- ඔය වයසට මම දේශපාලනයට ඇවිත් ඡන්දෙත් ඉල්ලනවා
- නායකතුමාගේ නම් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා
- අපේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම්, ඩීල් දාලා ඉවරයි.
75 වැනි නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීම කෙරෙහි මෙරට දේශාපාලන ක්ෂේත්රයේ වැඩි අවධානයක් යොමු ව තිබේ.
මේ අතරතුර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවීම දේශපාලන ක්ෂේත්රයේ පහසුවෙන් බැහැර කළ හැකි සිදුවීම් නොවේ.
එක් අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මුණ ගැසුණි.
“ඔබතුමාලාගේ දේශපාලන කටයුතු කොහොමද? සුපුරුදු ළෙන්ගතුකමින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විමසීය.
“වරදක් නෑ සර්. කරගෙන යනවා. නායකතුමාගේ නම් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා” එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කීය.
“ඒ මොකක්ද? තරමක කුතුහලයෙන් විමසුවේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාය.
රනිල් ගැනත් කියයි
“නෑ සර් අපේ නායකතුමා කවුරුහරි පක්ෂයේ තනතුරුවලට පත්කරන කොට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසන්නේ නැහැ. එතුමාම පත් කරනවා. පසුගිය දවස්වල කිහිපදෙනෙක්ම ඒ විදියට පත් කළා. එහෙම තනි තීරණ ගන්න එක වැරදියි. ඒත් රනිල් වික්‍රමසිංහ නායකතුමා එහෙම නැහැ. හැම තනතුරකටම පත්කරන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසලා.
අනිත් එක තමයි සර්. ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් ආචාර්යවරුන් 41 දෙනෙකු පත්කරන්නත් තීරණය කරලා. මේවා ප්‍රශ්න සර්” යනුවෙන් එම මන්ත්‍රීවරුන් කීහ.
“නායකතුමන් එක්ක කතාකරලා ඔය ගැටලු විසඳගන්න බලන්න” මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මඳක් සිනාසෙමින් පැවසීය.
ජනපති රනිල් බන්දුලට කියූ අමාරු වැඩේ මොකක්ද?
නිදහස් දිනය අභිමානවත්ව සැමරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම වෙහෙසෙමින් පෞද්ගලිකවම එම කටයුතු සොයා බැලුවේය. ඒ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය ලබාගැනීමේ කටයුතු ගැන මෙන්ම ආර්ථික කළමනාකරණය ගැනද අවධානය යොමු කළේය. එසේම පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනද උනන්දු වූයේය.
සඳුදා ජනපති සුපුරුදු ලෙස කැබිනට් හමුවට ගියද, ආර්ථිකයට වැදගත් යෝජනාව කිහිපයක් ද එදින රැගෙන ගොස් තිබුණි. එහිදී ඔහු ඉදිරිපත් කරනු ලැබුවේ රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ යෝජනාවකි. එමගින් ණය පදනම මත වියදම් කිරීම අත්හිටුවීමට යෝජනා කර තිබුණි.
“කැබිනට් අනුමැතිය ලැබුණට පස්සේ මම මේක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට යවනවා.” ජනපති යෝජනාව ඉදිරිපත් කරමින් ඇමති මණ්ඩලයට කීවේය.
“සර් මේක ඉතාම අමාරු වැඩක්. හුඟක් ආයතන ණය පදනම මත තමයි වියදම් ගෙනි යන්නේ.” ඇමති බන්දුල දැරුවේ එවැනි අදහසකි.
“ඔව් මේක අමාරු තමයි. ඒත් අපිට මුදල් නෑ. මේ මාසේ ආදායමට වඩා දෙතුන් ගුණයක් වියදම වැඩියි.” ජනපති කීවේය.
මුදල් වියදම් සීමා කිරීමේ යෝජනාවට අමතරව තවත් යෝජනා ගණනවක් කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණි.
චාල්ස් ගැන ඇමතිවරුන් විමසූවේ කුමක්ද?
ඇමති මණ්ඩල හමුවෙන් පසු ඇමතිවරු ජනපතිගෙන් විමසන්නට වූයේ මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම් චාල්ස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙනි.
“මට ලිපියක් ලැබුණා. හැබැයි තවම ඒක මම පිළිගන්නව ද නැද්ද කියලා තීන්දුවක් අරගෙන නෑ.” ජනපති කීවේ ඇඟට නොදැනීය.
