
සිංහල සිනමාව නැවත ඔසවා තැබීමේ පියවරක් වශයෙන් පැරණි චිත්‍රපට නැවත විකාශනය කිරීම ආරම්භ කළා
- රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල
අදියර තුනක් යටතේ සිනමාව නඟා සිටුවන්න දැනටමත් වැඩ කටයුතු සම්පාදනය කරමින් ඉන්නෙ. පළමු අදියර දැනටමත් ක්‍රියාත්මකයි
- ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන
ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයකට අනුව ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය එක්ව සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේ එක් පියවරක් වශයෙන් මෙරට සිනමාවේ විශේෂ සන්ධිස්ථානයන් සලකුණු කළ පැරණි ජනප්‍රිය චිත්‍රපට නැවත පෙන්වීම ආරම්භ කර ඇත.
ඒ පිළිබඳ 'සිළුමිණ' රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල ගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ අදහසක් අනුව සිංහල සිනමාව නැවත ඔසවා තැබීමේ පියවරක් වශයෙන් පැරණි චිත්‍රපට නැවත විකාශනය කිරීම ආරම්භ කළ බවයි. ඒ අනුව සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9.30ට එදින විකාශනය වන සිනමා පටය පිළිබඳ ඊට සම්බන්ධ වූ කලාකරුවන් සමඟ කෙටි පිළිසඳරක් පවත්වා ප්‍රවීණ සිනමා විචාරකයකු සමඟ ඒ පිළිබඳ අදහස් දැක්වීම සිදු කරන බවත්; අවසානයේ රාත්‍රී 10.00 ට සිනමාපටය විකාශනය කරන බවයි. වත්මන් පරපුරට සිංහල සිනමාව සමීප කරවීම හා ඉන් නව අදහස් උකහා ගෙන උසස් නිර්මාණ කිරීමට ඔවුන් පෙලඹවීම මෙම ප්‍රයත්නයේ අරමුණ වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යංශ්‍යට පත් වූ වහාම රජයේ මාධ්‍ය ආයතනවලින් සිංහල සිනමාව නඟා සිටුවීම වෙනුවෙන් යම්කිසි මැදිහත් වීමක් කළ යුතු බවට යෝජනා කළ බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් තුන් ආකාරයක වැඩසටහන් ආරම්භ කළ බවත් ඒ අනුව දැනට තිරගත වන චිත්‍රපට පිළිබඳ හා පොදුවේ සිනමාව පිළිබඳ සහ සිනමා කර්මාන්ත නඟා සිටු වීම පිළිබඳ පුළුල් කතිකාවක් නිර්මාණය කළ බවත් සභාපතිවරයා පැවසුවේය. ඒ වෙනුවෙන් ඉරිදා දවල් 11.00 ට ඉඩ වෙන්කර දී ඇති බවත් දෙවැන්න, අනාගතයේ හැදෙන චිත්‍රපට එහි කටයුතු ආරම්භ වන මොහොතේ සිට අවසානය වන තෙක් ඒ පිළිබඳ යාවත්කාලීන කරමින් පුළුල් ප්‍රචාරණයක් ලබා දීම මෙන්ම ඒවා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පෙන්වීමට ද කටයුතු කිරීමට සැපසුම් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා ගිවිසුම්ගත වෙමින් සිටින බව පැවසූ හෙතෙම තුන් වැනි පියවර ලෙස පැරණි චිත්‍රපට නිරන්තරයෙන් පෙන්වීම ක්‍රියා කරන බවයි. මේ වනවිට එහි පළමු වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර, දෙවැන්න සැලසුම් මට්ටමේ පවතින අතර, තුන් වැන්න පෙබරවාරි මාසයේ ආරම්භ කළ බවයි.
