ලෙඩ ගොඩක් හදා මනසුවත් නසන පැණි රසටම ආස හිතෙන නරක පුරුද්ද | සිළුමිණ

ලෙඩ ගොඩක් හදා මනසුවත් නසන පැණි රසටම ආස හිතෙන නරක පුරුද්ද

ච්චර පැණි රහ කන එක ඒ හැටි හොඳ වැඩක් නම් නෙවෙයි. ලොකු විනාසයක් වෙන්නෙ!"

"ඉතින් මට දියවැඩියාව තියෙනවායැ. අනෙක මං මගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත්, පොඩි වැරැද්දකට තියෙන්නේ පැණි රස කෑම තමයි." 

"ඒකම තමයි මම කියන්නෙත්. ඔය කේන්ති යන එක, හිටි ගමන් බුම්මාගෙන ඉන්න එක වුනත් ඔය සීනි කෑමේ ප්‍රතිපලයක් ඔන්න!"

මේ කතා බහේ හැටියට වැඩිපුර පැණි රස කන්නට ඇබ්බැහි වීම මානසික ආතතියට හෝ මානසික පීඩනයට හෝ පවා හේතු වන්නේ යැයි ඉඟි දෙන බව ඔබට වැටහී යනු ඇත. බාග විට එය ඇතමකු පුදුමයට පත් කරන්නට පවා සමත් වනු ඇත. එහෙත් ඇතැම් අධ්‍යයන හරහා ඔප්පු වී ඇත්තේ වැඩිපුර සීනි අන්තිමේදී අපේ මන සුව නසන්නට ද හේතු විය හැකි බවය.

සීනි යනු ඇතමකුගේ දිව නටවන එහෙත් තවත් කෙනකුගේ මුළු ජීවිතයම වනසා දමන්නට හැකි තරමේ තිත්තක් ගෙන එන්නකි. අද කාලයේ තරගකාරී ජීවන රටාවත් සමඟ ආහාරවල පෝෂණ ගුණය අමතක කිරීම හේතුවෙන් අපට අත්විඳින්නට සිදු වී ඇති සෞඛ්‍ය ගැටලු මෙපමණකැයි කිව නොහැකි තරම්ය. සීනි භාවිතය එහි එක් ප්‍රධාන වගඋත්තරකරුවෙකි.

සාමාන්‍යයෙන් සීනිවල හානිය දැනෙන්නේ ඇඟට බව අප බොහෝ දෙනා දන්නා, විශ්වාස කරන කාරණයයි. දියවැඩියාව, ස්ථුලතාව, හෘදය සම්බන්ධ ගැටලු මෙන්ම තවත් බොහෝ රෝගාබාධවලට එය හේතු වෙයි. එහෙත් මේ කතාබහට ලක් වෙන්නේ මේ සීනි කෑම මානසික ගැටලු පවා උපදවන්නට හේතු විය හැකි බවයි. 

දිව පිනවීම හොඳ තුරුම්පුවක් ලෙස තේරුම් ගත් බොහෝ සමාගම් සිය නිෂ්පාදනවලට සීනි අඩංගු කිරීමේ කලාව බොහෝ අපූරුවට සිදු කරන බව අමුතුවෙන් නොකිව යුතු කාරණයකි. එය දිවට රසයක් ගෙන එන නමුත් අපේ බඩවැල්වල සිටින ක්ෂුද්‍ර ජීවීන්ට අන්තිම අගුණය. මිනිස් මොළය හා බඩවැල්වල ක්‍රියාකාරීත්වය අතර ඇති සහසම්බන්ධතාව හේතුවෙන්, එහි ප්‍රතිඵලයක් හැටියට ආතතියත් කාංසාවත් ඇති විය හැකි බව මේ අලුත් හෙළිදරව්වෙන් කියැවෙයි.

