
මහ රජු ඇමැතිවරයකු කැඳවීය. රටේ තතු විමසීය. එහෙත් ඇමැතිවරයාට පිළිතුරු දීගත නොහැකිය. උගුරේ ආබාධයක් නිසා වචන නිසි පරිදි ගලා ආවේ නැත. එම තත්ත්වය මාස ගණනක් තිබීම ගැන රජුට යම් කෝපයක් ඇති වුව ද ඒ බව නොපෙන්වා දෙයියන්ට බාරයක් වී හෝ උගුරේ ආබාධය සුව කරගෙන මිස නොපැමිණෙන්නැයි එම ඇමැතිවරයාට දැන්වූවේය. ඇමැති නමින් මාපා ය.
ඇමැතිවරයා තමාගේ ස්වර ආබාධය සුව කර දෙන දෙවියන් අයැද සිටියේ ගම්මුන් දෙවියන් පුදන ස්ථානයකට ගොසිනි. තම ස්වර ආබාධය සුව කර දෙන්නේ නම් ඊට අදාළව බාර හාර කිරීමට ද ඇමැති මාපා දෙවියන් යදින එම ස්ථානය ඉදිරියේ පොරොන්දු වූවේය. මාස ගණනාවක් පැවැති ස්වර ආබාධය කඩිනමින් සුව විය. ඒ සිද්ධිය ප්‍රදේශය පුරාම ප්‍රචලිත විය. රජ මැඳුර දක්වාද මේ පුවත සැල විය. ‘ස්වර ආබාධයට ගුණයක් ලැබුණු තැන‘ හෙවත් ස්වරයට ගුණ වූ තැන ‘ස්වරගුණේ‘ නමින් පසුව ප්‍රසිද්ධ විය. පසුව ස්වරගුණේ ‘සොරගුණේ‘ නමින් ජනතාව අතර භාවිතයට ගියේය. මාපා ඇමැති තමන් වූ පොරොන්දුවට අනුව එහි කතරගම දෙවියන් උදෙසා දෙවොලක් තනවන ලදී. එතැන් පටන් කතරගම දෙවියන්ගේ විවිධ හාස්කම් සහිත දෙවොලක් ලෙස සොරගුණේ හඳුන්වන ලදී.
පසුව ක්‍රමයෙන් පුදබිමක් බවට පත් වූ සොරගුණේ දේවාලය සහිත භූමියේ ඇම්බැක්ක දේවාලය මෙන්ම හෙළ වඩුවන්ගේ හැකියාවන් පිළිබිඹුවන ලී කැටයම් රැසකින් අලංකාර විය. පසු කාලීනව ජනතාවගේ වැඳුම් පිදුම්වලින් තරමක් ඈත් වුවද සොරගුණේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ඇති ස්ථානයක් බවට අවට ගම්වල ජනතාවගේ මතය විය.
කතරගම පෙරහර මෙන්ම වාර්ෂික පෙරහර මංගල්‍යකින් සමන්විත වූ සොරගුණේ දෙවොලේ සබරගමුවට විශේෂ වූ දේවාභරණ වඩමවන විශේෂ ගමන් රථයකින්ද සමන්විතය. එමෙන්ම ඌව පළාතට හා සබරගමු ශෛලියට නෑකම් කියන විශේෂ නැටුම් හා චාරිත්‍ර කිහිපයක්ම මේ දෙවොලට ආවේණිකව පැවතීම විශේෂිතය.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල මංසන්ධියෙන් හැරී (තොරණ හන්දිය) කිලෝමීටර් 7ක් පමණ ගමන් කර සොරගුණේ දෙවොලට ළඟාවිය හැකිය.
සොරගුණේ කුඩා කතරගම දේවාලය නමින්ද හැඳින්වුණු අතර රජ කාලයේ සිට තිබුණා යැයි සැලකෙන විවිධ හාස්කම් නිසා දේවාලයේ පැවැත්ම උදෙසා නින්දගම් ලබා දීමට රජවරුන් විසින් කටයුතු යොදා ඇත. එහි ප්‍රමාණය අක්කර 10,000කට අධිකය. බෝගහපැලැස්සේ පිහිටි අක්කර 6245ක භූමිය එහි වැඩිම වපසරිසයකින් පැතිරී ඇති නින්දගම් ප්‍රමාණය වේ. සොරගුණේ හාස්කම් ඇති දෙවොලක් බවට පත් වූයේ නිකම්ම නොවේ. එහි දේවාභරණ මෙන්ම රාජාභරණද ඇතුළත් විය. රාවණා රජුගේ කොඩියද එහි තැන්පත් කෙරිණි. මෙවන් සුවිසල් වටිනා දෙවොලක් පසු කාලීනව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දේවාල හා විහාරගම් පනතට යටත් කෙරිණි. ඒ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාමය. විශේෂයෙන්ම රත්නපුර බෞද්ධ කටයුතු කොමසාරිවරයාගේ අධීක්ෂණයට එය යටත් කෙරිණි.
