තාත්තා තල්ලු කළෙත් නැහැ එයා නිසා අවස්ථා ලැබුණෙත් නැහැ | සිළුමිණ

තාත්තා තල්ලු කළෙත් නැහැ එයා නිසා අවස්ථා ලැබුණෙත් නැහැ

ලැබෙන ප්‍රතිචාර දකිද්දී අමුතු හැඟීමක් ඇති වෙනවා

 තාත්තා වගේම මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන්නෙ

මගේ දුව කවදා හරි නිළියක් වෙනවා බලන්න ලොකු ආශාවකින් හිටියේ

අපි කලාකරුවෝ කියලා මාන්නෙන් ඉඳලා වැඩක් නැහැ

 

සතියේ දින පහේම තාත්තයි දුවයි එකම නාට්‍යයක දකින්න ලැබුණත්, තාත්තා නළුවෙක් විදිහට ජනප්‍රිය වෙද්දී දුව නිවේදිකාවක් විදිහට ජනප්‍රිය වුණා. ඒත් මේ දෙන්නා තාත්තයි දුවයි කියලා දන්නේ මෑතකදී. ඒ ආනා ඊට්ස් නිසා. ඒ දෙන්නා එකතු වෙලා කරන බර්ගර් ශොප් එක නිසා. ඒ වෙන කවුරුත් නෙමෙයි ප්‍රවීණ රංගන ශිල්පි ආනන්ද අතුකෝරල හා ඔහුගේ ආදරණීය දියණිය ඉෂාරා අතුකෝරල. මේ කතාබහ ආනා ඊට්ස් එක්ක හැමෝම කතා කරන තාත්තයි දුවයි ගැනයි.

 

ඉෂාරා මේ දවස්වල ජනප්‍රිය නිළියක් නිසාවත් නිවේදිකාවක් නිසාවත් නෙමෙයි. වීදි කෑම ව්‍යාපාරයක් නිසයි, ආනා ඊට්ස්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?

අපෙන් සබ්මැරින් ගන්න ආපු කෙනෙක් ෆොටෝස් එකක් පේජ් එකක දාලා. ඊට පස්සේ යූ ටියුබ් නාළිකාවකින් මගෙන් ඒ ගැන ඇහුවා. මම ඉතිං නිකන් කතා කරා. අහපු ප්‍රශ්නවලට දුන්නු උත්තර එක්ක මගෙයි තාත්තගෙයි ෆොටෝ එකක් එක්ක ඒක වෛරල් වෙලා. ඊට පස්සේ ගොඩක් අය ඉතාම අඩුවට විකුණන කෑම ගන්න ආවා. ආනා ඊට්ස් කා අතරත් කතාබහට ලක් වෙලා.

 

ඇයි මේ ස්ට්‍රීට් ෆුඩ් කියන සංකල්පය එක්ක ගැටෙන්න හිතුවේ, ඔබ නිවේදිකාවක් තාත්තා නළුවෙක්?

කොවිඩ්වලට කලින් පටන් ගත්තේ කොවිඩ් නිසා නතර කරා. මගේ අම්මගේ කෑම රසයි. එයා ගෙදරට වෙලා ඉන්න නිසා මම යෝජනා කරා තාත්තා අම්මා කැමති වුණා. ඒ විදිහට තමයි කාලෙකට කලින් පටන් ගන්නේ. අපි කලාකරුවෝ කියලා මාන්නෙන් ඉඳලා වැඩක් නැහැ. තාත්තා වගේම මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන අය. පුළුවන් විදිහට පටන් ගන්න ඕන කොහෙන් හරි එහෙම හිතලා පටන් ගත්තේ. දැන් අපිටම කියලා සේවකයොත් ඉන්නවා. මම ස්වර්ණවාහිනයේ වැඩ කරලා කෙළින්ම එන්නේ බර්ගර් ෂොප් එකට අම්මා එක්ක එකතු වෙලා මමත් වැඩ කරනවා. ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමෙයි. අනිත් එක අපිට නැති ඉමේජ් එකක් අපි ඇයි හදාගන්නේ.

 

ඉෂාරා තාත්තා එක්ක එකම නාට්‍යයේ රඟපානවා. නමුත් ආනන්ද අතුකෝරලගේ දුව කියලා බොහෝදෙනෙක් දැනගෙන හිටියේ නැහැ ..?

