ඩී.ආර්. විජයවර්ධන මෙරට ඓතිහාසික චරිතයක් වන්නේ පුද්ගලයන්ගේ දක්ෂතා හඳුනා ගන්නට වූ අපූර්ව කුසලතාව නිසාය. විජයවර්ධනයන් මෙරට ගොවිතැනේ වටිනාකම තේරුම් ගත්තේ මීට දශක නවයකටත් පෙරය. ගොවිතැන ගැන ලියන්නට ඩී.ආර්. විජයවර්ධන තෝරා ගත්තේ විල්මට් ඒ. පෙරේරාය. මේ ලිපි පෙළ මුලින්ම පළවූයේ Daily News හි ඉංග්‍රීසියෙනි. එහෙත් පසුව එය මිල්මට් විසින්ම සිංහලයට නඟන ලදී. පසුව මෙය පොතක් වශයෙන් මුද්‍රණයට පියවර ගත්තේ ඩී.ආර්. විජයවර්ධන විසිනි. එම ග්‍රන්ථය මුද්‍රණය කරන ලද්දේ ලේක්හවුස් යන්ත්‍රාලය විසිනි. මෙම ග්‍රන්ථය එදා තිබූ ලෙටප්‍රේස් ක්‍රමයට අකුරු ඇමිණූ පොතකි. ග්‍රන්ථය අකුරු ඇමිණූ පසු විල්මට් ඩී.ආර්. විජයවර්ධන හමුවන්නට ගියේ ඔහුගේ බංගලාවටය. පොතට පෙරවදනක් ලියන්නට කෙනෙකු සොයා ගැනීම අවශ්‍යතාව විය.
පෙරවදනට සුදුසු පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් කියූවද විජයවර්ධනයන්ට ඔවුන් හිතට ඇල්ලුවේ නැත. අවසානයේ විල්මට් හා විජයවර්ධන දෙදෙනා තීරණය කළේ ඩී. ඇස්. සේනානායක මෙම පොතේ පෙරවදන ලියන්නට සුදුසුම පුද්ගලයා බවය.
විල්මට් ඒ. පෙරේරා ගැන ද මෙහිදී සුළු සඳහනක් කළ යුත්තේමය. හොරණ ශ්‍රීපාලිය තම පෞද්ගලික ධනයෙන් ගොඩනැඟුවේ විල්මට් විසිනි. විල්මට්ගේ පියාගේ අන්වර්ථ නාමය වූයේ 'රබර් රජ්ජුරුවෝ' ය. මේ රට ගොඩනැඟිය යුත්තේ කෘෂිකර්මය පදනම් කරගෙන බව විල්මට් කවදත් විශ්වාස කළ රදලයෙකි. ජාතික රාජ්‍ය සභාවේ නොහොත් අද පාර්ලිමේන්තුවේ මතුගම මන්ත්‍රීවරයකු වූ විල්මට් කලක් සුද්දන්ගේ අණසක යටතේ තිබුණ ලංකාදීප ටයිම්ස් කොම්පැනියේ 'ලොක්කා' ලෙස ද කටයුතු කරන ලදි. විජයවර්ධන තම කටයුත්තට විල්මට් තෝරා ගැනීමට මේ සියල්ල හේතු විය.
මෙම ග්‍රන්ථයට පෙරවදන සපයා ගැනීමට විජයවර්ධන හා පෙරේරා දෙදෙනා බෝතලේ වලව්වට ගිය බව විල්මට් පෙරේරාගේ ජීවිත සටහන්වල සඳහන්ව ඇත. ඩී. ඇස්. සේනානායක පොතක පෙරවදනක් ලියුවා යැයි ඔබට විශ්වාස කළ හැකිද? ඔබ විශ්වාස කළත් නැතත් ඔහු පොතක පෙරවදනක් ලියා තිබේ. එහෙත් මෙරට පළමු අගමැතිවරයා ලෙස නොවේ. ඊටත් පෙරාතුවය. දිනය හරියට කිව්වොත් මීට වසර 90කට පෙර 1933 පෙබරවාරි 18 වැනිදාය. එකල මේ “ග්‍රාම සංරක්ෂණ ප්‍රශ්නය“ නමින් කෘතියේ මෙය හඳුන්වා ඇත්තේ විඥාපනය ලෙසය.
