ජවිපෙ කැරලිකරුවන් විජය ඝාතනය කළ හැටි | Page 2 | සිළුමිණ

ජවිපෙ කැරලිකරුවන් විජය ඝාතනය කළ හැටි

විජය නම් ඔහු

විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවු දෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියකු වූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඩ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම් ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේ ද ඔහුය.

ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක් (1975), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කළ ඔහු කැසට් පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මඟින් නැක්සලයිට් චෝදනාව ගොනු කර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මහජන පක්ෂයෙන් ඉවත් වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28 වැනිදා පැවති පක්ෂයේ සිවුවන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමි විය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනය වූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ට ද විජය සහභාගී වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පළ කර සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසඳා ගැනීමට හැකි වනු ඇතැයි සිය සතුට පළ කර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත් කළ අතර මහජන පක්ෂය සහ විජය ද දේශදෝහීන් ලෙස නම් කෙරිණි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වළල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවෙසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමු විය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කළ හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කළ අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල සිදු වූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලි ද බරපතළ ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මඟින් වගකීම බාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේ ද සඳහන් විය.

‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූව ද දෝහීන් නොවූ කිසිවකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’.

 

 

මෙය තරුණයකුගේ කතාවකි. තරුණයකුගේ පමණක් නොව ජවිපෙ 2 වැනි කැරැල්ලේ ක්‍රියාධරයකුගේ ද කතාවකි. එයටත් වඩා නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව ජවිපෙ 2 වැනි කැරැල්ලේදී එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලිකරුවකුගේ සත්‍ය කතාවකි.

මෙම කතාවේ කථානායකයා ලයනල් රණසිංහය. ඔහු 1961 මැයි 12 කුරුවිට දෙල්ගමුව වගාව ඉඩමේ ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක් විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි. පසුව 1986දී ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදා කරලීමේ ජවිපෙ උපාය මාර්ගික ගමන් මඟ අනුව එය ක්‍රියාවට නඟමින් ශ්‍රීලමප නායක සහ ජනප්‍රිය නළු විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා, එජාප





ජවිපෙ 2 වැනි කැරැලි සමයේදී ශ්‍රීපාද අඩවියේ 1987 මාර්තු පැවැති අවි පුහුණු කඳවුරකදී ලයනල් ඇතුළු පිරිස පුහුණුවීම්වල නිරතව සිටි අවස්ථාවන්.

මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු සහ කොළඹ එජාප නාගරික මන්ත්‍රි ජයන්ත මල්ලිමාරච්චි ඇතුළු 41ක් ඝාතනය කළ අයෙකි.

ලයනල් රණසිංහ සිටි නිවෙස්වලට ද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායක වූ පොලිස් නිලධාරින් ද සොයා ගිය කතුවරයා ලයනල් රණසිංහ විසින් ඝාතනය කරන ලද 41න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අය ද හමු විය.

ලයනල්ගේ පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් තේගිරිස්ය. මව කුරුවිට දෙල්ගමුවේදී 1942 මාර්තු 8 උපන් වැලිකලගේ සිසිලින්ය. එම දෙපළගේ විවාහය සිදු වූයේ 1960දීය. වැඩිමල් පුතු ලයනල් රණසිංහය. බාලයා 1963 අප්‍රේල් 13 උපන් සුනිල්ය. කුරුවිට හික්ගස්වත්ත කනිෂ්ඨ විදුහලෙන් 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ලයනල් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ කුරුවිට මහා විද්‍යාලයෙනි. විෂයන් 7කට සම්මාන එකක් සහිතව ඔහු සමත් විය. උසස් පෙළට ප්‍රවේශ වූයේ ද කුරුවිට මහා විද්‍යාලයේ වාණිජ අංශයෙනි.

