කුරුණෑගලම හෙල්ලූ ATM සුද්දා ගහපු ගේම් ඔක්කොම එළියට | Page 2 | සිළුමිණ

කුරුණෑගලම හෙල්ලූ ATM සුද්දා ගහපු ගේම් ඔක්කොම එළියට

හැත්තෑපස් වැනි නිදහස් දිනය අභිමානවත් ලෙස රටම සමරමින් සිටියදී කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ සවිකර තිබුණු රාජ්‍ය බැංකුවක ඒ. ටී.එම්. යන්ත්‍රය හොරු මහා දවාලයේ බිදින්නේ රුපියල් ලක්ෂ 90ක තරම් වූ මුදලක් ද සොරා ගනිමිනි.

නිදහස් දා සිදුවුණු මෙම සොරකම ගැන බැංකුව පවා දැනගන්නේ එම ඒ.ටී.එම්. යන්ත්‍රයට සේවා සපයන ආයතනය විසින් ඒ ගැන පසුදා කළ දැනුම්දීමත් සමඟය. ඒ අනුව මෙම අපරාධය ගැන කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ අදාල බැංකුවේ මලියදේව ශාඛාවේ කළමනාකරුගෙනි. ඔහු පවසන්නේ බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රය සිදුරුකර ඒ තුළ ඇති මුදල් සොරාගෙන ගොස් ඇති බවය. මෙම සොරකම කළ අය ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී. වී. ආර්. යන්ත්‍රය පවා සොරාගෙන ගොස් ඇති බව ද කළමනාකරු පොලිසිය හමුවේ කියන්නට වූයේ එතැනට ගොස් කළ පරීක්ෂාවකින් අනතුරුව.

මෙම පැමිණිල්ල ලද සැණින් ක්‍රියාත්මක කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමත් කොබ්බෑවල එතැනට යන්නේ පොලිස් කණ්ඩායමක් ද කැටුවය. මේ කියන ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටා ඇත්තේ හුදෙකලා තැනකය. ඒ බැංකුවෙන් පිටත ස්ථානයකය. ග්‍රයින්ඩරයකින් යන්ත්‍රය කපා සිදුරු කර ඒ තුළ ඇති මුදල් සොරාගෙන ඇති බව බැලූ බැල්මටම පොලිස් ස්ථානාධිපතිවරයාට පෙනී ගියේය. එහෙත් ඒ සොරා යන්ත්‍රය තුළ තිබුණු හැම නෝට්ටුවක්ම රැගෙන ගොස් තිබුණේ නැත. රුපියල් සියයේ නෝට්ටු එහෙම් පිටින්ම පාහේ එහි දමාගොස් තිබුණේය. බැංකුවේ ගණනය කිරීමට අනුව ලක්ෂ දෙක තුනකම නෝට්ටු එහි ඒ වන විටත් තිබුණේය.

මෙම සොරකම සිදු වූ ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි ස්ථානය අවට නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නට වූයේ ඒ කිට්ටුව පාත ත්‍රීරෝද රථ ගාලක් ද ඇති බවය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරියෙක් ඒ ත්‍රීරෝද රථ නැවතුම් පොළ වෙත යන්නේ ත්‍රීරෝද රථ රියැදුරෙක් සමඟ පොඩි කයියකට වැටී ඒ අය මෙම සොරකම ගැන යමක් දන්නේදැයි දැන ගන්නටය. නිදහස් දා උදේ වරුවේ මෙම සොරකම සිදු වූ බවට වූ පළමු ඔත්තුව පොලිසියට ලැබෙන්නේ එම ත්‍රීරෝද රථ රියැදුරාගෙනි. ඒ එදින උදෑසන සිට ඒ. ටී. එම්. යන්ත්‍රයේ අලුත්වැඩියාවක් සිදු වූ බව එම ත්‍රීරෝද රථ රියැදුරා කියන්නට වූ බැවිනි.