පසුදින මුදල් ඇමති ලෙස ජනපති ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත යොමු කර තිබුණි. එමඟින් කියා තිබුණේ ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම වෙනත් ගෙවීම් කිරීම නවතන ලෙසය. එවැනි ගෙවීම් කරන්නේ නම් එය අනුමත කරන නිලධාරියා පෞද්ගලිකව එම මුදල් ගෙවිය යුතු බවද එම නියෝගයේ දැක්විණි.
ජනපතිගේ කතාව අගය කළේ ඇයි?
අනුරාධපුරයේදි බදු ලිපිගොනු අඩුවීම ගැන ජනපති කළ ප්‍රකාශය බොහෝ දෙනෙක් අගය කර තිබුණි. එම ප්‍රකාශය නිවැරදි ලෙස තේරුම් ගත් සැමදෙනා රට බංකොලොත් වූ ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලද බව එම පිරිසගේ අදහසය.
“ලෝකයේ දියුණු රටවල්වල සෘජු බදු වැඩියි. වක්‍ර බදු අඩුයි. අපේ වක්‍ර බදු වැඩියි සෘජු බදු අඩුයි. දැන් 10%ක වැඩි පඩි ගන්නා කොටස රැක ගන්න අඩු වැටුප් ගන්නා 80%ක් භාවිතා කරනවා. අඩු පඩි ගන්න අයට මේක නොතේරෙන්නේ ඇයි කියලා මට නම් තේරුම් ගන්න බෑ.” ඇමති ප්‍රසන්න කීවේය.
“මෙතන තියෙන්නේ මුළාවක්නේ. දැන් මිනිස්සුන්ට අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා මේක පැහැදිලිව කිව්වානේ මේ අමාරුව ආවේ හිටපු ජනපති ගත්ත වැරදි තීන්දු නිසා කියලා. මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුවල ප්‍රතිඵල එන්නේ මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුවේදි. දැන් ජනතාවට තියෙන අමාරුකම්වලින් අර 10% වාසි ගන්නවා.” වජිර කීවේ එවැන්නකි.
වැටුප් වැඩි කිරීම ගැන ඉඟියක්
“ඔව් තුන්වෙනි කාර්තුවේදි වැටුප් වැඩි කරන්නම් කියලාත් ජනාධිපතිතුමා කිව්වානේ.” රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර ද කීය.
ඡන්දෙ එපා, වී ටික ගන්න සල්ලි දෙන්න
සියල්ල සාවධානව අසා සිටි ජනපති රනිල් වී මිල ස්ථාවරව තබා ගැනීම වෙනුවෙන් වී මිලදී ගැනීමට රුපියල් බිලියන 20ක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට නියම කළේය.
එහිදි අමරවීර ඇමතිවරයා කීවේ ඡන්දේ නොතිබ්බට කමක් නෑ. ගොවියාගේ වී ටික ගන්න සල්ලි දෙන්න ජනපතිතුමනි.” යනුවෙනි.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් හමුදා නිලධාරීන් මුහුණ දෙන දීමනා ගැටලුවක් ද මතු කළේය. එහිදී ජනපති කීවේ මේ ගැන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවකි.
පිරිසක් බියට පත් වී ඇති බව මනූෂ කියයි
ඇමති මනූෂ ජනපතිගේ අවධානයට යොමු කළේ මැතිවරණ උණුසුමත් සමඟ සංචාරක කර්මාන්තකරුවන් බියට පත්ව සිටින බවකි.
“මැතිවරණය තියන්න මුදල් දීලා අන්තිමට රට යළි අරාජික වෙයි කියලා සංචාරක ක්ෂේත්රයේ කණ්ඩායම් බියට පත්ව සිටිනවා. ජනාධිපතිතුමනි මේ ගැනත් බලන්න.” මනුෂ කීවේ දකුණේ සංචාරක කර්මාන්තකරුවන් ඔහුට කී කතාවකි..
අයි.එම්.එෆ්. යන්නේ නැති බව සජිතුයි අනුරයි කියලා
ජනපති රනිල් වෙත මෙහිදී පැනයක් යොමු කළේ ඇමති බන්දුලය. “අයි.එම්.එෆ් යන්නේ නෑ කියලා අනුරත් කියනවා. සජිතුත් කියනවා. මේක අපටත් ප්‍රශ්නයක් වෙයි. මොකද එයාලා කියනවා අපි ගන්න ණය ගෙවන්නේ නෑ කියලා.” ඇමති බන්දුල කීවේ එවැන්නකි.
