
- සර් අපි හිතුවේ ඡන්දය කල්දානවා කියලායි.
- සුමනදාසගේ ඇඳුම ලොක්කා ඇඳ ගත්තද?
- රාජ්‍ය සේවය නිවැරදි වෙන්න නම් අපි ඇත්ත කතා කරන්න ඕන. ඒ ඇත්ත තිත්තයි
ස්වාධීන මැතිවරණ කොමිසම සඳහන් කරන පරිදි මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සමඟ කරළියට පැමිණි නාමයෝජනා හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂවල යම් යම් ගැටුම් ඇති වී තිබේ.
පුංචි ඡන්දය සමඟ අළුයට ගිනි ඇවිළේ
පුංචි ඡන්දයේ නාම යෝජනා සකස් කිරීමේදී පොහොට්ටුවේ, හෙළිකොප්ටරයේ, අලියගේ පමණක් නොව දුරකතනයේද ප්‍රබල මත ගැටුම් ඇති වී තිබේ.
එහි ආසන්නතම සිදු වීම බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයේ නාම යෝජනා සැකසීමේදී ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් රැවටූ බවට පැතිර යන කතාවයි.
ඉම්තියාස්ගේ ද සහයෝගය ඇතිව බේරුවල වර්තමාන නගරාධිපති මසාහිම් මොහොමඩ් අවසන් මොහොතේ සමගි ජන බලවේගය විසින් නාම යෝජනා ලබානොදීමෙන් මෙම බරපතළ අර්බුදය හටගෙන ඇත.
ඉම්තියාස් සජිත්ගෙන් ගැලවෙයිද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සමීපව දේශපාලන කටයුතු සිදු කරන ඉම්තියාස් බාකීර් මාකාර් පසුගිය සතියේදී කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ගොස් තිබුණේ පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා සකස් කිරීම් කටයුතු සඳහාය. පසුගිය පළාත් පාලන මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කර නගරාධිපති ධුරය ලබාගත් මසාහිම් මොහොමඩ්ට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබාදීම සඳහා වන සියලුම කටයුතු සූදානම් කර තිබුණේය.
සමගි ජන බලවේගයේ බේරුවල නගර සභාවේ නාම යෝජනා අර්බුදයට හේතු වසර ගණනාවක් ඈතට දිවයන්නේය.
මීට වසර කිහිපයකට පැවති විරෝධතාවයකට සහභාගීවීම නිසා මසාහිම් මොහොමඩ්ට එක්සත් ජාතික පක්ෂයේ දොර වැසුණේය. මේ නිසා එදා බේරුවලට ස්වාධීන තරග කිරීමට මාසයි තීරණය කළේය.
නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මාසයි සමගි ජන බලවේගයෙන් තරග කිරීමට කැමැත්ත පළකර තිබුණු අතර, ඒ සඳහා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ද එකඟතාව පළ වී තිබුණි.
අබ්ජාඩ් පොහොට්ටුවෙන් සමගි ජන බලවේගයට පැමිණි පළාත් සභා මන්ත්‍රීවරයෙකි. වර්තමාන බේරුවල සංවිධායක ඉෆ්තිකාර් සහ නගරාධිපති මාසයි අතරේ සමඟියක් ඇති කරන ලෙසට ඉම්තියාස් කළ යෝජනාව සජිත් පිළිගෙන තිබුණි.
එක්කෙනෙකුට පළාත් පාලන, අනෙක් කෙනාට පළාත් සභා සහ අනෙක් කෙනාට පාර්ලිමේන්තු මහ මැතිවරණය අවස්ථාව ලබාදෙන ලෙසට ඉම්තියාස් කළ ඉල්ලීමට සජිත් ප්‍රතිචාර දක්වා ඇත්තේ ගුඩ් අයිඩියා කියමිණි.
තුන්දෙනාට සමඟි කර ඡායාරූප ද ගෙන එකමුතු කර ගැනීමට ඉමිතියාස්ගේ යෝජනාව අනුව සජිත් කටයුතු කළේය.