ඒ අනුව ඔවුන් වැඩි අවධානය යොමු කළේ වාණිජ සිනමාව නැවත සිහි කැඳවීමට බවත් විශේෂයෙන්ම 60-70-80 දශකවල නිර්මාණය වූ සිනමාපට පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ බවත් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය. ආරම්භයක් වශයෙන් පෙබරවාරි 16 වැනිදාට යෙදෙන විජය කුමාරණතුංග සමරුව නිමිති කරගෙන විජය රඟපෑ බොහෝ දෙනකුට මඟ හැරුණ සහ වත්මන් පරම්පරාව දැක නැති චිත්‍රපට කිහිපයක් තෝරා ගෙන පෙන්වීමට කටයුතු කර තිබිණ. ඒ අනුව ‘සිනමා වසන්තය’ තුළින් පසුගිය 17 වැනිදා රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනියේ තිරගත වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් අධ්‍යක්ෂණය කළ සංදේශය චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය තිරගත වූයේ 1960 මාර්තු 30 වැනිදාය. කේ. ගුණරත්නම් සිනමාස් නිෂ්පාදනයකි. කතාව, තිර රචනය ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම සහ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යන තිදෙනාගේම දායකත්වයෙන් සිදු වූවකි. දෙබස් කේ. ඒ. ඩබ්ලිවු පෙරේරාගේ වූ අතර කැමරාකරණය විලී බ්ලේක් ගේය. සංස්කරණය ටයිටස් තොටවත්ත සහ සුමිත්‍රා පීරිස්ගේය. කලා අධ්‍යක්ෂණය ආරියවංශ වීරක්කොඩිගෙනි. ගී තනු නිර්මාණය සුනිල් සාන්ත විසින් සිදු කළ අතර, සංගීත සංයෝජන සහ අධීක්ෂණය ආර්. මුත්තුසාමිගේය. පසුබිම් සංගීතය කේ. ඒ. දයාරත්න ගේ වූ අතර ගීත පදමාලා අරිසෙන් අහුබුදු සුරුවාණන්ගේය.
මෙහි ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, ෂේන් ගුණරත්න, අයිරාංගනී මීදෙණිය( සේරසිංහ) හියුගෝ ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති, ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා, වින්සන්ට් වාස්, තිලකසිරි ප්‍රනාන්දු, තිස්ස උඩංගමුව මෙන්ම පෘතුගීසි බලකොටුවේ කපිතාන් ආතර් වැන්ලැන්ගම් බර්ග් හා ලයිතාන් රෙග් වැන්ක්‍යුලන් බර්ග් ආදීන් රංගනයෙන් දායක විය.
කෝ හතුරෝ , රෑන ගිරා රෑන අඹේ මී බිබී, රැජින මමයි අපේ රාජ්ජේ, පුන්සඳ එළියයි එන මඳ සුළඟයි, පෘතුගීසිකාරයා ආදී ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟි ගීත මෙහි විය. අහුබුදුවන්ගේ මධුර මනෝහර ගේය පද රචනාවන් සුනිල් සාන්තයන්ගේ සුමිහිරි තනුවෙන් හැඩ වූ අතර, පසුබිම් සංගීතය කේ.ඒ. දයාරත්නගේය. වාද්‍ය මණ්ඩලය මෙහෙය වීම ආර්. මුත්තුසාමිය. ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, එච්.ආර්.ජෝතිපාල, සිඩ්නි ආටිගල ආදීන්ගේ සුමධුර ගායනයෙන් සංදේශය ප්‍රභාමත් විය.
සිනමානුරූපී බවින් ද, ගීත ඉදිරිපත් කිරීමේ නැවුම් සිනමානුරූපී ස්වභාවය ද සංදේශයෙහි පැවති ප්‍රශස්ථ ලකුණකි. සිනමාවට නැඟුණු ඓතිහාසික කතා පුවතක් රැගත් තෙවැනි සිංහල චිත්‍රපටය සංදේශයයි. සිංහල සිනමා වංශ කතාවේ වැදගත් මංසලකුණක් සනිටුහන් කළ සංදේශය ජාතික රූපවාහිනිය විසින් විකාශනය කිරීමට කටයුතු කිරීම පැසසිය යුත්තකි.
