නිවාස ආධාර හා ණය ව්‍යාපෘති යළි ඇරඹෙයි | සිළුමිණ

නිවාස ආධාර හා ණය ව්‍යාපෘති යළි ඇරඹෙයි

කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹෙයි. දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ.
 
ඒ අනුව පෙබරවාරී මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා වන සතියක කාලය තුළ මෙම ණය හා ආධාර වැඩසටහන් වල ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන් කිරීමට වහා පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.
 
බත්තරමුල්ලේදී පසුගිය සිකුරාදා(10) පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවකදී මෙම තීරණයට එළැඹින.
 
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි.
 
විවිද ආණ්ඩු බලයට පත්වූ විට නව සංකල්පයක් බව කියමින් කලින් සිටි ආණ්ඩුවේ සංවර්ධන වැඩ අතරමඟ නතර කරන බවත්, ඉන් පීඩාවට පත් වන්නේ මහජනතාව බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් නව වැඩ ආරම්භ කරන්නේ පැරණි ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසුව බවද අවධාරණය කළේය.
 
2020 හා 2022 කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය හා ආධාර ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර තිබේ. “ඔබට ගෙයක් - රටට හෙටක්” හා “මිහිඳු නිවහන” එම ව්‍යාපෘති දෙක වේ.
 
පසුගිය කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිවල දෙවන, තෙවන හා හතරවන වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබිණි. “ඔබට ගෙයක් - රටට හෙටක්” ව්‍යාපෘතිය යටතේ සෑම ග්‍රාම සේවා වසමකම නිවසක් ඉදි කිරීම සඳහා නිවාස ආධාර ලබා දීමට පියවර ගැනිණ. මේ යටතේ නිවාස 1,885 ක් සඳහා මුල්‍යාධාර පිරිනැමුණ අතර එහි ඉතිරි වාරික ගෙවීම සඳහා මේ වනවිට අධිකාරිය රුපියල් මිලියන 283 ක් වෙන් කර තිබේ. ඊට අමතරව “මිහිදු නිවහන” නිවාස ව්‍යාපෘතියේ නිවාස 58 ක් සඳහා ඉතිරි ප්‍රතිපාදන ලබා දීම සඳහා රුපියල් මිලියන 9ක්ද වෙන් කර තිබේ. 
 
මෙම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර හා වතුකරයේ ජනතාව නව නිවාස ආධාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද මෙහිදී ඇමතිවරයා උපදෙස් දුන්නේය.
 

Comments