මගේ ජනප්‍රියත්වය එයාට අදාළ නැහැ එයාට ඕන නිදහසේ ජීවත් වෙන්න | සිළුමිණ

මගේ ජනප්‍රියත්වය එයාට අදාළ නැහැ එයාට ඕන නිදහසේ ජීවත් වෙන්න

කණ්ඩායම් සංගීතය තුළ ඔක්ටපෑඩයෙන් බොහෝ දෙනෙකුට මතක හිටින චරිතයක් බවට පත් වූ ඔහු ඊට සමුදී ගායකයෙක් බවට පත් වුණා. දැන් හැමෝටම ඔක්ටපෑඩ් වාදකයා අමතක වෙලා. ඒ ගායනය නිසාය. ඔහු නමින් නදීර නෝනිස්. ගායනයට පෙම් කළ නිසා කණ්ඩායම් සංගීතයට කාලයක් සමුදුන් ඔහු හා ඔහුගේ ආදරණීය බිරිය රංගාලී බණ්ඩාර එක්ක මේ විදිහට කතා කරන්න හිතුවා. මේ ඒ සුන්දර කැදැල්ලේ තොරතුරුයි.

නදීර කොහොමද ..?

හොඳයි. හොඳින් ඉන්නවා.

 

*සද්දයක් නැත්තේ මොකද ..?

අලුත් ගීතයක් කරන්න බැරි වුණා. අන්තිම ගීතය එළිදක්වලා අවුරුද්දක් විතර ඇති. සද්දයක් නැතුව මගේ කළමනාකාරිත්වය යටතේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. අපේ ගෙදර තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඊට අමතරව ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

පළමු වතාවට බිරියත් එක්කය ගීතයක් කරන්න යනවා කියලා ආරංචියි. විශේෂ හේතුවක් තියෙනවා නේද ..?

සුවිශේෂ හේතුවක් තියෙනවා. මමයි රංගාලියි විවාහ වෙලා අවුරුදු 18ක් සපිරෙනවා ඔක්තෝබර් 25ට. අපේ විවාහ සංවත්සරය වෙනුවෙන් තමයි ඒ ගීතය අපි දෙන්නා යුග ගීතයක් විදිහට ගායනා කරන්න ඉන්නේ. එයාට ටික ටික සිංදු කියන්න පුළුවන්. ඒ නිසා අපි ගීතයක් කරමු කියලා මම යෝජනා කළා.

 

ගොඩක් පිරිමි පාර්ශ්වයට විශේෂ දින වකවානු මතක නැහැ නේ. නදීරටත් එහෙම ද..?

මටත් මතක නැහැ. බොහොම අමාරුවෙන් විවාහ සංවත්සරය මතක තියාගෙන ඉන්නවා. මොකද පුතාගේ උපන් දිනේ 24 වෙනිදා නිසා.

 

නදීර ගීත ගොන්නක් කරලා තිබ්බට ජනප්‍රිය කිහිපයක් පමණයි. නිතරම ගීත කරන්න උත්සාහ කරන්නේ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්නද..?

ඔව්. ගීත නොකර ඉන්න බැහැ ජනතාවට අමතක වෙන්න පුළුවන්. අනිත් එක මේ යන රැල්ලට අපිත් යන්න ඕන. මේක තරගයක්. මේ වෙද්දී ගීත පනහක් විතර කරලා තියෙනවා. මා ගැයූ ගීත 15 ක් විතර ජනප්‍රියයි. හැම ගීතයකටම වඩා මගේ පළමු ගීතය පුංචි සමනලී ගීතය තවම ජනප්‍රියයි.

 

ඔබ 2000 වර්ෂයේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට සමු දෙන්නෙත් ගීත ගායනා කරන්න බැරි නිසා කණ්ඩායම ඇතුළේ..?

මම කරපු ඒ ගීතය සංගීත කණ්ඩායම එක්ක ගායනා කරන්න බැහැ කිව්වා. රොෂාන් අයියා එයාගේ පැත්තෙන් සාධාරණයි. මගේ පැත්තෙන් මම සාධාරණයි. මට මගේ සිංදුව ප්‍රසිද්ධ කර ගන්න ඕන නිසා මම දෙපාරක් නොහිතා ෆ්ලෑෂ් බෑක් එකට සමු දුන්නා.

 

ඒ කියන්නේ තවම රොෂාන් ප්‍රනාන්දු එක්ක හිත හොඳ නැහැ ..?

රොෂාන් කියන්නේ මට වඩා වැඩිමහල්. ඔහු මට සහෝදරයෙක් වගෙයි. අපි අතර කිසිම තරහක් නැහැ.

