හිතට කටුවෙන් අනින ‘වචන’ | Page 2 | සිළුමිණ

හිතට කටුවෙන් අනින ‘වචන’

"මං කීයටවත් හිතුවෙ නෑ ඔයා මට ඔහොම කතා කරයි කියලා, " ඇය දැඩි කනස්සල්ලකින් පැවසුවාය.

"ඒත්, මං හිතලා කිව්වෙ නෑ. මටත් හිතා ගන්න බැරි වුණා ඒ වචන එවේලෙ කොහොමද ආවෙ කියලා " උත්තරයක් හදා ගන්නට නොහැකිව මොහොතක් පසු වූ ඔහු අන්තිමේදී එසේ පිළිතුරු බැන්දේය.

" හිතන්නෙ නැතුව කොහොමද එහෙම නපුරු කතා කියන්නෙ. දිගින් දිගටම ඔහොම වෙන්න ගියොත් මං ඔයත් එක්ක වැඩි දවසක් තව ඉන්නෙ නෑ. " ඇය හුන් තැනින් නැඟිට්ටේ අනතුරු ඇඟවීමක් ද කරමිනි. 

රණ්ඩු සරුවල්, නොහොඳ නෝක්කාඩු පුද්ගල සම්බන්ධතාවලට අලුත්, අමුතු ඒවා නොවේ. කවර තරාතිරමක පුද්ගලයන් පිළිබඳ සොයා විමසා බැලූවද කිසි දිනෙක නොහොඳ නෝක්කාඩු නොවූ යුවළක් ඇත්නම් ඒ බොහෝ කලාතුරකිනි. මේ රණ්ඩු සරුවල්, නොහොඳ නෝක්කාඩු බොහෝ දුරට බත ඉදෙන තෙක් පමණකැයි කීම පෙරදිග විශ්වාසයකි. සෑහෙන දුරකට එය ප්‍රායෝගික ඇත්තකි. එහෙත් මේවා ඉතා අවාසනාවන්ත අවසානයක්, නොපැතූ නොසිතූ කෙළවරක් දක්වා ඇදී යන්නට ද ඉඩ නැතුවා නොවේ. ඊට බලපාන්නා වූ හේතු අතරින් එක්තරා ප්‍රධානතම කාරණාවක් වන්නේ කටුක වදන් ය.

මේ කටුක වදන් හා ප්‍රකාශ ඒ හැටි කල්පනා කිරීමකින් හෝ සැලසුම් කිරීමකින් තොරව අප මුවින් පිට වෙන්නට ඉඩ තිබේ. එහෙත් ඒවා පිළිබඳ යථාර්ථය තේරුම් ගන්නට හැකි නම් ඒ හරහා තව තව දලුලමින් වැඩෙන්නට ඉඩ ඇති ගිනි දැල් නිවා දමන්නට අපට ඉඩක් ලැබෙයි. කෝප ගත් විට අප අතින් අපේ කිට්ටුවන්තයන්ට වුව කියැවෙන මේ කටුක හා ප්‍රකෝපකාරී වදන්වල ඇත්ත කුමක්ද?

කටුක කතා බස් ඇතිවීම හා දිග්ගැසීම අදියර පහකින් සිදු වන බව පැවසෙන අතර එයින් දෙකක්ම අපට නොදැනීම පාහේ සිදු වන ඒවාය. මේ සෑම අදියරක් පාසාම ඇඩ්‍රිනලින් හා කෝර්ටිසොල් ඉහළ නැඟීමක් සිදු වන බැවින් මේ රණ්ඩු සරුවල් හෝ වාද විවාද යටපත් කිරීම හෝ සමහන් කිරීම එබැවින් ඉතා අපහසු කටයුත්තක් වෙයි.

වැරදි වටහා ගැනීම් කවර සාමාන්‍ය පුද්ගලයකු අතින් වුව සිදු විය හැකිය. මිනිස් මොළය තුළ තම කිට්ටුවන්තයකු ගැන වුවද වැරදි හැඟීමක් උපදින්නට ගත වන්නේ තත්පරයෙනුත් හැටෙන් පංගුවක් තරම් ඉතා කෙටි කාලයකි. ඉහත කී අදියර අතුරින් අප පළමුව ඇද වැටෙන්නේ මේ අදියරටය. එය බොහෝවිටම උපකල්පනයක් වන්නට පුළුවන. මේ උපකල්පනය පැහැදිලි කළ නොහැකි ඍණාත්මක හැඟීමක් ඇති කරන බැවින් ඒ තුළින් කාංසා ගතියක් මතු වෙයි.