ඒ අනුව පැහැදිලි වන්නේ අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් සැලසුම් සහගතව මෙම ඒ. ටී. එම්. යන්ත්‍රයට වැඩේ දී ඇති බවය. වැඩිදුරටත් මේ ගැන සොයා බැලීමේදී පොලිස් නිලධාරීන්ට පෙනී යන්නට වූයේ මෙම සොරකම තනි පුද්ගලයකුගේ වැඩක් බවකි.

“නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසා ඇත“ යැයි සඳහන් A 04 කොළයක ටයිප් කළ පුවරුවක් ද ඒ. ටී. එම්. යන්ත්‍රය ඇති කුටියට ඇතුළු වන වීදුරු දොරේ අලවා දුන් මෙම ගේම මුළු ඇතුගලම හෙල්ලී ගිය මහා සොරකමක් බවට පත්වන්නේ ඊට පෙර මෙවැනි චිකාගෝ පන්නයේ ගේමක් ඇතුගල පැත්තේ සිදු වී නොතිබුණු බැවිනි.

පොලිසියේ ද කණට ද පහරක් වැදුණු මෙම සොරකම ගැන ඒ නිසාම විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පැවැත්වීමට තීරණය කරන වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්තගේ අධික්ෂණයෙන් මෙම ඒ. ටී. එම්. සොරකම විසඳීමේ පොලිස් මෙහෙයුමේ වගකීම මුළුමනින්ම පවරනු ලබන්නේ කුරුණෑගල කොට්ඨාඝය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහටය. ඔහුගේ හයියට කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමත් කොබ්බෑවල මෙන්ම අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සුමනවීර ඇතුළු කණ්ඩායමක්ම සිටියේය.

මෙම කණ්ඩායම ඒ. ටී. එම්. සොරා පස්සේ පැන්නීමේ විමර්ශනවලට ආරම්භයක් තබන්නේම ගැට්ටුවානෙන්මය. ඒ මෙම සොරකමට ආ පුද්ගලයා ආ ගිය හැටි ගැන සොයමිනි.ඊට ඒ. ටී. එම්. යන්ත්‍රයේ ආරක්ෂක කැමරා බිඳ දමා තිබීම බාධාවක් වූවත් පොලිස් විමර්ශකයෝ එම බාධාව මගහරිමින් ඒ.ටී.එම්. යන්ත්‍රයට පිටත ඇති ගොඩනැගිලිවල ආරක්ෂක කැමරා පිරික්සන්නට වූයේ ඒ තුළින් වැදගත් හෝඩුවාවල් සොයා ගැනීමටය. බෑගයක් එල්ලාගත් තරුණ හාදයෙන් උදෑසන 9.00ට පමණ ඒ. ටී. එම්. යන්ත්‍රයට ඇතුළුවන හැටි පොලිස් විමර්ශකයන්ට හසුවන්නේ ද ආරක්ෂක කැමරාවක දසුන් පෙළක් එක දිගට නිරීක්ෂණය කරමින් සිටියදීය. ඒ.ටී.එම්. යන්ත්‍රයට වැඩේ දෙන්නේ ඔහුය. යන්ත්‍රය ඇතුළට ගිය ඔහු නැවත එළියට එන්නේ පැයකට දෙකකට පසුවය. ඒ අතර කාලය තුළ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට එන කිහිප දෙනෙකුම හැරී යන අයුරුද එම කැමරා දර්ශන වලින් පෙනී යන්නට විය. එසේ මුදල් ලබාගැනීමට එහි ආ අය හැරී යන්නට වූයේ යන්ත්‍රය තිබුණු කුටියට ඇතුළු වන්නට ඇති වීදුරු දොරෙහි අලවා ඇති පුවරුව දැකීමෙන් බව පොලිස් විමර්ශකයන් වටහා ගත්තේය. එසේ හැරී ගිය අය අතර පොලිස් නිලධාරියෙක් ද සිටියේය. ඔහු කරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකි. මෙම නිලධාරියා හැරී යන්නේ ද කුටිය තුළට ඔළුව දමා පරීක්ෂා කිරීමකින් ද පසුවය.