මීට දශක තුනකට ආසන්න කාලයක් වනතුරුත් සොරගුණේ පිළිබඳව හෝ එහි නින්දගම් පිළිබදව හෝ දේවාලය හෝ දේවාභරණ හෝ ගැන හෝ ජනතාවට ගැටලුවක් ඇති නොවීය.
එහෙත් පසුකාලීනව පත්ව ආ දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ක්‍රියා කලාපය නිසා ජනතාවට දැඩි කලකිරීමක් ඇති විණි. දේවාලය මේ බස්නායක නිලමේවරයාගේ පෞද්ගලික බූදලයක් බදු විය. එහි වටිනා පුරා වස්තු ඔහුට සෙල්ලම් බඩු විය. ඒවායේ වටිනාමක් නැති විය. එමෙන්ම නින්දගම් දේපළ වෙළෙඳාම් ආයතනයකට එහා ගියේය.
මේ දෙස ඇහැ කන පියා සිටින්නට බැරි වූ ප්‍රදේශවාසීන් මෙන්ම අවට විහාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේ මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු කළහ. එහෙත් ඒ වන විට බූවල්ලකු මෙන් සියලු බල කණු අල්ලාගෙන සිටි බස්නායක නිලමේවරයා ඒ සියලු අංශ යටපත් කරගෙන තම අභිමථාර්ථයන් ඉටු කර ගන්නට කටයුතු කෙළේය.
මෙම දේවාලයේ බස්නායක නිලමේ ලෙස අවුරුදු ගණනාවක්ම කටයුතු කර තිබෙන්නේ ජනක රවීන්ද්‍ර කළුපහනය. ඔහුට පෙර ඔහුගේ පියාත් ඊට පෙර ජනක කළුපහනගේ පියාගේ පියාය.
අවට විහාරස්ථාන 4ක විහාරාධිපති හිමිවරු සහ ජනතාව එක්ව ජනක රවීන්ද්‍ර කළුපහනට විරුද්ධව මහජන පෙත්සමක් අත්සන් කර ඉදිරිපත් කරන ලදී. ඒ ඔහුගේ ක්‍රියා කලාපය එළිපිටම දක්නට ලැබීම නිසාය.
මිල කළ නොහැකි දේවාලයේ තිබූ ඉතාම පැරණි “රාවණා රජුගේ කොඩිය” සහ පැරණි කඩුවක්ද අතුරුදන් බවට මේ වන විට වාර්තා වී තිබේ. ඊට අමතරව දේවාභරණ මෙන්ම රාජාභරණ රැසක්ද අතුරුදන් බවට වාර්තා වී ඇත.
එමෙන්ම සොරගුණේ දේවාලයට ලබා දෙන කිසිදු ආධාර මුදලකට රිසිට් පත් ලබා නොදේ. ඒ ගැන ආධාර ලබා ගන්නන්ගෙන් විමසූ විට ආධාර ලබා ගන්නා පුද්ගලයන් පවසන්නේ ‘දෙවියන් රිසිට් පත් නිකුත් නොකරන බවයි‘. එයත් අපූරු පිළිතුරකි. එසේ නම් දෙවියන්ට මුදල් කුමකටද? යන්න අපට විමසිය යුතුව ඇත.
එමෙන්ම වසර 20කින් පමණ මෙම දේවාලයේ දේවාභරණ මෙන්ම නාමාවලිය පරික්ෂා කිරීම, සිදුකර නැති බවද මේ වන විට වාර්තාවෙමින් පවතී. මීට අමතරව කළුපහන බස්නායක නිලමේවරයා විසින් සිදු කළ මහා පරිමාණ නින්දගම් ඉඩම් වංචාවක් පිළිබඳවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ගලා ඒම හේතුවෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.
විමර්ශන සිදු කෙරෙන අතර බෞද්ධ කටයුතු කොමසාරිස් (රත්නපුර) විසින් හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී. කොමසාරිස්වරයා පැමිණිල්ල ඉදිරිපත් කෙළේ අශ්වයා පැන ගියාට පසුවද යන්න අපට මතුවන ගැටලුවයි.
