දියුණුවේ රහස මහන්සියෙන් වගේම බුද්ධියෙන් වැඩ කිරීමයි | සිළුමිණ

දියුණුවේ රහස මහන්සියෙන් වගේම බුද්ධියෙන් වැඩ කිරීමයි

- මගේ ජීවිතේ මට ලොකුම බලපෑම කළ කෙනා මගේ අම්මා. ඇය නිතරම සෙවණැල්ලක් වගේ මගේ පස්සෙන් ඉඳගෙන මාව ගොඩනැඟුවා
- මම ගොඩක් සතුටෙන් ජීවත් වෙන කාන්තාවක් වීමේ ගෞරවය හිමි මගේ සැමියාටයි. ඔහු තමයි මගේ ආත්මීය සහකරු 
- කරන හැම දෙයක්ම මම කරන්නේ මගේ මුළු හදවතින්ම 

පොස සාමාන්‍ය පෙළ විභාගය ලියූ සැණින් නවසීලන්තයේ පදිංචියට යන ඈ, සිය උසස් අධ්‍යාපන කටයුතු සියල්ල නිම කරන්නේ එහිදී ය. ලංකාවේ යහළු යෙහෙළියන් සියල්ල දමා වෙනස් ම සංස්කෘතියක වෙනස් ම ජීවන රටාවකට අනුගත වන ඈ, උසස් අධ්‍යාපනයෙන් පසු රැකියාවට යන්නේ තවත් රටකට ය. ඒ ඔස්ට්‍රේලියාවට ය. රටින් රට මාරු වුවත් සිය හිතේ හයිය ගැන විශ්වාසය තැබූ ඇය, ඒ ශක්තිය තමාට කාන්දු කළේ සිය ආදරණීය මෑණියන් බව කියන්නේ හද පිරි ආදරයෙන් යුතුව ය. සිය ජිවිතයේ ඊළඟ කඩඉම වෙත ළඟා වෙන ඇය සිය ජීවන සහකරුවා ලෙස තෝරා ගන්නේ නාලක විතානගේව ය. ඔහු සිය ආත්මීය සහකරු පමණක් නොව තම ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බව ඇය නොපැකිළ ව පවසන්නීය. ඇය මේ වන විට ඔවුන් දෙදෙනා එක් ව ආරම්භ කරන ලද Data Capture Experts pty Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි හා ව්‍යාපෘති කළමනාකාරවරියයි. පුත්තලමේ ඉපදුණු ඇය මේ වන විට සිය ජීවිතය ගෙවන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ය. නමින් බිෂ්මා සජීවනී ජයසිංහ නම් වන ඇය, සිය ජීවිතයේ දියුණුවට බලපෑ සාධක මේ සාකච්ඡාව ඔස්සේ බිඳෙන් බිඳ දිග හරින්නී ය. 

සම්පූර්ණ නම

දොන් බිෂ්මා සජීවනී ජයසිංහ

ගම්පළාත

මම ඉපදුණේ පුත්තලමෙ

උපන්දිනය

1980 අගෝස්තු 21

අම්මා තාත්තාගේ නම් සහ ඔවුන්ගේ රැකියා

මගේ අම්මා ගුරුවරියක්. ඇගේ නම නාත්තන්ඩිගේ මැඩිල්ඩා කාන්ති. මගේ තාත්තා දොන් ක්‍රිස්ටෝපර් අර්නස්ට් ජයසිංහ. ඔහු විදුලි තාක්ෂණික ඉංජිනේරු අංශයේ වැඩ කළ කෙනෙක්. මම පොඩි කාලෙ ඔවුන් දෙදෙනා පුත්තලමෙන් මීගමුවට පදිංචියට ඇවිත් තියෙනවා. මට එක මල්ලි කෙනෙක් ඉන්නවා.

කොහේද පාසල් යන්නේ

මම ලංකාවේ හිටියෙ අවුරුදු 16ක් වෙනකම් විතරයි. මම මුලින්ම ගියේ ශාන්ත පීතර විද්‍යාලයට. ඊට පස්සෙ පහ වසරෙදි නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයට.