පියා තේගිරිස් මවගෙන් වෙන්වී වෙනත් විවාහයකට ඇතුළු වූයේ එම වකවානුවේදීය. මව සිසිලින්ද හොරණ මූණගම පදිංචියට ගිය අතර හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ යළි විවාහ දිවියකට ඇතුළත් විය. එම විවාහයෙන් ද ඇයට දියණියන් තිදෙනෙකි. කුරුවිට විද්‍යාලයෙන් ඉවත්වූ ලයනල් හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයට ඇතුළු වී යළි උසස් පෙළ අධ්‍යාපනය හදාරනු ලැබීය. විද්‍යාරත්න විද්‍යා පීඨයේ සිසුවකුව සිටියදී එම පාසැලේ උසස් පෙළ සිසු ජයසිරි හරහා ජනතා විමුක්ති පෙරමුණට (ජවිපෙ) ලයනල් සම්බන්ධ විය. පසුව 1981 ජුනි 04 සංවර්ධන සභා ඡන්දයේදී ජවිපෙ කටයුතුවලට පූර්ණ කාලීනව එක්විය. පාසැල් අධ්‍යාපන කටයුතු ද අතරමඟ නැවතිණි.

ජවිපෙ දේශපාලනයට ලයනල් යොමුවීම පිළිබඳව මවගේ මනාපයක් නොතිබිණි. මව විසින් ලයනල්ව 1982 ආරම්භයේදී හේන් ගොවිතැන් කිරීම සඳහා කැකිරාවේ යාය 6 පදිංචි නැන්දා වන මල්ලිකාගේ නිවසේ නතර කරනු ලැබීය. යළි 1983 ජූලි මස හොරණ නිවසට පැමිණි ලයනල් හොරණ පොළේ සතියකට දෙවරක් එළවළු වෙළඳාම් කළේය. පසුව 1986 ජනවාරි කොළඹ සරසවිය අසල ඊගල් ආරක්ෂක සේවයේ නියාමකයකු ලෙස තෙමසක් සේවය කළේය. ඉන් ඉවත්ව 1986 අප්‍රේල් සිට හොරණ පදික වේදිකාවේ රටකජු සහ සාරවිට වෙළඳාමේ නිරත විය.

හොරණ සීලරතන පාරේ පදිංචි බටගොඩ ගමගේ ජයවර්ධන හෙවත් ඩගී හෙවත් ඩග්ලස්ගේ ඉල්ලීමට අනුව 1986 අවසාන භාගයේ ජවිපෙට යළි පූර්ණකාලීනව එක් විය. වසර 1971 අප්‍රේල් කැරැල්ලට ද සම්බන්ධව සිටි ජයවර්ධන ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකුව සිටියදී 1989 අවසාන භාගයේදි රත්නපුරයේදී ඝාතනයට ලක් විය.

ජවිපෙ 2 වැනි කැරලි සමයේදී ලයනල් 1986 දෙසැම්බර් නෙළුව යට්ටපාතයෙන් ඇතුළුව සිංහරාජ රක්ෂිතයේ දින 5ක අවි පුහුණුවක් ද, 1987 මාර්තු කුරුවිට එරත්න පාරෙන් ඇතුල්ව සීත ගඟුල හරහා ගොස් ශ්‍රීපාද අඩවියේදී දින 7ක අවි පුහුණුවක්ද, 1988 මාර්තු 7 එම ස්ථානයේදීම දින 7ක අවි පුහුණුවක් ද ලබා ගත්තේය.

ඒ අතරතුර ජවිපෙ කටයුතුවලට අරමුදල් තර කර ගැනීම සඳහා ප්‍රධාන පෙළේ මංකොල්ලකෑම් 12කට ද ලයනල් එක් විය. හොරණ සෙරන්ඩිබ් රට බීම හළේ මුදල් 1987 අප්‍රේල් 12 වැනිදා කොල්ලකෑමට සූදානම්ව සිටියදී ආයුධ සහිතව ජයවර්ධන ඇතුළු 5 දෙනකු සමඟ ලයනල් හොරණ පොලිස් අත්අඩංගුවට පත්විය. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත 1987 ජුනි 02 ගෙන යන විට බොල්ගොඩ පාලම අසලදී ජවිපෙ පිරිසක් විසින් ලයනල් ඇතුළු සැකකරුවන් බේරාගෙන පලා ගියහ.