නාම යෝජනා අත්සන් කිරීමට දිගට හරහට රංජිත් මද්දුම බණ්ඩාරගෙන් හා තිස්ස අත්තනායකගෙන් ඇමතුම් ලැබුණත් ඉෆ්තිකාර්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.
නමුත් පසුව නාම යෝජනා අත්සන් කරන අවසන් දිනයේ අවසන් මොහොත වනතුරු මසාහිම් බලා සිටියද ඔහු නොමැතිව අනෙකුත් පිරිස අත්සන් කර තිබුණි.
සජිත් ද්‍රෝහි වුණු බව මසාහිම් කියයි
එහෙත් නාම යෝජනා භාරදෙන විට මසාහිම් මොහොමඩ්ගේ නම කැපී තිබුණි. අවසන් මොහොතේ එය දැනගත් නිසා කිසිවක් කර ගැනීමට ඔහුට නොහැකි වී තිබුණි. ඔහු වහාම දුරකතනයෙන් කතා කර තිබුණේ ඉම්තියාස්ටය.
"බලන්න ඇමැතිතුමා, නායකතුමා මාත් එක්ක ඉදලා ෙෆාටෝ එකකුත් ගත්තා. මට නාම යෝජනා දෙනවා කියලත් කිව්වා. එදා දුන්න පොරොන්දු සේරම අද කඩ කරලා." මේ කතාවෙන් ඉම්තියාස්ගේ හිත බොහෝ රිදී තිබුණි.
පක්ෂ කාර්යාලයට යන විට මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු මැතිවරණ මෙහෙයුම් කමිටුව එහි රැස්වී සිටියේය.
“බේරුවල ප්‍රශ්නයට මගේ කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. ආසන සංවිධායකවරුන් දෙන්නයි, බේරුවල නගරාධිපතියි කැඳවලා ප්‍රශ්නය විසඳන්න. හැමෝම මේ දිහා බලාගෙන ඉන්නවා. පක්ෂය නිවැරදි තීන්දු මෙතනදී ගත යුතුයි.
බලය හා වෙනත් සාධක හින්දා නැවෙන්න හොඳ නැහැ. සම්ප්‍රදායික පක්ෂ වලට වඩා අපි වෙනස් පක්ෂයක්. ප්‍රතිපත්ති හා ආචාර ධර්ම, විනය මුල් කරගෙන තීරණ ගන්න ඕන. මේ වෙලාවේදී පක්ෂය නිවැරදි තීරණයක් ගන්නවාද කියලා මං බලාගෙන ඉන්නවා” යනුවෙන් ඉම්තියාස් දැඩි කලකිරීමෙන් යුතුවම ලෙස අවධාරණය කළේය.
මැතිවරණ කොමිසමේ බෙදීම එළියට
මැතිවරණ කොමිසමේ බෙදීමක් ගැන ද පසුගිදා කියැවිණි. හිටපු පරිපාලන නිලධාරිනියක වූ පී.එස්.එම් චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉවත් වන්නේ මේ අතරවාරයේය.
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉවත් වන බවට වූ පණිවුඩය ජනපතිට ලැබෙන්නේ ජනපති ලේකම් සමන් ඒකනායකගෙනි. ඒ බදාදා සවසය.
“සර් චාල්ස් අයින් වෙනවා කියලා පණිවුඩයක් තියලා තියෙනවා. හෙට උදේම ලියුම එවන බව දැනුම් දුන්නා.” ලේකම් සමන් කීවේ එවැන්නකි.
“මැතිවරණ කොමිසම බෙදිලා කියන එක අපි කිව්වාම විපක්ෂයේ සමහරු අපිට හිනා වුණා. දැන් පැහැදිලි වෙනවානේ අපි කිව්වේ ඇත්ත කියලා.” ඒ අසල සිටි මන්ත්‍රී වජිර කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.
“මේ ගැන ව්‍යවස්ථාදායක සභාවත් දැනුම්වත් කරන්න.” ජනපති විගස ලේකම් සමන් ඒකානායකට කීවේය.
බ්‍රහස්පතින්දා ද ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැති ඇමැතිවරුන් කතා කරන්නට වූවේ මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වීමේ සිද්ධිය ගැනය. ඔවුන් බහුතරයකගේ පැනය වූවේ ඇය අස්වූවේ ඇයි ද යන්නය.
