
දමිත්‍රි ගැන කිසිම දෙයක් මෙතෙක් අහන්න ලැබිලා නෑ. මං හිතන්නෑ එහෙම අහන්න ලැබෙයි කියලත්
හැමෝගෙන්ම මට අහන්න ලැබුණු එකම වචනෙ තමයි මම “ජීවිතේ දැකපු ලස්සනම බ්‍රයිඩ් ඔයා කියන එක”
අපේ අම්ම වුණත් හරිම ආසයි දමිත්‍රි මේ ක්ෂේත්‍රයේ ඉන්නවට
මේ ලෝකෙ ලස්සනම ඇස් දෙක තියෙන්නේ එයාට
පුංචි තිරයේ ආකර්ෂණයට ලක්වුණු රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම පසුගිය දිනවල විවාහ දිවියට එළැඹුණා. ඒ අතරින් දමිත්‍රි සුබසිංහ කියන්නේ කාගේත් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය 9 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හි පැවැති මංගල උත්සවයේ දී සුන්දර මනාලියක් ලෙසින් හැඩගැන්වුණු දමිත්‍රි පැමිණ සිටි සැමටම නෙතට රසඳුනක් වුණා. ඇයගේ අත ගත් මනාලයා වුණේ කේසර විකුම් රත්නායකයි. මේ සොඳුරු කතාබහ ඔවුන් සමඟයි.
වෙඩින් ප්ලෑනර් කෙනෙක් නෑ කිව්වට දමිත්‍රි හරි ලස්සනට වෙඩින් එක ප්ලෑන් කරලනේ?
කිව්වට විශ්වාස කරයිද මන්ද. ඇත්තටම අපිට වෙඩින් ප්ලෑනර් කෙනෙක් හිටියෙ නෑ. මාස 4 ක වගේ ඉඳන් තමයි මායි කේසරයි වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගත්තේ. අපිට උදවු කළ අය බොහෝ දෙනෙක් හිටියා. ඒ ඒ අයට භාර දුන්න කොටස එයාලගෙම වැඩක් වගේ කවුරුත් හොඳටම කළා. මට ඕන වුණේ එන කට්ටියටයි අපේ කට්ටියටයි දවසම එන්ජෝයි කරන්න පුළුවන් විදිහට දවස ප්ලෑන් කරන්න. නිකන් වාඩි වෙලා කාල බීල ඉන්නවට වඩා සින්දු කියලා, නටලා හැමෝටම මතක හිටින දවසක් කරන්න. ඒ දවස ලස්සනට ගලා ගෙන යන විදිහට ප්ලෑන් කරන්න දිනූෂ පියදාස, සහන් සිතිජ සහ කසුන් ගොඩක් මහන්සි වුණා. ප්ලෑන් කරද්දි පොඩි පොඩි බාධා ඇති වුණත් අවුට් පුට් එක හොඳටම තිබුණා. ඒ ගැන නම් හරිම සතුටුයි.
ඉන්දියානු චාරිත්‍රයට කහ ගාන එක දැන් ලංකාවෙත් පැෂන් එකක් වෙලා. දමිත්‍රිත් ඒක කළේ පැෂන් එකට ද?
අනේ නැහැ. මං හරිම ආසයි දමිළ සංස්කෘතියට. මගේ ලොකු ආසාවක් තිබුණා කවදහරි මං විවාහ වෙන දවසට දමිළ චාරිත්‍රත් කරනවාමයි කියලා. ඒ විදිහට තැල්ල බැන්දා, මුද්ද හෙව්වා. දමිළ චාරිත්‍ර ඒ විදිහටම කරලා ඒ උත්සවෙත් කළා. කහ ගාන එක නම් ඉන්දියානූ චාරිත්‍රයක්. මට ඒකත් කරන්නම ඕන වුණා. කේසරත් කැමැති වුණා ඒකට. බොහෝ අය එයාගෙන් අහල තිබුණා මෙයා ටැමිල් ද කියලත්.
තරුණියකගේ ලස්සනම දවස තමයි ඇය සොඳුරු මනාලියක් වෙන දවස. දමිත්‍රිගෙ හිතේ මැවුණ ඒ රුව සැබැවින්ම එදා පෙණුනද?
ඒක නම් කියන්නම ඕන. මනාලියක් කියලා මම මවපු රූපේ මං හිතුවටත් වඩා හොඳින් මට මවල දුන්නේ සුභාෂ් අබේවික්‍රම අයියා. ඒ ගැන කියන්න වචන නැහැ. එදත් අදත් හැමෝගෙන්ම මට අහන්න ලැබුණු එකම වචනෙ තමයි ‘මම ජීවිතේ දැකපු ලස්සනම මනාලිය ඔයා කියන එක‘. ඒකෙ ලොකුම බර දෙන්න ඕන සුභාෂ් අයියට. නයෝමා, සඳුන්, ලියෝ ධනුෂ්ක. ග්‍රෑන්ඩ් ෆ්ලෝරා, සීලන් සාරි, විජිත්, බෝර්ක් ටු ගෝ වගේ ගොඩක් දෙනා මගේ හීනෙ හිතුවටත් වඩා ලස්සනට පාට කළා.
