
- සීතාවක ඔඩිසි 26 වැනිදා සිට නව ගමනක
- සුන්දරත්වය, අධ්‍යාපන දැනුම, විවේකය එක් දිනක එකම සංචාරයකින්
පොඩි මැණිකෙලාටත් උඩරට මැණිකෙලාටත් නොදෙවෙනි ලංකාවේ ආකර්ෂණීයම සුන්දරම දුම්රිය ගමන ඔඩිසිය. සංචාරකයන් සඳහාම වෙන් වූ ඇල්ල ඔඩිසි, කැන්ඩි ඔඩිසි, අනුරාධපුර ඔඩිසි ඇතුළු ඔඩිසි දුම්රිය සංචාරයේ තවත් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ සීතාවක ඔඩිසි හරහාය. එදා ඇල්ල ඔඩිසියේ ආකර්ෂණීය ගමනේදි සෙන්ට් ක්ලෙයාර්ස්, එල්ජින් ඇල්ල, ග්‍රේට් වෙස්ටනර්, පට්ටිපොළ හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන පමණක් නොව ඓතිහාසික දෙමෝදර ආරුක්කු තුනේ පාලම ඇතුළු සංචාරක නැරඹුම් කඩඉම් පසුකරද්දී අද සීතාවක ඔඩිසි සීතාවක පුරවරයේ ලබුගම, කලටුවාව ජලාශ, සීතාවක උද්හිද උද්‍යානය, ගොරකා ඇල්ල, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල වැනි සුන්දර ඇලි පමණක් නොව තුම්මෝදර වැල් පාලම, ගල් බංගලාව සහ කොඩිගල කඳු පන්තිය පසු කරමින් නවමු ගමනකට එළඹෙන සති අන්තයේ සිට ඇරඹුමක් දෙන්නේය.
කොළඹ දිස්ත්‍රික්කයේ අති සුන්දරතම පරිසර පද්ධතියක් වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව ඇති විශාල ඓතිහාසික වැදගත්කමක් පමණක් නොව පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන රාශියක් ද ඇති අතර, පසුගිය කාලවල මේ ස්ථාන ලංකාවේ අන් සංචාරක කලාප මෙන් සංචාරක ඇස ගැටුණේ නැත. නමුදු අපේ රටේ සංචාරක ස්ථාන බොහෝ තිබුණ ද අතීතයේ සිට පැවති සීතාවක පුරවරය මුල්කර ගනිමින් සංචාරක ගමනාන්තය අලුත් මඟකට හැරුණේ මේ සීතාවක නව ඔඩිසි සංචාරක දුම්රිය ගමන ආරම්භ කිරීමත් සමඟය.
සීතාවක වනාහි ලංකාවේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය පුරවරයක් වූ කන්ද උඩරට පැවැති සීතල කඳුකරයේ වින්දනීය අත්දැකීම්වලට නොදෙවෙනි, කන්ද උඩරට කඳු පන්තියෙන් ගලා බසිනා සුන්දර දිය කොමළියන්ගේ සුන්දරත්වය පරද්දන, හග්ගල, පේරාදෙණිය වැනි අධ්‍යාපනික මෙන්ම විනෝදාස්වාදන සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි අත්දැකීම් පහත රටින්ද විඳගන්නට හැකි වූ අපූරු සංචාරක ගමනාන්තයකි. පුරා වරුවකට අධික කාලයක් ගත කරමින් යන කන්ද උඩරට චාරිකාවකට වඩා දුම්රිය ගමනේ අත්දැකීම් ද විඳිමින් කොළඹ සිට සීතාවක ඔඩිසි සංචාරයට ගත වන්නේ ඉතාමත් සුළු කාලයකි.
ඔඩිසිය අපේ රටේ සුන්දරත්වය දැක ගන්නට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සේම දේශීය සංචාරකයන්ට අලුත් අත්දැකීමක් නොවේ. එදා ඇල්ල හරහා බදුලු ගිය ඇල්ල ඔඩිසිය, මහනුවර කැන්ඩි ඔඩිසිය කඳු නඟිමින්, පල්ලම් බසිමින් පියමං කළ ලතාවකටම මෙදත් සීතාවක ඔඩිසි ද කඳු නඟින්නට බසින්නට වූයේ අමතක නොවන අත්දැකීම් ගොන්නක් දෙස් විදෙස් සංචාරකයන්ට සමීප කරමිනි.
