
එලොව ගිහින් මෙලොව ආවා යැයි කියමනක් තිබේ. අප කියන මේ පුද්ගලයා එලොව ගියේ එසේ මෙසේ පුද්ගලයන් සමඟ නොවේ. 1994 දි යූඇන්පියේ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මේ පුද්ගලයා සමඟ එලොව ගිය ප්‍රධාන පුද්ගලයාය. ඒත් සමඟම එලොව ගිය තවත් කිහිප දෙනෙක් නම් දොස්තර ගාමිණී විජේසේකර, හිටපු ඇමැති වීරසිංහ මල්ලිමාරච්චි, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුව හැට එක් දෙනෙකි. අප කියන පුද්ගලයා එලොව ගිය මුත් නැවත මෙලොව ආවේ විශ්මය ජනක ලෙසය. ගාමිණි දිසානායක මරුමුවට පත්වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්ව කාලාන්තරයක් රෝහල්වල දැඩි සත්කාරවල ප්‍රතිකාර ගත් ඔහු නමින් ශරත් ශ්‍රී බන්දුසේනය. සරත් යන නම ඔහු භාවිතා කරන්නේ 'ශරත්' ලෙසය.
බන්දුසේන හමුවන්නට අප පසුගියදා ඔහුගේ නිෙවසට යන විටත් ඔහු සිටියේ පුටුවක හිඳගෙනය. ඔහුගේ කකුල් දෙකටම බැන්ඩේජ් දමා තිබුණි. "මගේ එක ඇහැක පෙනුම එදා බෝම්බයෙන් සදහටම පේන නැතුව ගියා." කියමින් බන්දුසේන අප සමඟ කතාවට වැටුණේය.
බන්දුසේනගේ තාත්තාගේ පරම්පරාව පැවත එන්නේ මාතර කඹුරුපිටියේය. ඔහු කියන්නේ එදා කඹුරුපිටියට කිව්වේ 'බත්ගම' කියා බවය. ඒ තරම් සරුසාර කුඹුරු යායවල්ය. තාත්තාගේ නම එච්. කේ. ඩී. බන්දුසේනය. කොළඹ ආ බන්දුසේනගේ තාත්තා මරදාන මාලිගාකන්ද පාරේ ව්‍යාපාරයක් පටන් ගනනා ලදී. එහි නම බන්දුසේන මුද්‍රණාලය හා පුස්තකාලයයි. එදා 'පොත් හලට' නොහොත් බුක්ෂොප් එකට කියා ඇත්තේ පුස්තකාලය කියායි.
ශරත් ශ්‍රී බන්දුසේන සිසුවා පාසල් ගියේ ආනන්ද විද්‍යාලයටය.
"ප්‍රේමකීර්ති ද අල්විස්, ඒ. ඩී. රංජිත් කුමාර අපි එක පන්තියේ. සුනිල් මාධව ප්‍රේමතිලක, ගෝඨාභය රාජපක්ෂ, දයාවංශ ජයකොඩි, ඩී. බී. නිහාල්සිංහ ඉහළ පන්තිවල හිටියේ."
බන්දුසේන පවසන්නේ ආර්. ප්‍රේමදාස සමඟ තමන්ගේ හිතවත්කම ඇති වන්නේ ප්‍රේමදාස නාගරික මන්ත්‍රී වීමටත් පළමුව බවයි.
"ඩඩ්ලි සේනානායකගේ බොඩි එක වුඩ්ලන්ඩ් මන්දිරයට ගෙනාපු වෙලේ මිනිය ළඟින්ම රෑ එළි වෙනකම් හිටියේ ආර්. ප්‍රේමදාස, ගායක සිසිර සේනාරත්න එක්ක මම තමයි. ප්‍රේමදාස මාව UNP මාලිගාකන්ද පාර සංවිධායක කලා අපි 1977 ඡන්දෙට බැහැල වැඩ කළා."
අවසානයේ UNP ය හයෙන් පහක බහුතරයකින් ආණ්ඩුවක් 1977දි පිහිටුවන ලදී. මැතිවරණ ජයග්රහණයෙන් පසු බන්දුසේන ගියේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අකුරැටියේ අමරවංශ හිමියන් බැහැදැකීමටය.