ශරීරයට ඇතුළු කර ගන්නා සීනි ග්ලූකෝස් හා ෆෘක්ටෝස් වශයෙන් බෙදා වෙන් කර ගන්නේ අපේ බඩවැල් විසින් බව අප අසා ඇත. ශක්තිය නිපදවීම පිණිස සෛලවලට ග්ලූකෝස් නිකුත් කරන්නට උදවු වන අග්න්‍යාසයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නේ අප ලබා ගන්නා සීනි ප්‍රමාණයයි. එහිදී නිපද වෙන අමතර ග්ලූකෝස් ග්ලයිකෝජන් හා මේදය වශයෙන් තැන්පත් වෙයි.

සීමාවක් හෝ පාලනයක් නොමැතිව අසීමිත සීනි පරිභෝජනයට හුරු වූ විට සිදු වන්නේ අග්න්‍යාසයට හිස ඔසවන්නට හෝ නොහැකි තරමේ වැඩ කන්දරාවක් ගොඩ ගැසීමය. කෙසේ හෝ වේවා ඔයින් මෙයින් අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නගින්නට පටන් ගනී. මේ ආකාරයෙන් රුධිරයේ ග්ලූකෝස් දර්ශකය ඉහළ යෑම අපේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියා හා ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අයහපත් බලපෑමක් ඇති කරයි. උදාහරණයක් වශයෙන් පවසතොත් Erysipelotrichaceae වැනි, බඩවැල්වල පිළිකා ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නට හෝ පරිවෘත්තිය ක්‍රියාවලියේ ගැටලු ඇති වන්නට ද ඉඩ තිබේ.

මේ සම්බන්ධයෙන් බොහෝ අධ්‍යයන සිදු කර ඇති අතර, ඉවායිලෝ ඉවානොව් ඇතුළු පර්යේෂක පිරිසක් හෙළිදරව් කර ඇත්තේ සීනිවල අපේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන එකිනෙකට බැඳුණු ක්‍රියාවලි කීපයක් අවසානයේ එය සිරුරේ අධිකතර මේදය ඇති වීම සඳහා බලපාන බවයි.

මෙහිදී Th17 නමින් හැඳින් වෙන සුවිශේෂී ප්‍රතිශක්ති සෛලයක් ගැන කතාබහක් ඇති වෙයි. හිතකර ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරී ලෙස රැඳී සිටින්නේ බඩවැල්වල ඇති මේ සෛල සමඟය. ප්‍රතිශක්තිය සම්බන්ධ ක්‍රියාකාරීත්වයට අමතරව Th17 අපේ බඩවැල්වල ලිපිඩ උරා ගැනීම අවහිර කරයි. එයින් පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය සම්බන්ධ රෝගාබාධ, සිරුරේ බර වැඩි වීම, දෙවැනි ප්‍රභේදයේ දියවැඩියාව ආදී ගැටලු ගණනාවක් පාලනය වෙයි. එහෙත් අපේ සීනි කෑම වැඩිවත්ම වෙනත් බැක්ටීරියාවල ශක්තිය ඉහළ ගොස් Th17 ක්‍රියාකාරීත්වය අඩ පණ වෙයි.

බඩවැල්වල හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේත් Th17 සෛලවලත් ක්‍රියාකාරීත්වය හීන වීමත් සමඟබැක්ටීරියා හා විවිධ විෂවර්ග බඩවැල්වල පටක හරහා ගමන් කොට ලේ දහරාවට එක් වන්නට පවා ඉඩ තිබෙන බව පැවසෙයි. ඉන්පසු සිරුර ක්‍රමයෙන් හදවත් රෝග, ආතරයිටිස්, දියවැඩියාව, බඩවැල්වල පිළිකා වැනි රෝගවලට අවනත වන්නට පටන් ගනී. එහි ඇති අනෙක් අයහපත් තත්ත්වය වන්නේ ඩිමෙන්ෂියා, ඇල්ෂයිමර් හා පාර්කින්සන් වැනි මානසික රෝග තත්ත්වයන් ද හිස ඔසවන්නට පටන් ගැනීමය.

