
ජීවය රඳා පවතින්නේ හිරුගේ කිරණත් මවගේ සෙනෙහසත් නිසා බව ලොව වෙසෙන සියලු දෙනා පිළිගන්න සත්‍යයකි. ඒ අතරිනුත් මවු සෙනෙහස කිසිම මිනුම් ඒකකයකින් මැනිය නොහැකි වන්නේ එහි ඇති සුවිශේෂී බව නිසාමය. දස මසක් කුඩා කලලයක් කුස දරා එම කලලය මිනිස් ජීවියෙක්, බිලිඳෙක් බවට පත්වන තුරු දැඩි පරිශ්‍රමයකින් සහ කැපවීමකින් නොයෙකුත් අපහසුතා විඳිමින් කුස තුළ රැකගෙන ලොකුම වේදනාව විඳ එම බිලිඳා බිහි කරද්දීත් මවකගේ සිතේ එම දහසක් වේදනාවන් අමතකව ඉස්මතු වන්නේ ආදරය සහ සෙනෙහසයි. එම සෙනෙහසේ ආදරයේ සංකේතය වන්නේ මවගේ රුධිරය කිරි බවට පත්වීමයි.
එවන් කැපවීමක් කළ හැකි ලොව වෙසෙන එකම කෙනා මව පමණි. මවු සෙනෙහස උරුම මිනිස් මවකට පමණක් නොව සියලු සත්ත්වයාට උරුම දෙයකි. දිනපතා ලොව නන් දෙසින් එවැනි පුවත් නිතර අසන්නට දකින්නට ලැබේ.
එවන් සෙනෙහසක් ආදරයක් ලොවට පිදූ ආදරණිය මවක් 90 විය ඉක්මවා වයෝවෘධව රෝහලක ලෙඩ ඇඳක් මත සිට තම එකම පුතාගේ ආදරය රැකවරණය බලාපොරොත්තුවෙන් දෙනෙත් දල්වා බලා සිට අසරණව කළුතර නාගොඩ රෝහලේදී දෙනෙත් පියා ගන්නේ මුළු ලෝකයම ආදරය කරුණාව බෙදා ගන්නා නත්තල් සමය අවසන් වී නව වසරක් ආරම්භ වීමට දිනයක් තිබියදීය.
මතුගම, වලගෙදර, මුණමල්වත්ත පදිංචි මාවතගේ දෝන සොපි නෝනා නමැති එම වයෝවෘද්ධ කාන්තාව තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් අනතුරුව නිවෙසේ හුදෙකලාව ජීවත් වී ඇත්තේ එකම පුතා විවාහ වී රාගම මඟුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි වී සිටීම නිසාය.
තමන්ට අයත් වැලිපැන්න, මඩවල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් විකුණා පුතාට විදේශ රැකියාවකට යාමට මුදල් ලබා දීමෙන් අනතුරුව ඇය පදිංචි නිවෙසද පුතාගේ පුතාට (මුනුපුරාට) ලියා දීමෙන් අනතුරුව ඔවුන් ඇය පිළිබඳව කිසිම සොයා බැලීමක් හෝ සැලකීමක් නොදැක්වීම නිසා රෝගීව ලෙඩ ඇදේ අසරණව සිටියදී වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් විසින් ඇයව ඉත්තෑපාන රෝහලට ඇතුළත්කර ඇති අතර ඇගේ රෝගී තත්ත්වය සුව නොවීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.
රෝගීව රෝහලේ ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි එම අසරණ මව පත්ව සිටි තත්ත්වය පිළිබඳව මිය යාමට දින කීපයකට පෙර මෙසේ පැවසුවාය.
“මම වලගෙදර මුණමල්වත්තේ පදිංචි වෙලා ඉන්නේ. මම විවාහ වෙලා හිටියේ ජීටින් වැදිසිංහ සමඟ. එයා ලෙඩ වෙලා මියගියා. ඊට පස්සේ මම තනියම ගෙදර ජීවත් වුණා. අපේ පුතා විවාහ වෙලා රාගම ප්‍රදේශයේ ජීවත් වුණේ.
ටික කලකට පෙර පුතා ඇවිත් කිව්වා අම්මේ මට රට රස්සාවකට යන්න තියෙනවා ඒකට සල්ලි ඕනා. ඉඩමක් විකුණලා මට සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ මම වැලිපැන්නේ මඩවල තිබුණු අපේ ඉඩමක් විකුණලා පුතාට රට යන්න සල්ලි දුන්නා. ඊට පස්සේ පුතාගේ නෝනයි (ලේලි) පුතයි ඇවිත් අම්මා තනියම ඉන්න එපා අපිත් එක්ක යමු කියලා මාව රාගම එයාලගේ ගෙදරට එක්කරගෙන ගියා. එහෙදි එයාලා මට හොඳින් සැලකුවා. ඒ අතර ලේලි මට කිව්වා අම්මාව අපි හැමදාම බලාගන්නම් අම්මගේ ගේ අපේ පුතාගේ නමට ලියන්න කියලා. ඊට පස්සේ මීට අවුරුදු හයකට විතර කලින් මම අපේ ගේ මුනුපුරා නමට තෑගී ඔප්පුවකින් ලිව්වා. ඊට පස්සේ මාව නැවත ගෙදරට ගෙනත් දැම්මා. මම ජීවත් වුණේ සමෘද්ධියෙන් සහ වැඩිහිටි දීමනාවෙන්. ජීවත් වෙන්න අමාරු වෙන කොට ළමයෙකුට නවාතැන් දීලා රුපියල් 2000 ක් ලබාගත්තා. අසල්වැසි අයත් මට හැකි අයුරින් උදවු කළා.
