
බොහෝ පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත්වීමට ‘දඟලන දැඟලිල්ල‘ ක්‍රීඩාවේ දියුණුවටත් භාවිත කළේ නම් අද වන විට ශ්‍රී ලංකාව ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ක්‍රීඩාවෙන් ‘කප්‘ ගසා අවසන්ය. ඒවා තබන කැබිනෙට්ටු ද පිරී ඉතිරී ගොස් හමාරය. එහෙත් අද වනතුරු එවැනි ජයග්‍රහණ ඇත්නම් ඒ අතලොස්සකි. ශ්‍රී ලංකාවට පළමුවරට ක්‍රීඩාවෙන් ලෝක කුසලානයක් දිනා දුන්නේ මොහොමඩ් ලාෆිර්ය.
1973 නොවැම්බරයේ ඉන්දියාවේ එවකට බොම්බායේ (වත්මන් මුම්බායි නුවර) පැවැති ලෝක ආධුනික බිලියඩ් ශූරතාවලියේදී ඔහු කුසලානය දිනා ගත්තේය. තනි පුද්ගලයකු ලෙස ඔහු කළ හපන්කම එතැනින් පසු මෙරට කිසිදු බිලියඩ් ක්‍රීඩකයකුට කළ නොහැකි වන තරමට එම ක්‍රීඩාව වළපල්ලට ගොසිනි. ඊළඟට එවැනි ලෝක කුසලානයක් මෙරටට දිනා දුන්නේ නම් ඒ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමය. 1996 වසරේ මාර්තුවේදී පාකිස්තානයේ ලාහොර් නුවරදී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් කුසලානය දිනා ගැනීමෙන් පසු මේ දක්වා එක්දින ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු කුසලානයක් නැත. ඊටත් පසු ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දුන්නේ 2014 වසරේ අප්‍රේල් මාසයේ බංග්ලාදේශයේ මීර්පුර් නුවරදී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමය. එදායින් පසු විස්සයි20 ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කුසලානයක් නැත. මේ ලෝක ජයග්‍රහණ අධ්‍යයනය කිරීමේදී පෙනී යන කාරණාව නම් එවැනි සෑම අවස්ථාවකට පසුවම කුසලානය දිනා ගැනීමට පෙර නොවූ විරූ අයුරින් තනතුරුවලට ඇති තරගකාරීත්වය ඉහළ යෑමය. හරිනම් එය සිදුවිය යුත්තේ ක්‍රීඩකයන් අතරය. වෙනත් රටවල සිදුවන්නේ ඒ ටිකය. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එහි අනෙක් පැත්තය.
අනෙක් අතට ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා සංගම්වල සභාපතිධුරය ඇතුළු ඉහළ මට්ටමේ තනතුරු සඳහා නිලධාරීන් අතර ඇති බලපොරය, කල්ලිවාදය අසීමිත වීම නිසා සිදුවී ඇත්තේ ක්‍රීඩාවේ දියුණුවට නොව පරිහානියට බලපෑමය. මේවා වැඩිපුරම සිදුවන්නේ යහමින් මුදල් ගැවසෙන ක්‍රීඩා සංගම්වල බව ප්‍රකට කරුණකි. විශේෂයෙන් ක්‍රිකට් සහ පාපන්දු ඒ අතුරින් ඉදිරියෙන්ම තිබේ. ඒ හැර නෙට්බෝල් ක්‍රීඩාවේ ද බල තණ්හාවේ හා කල්ලිවාදය එමටය. ජාතික ඔලිම්පික් කමිටුවේ තරම ද ඊට දෙවැනි නොවේ. මෙවැනි ක්‍රීඩා සංගම්වල තනතුරු සඳහා පවතින තරගය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව ක්‍රීඩාලෝලීන් ද