පැයක් හමාරකින් පසු ඒ. ටී. එම්. කුටියෙන් පිටතට ඔහු එන්නේ ග්‍රයින්ඩරයක්ද අතින් ගෙනය. මුදල් සොරා ගැනීමට ඒ. ටී. එම්. යන්ත්‍රය කපා සිදුරු කරනු ලැබුවේ මෙම ග්‍රයින්ඩරයෙනි. එය ක්‍රියාත්මක කිරීමට විදුලිය පවා ඔහු ලබාගෙන තිබුණේ යන්ත්‍රය පිහිටි කුටිය ඇතුළෙනි. ඔහු එල්ලා ගෙන සිටි බෑගයේ තිබී ඇත්තේ ඊට අවශ්‍ය ලට්ටලොට්ට ටිකය. ග්‍රයින්ඩරයත් රැගෙන ඔහු එළියට එන්නේ ඒ.ටී.එම්. යන්ත්‍රය කැපීමට ඔහු රැගෙන ආ තල සියල්ලම ගෙවී ගිය බැවින් අලුත් තලයක් මිලදී ගැනීමට ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක් සොයා යන්නටය. ඒ අසල ත්‍රීරෝද රථ ගාලට යන ඔහු එතැනින් ත්‍රීරෝද රථයකට නැඟී ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් සොයා ගොස් ග්‍රයින්ඩර් තල හයක්ම මිලදී ගත්තේය. මේ හැම දෙයක්ම පොලිස් විමර්ශකයන් දැන ගන්නේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කරන අතරතුර ඔහු ඒ ගමන ගිය ත්‍රිරෝද රථ රියැදුරාව ද හඳුනා ගෙන ඔහුගෙන් ද ප්‍රශ්න කරමිනි. පැය භාගයකට පමණ පසු නැවතත් ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වන ඔහු එළියට එන්නේ සවස 1.30ට පමණය. ඒ රුපියල් ලක්ෂ 90ක්ම ඔහු එල්ලා ගෙන සිටි ගමන් මල්ලේ පුරවාගෙනය.

මෙහිදී පොලිස් විමර්ශකයෝ මෙම මහා සොරකම කළ පුද්ගලයා ආගිය හැටි පවා සොයා බලන්නට අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ මහනුවර බලා ධාවනය වන මගී බස් රථයකින් එදා පැමිණි ඔහු ගැට්ටුවාන හන්දියෙන් බැස ඇති බවය. නැවත වැඩේ සම්පූර්ණ කර ලක්ෂ 90ත් රැගෙන ඔහු කුරුණෑගල ගොස් තිබුණේ ත්‍රීරෝද රථයක නැඟීය. එම ත්‍රිරෝද රථය පවා පොලිස් විමර්ශකයන් හඳුනා ගත්තේය. එම රථයේ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔහු කුරුණෑගලින් ත්‍රිරෝද රථයෙන් බැස ගිය බවය. ඒ අවට ගොඩනැගිලි කිහිපයක ඇති ආරක්ෂක කැමරා දත්ත පිරිස්සීමේදී පෙනී යන්නේ මේ කියන පුද්ගලයා බෑගයත් කරේ එල්ලාගෙන රිංගන්නේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළට බවය. පැයක් හමාරක් එහි ගතකරන ඔහු කුරුණෑගලින් බසයක එල්ලී නගරයෙන් පිටව යන බව ද වැඩිදුර නිරීක්ෂණයේදී පෙනී ගියේය.