කෙසේ හෝ මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්හිදී කළුපහනගේ දූෂණ වංචා එළියට පැමිණීමත් සමඟ ඔහුගේ වැඩ තහනම් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම විසින් තීරණය කරන ලදි. ඒ බව දන්වමින් 2023 ජනවාරි 26 වෙනිදා ඔහුට ලිපියක් මඟින් කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ විහාරගම් දේවාල ආඥා පනතේ 15 (1) වගන්තියට යටත් පවත්වන ලද පරීක්ෂණයට අනුව එම ආඥා පනතේ 43 (1) (උ) වගන්තියේ රෙගුලාසි 2 (ආ) අනුව වැඩ තහනම් කරනු ලබන බවයි.
බෞකො/විහාසේ/123ජී11 i වෙළුම යටතේ නිකුත් කර ඇති එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ බස්නායක නිලමේවරයා සතු සියලු බඩු බාහිරාදිය 2023.01.30 දිනට පෙර රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට භාර දිය යුතු බවයි.
එහෙත් මේ ලිපිය පළ වන පෙබරවාරි 26 වනදා එනම් මාසයක කාලයක් ගතව ඇතත් එවැනි භාර දීමක් සිදුව නැත. මෙරට බෞද්ධ කටයුතු භාරව සිටින ප්‍රධාන රජයේ නිලධාරියා විසින් සිදු කළ විමර්ශනයකින් පසුව කළ දැනුම්දීම බුලත් කෙළ පාරක් සේ විසි කර දමන්නට ඔහුට ශක්තියක් ලැබුණේ කෙසේද?
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කළ විමර්ශනයෙන් පසුව බස්නායක නිලමේවරයාගේ වැඩ තහනම් කිරීමෙන් පැහැදිළි වන්නේ අප ඉහත දැක්වූ කරුණු මැනවින් සාධක සහිතව ඔප්පු වී ඇති බවකි.
එසේනම් දැන් අප අවධානය යොමු කළ යුත්තේ රජ කළ ලබා දුන් නින්දගම් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ බස්නායක නිලමේවරයා විසින් සිදු කළ අවභාවිතයන් ගැනය.
පරිසර සංවිධාන සහ පරිසරවේදීන් පවසන අන්දමට සොරගුණේ නින්දගමේ අක්කර 6245 ක අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් අවභාවිත කරමින් බදු දී හෝ විකුණා අවසන්ය. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී පරිසර යුක්ති කේන්ද්‍රය, ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු පරිසර සංවිධාන රැසක් විසින් පෙන්වා දී තිබේ.
සමාගම්කරුවන්, දේශපාලකයන් ඇතුළු ධන කුවේරයන්ට හිතේ හැටියට සොරගුණේ නින්දගම් ලබා දෙන්නට හිටපු බස්නායක නිලමේවරයා විසින් කටයුතු කර ඇති බවට සාධක බොහෝය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වයා විසින් කළ විමර්ශනයේදී මේ සියල්ල හෙළි වී තිබේ. මේ වෙනුවෙන් රජයේ නිලධාරීන් හා දේශපාලකයින් කිහිපදෙනකු දේවාලයේ පාලනාධිකාරියට සහාය ලබා දුන් බවද පරිසර සංවිධාන විසින් පෙන්වා දී තිබේ.
සම්පූර්ණ කඳු ගැටයක් සහිත බෝගහපැලැස්සෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් එක් දේශපාලනඥයකුට ලබා දී තිබේ. එමෙන්ම විදෙස් රටක ව්‍යාපාර සිදු කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා අක්කර 628 ක් ලබාදී ඇති අතර එය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් බවට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සිදු කළ නඩු පැවරීමක් නිසා එය තාවකාලිකව නතර විය.
එසේම කුරුඳු වගාවට යැයි දන්වා ප්‍රකට වැවිලි සමාගමකටද අක්කර 2000 ක් මේ නින්දගම් හරහා ලබා දෙන්නට පිඹුරු පත් සකසන ලදි.