පක්ෂයේ අරමුදල් තර කර ගැනීම සඳහා පසු කාලයේ ලයනල් සහභාගී වූ ප්‍රධාන මංකොල්ලකෑම් අතර, 1989 ජනවාරි 16 මොරටුව කටුබැද්ද ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 82ක් පැහැර ගැනීම සහ කටුබැද්ද මහජන බැංකුවට කඩා වැදී ලක්ෂ 60ක මුදල් සහ රන්භාණ්ඩ කොල්ල කෑම ද 1989 පෙබරවාරි 28 වැනිදා වැල්ලවත්ත මහජන බැංකුවෙන් ලක්ෂ 222ක් මුදල් සහ රන් භාණ්ඩ පැහැර ගැනීම ද වේ. එම සැලසුම්වල නායකයා පතී වූ අතර, සෙසු අය වූයේ කැමී, ප්‍රියංකර සහ විකී ඇතුළු පිරිසකි.

ආයුධ පැහැර ගැනීම් ගණනාවකටම ලයනල් එක්වූ අතර, 1987 ජුනි 07 වැනිදා රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨයේ හමුදා කඳවුර සහ 1987 සැප්තැම්බර් 07 වාද්දුව හමුදා කඳවුරෙන් කළ ප්‍රහාරයන් සාර්ථක වූයේ නැත. එහෙත් කටුනායක ගුවන් හමුදා කඳවුරට 1988 අප්‍රේල් 22දා ද පාදුක්ක පොලිසියෙන් 1988 ඔක්තෝබර් 28 සහ බම්බලපිටිය පොලිසියෙන් 1989 ජනවාරි 28 කළ අවි විශාල ප්‍රමාණයක් පැහැර ගැනීම සාර්ථක ප්‍රයත්න වූ අතර ලයනල්ද එයට එක්වී තිබිණි. විජය කුමාරතුංග ඇතුළු ලයනල් විසින් ඝාතනය කරන ලද 41දෙනාගෙන් ඇතැ­‍ෙමකු සහ ඔවුන්ගේ රැකවළුන් සතුව තිබූ ගිනි අවි ද පැහැරගෙන රැගෙන ඒමට එම ඝාතන සිදු කිරීමෙන් පසු ලයනල් සමත් විය. එසේ පැහැර ගන්නා ලද ගිනි අවි සංඛ්‍යාව 32කි. එයට ටී 56 තුනක් ද, ඌසි රයිෆලයක්, 84 එක්ස් රයිෆල් 2ක්,රිපීටර් 04, රිවෝල්වර 03, පතොරොම් තුවක්කු 19ක් අයත් විය. එයට අමතරව බොරැල්ල මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13 වැනිදා ජවිපෙ කැරලිකරුවන් කණ්ඩායමක සාමාජිකයන් වූ ලයනල් ඇතුළු කණ්ඩායම් තුනකට අයත් පිරිසක් විසින් බන්ධනාගාරය බිඳ එහි සිටි 221ක්ද මුදා ගන්නා ලදී.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක සහ ජනප්‍රිය නළු විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 ඝාතනය කරන ලද්දේ ලයනල් විසිනි. ඒ පිළිබඳ කැරලිකරුවන් විසින් සැලසුම් කරන ලද්දේ 1988 ජනවාරි තෙවැනි සතියේදී පිළියන්දල සෙන් මිචෙල් හෝටලයේදීය. එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ ජවිපෙ 2 වැනි කැරැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායක ජයන්තය. එම සාකච්ඡාවට ජයන්ත, අශෝක, හේරත් සහ ලයනල් සහභාගි විය. විජය කුමාරතුංග ඉන්දියන් සාම ගිවිසුමට පක්ෂව වැඩ කරන අතර, නව පෙරමුණක් පිහිටු වන බැවින් දේශද්‍රෝහියකු යැයි එහිදී හඳුන්වා දුන් ජයන්ත ඔහු ‘ඉවත් කළ යුතු බවට’ තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මෙහිදී ජයන්ත කියා සිටියේ විජයට අවසන් නියෝග පවා නිකුත් කළ ද ඔහු ඒවා අහන්නේ නැතිව වැඩ කරන බවය.

ඒ වන විට විජය කුමාරතුංගගේ නායකත්වයෙන් සමසමාජ, කොමියුනිස්ට් සහ මහජන පක්ෂ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ 1988 පෙබරවාරි 11 ස්ථාපිත කළ අතර, එහි මංගල සමුළුව 1988 පෙබරවාරි 21 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබිණී.

විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර, ඉන් සිවුදෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක් වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8 වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කළ ඔහු පසුව ලංගම රියදුරකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ කලක් කටයුතු කළ අතර, පසුව රැකියාව අතහැර පූර්ණ කාලීනව ජවිපෙට එක් විය.