ජීවිතේ සොඳුරුම දවසෙ ලස්සනම තෑග්ගක් දීලා කේසරව සර්ප්‍රයිස් කළා කියලා ආරංචියි?
ඒක නම් මගේ හිතේ තිබුණු ලොකුම ආසාවක්. කේසර හරි ආසයි සින්දු කියනවට. කියන්න බැරි වුණාට එයා හරිම ආසයි. එයා තමයි මගේ ලොකුම ෆෑන්. මට ඕන වුණා එයා වෙනුවෙන් සින්දුවක් කරන්න. එයා දශමයක්වත් මේ ගැන දැනන් හිටියෙ නෑ. එයාට නොදැනෙන්න ඒකෙ වීඩියෝ එක කරන්න ගිහින් තමයි ලොකුම කට්ට කෑවේ. ධනුෂ්ක, සමාධි අයියලා ඇතුළු ටීම් එකටම ස්තුති කරන්න ඕන ඒකට. ෆ්‍රී ෂූට් එක කරනව කියලා වෙන සින්දුවක් දාලා තමයි ඕකෙ වීඩියෝ ටික කරගත්තේ. වෙඩින් එක දවසෙමයි රිලීස් කළේ. ඇත්තටම කේසර සර්ප්‍රසිස් වුණා. ඒක දැකල එයාට ඇඬුණා. මං හරිම වාසනාවන්තයි. මං වෙනුවෙන් මගේ වටේ ගොඩක් දෙනෙක් හිටියා. වෙඩින් ප්ලෑනර් කෙනෙකුත් නැතුව හැමෝම කතා කරන දෙයක් කරන්න පුළුවන් වුණ එක ගැන හරිම සතුටුයි. මං මනමාලි වෙලා සින්දුව ගැන කියද්දි නිමේෂ් කුලසිංහ අයියා තමයි මං සින්දු කියලා නෑ කියද්දිත් නෑ නෑ ඔයාට පුළුවන් කියලා මට මා ගැන විශ්වාසයක් ඇති කළේ. ලිව්වේ තරින්ද අයියා. වීඩියෝ එක කළේ ධනුෂ්ක සේනාධීර, මික්ස් කළේ අමිත් ගුරු. සඳමිණි, නිසල්, රවීන්, නදීශා, මල්කි තමයි ගොඩක් උදවු කළේ.
කේසර නම් සර්ප්‍රයිස් වුණා කියමුකෝ. දමිත්‍රි සර්ප්‍රයිස් වෙන දෙයක් වුණේ නැද්ද?
එදා කේසරගෙ ඩාන්ස් එක තමයි මාව සර්ප්‍රයිස් කළේ. මොකද එයා ඩාන්ස් කරන්නෙම නෑ. පුදුමයි එයා එදා ඩාන්ස් කළා.
දමිත්‍රි කේසරට කැමති වෙන්න විශේෂ හේතුවක් තිබුණ ද?
අපි දෙන්නා හොඳම යාළුවො විදිහට මං එයාව හොඳින් දැනගෙන හිටියා. එයා හරිම නිවිච්ච කලබල නැති කෙනෙක්. අවංක හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම මේ ලෝකෙ ලස්සනම ඇස් දෙක තියෙන්නේ එයාට.
විවාහය කියන වගකීමත් එක්ක දමිත්‍රිගෙ අනාගත සැලසුම් කොහොම ද?
ගිය අවුරුද්දේ රැකියාව සඳහා කේසරට විදෙස්ගත වෙන්න වුණා. අපේ වෙඩින් එකට තමයි එයා ලංකාවට ආවේ. රැකියාව සඳහා ඔහු නැවත යායුතුයි. අනාගතේ වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. ඉඩ ලැබෙන වෙලාවලදි එයා ඇවිත් යාවි. අම්මලත් කියන්නේ එක පවුලක් විදිහට ඉස්සරහට යන්න ඕන. ඒ නිසා ඔයාලා දෙන්නා තනියම ජීවත් වෙන්න. එතකොට තමයි ජීවිතේට අත්දැකීම් ලැබෙන්නේ කියලා. සැලසුම් නම් ගොඩක් තියෙනවා.
කේසරගෙ ගෙදරින් මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?