ලබන 26 වැනිදා සිට සෑම සති අන්තයකම කවදත් සුපුරුදු කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මේ සති අන්ත සුන්දර අත්දැකීම් පිරි චාරිකාව ආරම්භ වෙයි. කොළඹ කොටුවෙන් උදෑසන ආරම්භ වන සීතාවක ඔඩිසියේ පළමු නවාතැන මරදානය. කොළඹ කොටුවෙන් පමණක් නොව මරදාන දුම්රිය නැවතුමෙන් ද සංචාරකයන්ට ඔඩිසියට ගොඩ වන්නටත් යළි සවස් යාමයේ චාරිකාව නිමා කරමින් ගොඩ බසින්නට ද හැකියාව ලැබෙයි. කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රියේ සුපුරුදු ගමනාන්ත වන නාරාහේන්පිට, නුගේගොඩ, මහරගම, හෝමාගම පසුකරමින් ඉදිරියට ඇදෙන සීතාවක ඔඩිසියේ අවසන් ගමනාන්තය වන්නේ වග දුම්රිය නැවතුමය.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදානේ සිට අවිස්සාවේල්ල දෙසට යන විට හමුවන 27 වැනි දුම්රිය නැවතුම වග ය. පැරණි දුම්රිය ස්ථාන ආකෘතියට අනුව නිමැවූ මහල් දෙකකින් යුතු වූ වග දුම්රිය ස්ථානය මේ ඔඩිසියේ ගමන් කරන සංචාරකයන්ගේ නෙත් බඳින පළමු ස්ථානයක් ද වන්නේය. සීතාවක තෙත්බිම් උද්භිද උද්‍යානයට පමණක් නොව ලබුගම කලටුවාව වැනි ජලාශ නරඹන්නන්ට, දියඇලිවල පහස අත්විඳින්නට ද මෙතැන් සිට ඇත්තේ කිලෝ මීටර් 6ක කෙටි දුරකි.
සීතල තෙත් බිම් පරිසරයේ නැවුම් සිසිල විඳිමින් සීතාවක ඔඩිසියට තාවකාලිකව සමු දෙන්නේ මේ සුන්දර වග දුම්රිය නැවතුමෙනි. උදෑසන ආරම්භ වූ දුම්රිය ගමනේ මඳ අස්වැසිල්ලක් වග දුම්රිය නැවැතුමේදී හිමි වන්නේය. ඇවැසි නම් නිවෙසින් ගෙනා කෙටි ආහාරයක් වුව ද සප්පායම් වෙමින් අනතුරුව මේ සුන්දර ගමනේ දෙවැනි අදියර වූ සංචාරක ආකර්ෂණීය ස්ථාන නරඹන්නට බස්රථ කරා යෑමට සංචාරකයන්ට සිදු වන්නේය.
සීතාවක ඔඩිසිය හරහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පිළි ගන්නට වග දුම්රිය ස්ථානයේ නැවැතූ සංචාරක බස් රථය. ඒ ඒකාබද්ධ බස් රථ සේවාව හරහා සීතාවක පුරවරය පුරාම සංචාරය කරවන්නට ඔවුහු සූදානම්ව සිටිති. කොන්ක්‍රීට් නගරයෙන් මිදී ගෙවෙන ඒ හෝරා කිහිපය දිගු චාරිකාවක අත්දැකීම් ලැබෙන්නේය. හරිත තුරුලතාවන්ගෙන් බර වූ සුන්දර සීතාවක පුරවරයේ ස්වාභාවික තෙත් පරිසරයේ චමත්කාරය මොහොතකට ගත සිත සතපවන්නට, කලබලකාරී ජීවිතයට මඳ විවේකයක් අස්වැසිල්ලක් ලබා දෙන්නට සීතාවකින් ඇරඹෙන මේ ගමනට හැකියාව ලැෙබන්නේය.
