
- 1986 නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවෙ මම.
- මට ක්‍රිකට් ගහන්න බොටම් එකක් තිබුණෙ නෑ. ගන්න වත්කමක් තිබුණෙත් නෑ. මට කවදාවත් මටම කියලා බැට් එකක් තිබිලා නෑ.
- මගේ පළමුවැනි සේවකයා ඉඳන් කවුරුත් ආයතනික ගැටලුවක් නිසා මේ අවුරුදු 20 ඇතුළත අයින් වෙලා ගිහින් නෑ
- මම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගත්තෙ ඉංග්‍රීසියෙන් හිතලා. මම උදේ නැඟිටපු වෙලේ ඉඳන් කරන වැඩ ගැන ඉංග්‍රීසියෙන් හිතුවා. ඒක සාර්ථක වුණා
ගෙදර සහෝදර සහෝදරියන් 4කි. අපේ කතා නායකයා සමඟ 5කි. සියල්ලෝම පාසල් ගියේ ලංකාවේ ප්‍රසිද්ධ හා ජනප්‍රිය පාසල්වලටය. අයියලා දෙන්නාත් අක්කාත් වෛද්‍ය විද්‍යාලයට යද්දී ඔහු උසස් පෙළ සමත් වෙන්නේත් නැත. එහෙත් පවුලේ අනෙක් අයට නොතිබි හපන්කමක් ඔහු සතු විණි.
නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිට තුන් ඉරියව්වෙන් ම කැපී පෙනුණු ක්‍රීඩයකයකු වූ ඔහු ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන අයකුට නම් අමතක විය නොහැක්කෙකි. නායකත්වය දැරූ අවදියේ ට්‍රැක් සූට් එකක් හෝ තමන්ට කියා ක්‍රිකට් පිත්තක් හෝ මිලදී ගත නොහැකිව ළතැ වුණු ඔහු අද එදා තමන් විඳි ඒ අපහසුතා වත්මන් පරම්පරාවට නොදැනෙන්නට බොහෝ යුතුකම් ඉටු කරන්නෙකි.
නමින් නිහාල් පතිරෙගේ වන හේ වත්මන ව්‍යාපාර ලොව දැවැන්තයෙකි. පුහුණු කිරීම් සම්බන්ධ හසලයෙකි. විවිධ ක්ෂේත්‍ර අරඹයා අත්හදා බැලීම් කරමින් දැවැන්ත ව්‍යාපාර ජාලයක් ගොඩනැඟූවෙකි. රටක දියුණුවට ආකල්ප සංවර්ධනයක් ඇති කළ යුතු බවට දැවැන්ත මතවාදයක් සමාජගත කරන්නෙකි.
මේ ඔහුගේ දිවිසැරියේ මතකාවර්ජනයකි.
සම්පූර්ණ නම- නිහාල් සරත් කුමාර පතිරගේ
භාවිත නාමය- නිහාල් පතිරගේ
ගම්පළාත- කොළඹ මරදාන
උපන්දිනය- 1967 මැයි 24 වැනිදා
අම්මා තාත්තාගේ නම් සහ කළ රැකියා
අම්මා කරුණා සූරියආරච්චි ඇය, ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා දිනපාල පතිරගේ, ඔහු පොලිස් නිලධාරියෙක්.
සහෝදර සහෝදරියන්
ඔක්කොම පවුලෙ 5ක්. මට වැඩිමල් අක්කා සහ අයියලා දෙන්නයි, නංගියි ඉන්නෙ.
උපන් ගම මරදාන කියන්නෙ ගෙවල් තිබුණෙ මරදානෙ ද?
නැහැ. අපි කුලියට හිටියෙ. දරුවන් 5ක් එක්ක අම්මා, තාත්තා රජයේ සේවකයන් වුණා ම කුලියත් ගෙවා ගෙන අපි හිටියෙ ටිකක් අසීරුවෙන්. දරුවො පස්දෙනාට උගන්වන්න තමයි අම්මලා මුළුමනින් ම කැප වුණේ.
