හා පිළියන්දල සිට කඩවත දක්වාත් ධාවනයට එක් කෙරෙනවා.
ඊට අමතරව අතුරුගිරියේ සිට මාලඹේ සිට කොළඹ හරහා හයිලෙවල් මාර්ගය හරහා අතුරුගිරිය දක්වා වටරවුම් මාර්ගයක් ලෙසින් බස් රථ සේවාව ධාවනයට දැනට පියවර ගෙන තියෙන්නේ. මීට අමතරව ඒ හා සම්බන්ධ තවත් මාර්ග කිහිපයක බස් රථ ධාවනයට පියවර ගෙන තියෙනවා. මේ වෙනුවෙන් අවම වශයෙන් බස්රථ 145ක් පමණ අවශ්‍ය වන අතර බස් රථ 200ක් ධාවනයට එක් කෙරෙන්නේ ඒ අනුවය.
මේ එක් බස් රථයක් රුපියල් මිලියන 70ක් 80ක් පමණ අධික මිලකින් යුක්ත නිසා මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘතියක් යටතේ කටයුතු කරනු ලබනවා. ඒ වගේම විදුලි බස් රථ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමත් ලංගම ඩිපෝවල සූර්යකෝෂ මඟින් විදුලි බලය සම්පාදනය කර එම විදුලිය මණ්ඩලයට ලබාදීමත් මේ ව්‍යාපෘතියේම කොටසක් ලෙස ක්‍රියාත්මක වනවා. ‘‘
මේ හා සමාන ව්‍යාපෘතියක් ලෙස ත්‍රිරෝද රථ විදත් ත්‍රිරෝද රථ බවට හැරවීම මෙරට ක්‍රියාත්මක කෙළේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේය. එහි ප්‍රධාන නියමුවා වූයේ අතිරේක ලේකම් (පරිසර සංවර්ධන) ආචාර්ය සුනිමල් ජයතුංගය.
ඔහු පවසන්නේ පොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට මුදා හැරෙන විෂකාරක දුම් අඩුවීම මෙන්ම පරිසර දූෂණය ද මේ නිසා අවම තත්ත්වයකට පත්වන බවයි. එමෙන්ම අතිවිශාල විදේශ විනිමයක් ඉන්ධන වෙනුවෙන් වැය කිරීමද අවම කරගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි. ලෝකයේ දේශගුණික විපර්යාස උදෙසා අප කටයුතු කළ යුත්තේ හරිත සංකල්පයක් ලෙස බවත් ඔහු අවධාරණය කෙළේය. ඒ උදෙසා අනිවාර්යෙන්ම පරිසර හිතකාමී විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පවසයි.
මේ සියලු උත්සාහයන් දරන්නේ මෙරට පරිසර හිතකාමී වාහන ධාවනයක් වෙනුවෙනි. එහි තවත් අඩියක් ඉදිරියට යන්නට පසුගිය සිකුරාදා අපට හැකි විය. ඒ මෙරට මෙරට එකලස් කළ ප්‍රථම විදුලි ත්‍රිරෝද රථය හා ප්‍රථම විදුලි මෝටර් රථය ලියාපදිංචි කිරීම පසුගිය සිකුරාදා පෙරවරුවේ සිදු කිරීමෙනි. එම අවස්ථාවට ඇමැති බන්දුල ගුණවර්ධන හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත ඉන්දික අනුරුද්ධ යන අය ද සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය වන ලෙස මෙලෙසින් Vega EVX රථය ලියාපදිංචි කෙරිණි. ඊට හිමි වූ අංකය වූයේ wp CBO 2021ය.
වාහනයේ ලියාපදිංචි බලපත්‍ර තහඩුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉදිරියේ VEGA Innovations හි හර්ෂ සුබසිංහ වෙත ලබා දෙන ලදී.
Vega EVX යනු ශ්‍රී ලංකාව තුළ සම්පුර්ණයෙන්ම නිර්මාණය කරන ලද විදුලි වාහනයයි. නිර්මාණය කරන ලද ඉතිහාසයේ ප්‍රථම වාහනයයි. එය කිලෝවොට් 40ක බැටරි පද්ධතියකින් සමන්විතය. එමෙන්ම ඉහළ අශ්ව බලයකින්ද සමන්විතය.
මෙලෙසින් ප්‍රවාහනය විදුලිය බවට හැරෙද්දී ඊට සරිලන පරිදි විදුලි ආරෝපණ පද්ධතිය ද සැකසිය යුතුය. එසේ නොවුවහොත් යළිත් පොසිල ඉන්ධන කෙරෙහි ජනතා අවධානය යොමු වනු ඇත.
විදුලිබල රථවල අලුත්වැඩියාව මෙන්ම නඩත්තුව ද ඉතා පහසුය. එහෙත් ඒ වෙනුවෙන් පළපුරුදු කාර්මිකයන් කඩිනමින් යොමු කළ යුතුය. විදුලි මෝටර්රථ ඇතුළු විදුලි වාහනවල නියම ප්‍රතිඵල අපට ලබා ගත හැක්කේ එවිටය.