 

ඔබ ජනප්‍රිය වුණේ ඔහුගේ කණ්ඩායමේ වාදකයෙක් හැටියට. ඉන් ඉවත් වීම ගැන දුකක් නැද්ද ..?

මම අයින් වුණේ 2000 අවුරුද්දේ. ඒ කාලේ සෑහෙන දුකක් දැණුනා. දැන් නම් ගාණක් නැහැ.

 

රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක කලාව කරලා කාටද හරියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ තෝරා ගැනීම ගැන ඔබට පසුතැවීමක් නැද්ද ..?

ඉස්සර ඉඳලා මට හොඳට ඉගෙන ගන්න බැහැ. මම හරි අකමැති කෙනෙක් ඉගෙන ගන්න. මට ඕන වුණේ මේ වගේ දෙයක් කරන්න. වගකීම ගන්න බැහැ. ඒ වගේම එක තැනකට වෙලා රස්සාව කරන්න බැහැ. අතුල අධිකාරි හා නලීන් පෙරේරා සිංදු කියනවා දැකලා තමයි මට ගායකයෙක් වෙන්න ඕන කියලා හිතුණේ. කොහොම හරි අවශ්‍ය දේ කරගත්තා. ස්ථිර රැකියාවක් නැති නිසා ඉස්සර නම් ආර්ථික ප්‍රශ්න හරියට දැනුණා. නමුත් මම මගේ ගමන හදා ගත්තා. අපරාදේ හොඳට ඉගෙන ගෙන රස්සවක් කරන්න තිබ්බා කියලා නම් කොයිම මොහොතකවත් මට හිතිලා නැහැ.

ඔබ බිරිය කර ගන්නේ අවුරුදු 13න් ආදරේ හිතුණු පුංචි කෙල්ලව. ජනප්‍රිය වෙද්දී මුදල් ලැබෙද්දි ඇය මදි පුංචිකමක් හැටියට හිතිලා වෙනතක හිත බැඳුණේ නැද්ද ..?

මොකුත්ම නැති කාලේ තමයි එයාව මට හමුවුණේ. එතකොට එයාගේ වයස 13යි මට 19 යි. අපි දෙන්නා විවාහ වෙලා අමාරුවෙන් මේ ජීවිතේ ගොඩනඟාගත්තේ. ඒ කාලේ අපිට තිබ්බේ බයිසිකලයක්. දැන් වාහන ගෙවල් හැමදේම තියෙනවා . නැති කාලේ එයා මගේ ළඟින් හිටියා නම් ඇති කාලේ මට එයා ළඟින් ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒකට තමයි ආදරේ කියන්නේ. හැමදේම තියෙද්දි ළං වුණු කෙනෙක් හැමදේම නැති වුණු දවසකට අයින් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් මට එයාව එපා කියලා හිතිලා නැහැ. කවදාවත් හිතන්නෙත් නැහැ.

 

නදීර ඒ විදිහට ආදරණීය බිරිය ගැන කියද්දි නදීරගේ ජනප්‍රියත්වය හේතුවෙන් ඔහුව නැති වෙයි කියලා බයක් හිතේ ඇති වුණේ නැද්ද කියලා ඇයට මුල්ම ප්‍රශ්නය යොමු කළා..?

නැති වෙයි කියලා බයක් හිතුණේ නැහැ. දාලා යයි... මම ඉද්දි වෙන සම්බන්ධතා ඇති වෙයි කියලා කවදාවත් හිතුණේ නැහැ.

 

එහෙම නම් ඇයි මුල් කාලේ රණ්ඩු කරේ..?

එයා කාර්‍යබහුල වෙද්දී සමහර අවස්ථාවල මම තනියම හිටියා. ඒ හේතුව නිසා වෙන්න ඇති. ආදරේ වැඩි වෙද්දී එහෙම වෙන්න ඇති. අනිත් එක එයාට කෝල් ඇවිත් තියෙනවා අනවශ්‍ය විදිහට අපිව ඈත් කිරිමේ අරමුණින්. සමහර ප්‍රශ්න නිසා අපේ ආදරේ මාස දෙක තුනක කාලයක් නතර වෙලත් තියෙනවා. එයාම කතා කරලා ආයේ යාළු වුණා. විවාහයෙන් පස්සේ එයාගේ ගමන් බිමන්වලට මාව එක්ක ගියා. අන්තිමට ඒ රණ්ඩු වීම ඉබේම නතර වුණා. දැන් රණ්ඩු කරන්න වෙලාවක් නැහැ. නිතරම අපිත් එක්ක ඉන්න නිසා රණ්ඩු ඇති වෙන්නෙත් නැහැ.

 

ජනප්‍රියත්වය අඩු වෙයි කියලා ඔහු විවාහකයෙක් කියන එක හංගන්න උත්සාහ කරලා නැද්ද ..?

