2023 පෙබරවාරි මස 13 වැනි සඳුදා සිට 18 වැනි සෙනසුරාදා දක්වා | සිළුමිණ

2023 පෙබරවාරි මස 13 වැනි සඳුදා සිට 18 වැනි සෙනසුරාදා දක්වා

මේෂ - පුණ්‍ය සිතුවිලිවලට මුල් තැනක් දෙයි

සඳු ගමන් කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. සහකාර පාර්ශ්වයන්ගෙන් සහ ව්‍යාපාර ආදියෙන් ලැබීම් පෙන්වන අතර පුණ්‍ය සිතුවිලි පෙරදැරිව ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යයි. යුග දිවි ගත කරන අය අතර සුළු අමනාපකම් හට ගනී. රැකියා කර්මාන්ත වෙනුවෙන් ගමන් බිමන් අධිකව යෙදේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ පෙන්වයි. සතියේ අපල අවම කර ගැනීමට වචනය පාලනය කර ගැනීමත්, අක්ෂි රෝගීන්ට ඇප උපකාර කිරීමත්, වැටකේ මල් පූජා කිරීමත් සුදුසුය.

සුබ අංක 1, 4, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

වෘෂභ - මිශ්‍රඵල සහිතයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභයක් ලැබිය හැකි අතර නිවෙසෙහි අගහිඟතා බොහොමයක් පිරිමැසේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවිය හැකිය. එමෙන්ම අසනීප, විවිධ ගැටලු, පිටස්තර අයගේ වුවමනා එපාකම් පිරිමැසීමට ද සිදුවේ. සතියේ අපල අවම කර ගැනීමට වකුගඩු මුත්‍රා ආසාදන සහිත රෝගියකුට උපකාර කරන්න. අවේලාවේ ගමන් බිමන් අඩු කරන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මිථුන - දරුවන් පිළිබඳ යහපත් පැතුම් ඉටුවේ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වන බවක් පෙන්වයි. යුග දිවිය අවබෝධයෙන් සහ සතුටින් ගෙනයයි. ඒ අතර අසනීප, අන්‍යයන්ගේ කම්කටොලු, දුක් අසන්නට ලැබෙන අතර, විදෙස් ගමන් හෝ දුර ගමන් යෙදෙයි. ව්‍යාපාරවලින් ලාභ හිමි වෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්නට අවස්ථා උදාවේ. අපල අවම වීමට කුඩා දරුවන් රැක බලා ගැනීමට උදවු කරන්න. ඔවුනට දැනුම ලබා දෙන්න. පොතපත පරිත්‍යාග කරන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණ - කොළ, කහ, සුබ දවස් - සිකුරාදා, බදාදා, සෙනසුරාදා

කටක - ව්‍යාපාර කටයුතුවලට සුබයි

සඳු ගමන් ගන්නේ 4, 5, 6 සහ 7 වැන්න හරහාය. ගෙදරදොර පිරිසුදු කිරීම් සහ අලංකාර කිරීම්වලට වැඩි වෙහෙසක් දරයි. ස්ත්‍රී පක්ෂයේ උදවු හිමි වෙයි. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකිය. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. කොඳුඇට පෙළෙහි වේදනා, උදර රෝග, සෙම් රෝග බල පවත්වයි. සතියේ අපල අවම කර ගැනීමට දරුවකු බිහි කළ මවකට ආහාර වේලක් දෙන්න. උදවු උපකාර කරන්න.

සුබ අංක 2, 7, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. ධෛර්යවත්ව තම කටයුතු කර ගැනීමට උනන්දු වේ. මවුපියන්ගෙන් උපකාර ලැබෙන අතර ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. දරුවන්ගේ යහපතට කරුණු සිදු වේ. සතුරු කරදර සහ අසනීප ද ඇති විය හැකිය. සතියේ අපල අවම කර ගැනීමට පෙනීම දුර්වල අයකුට උපකාර කරන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කරන්න.

සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

කන්‍යා - අතමිට සරු සතියක්

සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න හරහාය. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන මෙන්ම වෙනත් අයගේ උපකාර ද හිමිවේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දරුවන්ගේ දක්ෂතා ගැන ආඩම්බර විය හැකි කරුණු යෙදෙයි. අසනීප ගති මෙන්ම සුළු අනතුරු ද සිදු විය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. අපල අවම වීමට ආර්ථික අපහසුතා ඇති කුඩා දරුවන් සිටින පවුලකට හැකි පමණින් උපකාර කරන්න.

