වැය වන ප්‍රමා­ණ­යට සරි­ලන ආදා­ය­මක් ලබා ගත හැකි ලෙස විදුලි බිල වැඩි කළ යුතුයි | සිළුමිණ

වැය වන ප්‍රමා­ණ­යට සරි­ලන ආදා­ය­මක් ලබා ගත හැකි ලෙස විදුලි බිල වැඩි කළ යුතුයි

විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රටේ සමාජ කථිකාවක් ගොඩ නැඟී ඇත. කෙසේ වෙතත් විදුලි බිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව පිළිගත යුතුය. ඒ සඳහා බලපානු ලබන හේතු කාරණා දෙකක් වෙයි. එහිදී පළමු වැනි හේතුව වන්නේ රුපියල අවපාත වීම‍, ඒ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ පොසිල ඉන්ධන වියදම ඉහළ යෑම සහ ඒ අශ්‍රිතව විදුලිබල මණ්ඩලයේ ජනන වියදම ඉහළ යෑමයි. IMF ගිවිසුමත් සමඟ මේ වන විට රටේ ආර්ථික අර්බුදයක් පැන නැඟී ඇත. කෙසේ වුවත් විදුලිබල මණ්ඩලයට සහනාධාර දීමට රජයට අවශ්‍යතාව තිබුණත් ඒ සඳහා වත්කමක් නොමැති වීම පවතින අර්බුද නිසා ඇතිවූ ගැටලුවකි. ඒ හේතුව නිසා විදුලි සහ ජල පද්ධතිය පවත්වා ගෙන යෑමට සහ මහජනතාවට විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලයේ වියදමට සරිලන ප්‍රමාණයට ආදායමක් ලබා ගත හැකි ආකාරයට මේ විදුලි බිල වැඩි කළ යුතුය.

විදුලි බිල අය ක්‍රමය සංශෝධනය කරන ක්‍රමවේදය 2013 - 2014 කාලවකවානුවේදී සකස් කෙරිණි. මේ විදුලි බිල වසරකට දෙවරක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඒ අනුව සකස් කර තිබුණත් එය නිසියාකාරව මෙතෙක් ක්‍රියාත්මක නොවුණි. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේදී විදුලි බිල සංශෝධනය කිරීමෙන් විදුලි බිල නිරන්තරයෙන් ඉහළ යන්නේය කියන මතයේ නොසිට, එහෙත් නිරන්තරයෙන් වියදම ආශ්‍රිතව සරිලන ආකාරයට සංශෝධනය විය යුතුය. මෙහිදී මගේ අධ්‍යයනය අනුව විදුලිබල මණ්ඩලය විශාල අධිතක්සේරුවක් කර ඇති බව දක්නට ලැබෙයි. මේ අධිතක්සේරුව ඉවත් කර වියදම කොපමණද යන්න ඒ පිළිබඳ නිසි ලෙස ගණනය කර සකස් කර සරිලන වැඩි කිරීමක් කළ යුතුය. මහජන උපයෝගිතා කොමිසමට භාර දී ඇත්තේ බැරූරුම් කටයුත්තකි. එනම් මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර නිසි වියදම කොපමණද යන්න සකස් කර ඒ වියදමට සරිලන අය ක්‍රමයක් සකස් කිරීම වැදගත් වෙයි.

මේ විදුලි බිල ක්‍රමවේදය පසුගිය වසරේ සංශෝධනයට ඉල්ලීමක් කළ ද විදුලිබල මණ්ඩලය ඉන් පෙර සංශෝධනයකට ඉල්ලීමක් කර නොතිබිණි. එහෙත් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී ඉල්ලීමක් කළද සංශෝධනයකින් තොරවම එම ඉල්ලීම ඉල්ලා අස් කර ගන්නා ලදි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලන ගණන ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම බැඳී නැත. එම වැඩි කිරීම්වලදී විදුලිබල පනතේ ඇති ආකාරයට සාධාරණ වියදම ලබා දිය යුතුයි. වසරකට දෙවරක් විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බලය සංශෝධනය කිරීමට ඉල්ලීමක් කළ යුතුය. මේ අවස්ථාවේදී අලුතින් ගැසට් එකක් නිකුත් කළ ද ඉන් පෙර සිට වසරකට දෙවරක් සංශෝධනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණද, එය මෙතෙක් ක්‍රියාත්මක නොවිණි. සංශෝධනයේදී සාධාරණ වියදම ලබා දිය යුතුය. සාධාරණ වියදම යනු විදුලිබල මණ්ඩලය ලියකියවිලි මඟින් ඉල්ලුම් කරන ප්‍රමාණය නොවෙයි.

