අඩු මාස බියෙන් අත් හරින පෙබරවාරි මාසයත් සුබ පල දෙන හැටි | සිළුමිණ

අඩු මාස බියෙන් අත් හරින පෙබරවාරි මාසයත් සුබ පල දෙන හැටි

පෙබරවාරි 22 සහ 23 නිවාස, ව්‍යාපාර, විවාහ ආදී බොහෝ කටයුතු සඳහා යොදාගත හැකි සුබ දින 2ක්

ජ්‍යෝතිෂයට කිසි ලෙසකින් අදාළ නොවන, ඇතැම් ‘ගොඩ වෙදුන්’ සමාජගත කර ඇති බොරු මත නිසා ඇතැම්හු ඉතා සුබ මුහුර්ත පවා අත්හැර ගනිති. පෙබරවාරි මාසය නැකැත් අඩු මාසයක් යනුවෙන් ඇති සංකල්පය ද  එවැන්නකි

lප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, ආචාර්ය ජී.එස්.එම්. කැලුම් ගුණතිලක

ජ්‍යෝතිෂය පිළිබඳව විශ්වාස කරන නොකරන සෑම කෙනෙක්ම නැකැත් බැලීම කරන සිදු කරන මූලික අවස්ථාවක් වන්නේ නිවෙස් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමයි. ජ්‍යෝතිෂයට අනුව ගෘහාරම්භයට නැකැත් සෑදීම පහසු කාර්යක් නොවන්නේ ඊට අයත් නිර්ණායක රැසක්ම පවතින නිසාය. එහෙත් ජ්‍යෝතිෂයට කිසි ලෙසකින් අදාළ නොවන, ඇතැම් 'ගොඩ වෙදුන්' සමාජගත කර ඇති බොරු මත නිසා ඇතැම් පුද්ගලයන් ඉතා සුබ මුහුර්ත පවා අත්හැර ගන්නා බව නිරීක්ෂණය වී ඇත. ඇතැම් අය වැඩ කල් දමා ගැනීම ද මේ නිසා සිදු වෙයි.

පෙබරවාරි මාසය නැකැත් අඩු මාසයක් යනුවෙන් ඇති සංකල්පය ද එවැන්නකි.

එබැවින් ජ්‍යෝතිෂයට අනුව පෙබරවාරි මාසය අඩු මාසයක්ද යන්න විමසා බලමු. ජ්‍යෝතිෂයේදී අපි මූලිකවම භාවිත කරන්නේ පූර්ණ මාස ක්‍රමයයි. එනම්, රවි මේෂ රාශියේ මීනය දක්වා සිදු වන සංක්‍රාන්තියයි. සාමාන්‍යයෙන් රවි හෙවත් සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට ප්‍රවිෂ්ට වීමට ආසන්න වශයෙන් දින 30කුත් පැය 10කට ආසන්න කාලයක් ගත වනු ඇත.

දෙවැනි ක්‍රමය චන්ද්‍ර මාස ක්‍රමයයි. එය ගණිනු ලබන්නේ දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක් ආදී ලෙසයි. මෙය සැබවින්ම ගැණෙන්නේ බොහෝ අය සිතන ලෙස පෝයකින් පෝයකට නොවේ. අමාවක දිනක සිට ඊළඟ අමාවක දිනය දක්වාය. එනම්, දුරුතු මාස අමාවක පොහොය සිට නවම් පුර පක්ෂය ආරම්භ වන අතර, නවම් මස පුර පසළොස්වක පෝය සිට නවම් අව පස ආරම්භ වේ. ඒ අනුව අමාවක සිට අමාවකට ද ආසන්න දින 28ත් 30ත් අතර කාලයක් පවතී.

ජ්‍යෝතිෂයට අනුව සුබ කටයුතු අත්හරින මාස හතරක් වේ. ඒ, කෝණ මාස හතරයි. රවි බුධට අයත් රාශි දෙක තුළ හා ගුරුට අයත් රාශි දෙක තුළ ගමන් කරන කාල මෙසේ කෝණ ලෙස හැඳින් වේ. සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වන ඉලිප්සාකාර පථයේ ඈතම හා ළඟම ස්ථාන දෙක මෙසේ හැඳින්විය හැකිය. පෙබරවාරි මාසය තුළ රවි ගමන් කරන්නේ ශනිට අයිති මකර, කුම්භ රාශි දෙකේය. එනම්, කෝණ නොවේ. එසේ නම් පැහැදිලිව සුබ වැඩ සඳහා පෙබරවාරි මාසය යොදා ගත හැකිය.

