
සම්මාන ඉතිහාසයේ තමන් ට ලැබුණු සම්මානයක් ප්‍රතික්ෂේප කළ අවස්ථා ඇත්තේ අල්පයකි. ඒ අල්ප අවස්ථා අතර ද එවැනි ප්‍රතික්ෂේප කිරීම් තදින් ම හිතට කාවැදුණු අවස්ථා ඇත්තේ කිහිපයකි. 1992 වසරේදී වූ එවන් සිද්ධියක් ගැන මතකයේ ඇත්තේ එය එකල්හි එතරම් ම කතාබහට ලක් වූ නිසා ය. පරාභව නවකතාව වෙනුවෙන් වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ප්‍රතික්ෂේප කළ ලේඛකයකු ගැන එකල සමාජයේ බෙහෙවින් කතාබහට ලක් විණි. ලේඛකයා එච්. ඒ. සෙනෙවිරත්න ය. ඔහුගේ නම කුඩා සන්දියේ සිට ම මතක හිටියේ රැඩිකල් ලේඛකයකු වශයෙනි. අනතුරුව ඔහුගේ ජීවන විලාසාව ඇතුළත ද හේ එය තවදුරටත් එය ප්‍රතිෂ්ඨාපනය කළා විනා තැබූ ලකුණ වෙනස් කළේ නැත.
ඔහුගේ කෘතියක් මුල්වරට රාජ්‍ය සම්මානයෙන් සම්මානිත වන්නේ 1974 දී ය. ඒ එක්තරා ප්‍රේම කතාවක් කෙටිකතා සංග්‍රහය වෙනුවෙනි. එච්. ඒ. පළමුවරට චිත්‍රපට තිර නාටක කලාවට සම්බන්ධ වෙන්නේ එහි ඇතුළත් පරණ සොල්දාදුවා නම් කෙටිකතාව ඇසුරු කරගනිමින් තිර පිටපතක් ලියමිනි. එහෙත් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හේ කියා සිටියේ තමා ලියූ තිර පිටපත චිත්‍රපටයේ නැති බවත්, ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථාවට හා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජට දැනුම් දුන් බවත් ය. එනිසා ඒ චිත්‍රපටයේ තේමාව මිස තිරපිටපත තමාගේ නොවන බව ඔහු පවසයි. චිත්‍රපටයේ තේමාව වෙනුවෙන් ඔහුට 1982 දී ඕසීඅයිසී සම්මානය ද හිමි වෙයි. එහිදී තිර පිටපත් සම්බන්ධ ව සම්මාන තුනක් ලැබී තිබිණි. තිරපිටපත වෙනුවෙන් සම්මාන ලැබුණේ ධර්මසේන පතිරාජට සහ ඩබ්ලිව්. ජයසිරි යන දෙදෙනාට ය.
නිර්මාණ භාවිතය හා ජීවන විලාසාව දෙස බැලූ විට එච් ඒ එක්තරා අන්දමක අමුතු මිනිසෙකි. සියලු නිර්මාණකරුවෝ එක්තරා අන්දමකට අමුතු වෙති. එය නිර්මාණකරණයෙන් ජනිත වූවකි. ඔවුහු බොහෝ විට සිට ගන්නේ පීඩිත ජනතාව පැත්තේ ය. ඒ සිය හදවතේ ගැහෙන රාවය අනුවය. එසේත් නැතිනම් හෘදය සාක්ෂියේ ආමන්ත්‍රණයට කන් දෙමිනි. එච් ඒ ද එවැනි ලේඛකයෙකි. ඔහු විශ්වාසය තැබුවේ සහ පෙනී සිටියේ කම්කරු පන්තිය වෙනුවෙනි. හේ අදීන ලේඛකයෙකි. එහෙත් අදීනත්වයේ බරට සමාජයෙන් ලැබෙන පිළිගැනීම ගැන ඇත්තේ විචිකිච්ඡාවකි.