ශිෂ්‍යත්වෙ පාස් වෙලාද යන්නෙ

ඔව්. මම පහ වසරෙ ශිෂ්‍යත්වය හොඳින් සමත් වුණා. ඒ නිසා තමයි නිවුස්ටඩ් බාලිකාවට එන්න අවස්ථාව ලැබුණෙ.

කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල

මම ගොඩක් ලොකු සාමාර්ථයක් පෙන්නුවෙ නෑ. සාමාන්‍ය ප්‍රතිඵලයක් ඒක. මට විශිෂ්ට සාමාර්ථ්‍යය 2ක් සහ සාමාන්‍ය සාමාර්ථ්‍යය 6ක් තියෙන්නෙ. මම සාමාන්‍ය පෙළ අවුරුදු 15 දි කළා. ඊට පස්සෙ අපි නවසීලන්තෙ පදිංචියට ගියා.

කොහොමද ලංකාවෙ පාසල් ජීවිතය

මම වැඩිය බාහිර වැඩ කළේ නැහැ. මම හරි කැමතියි බාස්කට් බෝල් ක්‍රීඩා කරන්න. නමුත් මම ගොඩක් නැඹුරු වෙලා හිටියෙ අධ්‍යාපනික වැඩවලට.

උසස්පෙළ කරන්නෙ නවසීලන්තෙදි. කොහොමද ඒ අත්දැකීම

මම සාමාන්‍ය පෙළ මෙහේ කරලා ගිය නිසා කෙළින්ම උසස් පෙළ කරන්න අවස්ථාව ලැබුණා.

ලංකාවෙ ඉඳලා එකපාර නවසීලන්තෙට පදිංචියට ගියාම එකපාර හුරු වෙන්න අපහසු වෙන්න ඇති?

ඔව්. ඇත්තටම. පරිසරයට, පාසලට මේ හැමදේටම හුරු වෙන්න කාලයක් ගියා. ඇත්තටම ඒක සංස්කෘතික කම්පනයක්. මගෙ යාළුවො හිටියෙ ලංකාවෙ. මට අලුතෙන් යාළුවො හදා ගන්න වුණා. මට මුළු පරිසරයටම අලුතෙන් හැඩගැහෙන්න වුණා.

උසස් පෙළට ඔබ මොන විෂයය ධාරා ද තෝරා ගන්නෙ?

මම ගණිතයට සහ විද්‍යා විෂයයන්වලට තමයි ගොඩක් දක්ෂ. ලංකාවෙදිත් එහෙමයි. ඉතින් මම ගණිත විෂයයන් කළේ.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවාද?

ඔව්. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇත්තටම මම ද්විත්ව උපාධියක් කළා.

කොහොමද දෙමවුපියන්ගෙන් ලැබුණු සහයෝගය?

මගේ දෙමවුපියන් බොහොම සාමාන්‍ය අය. ඒ අයට ආඩම්බර වෙන්න පුළුවන් දුවෙක් වෙන එක මගේ හීනයක් වුණා. ජීවිතයේ කියන්නෙම අරගලයක්. මගේ දෙමවුපියන් ඒකට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අය මමත් මල්ලිත් හොඳට ඉගෙන ගන්න එක වෙනුවෙන් තමන්ගෙ ජීවිත කැප කළා. මම විශ්වවිද්‍යාලෙට ඇතුළත් වෙද්දි අපි නවසීලන්තෙට ඇවිත් අවුරුදු 3ක් විතර ගත වෙලා. ඒ වෙනකොට අපි එහේ ටිකක් ස්ථාවර වෙලා.

නවසීලන්තෙදි අම්මා තාත්තා මොනවගේ රැකියා ද කළේ?