විශාදය හා සීනි අතර ද ඇත්තේ ප්‍රබල සබඳතාවකි. ඊට පසුබිම් සැකසෙන්නේ අපූරු ආකාරයකිනි. පැණි රසට ඇති ලොල් බව ක්‍රියාත්මක වන්නේ එක්තරා දුෂ්ට චක්‍රයක ආකාරයෙනි. සීනි රසයට, පැණි රසයට ඇති ලොල් බව ක්‍රම ක්‍රමයෙන් තීව්‍ර වන්නකි. එහි ලක්ෂණය වන්නේ වඩ වඩාත් මේ ආශාව ඉහළ යෑමයි. වැඩි වැඩියෙන් පැණි රස ගිල දැමීමේ අවශ්‍යතාව ඇති වීමයි. මේ හැසිරීම් පිළිවෙළ අපේ සිතිවිලි ස්වභාවය විටින් විටම වෙනස් කරන්නට හේතු වෙයි. ආශාව ඉෂ්ට කිරීම එනම්, පැණි රස නිරන්තරව ලබා දීමෙන් හට ගන්නා තෘප්තිය හේතුවෙන් ඊළඟට සිදු වන්නේ ඩොපැමින් හෝර්මෝනය වැඩි වශයෙන් මුදා හැරෙන්නට පටන් ගැනීමයි.

අධ්‍යයන ගණනාවක්ම මේ පිළිබඳ අපූරු හෙළිදරව් සිදු කර තිබෙනු අපට දකින්නට පුළුවන. අධිකතර ලෙස සීනි හෝ සීනි එක් කළ ආහාර පරිභෝජනය මොළයේ රසායනවල අසමබර බවක් ඇති කරන්නට හේතු වෙයි. මේ අසමබර බව මානසික ආතතියට ද එතැනින් නොනැවතී බොහෝ දීර්ඝකාලීන මානසික සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට ද හේතු විය හැකිය.

2017දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කෙළේ දිනකට ග්‍රෑම් 67ක් හෝ ඊට ඉහළ ප්‍රමාණයක පැණි රස පරිභෝජනය කරන පිරිමි තැනැත්තන්ගෙන් 23%ක් වසර පහක කාලයක් ඇතුළත ආතතිය සම්බන්ධ මානසික ප්‍රතිකාර සඳහා යොමු වන බවය.

මේ අධ්‍යයනය සිදු කළේ පිරිමි තැනැත්තන් සම්බන්ධයෙන් වුවත් කාන්තාවන් ද එයාකාරයෙන්ම අධික පැණි රස ඇබ්බැහිය නිසා මානසික ආතතිය වැනි ගැටලුවලට මුහුණ දෙන බවය.

තවත් අධ්‍යයනයකදී ඒ හා සම්බන්ධ වෙනස් ආකාරයක එළිදරව්වක් සිදු කෙරිණි. ශරීරයේ BDNF (Brain-derived neurotrophic factor) නැමැති ප්‍රෝටිනය අඩු මට්ටමකින් ඇති පුද්ගලයන්ට සීනි කෑම ඒ හැටි හොඳ නැති බවය. අධිකතර සීනි පරිභෝජනය එබඳු තැනැත්තන් තුළ මානසික ආතතිය ඇති කරන්නටද, පසුකාලීනව ස්කිසෝෆ්‍රීනියා වැනි තත්ත්වයන්ට ඔවුන් ඇද දමන්නට පවා ඉඩ තිබෙන බව සඳහන් වී තිබුණි.

කාංසාවෙන් පෙළෙන පුද්ගලයන් සාමාන්‍යයෙන් කනස්සල්ල, තිගැස්ම හා කලබලය මෙන්ම වුවමනාවට වඩා වැඩි පරීක්ෂාකාරී බව යන ලක්ෂණ පෙන්වන බව අප දන්නා කාරණයකි. සීනි හා පැණිරස වැඩිපුර ආහාරයට ගත් විට සිදු වන්නේ ඇඩ්‍රිනලින් ක්‍රියාකාරීත්වය ඉහළ යෑම හරහා කාංසා තත්ත්වය වඩා ඉහළ යෑමය. ඔප්පු වී ඇති තවත් කාරණයක් වන්නේ සෘණාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති බිය ඉහළ නංවන්නට සීනි හේතු වන බව ය. මේ සෘණාත්මක හැඟීම් යනු අසාර්ථක වේයැයි පවතින බියය.

