වැලන්ටයින්ගේ සිහිනයට පියාපත් දුන් අනුරාධා | සිළුමිණ

වැලන්ටයින්ගේ සිහිනයට පියාපත් දුන් අනුරාධා

මා වියේදී අප බොහෝ දෙනකු ජීවිතය දකින්නේ සුරංගනා කතාවක් සේ සුන්දරවය. මල් පෙත්තක් තරම් මෘදුවටය. කුරුලු පිහාටුවක් තරමට සැහැල්ලුවටය. එහෙත් කෙමෙන් කෙමෙන් වැඩී ජීවිතයේ පරිණත භාවයට පත් වෙද්දී බාල වියේදී සිතූ තරම් ජීවිතය සුන්දර හා සැහැල්ලු එකක් නොවන බව තේරුම් යයි. තවදුරටත් ජීවිතය යනු අප කුඩා වියේදී කියැවූ සුරංගනා කතාවක් නොවන බව හැඟෙයි. එවිට අප වෙහෙසෙන්නේ ජීවිතයේ යථාර්ථය සොයන්නටය. සුරංගනා කතාවකින් ජීවිතයේ යථාර්ථය සෙවිය හැකිද? එවැනි අපූරු කෘතියක් ලෙස 'වැලන්ටයින්ගේ සිහිනය' හැඳින්විය හැකිය.

අප මේ කෘතිය හඳුනා ගන්නේ ළමා කෘතියක බහුලව දක්නට නොලැබෙන තරමේ සංකීර්ණ හා අසීමිත පරිකල්පන හැකියාවකින් යුතු කෘතියක් ලෙසටය. මේ කෘතියේ පරිවර්තකයා මාධ්‍යවේදිනී සහ ලේඛිකා අනුරාධා කෝදාගොඩ ය. ඇය විසින් 'වැලන්ටයින්ගේ සිහිනය' ලෙස පාඨක ඔබ අතට පත් කර ඇත්තේ සෝවියට් ලේඛිකා Sofia Prokofieva විසින් රචිත Adventures on Captain’s Island නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙවැනි කෘතියක් පරිවර්තනය කිරීමට තෝරා ගැනීම පිළිබඳ අපි අනුරාධා කෝදාගොඩගෙන් විමසුවෙමු. 

" Adventures on Captain’s Island කියන්නේ සුරංගනා කතා ශානරයට අයිති කතාවක්. ඒ කෘතිය පරිවර්තනය කිරීමට මා පෙලඹ වූ ප්‍රධානතම හේතුව එම කෘතියේ කතුවරිය දක්වා තිබූ ළමා කෘතියක බහුලව දක්නට නොලැබෙන තරම් සංකීර්ණ හා අසීමිත පරිකල්පන හැකියාවයි. ඒ නිසාම ඒ කෘතිය හුදෙක් තවත් එක් ළමා කතාවක්, සුරංගනා කතාවක් යන්නෙන් ඔබ්බට ගොස් යෞවන යෞවනියන්ට හා වැඩිහිටියන්ගේ කියැවීමක් දක්වාම ගමන් කළ හැකි කෘතියක් ලෙස සැලකිය හැකි බව මගේ විශ්වාසයයි. 'වැලන්ටයින්ගේ සිහිනය' මා අතින් රචනා වුණේ එවැනි පසුබිමක් තුළයි.

එහෙත් සුරංගනා කතාවක් තුළින් ජීවිතය පිළිබඳ ගැඹුරු කියැවීමක් කළ හැකිද යන්න ගැන ගැටලුව කෙනකුගේ සිතට නැඟිය හැකිය. ඒ පැනයට අනුරාධා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"අප ජීවත් වන වත්මන් සමාජය සෑම අතින්ම අවුල් ජාලාවක් බවට පත්වී තිබෙනවා. මම හිතන්නේ එයට මූලික හේතුව සදාචාරාත්මක සමාජ නියමයන් කෙරෙහි අප දක්වන නොසැලකිලිමත් භාවයයි. සුරංගනා කතා තුළ කිසිම ගැඹුරක්, ජීවිත දර්ශනයක් නැති බව බැලූ බැල්මට කෙනකුට සිතිය හැකියි. නමුත් සුරංගනා කතා ශානරය විසින් සිදු කරන්නේ සදාචාරාත්මක නියමයන් කුඩා අවදියේ සිට ළමා මනසට කාවැද්ද වීමයි. එයත් මට මේ කෘතිය පරිවර්තනය කිරීම සඳහා හේතුවක් වුණා. "

අනුරාධා පවසන පරිදි මේ කෘතිය තුළ ඇත්තේ හුදු සුරංගනා කතාවක් නොවේ. මේ කතාවේදී හමුවන සතුන් තුළ ඔවුන්ටම ආවේණික කතාවක් ඇත. එය පාඨකයා තුළ රසවින්දනයට එහා ගිය පරිකල්පනය අවදි කරවීමක් බව ඇයගේ අදහසයි. පරිච්ඡේද 16ක් ඔස්සේ පෙළගස්වා ඇති මේ කතාව පාඨකයාට වෙහෙසකින් තොරව කියවාගෙන යා හැකිය. සරල සුන්දර බසින් ලියැවී ඇති කතාව කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් ද ඇදබැඳ ගන්නා තරම් සුන්දරය. ඇතුළත චිත්‍ර ද පාඨකයාට ඒ කතාව සමඟ ජීවත් වීමට ඇරයුම් කරන්නාක් බඳු ජීව ගුණයෙන් පිරිපුන්ය. පොතේ අපූරු පිටවැස්ම ගැන ද අනුරාධා විශේෂ ඇගැයීමක් කළාය.