එසේම වියදම සම්බන්ධයෙන් විගණනය ක්‍රමවේදයන් නිවැරදි දැයි බැලිය යුතුය. විශේෂයෙන්ම තාපබලාගාරවල පසු අධ්‍යයනයක් කර ඒ වියදම නිවැරදි දැයි බැලිය යුතුයි. අය ක්‍රමයේ සංශෝධනයකට පෙර මේ ආකාරයට අවශ්‍ය කටයුතු කිහිපයක් කළ යුතුය. නමුත් මෙය වසර ගණනාවක් සිදු වී නැත. අගෝස්තු මාසයේ අය ක්‍රමය සංශෝධන කර ඒ පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිකුත් කර ඇත. විදුලිබල මණ්ඩලයේ වගකීම නම් නියම මිල සකස් කිරීමයි. විදුලි බිල වැඩි වීමෙන් ඒකකයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිදු වෙයි. ඉල්ලුම ගිගා වොට් පැය එනම් ඒකක බිලියන1000ක් අඩු වුවහොත් විදුලිබල මණ්ඩලයේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 80ක් පමණ අඩු වෙයි. සාමාන්‍යයෙන් රුපියල් හයක් පමණ ඒ අනුව අඩු වෙයි. විදුලිබල මණ්ඩලයට නියම ගණනය කර ගැනීමට නොහැකි වූ විට මහජනතාවට විශාල විදුලි බිලක් ගෙවීමට සිදු වෙයි.

මුලින්ම මේ ගණනය සිදු කළේ 2022 සැප්තැම්බර් දක්වා විදුලි බල පරිභෝජනය අනුවයි. ඒ ප්‍රමාණය ඔක්තෝබර්- නොවැම්බර්, දෙසැම්බර් මාසවලද වෙතැයි යන උපකල්පනය මත එයට 1%ක් - 2%ක් වැඩි කර 2023 පරිභෝජනය සකස් කිරීමේදී ද මේ ක්‍රමවේදයම අනුගමනය කර ඇත. ඉකුත් ඔක්තෝ­්බර් මාසයේදීත් විදුලි බිල වැඩි විය. ඒ වැඩි වීමත් සමඟ රටේ 10% - 12% අතර විදුලි පරිභෝජනය අඩු විය. මහජන උපයෝගිතා කොමිසම නිකුත් කර ඇති නිර්දේශවලත් එය පැහැදිලිය. විදුලි මිල වැඩි වීමෙන් පසු පරිභෝජනය කෙසේ අඩුවීද යන්න පිළිබඳ පැහැදිලි වෙයි.

මේ අඩු වීම සම්බන්ධයෙන් සැලකිලිමත් නොවී මේ ගණන් බැලීම සිදු කර ඇත. මෙහිදී 10% අඩු වීම 2023 ලෙසින්ම ගත් විට ගිගාවොට් පැය එනම් ඒකක බිලියන 1,500ක් පමණ පරිභෝජනයෙන් අඩු වේ යැයි ගණනය කරගත හැකිය. මෙවැනි දේ පිළිබඳ මූලික ගණන් හැදීමේදී යම් යම් තත්ත්වයන් මතු වෙයි. අපට ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය වුවත් ආනයනය කර ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා නැව් 5ක් පමණයි. එහෙත් පාරිභෝජන අවශ්‍යතාව අනුව නැව් 26ක් මෙරටට ගෙන ආ යුතුය. මේ කාලවකවානුව තුළදී පෙබරවාරි සිට මැයි දක්වා වැඩි මිලක් තෙල් සඳහා ගෙවිය යුතු කාලයයි. ඒ නිසා ජනවාරි සිට මැයි මාසය දක්වා වැඩි වියදමක් වැය වෙයි.