“අයි.එම්.එෆ් යන්නේ නැතිනම් එයාලා ලංකාවේ ණය පියවන ක්‍රමය කියන්න ඕනේ. ට්‍රිලියනයකට ආසන්න ණයක් ගෙවන්න තියෙනවා.” එහි සිටි නිලධාරියෙකු කීවේය.
ජනපති සඳුදා පෙරවරුවේ සිංහල සංස්කෘතික ආයතනයේ නිලධාරීන් මුණ ගැසී එම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් විමසීමක් කළේය. එහි සිටි පැරණි මිතුරෙකු වූ ඩබ්ලිව්.ජයසිරි සමඟ ද ජනපති ආගිය තොරතුරු කතා කිරීමට අමතක නොකළේය.
ජනපති මෙරට ලෝක බැංකු නියෝජිතයන් හා සකච්ඡා කිරීමේ වගකීම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරූ අතර ඒ අනුව ඔහු අඟහරුවාදා එම නියෝජිතයන් හා සාකච්ඡා කළේය.
ඇමරිකානු දේශපාලන කටයුතු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි
75 වැනි නිදහස් උළෙලට සහභාගී වීම වෙනුවෙන් ජනපතිගේ ඇරයුමෙන් මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ජනපති මුණ ගැසුණේ ජනපති කාර්යාලයේදී ය.
බදාදා දිනයේ ජනපති නුවර බලා පිටත්වීමට යොදා ගෙන තිබුණේ නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සම්මාන ලබාදීමේ උත්සවයකට සහභාගිවීමට ය. එහි පිටත්වීමට පෙර ජනපතිට ලැබුණු ආරංචියකින් කියැවුණේ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සිය අපේක්ෂකයන් වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් වියදම් කිරීමට මැතිවරණ කොමිසම සුදානම් වන බවකි.
ඇප මුදල් කොමිසම වියදම් කරයිද?
ඊට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට හා මැතිවරණ කොමිසමට ගොස් පැමිණිලි කර ඊට විරෝධය පළ කර තිබුණි. ජනපති රනිල් වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත නියම කළේ මේ ගැන පරික්ෂා කර තමන්ට විස්තරයක් ලබා දෙන ලෙසටය.
එදින සවස නුවර ගිය ජනපති රනිල් හමුදා සාමාජිකයන් 77කට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්රදානය කරන ලදී.
ජනපති රනිල් මහනාහිමිවරුන් හමුවෙයි
බ්‍රහස්පතින්දා අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් බැහැදුටු ජනපති රනිල් නිදහස් උත්සවය සාර්ථකව පැවැත්වීමට ආශිර්වාද ලබා ගත්තේය.
එදින සවස 75 වැනි නිදහස සමරමින් සමරු මුද්දරයක් හා සමරු කාසියක් නිකුත් කරන ලදි. රුපියල් 1000ක වටිනාකමකින් යුතු සමරු කාසියක් සහ රුපියල් 50 ක වටිනාකමකින් යුතු සමරු මුද්දරයක් සිහිවටනයක් ලෙස නිකුත් කරනු ලැබීය. ඉන් පසුව මහනුවර ජනපති මැඳුරේදි තානාපතිවරුන් 11 දෙනෙකුට හා මහ කොමසාරිස්වරුන් 11 දෙනෙකුට අක්තපත්‍ර ප්රදානය කෙරුණේ ජනපති සුරතිනි.
මේ අතර නිදහස් දිනට සමගාමීව හමුදා භාරයේ පැවැති උතුරේ ඉඩම් අක්කර 108ක් එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට පැවරුණේ ජනපති අතිණි.
කුරුණෑගල සජිත්ගේ වේදිකාවට ආචාර්යවරුන් 25ක්
සමගි ජන බලවේගය කුරුණෑගල මංගල රැලිය පසුගියදා පැවැත්වුණි. රැලිය ආරම්භ වීමට පෙර සිටම පිරිස් පැමිණෙමින් සිටි අතර විපක්ෂ නායක සජිත් පැමිණෙන විට එම ප්‍රදේශයට සෙනඟ රැස්වී තිබුණි.
ඒ අතර තවත් සිදුවීමක් වූයේ ආචාර්යවරු මහාචාර්යවරු 25කට අධික පිරිසක් එම වේදිකාවට ගොඩවීම ය.
කොන්ත්‍රාත් තහනම් කරන බවට සජිත්ගෙන් තරවටුවක්
අලුත් සංස්කෘතියක් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරමින් හැම පළාත් පාලන මන්ත්‍රිවරයකුටම මන්ත්රිවරියකටම චර්යාධර්ම පද්ධතියක් සකස් කරනු ඇත. නීතිරීති මාලාවක්, ආචාරධර්ම පද්ධතියක් රෙගුලාසි මාලාවක් ද දැනටමත් සමගි ජනබලවේගය නිර්මාණය කොට ඇත.
