
ගිරවා සිටියේ කූඩුගතවය. එහෙත් ගිරවුන් පිළිබඳ වත්, ලෝකය පිළිබඳවත් ඓතිහාසික තොරතුරු බොහොමයක් මේ අසාමාන්‍ය ගිරවාගේ ස්මරණයේ සුරක්ෂිත ලෙස ගබඩා වී තිබුණේය. සොබාදහමේ සුවිශේෂි නිර්මාණයක් ලෙස උපත ලබා සිටි මාල ගිරවා තමා උකහාගෙන සිටි දැනුම් පද්ධතියට ඔබ්බෙන් මිනිසාගේ තොරතුරු ද සොයන්නට වූවේ කෝඩුවෙන්ම කූඩුගත වූ දා පටන්ය.
ගිරා කූඩුව එල්ලා තිබුණේ අහස පේන මානයේ වූ නිසා වලාකුළු දෙස, ගහකොළ දෙස, කුරුල්ලන් හා කෘමින් දෙස බලා සිටීමේ අවස්ථාව ගිරවාට හිමිව තිබිණ. රේඩියෝවේ, රූප පෙට්ටියේ ගීත, කවි ගායනා, වාද්‍යවෘන්ද ද ඌ ආසාවෙන් අසා සිටියේය. ඒ අනුව මිනිසුන් පිළිබඳ බොහෝ දෑ හඳුනා ගත්තේය. මිනිසුන්, ගිරවුන් වෙනුවෙන් සංදේශ කාව්‍ය ලියා තිබුණේය. ගේය පදවැල් අමුණා තිබුණේ ය. අපූරු බයිලා නිර්මාණ ද ඒ අතර වූයේය. දැන් දැන් ගුවනේ විසිර යමින් ඇත්තේ ද එවැනි සිත් අලවනසුලු බයිලාවකි.
රස ආහර කවලා - රන් කුඩුවෙ දමලා
ඇතිකරන්න ගත්ත මාල ගිරවී
අත හරින්න කියලා - ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාල යයි කියාලා
ඒ බයිලාවට ගිරවා ප්‍රිය කළේය. එහෙත් එය බයිලාවක් පමණක්ම බව ද දැන සිටියේය. "කූඩුවෙ දොර ඇරල බලමුකො. අපි නොයා ඉඳීද කියලා" යැයි එය ඇහෙන වාරයක් වාරයක් පාසා ඌ කියා ගත්තේ තමාටමය. අනෙක් අතට එය පෙම්වතියකට කෙරෙන ආරාධනයක් බව හා පෙම්වතිය ගිරවියකට සමව දකින පෙම්වතකුගේ ප්‍රේමාලාපයක් වන බව ද ගිරවාට හඳුනාගත හැකි වී තිබිණ.
මිනිසුන් තුළ සංකල්ප ජනිත වන්නේ යථාරූපීවම නොවන බව ගිරවාට සාක්ෂාත් වී තිබුණේ ද ඒ සමඟය. මිනිසා කියන්නේම සංකල්ප ජාලයකටය. දෙවියන් ලෝකය මවද්දී, සංකල්ප ලෝකයක් නිර්මාණය කර ගත්තේ මිනිසාය. දැන් දැන් ගුවනේ විසිර යමින් ඇති, කලාතුරකින් පමණක් අසන්නට ලැබෙන ‘රස ආහාර කවලා’ ගායනය ද එවැනිය.
මම බත් කෑවද ගිරවි කියලා ඇහුවම
ඔව්. මම බත් කෑව කියනවා.
එවර ගිරවාගේ අවධානය යොමු වුණේ වෙනත් ඉසවුවකටය. මේ සුවිසල් නිවෙසට ආ දා පටන්ම ගැටලු සහගත වී තිබූ ප්‍රශ්නයක් ඉස්මත්තට නැඟුණේ ද ඒ සමඟය. නපුරු වෙළෙන්දාගෙන් මිදී ආදරය, කරුණාව හඳුනන මිනිස් පවුලක් වෙත පැමිණි දා පටන් ම නිවැසියෝත්, පිටස්තරයෝත් උගෙන් අසා තිබුණේ එකම එක පිස්සු විකාර ප්‍රශ්නයකි.