" මට අවශ්‍ය වුණා කොලාජ් චිත්‍රයකින් පිටකවරය සකසා ගන්න. මගේ හිතේ තිබුණු අදහස ඒ ආකාරයෙන්ම ඉතා සුන්දර කොලාජ් චිත්‍රයක් ලෙසින් සැකසුවේ සංගීත් මධුරාවල. කවරයේ අකුරු ඇන්දේ කාංචනා අමිලානි. වැලන්ටයින්ගේ සිහිනය පරිවර්තනය කිරීමට එහි මුල් කෘතිය ලබා දුන් පොත ප්‍රකාශයට පත් කළ කුරුලු පොත් අධිපති ප්‍රවීණ ලේඛක ගුණසේන විතාන සහ මේ කාර්යය සඳහා මා උනන්දු කළ තාත්තා සරත් කොදාගොඩටත් ස්තුතිවන්ත වෙනවා. " 

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි සිසුවියක වන අනුරාධා කෝදාගොඩ, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක අලෙවි ක්ෂේත්‍රයෙනි. එහෙත් ලිවීමට සහ කලාවට ඇති ඇල්ම නිසාම ඒ රැකියාවට සමු දෙන ඇය අනතුරුව තෝරා ගන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයයි. 2007 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස් පුවත්පතට සම්බන්ධ වන ඇය එතැන් සිට සිට මාධ්‍ය සහ විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වන්නීය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ උසස් පාඨමාලාව හදාරන ඇය එහිදී සිය අධ්‍යයන පැවරුම ලෙස ඉදිරිපත් කළ 'දේවි' නම් කෙටි චිත්‍රපටය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීභාවය පිළිබඳ වූ සම්මානය සඳහා ද නිර්දේශ විය. 2016 වසරේදී 'තාත්තා වගේ කෙනෙක්' යනුවෙන් සිය පළමු පරිවර්තන කෘතිය ප්‍රකාශයට පත් කළ අනුරාධා මේ වන විට සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කරන්නීය. එම පුවත්පතේ 'Youth'ළමා අතිරේකයේ සංස්කාරක ලෙස කටයුතු කරන අනුරාධා කලා සහ සංස්කෘතිය සම්බන්ධ විශේෂාංග ලිපි රචනය සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. වර්තමානයේ මුද්‍රණ කර්මාන්තය මුහුණ දී තිබෙන අර්බුද හමුවේ ග්‍රන්ථකරණය සම්බන්ධයෙන් ඇති අභියෝග පිළිබඳ ද අපි අනුරාධාගෙන් විමසුවෙමු. "බොහෝ කර්මාන්ත අර්බුදයකට මුහුණ දී තිබෙන කාලයක පොතක් ප්‍රකාශයට පත් කිරීමත් එක්තරා අභියෝගයක්. ඒ වගේම කර්මාන්තයක් විදිහට ගත්තොත් පොත්වලට තියෙන්නේ පොඩි වෙළෙඳපොළක්. ඒ තුළ කර්තෘ ප්‍රකාශන විදිහට තමන්ගේ පොත් ප්‍රකාශයට පත්කරන ලේඛක ලේඛිකාවන්ට මුහුණ දීමට තිබෙන අභියෝග වැඩියි. නමුත් මම හිතන විදිහට ළමා පොත් සම්බන්ධයෙන් තවමත් හොඳ තත්ත්වයක් තිබෙනවා. ළමයින්ට හොඳ දෙයක් ලබා දීමේ පුරුද්ද තවම අපේ සමාජයේ තියෙනවා. ඒ නිසාම අභියෝග අතරේ වුණත් ළමා පොත්වලට තියෙන ඉල්ලුම තවම තියෙනවා කියලා මම හිතනවා. මේ කෘතියට ලැබෙන ප්‍රතිචාරවලිනුත් ඒ බව පැහැදිලි වෙනවා."

මාධ්‍යවේදිනි අනුරාධා කෝදාගොඩ මේ වන විට සිය නිර්මාණ චාරිකාවේ තවත් කාර්යන් දෙකක් සඳහා සූදානම් වෙමින් සිටින්නීය. ඒ, කෙටිකතා සංග්‍රහයක් කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ඡායාරූප ශිල්පය සහ සිනමාව සම්බන්ධ කටයුතු කිහිපයකි.

Comments