ශ්‍රීපාදස්ථානයේ පහස ලද කැලණි ගං මිටියාවතේ ඓතිහාසික සීතාවක රාජධානියෙන් පිහිටි මේ පාසලින් රටට වැඩදායක දූ පුතුන් පිරිසක් දායාද කරන්නට හැකි විය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන චින්තනය මල්ඵල ගන්වමින් බිහි වූ මැදි විදුහල් යටතේ 13 වැනි මැදි විදුහල වූ එය එදත් අදත් විශිෂ්ට මෙහෙවරකට දායක වෙමින් සිටිති. හංවැල්ල රාජසිංහ මැදි විදුහල නමින් නම් ලද මේ පාසල ඓතිහාසික සීතාවක රාජ්‍ධානියේ ප්‍රධානම පාසලක් විය. එවකට පාර්ලිමේන්තු ඇමැතිවරයකුව සිටි පිලිප් ගුණවර්ධනයන්ගේ යෝජනාවකට අනුව පසුව හංවැල්ල රාජසිංහ නමින් නම් ලැබූ අතර, එවකට මේ පාසලේ ආරම්භක විදුහල්පතිවරයා වී ඇත්තේ එවන් එදිරීවීර ය. ගුණ නැණ පිරි සමබර පෞරුෂයකින් හෙබි අභිමානවත් රාජසිංහ දරුවන් බිහි කිරීමේ වත්මන් භාරධූර කාර්යයට උර දෙන්නේ වත්මන් විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන ය. ඔහු මෙම විදුහලේ 15 වැනි විදුහල්පතිවරයා වෙයි.
අධ්‍යාපනික, ක්‍රීඩා, විෂය සමගාමි කටයුතු මෙන්ම විෂය පරිබාහිර කටයුතුවලින් ද සිය උපරිම හැකියා පෙන්නුම් කරන හංවැල්ල රාජසිංහ මැදි විදුහල් දරුවෝ පසුගියදා තවත් සුවිශේෂි කඩඉමක් පසු කරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලිනි. ලංකාවේ වූ අනිකුත් ජනප්‍රිය පාසල් අබිබවා යන ගමනේදී පසුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් 99.34%ක සාර්ථකත්වයක් අත්කර ගන්නට හංවැල්ල රාජසිංහ සිසු දරුවන්ට හැකි විය. මෙවර පමණක් නොව පසුගිය වසරවලදී ද මීට වඩා ඉහළ සුවිශේෂී දස්කම් දක්වන්නට හංවැල්ල රාජසිංහ මැදි විදුහල් සිසු දරුවෝ සමත් වූහ. 2019 වසරේදී සාමාන්‍ය පෙළ ප්‍රතිපල ප්‍රගතිය 100%ක් අත්කර ගන්නට ද, 2020 සාමාන්‍ය පෙළ ප්‍රගතිය 100% ක් අත්කර ගන්නට ද හැකි වූ මේ දරුවෝ විභාග ඉතිහාසයේ සුවිශේෂි කඩඉම් පසු කළේය. පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේදී A 9 සාමාර්ථ්‍යය 47ක් ද, A 8 සාමාර්ථ්‍යය 38ක් ද ගන්නට හැකි වීම මේ ජයග්‍රහණයේ කැපී පෙනෙන කඩඉම් විය.
සීතාවක රාජ්‍යධානියේ අතීත උරුමයන් රැඳි හංවැල්ල රාජසිංහ පාසල එදා සිට අද දක්වා මනා නායකත්වයෙන් අභිමානවත්ව ඉදිරියට පියවර තැබූ පාසලකි. එදා සිට අද දක්වා පාසල ආ ගමනේදී නවීන තාක්ෂණයෙන් පිරිපුන් පංති කාමර වර්තමාන දූ දරුවන්ගේ අධ්‍යාපනයට තිළිණ කළ පාසලක් වේ. වැලි පිල්ලේන්, ගල් ලෑල්ලේන් අනතුරුව කළු ලෑල්ලේන් සිසු දරුවන්ට අකුරු කියා දුන් මේ පාසලේ අද සිසුන් වෙනුවෙන්ම සැකසූ නවීන තාක්ෂණයෙන් පිරි පන්ති කාමර ඇති අතර, ඒ හරහා සිසුන්ව හරවත් අධ්‍යාපනයකට විවර කරවන්නට හැකි වී ඇත. එදා සීමිත සිසුන් සංඛ්‍යාවකගෙන් ඇරඹි මේ පාසලේ අද සිසුන් 2900ක් පමණ 6-13 දක්වා අධ්‍යාපනය ලබන පාසලකි. ගුරුවරුන් 165ක් සිසුන්ගේ ඉගැන්වීම්වල නිරතව සිටිති.
