ප්‍රේමයේ අඩුවක් කවදාවත් මට දැනිලා නැහැ | සිළුමිණ

ප්‍රේමයේ අඩුවක් කවදාවත් මට දැනිලා නැහැ

- හිස බූ ගෑවේ ප්‍රංශ ගෝල් කීපර් බානිස් වෙනුවෙන් දැන් එය මගේ ෆැෂන් එක
- ප්‍රංශයේ ඉන්නකොට හදවතේ කොටසක් හිස් ලංකාවට ආවම ඒ හිඩැස පිරෙනවා
- ගායනය නිසයි මට ඇයව මඟ හැරුණේ

මං අහන්නේ නම් නැහැ රත්තරනේ කියන ගීතය ඇය වෙනුවෙන් ගැයූ ලක්ෂ්මන් හේවාවිතාරන ප්‍රංශයෙන් ලංකාවට ඇවිත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙන්නේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන්මයි. ඊට පස්සේ බොහෝ නිර්මාණ කරමින් ප්‍රසංග වේදිකාවට එන ඔහු මේ වෙද්දී ආදරණීය හිත්වල ජනප්‍රියම ගායකයෙක් බවට පත් වෙලා. විරහ ගීත එක්ක නිරන්තරයෙන්ම ජනතාව අතරට එන ඔහු නිර්මාණ ගැන වගේම ආදරේ තනිකම බැඳීම් ගැන කතා කළා.

රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක දැන් හිතෙන්නේ නැද්ද ප්‍රංශයට වෙලාම ඉන්න තිබ්බා කියලා ..?

එහෙම නම් හිතෙන්නේ නැහැ. මොකද මේ අපේ රට, ප්‍රංශයේ හැම දෙයක්ම තියෙනවා සුරපුරයක්. නමුත් අපේ වගේ ඉන්න නැහැනේ. එහේ ඉන්නකොට හදවතේ කොටසක් හිස්. ලංකාවට ආවම ඒ හිඩැස පිරෙනවා. නමුත් අඩුපාඩුකම් දැනෙනවා. ඒත් ඉන්න තමයි උත්සාහ කරන්නේ. අනිත් එක මට ඕන වෙලාවක ප්‍රංශයේ යන්න එන්න පුළුවන්.

ප්‍රවීණ ගායක ගුණදාස කපුගේ එදා ඔබට ගායකයෙක් වෙන්න කියලා නොකිව්වා නම්, ප්‍රංශයේ ඔබේ යුවතියත් අද ඔබ ළඟ ..?

ඔව් එතුමා ප්‍රංශයට ආව වෙලාවක මට කිව්වා ගීතයක් කරන්න හොඳ හඬක් තියෙනවා කියලා ඒ විදිහට තමයි පළමු ගීතය කරන්නේ, 2002 වර්ෂයේ. ඒත් එක්කම ලංකාවට එනවා. ඇවිත් පුළුවන් වෙලාවට ප්‍රංශයට ගිහිං එන්න යනවා. මම ප්‍රංශයට යන්නේ 1994 වර්ෂයේ එතකොට මගේ වයස අවුරුදු 19 යි. මට එහේ පෙම්වතියක් හිටියා. ඇය පෙම්වතිය විදිහට හඳුන්වලා දෙනවට වඩා ඒ මගේ බිරිඳ කිව්වොත් හරි. ඇය එක්ක මම එක ගෙදර ජීවත් වුණා නමුත් විවාහ වුණේ නැහැ, ගායන ජීවිතයත් එක්ක ඇය මගේ ළඟින් ඈත් වුණා. මම ලංකාවට ආව නිසා. කිසිම වෙලාවක දොස් කියලා නැහැ ඇය. අදටත් අපි අතර ආදරණීය බැඳීමක් තියෙනවා. අපි සමීපයි. එයා ලංකාවට එනවා මාව බලන්න. ගායනය නිසා තමයි මට ඇයව මඟ හැරුණේ කියන්න පුළුවන්.

මුල්ම ගීතය ලියන්නෙත් ඇයව හිතේ තියාගෙන ..?

මම අහන්නෙ නම් නෑ රත්තරනේ කියන ගීතය එයා හිතේ තියාගෙන ලියැවුණු එකක්. ඒක මම එයාටත් කියලා තියෙනවා. නමුත් මේ ගීතය පොදු ගීතයක් විදිහට ආදරණීය රසිකයින් වැලඳ ගත්තා.

තනි වුණු බොහෝ දෙනෙක් තනිකම එක්ක පසු තැවෙන්නේ පසු කාලයේදී, ඔබත් ආදරණීය හිතක් එක්ක පවුල් ජීවිතයක් ගත නොකළ එක ගැන පසුතැවෙනවද..?