සිය පවුලේ සාමාජිකයන්ගේ විරෝධය මැද ටාසන් වීරසිංහ අවාහ වූයේ පද්මිණී සමඟය. පද්මිණී කියා සිටියේ 1989 දෙසැම්බර් 23 වැනිදා තමා සමඟ ටාසන් අඟුලාන දුම්රිය පො‍ෙළන් බැස ගමට පැමිණි බවත් ගෙදර යෑමට නොහැකි බව පවසා නතර වූ බවත්ය. ටාසන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ 1990 දෙසැම්බර් 25 මොරටුව අඟුලානේ පිහිටි ඔහුගේ හිතවතකු වූ නිමල් ගුණසිංහගේ නිවසට ගියෝය. එහි ඔහු නොසිටි අතර, පසුව අඟුලාන නිවස ආසන්නයේදී එහි පැමිණි ටාසන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වන විට ටාසන් ඉදිරිපත් කරන තුරු 1990 දෙසැම්බර් 23 වැනිදා පස්වරු 2ට අත්අඩංගුවට ගත් නිමල් ගුණසිංහගේ පුතා වන 15 හැවිරිදි සරත් කුමාර අත්අඩංගුවේ රඳවාගෙන තිබිණි. සරත් කුමාරගේ මව රම්‍යලතා ප්‍රකාශ කළේ ද සිය නිවස ඉදිරියේදී ටාසන්ව පොලිස් අත්අඩංගුවට ගත් බවය.

පසුව රහස් පොලිසියේ 4 වන තට්ටුවේ රඳවාගෙන අනතුරුව වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ විවෘත නොකළ නේවාසිකාගාරයේ පිහිටුවා තිබූ ජවිපෙ රැඳවියන් රඳවා ගත් වධකාගාරයට ගෙන යන ලදී. වසර 1990 ජනවාරි මස වෙන්නප්පුව තෝප්පුව පාලම අසලදී ඝාතනයට ලක්වූ ටාසන් වීරසිංහගේ සිරුර තෝප්පුව පාරේ රේල් පාරෙන් ගඟ මැදට දමන ලදී.)

ලයනල්ගේ මල්ලී වන 1963 අප්‍රේල් 13 වැනිදා උපන් සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන් ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවෙසට ගෙන ගිය අතර, ඔහුට වෙනස්කම්කරන බවට චෝදනා කළ මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවෙසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමට ද ලයනල් යොමු කර තිබූ අතර, පාසැල් ද යවා තිබුණේ නැත.

ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහ වී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කළ අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක් ද ඔහුට 1979දී හිමි විය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයයන් 7 ක් සම්මාන සමාර්ථ්‍ය හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑම කන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ළඟට පැමිණීම සුලබ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

වමේ සිට, ජවිපෙ නිර්මාතෘ සහ 2 වැනි කැරැල්ලේ නායක රෝහණ විජේවීර, ජවිපෙ 2 වැනි කැරැල්ලේ සන්නද්ධ නායක සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු, විජය කුමාරතුංග ඝාතන සැලසුමේ මෙහෙයුමේ නායක, එවකට කොළඹ දිස්ත්‍රික් ජවිපෙ නායක සහ පසු කලෙක දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න හෙවත් ජයන්ත හෙවත් අරවින්ද හෙවත් සිරිදාස, ජවිපෙ සන්නද්ධ කඳවුරු සම්බන්ධීකාරක මහරගම නාවින්නේ සුනිල් පතිරණ හෙවත් ‍ෙරාඩ්නි, විජය ඝාතනයට යතුරු පැදිය පදවාගෙන ආ කළුතර පයාගල ටාසන් වීරසිංහ හෙවත් හේරත් හෙවත් තිස්ස, ලයනල් සමඟ සමීපව කටයුතු කළ පසු කලෙක කොළඹ දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ ලේකම් යුස්ටස් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පති සහ කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය සඳහා ලයනල්ට මඟ පෙන්වූ රුහුණු සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවෙකු වන නිමල් බාලසූරිය බළකායේ 1988 දෙසැම්බර් සිට නායකයා වූ හම්බන්තොට දෙබරවැව උපන් ඥාණසිරි පල්ලියගුරු හෙවත් බෙනට් මෙහි වේ.