මේ අදියරෙන් ඒ ප්‍රකෝපකාරී සංවාදය අවසන් කරන්නට අපට හැකිද? ඔව්, එහෙත් මෙතැනදී එය අපට කළ හැකි වන්නේ නියාමාකාරයෙන්ම අනෙකාගේ චරිත ස්වභාවය තේරුම් ගෙන සිටීම තුළිනි. බොහෝ විටම මෙබඳු තත්ත්ව ඇති වන්නේ විවිධාකාරයේ හැඟීම් හා චිත්තවේගවලට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවය. දුක, වරදකාරී හැඟීම, ලජ්ජාව, කනස්සල්ල මුසු තැවීම, කෝපය ආදිය ඒ අතර වෙයි. අනෙක් අතට ඕනෑම ගින්නක් ඇවිළෙන්නේ ඊට සැපයෙන ඉන්ධනය නිසාය.

හබයේ බරපතළකම අඩු කර ගන්නට නම් කළ හැකි තවත් දෙයක් වන්නේ තම කිට්ටුවන්තයාගේ සැබෑ ස්වභාවය වටහා ගන්නට උත්සාහ කිරීමය. උදාහරණයක් වශයෙන් පවසතොත් අපේ කිට්ටුවන්තයා වුවමනාවටත් වඩා සංවේදී පුද්ගලයකු වන්නට ඉඩ තිබේ. කටුක වදන්වලින් ගිනි තබාගන්නට පෙර ඔහුගේ හෝ ඇගේ එකී ගති ස්වභාවය ගැන ඇබින්දක් කල්පනා කරන්නට හැකි වන්නේ නම් තත්ත්වය යම් තාක් දුරකට සමනය කරගන්නට අපට හැකි වනු ඇත. කෝපයට පත් විට සීමාවක් නැතිව බෙරිහන් දීම, තිගැස්සෙනසුලු තැනැත්තකු වීම, හිතේ ඇතිවෙන අදහස් හරි හැටි කියා ගන්නට අපොහොසත් අයකු වීම, වුවමනාවට වඩා පරෙස්සම් වන්නට උත්සාහ කරන්නකු වීම, ඍණාත්මක තැනැත්තකු වීම ආදී වශයෙන් වූ බොහෝ සැඟවුණු චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ තිබිය හැකිය. තම ආදරණීයයා හෝ කිට්ටුවන්තයන්ගේ එබඳු ලක්ෂණ නිවැරදිව අධ්‍යයනය කර ගෙන ඉන්නට යමෙකු මේ කාරණයේලා බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය. ඊළඟ අදියර පීඩාවකදී, කනස්සල්ලක්, කෝපයක් දැනුණු විටකදී මොළය ඉබේම පාහේ ක්‍රියාත්මක වන ආකාරයයි. ප්‍රේම සම්බන්ධයකදී මෙබඳු කතා දුර දිග යන්නේ බැණුම් හේතුවෙනි. මෙය හිතාමතා සිදුකෙරෙන බැණ අඬගසාගැනීමක් නොවේ. හිත රිදෙන, අපහසුතාවටත්, පීඩාවටත් පත් වන ආකාරයේ ප්‍රතිචාරයක් වන්නට පුළුවන.

මෙබඳු අවස්ථාවකින් එපිටට නොයා ඉන්නට අපට හැකිද? එහෙත් මේ ක්ෂණික බැණුම් පාලනය පුරුදු පුහුණු විය හැකි නම් මහා ආරවුලක් බවට පත් වන්නට යන කාරණාවක් පවා යටපත් කර ගන්නට අපට හැකි වනු ඇත. හැම විටෙකම අප කල්පනා කළ යුත්තේ, එසේත් නැතිනම අප අපටම බලකල යුත්තේ හැකි සෑම විටකම සංවාදයට, විවාදයට සාමකාමී වේදිකාවක් තනා ගැනීමය. මේ වූ කලී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම වගකීමකි.