ලංකාවේ ගම්බද ජීවිතය පිළිබඳව ඩී.ආර්. විජයවර්ධනගේ අදහසක් අනුව පෙරේරා මහතා විසින් “ඩේලි නිවුස්“ පත්‍රයට සපයන ලද ලියුම් පන්තිය මා විසින් ඉතා ඕනෑකමින් කියවන ලදී. එය පොතක් වශයෙන් ප්‍රසිද්ධියට පමුණුවාලීමේ අදහස ගැන ද ඇසීමි. අපේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ සම්බන්ධයෙන් ඉතා ප්‍රශස්ත විස්තරයක් මහජනයා ඉදිරියට ගෙන එන මේ ලියුම් පෙළ ග්‍රාම ජීවිත සංරක්ෂණය සඳහා දරන වර්තමාන ප්‍රයත්නය සාර්ථක වීම සඳහා මුහුණ පෑ යුතු ප්‍රශ්නයන් හඳුන්වයි. මැනවින් සිතා බලා සුපරික්ෂාකාරීව සම්පාදනය කරන ලද මේ ලියුම්වලින් ගම්බද ජීවිතයේ බොහෝ අඳුරු තැන් කරා අලෝකය විහිදුවා තිබේ. මේ කෘතිය සම්බන්ධයෙන් විජයවර්ධනයන්ටත් පෙරේරා මහතාටත් ප්‍රශංසා කරනු කැමැත්තෙමි.
අත්සන් කෙළේ, ඩී.ඇස්. සේනානායක
කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ අමාත්‍ය තැන
මීට වසර 90කට පෙර මුද්‍රණය වූ මේ පොතේ කතුවරයා හොරණ ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා ය. එතුමා ග්‍රන්ථකයේ සංඥාපනයේ මුල් ඡේදයේ අරමුණ හඳුන්වා ඇත්තේ මෙසේය.
මේ පොත් පොඩියෙන් මා අදහස් කරන්නේ ලාංකික ගොවියාට මුහුණ පාන්නට සිදු වී තිබෙන විවිධ වූත් අවුල් වූත් ප්‍රශ්න කීපයක් විස්තර කිරීමය. පළමුකොට ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ආරාධනයෙන් “ඩේලිනිවුස්“ පත්‍රයෙන් අනතුරුව “දිනමිණේ“ හි ත් පළ වූ ලියුම් පන්තියකින් ග්‍රන්ථය සංයුක්ත වේ. මේ ගැන මූලිකව මා ලේක්හවුස් අධිපති ඩී. ආර්. විජයවර්ධනයන්ට මගේ කෘතඥතාව පුද කරමි. අවසාන ලක්ෂ්‍යයනට වඩා කරුණු දැක්වෙන්නේ වහාම පහ කළ යුතු බාධාවන් ගැනය. වැඩිදුර පරීක්ෂණයක් මෙන්ම ලාංකික ග්‍රාමය පිළිබඳව අති සම්පූර්ණ පර්යේෂණයක් සඳහා උත්සාහවන්ත වීමකට අදාළ යම්බඳු වූවක් මේ පොත් පොඩිය කියවීමෙන් සැලසේ නම් මාගේ සුළු ව්‍යායාමය නිරර්ථකවී යැයි නොහඟින්නෙමි. ඔහුගේ ඡන්දය අවශ්‍ය වූ විට අපි ගොවියා දෙස නෙත් යොමු කරමු. මහජන මතයෙන් මුඳුන් පමුණුවා ගතයුතු කිසියමක් පැමිණිවිට ඔහුගේ ආධාරය ඉල්වමු. නමුත් එතැන් සිට හේ පළමු අමතක කළ මිනිහාමය. ඔහුගේ වැටීමට හේතු භූත දේ කල්තබා පිරික්සා බැලුවේ නම් ග්‍රාම ජීවිතය අද පවත්නා දුක්ඛිත අඩියේ තිබෙනු දක්නා නොලැබේ. රටේ ග්‍රාමීය පරිහානිය වැළැක්වීමේ යෙදෙන විවිධ ක්‍රියාකාරකයන් අතර සහයෝගිතාවක් හා සමූපකාරත්වයක් නොමැති බව පැහැදිලිය. කෘෂිකර්මය හා පශු වෛද්‍ය දෙපාර්තමේන්තුන්ගේත්, සමූපකාර ව්‍යාපාරයේත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධී මූලික ඉගැන්වීම කරන පාසැල් භාර ශාඛාවේත්, උත්සාහයන්ගේ මහත් එකමුතු බවක් ඇති කළ යුතුවා මෙන්ම මේ දෙපාර්තමේන්තු එකම ක්‍රියාකාරකයකට පරිවර්තනය කළ යුත්තේය.
මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය මෙහි පටුනක් දකින්නට නොලැබීමය. මේ පොත ගැන පෙරවදනක් ලියා දුන් කෝදාගොඩ උපසේන හිමියන් විල්මට් ඒ. පෙරේරාට ස්තුති කර ඇත්තේ ඩේලිනිවුස් පුවත්පතට ඉංග්‍රීසියෙන් ලියූ ලිපි පෙළ සිංහලයෙන් පළ කිරීම ගැන එතුමාට කෘතවේදිත්වය පළ කරන බවය. ඊට අවස්ථාව දුන් ඩී. ආර්. විජයවර්ධනට ද ඒ හිමියන් විශේෂයෙන් ස්තුති කොට ඇත. මෙම ග්‍රන්ථයේ පිටු ගණන මහ ගණනක් නොවේ. මෙහි ග්‍රන්ථයට අදාළ පිටු ගණන 46ක් පමණි. එහි මුල දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝකය ඇතිවූ පළමු කාලයේ මිනිසුන්ට ආහාරාදිය පහළ වූ ආකාරය සඳහන් කරන්නේ මෙසේය.
මේ මිනිස්ලොව සෑදී ගිය කල ආභස්සර බඹලොවින් හෝ සුභ කිණ්ණක බඹලොවින් හෝ වෙහප්ඵල බඹලොවින් හෝ බ්‍රහ්මදෙවියෝ චුතව මේ මිනිස් ලොව ඔපපාතිකව උපන්නෝය. ඒ අලුත් පිරිසිදු මිනිස් ලොව උපන් පිරිසිදු සිත්ඇති මනුෂ්‍යයෝ තමන්ගේ සිතේ උපදනා ප්‍රීතියම ආහාරකොට ඇත්තෝව ස්වකීය ශරීරාලෝකයෙන්ම බබළන්නෝව අහසෙහි හැසිරෙන්නෝව බොහෝ කලක් ජීවත්වන්නෝ වූහ.
මේ ග්‍රාම සංරක්ෂණ ප්‍රශ්නය නමැති සිංහල කෘතිය ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1933 දි වුවත් මේ ලිපිපෙළ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ ආරාධනයෙන් ඩේලි නිවුස් පුවත්පතට ලියැවෙන්නේ 1930 ආසන්නයේදීය. මෙම ග්‍රන්ථයේ සමූපකාර ක්‍රමය ගැන පැහැදිලිව සඳහන් වේ. ලේක්හවුසිය ආරම්භයේදි සේවකයන්ට තම සියලු අවශ්‍යතා අභ්‍යන්තරය තුළින්ම සලස්වා ගැනීමට හැකිවූ බවට සඳහනක් ඇත. මෙම ග්‍රන්ථයේ ඇති සටහන් රාජ්‍ය අංශය ගැන කදිම නිර්වචනයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය සේවය මෙම ග්‍රන්ථයේ නිර්වචනය කොට ඇත්තේ මෙසේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ සිටින උපදේශකයන් භාරයේ අත්හදා බැලීමේ ස්ථාන කිහිපයක් වෙයි. නමුත් මේ උපදේශකයෝ දීග වාර්තා සම්පාදනයත් ආකෘති පත්‍ර පිරවීමත් හැර සැලකිය යුතු යමක් නොකරන්නෝ, අපේ ජාතික භාණ්ඩාගාරයේ වර්තමාන තත්ත්වය වූ වැය අධිකවීමට රුකුල් වූවාහු ගම්වැස්සන්ගේ විශ්වාසය දිනා ගැනීමෙහි ද අසමර්ථයහ. ඩී. ආර්. විජයවර්ධනයන් ඩෙන්මාර්කයේ ගොවිතැන ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූ බව විල්මට් අපදානයේ සංශෝධිත මුද්‍රණයේ ලේඛන අතර සඳහන්ව ඇත. මෙම කෘතියේ ගොවිතැන ගැන ආදර්ශයට ගත යුතු රටක් ලෙස ආදර්ශයට ගෙන ඇත්තේ ඩෙන්මාර්කයයි. එමෙන්ම එම ග්‍රන්ථයේ වසර 96කට පෙර 1927 දී පේරාදෙනියේදී සර් හර්කිලස් ක්ලිගාඩ් තුමා පැවැත්වූ කතාවක් ගැන ද සඳහන්ය. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක් මුළුමනින්ම වෙන්කොට ඇත්තේ 'ගොවිහු අලසයෝ නොවෙති' යනුවෙනි.