ශිෂ්‍යත්ව කඩඉම් විභාගය හරහා සිසුන් ඇතුළත් වීම් සිදු කරන මේ පාසලේ ඉන් අනතුරුව විශාල අවධානයක් යොමු වන්නේ සාමාන්‍ය පෙළ සිසු අධ්‍යාපනය කඩ ඉම ජය ගන්නටය. සාමාන්‍ය පෙළ සමාන්තර පන්ති 7කින් සැදුම් ලත් මේ පාසලේ පසුගියදා සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 305ක් මුහුණ දුන්නේ දැඩි අභියෝග රැසක් මධ්‍යයේය. කොවිඩ් කාලයේ පාසල් වැසීම මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට සීමා වීම හරහා ඒ වසරේ සියලු සිසුන්ට මුහුණ දීමට සිදු වූයේ දැඩි අභියෝගයකි. නමුත් ඒ සියලු අභියෝග පරදමින් වත්මන් රාජසිංහ විදුහලේ විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන්ට ද විශාල කැපකිරීමක් කරන්නට සිදු වූයේ දරුවන්ගේ අඩපණ වූ අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් හා ශ්‍රමයක් යොදවමිනි. හංවැල්ල රාජසිංහ මැදි විදුහල ද රට වසා දැමූ කාලයේ මෙන්ම ඉන් අනතුරුව ද දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධන කටයුතු නඟා සිටුවන්නට මෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට මුහුණ දීමට සුදානම් වන සිසුන් ඒ වෙනුවෙන් සූදානම් කළේ කිසිදු සිසුවකු අත් නොහැරය. මේ නිසාවෙන් සිසුන් 305 දෙනාගෙන් සිසුන් 303 දෙනෙක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූහ.
කොවිඩ් අභියෝග හමුවේ දැඩි දුෂ්කරතා වින්දද, ඒ සියලු අභියෝගයන්ට අභියෝග කරමින් දරුවන්ට අහිමි වූ අධ්‍යාපන කාලය කුමන හෝ ක්‍රමයකින් දරුවන්ට සමීප කරවන්නට වත්මන් විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් ගත් පියවර ප්‍රශංසනීයය. දරුවන්ට අහිමි වූ පාසල් කාලය යළි ලබා දීමට ප්‍රතිපෝෂණ වැඩ සටහන් පැවැත් වීම, අඩු ලකුණු ලබා ගත් සිසුන්ට පමණක් නොව සියලු සිසුන්ට අමතර උදෑසන කාලයක් ලබා දෙමින් විධිමත් කාල සටහනකට අනුව ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමේ අවස්ථාව වර්ධනය කිරීම මෙන්ම නේවාසික කඳවුරු පැවැත්වීම මේ අතර ප්‍රධානය. හංවැල්ල රාජසිංහ මැදි විදුහලේ වත්මන් විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන, නියෝජ්‍ය විදුහල්පතිනි එම්.ජී තනූජා ප්‍රියන්ති කළමනාකරණ මණ්ඩලය මෙන්ම ගුරුවරුන්ගේ උපරිම දායකත්වයෙන් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවැත් වූ අධ්‍යාපනික කාර්යභාරය රාජසිංහ විදුහලටම අනන්‍ය වූ වැඩ සටහන් විය. කොවිඩ් වකවානුවේ පවා උදෑසන සිට පාසල් කාලය තුළ මාර්ගගත ඉගැන්වීම් සිදු කළේ පාසල් අධ්‍යාපනයේ කිසිදු අඩුවක් නොදැනෙන්නටය. මාර්ගගත ක්‍රමයට වාර විභාග පැවැත්වීම, මාර්ගගත ක්‍රමයටම ඇගැයීම් පරීක්ෂණ පවත්වා දරුවන්ගේ අපේක්ෂිත සාධන මට්ටම් පවත්වා ගෙන යෑම මෙන්ම අඩු ලකුණු ගත් සිසුන් හඳුනා ගනිමින් ඔවුන් සඳහා විශේෂ ප්‍රතිපෝෂණ වැඩ සටහන් හරහා ලකුණු මට්ටම් වැඩි කිරීම ඇතුළු බොහෝ කටයුතුවලට ගුරුවරු විශාල කැපවීමක් කළහ. නියෝජ්‍ය විදුහල්පතිනිය එම්.ජී තනූජා ප්‍රියන්තිගේ මූලිකත්වයෙන් සිදු කළ මෙම වැඩසටහන්වලී ගුරුවරු තම කාලය ශ්‍රමය පරිත්‍යාග කළේ වැටුපට යටත් නොවෙමිනි.