විමතියට පත්කරවන සුලුය. එවැනි ක්‍රීඩා සංගම්වල එක්වරක් ප්‍රධාන තනතුරකට පත්වන පුද්ගලයාගේ එකම අභිලාෂය හැකිතාක් කාලයක් ධුරයේ රැඳී සිටීමය. අන් කිසිවකුට තම ධුරය අත්පත් කර ගැනීමට නොහැකි අයුරින් පසුබිම සකස් කරගැනීමය. ඊළඟ නිලවරණයේදීත් තනතුර රැක ගැනීමේ පුදුමාකාර තණ්හාවකින් පෙළෙන මෙවැනි පුද්ගලයන්ට තම දියුණුව මිස ක්‍රීඩාවේ දියුණුව ගැන වගේ වගක් නැත. එවැනි පුද්ගලයෝ මෙරට ක්‍රීඩාවේ ඇති තරම් සිටිති. වයසින් බැලූ විට බොහෝ විට හැත්තෑවටත් වැඩිය. නොඑසේ නම් ඊට ආසන්නය. එහෙත් ජවසම්පන්න සිත් ඇති, නව පරිකල්පනයේ සිතුම් පැතුම් ඇති, ජාත්‍යන්තර ක්‍රීඩාවේ ප්‍රවණතා ගැන දැනුමක් ඇති තවත් පුද්ගලයකුට අවස්ථාවක් දීමට සිතක් පහළ වන්නේම නැත. අවසානයේ සිදුවන්නේ ක්‍රීඩාවත් ඔවුන් සමඟම වළපල්ලට යෑම පමණකි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නව රෙගුලාසි ඇතුළත් කරමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ මෙවැනි පුද්ගලයන්ගෙන් ක්‍රීඩාව බේරා ගැනීමටය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ආරක්ෂාව සැපයීමට සහ සමස්ත ක්‍රීඩාව ඔසවා තැබීමටය. ඉන් සිදුවී ඇත්තේ එම ගැසට් නිවේදනයෙන් නීතිගත කර ඇති තනතුරුවල කටයුතු කළ හැකි කාලසීමාව, උපරිම වයස් සීමාව මෙන්ම තනතුරු අපේක්ෂකයන් සිය වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු වීම වැනි කොන්දේසිවලින් ක්‍රීඩා සංගම්වලට අරක් ගත් බහිරවයන්ගේ ඉහමොළ රත් වීමය. ක්‍රීඩා පනතේ සංශෝධනයට එරෙහිව අමාත්‍යවරයාට එරෙහිව යන්නේ එවැනි පුද්ගලයෝ වෙති.
සැබැවින්ම ඇමැතිවරයා මේ පියවර ගත්තේ මුලදී ගරු සේවයක් ලෙස ක්‍රීඩා සංගම්වල නිලතලවලට පත්වන බොහෝ පුද්ගලයන් පසුව පෞද්ගලික අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමේ පටු චේතනාවකින් යුතුව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ආපස්සට තල්ලු වෙමින් තිබුණු අවදියක බව නොකියාම බැරිය. අනිත් අතට ජාත්‍යන්තර මවු සංගමයෙන් මෙරට ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා බෙදා දෙන මූල්‍යාධාර හුදෙක් ක්‍රීඩාවේ ප්‍රගතිය සඳහා නොව තම තමන්ගේ මඩිය තර කර ගැනීමට පාවිච්චි කරමින් තිබුණු කාල සමයකදීය. විශේෂයෙන් ලොව වැඩිපුරම මුදල් සංසරණය වන නොම්මර එකේ ක්‍රීඩා මවු සංගම් බෙදා දුන් ඩොලර් කන්දරාව හිතුමතේ වියදම් කිරීමටත්, අදාළ ක්‍රීඩාවේ සංවර්ධනය හා ප්‍රගතිය සඳහා නොව ඊළඟ නිලවරණයේදී යළි බලය රැක ගැනීමට අවශ්‍ය පසුබිම තනා ගැනීමටත් යොදවමින් මෙරට ප්‍රධානතම ක්‍රීඩා සංගම් රැසක එවැනි බහිරවයන් අරක් ගෙන සිටි යුගයකදීය.