"ඉලන්දාරියා හැමදාම ඔහොම ඉන්න ද කල්පනාව. කසාදයක් කරගෙන ගෙයක් දොරක් හදාගන්න අදහසක් නැද්ද? හැමදාම යූඇන්පී ආණ්ඩුව තියෙන්නේ නෑ. අගමැති ප්‍රේමදාස හම්බවෙලා ආණ්ඩුවේ රස්සාවක් හොයා ගන්නවා."
බන්දුසේනගේ හිතට තදින් කාවැදුණේ අමරවංශ හිමියන් කියූ රස්සාව ගැන කතාවය. බන්දුසේන එදාම ප්‍රේමදාස අගමැතිගේ සුචරිතයට ගොස් එහි ලේකම් ඩී. එස්. ගුරුසිංහට තම අවශ්‍යතාව පැවසීය. අගමැති ප්‍රේමදාස පසුදිනම බන්දුසේන යොමු කළේ ගුවන් තොටුපළේ රැකියාවකටය. එයට බන්දුසේන අකමැති වූ විට වාහනයක් ද සමඟ කනත්තේ භාරකාරධුරය භාර ගන්නා ලෙස දන්වන ලදී. බන්දුසේන එයටත් අකමැති වූ තැන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට යොමු කරන ලදී. මහ බැංකුව ළඟ තිබුණ එහි කාර්යාලයේ ලොක්කා වූයේ වික්‍රම වීරසූරිය නොහොත් ගාමිණී දිසානායකගේ මස්සිනාය.
"UNP ජයග්‍රහණයට උර දීපු අපට විශේෂ තනතුරක් දුන්නා. 'විශේෂ සේවා නිලධාරි' කියල. මට හම්බුණේ නිව්බසාර් කොට්ඨාසය. ඒ 1979 දි. පඩිය 524/-යි. එදා මුළු කොළඹම ග්‍රාම නිලධාරින් හිටියේ 10 යි. අද 93ක් ඉන්නවා."
මේ තනතුර ගැන ජේ.ආර්. හා ප්‍රේමදාසගේ මතය වූයේ මේ UNP කාරයන්ගේ දේශපාලන තනතුර සිරිමාවෝ නැවත බලයට ආවොත් අහෝසි කළ හැකි බවය.
"අපේ හත්සිය ගාණක් හිටියා. ග්‍රාම සේවක පඩිය අපේ පඩියට වඩා අඩුයි. ග්‍රාම සේවකලාට අපි හින්ද ස්විප් එකක් ඇදුණා වගේ වැඩක් වුණා. ග්‍රාමසේවක වැටුප අපේ වැටුපට සමාන කරල අපි ඔක්කොටම ග්‍රාම සේවක තනතුරු දීලා රජයේ සේවයට ගත්තා."
1993 මැයි 1 වැනිදා එවකට ජනාධිපති ප්‍රේමදාස බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය වෙලේ බන්දුසේන හිටියේ සිරසේන කුරේ සමඟ මැයි රැලිය සංවිධානය කරමිනි.
"1992 දි අපි සාර්ථක UNP මැයි රැලියක් කළා. ඒත් 93 වෙනකොට දෝෂාභියෝගේ ඇවිල්ලා ප්‍රේමදාස රැස් වළල්ල බිඳිල කියලා 93 මැයි රැලිය පටන් ගන්න කොටම මට තේරුණා. රැලිය පටන් ගත්තේ සුගතදාස ස්ටේඩියම් එක ගාවින්. ප්‍රේමදාස මහත්තයා මුලින්ම කළේ බොඩි ගාඩ්ලා දෙන්නෙක් එතැන ඉඳන් පයින් ඇරිය ගෝල්ෆේස් එකට කොච්චර වෙලා යනවද බලන්න. ඒ දෙන්නා යනවද බලන්න සිවිල් පිට CID දෙන්නෙක් ඇරියා."
"සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි සමඟ බන්දුසේන සුගතදාස පිළිමය ළඟ සිටියේ ප්‍රේමදාස ජනපති මිනිමෝක් ජීප් එකේ පැමිණ මැයි රැලිය අරඹන්නට අතින් සිග්නල් එක දෙනතුරුය.