ඒ දෙන්නා ඒ වෙලාවට ගැළපෙන විවිධ රැකියා කළා. අම්මා ලංකාවෙ කීර්තිමත් ගුරුවරියක්. ඒත් එහේදි අම්මට ගුරුවරියක් විදියට වැඩ කරන්න බැරිව ගියා. ඒකට විවිධ හේතු බලපෑවා. එකක් භාෂා ප්‍රශ්නය. අනෙක සංස්කෘතිකමය වෙනස්කම්. ගොඩක් මහන්සි වෙන්න වුණා. හැබැයි මගේ අම්මා ගොඩක් ශක්තිමත් කාන්තාවක්. ඇය ඒ සියලු අපහසුතාවලට දිරියෙන් මුහුණ දුන්නා. අපි නවසීලන්තෙ පදිංචි වෙද්දි ගොඩක් අභියෝග ආවා. ඇත්තටම ජීවිතේ කියන්නෙ අභියෝගවලට. මගේ අම්මා ඒක දැනගෙන හිටියා. අපි ඒකට මුහුණ දුන්නා. ඒක ලේසි දෙයක් නොවෙයි. ඉතා අසීරු ක්‍රියාදාමයක්. මෙහේදි තිබුණු රැකියා ස්ථාවරත්වය එයාලට එහේ තිබුණෙ නෑ. ඒ වගේම පිළිගැනීම තිබුණෙත් නෑ.

ඔබ අධ්‍යයන කටයුතුවලට අමතරව අර්ධකාලීන රැකියාවක් කළේ නැද්ද?

මම වැඩිහිටි නිවාසයක සාත්තු සේවිකාවක් විදියට වැඩ කළා. මම නිතරම මහන්සි වෙලා වැඩ කළා. ඒ සඳහා අවශ්‍ය කරන මානසික ශක්තියක් මට තිබුණා. ඒ වගේම මට එහෙම කරනවා හැරෙන්න වෙන ආදේශකයක් තිබුණෙත් නෑ. මම හැරිලා බැලුවම මගේ දිහාට මට හිතුණා මම කවදහරි මේ දේවල්වලට අභියෝග කරන්න ඕන කියලා. අම්මා තාත්තා කළේ අරගලයක්. මම ඒකට උදව් වෙන්න ඕන කියන සිතිවිල්ල සහ වුවමනාව මට තිබුණා. මගේ දෙමවුපියන් හැමදේම අතහැරලා නවසීලන්තෙට ගියේ අපි වෙනුවෙන්; අපේ අනාගතය වෙනුවෙන්. ඉතින් මමත් ඒකට උදව් වෙන්න ඕන කියන හැඟීම මට තිබුණා. ඒකයි මමත් රැකියාවක් කළේ. ඒ සම්බන්ධයෙන් මට වෙන විකල්පයක් තිබුණෙ නෑ. මට කාටවත් දොස් කියන්න වුවමනා වුණේ නෑ. ජීවිතය ජය ගන්නයි ඕන වුණේ.

අම්මා තමයි ඔබේ ශක්තිය

අනිවාර්යයෙන් ම. මගේ අම්මාට ඕන වුණේ අපි ලෝකෙ හොඳම අධ්‍යාපනය ලබන දරුවන් වෙන්න. ඒවගේම සල්ලි හොයන එකත් අනිවාර්ය සාධකයක්. මම මගේ අම්මාගේ දරුවකු වීම මට ආඩම්බරයක්. ඇය නිතරම මාව දිරි ගැන්වුවා. මට වැටෙන්න දුන්නෙ නෑ. මගේ ජීවිතේ හැම දෙයක් ම ගොඩනැඟුණේ සහ වටිනාකමක් ලැබුණේ අම්මාගේ ශක්තිය නිසා. මා දුටු පෞර්ෂයවත්ම කාන්තාව තමයි ඇය. මමත් ඇය වගේමයි. මගේ ජීවිතේ මට ලොකුම බලපෑම කළ කෙනා මගේ අම්මා. ඇය නිතරම සෙවණැල්ලක් වගේ මගේ පස්සෙන් ඉඳගෙන මාව ගොඩනැඟුවා. මට ආයෙත් හැරී බලන්න දෙයක් ඇය ඉතිරි කළේ නෑ. ඇයගේ ධෛර්යය දකිද්දි මට හිතෙන්නෙ මම ඒ අතින් ගොඩක් දුප්පත් කියලා. මට ඕන වුණා ඇයට ආඩම්බරයක් එක් කරන්න. මම හිතන්නෙ ලංකාවෙ දෙමවුපියන්ගෙ ළඟ ස්වභාවයෙන් ම ඒ ධෛර්යය තියෙනවා. ඒ අධිෂ්ඨානය, ධෛර්යය හරි වටිනවා. මගේ දියුණුවෙ රහස තමයි මගේ අම්මා.