මෙය මුදල් භාවිතයේ ක්‍රමවේදයක් මිසක ආදායමේ ක්‍රමවේදයක් නොවෙයි. සාමාන්‍යයෙන් ආදායම ගණනය කරනු ලබන්නේ වසරකට ඇති වියදම අනුවයි. විදුලිබල මණ්ඩලය පවසන ආකාරයට ප්‍රමාණවත් මුදල් නොමැති හෙයින් ගල් අඟුරුවලට ගෙවිය යුතු වන්නේ බැංකු ණයක් ලබා ගැනීමෙනි. ඕනෑම ආයතනයක මූලික මුල්‍ය කළමනාකරණය කළ යුතුය. සාමාන්‍ය විදුලි බිල කියන කරුණේදී ද ඒ අදාළ ආයතන රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මහජනයාගේ මුදලින් විශේෂ යැපීමක් නොමැතිව ඒ අයගේ වියදම පියවා ගත යුතුය. නිසි මූල්‍ය කළමනාකරණය යනු එයයි.

අද වන විට මේ මතුවී ඇති ගැටලුවට ප්‍රධාන හේතුව අපේ විදුලිබල පද්ධතියෙන් පසුගිය වසර 15 -20 කාලය තුළ ඉතා විශාල ලෙස පැවැති පුනර්ජනනීය බලශක්ති පද්ධතියක සිට පිටරටින් ආනයනික පොසිල ඉන්ධන පද්ධතියකට මාරු වීමයි. 2021 සිට 2023 වසර සමඟ සංසන්දනය කිරීමේදී ජල විදුලි, සූර්යය සුළං, කුඩා ජල විදුලි බලාගාර විදුලි බලයේ මිල ගණන් වෙනස් නොවිණි. මේ මිල ගණන් වෙනස් කිරීම සිදුවී ඇත්තේ සම්පූර්ණයෙන් පොසිල ඉන්ධන මිල ඉහළ යෑමෙනි. මේ ප්‍රශ්නය මතු වීමට හේතුව ද කාලයක් පුරා මේ පොසිල ඉන්ධන මත යැපීමේ ප්‍රතිශතය වැඩි වීම නිසයි. මෙය කාලාන්තරක් තිස්සේ ඇති වූ ප්‍රශ්නයක් නොව ඇති කරන ලද ගැටලුවකි.

ඇතැම් වගකිව යුතු පාර්ශ්වයන් පුනර්ජනනීය බලශක්තිවලට හැකි තරම් බාධක හෙළීම නිසා එය නතර කිරීමට සිදු විය. කුඩා ජල විදුලි බලාගාරවලින් ඒකක බිලියන එනම්, ගිගා වොට් පැය 1700 වැනි ප්‍රමාණයක් නිපදවීම සිදු විය. මේ ක්‍රමවේදය 2016දී නතර විය. ඒ ක්‍රමවේදය නැවත ආරම්භ කරන ලද්දේ 2022 අගයි. ආණ්ඩුව විසින් විදුලි බල පනත සංශෝධනය කිරීමක් සිදු කරන ලදී. 2016 වසරේ නතර නොකළේ නම් මේ ඒකක බිලියන එනම් ගිගා වොට් පැය 1700 නිපදවීම මේ වන විට ඒකක බිලියන 3,500 වැඩි වීමට ඉඩ තිබිණි. එසේ වූයේ නම් පසුගිය වසරේදී විදුලි කප්පාදු කිරීමට අවශ්‍ය නොවිණි. රුපියල් විස්සට එක් ඒකකයක් ලබා ගැනීමට හැකියාව තිබුණි. අද අපි මිල දී ගන්නේ එක් ඒකකයක් රුපියල් 90 වැනි මුදලකටය. මේ ප්‍රශ්නය මතු වූයේ පොසිල ඉන්ධන මත යැපීමෙනි.

පසුගිය වසර ඇතුළත ශීඝ්‍ර ලෙස පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණ ද විදුලිබල මණ්ඩලය ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. මූල්‍ය දන්ත අනුව 2021 වසරේ පුනර්ජනනීය බල ශක්ති ‍වැය කළ ප්‍රමාණයට වඩා 50% ලෝකයේම වැඩිපුර පුනර්ජනනීය බලශක්ති නිපද වීම ආරම්භ කර ඇත. මෙරටේ තවම එවැනි පියවරක් ගෙන නැත. ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය බව සියලු දෙනා දැන සිටියද ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමක් සිදු වී නැත.