ඒ යුගයේ ලංකා විශ්වවිද්‍යාලය පිහිටු විය යුතු ස්ථානය තීරණය කිරීමෙහිලා ප්‍රබල හඬක් නැඟීමට විජයවර්ධන සමත් විය. විශ්වවිද්‍යාලය යනු කවර අන්දමේ ආයතනයක් විය යුතු ද යන්න තමන් බ්‍රිතාන්‍යයේදී ලත් අත්දැකීම සමඟ ද ගළපමින් මෙරට විශ්වවිද්‍යාලක් පිහිටුවිය යුත්තේ කලබලකාරී පරිසරයක නොව වඩා සාමකාමී, නිදහස් පරිසරයක බව එතුමා තරයේ ප්‍රකාශ කරන ලදි. පේරාදෙණිය වැනි සුන්දර, නිදහස් පරිසරයක් පිළිබඳව එතුමා තුළ වැඩි උද්‍යෝගයක් ඇති වන්නට ඇත. ඒ වෙනුවෙන් ඔහු Daily News පුවත්පතෙන් ද ප්‍රබල සටනක් ගෙන ගියේය. ස්ථාවරය වෙනස් නොකොට වඩා නිවැරදි තීරණයක එල්බ ගනිමින් එතුමා ගෙන ගිය සටන විරෝධතා මධ්‍යයේ වුවද අවසන් වශයෙන් මල් ඵල දැරීය. විජයවර්ධන තමන්ගේ යහපත් සටනේ නිසි ප්‍රතිඵල දැක ගන්නට තරම් වාසනාව නොලැබුව ද එතුමා නමින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් නම් කර තිබීම කළගුණ සලකන ජාතියකගේ අභිමානවත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය. විජයවර්ධන 'පේරාදෙනි සිතිවිල්ල' ගැන සඳහන් කළේ 1927 පේරාදෙනියේ පවත්වන ලද කෘෂිකර්ම සම්මේලනයේ මූලස්ථානය දැරූ “සර් හ්‍යු ක්ලිෆර්ඩ්“ තුමා ස්වකීය කථාවේදී තෙත් ප්‍රදේශයට අයත් විශාල බිම්කොටසක ජනපද පිහිටුවීමේ ක්‍රමයක් ගැන සඳහන් කෙළේය. නමුත් ඒ ගැන ඉන්පසු අසන ලද්දේ ඉතා ස්වල්පයෙකි. වර්ෂාධික කොටසේ මෙබඳු ක්‍රමයක් අනුව කරනු ලබන යහපත් වෑයමක් නොවීය.
‘ඝොෂණයෙන් මිදීමට පමණක් වන ප්‍රතිසංස්කරණයන්ගෙන් ද ව්‍යාජ අර්ත සංරක්ෂණ ක්‍රමවලින් ද, කෙටි මාර්ගයයි පානා දේවලින් ද, සංරක්ෂණීය ප්‍රයෝජනය අපේ ගොවි සන්නතියට ලබාදෙනු අවසාන බලාපොරොත්තුව කොට ඇති ස්ථිර ක්‍රියා මාර්ගයකින් පමණක් ප්‍රශ්නය විසඳියේ. මෙම ග්‍රන්ථය විශේෂයෙන් අවධානය යොමු කොට ඇති ප්‍රශ්නයක් නම් මැලේරියා වසංගතයයි. පොතේ සඳහන් පරිදි එවකට මැලේරියාවෙන් පීඩා විඳි ලෝකවාසීන් ගණන අසූ කෝටියකි. එයට වත්මන් කොරෝනා රෝගීන්ට වඩා සිතා ගත නොහැකි සංඛ්‍යාවක්. අදටත් රටේ මහා ප්‍රශ්නයක් වන 'මදුරු කොයිල්' භාවිත කරන්නේ මදුරු උවදුර නිසාය‘
විජේවර්ධන සහ විල්මට් මේ මදුරු උවදුර දැක්කේ වසර 90කටත් පෙරය. මැලේරියාවේ විනාශකාරී බාවය හා ඒ කරණකොට රටේ ඇති වූ විපර්යාසයන් සංක්ෂිප්තයෙන් නමුදු විස්තර කිරීමට නොවුවමනා පරිදි ප්‍රකටය.