දැන් අම්මා තාත්තා මොකද කරන්නෙ

මගේ තාත්තා ලංකාවෙ ව්‍යාපාරයක් කරනවා. තාත්තා නිතර අපිත් එක්ක ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉන්නවා. අම්මා ඉන්නෙ මමත් එක්ක; මගේ දරුවන් එක්ක අපේ ගෙදර.

විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සෙ ඔබ රැකියාවක් කරනවාද?

මම ඉංජිනියරීන් කළේ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙන්න ආසන්නයේ මගේ දෙමවුපියන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. එයාලගේ හිතවතුන් සහ සමීපතමයන් එහේ හිටියා. හැබැයි මම අධ්‍යාපන කටයුතු ඉවර වෙනකම් ටික කාලයක් නවසීලන්තයේම මගේ මල්ලි එක්ක රැඳිලා හිටියා. ඊට පස්සෙ මම ඔස්ට්‍රේලියාවෙදි තමයි රැකියාවකට ගියේ.

නවසීලන්තෙ ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යද්දි ආයෙත් නව පරිසරයකට මුහුණ දෙනවා

ඇත්තටම. ලංකාවේ ඉඳන් නවසීලන්තෙට එද්දි දැනුණු හැඟීමම තමයි මට නවසීලන්තෙ ඉඳන් ඔස්ට්‍රේලියාවට එද්දි දැනුණෙ. ඒක සංස්කෘතික කම්පනයක්. ඒ වගේම මට රැකියා අවස්ථා හොයන්න වුණා. මම උපාධිධාරිනියක් විදියට තමයි ආවෙ. මට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන්න වුණා.

මොකද්ද පළවැනි රැකියාව?

මට අධ්‍යාපනයට සරිලන රැකියාවක් ලැබෙනකම් මම එහෙත් වැඩිහිටි නිවාසයක පුද්ගලික සාත්තු සේවිකාවක් විදියට වැඩ කළා. මම ඉංජිනේරු අංශය ඉගෙන ගත්තෙ. එතකොට මට අවුරුදු 22 යි. මම මෙල්බර්න්වල ඉංජිනේරු ආයතන දෙකක වැඩ කළා. 2003 වර්ෂයේදී මම උපාධිධාරී විදුලි ඉංජිනේරුවරයෙක් (Graduate Electrical Engineer) විදියට වෘත්තියමය සේවයට බැඳුණා. විවිධ ආයතනවල මම අවුරුදු 6ක් ඒ තනතුරේම සේවය කළා. අවසානයේ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු හා ව්‍යාපෘති කළමනාකරුවෙක් විදියට මම මෙල්බර්න්වල වැඩ කළා. දැන් මම මගේ සැමියා හා මා එක්ව පටන් ගත් ආයතනය වන Data Capture Experts pty Ltd ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි හා ව්‍යාපෘති කළමනාකාර ධූරයේ කටයුතු කරනවා.

මේ තැනට ගොඩනැඟෙන්න අසීරු වුණාද?

මුලදි මට ටිකක් අමාරු වුණා. මට ගොඩක් හදා ගන්න දේවල් තිබුණා. හැබැයි මම අතහැරියේ නෑ; හැඩගැහුණා. මට මාවම ගොඩ නඟා ගන්න වුණා. මම හිතනවා මම ශක්තිමත් කාන්තාවක් කියලා. මමත් මගේ අම්මා වගේම අතහරින්න කැමැති කාන්තාවක් නොවෙයි. මට ඕන ලේසි පාරේ නොවෙයි, අසීරු මාර්ගයේ ගිහින් ජයග්‍රහණය ලබන්න. එතකොට පැවැත්ම වැඩියි. ගොඩක් අය තෝරන්නේ සහ කරන්නෙ ලේසි දේවල්. හැබැයි දියුණුව තියෙන්නෙ අපි අමාරු දේවල් තෝරා ගන්න තරමටයි. කිසිදෙයක් ලේසි නෑ. කොහොමත් ජිවිතේ ම ලේසි දෙයක් නොවෙයි. අපි කොහොමද ඒකට මූණ දෙන්නෙ කියන එක තමයි වටින්නෙ. ජීවිතය අසීරුයි අසීරුයි කිය කිය ඉන්නවද නැත්නම් ඒ අසීරුව සතුටෙන් බාර ගෙන දිනනවද කියන අවස්ථා දෙක තමයි තියෙන්නෙ. ඉතින් මම දෙවැනි එක සතුටෙන් තෝරා ගත්තා. අත්දැකීම් අපට ගොඩක් වටිනවා. මගේ වෘත්තීය ජිවිතේ ඇතුළෙ මම එකතු කරගත් අත්දැකීම් මට වෙනම වටිනාකමක් එක් කළා.