“මැතිවරණ කොමිසම බෙදිලා කියන කතාව දැන් මිනිස්සු පිළිගන්නවා. මේ වැඩෙන් වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ විපක්ෂය.” ඇමැති ප්‍රසන්න කීවේය.
කොමිසම පාර්ලිමේන්තුව දැනුම්වත් නොකළේ ඇයි?
“බෙදිමක් නෑ කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියලා තියෙන්නේ බොරු. දැන් ඒක පැහැදිලියි. මැතිවරණ කොමිසම විපක්ෂයට ඕන විදියට වැඩ කළ බව දැන් ඔප්පුවෙලා ඉවරයි.” ඇමැති බන්දුල ද කතාවට එකතු වූවේය.
“නාම යෝජනා භාර ගත්ත නිසා අපේක්ෂකයෝ දැන් තරගයේ ඉන්නේ. මැතිවරණ කොමිසමත් හිරවෙලා අපේක්ෂකයොත් හිරවෙලා.” ඇමැති ප්‍රමිත බණ්ඩාරගේ අදහස එය විය.
මැතිවරණ කොමිසමට අරගලයේ නීතීඥයාගේ සහාය
“මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුල ඉදලම වැරදි පාරේ ගියේ. නීතිපති උපදෙස් ගන්න කිව්වාම අරගලයේ නීතිඥ සාලිය පීරිස්ව මැතිවරණ කොමිසමේ නීති කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. පෞද්ගලික අංශයෙන් නීතිඥයෙක් ගන්න ඕනා නම් ඇයි රොමේෂ් සිල්වා වැනි නීතිඥවරයෙක් ගත්තේ නැත්තේ. තවත් මේ වගේ වෙනත් ප්‍රසිද්ධ නීතිඥයෝ ඉන්නවානේ.” නීතිඥ දොලවත්ත මන්ත්‍රීවරයා ද කතාවට එක්විය.
ජනපති රනිල් එදින සවස කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට ගියේය. සාකච්ඡාවෙන් පසුවත් බොහෝ දෙනා ජනපතිගෙන් විමසා සිටියේ මැතිවරණය ගැනය. ඒ සැමටම ජනපති දුන් පිළිතුර වූවේ මේ මැතිවරණයට මගේ සම්බන්ධයක් නැත යන පිළිතුරය.
75 අවම පිරිවැයකින්
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ජනපති මුණ ගැසුණේ එදින පෙරවරුවේය. එහිදි ඔහු සියලු පාර්ශ්ව වෙත උපදෙස් දෙනු ලැබූවේ 75 වැනි නිදහස් දින උත්සවය අවම පිරිවැයකින් අවසන් කරන ලෙසය. මූල්‍ය අර්බුදය හේතුවෙන් වියදම් කප්පාදු කොට නිදහස් දිනය සමරන ලෙස ද ජනපති මෙයට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේය.
ජනපති රනිල් ඉකුත් සතිය කොළඹ ගත කළ අතර සදුදා සිට සිකුරාදා තෙක් ඔහු ජනපති ලේකම් කාර්යාලයේ රැඳී සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිලධාරීන් පිරිසක් ද ඔහු සඳුදා මුණ ගැසුණේය. එදිනම සවස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩගාරයට පිරිනැමුණු රුපියල් බිලියන 03 ක චෙක්පත ජනපතිට පිළිගැන්වූවේ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසිනි.
එදින සවස ජනපති මුණ ගැසීමට පැමිණියේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු සාමාජිකයන්ය. නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් රංගේ, සභාපති වජිර, ජාතික සංවිධායක සාගල ඇතුළු නිලධාරීන් පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටියහ.
මැතිවරණයට සූදානම් වන ලෙස ජනපති දැනුම් දෙයි
මහලේකම්වරයා විසින් පළමුව නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් විස්තරයක් කළ අතර ඉන් පසුව ආසන සංවිධායකවරුන් පත් කිරීම ගැන ද කතා කළේය. ඒ සියලු කතා සාවධානව අසා සිටි ජනපති රනිල් මැතිවරණයට සුදානම් වන්නැයි පිරිසට පැවසීය.