කේසරගෙ ගෙදරින් ලැබෙන සහයෝගය ගැන නම් කියලා නිම කරන්න බෑ. එයාලගේ අම්මා මාරම ආසයි මං මේ ෆීල්ඩ් එකේ ඉන්නවට. එයත් නැටුම් කරපු කෙනෙක්. සාමාන්‍යයෙන් මං අපේ අම්ම එක්ක තමයි ෂූටින් යන්නේ. කේසරගෙ අම්ම කියලා තියෙන්නේ හදිසියේ අම්මට එන්න බැරිදාට කියන්න එයා එන්නම් කියලා.
බැංකු නිලධාරිනියක්ව හිටි කාලෙ තමයි කේසරට දමිත්‍රිව මුණගැහෙන්නේ. දමිත්‍රි රංගනයට පිවිසෙනවට බයක් හිතුණෙ නැද්ද, කේසරත් අපේ කතාවට සම්බන්ධ කරගත්තෙ ප්‍රශ්නයක් අහන ගමන්?
අපි දෙන්නා හොඳ යාළුවො විදිහට ඉන්න කාලේ තමයි දමිත්‍රි රංගනයට යොමු වුණේ. අපිත් නොදැනිම තමයි අපි අතරෙ ආදරයක් ඇති වුණේ. මං දමිත්‍රිව ගොඩක් අධ්‍යයනය කරලා තිබුණේ. ඒ නිසා බයක් දැනුණෙ නෑ. මේක මාත් ආස ෆීල්ඩ් එකක්. එයත් ආසාවෙන් කළ දෙයක් නිසා එහෙම බයක් දැනුණෙ නෑ.
හොඳම යෙහෙළිය ජීවන සහකාරිය කරගන්න හිතුණේ ඇයි?
මම එහෙම හිතුවෙ නෑ. ඒත් ඒක එහෙම වුණා. එයාගේ හැම දේකටම වගේ මං කැමතියි. එයා ගොඩක් සංවේදී කෙනෙක්. හරිම හොඳයි. ඕනම කෙනෙක්ගේ හිතේ ඇඳිච්ච ආස කරන රූපයක් තියෙනවානේ මෙන්න මේ වගේ ගතිගුණ තියෙන මෙන්න මේ වගේ කෙනෙක්ට තමයි මං කැමැති කියලා. මාත් ආස වුණේ ඩාන්සින් කරන, තැන්පත්, ලස්සන කෙනෙක්ට. එහෙම කෙනෙක් හමුවුණා.
කේසර දමිත්‍රිට රංගනය ගැන සීමා දානව ද?
එයාට කිසිම සීමාවක් දාන්න දෙයක් නෑ. මං එයාව හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. මං හිතන්නෙ නැති විදිහට එයා ළඟ සිමාවන් තියෙනවා. මං මේ දේ කළාට ප්‍රශ්නයක් නෑ කිව්වත් එයා කියනවා මං එහෙම කරන එක හරි නෑ. ඔයාට නිකන් දුක හිතුණොත්. ඒ වගේ කෙනෙක් එයා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ.
එයා වෙනස් වෙයි... නැති වෙයි කියලාවත් බයක් දැනුණෙ නැද්ද?
එහෙම ප්‍රශ්නයක් නැහැ. මාත් ආසයි එයා රඟපානවට. එයා හරි ආසාවෙන් කරන දෙයක් නිසා එහෙම දැනුණේ නෑ.
බැංකු ක්ෂේත්‍රයයි රංගනයයි කියන්නේ වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්. කොහොමද ඒ ගළපා ගැනීම.?
මෙහෙමයි එයා බැංකු ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් නිසා මේ ගැන අවබෝධයක් තියෙනවා. රංගනය කියන්නෙත් මාත් කැමති ෆීල්ඩ් එකක්. මාත් සම්බන්ධ වුණානේ. මමයි දමිත්‍රියි පෝය කතාවක ඉඳලා තියෙනවා. පාන්දර ඇහැරෙන්න ඕන, රෑවෙලා එන්න වෙනවා. ඒ තේරුම් ගැනීම මටත් ලැබුණා. ඒ නිසා ගැටලුවක් නෑ.
රංගන ශිල්පිනියක් වුණාම කටකතා හැදෙනවා වැඩියි. දමිත්‍රි ගැන එහෙම දෙයක් අහන්න ලැබුණොත්?
දමිත්‍රි ගැන කිසිම දෙයක් මෙතෙක් අහන්න ලැබිලා නෑ. මං හිතන්නෑ එහෙම අහන්න ලැබෙයි කියලත්. අපේ අම්ම වුණත් හරිම ආසයි දමිත්‍රි මේ ක්ෂේත්‍රයේ ඉන්නවට. අලුත් සින්දුවක් ආව ගමන් එයා අහනවා මේකට කවර් ඩාන්ස් එකක් කරන්නැද්ද කියලා. අනික මාත් සෝෂල් මීඩියාවල ගැවසෙන කෙනෙක් විදිහට ඒ සයිඩ් එක ගැන හොඳට දන්නවා.
ඡායාරූප ධනුෂ්ක සේනාධීර