
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට රූපරාමු වේදිකාවක් රැගෙන ආ පළමු රංගන අත්දැකීම ලෙස නූර්තිය හැඳින්විය හැකිය. වෙනත් නාට්‍ය ශෛලීන්ගෙන් නූර්තිය පැහැදිලිවම වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණ අතර උත්තර භාරතීය රාගධාරී සංගීතය යොදාගැනීම, බබළන රංග වස්ත්‍ර යොදාගැනීම මෙන්ම පසුතල නිර්මාණය සඳහා චිත්‍ර වස්ත්‍ර යොදාගැනීම මූලික වේ. එමෙන්ම පසුතල නිර්මාණයේ දී විශ්මයජනක දර්ශන යොදාගනු ලබන්නේ ද ප්‍රේක්ෂකයාගේ ඇස, කන ආනන්දයෙන් පිනවා සතුටට පත්කර එමඟින් ප්‍රඥාව අවදි කිරීමේ අරමුණ පෙරදැරි කොට ගෙනය.
බොහෝ ජනාදරයට පත් එවන් රසබර නූර්තියක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය හැඳින්විය හැකිය. ක්‍රි.ව. 1906 දී නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් නිර්මාණය කළ සිංහලේ අවසාන රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වටා ගෙතුණු එම නූර්තියේ රජුගේ ගති ලක්ෂණ පිළිබඳ හා අතීතය පිළිබඳව සොයන්නන්හට කුකුසක් මතුවී තිබිණි. එහි සදොස් තැන් ඇතැයි සැකයෙන් මෙරට ඉතිහාසය පිරික්සමින් ගවේෂණයක යෙදුණු වත්මන් ධර්මපාල පරපුරට එවන් තැන් නිදොස් කරමින් එම නූර්තිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මතුවිණි. එහි ප්‍රතිඵලය වූයේ ජෝන් ද සිල්වා සූරීන්ගේ මුල් කෘතිය මූලාශ්‍ර කරගනිමින් රත්නශීලා පෙරේරා විසින් එය නැවත අලුතින් රචනය කිරීමයි. ඇයගේම අධ්‍යක්ෂණයෙන් ධර්මපාල පරපුරේ නිෂ්පාදනයක් ලෙසින් එළිදක්වනු ලබන ශ්‍රී වික්‍රම රාජසිංහ නව නූර්තිය පෙබරවාරි 12 වැනි ඉරිදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. එහි සැබෑ තතු හා අදහස් අප හා බෙදාගත්තේ එහි අධ්‍යක්ෂිකා රත්නශීලා පෙරේරායි.
“වත්මන් ධර්මපාල පරපුර නියෝජනය කරන පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ආචාර්ය සේනාරත්න සිල්වා මෙරට ඉතිහාසය ගවේෂණය කර සොයා ගන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන සමාජගත වෙලා තියෙන්නේ සත්‍ය තොරතුරු නොවන බව. එහි රජු ගැන සඳහන්ව ඇත්තේ ඔහු බේබද්දෙක්, ස්ත්‍රී ලෝලියෙක්, විකාර මතින් තීන්දු තීරණ ගෙන ඇහැලේපොළ පවුල විනාශ කළ චරිතයක් ලෙසින්. නමුත් ධර්මපාල පරපුර සොයා ගන්නවා ඒක එහෙම නොවන බව. රජු පිටුවහල් කළ ඉංග්‍රීසි නැවේ කපිතාන් රජු මත්පැන්වලින් තොර බව ලියා තැබූ සටහන ගැන ඔවුන් සොයාගෙන තිබුණා.
ඒ වගේම එදා ඇහැලේපොළ පවුලේ ඝාතනය සිදුවෙන්නේ ඇහැලේපොළ රාජ ද්‍රෝහියකු වීමේ වරදට, පැවති රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වීම නිසායි. ඊට අමතරව ඉංග්‍රීසීන්ට කත් ඇදපු ඇහැලේපොළ රට පාවා දීම වගේම පිළිමතලාවේ, මොල්ලිගොඩ වැනි නිලමේවරු කුමන්ත්‍රණය කර ඔවුන්ගේ වැරදි යටපත් කරගෙන ඒවා රජුගේ වැරැදි විදිහට පෙන්නා දී රජු පිටුවහල් කිරීමට සැලැස්වීම. එයින් සිදු වුණේ මේවා රජුගේ වැරදි ලෙස ඉස්මතු වීම. ඔවුන් සොයාගත් කරුණු අනුව මේවා රජුගේ වැරදි නොවන බව පැහැදිලි කරමින් මට මෙය නැවත ලිවීමට අන්තර්ගත කරුණු ලබාදෙන්නේ මේ ධර්මපාල පරපුර. ඔවුන්ට තමයි ඕන වෙන්නේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ නැවත නඟාසිටුවන්න. ඔවුන් හිතනවා මෙය රටට ඉදිරිපත් කරන්න හොඳම ආඛ්‍යානය, ක්‍රමවේදය, ශෛලිය මේ නූර්තිය කියලා. සංගීතයෙන් සමීර සුභසිංහ, අංග රචනයෙන් චාමර රාජපක්ෂ, පසුතල නිර්මාණයෙන් කාංචන ගමගේ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් සුජීවා සිරිසේන මෙය වර්ණවත් කිරීමට දායක වුණා.