ඒ අතර මට හොඳටම අසනීප වුණා. මට ඇඳෙන් නැගිටගන්නවත් බැරිවුණා. මම ලෙඩවෙලා ඉන්න බව දැනගත්ත වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නෝනා කෙනෙක් මාව බලන්න ඇවිත් මාව ලෙව්වන්දුවේ දොස්තර මහත්තයෙක් ළඟට එක්කරගෙන ගියා. ඒ බෙහෙත්වලට අඩු වුණේ නැති නිසා ලේ පරීක්ෂා කරලා විෂබීජයක් ඇතුළුවෙලා කියලා ගිලන් රථයකින් ඉත්තෑපාන රෝහලට අරගෙන ගියා.
එහෙදිත් මාව බැලුවේ ඒ නෝනාමයි. ඉත්තෑපාන ඉස්පිරිතාලෙ අයත් මට හොඳින් සැලකුවා. මගේ අසනීපය අඩු වුණේ නැති නිසා ඉත්තෑපාන රෝහලෙන් නාගොඩ රෝහලට ගෙනාවා. තවමත් මාව බලන්න පුතාවත්, එයාගේ පවුලේ අයවත් ආවේ නැහැ. මට ඇඳෙන් බහින්නවත් බැහැ. මාව ඉස්පිරිතාලෙට ඇතුළත් කළ නෝනා තමයි මාව පුළුවන් විදිහට බලාගන්නේ. මට පැම්පස්, කෑමබීම ගෙනත් දෙනවා. දැන් මගේ අතේ කීයක්වත් නැහැ.
පුතාගේ පවුලේ අය මට සලකන්නේ නැති නිසා මගේ ගේ මුනුපුරාට ලියපු ලෝයර් නෝනාව හම්බවෙලා මීට මාස 6 කට විතර පෙර මම ගේ ලියපු තෑගි ඔප්පුව අවලංගු කර දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ නෝනා කිව්වා පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා. ඒ පැමිණිල්ල දැම්මත් කිසිම දෙයක් සිදු වුණේ නැහැ. මට සැරින් සැරේ පොලිසියට යන්න ත්‍රීවීල්වලට දෙන්න සල්ලිත් නැහැ.
අපේ ගෙවල් ළඟ කෙනෙක් පුතාට කෝල් කරලා මම අසනීපෙන් කියලා කිව්වම එයා කිව්වලු අම්මව බලන්න එයාලට එන්න අපහසුයි. අම්මා මියගියොත් අවසන් කටයුතු කරන්නම් කියලා. දුක් මහන්සියෙන් හදපු දරුවා මට සලකන්නේ ඒ විදිහටයි. පිට මිනිස්සු නැත්නම් මම මැරිලා ගොඩක් කල්. මගේ ගේයි ඉඩමයි තිබුණානම් කොටසක් විකුණලා හරි ජීවත්වෙන්න තිබුණා. පුතාට යුතුකම් ඉටුකරන්න ගිහින් අද මම අසරණ වෙලා ඉන්නේ. ඉස්පිරිතාලේ අනිත් ලෙඩ්ඩු බලන්න එයාලගේ පවුලේ අය එනකොට මම ලෙඩ ඇඳේ තනියම ඉඳගෙන බලාගෙන ඉන්නවා කවදා මගේ පුතා මාව බලන්න ඒවිද කියලා.“
එසේ පවසා දින කීපයක් යන්නට මත්තෙන් රෝහලේදීම එම මව මරණයට පත්වූ අතර ඇයගේ ඥාතීන් සහ අසල්වාසීන් එක්ව මෘතදේහය ඇයගේ නිවසට රැගෙනවිත් එහි දිනක් තැන්පත් කර අවසන් ගෞරව දක්වා පසුදින ආගමික වතාවත් සිදුකර භූමදාන කිරීමට කටයුතු කළ අතර එම අවස්ථාවේදී මුණමල්වත්ත සෙනෙවිරත්නාරමාධිපති ඉඳුරුවේ සුමනානන්ද හිමියන් අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.
“මනුෂ්‍යයෙකුගේ හදවතේ තිබිය යුතු එකම දේ මිනිස්කමයි. අම්මට තාත්තට ගරු කරන්න, ආදරය කරන්න ඕනේ. අම්මා තාත්තාව රැකබලා ගන්න ඕනා. අම්මා තාත්තට ලොකු දේවල් නොතිබෙන්න පුළුවන්. දරුවන් දෙමාපියන්ට ලද දෙයින් යුතුකම් ඉටුකරන්න ඕනේ. අයිතිවාසිකම් ලියා කියා ගත්තානම් තමන්ගේ යුතුකම් ඉටු කරන්නත් ඕනේ. නමුත් ඒක මෙහි සිදුවුණේ නැහැ. ඒ පිළිබඳව ගම්වාසීන් හැටියට අප බොහොම කනගාටුවට පත්වෙනවා.“ යැයි උන්වහන්සේ වදාළ සේක.