විදුලි ඉංජිනේරුවරයෙක් වුණු ඔබ මේ ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද?

ඇත්ත, මම වැඩ කළේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ. මම එහෙම වැඩ කරමින් ඉද්දි තමයි මට මගේ සැමියා නාලක හමු වෙන්නෙ. මට ජීවිතයේ ලැබුණු තවත් හොඳම ලැබීමක් තමයි ඒ. එයා මාව ඔසවා තැබුවා කිව්වොත් නිවැරදියි. මගේ හැකියාව එයා තේරුම් ගත්තා. ඒවගේම මගේ වටිනාකමට නාලක නිසි ගරුත්වයක් දුන්නා. ඔහු ඇත්තටම හරිම සාමාන්‍ය මනුස්සයෙක්. මගේ ජීවන ගමන් මඟේ හොඳම සහකාරීත්වයක් ලැබුණා කියලා මම කිව්වොත් ඒක ඇත්තක්. මම ගොඩක් සතුටෙන් ජීවත් වෙන කාන්තාවක් වීමේ ගෞරවය හිමි ඔහුටයි. මම ඒක ගොඩක් අගය කරනවා. ඔහු තමයි මගේ ආත්මීය සහකරු.

දෙන්නා එකතු වෙලා වැඩ කරන එක පහසුවක්ද?

අනිවාර්යයෙන් ම ඒක පහසුවක්. ඔස්ට්‍රේලියාවෙත් ඒ ප්‍රශ්නෙ අහනවා. කොහොමද ඔයාලා එකතු වෙලා වැඩ කරද්දි ගැටලු ඇති වෙන්නෙ නැද්ද කියලා අහනවා. ඒක තමයි අභියෝගය. ඒක ඇත්තම අභියෝගයක්. අපි වාද කරගන්නවා. මතවාදී ගැටුම් එමටයි. ඒත් අපි හොඳ අවබෝධයෙන් වැඩ කරන්නෙ. මගේ කළමනාකරණ හැකියාව, අත්නොහරින ගුණය ආදිය මතු කරලා ගන්නෙ මගේ සැමියා.

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකද්ද?

මගේ ජිවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය මගේ සැමියා නාලක හමු වීම

Data Capture Experts pty Ltd පටන් ගත් ආකාරය කතා කළොත්?

ආයතනය පටන් ගන්නෙ නාලක. ඔහු ඕස්ට්‍රේලියාවෙ පරිගණක ක්ෂේත්‍රයේ උපදේශකයෙක්. එයාට තමයි අවස්ථාව ආවෙ එයාගෙ සේවාදායකයෙක්ගෙන් අලුත් දෙයක් ගොඩනඟන්න කියලා. ඒ අනුවයි ඔහු පටන් ගත්තෙ. අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නෙ මෙල්බර්න්වල. අයිතිකරුවන් විදියට ඉන්නෙ අපි දෙන්නා. ශාඛා දෙකක් ලංකාවේ සහ ඉන්දියාවේ තියෙනවා.

තමන්ගෙ සේවකයන් එක්ක ගනුදෙනු කරද්දි ඔබ මොනවගේ ප්‍රධානියෙක් ද?