පෞෂඵාල් ගුනවෛශ්‍යාඛමාඝ ශ්‍රාවණකාර්‍තතිකාඃ

මාඝාඃ ස්‍යුර්‍ගෘහනිර්‍මාණෙ ප්‍රත්‍රාරොග්‍යශුභප්‍රදාඃ

ගෘහ නිර්මාණයෙහි දුරුතු, මැදින්, වෙසක්, නවම්, නිකිනි සහ ඉල් යන මාසයේ දරුවන් හා නීරෝගි බව ද සැපය ද දෙන්නාහු වෙත්.

මෙනයින් මැදින් මස දරුවන් හා නීරෝගි බව ලබා දෙන බව පෙනී යයි. චන්ද්‍ර මාස මැදින් කොටසට යෙදෙන්නේ පෙබරවාරිය තුළයි.

කාර්මුකෙච මහා හානිර්‍මකරෙ ස්‍යාද්ධනාගමඃ

කුමේභෙ තු රත්නලාභඃ ස්‍යාන්මිනෙ සද්ම භයාවනම්ඃ

හිරු ධනු රාශියෙහි සිටි කළ මහත්වූ හානිය ද මකරයෙහි ධනාගමය ද (ධන ලාභ) කුම්භයෙහි රත්න ලාභය ද මීනයෙහි ගෘහ භය ද වන්නාහ.

මෙහිදී ද අප පෙර කී රවි ගුරුට අයත් ධනු, මීන දෙකෙහි හානි ද, ශනිට අයත් මකර කුම්භ දෙකෙහි ධන ලාභ, රත්න ලාභ උරුම වන බව ද පැහැදිලිව පෙනේ.

පෙබරවාරි මාසය පුරා රවි සිටින්නේම ශනිට අයත් මකර, කුම්භ රාශි දෙකේ පමණි. ඒ අනුව ද පෙබරවාරි සුබ මාසයක් බව බුද්ධියක් ඇති ජනයාට පෙනී යනු ඇත.

උදාහරණයක් ලෙස මෙම පෙබරවාරි මස 22 වැනි බදාදා පෙන්වා දිය හැකිය. එදින රවි සිටින්නේ කුම්භයේය. එනම්, රත්න ලාභ උරුමයි. සඳු හිමි මාසය මැදින් පුර පක්ෂය වේ. එයින් දරුවන් හා නීරෝගි බව ලැබේ. සෙසු කොටස නම් පංචාංග ශුද්ධියයි. දිනය බදාදා වේ. නැකත උත්‍රපුටුප වේ. තිථිය පුර තියවකයි. යෝගය සාධ්‍ය වේ. කරණය කෞලව හා තෛතිල යි. ජ්‍යෝතිෂය ගැන අල්ප දැනුමක් සහිත අය පවා මේ පහ සුබ බව දනී. එනම් පංචාංග ශුද්ධිය ද ඉහත කී චන්ද්‍ර මාස, රවි මාස ශුද්ධිය ද ඇත. තවද මෙම දින සඳු, ගුරු, සිකුරු යන තිදෙනාම මීන රාශියේ සිටී. ගුරුට මීනය ස්වක්ෂේත්‍ර වන අතර, සිකුරුට උච්ච වේ. 1, 4, 7, 10 යන නැකතට ච, ගු, ශු තැබෙන ලෙස නැකැත් සැකසුවොත් එනම්, උදා ලග්න මිථුන, කන්‍යා, ධනු, මීන ලෙස නැකැත් ගතහොත් ගුරු හංස, මාලවී, ගජකේෂරී යන යෝග ත්‍රිත්වයම එකවර උදා වේ.

තවද කුම්භ ලග්නය උදා ලග්නය ලෙස ගතහොත් 2, 11 අධිපති හා 4, 9 යන අධිපතීන් දෙවැන්නේ යෝග වී මහා ධන යෝගයක් නිර්මාණය වේ. ශනි ලග්නයේ නිසා සස යෝගයක් උදාවේ. ඊට පසු දින එනම්, 23 වැනි ගුරු දින සවස 2.31 තෙක් ද එසේම අමෘත ගුණ සහිත නැකැත් දිනයකි. එනම්, නිවාස, ව්‍යාපාර, විවාහ ආදී බොහෝ කටයුතු සඳහා 2023 පෙබරවාරි 22 හා 23 යන දින දෙකම යොදා ගත හැකි බව ඉතා පැහැදිලිය. එබැවින් කිව යුත්තේ පෙබරවාරි මස අඩු මාසයක් යැයි සිතා විපුල ගුණ ඇති නැකැත් අත්හැර ගැනීම පෙර කරුමයක් බවය.

Comments