එය කාංසාව සමඟ බැඳී තිබෙන තත්ත්වයකි. අනෙක් අතට අධිකතර සීනි පාරිභෝජනය ශාරීරික වෙහෙස, ඇස් පෙනීම බොඳ වීම හා පැහැදිලි හෝ පහසු තීරණ ගැනීමෙහිලා අසීරු බවක් දැනීම යන කාරණා සම්බන්ධයෙන් ද එක් වරදකරුවකු වන්නේ සීනිය.

පොඩි ළමයින්ට ඔය හැටි සීනි දෙන්නට එපා යැයි වැඩිහිටියන් කෑ ගසනු අප අසා නැතුවා නොවේ. එහිදී බොහෝ විට කියැවෙන්නේ දත් නරක් වීම ගැනය. එහෙත් එය මතකය පිළිබඳ ගැටලු ඇති කරනවා යැයි අසන්නට ලැබීම මේ අසා හුරුපුරුදු කතන්දරයේ සැබෑ අරමුණ වන්නට ද ඉඩ ඇත. ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය (University of California, Los Angeles) පර්යේෂක කණ්ඩායමක් මතකය හා සීනි අතර ඇති සම්බන්ධය සොයා බලන්නට පරීක්ෂණයක් සිදු කර තිබේ. මෙහිදී තෝරා ගනු ලැබූ මීයන් කණ්ඩායමකට සති හයක් මුළුල්ලේ ලැක්ටෝස් ද්‍රාවණයක් ලබා දෙන්නට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලය වශයෙන් දැකගන්නට ලැබුණේ අර පරීක්ෂණ වංකගිරියේ (maze) පාර සොයා ගෙන යන්නට පවා උන්ට නොහැකි වූ බවය. මේ හා සමාන්තරව පෝෂ්‍යදායී ආහාරයකින් බඩකට පිර වූ මී රංචුව කිසිදු අපහසුතාවකින් තොරව ඒ වංකගිරිය මතක තබා ගන්නට සමත් වී තිබුණි.

මොළයේ පිහිටා තිබෙන රස ප්‍රතිග්‍රාහක නිරන්තර හා අධිකතර සීනි මට්ටම් දරා ගන්නට සමත් නොවේ යැයි අසන්නට ලැබීම පුදුමයක් විය හැකිය. එහෙත් 2012 වසරේදී විද්‍යාගාර මීයන් යොදා ගෙන සිදු කළ තවත් එක්තරා පර්යේෂණයකදී (Intense Sweetness Surpasses Cocaine Reward : Magalie Lenoir) අවධානය යොමු කර තිබුණේ මේ තත්ත්වය පිළිබඳ සැක හැර දැන ගන්නටය. මෙහිදී එකී පර්යේෂකයන් පවසා ඇත්තේ සීනිවලට ඇති ඇබ්බැහිය කොකේන් නැමති මත්ද්‍රව්‍යයට ඇති ඇබ්බැහියට වඩා ඉහළ හා ප්‍රබල බවය.

මේ ඇබ්බැහිය අපට දෙආකාරයකින් අපේ මානසික සුවය බිඳ දමන්නට හේතු වෙයි. එකක්, ස්වභාවයෙන්ම එය අපේ මනසට ඇති කරන අයහපත් බලපෑමය. අනෙක් අතට " වැඩි - සීනි " අපේ ගත ලෙඩ කර දැම්මායින් පසුව අපට අත්විඳින්නට සිදු වන්නේ ඊට එහා ගිය කනස්සල්ලකි. මන සුව මෙන්ම ගත සුව උදෙසා පැණි රස අතේ දුරින් තබා ගැනීම වරදක් නොවේ.

Comments