කොහෙද පාසල් ගියේ
මම මුලින්ම අවුරුදු 3ක් කේරි විද්‍යාලයට ගියා. ඊට පස්සෙ අම්මා මාව නාලන්දාවට දැම්මා. අපි හැමෝම කොළඹ හොඳම පාසල්වලට ගියේ. මමයි නංගියි ඇරෙන්න අනික් ඔක්කොම වෛද්‍යවරු.
ඒ අය කවුද?
අක්කා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන, ලොකු අයියා ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ පද්මලාල් පතිරගේ, දෙවැනි අයියා ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නංගි පුද්ගලික සමාගමක හිටපු ලේකම්වරියක් වුණු වින්ධ්‍යා පතිරගේ.
පාසලේ බාහිර වැඩ, විශේෂයෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ පොඩි කාලෙ ඉඳන් ම ද?
9න් පහළ ඉඳන් මලල ක්‍රීඩා කළා. ඊට පස්සෙ 7 වසරෙ ඉඳන් ක්‍රිකට් ගැහුවා. 11න් පහළ මම ආරම්භක පිතිකරුවා විදියට පිටියට ආවෙ. 1 වසරෙ බනිස් කෑමේ තරගයේ ඉඳන් මට සහතික තියෙනවා. 77 ඉඳන් ම ක්‍රිකට් තමයි මූලික වුණේ මට. හැබැයි ආපහු 80 දි විතර මම මලල ක්‍රීඩාවලටත් ආයෙත් එකතු වුණා. වැඩියෙන් කළේ ක්‍රිකට්. මොකද මට තෝරා ගැනීමක් කරන්න වුණා. හවස පිට්ටනියෙදි පුහුණු වෙන්න පුළුවන් එක ක්‍රීඩාවයි. ඉතින් මම ක්‍රිකට් තෝරා ගත්තා.
ඒ තෝරා ගත්ත ගමන ඔබ ඉදිරියටම යනවා?
ඔව්. ඇත්තටම. අවසානයේ මම නාලන්දාවෙ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දක්වා ම ගියා. ඒ 86 දි. රොෂාන් 84, අසංක ගුරුසිංහ 85දි. මම 86දි නායකත්වය දැරුවෙ.
ක්‍රිකට් කරද්දි පාසලේ අනෙක් වැඩ මඟ හැරුණද?
මට ඇත්තටම කිසිම බාහිර වැඩක් මඟ හැරුණෙ නෑ කිව්වොත් තමයි ඇත්ත. මම ශිෂ්‍ය නායකයෙක්. සමිති සමාගම් හැම එකකම වගේ නායකත්වය දැරුවා. පාසල් ශිෂ්‍ය භටයෙක් විදියට කටයුතු කළා.
මේ සේරමත් එක්ක අධ්‍යාපන කටයුතුවලට මොකද වුණේ?
මම සාමාන්‍ය පෙළ වෙනකම් හිටියෙ හොඳම පන්තියේ. මගේ යාළුවොත් එහෙමයි. සාමාන්‍ය පෙළ කරද්දි මම යාළුවෙක්ගෙ ගෙදර නතර වුණා. අපි මාසයක් විතර එකට එකතු වෙලා වැඩ කරලා විභාගය ගොඩ දා ගත්තා. D-7යි C-1ක් තිබුණා. මම තෝරා ගත්තෙ ගණිත විෂයයන්.
ගෙදර හැමෝම වෛද්‍ය විද්‍යාලෙ ඉද්දි ඔබටත් ගෙදරින් බලපෑම් ආවෙ නැද්ද, විද්‍යා විෂයයන් කරන්න කියලා?
මම කෙලින් ම ගෙදරට කිව්වා මම ගණිත විෂයන් කරන්නෙ කියලා. උසස් පෙළ කියන්නෙ අවුරුදු 2ක් නෙ. ඒ මාස 24න් 19ක්ම මම ක්‍රිකට් සීසන් 3ක් ගැහුවා. සාමාන්‍යයෙන් එක සීසන් එකකට මාස 6ක් 7ක් යනවා. අපි පන්ති දාගත්තට එකකටවත් යන්න වුණේ නෑ. පාසල් ක්‍රිකට් තරග දිගටම තිබුණා. මම ක්‍රිකට් ගහපු එක හරියටම කළා. කේරි එකට යද්දි මම අවුරුද්දක් අඩු වයසින් පාසල් ගියා. ඒ නිසා මම අනික් අයට වඩා අවුරුද්දක් කලින් හිටියෙ. ඒක මට ගොඩක් වැදගත් වුණා. ගොඩක් සමිති සමාගම් කණ්ඩායම් නායකයන් හිටියෙ අපේ පන්තියෙ. ඇත්තටම සුන්දර පාසල් කාලයක් ඒක.