සුබ අංක 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

තුලා - ප්‍රීතිමත් කාලයක්

සඳු ගමන් කරන්නේ ලග්න භාවය 2, 3 සහ සිවු වැන්න මතිනි. ප්‍රසිද්ධිය ගරුත්වය හිමි වෙන අවස්ථා යෙදෙයි. ධන ලාභ සුළු වශයෙන් හෝ ලැබිය හැකිය. සහෝදර සහ මවුපියන්ගේ උපකාර ලැබෙන, ගෘහ ජීවිතය සතුටින් ගෙන යා හැකි ප්‍රීතිමත් සතියකි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබදායක වේ. සතියේ අපල අවම වීමට වර්ණ කීපයකින් යුත් මල් චෛත්‍යයක් අබියස පූජා කර දෙවියන්ට පින් දී දස දිසා පිරිත කියන්න.

සුබ අංක 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා

වෘශ්චික - සහජ දක්ෂතා මතු කරයි

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 සහ 3 වැන්න මතිනි. ආරම්භය එතරම් සුබදායී නොවේ. ගැටලු සහගත තත්ත්වයන් මතුවේ. ඉන්පසුව රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන පිළිගැනීම ගෞරවය දරුවන්ගේ දියුණුව ද ඇති කරයි. සහෝදර උපකාර හිමිවෙන අතර, සහජ දක්ෂතා මතු කරයි. ඔබගේ අපල අවම කර ගැනීමට ශල්‍යකර්මයකට භාජනය වූ අයකුට උපස්ථාන කරන්න. එසේ නොමැති නම් කුසගින්නේ සිටින කෙනකුට ආහාර ලබා දෙන්න.

සුබ අංක 2, 4, 5, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු - ආර්ථිකය ශක්තිමත් වේ

සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය සහ දෙවැනි භාවය හරහාය. ආරම්භය සතුටුදායකය. දූ දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි සහ ලැබීම් පෙන්වයි. සතියේ දෙවැනි, තුන්වැනි දිනවලදී ගැටලු සහගත ස්වභාවයන් ඇති කරයි. එසේ වුවද ඉන් පසුව නැවත සුබපල ගෙන දෙයි. කීර්තිය ප්‍රශංසා, ධන ලාභ ගෙන දෙයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. පාදවල වේදනා, සෙම් රෝග හා උදර රෝග මතුවිය හැකිය. අපල අවම කර ගැනීමට බෝධියට කහමල් පූජා කර දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක 5, 6, 8, සුබ වර්ණ - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා

මකර - යහපත් ආර්ථික තත්ත්වයක්

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. කර්ම බලය ඉස්මතු වී ඔබට රැකියා ව්‍යාපාර ආදියෙන් ඉපයීම් කර ගැනීමට ශක්තිය ලබා දෙයි. ආර්ථිකය සුබ අතට හැරේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවිය හැකි අතර පාදවල වේදනා, සෙම් රෝග ඇති කරයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. සතියේ අපල අවම වීමට සමන්පිච්ච මල්, නිල් කටරොළු මුනිඳුට පූජා කර සියලු දෙවියන්ට පින් දී කරණිය මෙත්ත සූත්‍රය කියන්න.

සුබ අංක 6, 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - දරුවන්ගේ කටයුතුවලට සුබයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. විදෙස් ගමන් ඉල්ලුම් කර ඇති අයට සුබ ප්‍රතිඵල ලැබෙනු ඇත. සමාජ සේවා, පුණ්‍ය කටයුතුවල නියැළෙන අතර ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වා ගෙන යයි. දරුවන් පිළිබඳ සතුටුදායක පුවත් අසන්නට ලැබෙයි. ආර්ථික අපහසුතා මග හැරෙයි. හදිසි සුළු අනතුරු, සෙම් රෝග බල පැවැත්විය හැකි බැවින් සතියේ අපල අවම කර ගැනීමට වයසක දුර්වල අයට හා තිරිසන් සතුනට ආහාරපාන දෙන්න. උපකාර කරන්න.

සුබ අංක 8, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

මීන - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේදී දුක් සහ කනගාටුදායක පුවත් අසන්නට ලැබුණද ඉන්පසුව පුණ්‍ය කටයුතුවලට සහභාගී වෙමින් සමාජ සේවා වැඩවලට උදවු වෙමින් දෛනික කටයුතු කර ගැනීමට උනන්දු වෙයි. ලැබීම් සහිත බවක් ඇත. දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ. ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැක්කේ වචනය පාලනය කර ගැනීමෙනි. අන්‍යයන් සමඟ වචන හුවමාරුවේදී පවා ප්‍රවේශම් විය යුතුය. ආර්ථික අපහසුතා මඟ හැරේ. අපල අවම කර ගැනීමට පිළිකා, වකුගඩු හෝ අක්ෂි රෝගියකුට උපකාර කරන්න.

සුබ අංක 3, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

Comments