ඒ අනුව පොලිස් විමර්ශකයෝ සම්බාහන මධ්‍යස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හෙළිවන්නේ සම්බාහනයට එහා ගිය සේවයක් එදා ඔහු තරුණියකගෙන් ලබාගෙන ඇති බවය. ඒ රුපියල් 5000 නෝට්ටුවක් ඒ තරුණිය අත තබා බවය. එහිදී ඔහු එම තරුණිය අත ඔහුගේ ජංගම දුරකතන අංකය ද තබාගොස් තිබුණේ ඇයව නැවත මුණ ගැසීමේ අපේක්ෂාව ඇති බවය. එම දුරකතන අංකය පමණක් නොව, මෙම පුද්ගලයාව පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි ඡායාරූපයක් ද පොලිස් විමර්ශකයන් අතට ලැබෙන්නේ මෙහිදීය. ඒ මෙම සම්බාහන මධ්‍යස්ථානයේ ඇති ආරක්ෂක කැමරාවක ඔහුගේ පැහැදිලි රූපයක් සටහන්ව තිබුණු බැවිනි.

ගැට්ටුවානේ ඒ. ටී. එම්. යන්ත්‍රය බිඳ ලක්ෂ 90ක් සොරා ගත් මේ මහා හොරා කවුරුන්දැයි පැහැදිලිවම දැන ගැනීමට පොලිස් විමර්ශකයන්ට හැකියාවක් ද ලැබෙන්නේ සම්බාහන මධ්‍යස්ථානයෙන් සොයාගත් එම ඡායාරූපය ඔස්සේ කළ සොයා බැලීමකදීය. මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට ඇති රථ ගාලේ තිබුණු රාජ්‍ය බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රය පවා මේ ආකාරයටම බිඳ එහි තිබුණු රුපියල් ලක්ෂ 76 මුදලක් සොරාගත් මහ මොළය වූයේ ද මොහුමය. විදුෂ ඉදුනිල් අධිකාරී නොහොත් ඒ.ටී.එම්. සුද්දා නම් වූ ඔහු මින්නේරියේ ඒ. ටී. එම්. යන්ත්‍රයට වැඩේ දෙන්නේ 2021 වසරේ සැත්තැම්බර් 26 වෙනිදාය. කුඩා ලොරි රථයකින් තවත් තිදෙනෙක් සමඟ මින්නේරියේ ඒ. ටී. එම්. යන්ත්‍රය වෙත එන ඔහු එදාත් ඒ. ටී. එම්. යන්ත්‍රය බිඳින්නේ ග්‍රයින්ඩරයකින් එය කපාය. අලුත්වැඩියාවක් සිදු කරන මුවාවෙන් ඔවුන් මෙම සොරකම සිදු කරන්නේ ද මහා දවාලයේ යුද හමුදා සෙබළුන් පවා බලා සිටියදීය. එචා ඔහු ග්‍රයින්ඩරය ක්‍රියාත්මක කීරීමට විදුලිය සපයා ගැනීමට ලොරි රථයේ දමාගෙන කුඩා ජෙනරේටරයක් ද රැගෙන විත් තිබුණේය. එම කොල්ලයට පෙර අනුරාධපුර රෝහල අසල පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයටත් තවත් යන්ත්‍රයකටත් ඒ විදිහටම ඔවුන් වැඩක් දෙන්නට හැදුවත් ඒ දෙකම ව්‍යාර්ථ වන්නේ මාට්ටු වෙන්නට ගොසිනි. ඒ ගැන එදා විමර්ශනයක් පැවැත්වූ අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ඒ. ටී. එම්. සුද්දාව හසු වන්නේ මින්නේරිය පොලිසිය ඉස්සර වීමට පෙරය. ඒ 2021 ඔක්තෝබරයේදීය. මින්නේරිය ඒ. ටී. එම්. යන්ත්‍රය බිඳ සොරා ගත් මුදලින් රුපියල් විසිනව ලක්ෂ අසූ දහසක මුදලක් ද, සොරාගත් මුදලින් විසිහතර ලක්ෂ අනූ දහසක් වැයකර මිලදී ගත් කුඩා ලොරි රථයක් ද, නවලක්ෂ පනස් දහසකට මිලදී ගත් යතුරු පැදියක් ද , එක්ලක්ෂ හැත්තෑ දහසක් වැය කර මිලදී ගත් ගෘහ උපකරණ රැසක් ද අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගත්තේය. ඒ එම සොරකමට සම්බන්ධ වූ ඔහුගේ ගෝලබාලයන්ද කොටු කර ගනිමිනි. මින්නේරියේ ඒ. ටී. එම්. සොරකමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත වන විදූෂ ඉදුනිල් අධිකාරීට ඒ. ටී. එම්. සුද්දා යැයි නමක් පට බැඳෙන්නේ ද බන්ධනාගාරය තුළදීය. ඒ ඔහු ඒ.ටී.එම්. යන්ත්‍රවලටම සුද්දය දෙන්නෙක් වූ බැවිනි.‍