ඊට අමතරව පතහ ප්‍රදේශයේ අධි සංවේදී බෑවුම් (සවානා) වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විට අදාළ සමාගම විසින් සන්තකයට ලබාගෙන ඇත. එම සමාගම මගින් අවශ්‍ය පරිදි භූමියේ සීමා වෙන්කරගෙන ඇත්තේ “මෙය පෞද්ගලික ඉඩමකි. ඇතුල්වීම තහනම්” ලෙස තෝරාගත් ගස් මත රතු පැහැති වර්ණයෙන් බෝඩ් දමා සීමාව සලකුණු කරමිනි. නින්දගම් එසේ ලබා දිය නොහැකිය. විශේෂයෙන්ම මෙරට භූ විෂමතාවේ විශේෂිත වන වේලිඔය සහ උඩවලව ජලාශයේ ඍජු ජලපෝෂක ලෙස එම සවානා ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වය බලපානු ඇත.
බෝගහපැලැස්ස යනු රක්ෂිත වනාන්තරයකි. එය බෝගහපට්ටිය නමැති යෝජිත අභයභූමියේම කොටසකි. අභයභූමියක් අලෙවි කිරීමට හෝ බදු දීමට හැකිද?
එමෙන්ම දහස්ගණනක් ගොවිජනතාවගේ ජීවනෝපායන් අහිමි කරමින් ඔවුන්ගේ බඩවියතට පහර දෙන්නට 2010 වසරේ සිටම කටයුතු කර තිබේ. ඒ පෙර සඳහන් කළ රුපියල් මිලියන හයකට ඉඩම් අක්කර 628 ක් ඇමරිකාවේ ව්‍යාපාර කරනු ලබන අයකුට පවරා දීමෙනි. ඒ සම්බන්ධයෙන් 2011 වසරේ ජූලි 4 දිනෙන් යුක්තව එවකට ඌව පළාත් සභා මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත ලිපියක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එහෙත් ඇතැම් රජයේ නිලධාරීහු ඒ තත්ත්වයෙන් නිලමේවරයා මුදා ගන්නට කටයුතු කළහ.
අංක 65 , ධර්මපාල මාවත, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි පෞද්ගලික ආයතනයකට නින්දගම් එසේ පවරා දීමට බස්නායක නිලමේවරයාට බලතල හිමි වූයේ කෙසේද?
එමෙන්ම දැන් අප විමසිය යුත්තේ නිලමේවරයා අතින් කිසිදු වරදක් සිදුව නොමැති නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කළ විමර්ශන හා පරීක්ෂණවලදී ඔහුගේ වැඩ තහනම් වූයේ ඇයිද යන්න ගැනය. අල්ලසට, දූෂණයට යට වූ රාජ්‍ය නිලධාරීන් මේ ඉඩම් වංචාවන් වසා දැමූ බව එයින් පැහැදිලිය.
සොරගුණේ දේවාලයට අයත් ඉඩම් හොර ඔප්පු හදා අලෙවි කර ඇති බවත් එකම ඉඩම හතර පස් දෙනකුට විකුණා ඇති බවත් මේ වන විට තහවුරු වී තිබේ. ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය විසින්ද මේ සම්බන්ධයෙන් කොළඹ පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
රක්ෂිත ඉඩම් සංවර්ධනයට යොදා ගැනීමෙන් හල්දුම්මුල්ල ජල පෝෂක සිඳී යෑමෙන් හෝ තර්ජනයට ලක්වීමෙන් වේලිඔය හා උඩවලව ජලාශ ඍජුව පරිහරණය කරන ගොවි පවුල් 5000ක් ඇතුළු පවුල් 30,000ක් මෙම විනාශය උග්‍ර වුවහොත් බලපෑමට ලක්වන බව පරිසර යුක්ති කේන්ද්‍රය විසින්ද මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දෙන ලදි. විශේෂයෙන්ම වේලිඔය ව්‍යාපෘතියෙන් යැපෙන වේලිඔය, කල්තොට, පොකුණුතැන්න, මහපැලැස්ස,නෙතුල, අලුත්වැව ගොවි ජනපදය, හම්බෙගමුව, වටමඩ, කුකුල්කටුව, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්ස, කණ්ඩියපිට ගොවි ජනපදය ඍජුවම ජල හිඟකමකට මුහුණ පාන බව පෙන්වා දී ඇත.
වේලිඔය ව්‍යාපෘතිය මගින් ප්‍රධාන වැව් විසිහතක් පෝෂණය වේ. ප්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන්ඔය, දෙමටආර, වේලිඔය, පතහඔය යන ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍ර්‍රදේශ වන සොරගුණේ වනාන්තරය තුළ අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙළි කර ඇත.
රජයෙන් මිලියන 850කට අධික මුදලක් වැය කර ගොඩනගන ලද වේළිඔය අමුණ ව්‍යාපාරයද මෙම නිසා අසාර්ථක වනු ඇත. වේලිඔය මගින් ගොවිපවුල් දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලයද සපුරා ගනී.
සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටද අයත් වන නිසා ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද වගකීමක් වේ.
වේලිඔය ව්‍යාපෘතියේ සිදුවන්නා වූ මේ විනාශය වළක්වා දෙන ලෙස ඉල්ලමින් 2011.07.11 දිනෙන් යුක්තව ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේ හා වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. එයට පිළිතුරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් 2011.08.03 දිනෙන් යුක්තව SC1/05/15/30256 අංක දරන ලිපියෙන් එම ලිපිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්තේ අදාළ කටයුතු පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙස දන්වමිනි. එමෙන්ම ඉදිරි කටයුතු ඒ අනුව විමසා බලා කරන ලෙසට දෙපාර්තමේන්තුවට බලය පවරා තිබුණි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශය වී තිබුණේ ගොල්ෆ් ව්‍යාපෘතිය මඟින් වනාන්තර ඉඩම් විනාශ වී ජල හිඟයකට ප්‍රදේශයටම මුහුණපාන්නට සිදු විය හැකි බවයි.
මේ අනුව බලන කල අපට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාජ්‍ය දේපළ අපහරණය, විහාර හා දේවාලගම් පනත අමු අමුවේ උල්ලංඝනය කිරීම, රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස අපහරණය කිරීම, රාජ්‍ය සම්පත් අවභාවිතය, කූට ලේඛන (ඔප්පු ආදිය) ඇතුළු චෝදනා රැසක් ගොනු කළ හැකි බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ ඒ සඳහා ඕනෑතරම් ප්‍රතිපාදන තිබේ. අවම තරමේ දේවාලයේ භාරකාරත්වයට ලබා දෙන ආධාරයක් වෙනුවෙන් රිසිට් පත් නිකුත් නොකර සිටීමෙන්ම ඒ බව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් පැමිණිලි කර තිබියදී උපාය දූතයකු මාර්ගයෙන් හෝ ඒ පැමිණිලි සත්‍යදැයි සොයා නොබැලීමට රාජ්‍ය අංශයේ වගකිය යුතු අය කටයුතු නොකළේ මන්ද යන්න ගැන විමසිය යුත්තේ කාගෙන්ද?
මේ වන විට පරිසර සංවිධාන හා විවිධ සමිති සංවිධාන රැසක්ම සොරගුණේ හා සම්බන්ධ අවභාවිතාවන් හා දූෂණයන් ගැන පැමිණිලි කර තිබියදී නීතිය නිහඬ ඇයි? අදාළ පැමිණිලි නිසි පරිදි විමර්ශනය නොකිරීමට හා පැමිණිලි භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පවා පොලිසිය කටයුතු කෙළේ ඇයි?
මේ ක්‍රියාවන් නිසා සිදුවන්නේ අපේ ඉතිහාසය විනාශ කර දැමීම පමණකි. රාවණාගේ කොඩියද අපට අහිමි වනු ඇත. දේවාභරණ, රාජාභරණ මෙන්ම තවත් වටිනා දේපළද අපට අහිමි වනු ඇත. විනාශ කරන ඉතිහාසය හා සංවේදී පරිසර කලාප බස්නායක නිලමේවරයාගේ වැඩ තහනමෙන් සැපිරිය හැකිද?
මේ සම්බන්ධයෙන් සිළුමිණ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුමගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් විසින් පනතට අදාළව සිදු කළ විමර්ශනයට අනුව හෙළි වූ කරුණු ඔස්සේ අදාළ බස්නායක නිලමේවරයාගේ වැඩ තහනමට ලක් කළ බවයි. ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව පෙන්වා දුන් ඔහු පැවසුවේ තමන් මේ වන විට වැඩබලන බස්නායක නිලමේවරයකු පත් කර ඇති බවයි. එම පත් කිරීමට විරුද්ධව වැඩ තහනමට ලක් වූ බස්නායක නිලමේවරයා වාරණයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වී ඇති බවත් එය ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධාවක් නොවන බවත් ඔහු පැවසුවේය. එමෙන්ම වැඩ තහනමට ලක් වූ බස්නායක නිලමේවරයා මේ වනතුරුත් කිසිදු භාණ්ඩයක් ආපසු භාර දී නොමැති බවත් පැවසූ කොමසාරිස් ජනරාල්වරයා කීවේ සෑම වසරකම දේවාලයන්හි භාණ්ඩ විගණන පරීක්ෂාවකට ලක් කළ නොහැකි බවයි.