සීතාවක ඔඩිසියෙන් ඇරඹෙන එක් දින සංචාරයේදී මුලින්ම හමු වන්නේ සිසිල් ජලයෙන් පිරි සුන්දර කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානයයි. කලටුවාව සුන්දර ජලාශ පරිසරයේ සුන්දරත්වය මෙන්ම අනතුරුව කලටුවාව වනජීවී රක්ෂිතයෙන් ලැබෙන සිසිල් පරිසරයේ සුන්දර අත්දැකීම් සීතාවක ඔඩිසි ගමනේදී මතකයේ රැඳෙන වින්දනීය ස්ථාන වේ. පියමං පමණක් සනිටුහන් කර අත්දැකීම් ගොන්නක් පමණක් රැගෙන යන්නන්ට මෙයි අපූරු පරිසර චාරිකාවකි. කලටුවාව වනජීවී රක්ෂිතයෙන් නැඟෙන කුරුලු හඬ මෙන්ම වනජීවී අත්දැකීම් විඳින්නට ළැදි අයට මේ ආශ්‍රිතව ඇති කලාපය අපූරු තෝතැන්නකි.
සබරගමු හා බස්නාහිර පළාත් ආවරණය වන පරිදි කලටුවාව ජලාශය ජල ප්‍රභවය කර ගත් මෙහි අක්කර 3500ක පෝෂිත ප්‍රදේශයක් ඇති අතර, කලටුවාව ජලාශය අක්කර 320ක් පුරා විහිදී ඇත. කලටුවාව ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග අඩි 980ක් වන අතර ප්‍රධාන වේල්ලේ උස අඩි 80කින් සමන්විතය. පරිවහන නළ 2ක් හා විදුලි උත්පාදන යන්ත්‍ර 2කින් යුත් කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 370කට වඩා ඉහළින් පිහිටා ඇති නිසා පවිත්‍රාගාරය දක්වාත් ඉන් අනතුරුව කොළඹ ප්‍රදේශය දක්වාත් ජලය ගමන් කරනු ලබන්නේ ගුරුත්ව බලයෙනි.
විනෝදාස්වාදය පමණක් නොව අධ්‍යාපනික අවස්ථා ද මේ සංචාරයේදී කෙනෙකුට ලබන්නට හැකි මිල කළ නොහැකි වටිනාකම්ය. දිවා ආහාරයෙන් අනතුරුව විවේකය උපරිමයෙන් හා අර්ථවත්ව ගත කරන්නට තවත් සොඳුරු නවාතැනක් වන්නේ සීතාවක තෙත්බිම් උද්භිද උද්‍යානයයි. පරිසරය අත්විඳින්නන්ට පමණක් නොව ගහ කොළ ගැන අත්දැකීම් ලබන්නට බලාපොරොත්තු වන්නන්ට ලංකාවේ ඉදිකොට ඇති පස්වැනි උද්භිද උද්‍යානය වන්නේ සීතාවක තෙත්බිම් උද්භිද උද්‍යානයයි. පේරාදෙණිය, මිරිජ්ජවිල, හෙනරත්ගොඩ හා හග්ගල උද්භිද උද්‍යාන මහජනයාට විවෘත වීමෙන් අනතුරුව 2014 වසරේදී සීතාවක උද්භිද උද්‍යානය විවෘත වන අතර මෙම සීතාවක ඔඩිසි ගමන ආරම්භ වීමෙන් අනතුරුව ඒ නැරඹීමේ අවස්ථාව වඩාත් පුළුල් වෙයි. මනරම් ජල පොකුණු, හංස බෝට්ටු සවාරි පමණක් නොව ඡායාරූපකරණයේදී ද මේ ගමනේ අත්දැකීම් එක්කර ගන්නට මෙම උද්භිද උද්‍යානයේදී හැකි වන්නේය. ඇලි අතර සිතුවිලි අතරමං කරවන සීතාවක ඔඩිසි සංචාරයේදී ගොරකා ඇල්ල, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල එකම චාරිකාවකදී හමු වන්නේය. සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරි ඇල්ලෙන් වැටී මියගිය හෙයින් නම් ලද කුමාරි ඇල්ල මීටර 4ක් පමණ උසින් යුතු විවිධ ජල ප්‍රවාහ 4 කින් සැදුම්ලත් මනස්කාන්ත දියඇල්ලකි. විදෙස් සංචාරකයින්ට කොඩි කන්දේ ගලින් ඇද හැලෙන ඇල්ල උඩ ඇල්ල ද මේ සංචාරයේදි හමුවන තවත් සංචාරක මන බන්දනීය සුන්දරීය ස්ථානයකි. සීතාවක උද්භිද උද්‍යානයට සමිපයෙන් පිහිටි හෙයින් දහවල් ආහාර විවේකයෙන් අනතුරුව මේ ඇලිවල සුන්දරත්වය විඳගන්නට දෙස් විදෙස් සංචාරකයන්ට මේ ගමනේදී අවස්ථාව හිමි වන්නේය.