සිරිසේන දැන් පටන් ගන්නවා කියල ප්‍රේමදාස මහත්තයා කිව්වා. ප්‍රේමදාස ජනපතිගේ මල්ලි ආර්. සංඝදාසත් අපිත් එක්ක හිටියේ. ටික වෙලාවයි ගියේ ජනපති ප්‍රේමදාස බෝම්බෙට අහු වුණා. ඒ බෝම්බෙන් මම බේරුණේ නූලෙන්."
ජනපති ප්‍රේමදාස ඝාතනයෙන් පසු 1994 දි එළඹෙන්නේ ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා වූයේ ගාමිණී දිසානායකය. හේමා ප්‍රේමදාස සුචරිතයේ සිට බන්දුසේන ගෙන්වා ගාමිණී දිසානායකගේ ජනපති සටනට උතුරු කොළඹ, මැදකොළඹ, නිව්බසාර් ප්රදේශවාසින්ගේ සහය ලබා දෙන ලෙස ඉල්ලීය.
"බන්දුසේන මුස්ලිම් අයට දේශනයක් තියලා කියලා දෙන්න එජාප ආණ්ඩුවක් ආවොත් බිස්නස් වැඩි කරගෙන, බඩු හිඟයක් නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා."
1994 ඔක්තෝබර් 23 වැනිදා ඉරිදා බන්දුසේන තම මුල්ම දේශනය පැවැත්වූයේ මාලිගාවත්තේ ප්‍රදීපා ශාලාවේය. පැය 1 1/2ක් පමණ දේශනය කරගෙන යන විට සුචරිතයට පැමිණෙන ලෙස බන්දුසේන දන්වන ලදී. බන්දුසේනට භාර වූයේ එදින සවස 3 ට තොටළඟ පැවැත්වෙන ඒජාප ජනාධිපති ධුර අපේක්ෂක ගාමිණී දිසානායකගේ රැස්වීමේ නිවේදන කටයුතු කිරීමටය.
"මං යනකොට සෙනඟ කවුරුත් නැ. මහා දැවැන්ත වේදිකාවක්. මුලින්ම ආවේ රනිල් වික්‍රමසිංහ. මම පැයක් ඉල්ලුවා රැස්වීම පටන් ගන්න. වෙඩින් එකකට යන්න ඕන නිසා පළවෙනි කතාවට මාව දාන්න කියලා රනිල් කිව්වා. මම රැස්වීමේ සවුන්ඩ් කරපු පරාක්‍රම රේඩියෝ ටෙක්නිෂියන්ට හොඳ සින්දුවක් ෆුල් වොලියුම් දාන්න කිව්වා. මම නිවේදනයක් ඊට පස්සේ කළා. මේ වගේ සින්දු පහක් දාලා අතරමැද මම කතා කරනකොට සෙනඟ පිරෙන්න ගත්තා.
මේ ජනාධිපතිවරණ රැස්වීමේ මුලින්ම කතා කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහය. රැස්වීමට හවස 6.30 වන විට සිතාගත නොහැකි තරම් සෙනඟක් පිරි ඉතිරී යන්නට විය.
"ඒ වෙලේ මහා දැවැන්ත වැස්සක් වැස්සා. මිනිස්සු තෙමීගෙනම රැස්වීමේ කතා අහගෙන හිටියා ගාමිණි එනකම්. මං හිතුවා මේ සැරේ ගාමිණී ෂුවර් එකටම ජනපති තමයි කියලා. හතාමාරට තිලක් කුමාර ආවා. මං ගාමිණී එනකම් ටිකක් විවේක ගත්තා."
