සංචාරකයන්ට තග දාන ත්‍රි ෙරා්ද රථ රියැදුරන්ගේ කෙරුවාව | සිළුමිණ

සංචාරකයන්ට තග දාන ත්‍රි ෙරා්ද රථ රියැදුරන්ගේ කෙරුවාව

දුම්රියේ යන විදේශීය කාන්තාවක් සෙරෙප්පු ප්‍රහාරයකට ලක්වූ අවස්ථාව සහ ත්‍රිෙරා්ද රථ රියැදුරන්ගේ හිංසනයට ලක්වූ ජර්මන් ජාතික එමරි

මේ සංචාරක ව්‍යාපාරය යන්තම් හිස ඔසවා ගෙන එන මොහොතකි. එහෙත් ඇතැමුන් කරන වැඩ නිසා ලෝකයට ශ්‍රී ලංකාව පිළිබඳ යන්නේ වැරැදි චිත්‍රයකි.පසුගිය පෙබරවාරි 18 වැනිදා ජර්මනියෙන් පැමිණි එමරි නම් විදේශික කාන්තාව සමාජ මාධ්‍යයට මුදා හළ වීඩියෝ පටයෙන් එය තවත් තහවුරු විය. ඇතැම් ත්‍රීවිල් රියැදුරන්ගේ කරදර මදිවට, මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන, පරිසරය විඳිමින් දුම්රියේ ගමන් කරන විදේශික කාන්තාවකගේ මුහුණට තරුණයකු සෙරෙප්පුවකින් දමා ගසන වීඩියෝව ද, පිළිකුල්සහගත ය. 

කෙසේ වෙතත්, ජර්මනියේ එමරිගේ සිදුවීමට අදාළ ත්‍රීවීල් රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව, සංචාරක පොලිස් කොට්ඨාසය භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අතුල ඩී සිල්වාගෙන් දැන ගතිමු.

" ගාල්ලේ ඔය සිදුවීමට අදාළ ත්‍රීවීල් රියැදුරන් දෙදෙනා ගාල්ල පොලිසිය හරහා විමර්ශනය කර අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර, දින දාහතරක් රිමාන්ඩ් කළා. නැවත එවැනි දේ සිදු කළොත් කෙළින්ම රිමාන්ඩ් කරනවා කියන එක, සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට පොලිසිය හරහා මහේස්ත්‍රාත්තුමා දැනුම් දුන්නා.

මෙවැනි දේවල් සිදු වූවොත් ඊට අදාළ වීඩියෝ පටයක් හොඳටම ඇති. දැන් රට පුරා වසම් 42ක සංචාරක පොලිස් ඒකක පිහිටා තිබෙනවා. විශේෂයෙන් කළුතර, උණවටුන, නුවර ඇතුළු සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානවල දිවා රාත්‍රී මුර සංචාර වැඩි කර තිබෙනවා. සංචාරක කොට්ඨාසයේ, පොලිස් නිලධාරීන් 150ක් පමණ ඍජුව සේවය කරන අතර, ප්‍රාදේශීය කොට්ඨාස තුළ තවත් 175 ක් පමණ අනුයුක්ත කර තිබෙනවා.”

මෙවැනි සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ, එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසූයේ මෙවැනි අදහසකි.

“ත්‍රීවීල් රියැදුරන් හා සම්බන්ධ මෙවැනි දේ සිදු වූ හතර හෝ පස්වැනි අවස්ථාව මෙයයි. මේ නිසාම අප සංචාරක පොලිස් කොට්ඨාසය සමඟ වැඩපිළිවෙළක් ආරම්භ කළා. නුවරින් ඒ වැඩසටහන ආරම්භ කළා. එයට අනුව, ත්‍රීවිල් රියැදුරන් තමන්ට අදාළ නගර සභාවේ ලියාපදිංචි කිරීම සහ ඒ අය හඳුනා ගැනීමේ පහසුව සඳහා, ඔවුන්ගේ ලියාපදිංචි අංකය සහ ඡායාරූපය ත්‍රිවීලරයේ පිටුපස සඳහන් කිරීම සහ ජැකට් එකක් පැලඳ සිටීම අනිවාර්යයයි. අප මෙය ආරම්භ කර තිබෙන්නේ නුවර පළාතෙන්. ඊළඟට පළාත් නවයේම මෙය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සංචාරක හෝටල් පාසල හරහා යම් පුහුණුවක් දෙන්නත් වැඩපිළිවෙළක් සැලසුම් කරමින් තිබෙනවා.

