එදා සිත පිනවූ පුංචි වෙළෙන්දා අද ගත සුවපත් කරන වෛද්‍යවරයෙක් | සිළුමිණ

එදා සිත පිනවූ පුංචි වෙළෙන්දා අද ගත සුවපත් කරන වෛද්‍යවරයෙක්

රියැලිටිවලින් බිහි වෙන ළමයි කියන්නේ ආදර විරහ ගීත

බිරිඳ කියන්නේ ඉඳහිට හරි ෂෝවලටයන එක හොඳයි කියලා

මම මුලින්ම ගීත ගායනා කරන්න ඕන කිවුවම කියනවා තව ටිකක් ඉඳලා කියන්න, ඔයා සින්දු කියනකල් බලාගෙන ඉන්න අය රඳවා ගන්න ඕන කිය

වීඩියෝ කරලා ප්‍රසිද්ධිය ලබා ගන්නවත් වැඩ හොයන්නවත් මට අවශ්‍ය වෙලා නැහැ

රුවන් ශ්‍රීලාල් දල්පදාදු කියන්නේ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. නමුත් කුඩා කල සිට කවුරුත් ඔහු හඳුනන්නේ ගායකයෙක් හැටියට. පුංචි වෙළෙන්දා ගීතය එකල අතිශයින් ජනප්‍රිය වෙද්දී ඒ ජනප්‍රියත්වය තවමත් එලෙසින්ම තිබෙන්නේ ඒ ගීතය නිසයි. ඒ වගේම ඔහු කුඩා කල ගායනා කළ එන්න අයියේ එන්න අක්කේ මාත් එක්ක සිංදු කියන්න ගීතය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ප්‍රසිද්ධ යි. රූප මාධ්‍යයයෙන් වැඩිය දකින්න නැති වෛද්‍ය රුවන් ශ්‍රීලාල් එක්ක මේ විදිහට ඔහුගේ ආගිය තොරතුරු කතා කරන්න හිතුවා.

 

රුවන් ශ්‍රීලාල් දල්පදාදු කියන ගායකයාව තවම හරි හැටි බොහෝ දෙනෙකුගේ මතකයේ නැහැ නේද. නමුත් පුංචි වෙළෙන්දා නම් කාටත් මතකයි...කොහොමද ජීවිතේ ..?

සතුටින් ඉන්නවා. වැඩ රාජකාරි එක්ක දවස ගෙවෙනවා. පුංචි වෙළෙන්දා කියන අන්වර්ථ නාමය එන්නේ ඒ ගීතය නිසා. කාලයක් මාව ඒ නමින් ඇමතුවා. ඊට පස්සේ රුවන් ශ්‍රීලාල් කියලා ජනතාව මගේ නමිනුත් හඳුනා ගත්තා. දැන් ඔය දෙවිදිහටම දන්නවා.

 

ඔබ කුඩා කාලයේ ගායනා කරන ජනප්‍රිය ගීතයක් මේ දිනවල ආයෙමත් කතාබහට ලක් වෙලා..?

ඔව්. “එන්න අයියේ එන්න අක්කේ මාත් එක්ක සිංදු කියන්න, පෙති ඕනෑ නැහැ කුඩු ඕනෑ නැහැ“ කියන ගීත. ඒ ගීත එදත් බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ කාලේ සෑහෙන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු පිරිස් හා දරුවන් ගැන අහන්න දකින්න ලැබුණා. ඒකත් එක්ක තමයි මේ ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ සෑහෙන්න හුවමාරු වෙන්නේ. සිංදු කියන්න නටන්න මත්ද්‍රව්‍ය ඕන නැහැ කියලා සමාජයට පණිවිඩයක් දෙන ගීතයක්. ඒ ගීතය මේ කාලේ ආයෙමත් කතාබහට ලක්වීම සතුටක්.

 

ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුම කොහොමද ..?

ඉල්ලුම හොඳයි. ප්‍රසංග වේදිකාව කියන්නේ වෙනමම තැනක්. මම ප්‍රෆෝම් කරන විදිහට තමයි මට ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙන්නේ කියලා මම හිතනවා. සමහර සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වුණාම එතැනින් මගේ දුරකථන අංකය ඉල්ලගෙන වෙන ප්‍රදේශවල තියෙන සංගීත ප්‍රසංගවලට පවා ආරාධනා කරන අවස්ථා තියෙනවා. යුරෝපා සංචාර කිහිපයකට සම්බන්ධ වුණා. ඩුබායි ගියා. මැදපෙරදිග ඉල්ලුම වැඩියි.

 

තවම සංගීත ප්‍රසංග වේදීකව දෙවනත් කරන්නේ පරණ ගීතවලින්ද, අලුත් ගීතවලට ඉල්ලුමක් නැද්ද ..?

