
මම රස්සාවක් කරන්න නම් කැමැත්තක් නැහැ
මා රඟපෑ චරිතය සාර්ථක වීමේ ගෞරවය හිමිවෙන්න ඕන අධ්‍යක්ෂවරයාට
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ හෝ ගානා පොකුණ චිත්‍රපටය පුරා දිස්වුණේ කවදාවත් මුහුද දැකලා නැති අහිංසක මල් වැනි පොඩිත්තන්ගේ හැඟීම්ය. ඒ අතරේ කවදාවත්ම මුහුද දැකගන්න බැරි අන්ධ දැරිවියකුත් හිටියා ඔබට මතක ඇති. තමන්ට මුහුද දැනෙන විදිහ ඇය විස්තර කළේ නරඹන්නන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි. ඇයගේ රංගනය එතරම්ම තාත්විකය. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ඒ කුඩා දැරිය අද රටම දන්නා යෞවනියකි. ගීතයට පෙම් බඳින ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමරියකි. අංජලී මෙත්සරා නම් වූ ඇය සමඟයි අද අපේ කතාබහ.
අංජලී මෙත්සරා කොහොම ද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කර තියෙන්නේ. පසුගිය දිනවල නිමාවට පත්වුණු ලිට්ල් ටයිට්න් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ටෙලි නාට්‍ය පසුබිම් ගායනයත් කරගෙන යනවා. ඒ හැරුණු විට චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුණා. ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබේ වැඩි කැමැත්ත තියෙන්නේ ගායිකාවට ද? නිළියට ද? නිවේදිකාවට ද?
මට ඒ තුනම සමබරයි. ඊටත් වඩා මං කැමති චිත්‍ර අඳින්න.
එතකොට අංජලී ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මුලින්ම මං සම්බන්ධ වුණේ දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනට. ඒ 2011 වර්ෂයේ. වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව බවට පත්වුණා. මගේ ගීත කිහිපයක්ම 2018 රාජ්‍ය සංගීත සම්මාන උළෙලට නිර්දේශ වුණා, ප්‍රශස්තතම ළමා ගායිකාව විදිහට. ඊට පස්සේ තමයි 2015 වසරේදී ප්‍රදර්ශනය වුණු ‘හෝ ගානා පොකුණ‘ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. පුවත්පත් දැන්වීමකට අනුව ඔඩිෂන් ගිහින් තමයි ඒකට තේරුණේ. මම එහි අන්ධ දැරියගේ චරිතය නිරූපණය කළේ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම මට හිරු ගෝල්ඩන්, සිග්නීස් වගේම ජනාධිපති සම්මානත් හිමි වුණා.
ඔබේ මුල්ම රංගන අත්දැකීම අන්ධ චරිතයක්. ඒක අභියෝගයක් වුණේ නැද්ද?
ඒ දවස්වල එතරම් තේරුමක් තිබුණෙ නැති නිසා බය කියන එක දැනුණේ නෑ. අධ්‍යක්ෂවරයා කියූ විදිහට උපරිම දේ කළා. මා රඟපෑ චරිතය සාර්ථක වීමේ ගෞරවය හිමිවෙන්න ඕන අධ්‍යක්ෂවරයාට.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10වල අවසන් තුන්දෙනා අතරේ අංජලී හිටියා. බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වුණේ ඔබ ජයග්‍රාහිකාව වෙයි කියලා. ඒත් එය වෙනස් වුණා. කොහොමද ඒ අවස්ථාව දැනුණේ?
අවසන් තුන් දෙනා අතරට ආවම ගොඩක් සතුටු හිතුණා. තුන් දෙනාම එක හා සමානව හිටියේ. අපි එකිනෙකාට කියා ගත්තා ඔයා තමයි දිනන්නේ කියලා. ඒත් අපිට කවුරු දිනයිද කියලා හිතාගන්න බැරි වුණා. මිනිස්සුන්ගේන් ලැබුණු ඒ ආදරය කවදාවත් අමතක කරන්න බෑ.
දුලංග සහ ඔබ බැට්ල් රවුන්ඩ් එකේදි ගැයූ හින්දි සින්දුව වගේම ඔබ දෙදෙනා සහ පැතුම් එක්ව ගායනා කළ ‘සීතල පින්නේ‘ ගීතය යූටියුබ් ගොඩක් ජනප්‍රිය වුණා නේද?
ඔව්. ඒ සින්දු දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ‘සීතල පින්නේ‘ සින්දුව ජනප්‍රිය වෙන්න අපි තුන්දෙනාගේ රංගනයත් හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ දෙකටම මිලියනයකට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තිබුණා.
අංජලී මෙත්සරාට රියැලිටි වැඩසටහනේදි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. කොහොමද එළියෙදි ලැබෙන ප්‍රතිචාර?
ටී.වී එකේ මාව ලොකුවට පෙනුණට ඇත්තටම මං පෙනුමෙන් හරි පුංචියි. ගොඩක් දෙනකුට අඳුනගන්න බැරි වෙනවා. දෙතුන් පාරක් බලලා ටිකක් වෙලා ගිහින් තමයි ආහ් මේ අංජලී නේද කියලා අඳුනගන්නේ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ගොඩක් වටිනවා.
සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ තේමා ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?
ඔව්. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකෙම තවත් සින්දු 4 ක් කළා. ඊට අමතරව ෆැලන් ඇන්ඩ්‍රියා අක්කත් එක්ක රාජිණී ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළා.
ඔබේම සින්දුවක් කරන්න හිතුවේ නැද්ද?
ළමා ගීත නම් 6ක් විතර කරලා තියෙනවා. ඊට අමතරව ඩ්‍රීම් ස්ටාර් අවසන් කිහිප දෙනා යොදාගෙන එෆ්. එම්. දෙරණින් ගීත කිහිපයක් කළා. චන්ද්‍රා සොබා කියන ගීතය මං ගායනා කළා. මම ලියපු සින්දුත් තියෙනවා. ඒ වගේ සින්දුවක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
අනාගතේ මොන පැත්තෙන් ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?
කලා කටයුතුත් එක්ක බිස්නස් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම රස්සාවක් කරන්න නම් කැමැත්තක් නැහැ.