මේ වන විට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනකු බිහි කළ අතර, ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වීමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවෙසට කැඳවා ගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබා දෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසල කඩල විකිණීමට ගියේ ජීවන බරට තල්ලුවක් දෙමිනි. ඉඳහිට කුලී වැඩට ද ගියේය. කේටරින් වැඩවල නිරත වූ මව ද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමට ද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශීලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයා වූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවකු වූ අතර 1982දී උපාධිධාරියකු වශයෙන් පිට විය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟ කර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.

ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල් වූ අය අතර, තවත් ප්‍රමුඛයන් දෙදෙනකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි.

වසර 1981 අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේ ද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන් වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම්වලින් නැඟිටිනවා සිකුරුයි.... ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා...’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවෙසට ගෙනවිත් පවුලේ අයට ද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියටපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූව ද ඔහු ගොවියකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස පසුව සේවය කළේය.

යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළු ද සෙසු දිනයන්හිදී රට කජු ද විකුණූ ලයනල් ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන ඔස්සේය. යුද හමුදා ස්වෙච්ඡා බළකායට බැඳීම සඳහා ලයනල්, වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරා ගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක් ද 1987 මැයි 6 වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කළ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසු විය.

විජය කුමාරතුංග ඝාතනය වූ 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් කෑම සඳහා පිටතට යෑමට ඔහු සූදානම්ව සිටියේය. විජයට ඒ ආරාධනාව ලැබී තිබුණේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු වන එඩ්වඩ් මාර්කස් ගෙනි. එම දහවල් ආහාරය සඳහා ආරාධනා පත්‍රයක් ද විජයගේ නිවෙසට ඔහු එවා තිබිණි. විජය ඇමෙරිකානු තානාපති නිලධාරි එඩ්වඩ් මාර්කස්ගේ ආරාධනය අනුව එදින යන බව බිරිය චන්ද්‍රිකා ද දැන සිටියාය. ලයනල් රණසිංහ අතින් විජය ඝාතනයට ලක් වූයේ එම දිවා ආහාරය සඳහා නිවෙසින් පිටවීමට සූදානම්ව සිටියදීය.

ලයනල් රණසිංහ අතින් ඝාතනය වූ 41දෙනා අතර සිටි තවත් අයෙක් වූයේ කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරය. ඒ 1989 මාර්තු 08 වැනිදා උදෑසන 10.10ටය. පෙරදින සවස 5ට එම සැලසුම ලයනල්ට රාජගිරියේදී ප්‍රකාශ කළේ සමරේය. සමරේ යනු 2 වැනි කැරැල්ලේදී කොළඹ දිස්ත්‍රික් කලාප නායකයකු වූ බමුණුආරච්චිගේ සුමනදාස පෙරේරා හෙවත් යට්ටපාත සුමනසිරි හෙවත් කඳුරුපොකුණය. හොරණදී 1947 ජනවාරි 07 උපන් ඔහු 71 කැරැල්ලට සම්බන්ධ වූ අයෙකි. (1989 සැප්තැම්බර් 21 බැද්දගානේ නිවසකදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව පසුව ඝාතනය විය). කොළඹ උපකුලපති ඝාතන සැලසුමේ නායකයා වූ බෙනට් ද එහිදී සමරේ විසින් ලයනල්ට හඳුන්වා දෙන ලදී. බෙනට් යනු රුහුණු සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවකු වූ හම්බන්තොට දෙබරවැව උපන් ඥාණසිරි පල්ලියගුරුය.

ජවිපෙ 2 වැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ සන්නද්ධ බළකාය වූ 1988 ජූලි 20 ආරම්භ කළ නිමල් බාලසූරිය බළකායේ 1988 දෙසැම්බර් සිට නායකයා වූයේ ඥාණසිරි හෙවත් බෙනට්ය (වසර 1989 අගභාගයේදී ගාල්ල ඉඳුරුවේදී ආරක්ෂක අංශ මඟින් බෙනට් අත්අඩංගුවට ගත් අතර, තෙලිජ්ජවල ජෝන් ඩෙල්ෆ් වත්තේ හමුදා කඳවුරේ රඳවා ගනු ලැබීය. පසුව ඥාණසිරි පල්ලියගුරු හෙවත් බෙනට්, තිහගොඩ එස්. කේ. ජයතිලක හෙවත් විජිත සහ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල ඇතුළු ජවිපෙ දකුණු පළාතේ ඉදිරිපෙළ නායකයන් සිවුදෙනකු ආරක්ෂක අංශ මඟින් ඝාතනයට ලක්කර බෙලිඅත්ත ගලගම පාළු ලිඳකට 1990 පෙබරවාරි 24 ඔවුන්ගේ සිරුරු දමා තිබිණි).