ඒක වෙනස් වෙනවා. සමහර සංවිධායකයින් අලුත් වගේම පරණ ගීත කියන්න කියලා ඉල්ලීම් කරනවා. පරණ ගීතවලට විතරක් නෙමෙයි ඉල්ලුම තියෙන්නේ. මම එහෙම කියන්න හේතුව ප්‍රසංගයකදී මාත් එක්ක ගයන්න රසිකයින්ට මයික්‍රෆෝනය අල්ලද්දී ඔවුන් අලුත් ගීත කට පාඩමින් කියන නිසයි. මගේ ගීත ඇහෙන්නේ ප්‍රසංග වේදිකාවෙන් විතරයි. ටීවී එකේ රේඩියෝ එකේ යන්නේ නැහැ. ඒත් ඔවුන්ට තාලය හා පද මතකයි කියන්නේ මගේ ගීත රස විඳිනවා කියන එකයි.

 

මේ යන රැලිවලට ඔබට හැඩ ගැහෙන්න පුළුවන්ද..?

මට කතා කරන සංගීත ප්‍රසංගවල මාත් එක්ක ගීත ගයන්න එන අය කවුද කියලා පෝස්ටරවලින් දැකගන්න ලැබෙනවා. නමුත් ඒ ගායකයින් මම දන්නේ නැහැ. ඒකට හේතුව මම රූපවාහිනීය නරඹන්නේ නැතිකම මිසක් ඒ අය ජනප්‍රිය නොවීම නෙමෙයි. එයාලා ජනප්‍රියයි. මම මුලින්ම ගීත ගායනා කරන්න ඕන කිවුවම කියනවා තව ටිකක් ඉඳලා කියන්න ඔයා සිංදු කියනකල් බලාගෙන ඉන්න අය රඳවා ගන්න ඕන කියලා. මම හිතන්නේ මම ඒ රැලිවලට අහු වෙන්නේ නැති නිසා ඒ රැලිවලට මම හැඩ ගැහෙන්න ඕන නැහැ.

 

අලුත් ගීත හදන අතරතුර ඇයි මියුසික් වීඩියෝ පැත්තට නැඹුරු වෙන්නේ නැත්තේ. ඒක ඔබේ වෛද්‍ය වෘත්තියට අකැපයි කියලා හිතනවද..?

රැකියාව වෛද්‍යවරයකු කියලා කොයිම මොහොතකවත් මම මගේ ගීතවලට රූප රචනා කරන්නේ නැහැ කියලා වාරණ දාගෙන නැහැ. අකැපත් නැහැ. මම වීඩීයෝ කරලා තියෙනවා සමහර ඒවා විකාශය වෙලත් තියෙනවා. නමුත් කෙනෙක් ජනප්‍රියත්වය හෝ වැඩ බලාපොරොත්තුවෙන් තමයි ඔය හැමදේම කරන්නේ. ඉතිං මේ කාලේ මට වීඩියෝ කරලා ප්‍රසිද්ධිය ලබා ගන්නවත් වැඩ හොයන්නවත් අවශ්‍ය වෙලා නැහැ. ඊට හේතුව නොඅඩුව ප්‍රසංග වේදිකාවට මට ඇරයුම් ලැබෙන නිසා.

 

තවමත් ඔබේ ගීත හදන්න ඔබේ දෙමාපියන් උදව් කරනවද..?

අම්මයි තාත්තයි මට තවම උදව් කරනවා. ඒ දෙන්නා මට මගේ ගීතවලට පද නිර්මාණ කරලා තියෙනවා වගේම මමත් මගේ සිංදු ලියා ගන්නවා. බොහෝ වෙලාවට මම ඉලක්ක කරන්නේ වේදිකාව. ඒකට සරිලන සරල විදිහට ලියනවා. කියන්න ඕන දේ කෙලින් කියන ඒ ගීත මිනිස්සු අතර ජනප්‍රියයි. වෙන පද රචකයින්ගේ ගීතත් මම ගායනා කරනවා.

 

ඔබේ බිරිඳ වෛද්‍යවරියක්. ඇයව මුණගැහෙන්නේ කොහොමද? කුඩා කල සිට ප්‍රසිද්ධ කොල්ලටද ඇය ආදරේ කළේ..?

නැහැ එයා දන්නේ නැහැ මම පොඩි කාලේ සිංදු කිව්වා කියලා, මම වෛද්‍යවරයෙක් විදිහට ඉගෙන ගන්න පිටරට ගිහිං එනකොට මගේ ස්වරූපය ගොඩක් වෙනස්. කොණ්ඩය එහෙම වවලා හිටියේ. 2006 වගේ තමයි මම ලංකාවට එන්නේ. කිසිදෙයක් නොදැන යාළු වුණා. කාලයක් ගියාට පස්සේ දැනගත්තා. එතකොට අපේ සම්බන්ධය ශක්තිමත් එකක් වෙලා තිබ්බේ.

 

වෛද්‍යවරයකු විදිහට කාර්‍යබහුල වෙන ඔබ සංගීත ජීවිතෙත් කාර්‍යබහුල වෙද්දී බිරිය තහංචි දාන්නේ නැද්ද?