මම ටිකක් රළු බොස් කෙනෙක්. මම වැඩ ගැන වගකීමෙන් හිතන කෙනෙක්. මම දන්නවා පහසුකම් වගේම රළු කම් ගැනත්. වැඩ කිරීම ප්‍රධානයි. ඒක මගේ ජිවිතෙන්ම ආව එකක්. මගේ ජිවිතෙත් නැඟිටීම් හා වැටීම් දෙකම තියෙනවා. ඒ නිසා මම අපහසුතා ගැන වගේම අවස්ථා ගැනත් දැනුම්වත්. කාර්යක්ෂම ව හා වගකීමෙන් වැඩ කරන ඕනෑම කෙනකුට මම ගෞරව කරනවා. මමත් වෙහෙස වී වැඩ කරන්නෙක්. මම ඔවුනුත් සමඟ එකට වැඩ කරන්නෙක් සහ ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් වැඩ කරන්නෙක්. අපේ රට මේ තත්ත්වයෙන් ගොඩගන්න නම් අපි හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න ඕන. අරමුණට යන්න නම් මහන්සි වෙන්න ඕන. ඉස්සරහට ගියපු අය තමන්ගෙ වාසනාවෙන් නෙවෙයි එතනට ගිහින් තියෙන්නෙ. ඔවුන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.

දියුණු වෙන්න එකම හේතුව මහන්සි වෙලා වැඩ කිරීම විතරද?

මම හිතනවා ඒකට කරුණු දෙකක් බලපානවා කියලා. එකක් මහන්සි වී වැඩ කිරීම. අනෙක බුද්ධිමත් ලෙස වැඩ කිරීම. මේ කරුණු දෙකම බලපෑම් කරනවා දියුණු වෙන්න. ඒ දෙක දෙකක්. කෙනෙක් පැය 10- 12 වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි ලෙස නොකළොත් ඒ කැප කිරීමෙන් වැඩක් නෑ.

ඒකයි ඒ දෙකම එක විදියට අවශ්‍යයි. මම ගණිතය හැදෑරීම නිසා ඇතිවුණු තර්කානුකූල බව මගේ ස්මාර්ට්කමට බලපාන්න ඇති. 

පොත් කියවන්න කැමැතිද?

නිතරම කියවන්න වෙන්නෙ නෑ. නමුත් නොකියවනවා නෙවෙයි. අවශ්‍ය දේවල් සොයා ගෙන කියවනවා.

කොහොමද ජීවන සහකරු

ඔහු නාලක විතානගේ. මගේ ජිවිතයේ මගේ ආත්මීය සහකරු ඔහු. නාලක මට හමු වෙන්නේ ඔස්ට්‍රේලියාවේදී. හිතවතුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක ප්‍රතිඵලයක් විදියටයි අපි හමු වෙන්නෙ.

දරුවන්

අපට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා බ්‍රයන්, දෙවැනි පුතා කැලම්. මගේ පුංචි දුව ලිලී.

විවේකය ගත කරන්න කැමති කොහොමද?

මම මගේ දරුවන් එක්ක ගත කරන්නයි කැමැති. ඒක තමයි මගේ ජීවිතයට සාමය වගේම සතුට අරන් එන්නෙ.

සංචාරය කරන්න කැමැති කොහේද?

මම හරිම කැමතියි ලංකාවට එන්න. දඹුල්ල තමයි මම කැමතිම පැත්ත. ඒ පැත්ත හරි සාමකාමියි. මම සීගිරිය නගින්නත් කැමතියි.

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?

ඔව්. මම හැමදෙයක්ම පාවිච්චි කරන්නෙ බ්‍රෑන්ඩඩ්.

මොකද්ද ජීවිතේ තේමා පාඨය

මගේ තාත්තා හැම තිස්සෙම කියපු දේ තමයි කරන ඕනෑම දෙයක් හරියට කරන්න කියන දේ. ඒ නිසා මම කරන පුංචිම දෙයක් වුණත් හරියට කරන්න මම උත්සාහ කරනවා. මම කවදාවත් ලේසි දේවල් හොයා ගෙන යන්නෙ නෑ. එ්ක මගේ ජිවිතෙන්ම ආව දෙයක්. කරන හැම දෙයක් ම මම කරන්නේ මගේ මුළු හදවතින් ම.

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්නෙ

Comments