ඒ.ටී.එම් සුද්දා නැවතත් ඒ.ටී.එම් යන්ත්‍රවලට වැඩේ දෙන්නට පටන් ගන්නේ 2022 වසරේ මාර්තු මාසයේදී බන්ධනාගාරයෙන් පලා විත්ය. බොරු ලෙඩක් ගෙන පොලොන්නරුව රෝහලට ඇතුළත් වන ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස් වසා රෝහලෙන් පනින්නේ විලංගු ගලවා වැසිකිළියට ගොසිනි.

එප්පාවල කටියාවල පදිංචිකරුවෙක් වූ අධිකාරී මුදියන්සේලාගේ විදූෂ ඉඳුනිල් අධිකාරී නොහොත් ඒ.ටී.එම්. සුද්දා 1991 වසරේ ජනවාරි 11 වෙනිදා උපන්නෙකි. එප්පාවල පැත්තේ පිහිටි මධ්‍ය මහා විද්‍යාලයෙකින් සාමාන්‍ය පෙළ දක්වා අකුරු කළ ඒ.ටී.එම්. සුද්දා උසස් පෙළ හදාරා ඉහළට අධ්‍යාපනයක් ලබනවා වෙනුවට තෝරා ගන්නේ විදුලි කාර්මික පාඨමාලාවකි. 2007 වසරේදී ඔහු එම පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව 2011 වසරේදී ජේ. සී. බී. යන්ත්‍ර රියැදුරෙක් ලෙස එක්වන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට සම්බන්ධ වෙමිනි. 2012 වසරේදී ඒ.ටී.එම්. සුද්දා නිත්‍යානුකූල නොවන විවාහයක් කර ගන්නේ සිය වයස අවුරුදු 21දීය. ඒ 15 හැවිරිදි බාල වයස්කාරියක්වය. ඒ සම්බන්ධයෙන් ඒ.ටී. එම්. සුද්දාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ අදටත් නඩුවක් විභාග වෙමින් ද ඇත්තේය. එම බාලවයස්කාරියට පිරිමි දරුවෙක් ද ලබා දෙමින් ඒ. ටී. එම්. සුද්දා ඇයව අතහැර 2014 වසරේදී තවත් කාන්තාවක් සමඟ විවාහ මඟුලක් ගන්නේ නීතියෙන් ඇයව විවාහ කරගෙනය. එම විවාහයෙන් ඒ.ටී. එම්. සුද්දාට සිටින්නේ දියණියකි. ඇය දහම්සාය. එම දියණියගේ නම දකුණු අතේ ඔහු කොටාගෙන ඇත්තේ ඇයට ඇති අසීමිත සෙනෙහස නිසාය.