පසුදින එනම් 1989 මාර්තු 08 වැනිදා උදෑසන 8ට නුගේගොඩ දෙල්කඳට ලයනල් පැමිණි අතර, එහිදී බෙනට් හමු විය. එහිදී බෙනට් විසින් ලයනල්ට කියා සිටියේ කොළඹ උප කුලපති මහාචාර්ය විජේසුන්දර ‘අයින් කළ යුතු බවය’. එයට හේතුව කුමක් දැයි ලයනල් ප්‍රශ්න කළේය. එවිට බෙනට් කියා සිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට ඔහු මූලිකව කටයුතු කළ බව ද අධ්‍යාපන ධවල පත්‍රිකාවට පක්ෂව වැඩ කළ බවද ස්වාධීන ශිෂ්‍ය සංගමයට උදව් කරන බවත්ය. කොළඹ සරසවි උප කුලපතිවරයා පෙන්වීමට බෙනට් විසින් හඳුන්වා දුන් අයකු සමඟ කොළඹ සරසවියේ කොලේජ් හවුස් වෙත ගිය ලයනල් විසින් කාර්යාලයේ සිටි උප කුලපතිවරයාට පිස්තෝලයෙන් හිසට වෙඩි තබා තරප්පුවෙන් බැස පිටතට පැමිණ යතුරු පැදියකින් පලා ගියේය.

මේ අයුරින්ම ලයනල් රණසිංහ විසින් සෙසු 39 දෙනා ද විවිධ අවස්ථාවලදී ඝාතනයට ලක්කරන ලදී. ඔවුහු අතර අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12 බත්තරමුල්ලේදී ද, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 පාමංකඩදී ද, නාරාහේන්පිට පොලිිස් කඩාකප්පල්කාරි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිලක් රාජපක්ෂ 1989 සැප්තැම්බර් 22 මහරගම අඹගහපුරයේදී ද, බස්නාහිර එජාප පළාත් සභා මන්ත්‍රී සුනිල් ගුණතිලක 1988 දෙසැම්බර් 09 හොරණ හඳපාන්ගොඩදී ද, කොළඹ එජාප නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 මට්ටක්කුලියේ ද, ඉන්දීය භාණ්ඩ ආනයනය කරන කෝටිපති ව්‍යාපාරිකයන් වූ ශන්මුගන් සහ සුබ්‍රමානියම් 1989 පෙබරවාරි 06 වැනිදා පිටකොටුවේදී ද, බස්නාහිර පළාත් සභා එජාප අපේක්ෂක විතානගමගේ ධර්මසේනගේ දියණිය, පියා සහ එජාප ආධාරකරුවන් 6ක් 1988 මැයි 28 හෝමාගම පිටිපනදී ද ඝාතනයට ලක් වූ අය අතර විය. එමෙන්ම ඝාතනයට ලක් වූ සෙසු අය වූයේ හමුදා භටයන්, පොලිස් නිලධාරින්, ලංගම බස් නිලධාරින් සහ රියදුරන්, ග්‍රාමෝදය සභාපතිවරුන්, ව්‍යාපාරිකයන්, ජාතික සේවක සංගමයේ නිලධාරීන්ය.

