සා. පෙ‍ෙළන් A 9 කප් ගැසූ ගම්පහ බණ්ඩාරනායක විදුහල | සිළුමිණ

සා. පෙ‍ෙළන් A 9 කප් ගැසූ ගම්පහ බණ්ඩාරනායක විදුහල

මෙවර සාමාන්‍ය පෙළට A 9 ලබාගත් සිසුන් විදුහල්පති, කළමනාකරණ මණ්ඩලය හා සාමාන්‍ය පෙළ ගුරුවරුන් සමඟින්

- සිසු මනස සකස් කරන්නට භාවනා වැඩසටහන්
- සිසුහු 460ම උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබති
- ස්මාර්ට් පන්ති කාමර 60න් 45ක් සාමාන්‍ය පෙළ සිසුන්ට
- A 9 සාමාර්ථ 167ක්, A 8 සාමාර්ථ 102ක්, A 7 සාමාර්ථ 59ක්

ම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දිවයිනේ ප්‍රධාන බෞද්ධ, ද්වීතියික අධ්‍යාපනය ලබාදෙන පිරිමි ජාතික පාසලකි. වර්ෂ 1918 දී චාර්ල්ස් සමරසූරිය විදුහල්පතිවරයාගෙන් ආරම්භ වූ මේ පාසලේ වත්මන් විදුහල්පති ධූරය හොබවන්නේ විදුහල්පති යූ. දර්ශන ඉරාන් චම්පික ද සිල්වාය. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 26 වැනි විදුහල්පතිවරයා වෙයි. අතීත විදුහල්පතිවරුන් අතරින් ලබුතලේ සුදස්සන හිමියන්ගේ වකවානුව, ලාල් දිසානායක වකවානුව පාසලේ පෙරළිකාරි යුග විය. වර්තමානයේ සිසුන් 5700 ක් අධ්‍යාපනය ලබන්නේ සියලූ පහසුකම් යටතේය. ගුරු මඩුල්ල 225 ක් වන අතර සංවර්ධන සහකාර පත්වීම් 45 කි. අනධ්‍යන කාර්ය මණ්ඩල ප්‍රමානය 65 කි. තාක්ෂණයෙන් පිරි ස්මාර්ට් පන්ති කාමර 60 ක් පාසලේ ක්‍රියාත්මක වන්නේ නවීන තාක්ෂණික මෙවලම්වලට අනුගතව සිසු දෑත හුරු කරවමිනි. මෙයින් ස්මාර්ට් පන්ති කාමර 45 ක්ම වෙන්වී ඇත්තේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාය. දේශන ශාලා, විද්‍යාගාර, ශ්‍රවණාගාර, පරිගණක විද්‍යාගාර, පිහිනුම් තටාක, ගෘහස්ත ක්‍රීඩාංගණ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් වෙන්වූ අගනා සම්පත්ය. 

අ.පො.ස. සා/පෙළ මෙන්ම අ.පො.ස. උ/පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල සෑම වසරකම අත්කර ගන්නට ගම්පහ බණ්ඩාරනායක විදුහල් සිසුහු සමත් වෙති. දිස්ත්‍රික්, ජාතික කඩඉම් පමණක් නොව පසුගිය වසරවලදී සාමාන්‍ය පෙළ 100%ක් සමත්වීම් අත්දකින්නටද මේ පාසලට හැකියාව ලැබුණි. විභාග දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා පාසල් අතුරින් දිවයිනේ අංක එකේ පිරිමි පාසල වන්නට ද අවස්ථා කිහිපයකදීම ඔවුන්ට හැකි විය. 2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ටතම පාසල බවට පත්වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. 2022 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් වූයේ නැවත වතාවක් ඔවුන්ගේ විශිෂ්ට සාමාර්ථ්‍යයන් අලුත් කරමිනි. පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විදුහල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% ක ජයක් අත්කර ගත්තේ සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම අත්කර දෙමිනි. 2022 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් සිසුහු 460 ක් ඉදිරිපත් වූ අතර, ඒ සියලු දෙනාම උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලත් අය වූහ. A 9 සාමාර්ථ්‍ය 167 ක්ද, A 8 සාමාර්ථ්‍ය 102 ක්ද, A 7 සාමාර්ථ 59 ක්ද ලබා ගනිමින් දිවයිනේ හොඳම ප්‍රතිඵල අතරට එක්වන්නට මෙවර ද මේ පාසලේ සිසුන්ට හැකි විය.