ලෝකෙට මේ නරක පණිවුඩය ගියොත්, සංචාරක ව්‍යාපාරය ම ආපහු කඩාකප්පල් වෙනවා. මෙවැනි අයට දැඩි දඬුවම් ක්‍රියාත්මක වනවා. පළාත් නවය තුළ ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ, ත්‍රීවිල් රියැදුරන්ගේ ආකල්පමය වෙනසක් අප බලාපොරොත්තු වනවා. විශේෂයෙන් නුවරින් පටන් ගත් වැඩසටහන තුළ මල්වත්ත, මාලිගාව ළඟ සහ කුවින්ස් හෝටලය වගේ තැන් හඳුනාගෙන තිබෙනවා.

නුවරින් ආරම්භ කළ ත්‍රීවීල් රියැදුරන් ලියාපදිංචි කිරීමේ පළමු පියවර පිළිබඳ, නුවර හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති, රොඩ්නි ආම්ස්ට්‍රෝන් පැවසූයේ මෙවැනි අදහසකි.

" තවමත් හුඟක් ත්‍රිරෝද රථ රියැදුරන් සිටිනවා, නගර සභාවේ ලියාපදිංචිය නැති. නුවර කියන්නේ විදේශ සංචාරකයන් නිතර ගැවසෙන තැනක්. ඒ නිසා අපි නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ට දැනුම් දී තිබෙනවා, සියලුම දෙනා ඒ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස. සෑම ත්‍රිරෝද රථයක් පිටුපසම එයාගේ නම ලියාපදිංචි අංකය සහ ඡායාරූපයක් සඳහන් කරන්න යෝජිතයි. ටැක්සි මීටරය අනිවාර්යයි. ඒ වගේම QR code එකක් ලබා දෙනවා. පුළුවන් වුණොත් යුනිෆෝම් එකත් අපිම දෙනවා. මේ අය තේරුම් ගන්නට ඕනේ, ටුවරිසම් හරි ගියොත් තමයි, මේ අයට හයර් තිබෙන්නේ.”

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති, මනෝජ් මැද්දගේ පැවසුවේ මෙවැනි අදහසකි. 

"ටුවරිසම් කියන්නේ බොහෝ දෙනකුට ආයෝජනයක් නැතිව කරන්න පුළුවන් රැකියාවක්. සීගිරිය පෙන්නුවා, ඩොලර් තිහක් ගත්තා. අනුරාධපුරය පෙන්නුවා ඩොලර් 25 ක් ගත්තා. එවැනි පහසුවෙන් ඩොලර් උපයන්නට පුළුවන් මේ රටට සංචාරකයන් එනවා නම් පමණයි. කණ්ඩායම් වශයෙන් එන සංචාරකයන්ට ලියාපදිංචි මාර්ග උපදේශකයන් ගේ ආරක්ෂාව ලැබෙනවා. නමුත් නිදහසේ ඇවිදින සංචාරකයන්ට මෙවැනි ආරක්ෂාවක් නැහැ. ප්‍රශ්න වැඩියි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මෙයට යම් නියාමනයක් කළ යුතුයි. ඔවුන් මේ සඳහා වහා මැදිහත්විය යුතුයි. 2018 -19 වසරේ ලංකාව තමයි හොඳම ගමනාන්තයක් සහිත රට බවට පත් වුණේ. මේ වගේ සිදුවීම් නිසා රටේ ගෞරවය නැති වෙන්න දෙන්න බැහැ."

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

"විදේශිකයකුට නෙවෙයි මොන මනුස්සයකුට කළත් මේ ඉතාම නින්දිත ක්‍රියාවක්. ඇත්තටම රටට ද්‍රෝහී ක්‍රියාවක්. අපි රජයට කියන්නේ නැවත නොවෙන්නත්, අනෙක් අයට ආදර්ශයක් වෙන්නත්, දෙන්න තිබෙන උපරිම දඬුවම් ඔවුන්ට දෙන්න කියලයි. ඔය වගේ අය වෘත්තීය රියැදුරන් නෙවෙයි. ඔවුන් අපේ සංගමයේ අයවත් නෙවෙයි. වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ මම ත්‍රි රෝද රථ නියාමනය පිළිබඳ දිගින් දිගටම රජයට කතා කළා. නමුත් කිසිදු ඵලක් නැහැ. පාලකයන් කනකට ගත්තේ නැහැ. ඒවායේ ප්‍රතිඵල තමයි මේ. දැන්වත් ත්‍රි රෝද රථ නියාමනයට ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කරන එක රජයේ වගකීම. "

Comments