ඒ. ටී. එම්. සුද්දාගේ පියා රාජංගණය පැත්තේ සිටින යමක් කමක් ඇති පුද්ගලයෙකි. වල්ලපට්ටා ව්‍යාපාරයට සම්බන්ධව සිටින ඔහුගේ අතමිට කොතරම් සරු වූවත් ඒ. ටී. එම්. සුද්දාට නම් ඔහුගෙන් කිසිදු උදව්වක් නැති තරම්ය. ඒ නිසාම ඒ. ටී. එම්. සුද්දා 2015 වසරේ දී රියැදුරෙක් ලෙස සේවයට එක්වන්නේ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ජාලයකට අයත් ආරක්ෂක සේවා සපයන ආයතනයකය. ඒ. ටී. එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම් මෙන්ම සී. ඩී. එම්. යන්ත්‍රවල මුදල් රැස්කිරීම් ඇතුළු සේවා කටයුතු රැසක් සිදු වූයේ නාරාහේන්පිට සිය ව්‍යාපාරික ස්ථානය කරගත් මෙම ආරක්ෂක සේවා අංශය මගිනි. ඒ. ටී. එම්. යන්ත්‍ර පවා මෙම ආරක්ෂක අංශවල අලුත්වැඩියා කරන්නට විය. ඒ සඳහා කාර්මිකයන් සහ ආරක්ෂකයන් රැගෙන ගිය වාහන පදවන ලද්දේ ඒ. ටී. එම්. සුද්දා ය. ඒ නිසාම ඔහු ඒ. ටී. එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන හැටි ගැන මෙන්ම ඒවායේ සැකැස්ම ගැන පවා හොඳ අවබෝධයක් ලබාගෙන තිබුණේය.

මෙම රැකියාව ඔහුට අහිමි වන්නේ මහනුවර ඒ. ටී. එම්. යන්ත්‍රයක තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ 66ක මුදලක් මොහු විසින් සොරා ගැනීමක් නිසාය. ඒ 2016 වසරේදීය. මහනුවරදී සොරාගත් එම මුදල් තොගය ඔහු වෑන් රථයේ සඟවා නාරාහේන්පිටින් බෑගයකට දමා ගන්නේ කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙසිනි. මහනුවර ඒ. ටී. එම්. යන්ත්‍රයකට දැමීමට තිබුණු මෙතරම් මුදලක් ඔහු විසින් සොරා ගෙන ඇති බවක් වත් ඒ වන විටත් අදාළ ආරක්ෂක සමාගම පවා දැන සිටියේ නැත. ඒ එම සොරකම ඔහු සූක්ෂම ලෙස සිදුකරන බැවිනි. මෙම වැඩේ පත්තු වෙන්නේ මුදල් තොගය රැගෙන ඔහු යමින් සිටියදී ග්‍රෑන්පාස් පොලිසියට ඔහුව අහඹු ලෙස කොටුවීමත් සමඟිනි. පොලිසිය විසින් කළ ක්ෂණික සෝදිසියකදී බෑගයෙන් මතු වන මුදල් ඔහුට ලද ආකාරය ගැන කියා ගන්න බැරිවූ විට ඒ ගැන ප්‍රශ්න කරන විට මේ සොරකම ගැන එළියට එන්නේ ආරක්ෂක සමාගම පවා පුදුමයට පත් කරමිනි. මෙම සොරකම සිදු වන්නේ මහනුවරදී වූ බැවින් ඔහුට එරෙහිව හැම නීතිමය කටයුත්තක්ම සිදුවන්නේ මහනුවර අධිකරණයේය. මුල් වටයේදීම ඒ.ටී.එම්. සුද්දා අධිකරණයට කියන්නේ තමා වැරදිකරු බවය. ඒ නිසාම අධිකරණයෙන් ඔහුට නියම කරනු ලබන්නේ වසර 05කට අත්හිටවූ සිරදඬුවමක් පමණි.