ඔවුන් බහිරවයන් ලෙස හැඳින්වීමට සිදුවී ඇත්තේ අන් කිසිදු කරුණක් නිසා හෝ නොව දශකයකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව සංගම්වල තනතුරු දරමින් සිටින බැවිනි. අදාළ ක්‍රීඩාව සම්බන්ධව පළපුරුදු හා හසල දැනුමක් ඇති තවත් කිසිවකුට එම තනතුරුවලට පත්වීමට අවස්ථාවක් නොදීම හේතුවෙනි. මෙවැනි නිලධාරීන් මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල සිටිති. ඔවුන් සිතන්නේ අදාළ ක්‍රීඩාවේ දියුණුවට සුදුසුම පුද්ගලයන් තමන් බවය. නොඑසේ නම් තමන් තරම් ක්‍රීඩාව පිළිබඳ දන්නා අයකු තවත් නොමැති බවය. එහෙත් එහි යටි අරමුණ මුදල් මත රඳා පවතින බවට කෙනකුට තර්ක කළ හැකිය. පසුගියදා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග කියා සිටියේ මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතල උසුලන පුද්ගලයන් එම තනතුරුවලට පත්වූයේ තමන් දන්නා කාලයේ සිට බවය. එහි ඇත්තක් ද නැත්තේ නොවේ.
ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති සහ එවැනි තත්ත්වයන් සියුම් ලෙස නිරීක්ෂණය කරන අයකුට පෙනී යන වැදගත්ම කරුණ වන්නේ ක්‍රීඩා සංගම්වල තනතුරුවලට පත්වන පුද්ගලයන්ගේ ධුර කාලය බොහෝවිට වසර දෙකකට සීමාවී ඇති බවය. දිනෙන් දින දියුණු වන ක්‍රීඩාවේ නව තාක්ෂණය සමඟ එකට ගමන් කළ හැකි ආකාරයේ දැනුම් සම්භාරයක් සහිත නව පරිකල්පනයන් භාවිත කරමින් අදාළ ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් උරදී කටයුතු කළ හැකි පුද්ගලයන් ඕනෑම රටක සිටින බව අමතක නොකළ යුතුය. ක්‍රීඩාවේ ප්‍රගතිය දැකීමට නම් ශ්‍රී ලංකාවට ද එය එක සේ අදාළ විය යුතුය.
එහෙත් මෙරට ඇතැම් නිලධාරීන් ක්‍රීඩා සංගම්වල නිලතලවලට පත්වන්නේ ජීවිත කාලය පුරාම එම තනතුරවල කටයුතු කිරීමේ අරමුණ ඇතිවය. පළමුවරට එම තනතුරට පත්වන පුද්ගලයන්ගේ පවා අරමුණ වී ඇත්තේ ඊළඟ නිලවරණයේදී තනතුර රැක ගැනීමය. ඒ සඳහා වටපිටාව සකස් කිරීම ආරම්භ වන්නේ පළමු ධුර කාලයේ කටයුතු කරද්දීමය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා සංගම්වල තත්ත්වය එලෙසය. ක්‍රීඩා ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ක්‍රීඩා පනතේ නීති රෙගුලාසි සංශෝධනය කිරීමෙන් කලබලයට පත්වී ඇත්තේ එවැනි නිලධාරින්ය. දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඇවිස්සී ඇමැතිවරයාට එරෙහිව කඳවුරු බඳින්නේ එවැනි පුද්ගලයෝ වෙති. විශේෂයෙන් ක්‍රීඩා පනතේ නව සංශෝධනවලට ඇතුළත් තනතුරු දැරීමේ වයස් සීමාවේ නිර්නායකය මෙරට ක්‍රීඩා සංගම් රැසක ප්‍රධාන තනතුරු දරන නිලධාරින්ගේ ඉහමොළ රත් කළ කාරණාවක් බවට පත් වී තිබේ. ක්‍රීඩා සංගමයක තනතුරු දැරීමේ උපරිම වයස් සීමාව අවුරුදු 70 දක්වා සංශෝධනය කිරීමට ඇමැතිවරයා පියවර ගැනීමත්, සභාපති තනතුර ඇතුළු ප්‍රධාන තනතුරුවල කටයුතු කළ හැකි කාලසීමාවේ උපරිමය වසර 2 බැගින් අවස්ථා දෙකකට සීමා කිරීමත් නිසා වැඩිපුරම රිදී ඇත්තේ මේ ගරු සේවය සිය ජීවනෝපාය කර ගත් ඇතැම් නිලධාරින්ටය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන කියන ආකාරයට එවැනි නිලධාරින්ට නිශ්චිත රැකියාවක් නැත. ව්‍යාපාර කිසිවක් නැත. මන්ද ඔවුන් අදාළ ක්‍රීඩාවෙන්ම යැපෙන පුද්ගලයන් වන බැවිනි.