ජාතික රූපවාහිනියේ විකාශනය වන මීළඟ සිනමා පටය වන්නේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයයි. 1980 ජූලි 24 වැනිදා තිරගත කෙරුණු මෙම චිත්‍රපටය ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ අතර ඔහගේම තේමාවක් ආශ්‍රයෙන් ධර්මශ්‍රී මුණසිංහ ලියු තිර රචනයකි. ආනන්ද අබේනායක නිෂ්පාදනයෙන්ද, වී.වාමදේවන් කැමරා කරණයෙන්ද, ඩී.බී.නිහාල්සිංහ සංස්කරණයෙන්ද , එරල් කෙලි කලා අධ්‍යක්ෂණයෙන්ද, ශේෂා පලිහක්කාර අංග රචනයෙන්ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද මීට දායක විය. මෙයට මුලින් ලබා දී තිබූ නම වූයේ ‘සිතම්බ්බරපට’ ය. මේ සඳහා දක්ෂ නළු නිළියන් පිරිසකට ඉව ඇල්ලූ ගාමිණි ෆොන්සේකා එහි ප්‍රධාන චරිත ද්විත්වයේ වගකීම තමන් වෙතම පවරා ගත්තේය. සෙසු චරිත සඳහා වීණා ජයකොඩි, කමල් අද්දරආරච්චි, ටෝනි රණසිංහ, අනුෂ්කා මැදිවක, අයිරාංගනී සේරසිංහ, ඉයන් වික්‍රමනායක, සෝමසිරි දෙහිපිටිය, අමරසිරි කලන්සූරිය, මර්වින් ජයතුංග, ශාන්ති ලේඛා, කරුණාරත්න හගවත්ත, ෂෙල්ටන් කැකුනාවෙල , ධර්මශ්‍රී මුණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, සොමි රත්නායක, මහේන්ද්‍ර පෙරේරා ආදී දක්ෂ නළු නිළියන් කැලක් තෝරා ගැනිණ.
ඇමති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය වෙස් ගැන්වීමේදී එවකට සිටි ප්‍රබල අමාත්‍යවරයකුගේ රූපයට සමාන ලෙස වෙස් ගැන්වී තිබුණා යැයි යන සැකය නිසා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ හෙයින් ‘සාගරයක් මැද’ චිත්‍රපටය කෙරෙහි විශාල ප්‍රේක්ෂක අවධානයක් ලැබී තිබිණි.
එළඹෙන මාර්තු මස 03 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශනය වන්නේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයයි. මෙය ධර්මසේන පතිරාජ අතින් නිමැවුණු සිනමා කාව්‍යයකි. 1978 අගෝස්තු මස 11 වැනිදා තිරගත වූ බඹරු ඇවිත් චිත්‍රපටයේ කතාව, දෙබස්, රචනය සහ අධ්‍යක්ෂණය ධර්මසේන පතිරාජගේය. ධර්මසේන පතිරාජ තිලක් ගොඩමාන්නගේ විසින් නිෂ්පාදනය කළ මෙහි තිර රචනය ධර්මසේන පතිරාජ සහ මාලිනී පතිරාජගේය. සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේය. කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්නගේ වන අතර සංස්කරණය සෙක්ස්ටස් අපොන්සුගෙනි. මෙය විජය චිත්‍රාගාරයෙදී නිර්මාණය කෙරිණි. මෙහි රඟපෑ නළු නිළියන් වූයේ විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය, විමල් කුමාර් ද කොස්තා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, රූබි ද මෙල්, සෝමසිරි දෙහිපිටිය, එස්. එච්. ජෝතිපාල, දයා තෙන්නකෝන්, පියසේන අහංගම, දයා අල්විස්, ඩබ්ලිව්. ජයසිරි, වින්සන්ට් වාස්, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර, නීලවතුර විජේවර්ධන, එස්. ඒ. ජේමිස් ය.
සිනමා වසන්තයට සමගාමීව 11 වැනිදා ස්වාධීන රූපවාහිනියේ දහවල් 01.00ට විකාශනය කෙරුණේ සිකුරුලියා චිත්‍රපටයයි. එය තිරගත වූයේ 1975 සැප්තැම්බර් 27 වැනිදාය. ඒ අදින් වසර 47ට පෙරය. ලංකාවේ දෙවැනි සිනමාස්කෝප් චිත්‍රපටය වූයේ සිකුරුලියා චිත්‍රපටයයි.