ඇත්ත. මුල් කාලේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් දන්නවා මම තමයි ආනන්ද අතුකෝරලගේ දුව කියලා

 

ඔබ ඉපදෙනකොටත් ඔබේ පියා රංගන ශිල්පියෙක්. ඔබ හීන දැක්කද ඔහු වගේ ජනතාව අතරට යන්න ..?

තාත්තා නළුවෙක් නිසා මම නිළියක් වෙන්න ඕන කියලා කවදාවත් හීන දැක්කේ නැහැ. ඒ වුණාට නිවේදිකාවක් වෙන්න නම් ආසාවෙන් හිටියා. තාත්තා මිනිස්සු අතරේ ඉන්නවා. ආදරේ ලබනවා ඒක දැකලා සතුටු වුණා. නමුත් මාත් ජනප්‍රිය වෙන්න ඕන කියලා හිතුණේ නැහැ. ඒත් දැන් ලැබෙන ප්‍රතිචාර දකිද්දී අමුතු හැඟීමක් ඇති වෙනවා.

 

පියාගේ ජනප්‍රියත්වය හා තල්ලුවෙන්ද ඔබ කලාවට එන්නේ..?

නැහැ. ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩසටහනක් කරන්න නිවේදිකාවන් බලනවා කියලා ඒ නාළිකාවේ ජයන්ත අයියා කිව්වා. මමත් ස්ක්‍රින් ටෙස්ට් එකට ගියා. වෙන නාළිකාවන්වලින් ආපු දක්ෂ පළපුරුද්ද තියෙන අයත් ආවා. නමුත් තේරුණේ මාව. ඒ කොෆි ස්ටූඩියෝ විත් මුදිත ඇන්ඩ් ඉෂී කියන වැඩසටහනට. දැන් හද රැඳී පැයත් කරනවා. තාත්තා තල්ලු කරේ නැහැ. එයා නිසා අවස්ථා ලැබුණෙත් නැහැ.

 

කොහොමද පුංචි කාලේ ඔබේ පියා එක්ක ගත කළ කාලය..?

හරි සුන්දරයි. මම පුංචි කාලේ හිටියේ නාත්තන්ඩිය ගමේ. තාත්තා උදේ පාන්දර කොළඹ යන්න හදනකොට යන්න එපා කියලා මම කකුලේ එල්ලිලා අඬලා තියෙනවා. තාත්තා මඟට ගිහිං ආව දවසුත් තිබ්බා මම නිසා. පවුලේ එකම දරුවා නිසා අම්මගෙයි තාත්තගෙයි පණ මම තමයි.

 

හුරතලේට හැදුණු එකම දරුවා ඒ වගේ හැසිරෙනකොට මොකද හිතුණේ ආනන්ද. ඔබේ කතාබහ ඒ සුන්දර මතකවලින්ම පටන්ගමු..?

මොනවා හිතෙන්නද හරිම දුකයි. සමහර දවස්වලට මම නාට්‍ය වැඩ කරලා ගෙදර යන්නේ මහා රෑ හෝ පාන්දර. දුව ඒ වෙලාවට නැඟිටලා මාත් එක්ක සෙල්ලම් කරනවා. අපි හිටියේ නාත්තන්ඩියෙ. මම වැඩ කළේ පුත්තලම කච්චේරියේ. නාට්‍ය වැඩවලට කොළඹ යනවා. හරිම දුෂ්කර ජීවිතයක් ගත කළේ. පුත්තලමේ හිටපු කෙනෙක් වැඩ කළේ කොළඹ කච්චේරියේ. ඔහුට ඕන වුණා පුත්තලම ගෙදර ඉඳලා වැඩ කරන්න. අන්තිමට එයත් එක්ක සුහදමාරුවක් හදාගෙන කොළඹ ඇවිත් පවුලේ හැමෝම කොළඹ ජීවත් වුණා. එතකල් අවුරුදු දහයක් දුකක් වින්දා.