ඉබේම පාහේ සිදුවන බැණුම් නිසා දුර දිග යන්නට ඉඩ ඇති මේ කටුක වචන හුවමාරුව ඉනික්බිති වැටෙන්නේ තුන් වැනි පියවරටය. ඒ එළිපිටම සිදු කරන බැණුම් හා බැණ ගැනීම්ය. මෙහිදී බැණුම් හා චෝදනා කර ගැනීම් වරදවා වටහා නොගත යුතුය. චෝදනා කර ගැනීමකදී සිදු වන්නේ එකිනෙකාගේ ක්‍රියාකලාප හා වගකීම් පිළිබඳ සිදු කෙරෙන බැරෑරුම් අදහස් හුවමාරු කර ගැනීමකි. බැණුමකදී සිදු වන්නේ වරද හෝ ලජ්ජාව මුළුමනින්ම පාහේ අනෙකා මත පැටවීමය. බැණීම මෙහිදී එයින් වෙනස් වන්නේ එය අනෙකාගේ කෝපය අවුස්සන්නට හේතු වන බැවිනි. එබැවින් බැණුම වෙනුවට ඊට වඩා තරමක් වෙනස් උපක්‍රමයකට යන්නට අපට සිදු වෙයි.

"බලනවා තමුසෙ මුළු හවස් වරුවම ඉතින් විනාස කළානෙ." කියනු වෙනුවට "දැන් වෙච්ච දේ වුණා කියමුකො. දැන් මොකක්ද අපට කරන්න පුළුවන්?" යැයි හිතන්නට හෝ අසන්නට හෝ දෙදෙනාගෙන් කෙනකුට හැකි විය යුතුය. එසේ නොවී ඊළඟ අදියරට වැටෙන අන්දමෙන් කතාව දිග්ගැසුණේ නම් එය කොහෙන් කෙළවර වන අභාග්‍යයක් වේදැයි සිතන්නට දෙදෙනාගෙන් කෙනෙකුට හෝ හැකි නම් එය වාසනාවකි. එබැවින් මේ අදියරේදී යම් උපක්‍රමයකින් මේ සිත් රිදීම හෝ රිදවීම වෙන අතකට හරවා ගන්නට හැකි නම් එය ජයග්‍රහණයකි.

ඊළඟ අදියර පළමු අදියර තුනට වඩා භයානකය. මෙහිදී සිදු වන්නේ ප්‍රති හිංසාව, එකට එක කිරීම හෙවත් පළිගැනීමය. හිතේ ක්ෂණිකව උපදින වැරදි වටහා ගැනීම් ඒ අදියරේදී වළක්වා ගන්නට හෝ යටපත් කරගන්නට හෝ නොහැකි වීම හේතුවෙන් වාචික හෝ ඇතැම් විට කායික වශයෙන් හෝ ප්‍රතිචාර දක්වන්නට දෙදෙනාගෙන් එක්කෙනකු හෝ දෙදෙනාම හෝ පෙලඹීම මෙහි ස්වභාවයයි. එය පළමුව ආරම්භ වන්නේ සාමාන්‍ය චෝදනා කර ගැනීමක් ලෙසිනි. මෙකී චෝදනා කර ගැනීම් වැඩි වේලාවක් හෝ කාලයක් ගත නොකරම සමාව ප්‍රකාශ කිරීමකින් හමාර කර ගන්නට පිළිවන්කමක් තිබේ. එහෙත් එය එතැනින් යටපත් කර ගන්නට සමත් නොවුණහොත් සිතාමතාම සිදු කරන හිංසා පීඩා, ලජ්ජාවට පත් කිරීම් හා බියවැද්දීම් දක්වා මේ තත්ත්වය ඔඩු දුවන්නට පුළුවන. මේ තත්ත්වය වළක්වා ගන්නට අපට පුළුවන්ද? ඊට අප කුමක් කළ යුතුද?

මෙවේලේ අපට කරන්නට හැකි හොඳම දේ නම් එබඳු අවස්ථාවක අපේ සිරුරේ ඇති වන වෙනස්කම් ගැන හිත යොමු කිරීමයි. දැඩි චිත්තවේග කැලඹීමකට පෙර එබඳු ශාරීරික වෙනස්කම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. මාංසපේශී තද වීම, හකුපාඩා තද වීම, හෘද ස්පන්ද වේගය ඉහළ යෑම ආදී වෙනස්කම් මෙබඳු අධිකතර කැලඹිලි ස්වභාවයකදී හඳුනා ගන්නට පුළුවන.