උසස් පෙළ ප්‍රතිඵල කොහොමද?
මාස 24න් මාස 19ක් පිට්ටනියෙ ඉඳලා කොහොමද විභාග කරන්නෙ. පළවැනි දවසෙ ගියා. ඉතින් මුකුත් දන්නෙ නෑ, ප්‍රශ්න පත්තරේ අතට දුන්නම. මම පේපර් එක දීලා පැයකට කලින් ගෙදර ආවා. අනික් අය විභාගෙ ලියලා එද්දි මම පිට්ටනියෙ ආයෙත් පුහුණු වීම් කරනවා. මගේ කාලෙ මම එක මැච් එකක්වත් පැරදිලා නෑ. එකක් ජය පරාජයෙන් තොරව ඉවර කර ගත්තා.
ආයෙත් උසස් පෙළ කළා ද?
නෑ. ආයෙත් කළේ නෑ. 86 නාලන්දා ක්‍රිකට් කණ්ඩායෙමේ නායකත්වය දැරුව නිසා ඉතින් ටිකක් හිතටත් අරන් හිටියෙ. රොෂානුයි අසංකයි මට වඩා ගොඩක් ඉස්සරහට ගියා. වැඩ පෙන්නුවා. මම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදියටයි ඉදිරියට ආවෙ. මමත් අභිමානෙන් හිටියෙ. මට රැකියාවක් ඕන වුණා.
ගෙදර තිබුණු ගැටලු එක්ක ක්‍රිකට් ගහන්න අවශ්‍ය ප්‍රතිපාදන කොහොමද සම්පූර්ණ කරගත්තෙ?
ඒක ඇත්තටම අභියෝගයක්. ඒවා කියන්න මම ලැජ්ජා නෑ. මාව අනාගත ආයෝජනයක් කියලා ගොඩක් අය කියලා තිබුණා. අඟහිඟකම් එමට තිබුණා. මට ක්‍රිකට් ගහන්න බොටම් එකක් තිබුණෙ නෑ. ගන්න වත්කමක් තිබුණෙ නෑ. හරිම අසීරු ජීවිතයක් ගෙව්වෙ. මට කවදාවත් මටම කියලා බැට් එකක් තිබුණෙ නෑ. එක එක්කෙනාගෙ බැට්වලින් ගැහුවෙ. තාත්තට මම දවසක් කිව්වා මට ට්‍රැක් සූට් එකක් හොයලා දෙන්න කියලා. තාත්තා එක්ක මමත් දවස් දෙකක් වත්තල ගියා ඒක ගන්න. ජපානෙ ඉන්න එක්කෙනෙක්ට කියලා ගෙන්නලා දෙන්නම් කියලා තමයි කියලා තිබුණෙ. හැබැයි කවදාවත් ඒක ලැබුණෙ නෑ.
අන්තිමට මම කැප්ටන් කරපු අවුරුද්දෙ අම්මට කෙඳිරි ගාලා ගාලා ට්‍රැක් සූට් එකක් මහන්න බර්නාඩ් එකට දුන්නා. ඒක හරියට ඇවිත් තිබුණෙ නෑ. හැදුවත් හරි ගියේ නෑ. කරන්න දෙයක් නෑ, මම ඒක ඇඳන් සෙල්ලම් කළේ. මම ආදි නාලන්දියෙක් වුණාට පස්සෙ රැකියාවක් කරද්දි අනෙක් අයත් එකතු කරන් ට්‍රැක් සූට් 96ක් දුන්නා කණ්ඩායම්වලට.
සමාජ ආකල්ප සංවර්ධනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය හැදෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදියටද?
මම ඒ අදහස වැඩිදියුණු කළේ අශෝක අමරසේකර එක්ක එකතු වෙලා. ඒ අනුව අපි වැඩපිළිවෙළක් හැදුවා. ඒක කරුණු 18කට එකක්. ආකල්ප වෙනස් කරන්න ඕන නම් ඒ රටේ තියෙන දැවැන්තම ප්‍රශ්න ටික හඳුනාගන්න ඕන. මම දැනටමත් ඒවා ක්‍රියාත්මක කරලා, මගේ අරමුණට ගිහින් ඉන්නෙ. කොවිඩ්, පාස්කු ප්‍රහාරය වගේ ඒව ආවත් සමාජය සම්බන්ධයෙන් මගේ තියෙන ඒ ආකල්ප සාධනය කරගන්න අවශ්‍ය සියලු වටපිටාව මම හදලා තියෙන්නෙ
මොකද්ද පළවැනි රැකියාව සහ ආයතනය?
අලෙවි අංශයේ රැකියාවක් තමයි තෝර ගත්තෙ. ඒ Hideki Finance එකේ අලෙවි නියෝජිතයෙක් විදියට. එතැන මාස දෙක තුනයි හිටියෙ. ඊට පස්සෙ මම සම්බන්ධ වුණා Lee Potter International කියලා ඉදිකිරීම් අංශයේ ආයතනයකට. මම ඒකට ගියේ කළමනාකරණ පුහුණු වන්නෙක් විදියට. ඒකෙන් තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ. එතන මම අවුරුදු 3ක් හිටියා. මගේ ජිවිතේ හොඳම යාළුවෙක්, හොඳම සගයෙක් වුණු අශෝක අමරසේකර හමු වුණේ එතැනදි. අදටත් මගේ හොඳම වෘත්තීය වගේම ජීවන සගයෙක් ඔහු. මට හොඳ පුහුණුවක් ලැබුණා එතනදි.
එතැනින් කොතනටද යන්නෙ?
මම සිංගර් ශ්‍රී ලංකා එකට ආවා. ඇත්තටම අපි ගත්තේ ක්‍රිකට් ගහන්න. බ්ලූම්ෆීල්ඩ් එකේ මම එතකොට කොහොමත් සෙල්ලම් කරමින් හිටියෙ. මම වෙඳෙළ සේවා A ඩිවිෂන් ගැහුවා. අපි තමයි චැම්පියන් වුණේ. අවුරුදු 3ක් සිංගර් එකේ හිටියා. ගාමන්ට් මැෂින් පැත්ත තමයි බැලුවෙ මම. ඒකාලෙ තමයි ප්‍රේමදාස මහත්තයාගෙ ෆැක්ටරි 200 ව්‍යාපෘතිය ආවෙ. අපි හොඳට ඒකෙදි වැඩ කළා. ආයතනයෙන් මට ආව කැපිල්ලක්, ගැටලුවක් නිසා මම ඉවත් වුණා. ඒ වෙලාවෙ මට හොඳ අවස්ථාවකුත් ලැබුණා. ඉතින් මම අයින් වුණා.
මොකද්ද ඒ අවස්ථාව?
Naturub Exports කියන ලංකාවේ ඒ කාලෙ තිබුණු ඇඟලුම් උපාංග නිෂ්පාදනායතනයකින් තමයි මට අවස්ථාව ලැබුණෙ. මට එතැන අවස්ථාව ලැබුණෙ අලෙවි කළමනාකරු විදියට වැඩ කරන්න. මම ඒක සෑහෙන හොඳ මට්ටමකට අරන් ආවා. ගොඩක් ලාබ ලැබෙන තැනක් බවට පත් කළා. මම එතැන ප්‍රධාන අලෙවි කළමනාකරු විදියට අවුරුදු 10ක් වැඩ කළා. මම මම ගැන හිතනවට වඩා හිතුවෙ මගෙන් ආයතනයට වෙන්න ඕන සේවය ගැන. 2003 වෙනකම් මම එතැන හිටියා. අන්තිමට මට සිදු වුණු අසාධාරණයක් නිසා රස්සාවක් නැතිවම මම එතැනින් ඉවත් වුණා.
රස්සාවක් නැතිව ගෙදර ඉද්දි ප්‍රශ්න ආවෙ නැද්ද?
මට වැඩිකල් ගෙදර ඉන්න වුණේ නෑ. මාස දෙක තුනයි. මගේ යාළුවෙක් හිටියා රාජ් කියලා. ඔහු මට කතා කළා ඔහුගේ ආයතනයට සම්බන්ධ වෙන්න. ඒ තමයි Strechtec පුද්ගලික සමාගම.
මේ ආයතනය අලුතෙන්ම ද පටන් ගත්තෙ.
ඔව්. මගේ යාළුවා රාජ් තමයි 70%ක් මුදල් ආයෝජනය කළේ. තව යාළුවො දෙන්නෙක් එකතු වුණා. මම කළමනාකරණ අධ්‍යක්ෂ. රාජ් තමයි සභාපති. කොටස් සමානව බෙදෙන ක්‍රමයක් හදලා තිබුණා. මට දුන්නෙ ලාභාංශ කොටස. මම ඒකෙ පූර්ණකාලීනව වැඩ කළා. අවුරුදු දෙක තුනක් යද්දි රාජ් කිව්වා එයාට ඒ ලැබෙන ලාභය මදි, ඒනිසා මටම මේක අරන් කරගෙන යන්න කියලා.
එකපාර ලොකු අභියෝගයක්. කොහොමද මුදල් ආයෝජන කටයුතු ආදිය එකපාර කළේ?
මට ඇත්තටම මිලියන 11ක් විතර එයාට ගෙවන්න තිබුණා. මට එහෙම තනි අභියෝගයක් ආව පළමු අවස්ථාව. මට ඒ ගැන පළපුරුද්දක් තිබුණෙ නෑ. අපේ පවුල්වල කවුරුත් ව්‍යාපාර කරලත් නෑ. මම අභියෝගය භාර ගත්තා. සේවකයන් මාත් එක්ක හිටියා. එයා මට කිව්වා මිලියන 6ක් ගෙවන්න කියලා. ඒක අවුරුද්දකින් විතර ගෙවන්න කියලා තමයි කිව්වෙ. මම තිබුණු කාර් ඇතුළු සියලු සුඛෝපභෝගී වාහන විකුණලා වෑන් එක විතරක් තියා ගත්තා.
ඒක ද ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය
ඇත්තටම ඔව්. මම තනියෙන් පටන් අරගෙන කොහොම හරි මේක දියුණු කළා. ඒ අතරෙ මම තව විවිධ දේ කළා. සුමති එකත් එක්ක එකතු වෙලත් ඒ අතරෙ වැඩ කළා. මම ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කාලෙ මගේ ෆැක්ටරි එක බැලුවෙ මම ගාව වැඩ කළ මගේ කොල්ලො ටික. මාධ්‍ය ආයතන එක්කත් වැඩ කළා.
ඒ අතරෙ මූල්‍ය අරමුණට යන්න පුළුවන් වුණාද?
කාලෙකට පස්සෙ මම ඒවයෙන් අයින් වෙලා ආයෙත් මගේ ෆැක්ටරි එක පැත්තට හැරුණා. මාකොළ මගේ ගෙදර තියෙන තැනටම ෆැක්ටරි එක අරන් ගියා. එතකන් කුලියට හිටියෙ. අවට තිබුණු ඉඩම් ටික ටික මම ගත්තා. මම මට අවශ්‍ය අරමුණට ආවා. මට දැන් ආයතන 15ක් විතර තියෙනවා.
මොකද්ද ඔබේ ක්‍රමවේදය?
මගේ ප්‍රධානම දේ තමයි පාරිභෝගිකයා සතුටු කිරීම. ලංකාවෙ අදටත් මගේ ආයතනයකට පාරිභෝගික පැමිණිල්ලක් ආවොත් මම තමයි කඩිනමින් ම යන්නෙ. මම ඇත්තටම අලෙවිය සම්බන්ධ ප්‍රාමාණිකයෙක්.
ඔබ ඒ අතර මේ දේවල්වලට අදාළ අධ්‍යාපනික පසුබිම හදා ගන්න උත්සාහ කළාද?