කවදාවත් මට එහෙම ප්‍රේමයේ අඩුපාඩුවක් දැනිලා නැහැ. තාරුණ්‍යය ඉක්මවා ගියාට පස්සේ තනියම ඉන්න එක මානසිකව බලපාලා තියෙනවා. ඒ වගේම සියලු දේ තියෙනවා නම් එහෙම අඩුවක් දැනෙන්නේත් නැහැ. ආදරේ කරන කෙනා කතාබහ කරලා ඉන්නවා නම් ඒ ඇති. එයා කා ළඟ කොහේ හෝ හොඳින් සතුටින් ඉන්න ඕන කියලා විතරයි මම හිතන්නේ. එක වහලක් යට ජීවත් වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. පසුතැවිලි නම් නැහැ.

ප්‍රේමය ඔබව මඟ හැරියාද..?

මම කාට හරි ආදරේ ප්‍රකාශ කළා නම් ඒ හැම කෙනෙක් වගේම පෙරළා මට ආදරේ කළා. එහෙම මිස් වෙච්ච ආදරයක් නැහැ . මම ආදරේ වින්ඳා. ඒ නිසා එහෙම කියන්න බැහැ 

ඔබව ප්‍රේක්ෂකයන් මුල ඉදලම දකින්නේ තට්ටය සහිත ස්වරූපයෙන්, ඇය නිසා වෙනස් වුණා ද, එහෙම නැත්තම් ගායන ක්ෂේත්‍රයට එන්න වෙනස් වුණා ද..?

ඔය දෙකම නෙමෙයි. 1998 වර්ෂයේ ප්‍රංශයේ පාපන්දු ලෝක කුසලානය පැවැත් වුණා. එදා මගේ බිරිඳ මම හා තව දොළොස් දෙනෙක් එය නරඹන්න ගියේ හිස බූ ගාලා. ඒ ස්ටේඩියම් එකේ එක පැත්තක හිටියේ හිස බූ ගෑව අය. ඒ හැමෝම හිස බූ ගෑවේ ප්‍රංශ ගෝල් කීපර් බානිස් වෙනුවෙන්. මමත් ඇයත් ඔහු වෙනුවෙන් හිස බූ ගාලා තරගය නරඹන්න ගියා. එදා ඉඳලා අද වෙනකල් ඒක මගේ ෆැෂන් එක කර ගත්තා. ඒකයි වුණේ. ‍

දැන් ඔබ එක දිගට ගීත නිර්මාණය කරනවා..?

මේ මාස දෙකට මම ගීත හතරක් නිර්මාණය කළා. “දෝණියේ, ඔය ප්‍රේමයේ මල, සිත්පුරා සිහිනයේ, පාට පාටින් හීන තරුමල්“ කියන ගීත. දැන් රූප රචනා කරන්න බැහැ තියෙන ප්‍රශ්න එක්ක ලොකු වියදමක් යනවා. ඉස්සර නම් අපි සීඩී පටයක් කරලා ලොකු ලාභයකුත් ගත්තා. නමුත් දැන් එහෙම කරන්න බැහැ . ඒ නිසා ගීත නිෂ්පාදනය කරන අය මට මුදලක් ගෙවලා ගීත කරනවා.

ලක්ෂ්මන් කියන්නේ වැඩිපුරම සංගීත ප්‍රසංග සඳහා ඇරයුම් ලබන කෙනෙක් ..?

ආරාධනා නොඅඩුව ලැබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසේ යුරෝපා සංචාරයක ගිහිං නොවැම්බර් මාසේ ආවේ. ආයෙත් මාර්තු යනවා ජර්මන්, පැරිස්, ඉතාලි. මට ඕන රටකට යන්න පුළුවන් නිසා සංවිධායකයින්ට හරි ලේසියි මාව ගන්න එක. ඇත්තටම කිව්වොත් ආස කරන රටවල් ඔක්කොටම යන්න පුළුවන් වුණා නොගිය රටක් නැහැ.

ඉස්සර ගෝණි ගණන් ආ ප්‍රතිචාරවල දැන් අඩුවක් දකිනවද..?

ඉස්සර ලියුම් එවපු අය දැන් තාක්ෂණය දියුණු වෙලා නිසා එස්. එම්. එස් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වනවා. මාසෙකට මැසේජ් විස්සක් තිහක් විතර ලැබෙනවා. අඩුවක් නම් නැහැ, ගීතයක් එළිදැක්වුවාම ඒ ගැන කතා කරන අය ඉන්නවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

Comments