රියැදුරු රැකියාව අහිමි වීමෙන් පසු ජීවිතය ගැටගහ ගැනීමට ඒ. ටී. එම්. සුද්දා තමාගේම යැයි කියා ව්‍යාපාරයකට අත තැබුවේය. පලතුරු රැස්කර එප්පාවල සිට කුඩා ලොරි රථයකින් කොළඹ මැනිං වෙළඳපොළ වෙත රැගෙන ඒමටය. ලොකු ආදායමක් නොමැති වූවත් ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් මේ තුලින් ලැබුණත් ඒ.ටී.එම්. සුද්දාට කණකොකා හැඬලෙන්නේ කොවිඩ් වසංගතවත් සමඟිනි. කොරෝනාවෙන් නැත්තටම නැති වන ඒ.ටී.එම්. සුද්දා වසංගත තත්ත්වය පහව යෑමත් සමඟ ඔළුව උත්සන්නට තීරණය කරනුයේ අනුරාධපුර රෝහල අසල ඇති රාජ්‍ය බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයට වැඩක් දෙමිනි. එය ව්‍යාර්ථ වන්නේ එදා අහඹු ලෙස එතැනට පොලිස් ජිප් රථයක් පැමිණීම නිසාය. පසුව ඔහු උත්සාහයක නිරත වන්නේ පුද්ගලික බැංකුවක අනුරාධපුරයේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකට වැඩේ දෙන්නටය. එයත් වැරදී යන්නේ බැංකුවේ ආරක්ෂක සංඥා පද්ධතිය අනපේක්ෂිත ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙනි. මෙම ගේම් දෙකම ඔහු දෙන්නට සූදානම් වන්නේ මහා රෑකය. ආසාර්ථක වූ සොරකම් දෙකකින් පසු ඔහු සඟයන් දෙදෙනෙක්ද සමඟ ගොස් මින්නේරියේ ඒ.ටී.එම්. යන්ත්‍රයට වැඩේ දෙන්නේ ඔහු නාරාහේන්පිට ආරක්ෂක සමාගමේ සේවයේ නිරතව සිටියදී එහි සේවයේ නිරත කාර්මික ශිල්පීන් ඒ. ටී. එම්. යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී අනුගමනය කරන පිළිවෙත්වලට යමිනි.

ඒ වන විට හතරලියද්ද පැත්තේ කාන්තාවක් සමඟ ද ඒ.ටී.එම්. සුද්දා අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් තිබුණේය. ඇය ඇඟලුම් කම්හල් සේවිකාවකි. අසාර්ථක විවාහයකින් පසු ඇය ඒ. ටී. එම් සුද්දා සමඟ සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබුණේ මුහුණු පොතෙන් දැන හඳුනා ගැනීමකින් අනතුරුවය. බන්ධනාගාරයෙන් පලාවිත් ඒ. ටී. එම්. සුද්දා රැකවරණය පතා කෙළින්ම එන්නේ ද අනියම් බිරිය වෙතය. ඒ වන විට ඇය පදිංචිව සිටියේ බිංගිරියේය. ඒ ඇගේ නැන්දනියගේ නිවසේය. ඒ පැමිණි ඒ. ටී. එම්. සුද්දා පසුගිය ජනවාරි මාසයේ දිනක බිංගිරියේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයකට වැඩේ දෙන්නේ සාක්කුව හොඳටෝම හිස්ව තිබුණු බැවින් එය පුරවා ගන්නටය. එවර ඔහු ඒ වැඩේ දෙන්නේ තනිවමය. ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියේ ආරක්ෂක කැමරා දර්ශන පටිගත වන ඩී. වී. ආර්. යන්ත්‍රය මුලින්ම ගලවා ඉවත් කරන ඔහු අනතුරුව යන්ත්‍රය කපා සිදුරු කරනුයේ ග්‍රයින්ඩරයකිනි. ඒ යන්ත්‍රය පිහිටි කුටියෙන්ම විදුලිය ලබා ගෙනය. එදා ලොකු මහන්සියන් ගෙන යන්ත්‍රය සිදුරු කළත් ඒ තුළ තිබෙන්නේ රුපියල් 37,500ක් පමණි. නැවතත් ඒ.ටී.එම්. සුද්දා වැඩේට බහින්නේ කුරුණෑගල ගැට්ටුවානේ ඒ.ටී.එම්. යන්ත්‍රය ඉලක්කරගෙනය. මෙදා ඔහු මේ ගේම ගහන්න යොදා ගන්නේ සෙනසුරාදා දිනයකි. ඒ ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තොග ඇතුළත් කරනුයේ සිකුරාදා රාත්‍රී කාලයට බැවින් සෙනසුරාදාට ඒවායේ පිරෙන්නට මුදල් ඇති නිසාය.