මිනිසා හා මදුරුවා අතර සටන බොහෝ කලක පටන් කරගෙන එන්නකි. මිනිසා විසින් තරමක වාසියක් අත්පත් කළ බව දක්නා ලද්දේ මෑතදීය. එනම්, සර් රොනල්ඩ් රෝස් තුමාගේ සොයා ගැනීමකින් පසු කල සිටය. නමුත් අපේ රටේ මේ දක්වා ඊට හිමි සැලකිල්ල යොදා එය අනුගමනය කර නැත. කොලෝන්හි ආචාර්ය මුලර් තුමා විසින් ගණන් බලා තිබෙන අයුරු අවුරුදු පතා මැලේරියාවෙන් පීඩා විඳින සංඛ්‍යාව (80,000,000) අසූ කෝටියකි. මරුමුවට පත්වන සංඛ්‍යාව (20,00000) විසි ලක්ෂයකි. රෝගය කරණ කොටගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සෙසු රටවලට අවුරුදු පතා ඇදී යන මුදල පවුම් (6,20,00,000) හයකෝටි විසි ලක්ෂයකට ගණන් බලා තිබේ. මුදල් ගැන කල්පනා කිරීම පසෙකින් තබා මේ මාරක රෝගය සුව කිරීම හා වැළැක්වීම සඳහා ආණඩුව කෙරෙහි පැවරී තිබෙන වගකීමේ භාරයම ඉතා විශාල වේ.
ලංකාවේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව ආහාර ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය වර්ධනීය තත්ත්වයක නැති බව ඩී.ආර්. විජයවර්ධන ග්‍රන්ථාරූඪ කර වන්නේ සඳහන් කරන්නේ මීට දශක 90කටත් පෙරය. මේ ගැන ග්‍රන්ථ කතුවරයා ක්‍රොපෝර්ටිකින්ගේ මතයක් උපුටන්නේ මෙසේය.
අපේ ජනගහනය වැඩි වීමේ ප්‍රමාණය සහල් නිපදවීමේ ප්‍රමාණය සමඟ සසදා බලන කල ඉතා අසන්තුෂ්ටිජනකය. ජීවිතයේ තදබදකම තවත් අධික වනු මින් ඇති විය හැකි විපාකයයි. "නූතන කෘෂිකර්ම බලයන්ගෙන් සන්නද්ධවී රටේ ගොවිතැන සඳහා යෙදිය හැකි බිම් පෙදෙසෙහි ජාතියට පොහෝනා ආහාර ද්‍රව්‍ය වවාගත නොහැකි වූ කිසිම ජාතියක් ලෝකයෙහි නැත්තේමය. ජනතාවට උවමනා කළ ආහාර ද්‍රව්‍යයන්ගෙන් ඉතා වැඩි කොටසක් ගොවිතැනින් ලබාගත්හ"යි ක්‍රොපෝර්විකින් කියයි.
මෙම ග්‍රන්ථයේ 1930 පමණ ලෝකයේ අක්කරයකින් ඵලදාව ලැබු වී ගොවිතැන ගැන සංඛ්‍යා ලේඛන දක්වා ඇති ලේඛනයක් ද ඇත. මෙයත් ඩී.ආර්. විජයවර්ධනයන්ගේ උපදෙස් පිට Daily News පුවත්පතේම පළ කරන ලද්දකි. එහි දක්වා ඇත්තේ අක්කරයකට රාත්තල් ලෙසය. ග්‍රන්ථයේ සඳහන් පරිදි මෙම ලේඛනය මඟින් පෙන්වා දෙන්නේ ලංකාවේ උපදවන හාල් හොන්ඩර 50,000කට ආසන්න ප්‍රමාණයට ටොන් දෙගුණයක් පිටරටින් ගෙනෙන බවය.