එදින කුඹුක්ගැටේ රැස්වීමකට ගොස් හෙලිකොප්ටර් යානයකින් කොළඹ පැමිණ රාත්‍රී 10.15ට පමණ ග්‍රෑන්ඩ්පාස් තොටළඟ නාගලගම් වීදියේ පැවැත්වෙන එජාප රැලියට ගාමිණී සහභාගී විය. ගාමිණි එන විට ඔසී අබේගුණසේකර කතා කරමින් සිට ඇත්තේ. මුල් පේළියේ ගාමිණි දිසානායකට වම් පසින් වීරසිංහ මල්ලිමාරච්චි දකුණු පසින් කරුණාසේන කොඩිතුවක්කු සිට ඇත. ඒ සමඟ පක්ෂයේ ලේකම් දොස්තර ගාමිණි විජේසේකරත් සිට ඇත. ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සිට ඇත්තේ වම් පසිනි. මේ අවස්ථාවේදී වේදිකාවේ 35ක් 40ක් පමණ අය වාඩි වි සිටි අතර ඊට පිටුපසින් සංගීත කණ්ඩායම මෙහෙයවා ඇත්තේ බන්දුසේන කියන පරිදි කීර්ති පැස්කුවල්ය.
ඔසී අබේගුණසේකර පැය බාගයක් පමණ කතා කළ පසු ජී. එම් ප්‍රේමචන්ද්‍ර කතා කොට රාත්‍රී 11ට පමණ එම කතාව අවසන් වූ අතර හෙළ ජාතික අභිමානේ ගීතය ගායනා කරන්න පටන් ගත් විට ගාමිණී දිසානායක ප්රමෝදයට පත්ව ඇත. ගාමිණීගේ කතාව ආරම්භ කොට ඇත්තේ ඉන්පසුවය. ගාමිණිගේ කතාව දිගටම කරගෙන ගියා.
"ජනතාව හඬන විට අපත් හඬනවා. ජනතාව සිනාසෙන විට අපත් සිනාසෙනවා. දිව්‍ය ලෝක මවන අයට වඩා ජනතාව අපට සමීපයි. ජනතාව මුළා කර රට විනාශ කරන්න හදන පෙරමුණේ වෙස් මුහුණු නොවැම්බර් 10 දා ගැලවෙනා" යැයි ගාමිණී තම කතාව පටන් ගත්තේය. ඔල්වරසන් මැද්දේ සිය කතාව ඇරැඹූ දිසානායක මෙසේ ද පවසන්නට විය.
මාගේ එකම ඉලක්කය සහ බලාපොරොත්තුව මේ රට 21 වැනි සියවසට මුහුණ දිය හැකි එකක් බවට පත්කිරීම බව මෙහිදී කියන්න සතුටුයි. ඒ සඳහා ශක්තිය මා තුළ නොමඳව තිබෙන බව ද කියන්න සතුටුයි. කලාව, කෘෂිකර්මය සහ කාර්මික යන සෑම සියලු අංශයකින්ම මේ රට තුළ දියුණුවක් අත්පත් කර දීමට ද මේ රට උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පාරාදීසයක් කිරීමට ද මා කටයුතු කරනවා. ජනතාව අද අප වටා විශාල වශයෙන් එක්රොක් වෙමින් සිටින අතර එය ලබන මස 10 වැනි දින වනවිට මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් මා පත්වීමේ සුබ පෙර නිමිත්තක සටහනක් බව ද කිව යුතුයි."
ගාමිණීගේ කතාව රෑ දොළහ පනින කොට මම මටම කියා ගත්තා කතාව ඉවර කරන කොට ජනතාවට සුබ රාත්‍රියක් නොකියා සුබ උදෑසනක් කිව්වොත් ගාමිණීගේ බුද්ධිමත්කමට ජනතාව ගාමිණීව ජනාධිපති කරනවාමයි කියලා. ගාමිණි කතාව ඉවර කළේ මෙහෙම.
"මීට මඳ වේලාවකට කලින් මගේ කතාව නිම කරන්න ලැබුණා නම් මගේ මේ ආදරණීය ජනතාවට මා කියන්නේ සුබ රාත්‍රියක් කියායි. ඒත් කාලය වේගයෙන් ඇදී ගියා. ඒ නිසා ඔබලාට සුබ උදෑසනක් වේවා යැයි කියා මට සමු ගන්නට වී තිබෙනවා" යැයි කියමින් ගාමිණී දිසානායක සිය ජීවිතයේ අවසන් කතාව අලුයම 12.15ට ඉවර කළා. එතකොට තමයි මං තේරුම් ගත්තේ ගාමිණී කොයිතරම් උගතෙක් ද කියලා.