සැබැවින්ම ක්‍රීඩා සංගමයක ඕනෑම තනතුරක් ගරු සේවයකි. ඉන් කියැවෙන්නේ එය මුදල් උපයා ගැනීමේ මාර්ගයක් නොවන බවය. ජීවිකා වෘත්තියක් නොවන බවය. එහෙත් පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා නිලධාරින්ට එල්ල වූ විවිධ චෝදනා සම්බන්ධව විමර්ශනය කළ කමිටුව අනාවරණය කළ පරිදි ජාත්‍යන්තර මව් සංගමයෙන් සපයනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අදාළ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් හිතුමතේ වියදම් කරන්නේ එය මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදු කරන දිරිගැන්වීමක් නොව තමන් විසින් කරනු ලබන ගරු සේවයට ලැබිය යුතු ත්‍යාග ලෙස සලකමිනි. තම පුද්ගලික සුඛ විහරණය සඳහා එම මුදල් යොදා ගන්නා බවට ද අනාවරණය කර තිබිණි.
ක්‍රීඩා පනතේ සංශෝධන අතර තවත් කැපී පෙනෙන රෙගුලාසියක් වන්නේ අදාළ නිලධාරීන් අවුරුදු 3කට ආසන්න කාලයක වත්කම් ප්‍රකාශයක් ලබා දිය යුතු වීමය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා කියන්නේ බොහෝ සංගම් නිලධාරීන් සිර වන්නේ එතැනදී බවය.
‘සමහර සංගම්වල නිලධාරීන් අවුරුදු 5කට කලින් හිටපු විදිහයි, දැන් ඉන්න විදිහයි බැලුවම පුදුම හිතෙනවා. අමුතුම තත්ත්වයක්. පුදුම විදිහට මුදල් උපයලා තියෙනවා. අපිට එවැනි වාර්තා පවා ලැබිලා තියෙනවා. ක්‍රීඩා ඇමැතිතුමා නැවත වතාවක් දූෂණ විරෝධී ඒකකය ස්ථාපිත කරලා තියෙන නිසා අපි ඒ හරහා මේවා ගැන හොයන්න බලාපොරොත්තු වෙනවා.‘ පසුගියදා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා එසේ කියා තිබිණි.
කනගාටුදායක කාරණාව වන්නේ එවැනි දූෂිත ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යාංශයේම ඇතැම් නිලධාරින්ගේ සහයෝගය නොමසුරුව ලැබීමය. ඒවා සිදුවන්නේ අත යටින් ලැබෙන සන්තෝසම් නිසා වන්නට ද පුළුවන. රාත්‍රී කාලයේ අවන්හලක හෝ සමාජශාලාවක එකට අසුන්ගෙන මත්පැන් තොළගාමින් මිතුදම ශක්තිමත් කරගන්නා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගෙන් ක්‍රීඩා සංගම් නිලධාරින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? සිය දූෂිත පරිපාලනයට එරෙහිව හෝ මූල්‍ය අක්‍රමිකතාවලට එරෙහිව අමාත්‍යාංශයට ලැබෙන පැමිණිලි හා සාක්ෂි යට ගැසීම ද? නොඑසේ නම් තම දූෂණ වංචා තවදුරටත් නිදහසේ සිදු කිරීමට අමාත්‍යාංශය පැත්තෙන් අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම ද? නොඑසේ නම් විගණන වාර්තා ඉදිරිපත් කිරීමකින් තොරව මීළඟ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම ද ?
වසර ගණනාවක් පුරා මෙරට විවිධ ක්‍රීඩා සංගම්වල දූෂණ වංචා පිළිබඳ අනාවරණය කර ඇති මේ ලියුම්කරුට අනුව බොහෝ ක්‍රීඩා සංගම්වල විනිවිදභාවයකින් යුතු විගණන වාර්තා නැත. ඊළඟ නිලවරණයට අදාළව මහ සභා රැස්වීමට විගණන වාර්තාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුව තිබුණ ද ඒවා සිදුවන්නේ එහෙමත් ක්‍රීඩා සංගමයක පමණි. මෙවැනි කරුණු පෙන්වා දීමට උත්සාහ ගැනීමේදී ලියුම්කරු පෞද්ගලිකව ඇතැම් ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන්ගේ උදහසට ලක්වූ අවස්ථා ද එමටය. එවැනි අවස්ථාවලදී එල්ල වන චෝදනාව වන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ වුවමනාවට මෙවැනි චෝදනා එල්ල කරන බවය.
