ඩී.ආර්. විජයවර්ධන ආගමික හා සංස්කෘතික සේවය | සිළුමිණ

ඩී.ආර්. විජයවර්ධන ආගමික හා සංස්කෘතික සේවය

  • පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි

ලණිය විහාර මළුවට සිය මව සමඟ පැමිණි කුඩා දරුවෙකි. පෙනුමෙන් ඔහුගේ වයස අවුරුදු 4ක්වත් නොවන්නට ඇත. මවගෙන් නිදහස් වූ අවසරයෙන් චෛත්‍යයේ මල් ආසන වෙත ගිය මේ දරුවා මල් ආසනයන්ට උස් නොවූ හෙයින් කකුලේ ඇඟිලිවලින් නැඟී සිට අපහසුවෙන් එහි පරමල් ඉවත් කර මල් ආසන පිරිසිදු කරන්නට විය. එම කාර්යය අවසන් වූ පසුව ඉදලක් ගෙන පන්සල් මළුව අමදින්නට විය. දුර බැහැර ගම්වලින් පැමිණි බොදුනුවෝ මේ කුඩා දරුවාගේ ක්‍රියාව මහත් සේ අගය කළහ. කෙදිනක හෝ මේ දරුවා පැවිදි වනු ඇතැයි අයෙක් පැවසූහ. ‘හොඳ හැදිච්ච දරුවෙක්‘ තවත් පිරිසක් පැවසූහ. ඒ දරුවා දානපති යුවළකගේ පුතකු බව දැන ගත් තවත් පිරිසක් පැවසුවේ ඔහු බෞද්ධ පුනරුදයට විශාල සේවාවක් කරනු ලබන ඇති බවයි.

මේ කුඩා දරුවා අන් කවරෙකුවත් නොව ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන්ය. එදා මෙදා තුර බුදු දහමට හා හෙළ සංස්කෘතියට ඔහුගෙන් සිදු වූ සේවාව මෙතැකැයි කියා සීමා කළ නොහැකිය. ඔහුට ඒ ආදර්ශය ලැබුණේ ඔහුගේ මවුපියන්ගෙන් මෙන්ම ඇසුරු කළ මහා සංඝරත්නයෙනි. විජයවර්ධනයන්ගේ මව වන හෙලේනා විජයවර්ධනයන් කැලණිය පන්සලේ අග්‍ර දායිකාවකි. ඇය නිරතුරුවම කැලණිය විහාරයට පැමිණියාය. ඒ තනිවම නොවේ. හෙලේනා සැම විටම කැලණිය විහාරස්ථානයට පැමිණියේ ඩී. ආර්. විජයවර්ධන හා ඩී.සී. විජයවර්ධන පුතුන් දෙදෙනාද සමඟය.

කැලණිය රජමහා විහාරයේ සියලු අවශ්‍යතා සොයා බලා ඉටු කළ හෙලේනා විජයවර්ධන 1902 වසරේ කිරිගරුඩ පූජාසනයක් කැලණිය විහාරස්ථානයට පූජා කිරීම ද ඩී. ආර්. විජයවර්ධන හොඳින් මතක තබාගත් සිද්ධියකි. එවිට ඔහුගේ වයස අවුරුදු 16කි. තුරුණු වියෙහි වූ විජයවර්ධනයන්ට තම මවත් පියා වූ දොන් පිලිප් විජයවර්ධනයන් බුදු සසුනට කරන්නා වූ සේවය මැනවින් දක්නට ලැබුණි. පසුව ඩී. ආර්. විජයවර්ධන නීතිය හැදෑරීම පිණිස එංගලන්තයට ගියේය. එහෙත් නීති උපාධිය ලබා ගැනීමෙන් පසු එහි නොරැඳී ඔහු යළි මෙරටට පැමිණියේය. ඒ 1912 වසරේදීය. මෙරටට පැමිණි විගස ඔහු ගියේද කැලණිය රජමහා විහාරස්ථානයටය. නීතිඥයකු ලෙස කටයුතු කළ ද ඔහු විහාරස්ථානයේ කටයුතුවලට එය බාධාවක් කර නොගත්තේය. 1927 වසරේ කැලණි විහාරස්ථ දුරුතු පෙරහර ආරම්භ කරන ලද්දේ ඩී. ආර්. විජයවර්ධනගේ මව විසින් වුවත් එහි සියලු වගකීම් කරට ගෙන කටයුතු කෙළේ ඩී.ආර්. විජයවර්ධන හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඩී. සී. විජයවර්ධන විසිනි. එම පෙරහර ආරම්භ කළ දිනම කැලණි රජමහා විහාරයේ නව විහාර ගෙයට මුල් ගල තබන ලද අතර එහි කටයුතු ද සංවිධානය කිරීමේ වගකීම් කරට ගත්තේ ද විජයවර්ධන සොහොයුරන් විසිනි.