ලයනල් රණසිංහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 1989 මාර්තු 14 වැනිදා උදෑසන 9.20ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ගමන් කරමින් සිටියදීය. ඒ කොළඹ ගෙග්‍රරි පාරේ පිහිටි පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයේ කොස්තාපල්වරුන් වන ඩබ්ලිව්. එස්. බී. බැසිල් සහ ජේ. බී. එස්. ඩයස් විසිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දිගු කලිසමක් සහ කමිසයකින් සැරසී සිටි ලයනල් සතුව ගිනි අවි නොතිබූ අතර, කුඩා පිහියක් පමණක් ඉනේ සඟවාගෙන තිබී සොයා ගන්නා ලදී. හොරණගේ පියසිරි ප්‍රනාන්දු සහ පතිරණගේ රුවන් ධර්මසිරි මැයින් හැඳුනුම්පත් දෙකක්ද ඔහු සතු විය. පසුව ලයනල් රැඳවුම් නියෝගයක් ලබා ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී. පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ 5 වන මහලේදී ලයනල් රණසිංහ දින 13ක් මුළුල්ලේ කට උත්තරයක් ලබා දුන් අතර, එය පිටු 179කට ගොනු කර තිබිණි.

ලයනල් අත්අඩංගුවට ගත් බව ඔහුගේ හොරණ නිවෙසට පැමිණි අයෙක් මවට දන්වන ලද්දේ 1989 ජුනි 22 වැනිදාය. රහස් පොලිසියට 1989 ජුනි 28 පැමිණි මව එහි අධ්‍යක්ෂකව සිටි චන්ද්‍රා ජයවර්ධන හමුවීමෙන් පසු ලයනල් සමඟ කතා බස් කිරීමට අවස්ථාව උදා විය. පසුව ලයනල්ගේ මවට අගෝස්තු 25, සැප්තැම්බර් 16 සහ 27 ලයනල් මුණ ගැසී කතා කිරීමට අවස්ථාව ලැබුණ ද ඉන්පසු දැක ගන්නට නොලැබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චන්ද්‍රා ජයවර්ධන විසින් 1989 සැප්තැම්බර් 28 රාත්‍රී 8.45ට හෝමාගම පොලිස් ස්ථානාධිපති විජේවික්‍රම වෙත ලයනල් භාරදෙන ලදී. එදින රාත්‍රී 10.00ට හෝමාගම පොලිසියට රැගෙන ආ ලයනල් එහි රථවාහන අංශයේ දින 6ක් රඳවාගෙන ප්‍රශ්න කළේය. පසුව 1989 ඔක්තෝබර් 03 පස්වරු 7ට ලෑන්ඩ් කෲසර් 32 ශ්‍රී දරන ජිප් රථයෙන් පිටතට ගෙන යන ලදී. රථය පදවන ලද්දේ පොලිස් රියදුරු නිමල්සිරිය. ලයනල්ව පිටතට ගෙන ගිය නිමල් වාකිෂ්ඨගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමට සැරයන්වරුන් වූ සිරිවර්ධන හා තිලකරත්න ද කොස්තාපල්වරුන් වූ රණසිංහ වීරසිංහ, රම්සාන් සහ බණ්ඩාරද අයත් විය.

පසුව පාදුක්ක වනගත පෙදෙසකදී පසුදා අලුයම 1ට පමණ ලයනල් රණසිංහ ඝාතනයට ලක් විණි. හෝමාගම පොලිස් ස්නාධිපතිව සිටි පොලිස් පරීක්ෂක තෝමස් ජෙරාඩ් නිමල් විජේවික්‍රම පවසන පරිදි ලයනල් එසේ රැගෙන ගියේ පොලිස් පරික්ෂක චන්ද්‍රා නිමල් වාකිෂ්ඨය. හෝමාගම පොලිස් වසමට අයත් ස්ථානයකට ලයනල් සමඟ ගිය බවද අලුයම 1ට පමණවග ප්‍රදේශයට යෑමේදී පොලිස් කණ්ඩායමට ගිනි අවි පුහාරයක් එල්ල වූ අතර, එහිදී සිදු වූ පුතිප්‍රහාරයේදී ලයනල් රණසිංහ පොලිස් කණ්ඩායම සමඟ පොර බදා පලා ගිය බවද පොලිස් පරීක්ෂක චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ පසු කලෙක කියා සිටියේය. රහස් පොලිසියේ 4 වැනි තට්ටුවේ මාස 6ක කාලයක් රඳවාගෙන සිටි ලයනල් 1989 ඔක්තෝබර් 3 තමාගේ භාරයේ සිට පැන ගිය බවද ඔහු සෙවීමට වෙනම කණ්ඩායමක් යොදා තිබූ බව ද චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ පසුව කියා සිටියේය.