මෙය එච්. ඩී .ප්‍රේමරත්නයන්ගේ කුලුඳුල් සිනමා සිත්තම විය. ‘සිකුරු ලියා’ චිත්‍රපටයේ කථා තේමාව සැකසෙන්නේ උම්මග්ග ජාතකයේ එන ‘කාල ගෝල දික්තලා’ කතාවෙනි. ලකුණ්ටකයෙක් (අඟුටුමිට්ටකු) රූමත් කාන්තාවක පිළිබඳ සිතක් ඇති වී ඇයට ආදරය කර දුකට පත්වන ආකාරය එහි දැක්වේ. මෙහි මිනිසුන් තිදෙනෙකුගේ අතින් අතට මාරුවෙන ස්ත්‍රියකගේ චරිතයට සුවිනීතා පණ දුන්නේ අද්විතීය ආකාරයෙනි. මුළු සිනමා පටයම ගොඩනැඟී තිබුණේ මෙම ස්ත්‍රිය වටාය.
රියදුරු බර්ටි වූ ජෝ අබේවික්‍රම තම සුපුරුදු ප්‍රතිභාවය මනා ලෙස ප්‍රකට කළ අතර, පාල ලෙස රඟපෑ විජය කුමාරණතුංගට එම චරිතය තුළ විශාල පරාසයක් පිරවීමට නොතිබුණි. එහෙත් ඔහුගේ ආකර්ෂණය, චිත්‍රපටයට ගෙන ආවේ ප්‍රභාවකි. ෂෝට් හෙවත් දනිත් පුංචි හාමු ලෙස රඟපෑ බන්දුල ගලගෙදර, තේමාවට උචිත ලෙස රංගනයේ යෙදිණි. රොබින් ප්‍රනාන්දු, රූබි ද මෙල්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, දෙනවක හාමිනේ, තලතා ගුණසේකර, ගාමිණී ගනේගොඩ, ජෝ දඹුලුගල, බැසිල් ද සේරම්, බර්ටි ගුණතිලක, ඇග්නස් සිරිසේන, මෙම නිර්මාණයට විශිෂ්ට ලෙස දායක වී තිබුණි. ලාංකේය සිනමා සංගීතයට නැවුම් ලකුණක් තබමින් ක්ලැරන්ස් විජේවර්ධනගේ මෙහි සිය හැකියාව දිග් විජය කළේය. මෙම චිත්‍රපටය තිරගත වී නොබෝ දිනකින් කාගෙත් තුඩ තුඩ රැව් දුන් ගීතය වූයේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගැයූ “කොමල ලියා බොලඳ ලියා ගීතයයි. එහි පදරචනය ජ්‍යේෂ්ඨ මධ්‍යවේදී සිළුමිණ ආධිකතෘක ධර්මසිරි ගමගේගේය. තනුව ක්ලැරන්ස් විජේවර්ධනගේ ය. මෙම චිත්‍රපටය සාර්ථකව නිම කිරීමත් සමඟ එච්.ඩී ප්‍රේමරත්න ‘මැද මාවතේ’ සිනමාකරු ලෙස විරුදය ලැබුවාය.
මෙහිදී විකාශනය කෙරෙන දෙවැනි සිනමාපටය වන්නේ සිරිල් පි.අබේරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘සුසී’ චිත්‍රපටයයි. 1974 අගෝස්තු මස 16 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටයෙහි විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, එඩී ජයමාන්න, පර්ල් වාසුදේවි, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, එඩී ජූනියර්, නෙලී ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, නෙල්සන් කරුණාගම, අනූෂා ගීතාංජලී, රොෂාන් ඉද්දමල්ගොඩ, බී. ඇස්. පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, හිල්ඩා ඇග්නස්, ෆරීනා ලායි, විජේරත්න මලගම, ෆ්‍රෑන්ක් මිහිරිතැන්න, වසන්තා වික්‍රමසිංහ, කිංස්ලි ජයසේකර රංගනයෙන් දායක විය. එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා ගීත ගායනයෙන් ද කරුණාරත්න අබේසේකර සහ සිරිල් පී. අබේරත්න ගීත රචනයෙන් දායක විය. ඇතුළත් වූ ගීත සංඛ්‍යාව 07කි.