එච් ඒ උපදින්නේ කොළඹ තිඹිරිගස්යායේ ය. ඒ 1940 පෙබරවාරි 13 වැනිදා ය. හෙට එනම් සඳුදාට එච් ඒ. ට අවුරුදු 83කි. හේ දැන් ගත කරන්නේ ජීවිතයේ පරිණතම අවදිය ය. සිය ආදරණීය බිරියගේ සහායෙන් සිය ජීවිතයේ වෘද්ධ අවදිය ගෙවන ඔහුගේ මතකය ටිකෙන් ටික අවසඟව යමින් පවතී. එහෙත් ඔහු ලියූ දෑ තවමත් ජීවමාන ය. ඒවායේ ජීවත් වෙන චරිත තවමත් සමාජයේ ජීවමාන ය. ඒවා කතා කරන සුලු ය. අනෙක් අයගේ ජීවිතවල සාම්‍යය උරා ගන්නා සුලු ය.
පේරාදෙණිය සරසවියේ ඔහු උගන්නා කාලේ එනම් 1959 වර්ෂයේ පේරාදෙණි සාහිත්‍යය ගුරුකුලය දීප්තිමත් ව පැවැති වකවානුවකි. එහෙත් ඔහු කිසිම ගුරුකුලයකට අනුගත වූයේ නැත. ඔහුට දැනුණේ නාට්‍ය හා සාහිත්‍ය කලාව පිළිබඳ ඔවුන් දරන මතවාද නිවැරදි නොවන බවකි. සමකාලීන යථාර්ථයෙන් ඈත් වීම නිර්මාණකරණයේදී නොකළ යුත්තක් බැව් ඔහුගේ අදහස විය. යථාර්ථයෙන් පලා ගිය සාහිත්‍යයක් පොදු ජනයාගේ සාහිත්‍යයක් සේ ගත නොහැකි බව ඔහුගේ අදහසයි.
සරසවියේ ගත කරද්දීත් කෙටිකතා ආදිය ලියමින් සිටි එච්. ඒ. ට ඒවා පළ කිරීමට තරම් සුදුසු මට්ටමකට පවතිනවා යැයි සිතුණේ නැත. ඔහුම පුවත්පතකට පවසා තිබුණේ ඒවා එතරම් ජීවන පරිඥානයකින් යුතු ඒවා නොවුණු බවකි.
විශ්වවිද්‍යාලයෙන් නික්ම යෑමෙන් ඉනික්බිති හේ සිය පළමු රැකියාව සේ තෝරා ගන්නේ ගුරු වෘත්තියයි. දේවහුව මකුළුගස්වැව මහා විද්‍යාලයේ පළමු උපාධි ගුරුවරයා ලෙස පත්වීමක් ලබන ඔහුට ඒ ප්‍රදේශය තවත් සරසවියක් විය. ඔහු පත්වීම ලබන කාලය වන විට ඒ පළාත වනගත බිමෙකි. අල්ප පිරිසක් පදිංචිව සිටියහ. ග්‍රාමීය ජනතාව සේම පාසල් දරුවෝ ද ඔහුට අත්දැකීම් පරාසයක් එකතු කළේ ය. ජීවන පරිඥානයත්, අත්දැකීම් හා මුහුකුරා ගිය ජීවන විලාසයත් විසින් ඔහුට එක් කළ පරිකල්පනීය දායාදය අතු ඉති ලා වැඩෙන ගසක් සේ දිනෙන් සශ්‍රික වූයේ නිර්මාණ කෙතට අස්වැන්න වපුරමිනි. එහෙත් තමා විශ්වවිද්‍යාලයේ උගත් දෑ ප්‍රායෝගිකව දරුවන්ට උගන්වන්නට දේවහුව මකුළුගස්වැව මහා විද්‍යාලයේදී ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ පිළිබඳ දන්වා අධ්‍යාපන අමාත්‍යාංශයට ලියූ මුත් ඔහුට සාධනීය පිළිතුරක් ලැබෙන්නේ ද නැත. ගුරු වෘත්තියෙන් සමු ගන්නට ඔහු තීරණය කරන්නේ ඒ නිසා ය. එතැනින් නික්මෙන ඔහු තෝරා ගන්නේ නිර්මාණකරුවන් රැසක් රටට දායාද කළ ගුවන් විදුලි මහගෙදර ය. ඒ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස 1960 වර්ෂයේදී ය. කෙටි කලකදී සහකාර සංස්කාරකවරයකු ලෙස ස්ථිර සේවයට එක්වෙන ඔහු වසර 10 ස්ථිර කාලය සම්පූර්ණ කළ පසු සේවයෙන් ඉවත් වෙන්නේ ය. ඒ අතරතුර නීති විභාගයට ද පෙනී සිටින එච්. ඒ ගුවන් විදුලි සේවයෙන් ඉවත් වීමෙන් පසු 1973 වසරේදී අධිනීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ ය.
