මට ලැබුණේ සම්මානයක් නොවෙයි විශේෂ වරප්‍රසාදයක් | සිළුමිණ

මට ලැබුණේ සම්මානයක් නොවෙයි විශේෂ වරප්‍රසාදයක්

මම තමයි එතැන හිටිය එකම ගායකයා

තරගය ජයගත්තට ලැබුණේ දවස් 21ක ඉන්දියානු සංචාරයක්

රාගධාරී සංගීතයට උපන් හපන්කම් කියන ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිකර ගත් රියැලිටි තරුවක් ගැනයි අද අප ඔබට හඳුන්වා දෙන්නේ. පවුල් පසුබිම ද ඔහුගේ මේ ගමන් මඟට රතු පළසක් වූ බව නම් පැහැදිලිය. කලා පවුලකින් පැවත එන ඔහු තනුර මධුගීත්ය. ඔහුගේ කරළියට පිවිසීම සිදුවන්නේ 2021 දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළේ හිමිකරුවා වීමත් සමඟිනි.

 

මොකක්ද තනුර මේ ඔබේ ජාත්‍යන්තර ජයග්‍රහණය?

මේක සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සලය මඟින් ප්‍රථම වරට සංවිධානය කළ තරගාවලියක්. ඒක නම් කරලා තිබුණේ ‘ප්‍රතිභා සංගම්‘ කියලා. ගායන, වාදන, නර්තන යන අංශ තුනෙන්ම තරග වදින්න අවස්ථාව තිබුණා. ගායනයෙන් හින්දුස්ථානි, කර්ණාඨක අංශ, නර්තනයෙන් භරත නාට්‍යම්, කථක්, ඔඩිසි අංශ වගේම වාදනයෙන් තබ්ලා, බටනළා, නාදස්වරම් යන අංශවලින් තරග වදින්න තිබුණේ. ගායන අංශයේ හින්දුස්ථානි සහ කර්ණාඨක කියන අංශ දෙකෙන් හින්දුස්ථානි කියන අංශයේ පළමු ස්ථානය මට ලැබුණා.

 

තරගාවලිය සඳහා සහභාගි වීමට ඔබ ඉන්දියාවට ගියා ද?

නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් විශේෂාංගය විදිහට පැවැත්වුණේ. අපේ ස්ටුඩියෝ එකක, විනාඩි දහයක වීඩියෝ එකක් විදිහට කරලා එයාලගෙ වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරන්න තිබුණේ. තරගකරුවන් අවුරුදු 35ට අඩු වෙන්න ඕන. ජයග්‍රාහකයන්ට ඉන්දියානු සංචාරයකට සහභාගි විමේ අවස්ථාව ලැබෙනවා. ගිය අවුරුද්දේ මැද හරියේ තමයි මේ තරගාවලිය තිබුණේ. නොවැම්බර් තමයි ජයග්‍රහණය ගැන නිල වශයෙන් මට දැනුම් දුන්නේ.

එහිදී මට ලැබුණේ සම්මානයක්ම නොවෙයි. විශේෂ වරප්‍රසාදයක්. ඒ දවස් 21ක ඉන්දියානු සංචාරයක්. එහි විශේෂත්වය තමයි ඒ සංචාරයේ දී අපිට එයාල නියම කරන විශේෂාංග ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙනවා.

 

ඔබ සහභාගි වුණු ඉන්දියානු සංචාරය ගැන සඳහන් කළොත්?

දෙසැම්බර් 26 වැනිදා ගිහින් ජනවාරි 15 වැනිදා තමයි නැවත ආවේ. දින 21ක සංචාරයක් ඒක. තරගාවලියේ ජයග්‍රාහකයන් 14 දෙනෙක් සඳහා සංවිධානය කරලා තිබුණත් 8 දෙනෙක් විතරයි සහභාගි වෙලා තිබුණේ. මැලේෂියා, මොරිසස්, ජපානය වගේම ඉන්දියානුවෝ 3 දෙනෙක් සහභාගි වුණා. සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සලයෙන් තමයි සියලු වගකීම් දැරුවේ. සංදර්ශන 10ක් සංවිධානය කරලා තිබුණා. දිල්ලි, චෙන්නායි, ඉන්ඩෝර්, පූනෙයි කියන නගරවල. එහි තිබෙන සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සලයේ ශාඛාවලින් තමයි ඒවා සංවිධානය කරලා තිබුණේ. එයාලා නියම කරන ෆපෝමන්ස් හැම ස්ටයිල් එකක්ම වගේ හයිලයිට් වෙන විදිහට නර්තනයත් එක්ක ඉදිරිපත් කරන්න ඕන. මම තමයි එතන හිටිය එකම ගායකයා. මට සෝලෝ අයිටම්ස් 4 කට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.

 

ඔබ මේ ක්ෂේත්‍රයට එන්නේ රියැලිටි වැඩසටහනකින් නේද?

ඔව්. 2019 දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිවෙන්නේ මට. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට කෙළින්ම සම්බන්ධ වෙන්නේ. නමුත් ඊට කලින් මං දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියේ 3 වැනි ස්ථානය දිනාගත්තා. ඒ 2009 වසරේ.

 

ඔබ ගොඩනැඟෙන්නේ කලා පවුලකින්. ඔබේ පියා ජනප්‍රිය ගායකයෙන් වගේම වාදකයෙක්. ඒ ගැනත් මතක් කරමු ද?

මගේ තාත්තා ජයන්ත දිසානායක. ඔහු දක්ෂ සෙක්සෆෝන් වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවේ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයේත් සංගීත ගුරුවරයෙක්. ඔහුගේ ‘සදාදර නයෝ ඔබේ මංගල දිනේ‘ කියන ගීතය 90 දශකයේ ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්.

 

ඔබේ අලුත් නිර්මාණ ගැන සඳහන් කළොත්?

ලතා වල්පොල මහත්මියත් එක්ක ගීතයක් කළා. ඒකෙ ඕඩියෝ එක දැනට අවසන්. වීඩියෝ එක ප්ලෑන් කරමින් ඉන්නේ. ඉතාම ඉක්මනින් ඒක එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

දැනට මං සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් මල්ලිත් එක්ක එකතු වෙලා අලුත් සංගීත කණ්ඩායමක් හැදුවා. එහි මල්ලියි මමයි තාත්තයි ඇතුළුව සාමාජිකයෝ හත්දෙනෙක් ඉන්නවා. මගේ මල්ලිත් දෙරණ ලිට්ල් ස්ටාර් ජයග්‍රාහකයෙක්. මම බේස් ගිටාර් වාදනයත් එක්ක ගායනය. මල්ලි කීබෝඩ් වාදනයත් එක්ක ගායනය. ඒ වගේම තාත්තා සෙක්සෆෝන් වාදනයත් එක්ක ගායනය. ඉතාම ඉක්මනින් අපේ සංගීත කණ්ඩායමේ එළිදැක්වීම සිදුවේවි. මගෙ උපාධියේ වැඩ කටයුතු අවසන් වූ ගමන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යෑමේ බලාපොරොත්තුවත් තියෙනවා.

 

 

 

Comments