“සර් අපි හිතුවේ ඡන්දය කල් දානවා කියලායි.” රංගේ විමසද්දී ජනපති කීවේ මම කොහෙවත් කියලා නෑ ඡන්දේ කල් දානවා කියලා.” යනුවෙනි.
මෙහිදි නියෝජ්‍ය නායක රුවන් විමසා සිටියේ “සර් මොන ඡන්දයටද අපි සුදානම් වෙන්න ඕනේ.” කියාය. රුවන්ගේ පැනයට සැවොම කොක් හැඬලූහ.
“පක්ෂයක් වුණාම එන ඕනේම ඡන්දයකට මුහුණ දෙන්න ඕනේ.” ජනපති කීවේ කොක් හඬලෑම නතරවූ විගසය.
අගමැතිගේ තිත්ත ඇත්ත කතාව
රාජ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූයේ දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා යි.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.
න්‍යාය පත්‍රයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ කතාවට ඇරයුම් කිරීම ඇරඹීමත් සමඟ "අද මම කියන ඇත්තට රාජ්‍ය නිලධාරීන් ගෙන් 90% කැමති වෙන එකක් නෑ." අසල සිටි නිලධාරියා සමඟ අගමැතිවරයා කීය.
"ඔබතුමා එහෙම කියන්නේ ඇයි"
" රාජ්‍ය සේවය නිවැරදි වෙන්න නම් අපි ඇත්ත කතා කරන්න ඕන. ඒ ඇත්ත තිත්තයි" කී අග්‍රාමාත්‍යවරයා වේදිකාවට ගොඩ වූවේය.
කතාව අතරතුර රාජ්‍ය සේවය පසුගාමී වීමට හේතු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා දූෂණය, අකාර්යක්ෂමතාවය, වැඩ වැඩි කරගැනීම හා උදාසීන බව නිසා රාජ්‍ය සේවය බිඳ වැටී ඇති බවයි.
සජිත්ට ගජකේෂී ලු
විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට බලවත් යෝගයක් ඔහුගේ කේන්දරේ තිබෙන බව දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ප්‍රකාශ කොට තිබුණි.
සුමනදාසගේ මේ කතාවට සමගි ජන බලවේගයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු උත්සවයක් අවසානයේ දී හිතවතුන් දෙතුන් දෙනෙකුට මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“මහින්ද මහත්තයා අමාරුවේ දැම්මා වගේ සුමනදාස අපේ ලොක්කත් අමාරුවේ දාන්න හදනවා. සුමනදාසගේ ඇඳුම ලොක්කා ඇඳගත්තද?” යනුවෙන් ඌව පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.
වජිරගේ අනාවැකිය
ඒ සමඟම දකුණු පළාත නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සුමනදාසගේ අනාවැකි මොකක්ද? වජිර අබේවර්ධනයි නියම අනාවැකි කියන්නේ .ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ රට පාලනය කරන්නේ රනිල් කියලා. ඒක හරියට හරි ගියා” යනුවෙන් අනෙක් මන්ත්‍රීවරයා කිවේය.
“සුමනදාසත් ගාල්ලෙනේ. වජිර මන්ත්‍රීතුමත් ගාල්ලේ. සුමනදාස මහත්තයට වජිර මන්ත්‍රීතුමාගෙන් දේශපාලන සාස්තරේ ඉගෙන ගන්නයි තියෙන්නේ” යනුවෙන් අනෙක් මන්ත්‍රීවරයා පැවසුවේ.
සජිත් කුරුණෑගලින්
පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ පළමු රැලිය ලබන 29 වැනිදා කුරුණෑගලදී ආරම්භ වීමට නියමිතය. සමගි ජන බලවේගය කුරුණෑගලින් මැතිවරණ ව්‍යාපාරයක් පළමු වතාවට ආරම්භ කරන්නේ මෙවරය. නිරුත්තර රටක උත්තරය යන තේමාව සහිතව මෙවර මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සෑම දිනකම උදෑසන පක්ෂ කාර්යාලයේ දී රැස් වන්නේය. ඇතැම් සාකච්ඡා සඳහා සජිත්ද සහභාගී විය.
"මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙලා තියෙනවා" මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
"මේවා නාටක. ඡන්දය කල්දාගන්න එක එක නාටක දැන් රඟ දක්වනවා. ජනතා මතය කොතැනද තියෙන්නේ කියලා දන්න නිසා තමයි මේ බය වෙලා ඉන්නේ"සජිත් කීවේය.
"ඔබතුමා හැම ඡන්දයකදීම වැඩිම රැස්වීම් ප්‍රමාණයක් කතා කරනවානේ. මේපාර රැස්වීම් ගණන 80කට සීමා කළා" නලින් බණ්ඩාර කීවේය.
"ඒ වුණාට දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ශක්තිමත්ව රැස්වීම් පවත්වන්න ඕන"සජිත් යෝජනා කළේය.
අනුර කඩපනහෙන් වැඩ අල්ලයි
පළාත් පාලන මැතිවරණය අත්‍යවශ්‍ය බව සඳහන් කරමින් ඊට මහත් උද්යෝගයෙන් සූදානම් වන ජාතික ජනබලවේගය පසුගිය 25 වැනිදා අනුරාධපුරයෙන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළේය.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කඩපනහ අසලදී මෙම මංගල රැස්වීම පැවැත්විණි.
සෑහෙන පිරිසක් මෙම රැලියට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණ සිය සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රචාරය කර තිබුණි.
සල්ගාදු ක්‍රීඩාංගණය ගැන එස්.එම්. කිව්වේ මොනවාද?
මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විමසා තිබුණි.
“ජනතා විමුක්ති පෙරමුණේ කඩපනහයේ රැස්වීමට ඔය කියන තරම් සෙනඟ ආවද? ඔවුන් එස්.එම්. චන්ද්‍රසේනගෙන් විමසීය.
“මොන පිස්සුද? වැඩිම වුණොත් 3000ක් ඉන්න ඇති. මං දන්නේ නැද්ද කඩපනහ ළඟ ඉන්න පුළුවන් ගණන. අපි නම් මංගල රැලි හැමදාම පටන් ගත්තේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයෙන්. ක්‍රිඩාංගණයෙන් එළියෙත් අපිට සෙනඟ හිටියා.මං හිතුවේ අපි වගේ ජනතා විමුක්ති පෙරමුණත් මංගල රැලිය සල්ගාදු ක්‍රීඩාංගණයෙන්ම පටන් ගත්තා කියලා. ඒත් ඒගොල්ලන් කඩපනහ ළඟට ගිහිල්ලා" යනුවෙන් මඳක් සිනහවෙමින් එස්.එම්. චන්ද්‍රසේන එම මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට තිබුණි.
නාමල්ට නිවන් සුව ප්‍රාර්ථනා කළ අය හෙළි වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය දවසක සමාජ මාධ්‍යය හරහා සජීවිව ජනතාව සමඟ අදහස් හුවමාරු කරගැනීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
මෙහිදී ඇතැම් පිරිස් නාමල් රාජපක්ෂට හා රාජපක්ෂ පවුලට නිවන්සුව ප්‍රාර්ථනා කළහ.
මෙම නිවන්සුව ප්‍රාර්ථනා කළ පිරිස් පිළිබඳව නාමල්ගේ හිතවතුන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා සොයා බැලු අතර එහිදී දැනගැනීමට හැකි වී තිබෙන්නේ මෙසේ නිවන්සුව ප්‍රාර්ථනා කළ බොහෝ පිරිසක් පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට ඉතා සමීපව ක්‍රියා කළ පිරිසක් බවයි.
අජිත් රාජපක්ෂට ගුරුවරුන් ප්‍රසාදය පළ කළේ ඇයි?
මුලාසනයේ සිටින අවස්ථාවලදී කමිටු රැස්වීම් වලදී සිටින අවස්ථා හැර අනෙක් අවස්ථාවලදී අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ඉඩ ලද විට පාර්ලිමේන්තුව නැරඹිම සඳහා මහජන ගැලරියට පැමිණෙන පාසල් දරු දැරියන් සහ ගුරුවරුන් හමුවීමට ක්‍රියා කරයි.
“ඔබතුමා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන හුඟත් කතා කරනවා. අපි මාධ්‍යවලින් දකිනවා. ඒක හොඳයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන්න නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය යුතුයි" යනුවෙන් පසුගියදා හමු වු ගුරුවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණි.
වජිරගෙන් ගාල්ලේ ජනතාව ඇහුවේ මොනවාද?
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, අක්මීමන, අම්බලන්ගොඩ සහ හික්කඩුව යන මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින පුරාම එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 75 වසරක දේශපාලන ඉතිහාසය පිළිබඳව වජිර මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
“ඇතැම් අය 75 වසරක ඉතිහාසයට දොස් කියනවා. අපිට හිටපු ජාතික නායකයන් විශාල ප්‍රමාණයක් මේ ඉතිහාසය තුළ ඝාතනය කරලා තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ට පාර්ලිමේන්තුව තුළදීම බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.
ප්‍රේමදාස මැතිතුමන්ව මහ මඟදී මරා දැමුවා. චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. වාසනාවකට එතුමිය බේරුණා.
මේ ආකාරයට අපේ ජාතික නායකයන්ව ඉලක්ක කරගත් ඝාතන රැල්ලක් මේ 75 වසර තුළ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා ජනතාව ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අපි හැමෝම එකතු වෙමු කියලා. ” යැයි වජිර පැමිණි සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.
සිය කතාව අවසානයේදී පැමිණ සිටි අයට දැනගන්නට දේවල් ඇත්නම් තමන්ගෙන් විමසා ඒ ඒ අයට ඇති ප්‍රශ්න නිරාකාරණය කර ගැනීමටද වජිර අවස්ථාවක් ලබා දුන්නේය.
“ගරු ඇමැතිතුමනි, අපිට මතකයි. හරියටම මීට අවුරුද්දකට කලින් ඔබතුමා මේ විදිහටම බලමණ්ඩල රැස්වීම් අමතලා අපිට කිව්වා, 2023 වනවිට මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කියලා. අද ඒ දේ සියයට සියයක් ඇත්ත වෙලා තිබෙනවා. ඒත් ඇමැතිතුමා, ඡන්දයක් වෙනුවෙන් දරාගන්න බැරි තරම් මුදල් ප්‍රමාණයක් මේ වෙලාවේ වියදම් කළාම නැවත රට පසුගිය මාස කිහිපයේ තිබුණු තත්ත්වයට පත්වෙයිද?” පැමිණ සිටි පිරිසෙන් කෙනෙක් වජිරගෙන් විමසීය.
“ඔබ ඉතාමත් හොඳ ප්‍රශ්නයක් තමයි ඇහුවේ.
අද අපේ රටට අවශ්‍ය කරලා තිබෙන්නේ මැතිවරණයක් නෙමෙයි. රට ගොඩගන්න නිවැරදි සැලැස්මක් තමයි අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ. ඒ සැලැස්ම ඇතිව තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර ගත්තේ. ඒ සැලැස්ම දැන් එතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය දවස් කිහිපය වෙනකොට අපේ ණය ප්‍රතිව්‍යහගත කරන්න ඉන්දියාව පොරොන්දු වෙලා තිබුණා. චීනයත් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. තව නොබෝ දිනකින් මේ වැඩකටයුතු සියල්ලක්ම නිමා වේවී.” යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රතිචාර දැක්වීය.
ගීතා, සීතා හා ශිරන්තිට ඉහළ පිළිගැනීමක්
“The First International Congress of Influential Women” (බලවත් කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනය) 2023 ජනවාරි 20 වැනි දින අලංකාර ටෙහෙරාන් නගරයේදි පවත්වනු ලැබීය.
මෙහිදී ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනිමින් ආගන්තුක සත්කාර ඉහළින්ම තිබූ බවත් එම සමුළුව කාන්තාවන් වන අපගේ විශාල ජයග්‍රහණයක් බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.
මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ද සහභාගී වූහ.