දරුවන් විසින් ලබා දුන් මේ ශක්තිය නිසා හෙලේනා විජයවර්ධනට තම බෞද්ධ කටයුතු සිතැඟි පරිදි කර ගන්නට හැකියාව ලැබුණි. කැලණි විහාරයට යන සැමවිමට අලුත් යමක් විහාරස්ථානය වෙනුවෙන් කිරීමට ඇයට සිත්විණි. කැලණි විහාරයේ සිතුවම් අදින්නට සිත් වූයේද ඒ නිසාය. ඒ වෙනුවෙන් සෝයිලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා තෝරා ගැනීමෙන් පසුව ඒ බව දැනගත් ඩී. ආර්. විජයවර්ධන සිය මවට පැවසුවේ චිත්‍ර ශිල්පියා පළමුව ඉන්දියාවේ අජන්තා ඇතුළු සිතුවම් නරඹන්නට යැවිය යුතු බවයි. අජන්තා සිතුවම් නරඹා පැමිණීමෙන් පසුව මාස කිහිපයක් මල්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක සිතුවම් නිර්මාණය කරන්නට සෝයිලියස් මෙන්ඩිස්ට පැවරුවේ ඔහුගේ නිර්මාණ තව දුරටත් පරීක්ෂා කර බලන්නටය. දින දෙක තුනකට වරක් මල්වානට ගොස් ඒවා පරීක්ෂා කරන්නට ඩී. ආර්. විජයවර්ධන කටයුතු කරන ලදී. ඔහු එතරම් බෞද්ධ පුනරුදයට මං පෑදුවේය.

ඒ අතර කැලණිය විහාරස්ථානයේ නඩත්තුවට තම මව විසින් කලා වැව ප්‍රදේශයේ අක්කර 250ක ඉඩමක් ලබා දුන් බව දැනගත් ඩී.ආර්. විජයවර්ධන එහි ගොස් එහි අඩුපාඩු සොයා බැලුවේය. මව විසින් සිදු කරන්නා වූ කුමන සියලු බෞද්ධ වත්පිළිවෙත් සඳහා ඩී.ආර්ගේ සහයෝගය ලැබුණි. තම පියාගේ ව්‍යාපාර කටයුතු තිබුණ ද ඒ ඔස්සේ ගොස් මුදල් උපයන්නට ඔහුට අවශ්‍ය නොවීය. ඔහු කළේ ධාර්මික ලෙසින් තම ශක්තියෙන් දිවි සරිකර ගැනීමකි. සැම විටම බුදු දහමට මුල්තැන ලබා දීමකි.

විශේෂයෙන්ම මහා සංඝරත්නයේ අවශ්‍යතා සොයා බලන්නට විජයවර්ධන නිරතුරුව කටයුතු කළේය. එයට හොඳම උදාහණයක් ලෙස පෙන්වා දිය හැක්කේ 1941 වසරේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන ගිය අවස්ථාවේදී භික්ෂු නේවාසිකාගාරයක් එහි ස්ථාපිත කරන්නට විජයවර්ධන විසින් කටයුතු කිරීමයි. අදටත් එහි දක්නට ඇති සංඝාරාමය එදා විජයවර්ධනයන් ඉදිකළ ආරාමයයි. එමෙන්ම අධ්‍යාපනය ලබන සියලු භික්ෂූන් වහන්සේට අවශ්‍ය දානමාන පහසුකම්ද එහි ඇති කෙළේය. භික්ෂූන් වහන්සේට තම දැනුම වර්ධනය කර ගැනීම පිණිස පහසුකම් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ උරුමය රැක ගන්නට ඔහු විසින් දිගින් දිගටම කටයුතු කළ අතර එහි විජයවර්ධන ශාලාව ස්ථාපිත කෙරුණේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි.

එකල සේදවත්තේ පදිංචිව සිටි ඩී.ආර්. විජයවර්ධනයන් විසින් කැලණිය විහාරයට අමතරව, සේදවත්ත විහාරයට, කොළඹ ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය ඇතුළු විහාරස්ථානවලට උපරිම ලෙසින් පහසුකම් ඇති කරන ලදී. විශේෂයෙන්ම ඉතා වටිනා පර්චස් 37ක භූමි භාගයක් වජිරාරාමයට පූජා කිරීම මෙහිලා අගය කළ යුතුමය. වජිරාරමාධිපති තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ සිළුමිණට පැවසුවේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ එම සේවාව කිසිදා නොමැකෙන බවයි.

හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධනයන් සතු කැලණිය මානෙල්වත්තේ අක්කර 36ක් පමණ වූ භූමි භාගයක් බුදු සසුනට පූජා කරන්නට මුල් වූයේ ද ඩී. ආර්. විජයවර්ධනය. මීට වසර කිහිපයකට පෙර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය බිහි වූයේ එදා එම භුමිය පරිත්‍යාග කිරීමේදී එය බොදු කටයුතු වෙනුවෙන්ම පුද කළ නිසාය.

එමෙන්ම ගංගාරාමයේ වැඩ වාසය කළ දෙවුන්දර ජිනරතන හා දෙවුන්දර වාචිස්සර නා හිමිවරුන්ගේ අවවාද හා උපදෙස් අනුව කටයුතු කරමින් ගංගාරාමයේත් කොළඹ නගරය ඇසුරු කරගෙන බෞද්ධ කටයුතු සිදු කරන්නට ඔහු කටයුතු කෙළේය. විශේෂයෙන්ම විහාරය ගොඩ නැංවීම මෙන්ම පොහොය සීමාව සකස් කිරීම වැනි කටයුතු ඩී. ආර්. විජයවර්ධන එදා සිදු කළ සේවා අතර වේ.

ආගම කෙරෙහි එසේ දායකත්වය ලබා දෙන අතරේ ජනතාව දැනුම්වත් වීම අනිවාර්යය බව වටහාගත් විජයවර්ධනයෝ රටක ජනතාවකට නිදහස වෙනුවෙන් කටයුතු කළ හැකි වන්නේ එම දැනුම්වත් වීම මත බව ද අවබෝධ කරගෙන සිටියහ. විශේෂයෙන්ම එංගලන්තයේ අධ්‍යාපනය ලද අවදියේදී ශ්‍රී ජවහල්ලාර් නේරු වැනි ශ්‍රීමතුන්ගේ ආභාසයෙන් ලද පන්නරයෙන් ජාතිය ආගම ගැන ඇති වුණු ජාතිමාමකත්වය නිසා බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් ලක්බිම මුදා ගැන්මේ සටනට ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමේ වගකීමද කරට ගත් ඔහු ලේක්හවුස් ආයතනය ආරම්භ කෙළේය.

ඒ අනුව ඔහු දිනමිණ, සිළුමිණ ඇතුළු පුවත්පත් ආරම්භ කෙළේය. එහෙත් ඒ සියල්ලටම බුදු දහමට අනුව මුල් තැනක් ලබා දීමට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව පුවත්පත්වල නාමයන් පවා භික්ෂූන් වහන්සේගේ අනුදැනුම හා උපදෙස් මත යොදන ලදී. ජාතික පුවත්පත්වලට අමතරව බෞද්ධයන් වෙනුවෙන්ම පුවත්පතක් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේය. බුදුසරණ පුවත්පත ආරම්භ වූයේ ඒ අනුවය. එහි තවත් අරමුණක් වූයේ භික්ෂූන් වහන්සේගේ ලේඛන කලාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දීමය.

සිංහල මාධ්‍යයට අමතරව ඉංග්‍රීසි සහ දෙමළ පුවත්පත්ද ඔහු ආරම්භ කෙළේ බුදු දහමට අනුව සියලු දෙනාට සමව සැලකීමේ සියලු දෙනාට තොරතුරු පුවත් දැන ගැනීමේ අවශ්‍යතාවය ඇති නිසාය. බුදු දහම ප්‍රවර්ධනය කෙළේද සියලු ආගම්වලට එක හා සමාන ලෙසින් සලකමිනි. කිසිවකුගේ සිත් නොරිදෙන ලෙසින් සංයමයකින් යුක්තව භාෂාව හැසිරවීමට කටයුතු කළ යුතු බව ඔහු නිරතුරුවම පවසා තිබුණි.