ඉස්සර රියසල් හෝ නාට්‍ය කරද්දී දුවවත් එක්කගෙන යන දවස් තිබ්බා. යන ගමන් නිදා ගන්නවා. ආයේ ඇහැරෙන්නේ හිනා වෙලා. කවදාවත් කරදරයක් නොකරපු දරුවෙක්. මම වාහනයක් ගත්තේ බොහෝ කලකට පස්සේ. එයා කවදාවත් මාව ගිහිං දාන්න ගන්න කියලා නැහැ. බස් එකේ තනියම ගිහිං එයාගේ වැඩ කර ගන්නවා. මම වගේම එයත් මේ ගමන ආවේ පියවරෙන් පියවර.

 

පුංචි කාලේ ඔබ පොඩි පුතා කියලා හැමෝම කතා කරද්දී චුට්ටි කියලා කතා කරන්න කිව්වේ නළු පිස්සු ව නිසාලු නේද ..?

හැත්තෑ ගණන්වල නොබලපු වේදිකා නට්‍යයක් චිත්‍රපටයක් නැහැ. මම හිටියේ හොස්ටල් එකේ. හොරෙන් හරි ගිහිං චිත්‍රපට බැලුවා. මම චන්ඩියා චිත්‍රපටය බලලා ගාමිණී ෆොන්සේකා මහත්මයාට වශී වෙලා හිටියේ. චන්ඩියා එකේ එතුමා රඟපෑවේ චුට්ටිට. මටත් ඒ නිසා එහෙම කතා කරන්න කියලා මම අඬලා තියෙනවා. අන්තිමට චුටි පුතා චුට්ටි වුණා. අන්තිමට ප්‍රාදේශීය මට්ටමින් රඟපෑ මම සරත්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාගේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. මේ වෙද්දී නොකරපු චරිතයක් නැහැ.

 

ඔය නළුකමට කලින් නේද පළමු ප්‍රේමය මුණගැහෙන්නේ ..?

ඔව්. ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් නැහැ. එයාව මට මුණගැහෙද්දි එයාගේ වයස අවුරුදු 14 යි. එයත් නාත්තන්ඩිය පාරේ යද්දී මුලින්ම දැක්කේ. ඊට පස්සේ නිතරම දකිනවා. ඒ දවස්වල එයාගේ දකුණු අතේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. වැටිලා තෙල් බෙහෙත් බඳිනවා. ඒ නිසා අකුරු ලියන්න බැහැ. එයාට හිටියා ඩෙල්ටා කියලා හොඳ යාළුවෙක්. ඩෙල්ටා තමයි මම යවන ලියුම්වලට මෙයා වෙනුවෙන් උත්තර ලිව්වේ. ඊට පස්සේ නෙල්කාව මුණගැහෙන්න එයාගේ ගෙදර ආවා ගියා. ආදරේ කළා. මම එයාට වඩා අවුරුදු 9ක් වැඩිමල්. අපි 1984 අවුරුද්දේ විවාහ වුණා. මුලින් රස්සාවත් හම්බුණා කච්චේරියේ , රඟපාන්නත් ලැබුණා.

 

බිරියට රසට උයන්න පුළුවන් නිසා ව්‍යාපාරයකුත් කොහොම හරි පටන් ගත්තා නේද ..?

එයාගේ කෑම රසවීම විවාහ වීමටත් හේතුවක්. කෑම හරිම රසයි. මම බැන්දේ එයාගේ කෑම රස නිසා. එයාටම විශේෂ වුණු බිරියානි එකක් හදනවා. දුව තමයි ඒ යෝජනාව ගෙනාවේ අන්තිමට අපි දෙන්නාත් කැමති වුණා.

 

“ආනා ඊට්ස්“ ඇයි ඒ නම දැම්මේ..?

ගොඩක් අය මට කතා කරන්නේ ආනන්ද කෙටි කරලා ආනා කියලා. ගණ හොඳයි. ගුරු අක්ෂරය තියෙන්නේ. මම ඔය ගැන දන්න නිසා ඒ නම දැම්මා. දුවත් කිව්වා නියමයි කියලා.

 

දුව ප්‍රසිද්ධ චරිතයක් නමුත් ඇයත් කෑම හදන්න උදව් කරනවා..?