ගාමිණී කතාවෙන් පස්සේ අසුන් ගෙන සිටි ආසනය දෙසට පස්සෙන් පස්සට ආවා. ඒ අවස්ථාවේ දී වේදිකාවේ සිටි අනෙක් අය සියල්ලම වාගේ නැගිට්ටා. ඒ මොහොතේ විශාල ශබ්ද නඟා විනාඩි එකහමාරක් දෙකක් පමණ කාලයක් එක දිගට ඉතාමත් හඬ ඇති රතිඤ්ඤා පේළියක් පත්තු වූවා. සාමාන්‍යයෙන් රතිඤ්ඤා පත්තු කරන කොට එකින් එක පත්තු කරන නමුත් මෙම අවස්ථාවේදී විනාඩියක් දෙකක් නොනවත්වා විශාල හඬකින් භය ගැන්වෙන තැති ගන්වන ආකාරයකින් දිගින් දිගටම රතිඤ්ඤා පත්තු කළා. ඒත් එක්කම ශබ්දය අවසන් වෙලා ඉතාමත් විශාල හඬකින් යමක් පිපිරෙනවා මම දැක්කා. පිපිරෙනවා දැක්කේ වේදිකාවේ ගාමිණී සිටි තැන ඉදිරියෙන්. එම පිපිරීම සිදු වූයේ ගින්දරත් සමඟයි. එම පිපිරීම මට දැනුණේ වේදිකාවේ යට සිට එනවා වාගේයි."
බන්දුසේන කියන්නේ මෙම රැස්වීමට ගාමිණී එන්නට පෙර තමන්ට තදබල කොන්දේ අමාරුවක් හැදී ගෙදර යාමට සූදානම් වූ බවය.
"මගේ කොන්ද අමාරුවට වේදනාවෙන් මිරිකෙනවා දැක්කත් රැස්වීමේ සංවිධායක ක්‍රිස්ටි පෙරේරා මට යන්න දුන්නේ නෑ. කෝපි එකක් ගෙනත් දුන්නා."
"බෝම්බේ වැදිල මාත් වේදිකාවේ ඇද වැටුණා වගේ දැනුණා. මුකුත් පෙනුණේ නෑ. වෙඩි තියනවා වගේ සද්ද ඇහුණා. මට මතක් වුණේ කොස්ගස් හන්දියේ විජයගේ රැස්වීමේ දේව බණ්ඩාර සේනාරත්නට වෙඩි තියපු එක. ඒත් මගේ අතපය මුකුත් වැඩ කළේ නෑ. මගේ යටිහිත කියනවා කොහොම හරි ඇක්සිඩන්ට් වෝඩ් එකට පලයං කියල. ඒත් උඩු සිත කියනවා නැගිට ගන්නත් බෑ කියලා. මට නිකං මගේ ආත්මය මගේ සිරුරෙන් අඩි කිපයක් ගුවනට යනවා වගේ දැනුණා. ජීවන්තයි, ප්‍රේමරත්නයි කියලා යාළුවෝ දෙන්නෙක් මා ගාවට ආවා. ශරත් අයියාත් බෝම්බෙන් නැතිවෙලා කියනවා වගේ ඇහුණා."
මේ අතර එම ස්ථානයේ මිය ගිය පුද්ගලයන් සොයා මහ රෝහලේ මෝචරියට ගෙන යෑමට තුවාලකරුවන් පරීක්ෂාව ඇරඹෙන්නේ මේ අතරය. ඈත තියා රෝහලෙන් ද දොස්තරවරුන්, හෙදියන් බන්දුසේන ද මියගිය අයකු ලෙස මෝචරියට යවන ලැයිස්තුවට ඇතුළු කළේ ඈත තියාය.
ප්‍රේමදාස ජනපතිවරයා ජනපති යුගයේ වරක් ඉන්දියාවෙන් ඍෂිවරයකු පැමිණ ඇත්තේ නාඩි වාක්‍ය බැලීමටය. බන්දුසේනගේ නාඩි වාක්‍ය බැලි ඍෂිවරයා පවසා ඇත්තේ බන්දුසේන ඉදිරියේ විශාල පිපිරීමකට හසුවී බෙල්ලෙන් උඩ ඉන්ද්‍රියක් සදහටම අකර්මණ්‍ය වන බවය. එමෙන්ම සැනකින් (ආයුධයකින්) බන්දුසේනගේ සිරුරට හානි පැමිණෙන බවය. නාඩි වාක්‍යයෙන් කියවුණේ කෙසේ වෙතත් පිපිරීමෙන් බන්දුසේන මරණයට පත් නොවන බවය.