වාම දේශපාලන ව්‍යාපාරයේ කැපී පෙනෙන පුද්ගලයකු වූ ඔහු පූර්ණ කාලීන වෘත්තීය සමිති නායකයකු බවට පත්වෙන්නේ ගුවන් විදුලියෙන් සමු ගැනීමත් සමඟය.
එච්. ඒ. ගේ මුල් ම මුද්‍රිත කෘතිය නිකුත් වෙන්නේ 1966 දී ය. ඒ නිද්‍රා ගීතය නමින් වූ කෙටිකතා සංග්‍රහයකි. ඒ වන විට හේ සේවය කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ය. ඔහුට ඇසුරට ලැබුණේ නිර්මාණ ලොව එළි කරන්නට උපස්ථම්භක වූ සද් පිරිසකි. සත්ජන ඇසුර තරම් පුද්ගලයකුට තවත් සරසවියක් නැත. එකල්හි ගුවන්විදුලිය එවන් පිරුණු මිනිසුන්ගෙන් පිරුණු තැනකි. එච්. ඒ. ට මේ නිර්මාණ ලොව දැවැන්තයන්ගේ ඇසුර ලැබෙන්නේ ගුවන්විදුලියේදී ය. මහගමසේකර, මඬවල එස්. රත්නායක, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර ආදීන් නිතර ඇසුරු කිරීමේ භාග්‍ය ලද ඔහු එයින් ලද පන්නරයත් සමඟ නිද්‍රා ගීතය මුද්‍රණයෙන් නිකුත් කරන්නේ ය.
එච් ඒ සාහිත්‍යයෙන් දේශපාලනය ඉවත් වීම අනුමත කෙරූවකු නොවේ. දේශපාලන යථාර්ථය යනු සමස්ත සමාජයේ ම පිළිබිඹුවක් බැව් සත්‍යයකි. ඔහු පෙනී සිටියේ එවැන්නක් වෙනුවෙනි. බොහෝ ලේඛකයන් මෙන් ඔහු සිය නිර්මාණ දේශපාලන සටන් පාඨවලින් පුරවන්නට සිතුවේ නැත. සාහිත්‍යකරුවාගේ පෙනී සිටීම කවරාකාර විය යුතු ද යන්න ගැන ඔහු නිරන්තරයෙන් සවිඥානික විය. දේශපාලනික මතවාද කෙරෙහි වඩාත් නැඹුරුවක් දැක්වුව ද හේ සිය නිර්මාණ ඇතුළට ඒවා ගෙඩි පිටින් පුරවන්නට උත්සාහ නොකළේ ඒ නිසා ය. යථාර්ථවාදී ප්‍රවේශය ඔහුගේ ඥානනය පුළුල් කළේ සාහිත්‍යකරණයේ හා සාහිත්‍යකරුවාගේ වන වගකීම මොනවට සඵට කරමිනි.
එච් ඒගේ කෘති අතර බොහෝ පාඨක විචාරක අවධානය දිනාගත් කෘතියක් වූයේ 1970 දී නිකුත් වූ පවන් සලන ලෙස කුසගිනි නිවේවා කෘතියයි. 71 කැරැල්ලට ඉතා ආසන්න කාල වකවානුවක බිහි වුණු මේ කෘතියෙන් කියැවෙන්නේ පීඩිත පන්තියේ තරුණ පරම්පරාවේ ඛේදවාචකයයි. පුපුරා යන්නට ඔන්න මෙන්න තිබූ ගැටලුවක ලේඛක මැදිහත් වීමට ලැබුණු ප්‍රතිචාර අතිමහත් ය. තරුණ පරම්පරාවේ නොමඳ ආකර්ෂණයට ලක් වූ එච් ඒ ට හිර ගෙදරදී පවා හමු වුණේ මේ පොත කියැවූවන් ය. එච්. ඒ ඇතුළු විචාරක පරම්පරාව එසේ කිවුවත් ඛේදවාචකයේ තරම පෙනුණේ ඊට ටික කාලයකට පසුව ප්‍රකාශකයා කළ ප්‍රකාශයක් නිසා ය. ඒ ප්‍රකාශය දිවයින ඉරිදා සංග්‍රහයේ 1994 නොවැම්බර් 20 වැනිදා පළ කර තිබුණේ මෙසේය.