පහත සඳහන් වන සංඛ්‍යාවෝ වී ගොවිතැන කරන ප්‍රධාන රටවල එකල අක්කරයකින් ලබන අස්වැන්න ගණන පෙන්වති.
ස්පාඤ්ඤය අක්කරයකින් රාත්තල් 5800
ඉතාලිය අක්කරයකින් රාත්තල් 4062
මිසරය අක්කරයකින් රාත්තල් 2847
ජපන් රට අක්කරයකින් රාත්තල් 2875
සියම අක්කරයකින් රාත්තල් 1680
ඉන්දියාව අක්කරයකින් රාත්තල් 1281
ලංකාව අක්කරයකින් රාත්තල් 676
මේ ග්‍රන්ථයේ පැහැදිලිව ලංකාවේ කිරි ලබා ගැනීමට ගවයන් ඇති කර ස්වයංපෝෂිත වීම ගැන පැහැදිලිව ක්‍රමවේදය දක්වා ඇත. එමෙන්ම රට සීනි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන අන්දම ද මෙහි සඳහන්ය. මෙහි ලංකාවේ ගොවිතැන නඟා සිටුවීමේදී වී අලෙවි කිරීම ගැන පරිච්ඡේදයක් ද වෙන්කොට ඇත. එහි සඳහන් කරන්නේ වී කපා පාගා කොටාගත් විට විකිණීමට නිසි කාලය එනතුරු ක්‍රමවේදයකට ආදර්ශයට ගත යුත්තේ ඉතාලියේ කැට්‍රෙඩ්‍රා ඇම් බියුලන්ට් (යහපත් ගොවිතැන කෙරෙහි උත්සහවත්වීම) යන ආදර්ශ පාඨය බවය. අවසානයේ සඳහන් කළ හැක්කේ මේ රටේ ගම හදා රට හැදීමට මුලින්ම අපේ පාලකයන් කියවිය යුතු ග්‍රන්ථයක් නම් ග්‍රාම සංරක්ෂණ ප්‍රශ්නය නමැති කෘතිය බවය.
ඩී.ආර්. විජයවර්ධනයන් ගැන අපට ජීවමාන මතකය අලුත් කළේ සිළුමිණ හිටපු කර්තෘ (1944 - 1953) හික්කඩුවේ ශ්‍රීලාල් ලියනගේ ගේ පුත් දීප්ති ලියනගේ ය.
“මිස්ට විජයවර්ධනට ඒ කාලේ තිබුණා වයඹ පොල්වතු සමූහයක්. ගොවිතැනට මිස්ට විජයවර්ධන පුදුම කැමැත්තක් දැක්වූයේ. එතුමා කියලා තමයි තාත්තා 'සිළුමිණේ' කෘෂිකර්මයට පිටුවක් වෙන් කළේ. ඒක ලංකාවේ සිංහල පත්තරේක පළවැනි කෘෂි පිටුව. තාත්තා හැම පඩියකින්ම කුඹුරක් ගත්තා. ඒක මිස්ටර් විජයවර්ධනට කිව්වම තව කුඹුරක් ගන්න කියලා අතින් සල්ලි දෙනවා. ඒ වගේ කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වෙන එක මිස්ටර් විජයවර්ධන සැලකුවේ ආර්ථික නිදහස ලැබීමක් විදිහට. ඒ නිසයි ඩී.ඇස්. සේනානායක එක සැරයක් ඩී.ආර්. විජයවර්ධනව හැඳින්වූයේ “නිදහසේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙක්‘ කියලා.
පූර්ණ ලෙස බටහිර අධ්‍යාපනය ලැබූ විජයවර්ධනයන්ට සිංහල සිරිත් විරිත් කිසිදා අමතක වුණේ නැත. ඔහු සිය ලේක්හවුස් මන්දිරයට ගෙවැදුණු අවස්ථාවේ කිරි ඉතිරීමේ චාරිත්‍රය මහත් ආඩම්බරයෙන් සිදු කළ බව කියැවේ. ඔහු වචනාර්ථයෙන්ම සැදහැති බෞද්ධයෙකු විය. වාර්ෂිකව හේවිසි හොරනෑ හඬවා සධාතුක කරඬුව පෙරටු කොට උඩුවියන් පාවාඩ සහිතව මහා සංඝයා වහන්සේ වැඩමවා සාංඝික දන් දුන් බව කියන දීප්ති ලියනගේ කියන්නේ ඩී.ආර්. විජයවර්ධනයන් අභාවයට පත් වූයේ තම පියා 'සිළුමිණ' කර්තෘ ධුරය හෙබ වූ යුගයේ බවය.
