මගේ සංගීත ගමනට පුද්ගලික ජීවිතේ මිශ්‍ර කර ගන්නේ නැහැ | සිළුමිණ

මගේ සංගීත ගමනට පුද්ගලික ජීවිතේ මිශ්‍ර කර ගන්නේ නැහැ

- කී දෙනෙකුට ආදරේ කළාද කියන ප්‍රශ්නයට උත්තරේ අතක ඇඟිලි ගාණ කිවුවොත් හරි
- මම හිතනවා මගේ රසිකයන් අද මම ගෙවන ජීවිතේ ගැන සතුටු වෙයි කියලා

රියැලිටිකරණයෙන් බිහි වෙලා තරුවලට අභියෝගයක් වෙමින් සංගීතයට අවතීර්ණ වුණත් ආ සැණින් සැඟව ගිය ඔහු පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන්ම ජනතාවගේ හදවතට තට්ටු කළ ආදරණීය ගායකයෙක්. ඔහු තමයි මලිත් පෙරේරා. ගායකයෙක් වූ සැණින් ඔහු විදෙස්ගත වුණා. දැන් පදිංචිය ඕස්ට්‍රේලියාවේ. ළඟදිම ඔහු ප්‍රසංගයක් පවත්වනවා. ඒ නිසා ඔහු ලංකාවට එන්න සූදානම්. මේ නිසාම ඔහුත් එක්ක ඒ ගැන කතා කරන්න හිතුවා.

මලිත් ලංකාවට එනවා කියලා ආරංචියි කාලෙකට පස්සේ සංගීතයත් එක්ක හැප්පෙන්න. මුලින්ම ඒ ගැන කියමු.?

ඔව්. මම ලංකාවට එනවා. අන්තිමට ලංකාවට ආවේ 2019 අවුරුද්දේ. ලංකාවට එන්නේ සංගීතයත් එක්ක හැප්පෙන්නම නෙමෙයි. කාලයක් තිස්සේ ප්ලෑන් කළා කොන්සට් එකක් කරන්න. මම අවුරුදු 15 ක් ලංකාව ඇතුළේ ගීත ගායනා කරලා නැහැ. මේක තමයි අවස්ථාව කියලා හිතනවා. අප්‍රේල් 1 දා නෙළුම් පොකුණ රඟහලේ තමයි කොන්සට් එක තියන්නේ. මතක මන්දිර. සර්ප්‍රයිස් ගොඩක් එදාට බලාගන්න පුළුවන්. හැමෝටම රසවිඳින්න එන්න කියලා ආරාධනා කරනවා.

කාලෙකට පස්සේ ප්‍රසංගයක් කරන්න හිතුවේ ඇයි ..?

මට ආදරේ කරන රසිකයින් නිතරම කියනවා අලුත් සිංදු කරන්න කියලා. පරණ සිංදුවලට ආදරේ කරන අයත් ඉන්නවා. ඒ නිසා අලුත් සිංදු ටිකක් එක්ක පරණ සිංදුත් එදාට කියන්න ඉන්නේ. අවුරුදු 15 ක් ලංකාව ඇතුළේ සිංදු කියන්න බැරි වුණ නිසා මෙහෙම වැඩකින් ආයෙමත් කලඑළි බහින්න හිතුවා.

ලංකාවේ ජනතාව ලොකු මුදලක් වැය කරලා එස්. එම්. එස් ගහලා හැමෝම දන්න, කවුරුත් ආදරේ කරන ගායකයෙක් වුණ මලිත් මොකද මේ ලංකාව අත හැරලම ගියේ..?