මේ දේවල් එළියට එන්නේ කුරුණෑගල පොලිස් විමර්ශකයෝ පසුගිය 16 වෙනිදා බිංගිරිය විලත්තවදී අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ඒ ඔහුගේ අනියම් බිරිය හඳුනා ගෙන ඇගේ ජංගම දුරකතන අංකය ඔස්සේ පන්නමින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී ඔහු කියන්නට වූයේ එදා නිදහස් දින අඩුම කුඩුම ටිකත් බෑගයක දමාගෙන කුරුණෑගලට ආවේ ගම්පොල බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයක නැඟී බවය. උදෑසන 7.00ට පමණ බිංගිරියෙන් පිටත්වන ඔහු එදින උදෑසන ආහාරය ගෙන ඇත්තේ කුරුණෑගලිනි. අනතුරුව ඔහු මහනුවර බලා යන බස් රථයක එල්ලී ගැට්ටුවානෙන් බැස ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළුවන්නේ “නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසා ඇත“ යැයි පුවරුව ද ප්‍රදර්ශනය කරමිනි.

උදෑසන 9.00ට වැඩ පටන් ගන්නා ඔහුට වැඩි වේලාවක් යන්ත්‍රය කැපීමට ඉඩක් නොවීය. ඔහු රැගෙන ආ ග්‍රයින්ඩරයේ තල තුනක්ම කැඩී ගියේය. ත්‍රීරෝද රථයක නැඟී ගොස් තල හයක් රැගෙන එන්නට ඔහුට සිදු වන්නේ එබැවිනි. කිසිදු බාධාවකින් තොරව යන්ත්‍රය කපා සිදුරු කරගත්ත ද ඒ තුළ වූ නෝට්ටු සියල්ලක්ම බෑගයට දමා ගැනීමට ඉඩක් නොවීය. ඒ ඔහු නොසිතූ තරමේ මුදලක් ඒ තුළ තිබුණු බැවිනි. රුපියල් 100 නෝට්ටු ටික ඔහුට අතහැර යන්නට සිදුවන්නේ එබැවිනි. කුරුණෑගලට ගොස් සම්බාහන මධ්‍යස්ථානයකින් කාන්තාවකගේ පහස ද ලබාගෙන බිංගිරියට යන ඒ. ටී. එම්. සුද්දා ඒ මුදල් වලින් රුපියල් ලක්ෂ 15ක්ම අහිමි කරගන්නේ බූරු ගසන්නට ගොසිනි. සිය අනියම් බිරිය වෙනුවෙන් ද ඒ. ටී. එම්. සුද්දා රුපියල් හයලක්ෂ පනස් දහසක මුදලක් වැය කර තිබුණේය. ඒ රන් අත්පලඳනාවක් සහ රන් මාලයක් වෙනුවෙනි. ඒ හැරුණු කොට ඔහු රුපියල් තුන්ලක්ෂ හැත්තෑදහසක මුදලක් වැයකර ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් ද මිලදී ගත්තේය. මාස්පොතින් ඔහු යතුරු පැදියක් මිලදී ගෙන තිබු‍ණේ රුපියල් පන්ලක්ෂ පනස් දහසක මුදලක් වැය කරමිනි. ඒ අතර ඔහු හිරෙන් පැන්න අලුත ලබාගෙන තිබුණු රුපියල් පන්ලක්ෂ පනස් දහසක ණයක්ද බේරා තිබුණේ ද සොරාගත් මුදලින් කොටසක් වැය කරමිනි. ඒ හැරුණු කොට තවත් සුළු වියදම් රැසක් මේ මුදල්වලින් වැය කිරීමෙන් අනතුරුව ඔහු අත රුපියල් හතළිස්පන් ලක්ෂ හැට දෙදහසක මුදලක් ඉතිරිව තිබුණේය. කුරුණෑගල පොලිස් විමර්ශකයෝ ඒ මුදල සොයා ගන්නේ ඒ.ටී.එම්. සුද්දා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

Comments