අපි දෙන්නම වෛද්‍ය වෘත්තියත් එක්ක ඉන්න දෙන්නෙක්. දෙන්නම කාර්‍යබහුලයි. සමහර දවස් තියෙනවා රෑට වැඩ කරන. ඉතිං එයාට අවබෝධයක් තියෙනවා ගෙවන ජීවිතේ ගැන. එයා තහංචි දාන්නේ නැහැ. ඇයි ශෝවලට යන්නේ නැත්තේ කියලා අහනවා. එයා දන්නවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කළත් රජයේ සේවයේ රාත්‍රී සේවයේ හිටියත් ඒ රාජකාරි කටයුත්ත කොච්චර අමාරුද කියලා. මුදල් ලැබෙනවා පෞද්ගලික සේවයට ගියොත් නමුත් එහි අමාරු කොටසක් තියෙනවා හරි වෙහෙසකරයි. ඒ වෙහෙසකර බව වෛද්‍යවරු කතා කරන්නේ නැහැ. ඒ නිසා බිරිඳ කියන්නේ එහෙම මහන්සි වෙනවට වඩා ඔයා ෂෝවලට ඉඳ හිටලා හරි යන එක හොඳයි කියලා.

 

දරුවෝ සංගීතයට ලැදියිද,..?

සියල් හා සිහාරා තමයි දරුවෝ දෙන්නා. වයස අවුරුදු දොළහයි දහතුනයි. දුව පියානෝ එක හොඳට ප්ලේ කරනවා. දෙන්නම පුංචි කාලේ ඉඳලා සංගීතය දකින අහන නිසා දෙන්නටම සිංදු කියන්න වාදනය පුළුවන්. ගීත දෙකක් කරලා තියෙනවා. දුව කැමති සංගීත අධ්‍යක්ෂවරියක් වෙන්න. පුතා කැමති අයිටී පැත්තට. මම වගේ වෛද්‍යවරයකු හෝ ගායකයෙක් වෙයි කියලා හිතන්න අමාරුයි. එයාලගේ අදහස් වෙනස්.

 

ඔබ ළමා ගායකයෙක් හැටියට මූලාරම්භය ගත් කෙනෙක්, දැන් බිහිවෙන ළමා ගායකයින් ගැන මොකද හිතන්නේ..?

දැන් රියැලිටිවලින් බිහි වෙන ළමයි කියන්නේ ආදර විරහ ගීත. ජජ් බෝඩ් එකේ ඉන්න අයත් කියනවා හැඟීම් බරව කිවුවා කියලා. ඒ ළමයි ගීතයේ අර්ථයවත් නොදැන කොහොමද හැඟිම්බර වෙන්නේ. අවුරුදු හය හතක ළමයෙක් චපල හිමිට සිරි යහනේ සැතපෙන්නද මං ගීතය කිවුවා. ඒකේ තේරුමවත් ඒ දරුවට තේරෙන්නේ නැතුව ඇති. ළමයින්ට ලස්සන ළමා ගීත තියෙනවා. හොඳ වෙලාවට මගේ දෙමාපියෝ මට ලස්සන ළමා ගීත ලියලා දුන්නේ.

 

ඔබ කාලයක් මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක්, රෝගීන්ට ප්‍රතිකාර නොදී ආයතනික වෙන්නේ මොන හේතුවක් නිසාද කතාව අවසන් කරන්න කලින් ඒ ගැන කියමු..?

මානසික වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න පළමු පත්වීම ලැබෙනවා කල්මුණේ රෝහලට. කල්මුණේ කියන්නේ දමිල හා මුස්ලිම් ජනතාව වැඩි ප්‍රදේශයක්. ඒ නිසා මට දමිළ භාෂාව ඉගෙන ගන්න සිදු වුණා. මානසික පීඩනයෙන් පෙළෙන අයට ප්‍රතිකාර කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට උපදේශනය කරන්න සිදු වෙනවා. එතකොට භාෂාව වැදගත්. ඒ නිසා ඉගෙන ගත්තා. ඊට විශේෂ වූ අධ්‍යයන කටයුතුත් කළා. වසර හතරක කාලය අවසන් කරලා තමයි මමත් බිරියත් කොළඹට එන්නේ.

ප්‍රතිකාර කිරීම්, වලක්වා ගැනීම් හා පරිපාලනය කියලා කොටස් තුනක් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ. මම වෛද්‍යවරයෙක් විදිහට ප්‍රතිකාර කටයුතු කළා. පසුව පරිපාලන පැත්තට යොමු වුණා. ඒකත් විශාල කටයුත්තක්. වෛද්‍යවරයෙක් හැටියට ප්‍රතිකාර කිරීම් කරන්න ඕන කියලා නැහැ. විදෙස් රටවල් ගත්තොත් රෝග වලක්වා ගැනීම් පැත්තට තමයි වෛද්‍යවරුන් වැඩිපුර යොමු වෙලා ඉන්නේ. ලංකාවේ තියෙන එම්. ඕ. එච්. වගේ. ඒ නිසා මම ප්‍රතිකාර පැත්තෙන් පරිපාලන පැත්තට යොමු වුණා. වැඩිදුර අධ්‍යාපන කටයුතුත් ඒ අතරතුර කරනවා.

Comments