සීතාවක තෙත් බිම් කලාපයේ සංචාරයේ නියැළෙන්නකුට කැලණි ගඟේ අතු ගංගාවකින් අලංකාර වූ තුම්මෝදරට මීටර් 15ක් පමණ ආසන්නයේ වූ සුන්දර රන්මුදු ඇල්ල පමණක් නොව තල්දූව – මීවිටිගම්මන මාර්ගයේ ඉදිරියට ඇදෙන විට හමුවන දර්ශනීය ගොරකා ඇල්ල ද මේ සංචාරයේදී ලබන්නට හැකි සුන්දර මතක සටහන්ය. ගොරකා ඇල්ල බලා ගෙන යන ගමනේදී ගමන් විඩාව නිවා ගැනීමට ගල උඩ ස්වාභාවික ජල තටාකය සැදී පැහැදී සිටින්නේය. එයින් නා වෙහෙස නිවා ගෙන යළිත් සවස් කාලය එළඹෙද්දී සීතාවක පුරවරයේ සංචාරය නිමා කරන්නට අවස්ථාව උදා වන්නේය.
මේ සංචාරයේදී සංචාරකයන්ට තම කාලය ඉතිරි කර ගැනීමට හැකි වෙතොත් සීතාවක දීර්ඝ ඉතිහාසයට නෑකම් කියන සීතාවක මාලිගාව මෙන්ම
පුරාවිද්‍යාත්මක නටබුන් ද දැක ගැන්මට අවස්ථාව උදා වන්නේය.
සති අන්තයේ ධාවනය වන මෙම සීතාවක ඔඩිසි දුම්රිය ගමනට ආරම්භයක් ලබා දුන්නේ ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනය. ඒ ජනවාරි 15 දා සීතාවක ඔඩිසියේ මංගල ගමනට ආරම්භක සවිය ලබා දෙමිනි. පෙබරවාරි 26 වැනිදා සිට සති අන්තයේ සෑම දිනකම මේ සංචාරය ඇරඹෙන්නේ සීතාවක පුරවරයේ විසිතුරු බව අලුත් කරමිනි.
රටේ දකුණ, කඳුරට සංචාරක අත්දැකීම් විඳින්නට පමණක් නොව ඒ අත්දැකීම් සමීප කර ගන්නට බැරි බොහෝ දෙනකුට සුන්දර නුවරඑළියේ සීතල පරිසරයේම පැවැති සුන්දරත්වය පුරා දිනක් තුළදීම මේ චාරිකාවේදී විඳින්ට හැකි වන්නේය. දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් නොව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය ද මෙම පරිසර හිතකාමී දෛනික සංචාරයට අත්වැලක් සපයන්නේය.
ලංකාවට දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ට නුවරඑළිය, බණ්ඩාරවෙළ වැනි කඳුකර පළාත්හි සංචාරයට කල්වේලා මදි නම් හෝ ඒ අත්දැකීම් නගරාසන්නයේම විඳ ගන්නට ඇවැසි නම් මේ සුන්දර සීතාවක සංචාරය ඊට කදිම ආරම්භයක් සපයන්නේය.