දීප්ති කියන පරිදි විජයවර්ධනයන් කෘෂිකර්මයට මෙන්ම ගහකොළට ද දක්වා ඇත්තේ සුවිශේෂ ආදරයකි.
ඩේලි නිවුස් පත්තරේ හිටපු කර්තෘ ක්ලැරන්ස් ප්‍රනාන්දු මහතා අහපු ප්‍රශ්නයක් තමයි ඒ කාලේ ඩී.ආර්. විජයවර්ධනගේ පින්තූරයක් දැක ඇති කී දෙනෙක් ඇද්ද?“ කියලා. ඔය කියන කාලේ මිස්ට විජයවර්ධන ජීවතුන් අතර හිටියා. ඔහු දක්වන අන්දමට සැබැවින්ම එය දැක ඇත්තේ කීප දෙනෙක් පමණි. ඔහුගේ පුවත්පතක කිසි විටෙකත් ඔහුගේ ඡායාරූපයක් පළ නොවූ බවත් එය පළ වූ ප්‍රථම අවස්ථාව විජයවර්ධනගේ ඔහුගේ අභාවයෙන් පසුව බවත් තාත්තා ඒ කාලේ කියල තියෙනවා. ඩී. ආර්. විජයවර්ධන චරිතය පිළිබඳව THE LIFE AND TIMES OF D. R. WIJEWARDENE නම් ග්‍රන්ථයක් පළ කළ එච්. ඒ. ජේ. හුලුගල්ල පවසන පරිදි නිතරම පාහේ එතුමාගේ සාක්කුවෙහි වූ කුඩා දිනපොත තුළ මුද්දර කිහිපයක් දක්නට ලැබුණු බව කියවෙයි. කාර්යාලය තුළදී වුවද පූර්ණ රාජකාරි කටයුත්තකට මිස කිසිදු පෞද්ගලික කාර්යයක් සඳහා ආයතනයෙන් ලබා නොගෙන තැපැල් ගාස්තුව පවා සියතින් වියදම් කළ බව එතුමාගේ අදහස වී තිබී ඇත. ශාරීරික ව්‍යායාම් සඳහා වික්ටෝරියා උද්‍යානය වටා ඇවිදින විටදීත් හමුවන විවිධ පුද්ගලයන් සමඟ කතාවට වැටී තොරතුරු සොයා ගැනීම ඔහුගේ පුරුද්දක්ව තිබිණි. මහජන මතවාදවලට හේතුවන කුමන කරුණු සම්බන්ධයෙන් වුවද ඔහුට නිවැරදි තොරතුරු සපයන්නෝ සිටියහ. ගොවිතැනට ආදරය කළ විජයවර්ධනයන් සතුව ඒ ගැන පොත් රාශියක එකතුවක් තිබී ඇත. ඔහු පොත්පත් මල් ගස් වැල් පින්තූර යනාදියට ආදරය කළේය. එහෙත් ඒ ප්‍රමෝදය සිත් පුරා විඳින්නට ඔහුට කාල වේලාවක් නොවීය. මරණය උරුම කරගත් සියලු සත්වයනට නිස්කාසුවක් නැත්තේය.
මේ සියලු කරුණු වලින් අපට පුන පුනා පෙන්වා දෙන්නේ එදා වසර 90කට පෙර ඩී.ආර්. විජයවර්ධනයන්ගේ සිතිවිල්ලක් මත ග්‍රන්ථාරූඪ කළ මෙරට ගොවිතැන ගැන කරන ලද විග්‍රහය නැවත අධ්‍යයනය කළ යුතු බව නොවේද? එය කෘමිනාශක නැතැයි, පිටරට පෝර නැතැයි මැලේසියන් බීජ නැතැයි, කෘෂිකර්ම ඇමැතිගේ පඹයන් පුච්චන මොඩ් ගොවියන් වෙනුවෙන් කැපවූ කෘෂිකර්ම ඇමැතිවරුන්ගේ අධ්‍යයනයට ලක්විය යුතුම විශ්ව කෝෂයක් වනු නියතය.