සැබැවින්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා මෙරට මාධ්‍ය මඟින් පෙන්වා දෙන බොහෝ දූෂණ වංචා පසුකාලීනව ඇස් පනාපිටම ඔප්පු වන තැනට වැඩ සිද්ධ වී තිබෙන බව ඉතිහාසය සාක්ෂි දරයි. එසේ තිබියදීත් සිය දූෂණ වංචා වසා ගැනීමට මාධ්‍යයට චෝදනා එල්ල කරන ක්‍රීඩා සංගම් නිලධාරීන් අතළොස්සක් ද මෙරට සිටිති. ඔවුන්ගේ උත්සාහය වන්නේ දූෂණ වංචා හෙළිදරවු කරන මාධ්‍යවේදීන් මට්ටු කිරීමට නීතිය හමුවට යෑමය. නොඑසේ නම් නීතිය හමුවට යන බවට තර්ජනය කිරීමය. ඔවුන් මාධ්‍යාය පාලනය කිරීමට උත්සාහ දරන්නේ ඒ අයුරිනි. දූෂිත ක්‍රීඩා සංගම්වල නිලධාරින්ගේ අල්ලසට යටවී ක්‍රීඩාවත්, වෘත්තීය ගරුත්වයත් දෙකම පාවා දී මඩිය තර කර ගන්නා ක්‍රීඩා මාධ්‍යවේදීන් ද නැතුවා නොවේ.
ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිදු කරනු ලැබූ නව සංශෝධනවලට අභියෝග කරමින් නීතිය හමුවට යෑමට ඇතැම් ක්‍රීඩා සංගම් මේ වන විට පියවර ගෙන ඇති අතර, ඒවා බොහෝවිට සිදුවන්නේ දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති ක්‍රීඩා සංගම්වලින් වීම කැපීපෙනේ.
ක්‍රීඩාවේ දියුණුවට සිදු කළ සංශෝධනයන් සම්බන්ධව කලබලයට පත්ව එම සංශෝධන ආපසු හැරවීමට ඇතැම් ක්‍රීඩා සංගම්වල නිලධාරීන් නොයෙකුත් ආකාරයෙන් දහං ගැට දමමින් සිටිය ද, කිසිදු හේතුවකට එම සංශෝධනයන් නිවේදනය කළ ගැසට් පත්‍රය අවලංගු නොකරන බව පසුගියදා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ තරයේම කියා සිටියේය. ඇරත් එවැනි තත්ත්වයක් මතු වන්නේ නම් ඇමැතිධුරයෙන් ඉවත්වී ‘ගෙදර‘ යෑමටත් ඔහු දැඩි තීරණයක් ගෙන තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා කියන්නේ තමාට ගැටෙන්නට සිදුවී ඇත්තේ හොරු රැලක් සමඟ බවය.
‘ක්‍රීඩාවේ හොරු රජ කරන කාලයක් මේක. දැන් හොරු එක්කයි හැප්පෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොඳ දේවල් කරන්න ගියාම නීතිය හමුවට යනවා. මේ සංශෝධනවල ඇති වැරැද්ද මොකක්ද? අවුරුදු 4ක් අවංකව හරියට වැඩ කරන්න බැරි පුද්ගලයා තව අවුරුදු 4ක් තනතුරේ හිටියත් සිද්ධ වෙන්නේ එකම දේ.‘ කතාව ඇත්තය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මැද භාගයේදී නිකුත් කළ නව ක්‍රීඩා සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු වනු ඇතැයි හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය වී ඇති බවත් කිව යුතුමය. ඔවුන් කියන්නේ සමස්ත ක්‍රීඩාවේම යහපත පිණිස එවැනි පියවරක් ගත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉතිහාසගත වන බවකි.
lෆවුස් මොහොමඩ්