‘ පොත විකුණගන්න බැරි වුණා. බැරිම තැන කවර ගලවල පොත් ටික බෝතල් පත්තර කාරයට විකිණුවා. අවශ්‍ය නම් පොත් කවර ටික අරන් යන්න පුළුවන්‘ එහෙත් එච් ඒ පවසන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි.
ඒ පොතට කර්තෘට ලැබෙන ගෙවීම විදියට මට රුපියලක්වත් ලැබුණෙ නෑ. අදටත් මට මුදල් නොලැබුණාට දුකකුත් නෑ. ඒ පොත මිනිස්සු අතර තැන්පත් වීම තරම් සතුටක් මට නෑ කියා ය.
මේ සටහන් උපුටා දක්වන්නට සිතුවේ ලේඛක වගකීම හා අභිලාෂය සම්බන්ධ කාරණාවලදී හේ කෙතරම් අදීන ලේඛකයෙක් වූවා ද යන්න ඔබට පවසන්නට ය. මේ කරුණු මෙසේ පෙළ ගස්වන විට පොදු පාඨක ප්‍රජාවට පැනෙන පොදු ප්‍රශ්නයක් තිබේ. ඒ ලේඛකයා අදීන වීම ඔහුට ජිවත් වීමේදී ආර්ථිකමය ප්‍රශ්නයක් ඇති වීමට බලපෑම් නොකරන්නේ ද යන්නය. ලේඛකයා ද සාමාන්‍ය මිනිසෙකි. අන් සියල්ලන්ටම සේම ජීවත් වීමේ සියලු ගැටලු ඔහු අභිමුඛ ව ද තිබේ. එහෙත් හෘදය සාක්ෂ්‍යයට අනුගත ලේඛකයා ජීවන දහමේ එන ගැටලු, ගැටලු සේ ගන්නේ නැත. බොහෝ නිර්මාණකරුවන් සේ ජීවන ගැටලුවලට මුහුණ දෙමින් දුක් වින්ද එච් ඒ කවදාවත් ඒ නිසා තම අදීනත්වය පාවා දෙන්නට සිතුවේ නැත. එකී ලේඛන පෞරුෂය සහිත ලේඛකයන් ඇත්තේ අතේ ඇඟිලිවලටත් වඩා අඩුවෙන් බැව් සටහන් කරන්නට මැළි නොවෙමි. ඒ දුක් දෝමනස්ස ඔහු පෙරළා සමාජයේ සවිඥානිකත්වය වෙනුවෙන් ම යොදවමින් සිය ලේඛන පෞරුෂත්වය අදටත් රකින්නේ එකී අදීනත්වය නිසාය. පරාභවය ලියා පළ කරගන්නට නොහැකිව අවුරුදු 12ක් බලා සිටි එච් ඒ එසේ දුක් විඳ පළ කළ කෘතියට රාජ්‍ය සම්මාන ලැබෙද්දී එය ප්‍රතික්ෂේප කළේ ය. පිටුවහල් කරද්දීත්, තාඩන පීඩන කරද්දීත් රුසියන් ලේඛකයන් සිය සමාජ වගකීම ඉටු කරන්නට මැළි නොවූ බව ඔබ දනී. එච් ඒ ගේ පරම්පරාව පෝෂිත වෙන්නේ ද එකී සාහිත්‍ය අරමුණු සිය ජීවන දහමටත්, තම ලෙයටත් කාවැදුණු අය ලෙසිනි. ඉඳින් එච් ඒ සිය ජීවන විලාසාවෙන් ම එකී සාහිත්යික අරමුණකට යෑමට ඉදිරිපත් වීම අහම්බයක් නොවේ.