මෙහි කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්නගේය. සංගීත අධ්‍යක්ෂණයෙන් එම්.කේ.රොක්සාමි, නර්තනයෙන් ෆරිනාලායි, ගීත තැටිගත කිරීමෙන් කේ. බාලසිංහම්, දායක වූ අතර චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා වූයේ නෙල්සල් කරුණාගම ය. කැමරා සහාය ලලිත් ගුණවර්ධන, සංස්කරණ සහාය ගාමිණී ජයමාන්න, නිෂ්පාදන කළමනාකරු එම්. අගස්තියර්, වේෂ නිරූපණය රෙජී සිල්වා, නිෂ්චල ඡායාරූප ඒ. කුමාරසිංහ ශබ්ද පරිපාලනය කේ. පී. කේ. බාලසිංහම්, රසායනාගාර එස්. තිරනාවුකරසු, රසායනාගාර සහාය රාජරත්නම් යන අයගෙනි. මෙම චිත්‍රපටය විජය චිත්‍රාගාරය විසින් සැකසූ අතර, සිලෝන් තියටර්ස් 2 වැනි මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී තිරගත කිරීම් ඇරැඹීය. මංගල දර්ශනය අශෝකා සිනමා ශාලාවේදී සවස 6.00 කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මීළඟට තිරගත වන්නේ 1981 විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කළ ‘සූර්යකාන්ත’ චිත්‍රපටයයි. මෙහි කතාව, දෙබස් සහ තිර රචනය සෝමවීර සේනානායකගේය. නීටා ප්‍රනාන්දු නැවත සිනමාට පිවිසෙන්නේ ‘සූර්යකාන්ත’ චිත්‍රපට යෙනි. මේ සමඟ ඇය නිෂ්පාදන ක්ෂේත්‍රයට ද අවතීර්ණ වූවාය. නුවරඑළියේ රූගත කිරීම් සිදු කළ ‘සූර්යකාන්ත’ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, නීටා ප්‍රනාන්දු, විජය කුමාරණතුංග, ශ්‍රියානි අමරසේන, මර්වින ජයතුංග, හැරී විමලසේන, සීතා කුමාරි, ආදීන් රංගනයෙන් දායකවන අතර කැමරා අධ්‍යක්ෂණයෙන් සුමිත්ත අමරසිංහ දායක වේ. වේෂ නිරූපණය සෑම් පෙරේරාගේ වන අතර ගී පද අජන්තා රණසිංහ සහ කුලරත්න ආරියවංශගේය. මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායකගේය. ගායනයෙන් වික්ටර් රත්නායක, විජය කුමාරණතුංග, ලතා වල්පොල දායක වේ.
විජය කුමාරණතුංග සිනමා උලෙළේ අවසන් සිනමාපටය ලෙස ස්වාධීන රූපවාහිනියේ තිරගත වන්නේ ‘ක්‍රිස්තු චරිතය’ යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කතා පුවත ඇසුරින් මෙය නිර්මාණය වී තිබුණි. මෙම චිත්‍රපටයේ දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්නයන්ගේය. නිෂ්පාදනය ඇලරික් ලයනල් ප්‍රනාන්දු වන අතර, කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න විසිනි.
සංස්කරණය සෙක්ස්ටස් අපොන්සුගේ වන අතර, සහාය ගාමිණී ජයමාන්නගෙනි. පසුබිම් සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේය. විජය කුමාරණතුංග, නතාලි ඈන් ග්‍රීට්, මැණික් කුලකුලසූරිය, රෝසි සේනානායක, විශාකා සිරිවර්ධන, ඉනෝකා අමරසේන, රෝයි ද සිල්වා, දයානන්ද ජයවර්ධන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, චන්න පෙරේරා, නතාලි ඈන්, ප්‍රසන්න වික්‍රමසිංහ, මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිප්පිලි, නීල් අලස්, විජය නන්දසිරි, බැප්ටිස් ප්‍රනාන්දු, තිස්ස විජේසුරේන්ද්‍ර, සොමී රත්නායක, සුමණා අමරසිංහ ආදී නළු නිළියන් රැසක් රංගනයෙන් දායක විය.