මහජනතාව සැම විටම බොදු පිළිවෙත් අනුගමනය කරමින් සාරධර්ම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවට දිනමිණ හා සිළුමිණ දැඩි අවධානයක් යොමු කරන ලදී. 1924. අප්‍රේල් මස 5 වැනිදා දිනමිණ පුවත්පතේ ‘ගමරාලගේ‘ ලිපිය නමින් පළ වූ විශේෂාංගයේ එක් ජේදයක් මෙහි ලා දක්වන්නේ එම ලිපිය එකල මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා ඇගැයීම් කර ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ආදර්ශයට ගෙන තිබූ හෙයිනි.

‘සිංහල බස තුච්ඡ කොට පාගා දමා අනික් භාෂා වැලඳ ගනී නම් එයින් සිදු විය හැකි හානි වඩාත් බලවත් ය. ස්වභාෂා පොත පත බැලීමත්, අමුත්තන් සමඟ සිය බසින් කතා කිරීමත් ලජ්ජාවක් කොට සිතන්නා නියම සිංහලයෙක්දැයි වටහා ගත යුතුයි. මවුපියන් නොතකන්නා හට මොන ජාතියක්ද? සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ජාතියක් වශයෙන් අභිවෘද්ධියට පැමිණෙන්නට සිංහල වර්ගයා කැමැති වේ නම් ස්වභාෂාව ඉගෙන, ඒ භාෂාව කෙරෙහි නිසි සම්මානය දැක්වීම ද ස්ථිර ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බව කියම්හ. ‘

ලේක්හවුස් ආයතනය ගොඩ නැංවූයේ ද එහි අභ්‍යන්තරයේ බෞද්ධ කලා ශිල්ප යොදමිනි.

රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කර යළිත් 1939 වසරේ නොවැම්බර් මස 23 වැනිදා කොත් පැලඳවීම සිදු කිරීමත් 1940 ජූනි මස 17 වැනිදා එහි චූඩාමාණික්‍ය පැලඳවීමත් ගැන සිළුමිණ ඡායාරූප සහිතව සති ගණනාවක් පළ කළ ලිපි පෙළ තවමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල මහාර්ඝ වස්තූන් සේ සුරකින බව දැනගන්නට ඇත.

අනගාරික ධර්මපාල විසින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරද්දී ඒ වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නට සිළුමිණ ඇතුළු ලේක්හවුස් පුවත්පත් කටයුතු කෙළේ එය බුදු දහමට පමණක් නොව සමස්ත ජනතාවගේ ගුණ ධර්ම වැඩීමට හේතු සාධක වන නිසාය. 1956 බුද්ධ ජයන්ති උත්සවය ද සිළුමිණට අතිවිශේෂ අවස්ථාවක් විය. එදා මෙදා තුර බුද්ධ ජයන්ති උත්සවයට සිළුමිණ දුන් ප්‍රචාරය වෙනත් කිසිදු පුවත්පතකින් බෞද්ධ උත්සවයක් වෙනුවෙන් ලබා දී නැත.

සති අන්ත පුවත්පතක් වශයෙන් සිළුමිණ සමාජ සංවර්ධනයට හේතු වන ප්‍රධාන කරුණු විවිධ අංශ කීපයක් ඔස්සේ ජනගත කර ඇත. විශේෂයෙන්ම සියලු ජාතීන් සමඟි සම්පන්නව එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ජන විඥානගත කිරීම, බටහිරට ගැති වූ සිංහල සංස්කෘතියේ සාම්ප්‍රදායික හරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන කරුණු දැක්වීම ඉංග්‍රිසි බසත් ක්‍රිස්තියානි ආගමත් ඉදිරියට දමමින් බ්‍රිතාන්‍යය ජාතිකයන් ගෙන ගිය ව්‍යාපාර හෙළා දැකීම, රට ආර්ථික පරිහානියෙන් මුදවා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කර්මාන්ත වැඩි දියුණු කිරීම පිණිස මුඩුබිම් පනත ඉදිරිපත් කරමින් ඉංග්‍රිසීන් දේශීය කෘෂි කර්මාන්තය අඩපණ කර වැවිලි ආර්ථිකය නඟා සිටුවීමට ඉඩම් කොල්ල කෑම විවේචනය කරන ලදී. එමෙන්ම පුවත්පතේ සමාජ වගකීම නිසියාකාරව තේරුම් ගනිමින් මුඩුබිම් පනත නිසා ජනතාව සමාජ විරෝධී ක්‍රියාවල යෙදීම වළක්වාලීම, ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට මඟ පෙන්වා දීම රට ජාතිය බස හා ආගම නඟා සිටුවීමට ස්වරාජ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