ජාතික විභාගයන්ට සිසුහු ඉදිරිපත් කරමින් පැමිණි ගමනේදී, මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලංකාවේ සියලුම පාසල්වලට දැඩි අභියෝගයක් වූයේ පැවැති කොවිඩ් වාතාවරණය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් රට වසා දැමීම නිසාවෙනි. නමුත් කොවිඩ් පැමිණීමට පෙර සිටම ගම්පහ බණ්ඩාරනායක විදුහල නවීන තාක්ෂණයට අත පොවමින් සිටියේය. ඒ කොවිඩ් එන්නට පෙර සිටම සමස්ත පාසල ඩිජිටල්කරණයට නතු කරමිනි. නව තාක්ෂණයට අනුගතව ගුරුවරු පුහුණු කිරීම පාසල විසින් සිදු කළේ මේ අභියෝගය නොදැනය. මේ නිසාවෙන් කොවිඩ්වලින් රට වැසෙද්දී තම පාසලේ දරුවන්ට නිවෙසේ සිට නවීන තාක්ෂණය හරහා අධ්‍යාපන කටයුතු මෙහෙය වීමේ භාරදුර වගකීම ඔවුන්ට අභියෝගයක් වූයේ නැත. පාසලේ ඩිජිටල් පරිවර්තනය හේතුවෙන් රට වැසූ දා සිට සිසුන් අතරමං නොකරමින් නිශ්චිත කාල සටහනකට පාසල් කාලයම යොදා ගනිමින් මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්නට ගුරුවරුන්ට හැකි විය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ද භෞතික පන්ති කාමර දැනුම ඒ ආකාරයෙන් ලබා දුන් අතර ඔවුන්ට සියලු විභාග හා ඇගැයීම් මාර්ගගත ක්‍රමයටම පැවැත්වීමට පාසලට හැකියාව ලැබුණි. සෑම සිසුවකුටම මයික්‍රොසොෆ්ට් ටීම් ලයිසන්ද ලබා දීම සිදු වුණේ පාසල වෙනුවෙන් විවිධ පිරිස් ලබාදුන් සත්කාරක සේවා නිසාය.

6-11 ශ්‍රේණිභාර නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත විජේගුණරත්න පවසන්නේ කොවිඩ්වලින් අනතුරුව රට විවෘත වූ පසු සාමාන්‍ය පෙළ සිසුන්ට මාස තුනක් කඩිනම් පුණරීක්ෂණ වැඩසටහන් පැවැත්වූ බවයි. එපමණක් නොව විද්‍යා, ගණිත ආදී ප්‍රධාන විෂයයන්ගේ අත්‍යාවශ්‍ය හා අමාරු ඉගෙනුම් කොටස් හඳුනා ගනිමින් ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළු සතියකට දිනක් හෝ දෙදිනක් පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි. සිසුන් කාණ්ඩ ක්‍රමයට බෙදා ඊට උසස් පෙළ සිසුන් මෙන්ම සාමාන්‍ය පෙළ ගුරුවරුන් දායක කර ගනිමින් අමතර දැනුමින් පෝෂණය කරවන්නට පාසල විසින් අනුගමනය කළ විවිධ වැඩසටහන් සාර්ථක විය. පන්ති කාමරයේ දුර්වල මට්ටමක සිටින සිසුන්, විශේෂ අවශ්‍යතා ඇති සිසුන් හඳුනාගනිමින් ඔවුන්ගේ ප්‍රතිඵල සාධනයට විශේෂ වැඩසටහන් පාසල මඟින් ක්‍රියාත්මක කළේ මේ ගමනේදි කිසිදු සිසුවකු අත් නොහැරය. 