එහෙම නැහැ කවදාවත්. එයා ෆේස්බුක් ෆැමිලි ෆොටෝස් දානවා. වැඩසටහන්වලට අපිව එක්ක යනවා. හංගලා නැහැ. දැන් මම නැතුව තනියම වැඩසටහන්වලට යන්නෙත් නැහැ. මට එන්න බැහැ කිව්වත් බලෙන් හරි එක්කගෙන යනවා. මුල් කාලේ එයා එක්ක ගමන් බිමන් ගිහිං මම පැය ගණන් බලාගෙන ඉදලා තියෙනවා. ඒවා හරි සුන්දර අත්දැකීම් මට නම්.

 

නදීර හොඳ පියෙක් සැමියෙක්ද..?

ඔව්. මට වගේම දරුවන්ට ආදරේයි. අපි ගැන හිතලා එයා ලොකු ගමනක් ආවා, ලොකු කට්ටක් කාලා. අපි ආර්ථික ප්‍රශ්න වලින් පීඩාවිඳපු කාල තිබ්බා. නමුත් වගකීම් ඉටු කළා. පුතා ලැබිලා අවුරුද්දක්වත් නැ

හැ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේන් අයින් වෙද්දී . ඒ කාලේ තමයි ආර්ථික අපහසුතා මතු වුණේ. අපේ පුතා ජේසන් නෝනිස්. වයස අවුරුදු 16 යි. දුවට අවුරුදු 13යි. අැය මරියා නෝනිස්. මේ දෙන්නට සංගීතය උගන්වනවා. වාදන භාණ්ඩ එහෙම. නමුත් දරුවෝ කැමති දේ කරන්න ඉඩ දෙන්න ඕන කියලා එයා කියන්නේ. ඒ දෙන්නට හරි ආදරේයි.

 

ඔහුව ඔබට මුණගැහෙන්නේ ඔබේ හොඳම මිතුරිය නිසයි. ආදරේ කරන්න පටන් ගද්දි අවුරුදු 13 යි. තේරුමක් නැති වයසක පටන් ගත්ත ආදර කතාව ගැනත් කියමු..?

මගේ හොඳම යාළුවාගේ අයියා තමයි එයා. යාළුවා තමයි මට උදව් කරන්නේ අපේ සම්බන්ධයට. එයා අතේ තමයි ලියුම් හුවමාරු කර ගත්තේ. අදටත් නදිරගේ නංගි මට හිතවත්. මගේ පළමු පෙම්වතා ඔහු. එයාගේ නම් පළමු පෙම්වතිය මම නෙමෙයි. මම එයා එක්ක යාළු වුණේ ඒ කාලේ කෙල්ලො කොල්ලො යාළු වෙන රැල්ලට. ෆන් එකට. ආදරේ කරන්න තේරුමක් තිබ්බෙම නැහැ. නමුත් ආදරේ කරද්දී දෙන්නම අවංක වුණා. අවුරුදු අටක් ආදරේ කරලා තමයි විවාහ වුණේ.

 

ආදරේ කරද්දී ඔහු ඔබට නිතිරීතී දාලා තිබ්බේ නැද්ද ..?

අදටත් එයාට කේන්ති යනවා. ඉස්සරත් එහෙමයි. මම සාමාන්‍ය පෙළ කරන කාලේ යාළුවෝ එක්ක බීච් ගියා. එයාට කියලා නෙමෙයි ගියේ. එයත් මාරවිල අපේ ගමේම නිසා නිතරම හමුවෙනවා පාරෙදි එහෙම. ඉතිං එයා එදා බීච් එකට හොයාගෙන ඇවිත් ඒ වෙලාවෙම මට ගෙදර යන්න කිව්වා. ඒක තමයි පළවෙනි තරවටු කිරීම. එදා එයා රණ්ඩු කළා මාත් එක්ක.

 

නදීර කතාව අවසන් කරන්න කලින් කියන්න රංගාලී වගේ බිරියක් ලැබීම ගැන මොකද කියන්නේ කියලා. ඔබේ ජනප්‍රියත්වයෙන් බැබළෙන්න උත්සාහ කරන බිරියක්ද ඉන්නේ..?

අනේ නැහැ. එදා වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තමයි එයා උත්සාහ කරන්නේ. කලාකාරිනියන් එක්කත් හරි හිතවත්. ලොකුකම නැහැ. මගේ ජනප්‍රියත්වය එයාට අදාළ නැහැ එයාට ඕන නිදහසේ ජීවත් වෙන්න. හොඳ බිරියක්. මාව තේරුම් ගත්ත පවුල ගොඩදාන්න උත්සාහ කරන බිරියක් කිව්වොත් හරි.

 

Comments