සාමාන්‍ය පෙළ සිසු දරුවන් සඳහා පාසල මෙහෙය වූ මෙම වැඩ සටහන් අතරතුර වෙනසක් ඇති කරනු වස් දරුවන්ගේ ව්‍යාකූල වූ මනසට අලුත් අත්දැකීමක් එක් කරන්නට සෞන්දර්යාත්මක වැඩ සටහන්, මනෝ උපදේශන වැඩ සටහන් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයම අරමුණු කරගෙන සම්මන්ත්‍රණ දියත් කරන්නට ඔවුහු කටයුතු කළේ කිසිදු සිසුවකු අත් නොහැරය. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැවැත් වූ අමතර වැඩ සටහන්වලදී පාසලේ ගුරුවරුන්ගේ විවිධ අදහස් හුවමාරු කර ගන්නට, සිසුන්ට තමන්ගේ අත්දැකීම් හුවමාරු කර ගන්නට අවස්ථාව ලබා දීමට පාසලේ පැවැත්වූ මෙම වැඩ සටහන් හේතු විය. වසරක් පාසා සපුරා ගත යුතු ඉලක්ක කලින්ම හඳුනා ගෙන ඊට නිසි සැලසුම් යෙදීම රාජසිංහ විදුහල් ජයග්‍රහණය පසුපස ඇති රහසයි.
හංවැල්ල රාජසිංහ විදුහල වූ කලී පොත පතට පමණක් සිසු මනස, සිසු දෑත හුරු කරවන පාසලක් නොවේ. සියලු දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබා දෙන්නට ද අපූරු තෝතැන්නකි. අක්කර ගණනක් පුරා විහිදී ගිය පාසල් පරිසරය හැඩ වී ඇත්තේ සිසු දෑතින් කළ හරිත භූ නිර්මාණවලිනි. අමතර ගස් කොළන් වෙනුවට පාසල් පරිසරය පුරාම විහිදි ඇත්තේ මනා උද්‍යාන ගෙවතුය. එදිනෙදා බත්පතට එකතු කරගන්නා ආහාර පාසල් භුමියේ අපූරුවට වවා ඇත. පරිසර හිතකාමී අපූරු දරු පිරිසක් නිර්මාණය කිරීමෙහිලා පාසල් කළමනාකාරීත්වය ගෙන ඇත්තේ අප්‍රමාණ වෙහෙසකි, කැපවීමකි. සිසු දෑත වෙහෙසමින් නිර්මාණය වූ මේ ගෙවතු වගාවන්හි කෘත්‍රිම පොහොර නොයෙදු නීරෝගි අස්වැන්න වෙන් වන්නේ පාසල් ගුරුවරු හා දරුවන්ගේ නීරෝගි පෝෂණය වෙනුවෙන්මය. වගාවන් සරුසාර වෙද්දී පාසල් බිම පුරා වගාවන්හි අස්වැන්න පොළක් බවට නිර්මාණය වන්නේය.