එච් ඒ ගේ ලිවිසැරිය නවකතා, කෙටිකතා, කවි, ශාස්ත්‍රීය හා පර්යේෂණ යන ධාරාවන්ගෙන් පෝෂිත වී ළමා කතා හා දේශපාලන ධාරාව ඔස්සේ ද පුළුල් වී තිබේ. දශක හයක පමණ මේ සියලු නිර්මාණ අස්වැන්න කෘති වශයෙන් ගත් කල 50කට අධික ය. සිංහල පාඨකයන් අතර බෙහෙවින් ගැඹුරු ලෙස මතකයේ රැඳුණු නවකතා හා කෙටිකතා මෙන්ම දේශපාලන කෘති ද ඒ අතර වේ. පවන් සැලෙන ලෙස කුසගිනි නිවේවා, මෙහෙම නොවීයන් කිසිදාක, අවසානය මෙය නොවේ, පරාභවය වැනි නවකතා ද, එක්තරා ප්‍රේම කතාවක්, පුතෙක් උපන්නා, සොහොන් පල්ලාගේ දියණිය, දිවි නසා ගැනීම වැනි කෙටිකතා ද පාඨක ප්‍රජාවට අමතක වෙන්නට ඉඩක් නැත. විවෘත ආර්ථික ප්‍රතිපත්ති රටට හඳුන්වා දෙද්දීම වාගේ 1977 දී නිකුත් වූ සමාජවාදය සිහිනයක්ද කෘතියත් 1980 දී නිකුත් වූ අවස්ථාවාදයෙන් ඔබ්බට දේශපාලන විග්‍රහයත් දේශපාලනික සවිඥානිකත්වයෙන් යුතු පාඨකයන්ට අමතක නොවන කෘති වෙති. ලෝ කවියන් පෙමට බැඳි ගී පරිවර්තන කාව්‍ය කෘතියත් සම්මානනීය බටහිර කෙටිකතා පරිවර්තනයත් පරිවර්තන අස්වැන්නේ ප්‍රමුඛ කෘති වෙති. පුංචි රැජින ළමා සාහිත්‍යය කෘතිය ඔහුගේ නිර්මාණකරණයේ පෘථූල බවට වන සාක්ෂියයි.
එච් ඒ හෙට එනම් පෙබරවාරි 13 වැනි සඳුදා අරඹන්නේ සිය ජීවිතයේ අසූහතරවැනි කඩඉම ය. හේ සිටින්නේ සිය නිර්මාණ අස්වැන්නේ ඵල දෙස බොහෝ පරිණත ව බලන්නට හැකි වෘද්ධ අවදියේ ය. එදා රටක් කතා කරන ලේඛකයකු වූ ඔහු අද තම ජීවිතයේ යම් අසරණ කඩඉමකට පැමිණ සිටින්නේ ය.
හේ සිය සැදෑ සමයේ විවේකීව ගත කරන්නට අවශ්‍ය වටපිටාව සම්පාදනය කරගන්නට අවැසි පසුබිම සිය අතීත ලේඛන දිවියෙන් ඉතිරි කරගෙන ඇති බවක් නොපෙනේ. තමා එදා අදීන ව රැකගෙන ආ ලේඛන පෞරුෂය විසින් ඉතිරි කළ යමක් වේ ද එය පමණක් අද ඔහුට හිමි ය. බොහෝ ලැබීම් සේම නොලැබීම් ද ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල සේ පැමිණි වග සත්‍යයකි. එහෙත් ඒ කිසිවකින් නොසැලෙන පෞරුෂයකින් ඔහු හෙබි ය. ඇතැම් ලේඛකයන් මෙන් ඔහු ද්වීරූපි ජීවිතයක් ගත කෙරූවකු නොවීය. සිය දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටි ඔහු ලේඛනයේ දී ද වෙනස් මඟක් ගත්තේ නැත. ලේඛනයත් දිවිසැරියත් එකක් වූ ලේඛකයකු වූ එච් ඒ සිය සැදෑ සමය ගත කරමින් සිටියදී සිය නිර්මාණ බෙදා ගත් පාඨකයන් සමඟ කතා කරන්නට අදහස් හුවමාරු කරගන්නට කැමැති ඇතිවාට සැක නැත. එනිසා තම පාඨක මනස පුළුල් කළ ඒ ජ්‍යෙෂ්ඨ ලේඛකයාට කතා කරන්නට ඔබට අවැසි නම් 077-7948951 අංකයෙන් ඔහුව සම්බන්ධ කරගත හැකිය.