ලංකාව අත ඇරලම ගියාද කියන එකට ප්‍රශ්නාර්ථයක් තියනවා. දැන් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඉන්නේ. මම වරලත් ගණකාධිකාරිවරයෙක් විදිහට රැකියාව කරගෙන මියුසික් වැඩත් කරගෙන ජීවත් වෙනවා. ඇත්තටම ලොකු මුදලක් වියදම් කරලා මාව සංගීතයේ ඉහළම තැනකින් තිබ්බ ජනතාවට ස්තූතියි කියනවා. ඔවුන් නිසා තමයි මම අද ගයන්නේ. එදා ගන්න ඕන තීරණයක් හැටියට මේ තීරණය අරන් ඕස්ට්‍රේලියා ආවා. මම හිතනවා මගේ රසිකයින් අද මම ගෙවන ජීවිතේ ගැන සතුටු වෙයි කියලා.

මලිත්ට ආදරේ දැනෙන්නේ අවුරුදු හයේදි කිවුවා. මේ වෙද්දී කී දෙනෙකුගේ පෙම්වතා වෙලා තියෙනවා ද..?

ඔව් මට ආදරයක් දැනෙන්නේ අවුරුදු හයේදි. එහෙම කියලා මම පෙම්වතියෝ ගොඩක් ආශ්‍රය කළේ නැහැ. කී දෙනෙකුට ආදරේ කළාද කියන ප්‍රශ්නයට උත්තරේ අතක ඇඟිලි ගාණ කිවුවොත් හරි.

පෙම්වතියෝ කිහිප දෙනෙකුගේ ඇසුර තිබ්බත් ආදරේ හිතෙන්නේ විවාහ වෙන්නේ එක්කෙනෙක් එක්කනේ. ඒ වාසනාවන්තිය දැනටමත් හමු වෙලාද..? 

පෙම්වතිය, විවාහය කියන දේ ගැන ළඟදීම කියන්නම් මගේ ආදරණීය රසිකයින්ට. එතෙක් ඒ ගැන කතා නොකර ඉමු.

දැන් මලිත් විවාහය ආදරේ ගැන කතා නොකරන්නේ තියෙන ජනප්‍රියත්වයත් අඩු වෙයි කියලද? එහෙම නැත්තම් පුද්ගලික ජීවිතේ හැංගිලා තියෙන එක හොඳයි කියලා හිතන නිසාද ..?

කොහෙත්ම නැහැ ආදරේ විවාහය හෝ පුද්ගලික ජීවිතේ කියන එක පුද්ගලිකයි. ඒකක් එක්ක අනිත් දේවල් පටලවා ගන්න හොඳ නැහැ. පුද්ගලික දේ හැංගිලා තියෙන තරමට විනාශ වෙලා යනවා අඩුයි කියලා මම හිතනවා. මගේ සංගීත ගමනට මම පුද්ගලික ජීවිතේ මිශ්‍ර කර ගන්නේ නැහැ.

ලංකාව අත හැරලම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඔබට දැන් ලැබෙන ප්‍රතිචාර ..?

ලංකාව අත හැරලම ගියේ නැහැ. ලංකාවේ පුරවැසිභාවයත් තියෙන නිසා මට යන්න එන්න පුළුවන්. නමුත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එහෙම කියලා ප්‍රතිචාරවලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒකට හේතුව මටත් ඇත්තටම හිතා ගන්න බැහැ. සමහර විට මම සමාජ මාධ්‍ය එක්ක නිතරම ගැටෙන නිසා වෙන්නත් ඇති. මම දාන සමහර කමෙන්ට්ස්වලට පෝස්ට් හැදෙනවා. මොන දේ වුණත් ලැබෙන ප්‍රතිචාර ගැන මටත් සතුටුයි.

විසේකාර ජීවිතෙන් ඈත් වෙලා විවාහ දිවියට ඇතුළත් වෙන්න ළඟයිද..?

වයසත් එක්ක මිනිස්සු පරිණත වෙද්දී විවාහ ජීවිතේ ගැනත් හිතනවා. දැන් විවාහ වෙන්න කලවයස හරි. බොහෝ දෙනෙක් ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. ඇත්තටම විවාහ නොවී ඉන්නේ නැහැ විවාහ වෙනවා. ඒකත් ළඟදි දවසක වෙයි. එතකල් මේ ඉන්න විදිහට ඉන්නවා.

Comments