මම CIMA කළා. නමුත් ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. මම ඇත්තටම ප්‍රායෝගික මනුස්සයෙක්. මට ඕන වුණෙත් නෑ. මම අදටත් පැය 19ක් 20ක් වැඩ කරනවා. පැය 4ක් විතර තමයි නිදා ගන්නෙ. මම සිහිනයක් දැක්කොත් ඒක ඉටු කරගන්නකම් මම ඒක පසුපස හඹා යනවා. ඒ මගේ හැටි. නාලන්දෙ සහ ක්‍රිකට් නිසා තමයි අදටත් මම මෙතැන ඉන්නෙ. අදත් මාව දැක්කම කට්ටිය අඳුනා ගන්නෙ ඒ නිසා. ක්‍රිකට් ගමට ගෙනිච්ච ප්‍රේමසරි ඈපාසිංහට සහ පාලිත පෙරේරාට අදටත් ස්තූතිවන්ත වෙන්න ඕන. අපිව ගුවන්විදුලිය ඔස්සේ ගමට අරන් ගියේ ඒ දෙන්නා.
තමන්ගෙ සේවකයන් එක්ක තියෙන ගනුදෙනුව මොන වගේද?
මගේ පළවැනි සේවකයා ඉඳන් කවුරුත් ආයතනික ගැටලුවක් නිසා මේ අවුරුදු 20 ඇතුළත අයින් වෙලා ගිහින් නෑ.
මම සැර බොස් කෙනෙක්. මට කට්ටිය බයයි. හැබැයි ඒ අය දන්න දේ තමයි මම කොච්චර බැන්නත් පුද්ගලිකව නෙවෙයි බනින්නෙ, අදාළ වැරැද්දට විතරයි කියන එක. ඒනිසා අපේ ගෞරවය රැකෙනවා.
ඔබ ක්‍රීඩා ඇඳුම් ක්ෂේත්‍රයටත් අත ගසනවා
ඔව්. මේවට ළමයි ඇඳන් ආව ඇඳුම් දැකලා තමයි මට එහෙම හිතුණෙ. මම ළමයි ටිකක් පුහුණු කරලා ක්ෂේත්‍රයට පොඩියට ආවා. ඊට පස්සෙ තමයි මම ක්‍රීඩා ඇඳුම් පටන් ගත්තෙ. කලින් ඒක නිෂූ කියලා තිබුණෙ. දැන් අලුතෙන් මම ඒක වර්ණ කියලා නම් කළා. ඒකෙ සන්නාමයත් මම ජනවර්ග සහයෝගීතාවත් එක්කයි නිර්මාණය කළේ.
කවුද ඔබේ ජීවන සහකාරිය
මම 1992 ජූලි මාසෙ විවාහ වුණේ. ඇය යොනිකා. ඇය තමයි අපේ ඔසුහල් ජාලය බලන්නෙ
දරුවන්
අපට පුතාලා දෙන්නයි දුවයි ඉන්නෙ. පුතාලා දෙන්නා ධනෝෂ හරින්ද සහ පවන් දීනක. දුව සයුරි නිහාරා.
පොත් කියවන්න කැමතිද?
මම එක නවකතාවක්වත් කියවලා නෑ. පත්තරේ ටිකක් බලනවා. ඒක මගේ අඩුපාඩුවක්. කියැවීමෙන් ලැබෙන පරිණත කම තමයි මම මේ දරුවන්ට දැන් හදන්න උත්සාහ කරන්නෙ. මම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගත්තෙ ඉංග්‍රීසියෙන් හිතලා. මම උදේ නැගිටපු වෙලේ ඉඳන් කරන වැඩ ගැන ඉංග්‍රීසියෙන් හිතුවා. ඒක සාර්ථක වුණා. අපේ ජීවිතේ හැමදේම අපි කරන්න ඕන පිළිවෙළකට. හිතුවෙ ඉංග්‍රීසියෙන්.
බ්‍රෑන්ඩඩ්ද පාවිච්චි කරන්නෙ
නැහැ. මට හරියට ගැළපෙන ඕන දෙයක් මම භාවිත කරනවා. මම හරි සරල කෙනෙක්. ඇත්තටම මම ඔරලෝසුවක්වත් දාන්නෙ නෑ.ඕනෑම කෙනෙක්ගෙ පළමු දැක්ම ලස්සන වෙන්නෙ ඇඟට හරියට ගැළපෙන ඇඳුම ඇන්දම. ඒක බ්‍රෑන්ඩඩ් වෙන්න ඕන නෑ
ඡායාරූප - මාලන් කරුණාරත්න