ප්‍රසිද්ධ බව අදාළ නැහැ අපිට. එයා ස්වර්ණවාහිනීයට වැඩට ගිහිං කෙළින්ම එන්නේ “ආනා ඊට්ස්“ එකට. දවසක් එයා පැය හය හතක් එක දිගට හිටගෙන වැඩ. අම්මෝ කියලා කොන්ද අල්ලගෙන තප්පරයක් ඉඳලා එක දිගට වැඩ කරනවා. දැන් බිස්නස් වැඩියි. නිදහස් දවසේ වහලා තිබ්බේ. එදා කෑම හොයාගෙන එකසිය පනහක් විතර ඇවිත්. දුර පැතිවලිනුත් ඇවිත්. ඒ තරම් මේ වැඩේ ප්‍රචාරය වෙලා.

 

ඒ කියන්නේ දැන් බිස්නස් සරුයි..?

බඩු ඉවර වෙනකල් කෑම හදන්න ඕඩර් තියෙනවා. පෝලිමේ දහයක් විතර ඉන්න මට්ටමින් බිස්නස් සරුයි. අපි අනිත් තැන්වලට වඩා හරි අඩක්ම ගාන අඩුවෙන් රසට සාධාරණ මුදලකට දෙන නිසා බොහෝ දෙනෙක් එනවා. ගාන අඩු නිසා මුල් දවස්වල එකක් අරන් කාලා බලලා දහයක් විතර අරන් යන අයත් හිටියා. දැන් සේවකයො හතරක් ඉන්නවා. හොඳ පඩියක් දීලා ගෙදර නවාතැන් දීලා සතුටින් එයාලවත් තියන්න පුළුවන් වුණා. නිලමේ කියන යූටියුබ් නාළිකාවට ස්තූතියි කියන්න ඕන අපි වෙනුවෙන් අපි ගැන ජනතාව දැනුම්වත් කරලා බිස්නස් වැඩි කරන්න උදව් කළාට. ඒ නිසයි අපි දෙන්නා තාත්තයි දුවයි කියලා බොහෝ දෙනෙක් දැන ගත්තෙත්. මාලඹේ ස්ලිට් එක ළඟත් තව එකක් ඕපන් කළා.

 

රටේ ආර්ථික ප්‍රශ්න ගෙදරට බලපෑ නිසා වෙන්න ඇති මෙවැනි දෙයක් කරන්න හිතුවේ..?

අවංක කතාව ඒක තමයි රඟපාලා ගන්න මුදල් මදි දැන් ජීවත් වෙන්න. ලංකාවේ ජීවත් වෙන්න අමාරු මට්ටමක තියෙන්නේ. ඒත් මොනා කරන්නද පුළුවන් දේ කරන්න ඕන ජීවත් වෙන්න . ඉස්සර රට වටේ ට්‍රිප් කීයක් ගියාද. දැන් අඩු තරමින් නෑදෑ ගෙදරක ගිය දවසක් මතක නැහැ.

 

රංගන ජීවීතේ තරුණියකට ගැළපෙන්නේ නැහැ කියන දේ ඔබ රංගන ශිල්පියෙක් හැටියට දකිද්දී එතැනට ඔබේ දියණිය යොමු කරන්නේ ..?

මම හරි ආසාවෙන් හිටියා මගේ දුව කවදා හරි නිළියක් වෙනවා බලන්න. ඒ නිසාම එයා ඉපදෙනකොට එයාට ඉෂාරා රංගනි කියලා නම දැම්මා. නමුත් එයා ආස වුණේ නිවේදිකාවක් වෙන්න. පාසල් කාලේ නර්තනයට දක්ෂතා දැක්වුවා. කොහොම හරි එයා ආස මාවතට එයා ආවා. නිවේදිකාවක් වුණු නිසා නිළියක් වෙන්න ලැබුණා. ඔය කතාව මම දැකලා තියෙනවා. අලුතින් එන දරුවෝ නාස්ති වෙන හැටි. ඒ නාස්ති වෙන්නේ එයාලගේ වුවමනාවෙන්. මම දුවව බලා ගන්නවා. දුව එහෙම නැහැ කියලා විශ්වාස කරනවා.

 

දුවගේ අඩුපාඩු කියනවද..?

මුල් නාට්‍යයේ රූගත කිරිම්වලට මම ගියා. බලාගෙන හිටියා . මට දැණුනු විදිහට වෙනස් වෙන්න ඕන තැන් එයාට කියනවා. දැන් ටීවී එකෙන් දකින්නේ. එයා ළඟ හිටියොත් ඒ අඩුපාඩු පෙන්නලා දෙනවා.

Comments