ඒ අනුව මින් ඉදිරියට පළාත්පාලන මන්ත්‍රීවරුන්, සභාපති හා උපසභාපති කොන්ත්‍රාත් කළ කාලය අවසන් වේ.
ඒ බව සජිත් කුරුණෑගල මංගල රැලියේදී කීවේය.
"අපේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් තහනම්, ඩීල් දාලා ඉවරයි. පාරට තාර දැමීමේ කොන්ත්‍රාත් පස් කොන්ත්‍රාත් වැලි ගොඩදැමීමේ කොන්ත්‍රාත් අවසන්. මින් ඉදිරියට තම තමන්ගේ පුද්ගලික වාසි තකා ඩීල් ගහපු පොලිටිකල් ඩීල් සංස්කෘතිය අවසන්. පළාත් පාලන ආයතන ස්මාර්ට් කවුන්සිල් හෙවත් සුහුරු සභා බවට පත් කරන්නට සමගි ජනබලවේගය කටයුතු කරන අතර, පුනර්ජනනීය බල ශක්තිය, සූරියබල ශක්තිය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ දියත් කරන කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නවා“ යනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
වජිරගේ රැස්වීමට මනූෂ එයි
ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය, බලපිටිය, හිනිඳුම සහ බෙන්තර - ඇල්පිටිය යන මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බලමණ්ඩල රැස්වීම්වලට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැමිණීම ද විශේෂත්වයක් විය.
පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් මේ සඳහා සහභාගිව සිටියහ.
ජාතික එකඟතාවයක් ගොඩගනැඟිමේ අවශ්‍යතාවය මෙන්ම ඒ හරහා සියලුදෙනාගේම එකමුතුවෙන් රට ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද දීර්ඝ වශයෙන් වජිර අබේවර්ධන මෙහිදී පැහැදිලි කළේය.
බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව එතැනට රැස්ව සිටී තරුණ තරුණියන් සමග වෙනමම සාකච්ඡා කිරීමටද වජිර අවස්ථාවක් ලබාගත්තේය.
ඡන්දෙ ඉල්ලපු වජිරගේ වයස එළියට
“වයස කීයද? “ වජිර ඇඟිල්ල දිගුකර එක් අයෙකුගෙන් ඇසීය.
“21යි”
“ඔය වයසට මම දේශපාලනයට ඇවිත් ඡන්දෙත් ඉල්ලනවා..” වජිර පෙරළා ඔහුට පැවසීය.
“ඔයාලා තමයි දැන් ඉස්සරහට එන්න ඕනෑ. ඔයාලාගේ අදහස් යෝජනා අවශ්‍යයි, රට ඉදිරියට ගෙනියන්න. ජනාධිපතිතුමා සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කරන්නේ අපේ රටේ තරුණ පරම්පරාව ගැන. එතුමා දේශපාලනයට ආව දවසේ ඉදන් හැමදාමත් පෙනී සිටියේ තරුණ පරම්පරාව වෙනුවෙන්. අපේ රටේ අනාගතය වෙනුවෙන්. පසුගිය අරගල කාලයේත් හිටපු ජනාධිපතිතුමාව බලයට ගේනකොටත්, මේ රටේ තරුණ පරම්පරාව සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. නමුත් ඒ අය හොයපු සිස්ටම් චේන්ජ් එකට ලැබුණේ වෙනස්ම විදිහේ චේන්ජ් එක.
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සොයාගන්නවත් බැරිවුණා. පොඩි ළමයෙක්ට බොන්නවත් කිරි පිටි පැකට් එකක් සොයාගන්න බැරිවුණා. ලංකාව සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දාලා අවසානේදී බංකලොත් ලේබල් එකත් ඇලෙව්වා.
මේ නිසා රටේ ජනතාව පාරට බැස්සා. රට පුරාම විශාල අරගලයක් ඇතිවුණා. මේ අරගලේදිත් ඉදිරියට ආවේ තරුණ පරපුරයි.
කොහොම නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා, තිබුණු තත්ත්වයෙන් රට ගොඩගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථකව රට ඉදිරියට ගෙනියනවා“ යැයි වජිර ප්‍රකාශ කළේය.