රහස් පොලිසියේ සිරකරුවන් භාරව සිටි පොලිස් පරික්ෂක යූ. ඒ. පියසේන පසුව ප්‍රකාශ කර සිටියේ 1989 සැප්තැම්බර් 28දා රාත්‍රී පොලිස් පරික්ෂක චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ විසින් 4 වැනි තට්ටුවේ රඳවා සිටි ලයනල් රණසිංහ රැගෙන යනවා තමා සියැසින්ම දුටු බවය. මෙසේ රැගෙන ගිය සැකකරුට පසුව වෙඩි තබා ටයර් මත දමා පුලුස්සන ලද බැව් එම ගමනට සහභාගි වූ එක් නිලධාරියකුගෙන් තමාට දැනගන්නට ලැබුණු බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

විජය කුමාරතුංගගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිය චන්ද්‍රිකා කුමාරතුංග ජීවිතාරක්ෂාව පතා 1988 මැද භාගයේදී රටින් පිට විය. ඇය යළි 1992දී සිය රටට පැමිණ පසුව 1994 අගෝස්තු 16 මහමැතිවරණයෙන් පසු අගමැතිනිය ද අනතුරුව 1994 නොවැම්බර් 9 ජනාධිපතිවරණයෙන් ජනාධිපතිනිය ලෙස ද පත් වූවාය. පසුව සිය සැමියා වූ විජය කුමාරතුංගගේ ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් 1995 පෙබරවාරි 16 පත් කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මනාදන් රාමනාදන්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සරත් නන්ද සිල්වා සහ කොළඹ මහාධිකරණයේ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමය. එයට රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ ඇතුළු පිරිසක් සහාය වූහ. එම ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් ලයනල්ගේ මව වන වැලිකලගේ සිසිලින් කියා සිටියේ ‘මිනී කන යකෙක් වුණත් මට මගේ පුතා වටිනා බවය.’

ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 17 ආරම්භ කරන ලද අතර, 1995 දෙසැම්බර් 15 දක්වා මාස 08ක කාලයක් තුළ දින 46ක් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ කාමර අංක 301ඒ හිදී සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයන් 72ක් සාක්ෂි දුන් අතර, එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය. ජනාධිපති කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව 1996 පෙබරවාරි 29 භාර දෙන ලදී.

අනතුරුව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ චන්ද්‍රසේන ජයවර්ධන හෙවත් චන්ද්‍රා ජයවර්ධන යන දෙදෙනාට එරෙහිව නඩු කටයුත්තක් ද ක්‍රියාත්මක විය. පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු 2002 ඔක්තෝබර් 23 ඔවුන් දෙදෙනා නිදහස් කළේය. ඒ වන විට යළි එජාප රජයක් බලයට පත්වී තිබිණි.

ලයනල්ගේ සුළු පියා වූ ලියනෝරිස් ප්‍රනාන්දු ද 1985දී මිය ගොස් තිබිණි. අනූව දශකයේදී පළාත් පාලන ඡන්දයන්හි ජවිපෙ නියෝජනය කරමින් හොරණින් අපේක්ෂිකාවක් ලෙස දෙවරක් තරග වැදුණ ලයනල් රණසිංහගේ මව සිසිලින් ද 2006දී සිය ජීවිතයෙන් සමු ගත්තාය. ඝාතනයට ලක්වන විට ලයනල් රණසිංහ අවිවාහකයෙකි. වසර 2ක කාලයක් අත්අඩංගුවේ පසුවී ජීවත් වීමට වාසනාව ලැබූ සොහොයුරා සුනිල් රණසිංහ වර්තමානයේ ත්‍රිරෝද වෘත්තියේ නිරත වන අතර, කේටරීන් සේවයක් ද කරගෙන යනු ලබයි. එකම සොහොයුරා සුනිල් මෙන්ම නැගණියන් තිදෙනා ද විවාහකය. ඔවුනට සිටින දූ දරුවන් සංඛ්‍යාව 07කි. එම දූ දරුවන් 7දෙනාගෙන් එක් අයකු ද 2019 වන විට විවාහකය.

මෙය ජවිපෙ 2 වැනි කැරැල්ලේදී එයට එක්වූ ලයනල් රණසිංහගේ පමණක් නොව ඉදිරි පෙළ සිටි ලයනල්ලාගේ ද කතාව විය හැකිය.

 

 

 

 

 

 

 

 

 

 

Comments