2019දී ආරම්භ කොට 2030 වසරේදී රටේ 80%ක් පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමේ ඉලක්කයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීම හොඳ නිවැරදි ක්‍රියාමාර්ගයකි. විදුලි බලමණ්ඩලයේ ජල විදුලි බලාගාරවලින් ඒකකයක වියදම සාමාන්‍යයෙන් රුපියල් තුනකි. කුඩා ජල විදුලි බලාගාරවලින් සූර්ය සුළං සහ දැව මඟින් ක්‍රියාත්මක වන විදුලි ඒකකයක මිල රුපියල් 18කි. වහල මත ඉදිවන සුර්ය බලාගාරවලින් වැය වන මුදල රුපියල් 22කි. ගල්අඟුරුවලින් රුපියල් 42කි. පුද්ගලික තාප බලාගාරවලින් රුපියල් 80ක් පමණ වෙයි. විදුලිබල මණ්ඩලයේ තාපබලාගාරවල වියදම රුපියල් 70 සිට 150 වෙයි. ඉල්ලුම ඒකක බිලියන දාහකින් අඩු වුවත් මේ 1000කින් අඩු වීමෙන් වැඩිම වියදමින් ජනනය කරන කොටසක් අඩු කළහොත් රුපියල් බිලියන 90ක් පමණ අඩු වෙයි. මෙහිදී ආර්ථීක විද්‍යා‍වේ සිද්ධාන්තයක් අනුව ඕනෑම දේක මිල වැඩි වූ විට පරිභෝජනය අඩු වීම සිදු වෙයි. මිල වැඩි විට ගණන අඩුවෙයි. ඒ අනුව විදුලි මිල වැඩි වූ විට ඔක්තො­්බර් මාසයේ සිට 10% මිල අඩු විය‍. පෙබරවාරි මාසයේ 70% වැඩි වූ විට විදුලි පරිභෝජනය අඩු වෙයි. ‍විදුලි මිල දෙගුණක් වුවහොත් 8% සිට 10% අඩු වෙයි. යළිත් මිල වැඩි වීමකදී 70% වුවහොත් නැවත වරක් මේ සමීකරණය අනුව පරිභෝජනය 20% එනම්, ඒකක බිලියන එනම් ගිගා වොට් පැය 3,000ක් අඩු වෙයි. ඒ අනුව ගෘහස්ත පරිභෝජකයන්ගේ විදුලි ඒකකයක මිල රුපියල් 8ක සිට රුපියල් 75ක් දක්වා වැඩි වෙයි. විදුලි බිල වැඩිවීමේ බර වැඩි වශයෙන් දැරීමට සිදු වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලටයි. මේ ප්‍රායෝගික ක්‍රමවේදයට ගැළපෙන ආකාරයට මිල ක්‍රමය සකස් කළ යුත්තේ සමාජ විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යාඥයන් විසින් මිස විදුලි ඉජිනේරුවරුන් විසින් නොවේ. එය නිවැරදි සිද්ධාන්ත අනුව සිදු කළ යුතුය. මෙවැනි දේ කිරීමේදී සිද්ධාන්තයන් වෙයි. එනම්, ගෙවීමේ හැකියාව මත සිදු විය යුතුය. ඕනෑම රටක පිළිගැනීම අනුව මූලික අවශ්‍යතාව ගෙවීමේ හැකියාව අධ්‍යයන මත පවති. ඒ අනුව කොතරම් වැඩි කළ යුතු ද යන තීරණය ගැනීම සිදු වෙයි.

මහජන උපයෝගිතා කොමිසමට මහජනතාව යෝජනා ඉදිරිපත් කළ යුතුය. නිසි ඉල්ලුම කුමක්ද යන්න සකස් කර එය පියවිය හැකි අඩුම ක්‍රමවේදය සකස් කර එයට සරිලන සාධාරණ අය ක්‍රමයක් සකස් කර එයට සාධාරණ ලෙස බෙදී යන අය ක්‍රමයක් සකස් කර ගත යුතුය. එය කෙටිකාලීන අවශ්‍යතාවයි. මධ්‍ය කාලීන අවශ්‍යතා නම් විදුලිය නිපදවීමට ඇති වියදම අඩු කිරීමයි. එය පුනර්ජනනිය බල ශක්ති පද්ධතියට එකතු කළ යුතුය. මූලික ලෙස කළ හැක්කේ විකල්ප ලෙස කඩිනමින් වහල මත සකස් කරන සූර්ය බල පද්ධතිය සකස් කිරීමයි. පුනර්ජනනීය බලශක්තිය විදුලි බල පද්ධතියට එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර එය රජයේ මැදිහත් ක්‍රමවේදයක් මත දිරි ගැන්වීමේ ක්‍රමවේදක් මත කළ යුතුය.

 

Comments