“ඔව්, ඇමතිතුමා, ජනාධිපතිතුමා ඉතාමත් ඉක්මනින් රට ගමන් කරන වැරදි මාර්ගය වෙනස්කළා. නැවතිලා තිබුණු රට නැවත ඉදිරියට ගමන් කරවීමට එතුමාට හැකිවුණා. මාත් විශ්වවිද්‍යාල සිසුවෙක්. එතුමා ගෙනයන වැඩපිළිවෙළ ගැන විශාල පැහැදීමක් අපට තිබෙනවා.”තරුණයෙක් පැවසීය.
වජිර ගාල්ලේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලුවේ මොනවාද?
“බොහොම හොඳයි. ඔයාල තමයි දැන් ඉස්සරහට ඇවිත් එතුමා ගෙනයන වැඩපිළිවෙල ගමට ගෙනියන්න ඕනෑ. ඇතැම් අය මේ වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පවත්වනවා. ඔයාලට පුළුවන් මේ දේවල්වල සත්‍ය අසත්‍යතාවය ගම්වල ඉන්න ජනතාවට අවබෝධ කරලා දෙන්න.
මොකද ලබන මාසය වනවිට අපේ රටට විශාල සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීමට නියමිතව තිබෙනවා. ගාලු දිස්ත්‍රික්කයේ තිබෙන හෝටල් සියල්ලම මේ වෙනකොටත් බුක් වෙලා ඉවරයි. ඉතින් යම් කිසි විදිහකින් කවුරු හරි මේ වැඩපිළිවෙල කඩා කප්පල් කරන්න උත්සාහ කළොත් යන්තමින් ඔළුව උස්සන් ආපු රට නැවත කඩා වැටේවී. විදේශිකයෝ අපේ රටට එන එක නැවතත් නතර වේවි.
ඒ නිසා අපි හැමෝම ඉතාමත් කල්පනාවෙන් වැඩකළයුතුව තිබෙනවා. පක්ෂ, පාට, ආගම් භේද අමතක කරලා අපි සියලු දෙනාම ජාතික ප්රතිපත්තියකට එකතුවිය යුතුයි. තරුණ තරුණයින් විදිහට ඔයාලට මේ වැඩේ කරන්න හරිම ලේසියි.
අපි මේ පැරණි දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුව තිබෙනවා. මේකෙන් බැහැ රට තවදුරටත් ඉදිරියට ගෙනියන්න. රට ලෝකයත් සමඟ ඉදිරියට ගෙනියන්න නම් අපි අලුතින් සිතිය යුතුව තිබෙනවා. මේ නිසා තමයි ජනාධිපතිතුමා කියන්නේ අපි හැමෝම එකතු වෙලා මුලින්ම රට ගැන හිතමු කියලා.
මේ පාර මැතිවරණයටත් ඉදිරිපත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් තරුණ තරුණියන්. ඒ වෙනස අපි ඇති කළ යුතුයි.”
“ඔබතුමා කිව්ව විදිහට අපිත් කැමතියි මුළු රටම වෙනස් වෙනවනම්. දේශපාලනයත් ඒ විදිහට වෙනස් වෙනවනම් ගොඩක් හොඳයි. අපි උත්සාහ කරනවා ඒ වෙනස ඇති කරන්න.” තරුණයෙක් වජිරට පැවසීය.
මහරගමට රට වටෙන්ම තරුණ තරුණියෝ
75 වන නිදහස් සමරුවට සමගාමීව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නාගරික පවිත්‍රතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත.
"75 දී තාරුණ්‍යයේ ආදර්ශය" යනුවෙන් නම් කර ඇති මෙම පවිත්‍රතා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වන දින පෙරවරු 9.00ට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය අසලින් ආරම්භ කෙරුණු අතර, ඊට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. මහරගම අවට ස්ථාන 5ක දින 5ක් තිස්සේ මෙම නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට සමගාමීව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක නගරයක් බැගින් තෝරාගෙන දවස් පහක් තිස්සේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
හරිත ශ්‍රී ලංකාවක් (cleen and green city sri lanka) උදෙසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරෙන මේ ව්‍යාපෘතිය ජනාධිපතිතුමන්ගේම සංකල්පවලට අනුව මීට කලකට පෙර බිහිවූ ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය, යොවුන් පාර්ලිමේන්තුව වැනි සංවිධානවල සහභාගිත්වය හා පුරෝගාමිත්වය ඇතිව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. මෙම වැඩසටහන්වලට ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාව හා පරිසර හිතකාමී ජන කණ්ඩායම්ද සහභාගිත්වය හා අනුග්‍රහය සපයන බව ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය අංශය පවසයි.