කොවිඩ් ‍හේතුවෙන් තරමක් පාසලෙන් දුරස් වූ සිසුන්ගේ මානසික මට්ටම යහපත් කරමින් විභාගයට ඇවැසි පරිදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා පාසල් මඟින් සිසුන්ට භාවනා වැඩසටහන් පැවැත්වීම මේ කාලයේදීම සිදු කළ තවත් සේවාවකි. භාවනා වැඩසටහන් පමණක් නොව විවිධ රසවින්දන වැඩසටහන් මෙන්ම දේශන හරහා ද සිසුන්ට විභාගයට හුරු මානසිකත්වයක් ඇති කිරිමට කටයුතු කළේ කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කරමිනි. විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ආර්ථික දුෂ්කරතා සමනය කිරීමට ආදි සිසු සංගම් එකතු වී යම් වැඩපිළිවෙළක් සකසන්නට විදුහල්පති ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයට හැකි විය. විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රගති ඇගැයිීමට මාර්ගගත දෙමවුපිය රැස්වීම් මෙන්ම සෑම ළමයකුටම මාර්ගගත ක්‍රමයට උපදේශන සේවා ලබාදීමට පාසලට මේ කාලය තුළ හැකියාවක් ලැබුණි. කොවිඩ් අභියෝග කාලයෙන් පසු ප්‍රවාහන දුෂ්කරතා පැවැති සමයේ සාධාරණ හේතු මත සිසුන්ගේ පාසල් පැමිණීම අඩුවුව ද එසේ අතපසු වූ පාසල් වැඩ සවස් කාලයේ ඒ සිසුන් වෙනුවෙන්ම මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට පාසල සමත් විය.

සාමාන්‍ය පෙළ විභාගයට පමණක් නොව අනිකුත් විභාග සඳහා පෙනී සිටින දරුවන්ට පාසල මඟින්‘ පාඩම් පොත‘ හඳුන්වා දුන්නේ සිසු ඇගැයීමට මෙන්ම ඉලක්ක සහිතව පාඩම් වැඩ කිරිමට මෙහෙයවීමටය. ඒ සියල්ල විදුහල්පතිවරයාගේ සිට මවුපියන් දක්වා අධීක්ෂණයකින් යුතු වෙයි. 2000 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත.