"පෙත්තප්පු බත් කෑවද?"
‘පෙත්තා’ යැයි කියන්නේ ගිරවාට යැයි අනුමාන කළ හැකි වුණද බත් කෑවද යැයි අසන්නේ ඇයි දැයි සිතා ගැනීම ගිරවාට පහසු වුණේ නැත. ගිරවුන්ගේ සාමාන්‍ය ආහාරය වන්නේ අඹ, කෙසෙල්, නාරං, ලොවි, ජම්බු මිස බත් පාන් නම් නොවේ. මුල්ම දවසේ නිවෙසේ පුංචි බබා මේ ප්‍රශ්නය අසන විට "ගිරවු බත් ද කන්නේ?" යි ප්‍රතිප්‍රශ්නයක් නගන්නට ගිරවා උත්සාහ කළේය. ගිරවුන්ට කතා කරන්නට හැකි යැයි කීවාට දිවෙන්, තල්ලෙන් මතුවී, හොටෙන් නිකුත් වන ගිරා උච්චාරණය අපැහැදිලිය. ගිරවා පුංචි බබාට දුන් පිළිතුර තේරුමක් නැති හඬක් බවට පත් වූයේ ඒ නිසාය. ගිරවුන් අනුකාරකයන් යැයි මිනිසුන් කියන්නේ ඇතැම් ගිරවුන් මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ ඒ ප්‍රශ්නයේ පුනරුච්ඡාරණයකින්ම වන නිසාම විය හැකිය. එහෙත් සැබෑම අනුකාරකයන් වන්නේ මිනිසුන්ම මිස ගිරවුන් නොවන බව ද ගිරවා සාක්ෂාත් කරගෙන සිටියේය.
"වත්තෙ මල් පිපෙන්නෙ නෑ - ගෙදර සිරියාවක් නෑ..."
ගායනය එවර ගිරවාට සන් කළේ පිපෙන මල් දෙස බලන්නටය. ගාණකට කප්පාදු කළ ගහකොළ, අතුරිකිලි අතරේ මල් ද පිපී තිබුණේය. නිහඬතාවක් ඉහවහා යන්නට වූවේ ගායනය නැවතී තිබූ නිසාය. මිනිහෙක් කතා කළේය.
"ඔව්. අපි ඒ ගේය පදවැල ප්‍රවේශයක් හැටියට යොදා ගත්තේ නිදහස ගැන යමක් කතා කරන්න" මිනිසා කීවේය.
"අපි කවුරුත් දන්නවා, නිදහසේ හැත්තෑපස් වැනි සංවත්සරය උදා වෙන්නෙ අදට බව. ඉතින් මේ නිදහස කියන එක අපට වගේම ගිරවියකට වුණත් මොන තරං වැදගත් වෙනවද කියන තැනට එන්න ඒ පදවැල ඉඩක් හදල දුන්න කියලයි අපට හිතෙන්නෙ. ඇත්ත නේද? රස ආහර කැවුවත්, රන්කූඩුවෙ දැම්මත් ගිරවියකුට නිදහස වටිනවා නේද ඒ ඔක්කොටම වැඩියෙන්?"
ගිරවා තක්කුමුක්කු වී ගියේත් හිස පැත්තකට හරවාගෙන කල්පනාවකට වැටුණේත් ඒ කතාවටය. ඌ දෙතුන් වරක් ඇසිපිය සැලුවේ ගැටලු සහගත අවස්ථාවකදී ගිරවුන් පොදුවේ හැසිරෙන ආකාරය, ඒ ආවේණික ස්වභාවය ප්‍රකට කරමිනි. කූඩු වහළේ එල්ලුණ ගිරවා, උඩු යටිකුරු වී පාදවලින් කම්බි කූරු දෙකක් බදා අල්ලාගෙන පහළ බලා සිටින්නට වූවේය. ඒ පදවැලෙන් කියැවෙන්නේ කූඩුව දමා ගිය ගිරවියක ගැන නොවේ. කූඩුව අතැර නොගිය ගිරවියක ගැනය. ඒ බව ගිරවකුට වැටහෙන්නටත් මිනිහෙකුට නො වැටහෙන්නටත් හේතුවක් ඇත්තේ නැත. ගීතයෙන් කියැවෙන්නේ නිදහස වෙනුවෙන් කූඩුව අතහැර නොගිය ගිරවියක ගැන බව නිවේදකයාට කොතරම් පහසුවෙන් වටහාගත හැකිව තිබුණේද?
හැත්තෑපස් වැනි නිදහස් සංවත්සරය ගැන සම්පත් දායකයන් කියන කතා, කෙස්පැළෙන තර්ක ගිරවා සාවදානව අසා සිටියේය. නිදහස් දින කීයක් නම් තමා මේ මහ මැඳුරේ ගතකර ඇද්දැයි ඉනික්බිතිව ගණනය කරන්නට වූයේ, කූඩුවෙ කම්බිකූරු හොටෙන් අල්ලා ගනිමින් හා අතහරිමිනි. හරියටම නිදහස් දින හයක් තමා මේ සුවිසල් නිවෙසේ කූඩුගතව හිඳ තිබේ. ඒ අතර හැමදාමත් මේ කතා ද ඇසී තිබේ. එහෙත් ඒ සියල්ල හැමදාමත් අසන කතාමය. හැමදාමත් එකම අච්චුවමය. ඉඳහිට මුහුණක් දෙකක් වෙනස් වුණද ප්‍රතිරාව නංවන්නේ එකම අදහසකි, එකම අතීත කාමයකි. කිසිවක කිසි අලුත්කමක් නැත. අනුකාරකයන් වන්නේ ගිරවුන්ද? මිනිසුන්ද?
රතුරෝස මල්පඳුරට උඩින් සිග්සැග් පියසැරියක යෙදෙන රන් සමනලයා දෙස ගිරවා බලා සිටින්නට වුණේ ඔළුවෙන් හිටගෙනමය. ටෙරාසයේ බැඳ සිටින ලැබ්‍රඩෝ වර්ගයේ තඩි සුනඛයා සිංහයකු සේ පෙනී යන්නේ ද මේ මානයෙන් බලන විටය. සැණෙකින් ගිරවාගේ සිතට අලුත් ප්‍රශ්නයක් කාන්දු කළේද සුනඛයාය. ඒ, ආදරය ප්‍රස්තූතවය. මේ සුනඛ පෝතකයාට මෙන් ම තමාට ද මේ නිවැසියන් දක්වන ආදර කරුණාව, ළෙන්ගතුකම අසීමිතය. අතිශයින් කාර්යබහුල ජීවිත ගතකරන මේ නිවැසියෝ දහසකුත් එකක් රාජකාරි කටයුතු මධ්‍යයේ වුව ගිරවාගේ හා සුනඛයාගේ ආහාරපාන සම්පාදනය අතපසු නොකරති. ඔවුන් ඒ කාර්යයෙහි යෙදෙන්නේ නිස්සරණාධ්‍යාශයෙන්මය. හොර හතුරන් වත්ත පිටියට ඇතුළු නො වන්නේ සුනඛයාගේ මහත දෙහෙත ඇඟ නිසාත්, ගම්භීර බිරුම් හඬ නිසාත් යැයි ඇතැම්විට ඔවුන් එකිනෙකා අමතා කියාගන්නා හඬ ඇසී ඇතත් ගිරවකුගෙන් නම් එවැනි පලක් ප්‍රයෝජනයක් හෝ ඔවුනට නොලැබෙයි. එහෙත් ඔවුන් සුනඛයාට තරමටම තමාට ද ළෙන්ගතුය.
ගිරවාට ගැටලුවක් පැන නැඟී තිබුණේ මිනිසාගේ ආදරයේ ස්වරූපය හා එහි පසුබිම් හේතු පිළිබඳවය. පැහැදිලිවම පෙනී යන ආකාරයට මිනිස් ආදරයේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ අනෙකා හෙවත් ආදරවන්තයා-ආදරවන්තිය සිරගත කිරීමය, බන්ධනය කිරීමය. සුනඛයාට දම්වැලය, ගිරවාට කූඩුවය. ලොක්කාගේ ලොකු දියණියගේ ආදර සම්බන්ධයේ කූටප්‍රාප්තිය නිර්වචනය කෙරුණේ ද ‘බඳිනවා’ ලෙසය. ඒ ප්‍රේමාදරයට කූඩු වීමට බාහිර සාක්කි දෙකක් කුමකට දැයි ගිරවා සිතුවේ පුදුමයෙනි. එහෙත් එතුමා හා මෙතුමා ලෙස හැඳින්වුණ අහකම සිටි ප්‍රභූන් දෙදෙනකුගේ අත්සන් දෙකක් ද ඔවුනට ඕනෑ වී තිබුණේය. ඒ අහවල් දේකට දැයි සිතා ගැනීම ගිරවාට පහසු වුණේ නැත.
දිගින් දිගටම කූඩුව තුළ සැරිසරන්නට වූ ගිරවා මේ අරුම පුදුම ආදර සබඳතා ගැන නැවත නැවතත් කල්පනා කළේය. මානව භාෂාවේ මිනිසා විසින් වැඩියෙන්ම වරද්දා ගනු ලැබූ වදන ‘ආදරය’ දැයි ගිරවාට සිතිණ. ඒ ඇසිල්ලේම වාගේ ගර්ජනාවක් මෙන් මතුව නැඟුණේ ගල් බොරළු දූවිලි අවුස්සමින් වේගයෙන් පැමිණ ගෙමිදුලේ තිරිංග තද කළ ඩිපෙන්ඩරයේ හඬය. රිය දොර ඇරුණේ වැසුණේ කනට ගැසුවා වාගේය. සුනඛයා චාමර සලමින් පිළිගැනීමකට පේ වී සිටියද හාම්පුතා ඒ පැත්ත පළාත බැලුවේ ද නැත, ඔහු සිටියේ ගිනිගෙනය.
"මෙනූ, මෙනූ..."
තර්ජනාත්මක ඇමතුම ඇසූ මේනකා පැමිණියේ ද අතිධාවනකාරීවය. කොහොමටත් නිවෙසේ සියල්ලන්ගේම පොදු ස්වභාවය වූවේ එයයි. ලොකු මිනිසුන්ටත්, පොඩි ළමයින්ටත්, සේවක සේවිකාවන්ටත් හුස්ම ගන්නට තරම්වත් ඉස්පාසුවක් කවදාවත් තිබුණේම නැත. "බල්ලාට ඇති වැඩකුත් නෑ; හෙමින් ගමනකුත් නෑ" කියන පරණ කතාවේ බල්ලා වෙනුවට ‘මිනිසා’ ආදේශ වන සේ අලුත් පිරුළක් නිර්මාණය කළ නොහැකි දැයි ගිරවාට සිතිණ. තවත් පැත්තකින් බලන විට මේ කාලයේ වැඩි වැඩියෙන් බර වැඩ පැටවී ඇත්තේ ලොකු මිනිසුන්ටමය. මේ මනහර නිවෙසේ හිමිකරු හෙවත් තමාගේ හාම්පුතා යැයි කියන්නේ ද රටේ ප්‍රභූවරයකුටය; ඉසුරුමතකුටය. මානව පරිණාමයේ එක්තරා අවධියකදී නම් ප්‍රභූවරු වාසය කළේ ඛාද්‍ය භෝජ්‍යයෙන් සන්තර්පිතවය; සුඛිත මුදිතවය; විවේකීවය. කොඳු කැඩෙන තුරු වැඩ කළේ වහල්ලුය. දැන් දැන් ඒ වහල් භාවයට නතුව සිටින්නේ රටේම, ලෝකයේම ඉසුරුමතුන්ය. කන්නටවත් නිදාගන්නටවත් හුස්ම ගන්නටවත් නිදහස නැති වී තිබෙන්නේ ඔවුන්ටය. නිදහස නැත්තටම නැති කරගත් අනෙක් කණ්ඩායම වන්නේ ඔවුනගේම දූදරුවෝ ය. කාලය කොතරම් දේ උඩුයටිකුරු කර ඇත්තේද?