නූර්ති කලාව දැන් වියැකී යමින් තියෙන්නේ. ටවර් හෝල් රඟහලේ කාර්යභාරය තමයි මේවා රැකගන්න එක. අවසන් වරට 2000 වසරේ තමයි ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර් සහ වික්ටර් වික්‍රමගේ විසින් නූර්ති කිහිපයක ජවනිකා පමණක් යොදා ගෙන ද පැජන්ට් ඔෆ් ටවර් හෝල් කියලා නිර්මාණයක් කළා. ඒකටත් මම දායක වුණා. සම්පූර්ණ නූර්තියක් බොහෝ කලකින් නිර්මාණය වෙලා නෑ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන ගුරුවරුන්වත් නූර්තියක් දැකලා නෑ. ඒ නිසා ඒ පිළිබඳ ඉගැන්වීමේ දී ඔවුන් අපහසුතාවට පත්වීම සාධාරණයි. පවුලේ ආභාසය නිසා මම පොඩි කාලේ ඉඳන්ම නූර්තිවලට සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම ටවර් හෝල් රඟහලට වසර 100ක් පිරීම නිමිත්තෙන් ‘ටවර් හෝල් සියවස් පුරාණය‘ කියලා මම ග්‍රන්ථයක් රචනා කළා. ඒ එක්කම ‘ටවර් හෝල් සුපිරි තරු‘ කියලා එකකුත් රචනා කළා. ඒ දෙකෙන්ම මම කියන්න උත්සාහ කළේ ස්වර්ණමය ටවර් හෝල් යුගය නූර්තියෙන් වර්ණවත් වුණ හැටි. ඒකෙ සම්පූර්ණ විස්තරය දිගහැරෙනවා. හිටපු නළු නිළියන් පිරිස, කරපු නාට්‍ය, ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ටවර් හෝල් සම්ප්‍රදායේ පාලන ක්‍රමවේදය ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම නීතිඥ චාල්ස් ඩයස් සූරීන්ගේ සිවම්මා ධනපාල නූර්තියේ ප්‍රධාන චරිතයටත් මං දායක වුණා. ඒක ලංකාවේ ජනප්‍රියම නූර්තියක්. ඒ අත්දැකීම් සමඟින් මගේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා විෂයන් හදාරමින්, දැනුම රැස්කරමින් ඒ ගැන ලොකු අවධානයක ඉන්න මොහොතක තමයි මට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ.
1906 වර්ෂයේ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් නිර්මාණය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය තමයි පසුකාලීනව වරින් වර වේදිකාගත වෙන්නේ. එහි උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව සැකසුණු ගීත අදටත් ජනප්‍රියත්වයේ තියෙනවා.
වාසනා දිනේකි මේක, දන්න වංහුං අප, පිනවන්න සවන් ඇසුවන්ගෙ සොඳින් වගේ ගීත අදටත් ජනප්‍රියයි. නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ට සංගීතයෙන් සහාය වුණේ ඉන්දියාවෙන් පැමිණි විශ්වනාත් ලව්ජි නමැති බ්‍රාහ්මණ පඬිවරයා. එතුමාගේ නූර්තියේ ඒ ගී තනු යොදාගෙන නූර්ති ලක්ෂණ රැකගනිමින් මාත් මේකට අලුතින් සින්දු ලිවුවා. මේකෙ සම්පූර්ණ ගෞරවය එතුමාට හිමිවිය යුතුයි. මං සලකන විදිහට එතුමා තමයි ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ පියා. නූර්ති නාට්‍ය කලාවේ ප්‍රාරම්භකයා සීබන් බස්තියන් සූරීන් ලෙස සැලකුවත් ඔහුගේ නූර්තිවල නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඔහු කළ රොලීනා නාට්‍යයේ නාඩගම් ලක්ෂණ වගේම බටහිර නාට්‍ය ලක්ෂණත් මිශ්‍ර වෙලා තිබුණා. ඊට පස්සේ තමයි එහි අනුප්‍රාප්තිකයා විදිහට නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් නූර්තියට නියම හැඩතල දෙන්නේ.