සාමාන්‍ය පෙළ සමත් සිසුහු මෙන්ම A සාමාර්ථ්‍ය ලබාගත් සිසුහු මෙවැනි දස්කම් දැක්වූයේ විෂය බාහිර ක්‍රීඩා මෙන්ම විෂය සමගාමී සංගම්වල ද නියැළෙමිනි. පාසලේ බාහිර ක්‍රීඩා 14ක් මෙන්ම විෂය සමගාමී සංගම් 40 ක් පමණ ක්‍රියාත්මක වෙයි. මෙවර සාමාන්‍ය පෙළ ඉහළ දස්කම් දැක්වූ සිසුහු ඒ සියලු ජයග්‍රහණ වාර්තා කළේ කොවිඩ් අභියෝග මැද ක්‍රීඩා හා සමිති සමාගම් ජයග්‍රහණ ද පාසලට ලබා දෙමිනි. කොවිඩ් වසංගත කාලයේ සියලු ප්‍රායෝගික පුහුණුවීම් සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රමයටය. ඒ සියල්ලමට පසුගියදා සාමාන්‍ය පෙළට පෙනී සිටි දරුවෝ ද සහභාගී වූහ. ඔවුන් පාසල් තලය අබිබවමින් ජාතික තලයේ ජයග්‍රහණ අත්කර ගත්තේ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු සමබරව සිදු කරන අතරේය. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ එක්දින තරඟාවලියේ අවසන් පූර්ව වටයට මේ සිසුහු සහභාගී වීම ඒ අතර කැපී පෙනුණකි. වයස අවුරුදු 17න් පහළ බී කාණ්ඩයේ බැඩ්මින්ටන් ශූරතාව 2022 දී දිනාගත් අතර මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන් 11 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වී ඇත. ඉන්දියාවේ පැවැති 4 වැනි ජාත්‍යන්තර කරාතේ ශූරතා තරඟාවලියේ කළු පටි කුම්තේ ඉසව්වෙන් රන් පදක්කමක් මෙන්ම කාතා ඉසව්වෙන් රීදි පදක්කමක් දිනාගැනීමට ද හැකිවූයේ පසුගිය වසරේදීමය. ඒ සඳහා ඉදිරිපත් වූ ජුලේන් ලියනගේ නම් සිසුවාට සාමාන්‍ය පෙළ විභාගයෙන්ද A සාමාර්ථ 8 ක් ලබා ගැනිමට හැකිවී ඇත. නව නිපැයුම් අංශයෙන්ද මෙවර සාමාන්‍ය පෙළට ඉදිරිපත්වූ දරුවෝ ජයග්‍රහණ අත්කර ගත්හ. එපමණක් නොව ජනප්‍රිය පාසල් හා විශ්වවිද්‍යාලවලින් හොඳම වෙබ් අඩවිය සඳහා පිරිනමන Best web.lk 2022 තරඟාවලියෙන් ගම්පහ බණ්ඩාරණායක විදුහලේ සිසුහු ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ ඉගෙනීම් හා ඉගැන්වීම් ක්‍රියාවලියෙන් පමණක් නොව අනිකුත් හැකියාවලින්ද ගම්පහ බණ්ඩාරනායක විදුහල් දරුවෝ සමත්ය යන පණිවිඩය රටට කියමිනි. පිරිමි හින්දි ගී තරඟාවලියෙන් දෙවැනි ස්ථානය, හොඳම ශාස්ත්‍රීය අංශ ඇතුළත් ගීතයට හිමි සහතිකය මෙවර දිනා ගත්තේ සාමාන්‍ය පෙළට පෙනී සිටි දරුවෝය. මෙවර විභාගයට පෙනී සිටි දරුවෝ සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන්ද පරිපූර්ණ දරු පිරිසක් විය. ජ්‍යෙෂ්ඨ පිරිමි සමූහයක් ඇනුම තරගයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය, 2022 ඉප්සන් නාට්‍ය නිර්මාණ හොඳම පසුතල නිර්මාණය මෙන්ම රංගන කුසලතාව දිනා ගැනීමට ද පාසලට හැකිවීම අංග සම්පූර්ණ දරුවකු බිහිකිරීම වෙනුවෙන් පාසල දරුවන්ට ලබා දුන් අවස්ථාවන්ය.

ත්‍රිවිද චෛත්‍යයන් වන්දනාවට ලක්කිරීමට පසුබිම සකසා ඇති එකම පාසල ගම්පහ බණ්ඩාරනායක විදුහලය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් පාසල තුළ ගුරු සිසුන්ගේ නිරන්තර වන්දනාවට පාත්‍රවෙති. දරුවන්ගේ මනසට පාසල් පසුබිම ගෙන දෙන්නේ පිවිතුරු ප්‍රසන්න හැඟීමකි. මේ කාර්යයයේදී විදුහල්පති යූ. දර්ශන ඉරාන් චම්පික ද සිල්වා ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පතිනි (අධ්‍යාපන සංවර්න) උදේෂිකා කාරියවසම්, නියෝජ්‍ය විදුහල්පති කුසුමන් රණසිංහ, නියෝජ්‍ය විදුහල්පතිනි චම්පිකා ගුණතිලක, නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත විජේගුණරත්න, 6-11 අංශ ප්‍රධාන අජිත් කුලතුංග, 11 ශ්‍රේණි ප්‍රධාන රංගන වන්නකුආරච්චි, නියෝජ්‍ය ශ්‍රේණි ප්‍රධානි ගයනි දීපිකා ඇතුළු පිරිස මෙන්ම සිසු දෙමවුපියන්ද දක්වා ඇත්තේ අසීමිත කැප කිරීමකි. ගම්පහ බණ්ඩාරනායක විදුහල් පියස හෙට දිනත් සුදානමින් සිටින්නේ තවත් දරු පිරිසක් ජයග්‍රහණයේ මාවත කරා ප්‍රවිශ්ට කරවන්නටය.



ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments