ශ්‍රී ලාංකේය සිනමාකරුවන් වෙනුවෙන් CEYIFF සම්මාන උලෙළ මෙවර | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකේය සිනමාකරුවන් වෙනුවෙන් CEYIFF සම්මාන උලෙළ මෙවර

CEYIFF සභාපතිනී අරුණි බොතේජු සහ CINE සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස අතින් හොඳම තිර රචනයට හිමි සම්මානය ඝරසර්ප චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි ලබාගත් අයුරු

CEYIFF සම්මාන උලෙළ මෙරට කලා ක්ෂේත්‍රයේ සුවිශේෂීම සම්මාන උලෙළයි. ලාංකීය සිනමාකරුවන් වෙනුවෙන් මෙරටින් පිට සංවිධානය කරන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා උලෙළ ද මෙයයි. සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ උදාර හැඟීම පෙරදැරි කරගෙන Ceylon International Film Festival (CEYIFF) CINE Star පදනම සමඟ අත්වැල් බැඳගනිමින් 2022 සිනමා සම්මාන උලෙළ පසුගිය 10 වැනිදා කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

CEYIFF සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය the Newspaper චිත්‍රපටයට හිමිවූ අතර හොඳම නළුවාට හිමි සම්මානය එහි රංගනය වෙනුවෙන් සරත් කොතලාවලට හිමි විය. හොඳම නිළියට හිමි සම්මානය සුනාමි චිත්‍රපටයේ රඟපෑ නිරන්ජනී ෂන්මුගරාජා විසින් හිමිකර ගත්තාය. හොඳම සහාය නළුවා the Newspaperහි කුමාර තිරිමාදුර හිමි කරගත් අතර හොඳම සහාය නිළිය සම්මානය සුනාමිහි රඟපෑ හිමාලි සයුරංගිට හිමි විය. හොඳම තිර රචනයට හිමි සම්මානය ඝරසර්ප චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරිට හිමි විය.

ජූරියේ විශේෂ ඇගයුම් සම්මානය සුනාමි චිත්‍රපටය හිමිකර ගත් අතර CEYIFF වෙතින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ප්‍රශස්ත ඇගයුම් සම්මානය ජ්‍යෙෂ්ඨ රංගධර අයිරාංගනී සේරසිංහ සහ ලතා වල්පොල යන මහත්මීන්ට හිමි විය. එමෙන්ම සිනමාවේ කාන්තාව සම්මානය මෙවර හිමිවූයේ රේණුකා බාලසූරිය මහත්මියටයි. ශ්‍රී ලාංකිය සිනමාව ඉහළ වාණිජ වටිනාකමකින් යුතුව ජාත්‍යන්තරය ජය ගැනීම උදෙසා මෙය පාලමක් වනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි. ගෝලීය නැඹුරුතාවකින් යුතුව උසස් රසාස්වාදයක් උදෙසා ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලබන සුවිශාලතම සිනමා සම්මාන උලෙළ ද මෙයයි.

මෙහි විනිශ්චයන්, ඒ ඒ ක්ෂේත්‍රයන් කෙරෙහි ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වූ විදේශීය වෘත්තිකයන් විසින් සිදු කෙරෙන අතර ශ්‍රී ලාංකේය සිනමා පාර්ශ්වයන් සමඟ ඔවුන්ගේ ඍජු සබඳතාවක් නොමැති අතර තෝරාගැනීම් සියල්ල මුළුමනින්ම අපක්ෂපාතී බව එහි සභාපතිනී අරුණි බොතේජුගේ අදහසයි.

ඇයගේ අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ Ceylon International Film Festival (CEYIFF) ලාභ නොලබන කලා සහ අධ්‍යාපනික සංවිධානයක් වන අතර එහි මූලස්ථානය කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි පිහිටා ඇත. එහි විශේෂ අවධානය යොමු වී ඇත්තේ මෙරට සිනමාව ප්‍රවර්ධනය කිරීම හා මෙරට සිනමාකරුවන්ට හොලිවුඩයට නිරාවරණය වී ගෝලීය සිනමා ප්‍රමිතීන් වෙත ළඟාවීමට අවස්ථාව උදා කරදීමයි.

CINE Star පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ අදහස වූයේ මෙවන් සම්මාන උලෙළ සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිහිනය සැබෑ කරගැනීමේ පියවරක් බවත් CEYIFF හා එක්ව එය මෙරටේ පැවැත්වීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය වශයෙන් පිළිගැනීමක් හා ගෞරවයක් හිමිවීම තුළින් ශ්‍රී ලංකා මාතාවට අභිමානයක් ලැබෙනවා මෙන්ම එම අභිමානවත් ගමනේ පළමු ඉදිරි පියවර මෙය බවයි.

දේශීය සිනමා කර්මාන්තය සඳහා කැප වූ සංවිධානයක් ලෙස 2003 වසරේ ඇරැඹි CINE Star පදනම ලාභ නොලබන සංවිධානයක් ලෙස ලියාපදිංචි වී ඇති අතර එය සිනමා කර්මාන්තයේ සියලුම පැති නියෝජනය වන පරිදි සාමාජිකයන් 350කට අධික පිරිසකින් සමන්විතය.




Comments