හංවැල්ල රාජසිංහ මැදි විදුහලේ විෂය බාහිර සංගම් 25ක් ඇති පමණ අතර, විශේෂ වූ ක්‍රීඩා 10ක් පමණ ඇත. හංවැල්ල රාජසිංහ විදුහල බස්නාහිර පළාත් ක්‍රීඩා පාසල වන අතර, සාමාන්‍ය පෙළ සඳහා ක්‍රීඩා හැකියා ඇති දරුවන් ද මේ පාසලට ඇතුළත් වෙති. අනිකුත් සිසුන්ගේ හැකියා පමණක් නොව මේ සිසුන්ගේ ද ක්‍රීඩා කුසලතා නංවමින් පාසලේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල දක්වා ගෙන ඒමට විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන් විශාල කැපවීමක් කළහ. විභාගයට මුහුණ දුන්නද සෑම සිසුවකුටම විෂය බාහිර වැඩ සටහන් කිරීම පාසල මඟින් අත්‍යවශ්‍ය කර ඇත. මෙවර ජයග්‍රහණ පසුපස හඹා ගිය බොහෝ දරුවෝ පාසලේ විෂය සංගම් සාමාජිකයෝ වන අතර දක්ෂ ක්‍රීඩකයෝද ක්‍රීඩිකාවෝ ද වෙති. පසුගිය කාලයේ පාසල ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේ කොවිඩ් අභියෝග මධ්‍යයේය.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ වයලීන වාදන ප්‍රථම ස්ථානය, ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය ගායනා ප්‍රථම ස්ථානය, ජ්‍යෙෂ්ඨ ගිටාර් වාදන දෙවැනි ස්ථානය, සමස්ත ලංකා තරගාවලි නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ වයලීන වාදන දෙවැනි ස්ථානය, ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය ගායනා කුසලතා සහතික,සමස්ත ලංකා බැඩිමින්ටන් 17 න් පහළ තුන් වැනි ස්ථානය මෙන්ම බයිසිකල් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලක්ෂිමා දුලාංජලි, 18 න් පහළ කවපෙත්ත විසි කිරීම දෙවැනි ස්ථානය මේ ජයග්‍රහණ අතර ප්‍රධානය. මේ අතර ප්‍රවීන් මනීෂ සිසුවා පාසල් ක්‍රිකට් සංගමයේ හා ඩයලොග් ක්‍රිකට් තරගාවලියේ 2021 හා 2022 හොඳම ක්‍රීඩක හා 2022 හොඳම පන්දු යවන්නා විය. මීට අමතරව පාසල් ක්‍රිකට් හා සමස්ත ලංකා ක්‍රිකට් තරගාවලි අතරින් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්නට හංවැල්ල රාජසිංහ විදුහලට හැකි විය. මීට අමතරව සමස්ත ලංකා අවසන් පූර්ව වට සඳහා ද සිසුන් විවිධ ඉසවු සඳහා ඉදිරිපත් වූයේ කොවිඩ් අභියෝග මධ්‍යයේය. උඩුකය ප්‍රතිරූප, සන්නිදර්ශන, පොත් කවර, ඇසුරුම් දවටන, ද්‍රව්‍ය බලා ඇඳිම, සාම්ප්‍රදායික චිත්‍ර, භුමි දර්ශන මෙන්ම මෝස්තර නව නිර්මාණ ආදියෙන් ද මේ සිසුහු හපන්කම් දැක් වූයේ පාසලට කීර්තියක් අත්කර දෙමිනි.
සාමාන්‍ය පෙළ පාසල් දරුවන්ගේ ජයග්‍රහණ පිටුපස තිබෙන නොසැලෙන බලවේගය වන්නේ විදුහල්පති ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලය ඇතුළු ගුරු භවතුන්ය. විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන, නියෝජ්‍ය විදුහල්පතිනි එම්.ජී තනූජා ප්‍රියන්ති, නියෝජ්‍ය විදුහල්පති රෝහණ විජේතුංග, නියෝජ්‍ය විදුහල්පති ආනන්ද පීරිස්, නියෝජ්‍ය විදුහල්පති කීර්ති කරුණාරත්න, 11 ශ්‍රේණි අංශ ප්‍රධානී නීලා රංජනී( මේ වන විට විශ්‍රාමික) හා 8-11 අංශ ප්‍රධානී සහකාර විදුහල්පතිනි ලිලන්ති බුලත්සිංහල ඇතුළු හංවැල්ල රාජසිංහ මැදි විදුහල් ගුරු භවතුන් කළ සේවය අගය කළ යුතුය.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න