බන්දුසේන තම ආත්මය ශරීරයෙන් නික්මී සැරිසැරීම ගැන කියන්නට පටන් ගත්තේ අමුතුම ප්රබෝධයකිනි.
"මට ටිකක් වෙලා යනකොට දැනුණා නිල්පාට මල්පෙති අතුරපු ඇඳක සැතපිලා මගේ සිරුර දිහා බලා ඉන්නවා වගේ පුදුම සනීපයක්. මට මගේ භවය සැරිසරනවා වගේ දැනුණා. ජීවිතේ ඔක්කොම බැඳීම් වලින් මිදුණා වගේ පුදුම නිදහසක් දැනුණා. ඒත් හිටපු හැටියේ මම ආයෙමත් මෙලොවට ආවා වගේ දැනුණා. කොන්දෙ පුදුම අමාරුවක් දැනුණා."
"ඒ කියන්නේ ඉස්පිරිතාලේ ගිහින් ඇඳක් උඩද හිටියේ?"
"නෑ නෑ මං හිටියේ ජීප් එකක ඩිකියේ. මේ බෝම්බෙදි ෂාහුල් හමිඩ්ටත් බෝම්බේ වැදුණා. ෂාවුල් හමිඩ්ව උස්සන් යන අය මා දැකලා මාවත් උස්සන් ඇවිත් ජීප් එකේ ඩිකියට විසි කළා. ඩිකියේ මගේ කොන්ද වැදිලා මට ආයේ සිහිය ආවා. එලොවින් මෙලොවට ආවා කොටින්ම කිව්වොත්."
"එතකොට ඉස්පිරිතාලෙදි මොකද වුණේ?"
"බෝම්බ ප්‍රහාරයකට අහු වුණාම පැය 24ක් යනකම් සිහි නැති කරන්නේ නෑ. මට ආයිත් දැනුණා ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ ආත්මය සැරිසරනවා වගේ. මට දැන් මාව පේනවා. නර්ස්ලා කතා වෙනවා මේ අර මෝචරියට යවන්න තියෙන බොඩි එක කියලා.
ඒත් මං නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙනකොට නාඩි වාක්‍යයේ කිව්වා වගේම මගේ වම් ඇහැ සම්පූර්ණයෙන් පෙනීම නැති වෙලා. නාඩි වාක්‍යයේ කිව්වානේ ආයුධයකින් හානියක් වෙනවා කියලා. මගේ ලේ ඝනකම වැඩි නිසා මට සිහි නැති කරන්න බෑ.
ඒ නිසා බෝම්බ ප්‍රහාරයේදී මගේ බඩට බැහැල තිබුණ ලේ ගත්තේ මම පණ පිටින් ඉඳිද්දි. බඩේ පැත්තකින් කපල බට දාල ලේ දාපු කෑන් එක ඇඳ යට තිබුණා. දණිස්වල තිබ්බ බෝම්බ කෑලි ගන්න බෑ කිව්වා.
බන්දුසේන තමන්ගේ ඇඟේ තිබ්බ යකඩ කොටස් කීපයක් අපට පෙන්නුවේ කෞතුක භාණ්ඩ ලෙසය. බන්දුසේන පවසන්නේ පාර්ලිමේන්තුවේ හෝ බැංකුවක ආරක්ෂක පද්ධතියක් මැදින් යන විට ඇඟේ ඇති බෝම්බ කෑලි නිසා 'බිප්' 'බිප්' සද්දයක් නැඟෙන බවය. අවසානයේ අප බන්දුසේනට සමුදී ඔහුගේ නිවසින් පිටතට ආවේ ඇෙමරිකන් සිරියල් චිත්‍රපටයක් බැලුවාක් මෙන් ඇත්දැකීමක් ලබාගෙන බව නම් නොකියා බැරිය.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