අප කවරකුට වුව අපටම ආවේණික වූ හර පද්ධතියක් තිබේ. නොඑසේ නම් රැක ගෙන ආ තත්ත්වයක් හෝ සමාජය විසින් ආරෝපණය කළ, පිළිගැනුණු තත්ත්වයක් අපට හිමි වී තිබේ. එය කෙළෙසා ගන්නට අප බොහෝ දෙනා නොකැමතිය. මෙන්න මේ කාරණාව මෙවේලේ ඉදිරියට ගතහොත් අපට මේ ගැටුම යම්තාක් දුරකට යටපත් කර ගන්නට හැකි වෙයි. අනෙක් කාරණය නම් අප මේ ක්‍රෝධ සහගතව කතා කරන්නේ අපේම ආදරණීයයකුට බව යළිත් වරක් කල්පනා කර බැලීමයි.

නොදැනීම පාහේ ඔබ පත් වන මූලික අදියර දෙකේ කඩ ඉම පැන, තුන් වැනි අදියරේදී බැණුම යටපත් කර ගන්නටද, හතර වැනි අදියරේදී ඒ බහින්බස් වීම් වෙනතක හරවා ගන්නට ද නොහැකි වූ විට අප අන්තිමේදී වැටෙන්නේ ඉතාමත් සාහසික හා අසීරු අඩියකටය. එනම්, උපරිම ප්‍රතිචාර ක්‍රියාත්මක වන අඩියටය. උපරිමයට ඇඩ්‍රිනලින් හා කෝර්ටිසොල් ක්‍රියාත්මක වන අදියරකටය.

ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වන්නේ යමකුගේ නාඩි වැටීමේ වේගය 100 ඉක්ම වූවොත් ඔහු හෝ ඇය තවදුරටත් තම සහකරු හෝ සහකාරියට සවන් දෙන්නට හැකි මට්ටමක නැති බවය.

මෙබඳු බරපතළ අඩියකට වැටෙන්නට යන මොහොතක වුව අපට එල්ලෙන්නට පිදුරු ගසක් නැතුවා නොවේ. ඊට ඇති විසඳුම් අතරින් හොඳම එකක් වන්නේ කතාබහ කෙටි වේලාවකට කල්දැමීමය. එසේත් නැති නම් කෙටි වේලාවකට එකිනෙකා මගහැර සිටීමය. මේ කාරණාව පිළිබඳ පර්යේෂණ පැවැත් වූ ප්‍රවීණයන්ගේ අදහස වන්නේ විනාඩි විස්සක පමණ කල් දමා ගැනීමක් බෙහෙවින් ප්‍රායෝගික වන බවය.

සෑම වාක්‍යයක් තුළම " ඔබ " යන වචනය එක් කිරීම මෙබඳු ප්‍රකෝපකාරී අඩියකදී කෙසේ හෝ ප්‍රයෝජනවත් වන්නේ නොවේ. ඒ වෙනුවට " මට " ද කොටසක් වෙන් කරගෙන " අප " යන වචනය යොදාගෙන එය බෙදා හදා ගැනීමෙන් ද තත්ත්වය යම් පමණකට සමනය කර ගන්නට හැකි වෙයි.

අනෙක් අතට මෙබඳු මොහොතක අප කෝපයට පත් අනෙකා පාලනය කරන්නට උත්සාහ ගැනීම අසාර්ථක වෑයමකි. කෝපයට පත් තැනැත්තකු ඊට වඩා දැඩි කෝපයක් ගත්තද පාලනය කරගත නොහැකි බව අප කුඩා කල සිටම දන්නා කාරණයකි. එබැවින් අනෙකාගේ කෝපය ස්වාභාවිකවම අඩු වන තෙක් පසුබැස සිටීම ලජ්ජාවට කාරණයක් නොවේ. අනෙක් අතට එබඳු මොහොතක අපේ පාර්ශ්වයෙන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් සිදු නොවන්නේ නම්, ඉබේම කෝප ගින්න වුව නිවී යන බව නිසැකය.

Comments