සිළුමිණ ධර්ම ලිපියක් ආරම්භ කිරීමෙන් පසු එහි රචකයා දැක්වුණේ ‘අභයරාජ‘ නම් ආරූඪ නමකිනි. පසුව ‘සීයා‘ නමින්ද එම ලිහිල් ධර්මානුශාසනය පුවත්පතේ සම්පාදනය විය. එම ධර්ම ලිපිය වේගයෙන් ජනතාව අතර පැතිර ගියේය. සිළුමිණ පුවත්පතේ පළ වූ ප්‍රථම නවකතාව ද භික්ෂූන් වහන්සේ නමකගේය.

ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාව අනුව සර්වජන ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරාගන්නට ශ්‍රී ලංකා වාසීන්ට අවකාශ සැලසුණු විට එහි මුල් තැන ගත් පුවත්පත් අතර සිළුමිණ හා දිනමිණ පුවත්පත් විය. ජනතාවට නිසි අවබෝධය ලබා දෙන්නට එම පුවත්පත් කටයුතු කෙළේ ඩී. ආර්. විජයවර්ධන විසින් ලබා දී තිබූ ක්‍රමවේදය නිසාය.

විජයවර්ධන සැමවිටම උත්සාහ කළේ ජනතාවට කඩිනමින් නිවැරැදි ප්‍රවෘත්ති සම්පාදනය කරන්නටය. ඩී. ආර්. විජයවර්ධනගේ නිවැරැදි කඩිනම් මාධ්‍ය කලාව ගැන කියන්නට හොඳම උදාහරණයක් ද මෙහිලා දැක්විය යුතුය.

ඩොනමෝර් වාර්තාව එංගලන්තයේ පළ වූ අවස්ථාවෙහි විජයවර්ධන ක්‍රියා කළේ අවශ්‍ය දේ සුදුසු පරිදි කිරීමේ ප්‍රතිභා ශක්තිය ඇත්තකු ලෙසිනි. එංගලන්තයෙහි පළවන වේලාවටම මෙහි ද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වෙලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළ වන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදා ය. එවිට ඒ වාර්තාව මෙහි පළ වන්නේ සවස පත්‍රයෙහි ය. ඩේලිනිව්ස් පුවත් පතෙහි පළවන්නේ පසුදා උදයේය. මෙය ලේක්හවුස් ආයතනයට මදිකමක් විය. විජයවර්ධනයන් ඒ බව පැහැදිලිව දුටුවේය. ඔහු වහා මාධ්‍යවේදීන් දැනුම්වත් කෙළේ ය. ඩොනමෝර් වාර්තාව පළ වූ වහාම එය සංක්ෂිප්ත කර මෙරටට විදුලි පුවත් මඟින් එවන ලෙස විජයවර්ධනයන් එංගලන්තයේ කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයේ පළවන සම්පිණ්ඩන වාර්තාව විදුලි පුවත් මඟින් මෙරටට ලැබෙන්නේ රාත්‍රියේය. එහෙයින් එය මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කොට අකුරු අමුණා සෝදුපත් බලා පසුදා උදය පත්‍රයේ පළ කළ නොහැකිය.

විජයවර්ධන එය සැණෙකින් විසඳුවේය. මෝටර් රථ විටින් විට ගොස් විදුලි පුවත් පිටුවෙන් පිටුව විදුලි පණිවුඩ ප්‍රධාන කාර්යාලයෙන් ලේක්හවුසිය වෙත ගෙන එන ලදී. උප කර්තෘවරුන් කොළයෙන් කොළය සකස් කොට අකුරු අමුණන්නන් වෙත යැවූයේය. විජයවර්ධනයන් එළිවන ජාමය තෙක් කාර්යාලයෙන් පිටව නොගියේය. පසුදා ඩොනමෝර් වාර්තාව සහිත ඩේලිනිව්ස් පත්‍රය පළ වුයේ රටම විස්මයට පත් කරමිනි. ආණ්ඩුව ද මේ ගැන පුදුමයට පත් විය. ලංකා ආණ්ඩුව ඒ වාර්තාව පිට කෙළේ ඊට පසුවය.‘

එමෙන්ම කම්කරු නීති රීති පවා නිසි අයුරින් ඉටු නොකළ යුගයක සේවක සුබ සාධනය තම කර්මාන්තයේ අනිවාර්යය අංගයක් ලෙස ස්ථාපිත කළ විජයවර්ධනයෝ ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව හා සුබසාධන කටයුතු රැසක් හඳුන්වා දුන්හ. එය සිංහල ජාතික ආයතනයක් විසින් සේවක සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ පළමු අවස්ථාව ලෙස දැක්විය හැකිය.