ගාලගෝට්ටියක් වැනි හඬක් ඇසී ගිරවා තිගැස්සුණේය. හාම්පුතා පොළොවේ අඩි හප්පමින් මොර දෙන්නේය.
"මොකක් ද මෙනූ, අර ෆයිල් එක ඔයා මගේ බීෆ්‍රකේස් එකට දාල නෑනේ"
"අනේ සිරි, ඒක බීෆ්‍ර්කේස් එක උඩමනේ තිබුණෙ. කමක් නෑ. ඉන්න ටිකක්. ආපු එකේ අනේ ඉතින් කෑම ටිකක් කාලම යන්නකෝ. මම මේ හිත හිතා උන්නෙ ඔයා කන්නෙ කොහොමද කියලයි. අද නිදහස් දවසේ කෑම කඩත් වහල ඇති"
"පිස්සු කතා කරනවද මෙනූ? මොන කෑමක්ද? ඔන්න ඔය ෆයිල් එක ගන්නවද? තව විනාඩි පහයි මට තියෙන්නේ"
"ආ. මෙන්න. චුට්ටක් ඉන්නකෝ. කෑම ටික පාර්සල් කරලවත් දෙනකන්"
"මොකක්?"
"කලබල වෙන්න එපා සිරි, ඔහොම බඩගින්නේ වැඩ කරන්න එපා අනේ. මතකනේ ගැස්ට්‍රයිටීස්වලින් විඳවපු විඳවිල්ල?"
ගිරවා ඈත බලා ගත්තේ තත් ක්ෂණයක් තුළ රාව නැංවූ අසභ්‍ය කතාවේ වචනාර්ථය හා ධ්වනිතාර්ථය අල්ලා ගන්නට තැත්කරමිනි. මේ තදියම, මේ ඉක්මන කුමක් සඳහා දැයි ගිරවා සිතා බැලුවේය. මෙවැනි කෝපාවේග රොකට් මෙන් ඉහළ නැඟි පුස් වෙඩිලි මෙන් පොළොවටම පතිත වන අවස්ථා ඉතා වැඩි ප්‍රමාණයක් ද ගිරවා දැක තිබේ.
කෝකිලයකුගේ මියුරු සරින් ගී ගැයූ ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් හා ලංකාවේ මොහිදින් බෙග් කලකට පෙර චිත්‍රපටයකට ගායනා කළ නිදහසේ ගීයක් සුළඟේ විසිර යමින් තිබුණේය.
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා
ගිරවා නැවත නැවතත් සිතා බලන්නට වූයේ මිනිසා ඉදිරිගාමී ද පසුගාමී දැයි කියා ය. මිනිසාට ලැබී ඇතැයි කියන්නේ මොන විදිහේ නිදහසක් දැයි කියාය.
යළිත් වරක් කූඩු වහලේ එල්ලුණ ගිරවා, ලෝකයේ වෙනස අලුතින් හඳුනාගන්නට උත්සාහ කළේය. ආදරයට ද වැඩියෙන් මිනිසුන් වරද්දාගෙන ඇත්තේ ‘නිදහස’ බව පෙනී ගියේ ඒ උඩුකුරිඤ්ඤං බැල්මටය.