උවදුරුවලින් විපතට පත් වන්නන්ට ආධාර උපකාර කරන්නට විවිධ ආයතන ප්‍රසිද්ධියේ කටයුතු කළත් ඩී. ආර්. විජයවර්ධන එදා කැලණි ගඟ පිටාර ගලා අසරණ වූවන්ට යළි තම නිවාස වෙත යනතුරුම අවශ්‍ය පහසුකම් සැලසුවේ කිසිදු ප්‍රසිද්ධියක් නොකරය. එය තවත් අයකුට ආදර්ශයක් ලෙස ගන්නට පමණක් ඔහු කටයුතු කෙළේය. වර්තමානයේ බෞද්ධ ප්‍රබෝධයේ මුල් හිමිකරු වශයෙන් කටයුතු කළ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ බොහෝ සේවාවන් අප්‍රසිද්ධ බව අපට මෙයින් පැහැදිලිය.

වෙසක් හා පොසොන් පොහොය දිනවලදී විශේෂ ආගමික පින්කම් රැසක් සිදු කළ ඔහුට අවශ්‍ය වූයේ විදුලි එළිය නොමැතිව තිබූ විශේෂ බෞද්ධ විහාරස්ථාන කිහිපයක් පොහෝ දිනට ආලෝකවත් කිරීමටය. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සොයා බලන්නට ඔහු කටයුතු කෙළේය. එමෙන්ම කොළඹ නගරයේ ආගමික පෙරහරක් ආරම්භ කිරීමට ද ඔහුට අවශ්‍ය විය.

එහෙත් විජයවර්ධනට එම කාර්යයන් කරගත නොහැකි විය. ඊට පෙර ඔහු සමුගත්තේය. ඩී. ආර්. විජයවර්ධනයන්ගේ අවසන් බලාපොරොත්තු ඉටු කරන්නට ඔහුගේ පුත් රංජිත් විජයවර්ධනයන් විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාව 1963 වසරේ ආරම්භ කරන ලදී. පියාගේ අඩි පාරේ යමින් පියාගේ අදහසක් මල් පල ගැන්වීමක් ලෙසින් ඔහු එය ඉටු කෙළේය. කොළඹ හුනුපිටිය ගංගාරාමය සංවර්ධනය කෙරෙහිද රංජිත් විජයවර්ධනයන් අවධානය යොමු කෙළේ පියා විසින් ගෙන තිබූ බොදු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමටය. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට යෝජිත වූ පෙරහරද රංජිත් විජයවර්ධනයන් විසින් ආරම්භ කරන ලදී. ඒ ගංගාරාමයේ නවම් පෙරහරේ ආරම්භයයි.

බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය, බෞද්ධ සිද්ධස්ථාන ආලෝකවත් කිරීම, පෙරහර ආරම්භය, බෞද්ධ පුවත්පත් ආරම්භය, ස්වභාවික ව්‍යසනවලින් අසරණත්වයට පත්වන්නන්ට පිහිට වීම මෙන්ම ආයතන සේවකයන්ට සුබසාධන කටයුතු ආරම්භ කිරීම වැනි සාමාන්‍ය පුරවැසියකුට සිදු කළ නොහැකි සේවාවන් රැසක් ඩී. ආර්. විජයවර්ධන අපට උරුම කර දුන් බව මේ අනුව පෙනේ. අද පවා කොළඹ නගරයේ අන්තර්ජාතිකව ගෞරවාදරයට පවා පාත්‍රව ඇති ගංගාරාමය මේ දියුණුව ළඟා කර ගත්තේ විජයවර්ධනයන් එදා ඇති කළ පුනරුදය නිසාය.

ඔහුගේ නාමය සදා අමරණීය වන්නේ මේ සියල්ලේම නිහඬ නියමුවා වන හෙයිනි.

Comments