සසර කතරෙන් එතෙර වන්නට එකටම පාරමී පිරූ පවුලක් | Page 4 | සිළුමිණ

සසර කතරෙන් එතෙර වන්නට එකටම පාරමී පිරූ පවුලක්

එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා සහ ඥාති දියණියක් ඇතුළු කුල දරු දැරියන් හත් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවයක්. කතෝලික ආගමේ කුල දරුවෙකු ඒ අතර, පියා ව්‍යාපාරිකයෙක්, මව රූපලාවණ්‍යය ශිල්පිනියක්. ගෙදර කිසිම අඟහිඟකමක් නෑ. දරුවන් ඉගෙන ගත්තේ බිංගිරිය ජාතික පාසලේ.

සර කෙටි කරගන්න බොහෝ දෙනා පින් දහම් කටයුතු කළත් තමන්ගේ ළඟම බැඳීම්වලින් ඈත් වන්නට බොහෝ දෙනා දක්වන්නේ අකමැත්තකි. එවන් පසු පසුබිමක් තුළ තමන් සතු සියලු දේ අත් හරිමින් දරු පැටවුන් සමඟ සසුන්ගත වූ පවුලක් පිළිබඳ අපූරු පුවතක් අපට පසුගිය දා වාර්තා වුණා. තමන්ගේ සියලු දේ දන් දෙමින් සසර ගමන කෙටි කර ගැනීමේ අරමුණින් ඔවුන් ආගමානුකූලව කටයුතු කිරීමට තීරණය කිරීම සහ සසුනට ඇතුළු වීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් විණි. ඒ අපූරු සිදුවීම වාර්තා වූයේ බිංගිරිය කරව්වැව ප්‍රදේශයෙනි.

පවුලේ පියා වන වයස අවුරුදු 39 ක් වූ ලක්ෂ්මන් ආරියරත්න, අවුරුදු 37 ක් වූ ඔහුගේ ආදරණීය බිරිය රසිකා දිල්හානි, අවුරුදු 10 ක් වයසැති යසිත් දෙනුවන් හා අවුරුදු 07 ක් වූ නිම්සර දෙනුවන් යන එකම පවුලේ සිවුදෙනා සහ ඥාති දියණියක් වන 19 වන වියේ පසු වන තාරුකා උදානි යන අය මෙසේ සසුන් ගත වූහ.

මේ අය අතර මාරවිල තල්විල ප්‍රදේශයේ පදිංචි කතෝලික ආගමේ 38 වියේ පසුවන දිලූෂ රොහාන් ද මෙදින සසුන් ගතවීම විශේෂත්වයකි.

බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද අසපු ආරාමයේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ සංකල්පයක් අනුව පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය බිංගිරිය කරව්වැව අසපු ආරාම පරිශ්‍රයෙහි දී සිදු කෙරිණි.

ලක්ෂ්මන් ආරියරත්න සහ රසිකා දිල්හානි මීට වසර ගණනාවකට පෙර විවාහ දිවියට පිවිසීමෙන් පසු සයිප්‍රස් රටෙහි රැකියා සඳහා පිටත්ව ගියේය. එහි වසර කිහිපයක් සේවය කර සිය කුලුඳුල් දරුවා පිළිසිඳ ගත් පසු බිරිය ලංකාවට පැමිණෙන්නට තීරණය කළාය. ඉන් පසු වසර තුනක් පමණ ගිය විට ලක්ෂ්මන් ආරියරත්න ද ලංකාවට පැමිණ වාහන සම්බන්ධව ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. බිරිය ද බිංගිරිය ප්‍රදේශයේ රූපලාවණ්‍යය ආයතනයක් පවත්වා ගෙන ගියාය. ඔවුන්ගේ දෙවන දරුවා මෙලොව එළිය දකින්නේ ඒ අතරතුරය. විදෙස්ගතව සිටියදී සහ මෙරට දී ඔවුන් හරි හම්බ කරගත් දේවලින් අන් අයට උපකාර කිරීමට ඔවුන් නොපැකිළිව කටයුතු කළේය. පවුලේ යම් අයකුගේ අඩුපාඩුවක් මෙන්ම ගමේ කාගේ හෝ ඉල්ලීමකට ඔවුන් ඇහුම්කන් දුන්නේ ඉතාම සංවේදී ලෙස ය. දරුවන් දෙදෙනා ද සහභාගී කරගනිමින් නිරන්තර ආගමික කටයුතුවලට බෙහෙවින් නැඹුරු විණි. දරුවෝ දෙදෙනා බිංගිරිය ජාතික පාසලේ ඉගෙනුම ලැබූහ.

දරුවන් සමඟ ඔවුන් නිරන්තරයෙන් බිංගිරිය කරව්වැව අසපු ආරාමයේ දහම් සිසිල විඳ ගැනීමට යෑමට අමතක නොකළෝය. කාලය ගතවීමත් සමඟ මෙසේ ආගම දහමට නැඹුරු ව සියලු ලෞකික ආශාවන් සිතුම්, පැතුම් අතහැර පසුගියදා සසුන් ගතවීමට ඔවුන් තීරණය කළේ ජීවිතයේ කිසිදු කලකිරීමක් හෝ වෙනත් හේතුවක් නිසා නොවේ. ඒ මෙතෙක් කර ගත්තා වූ ලොකුම කුසල කර්මයක් වන පැවිදි දිවියට ඇතුළත් වීම හතර වරිගයම නිවන් දකින්න හේතු වන බවට බැතිබර සිතක් පහළ වීම නිසාවෙන් විය හැකිය.

මේ අනුව ලක්ෂ්මන් ආරියරත්න බිංගිරියේ සතිමන්ත හිමි නමින්ද, රසිකා දිල්හානි බිංගිරියේ සිසුඋපචාලා නමින් ද, නිම්සර දෙනුවන් බිංගිරියේ අමරවංශ හිමි නමින් ද, යසිත් දෙනුවන් බිංගිරියේ කල්‍යාණවංශ නමින් ද, තාරුකා උදානි බිංගිරියේ උත්පලවණ්නා නමින් ද, දිලූෂ රොහාන් සන්තබෝධි හිමි නමින් ද සසුන්ගත වූහ.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා නොමැතිව සම්බුද්ධ ශාසනය පවත්වා ගෙන යෑමට බුද්ධ පුත්‍රයන්ගේ අඩුවීම බරපතළ ලෙස වර්තමානයේ දැනෙමින් පවතින සමයක පැවිදි දිවියට පිළිපන් වී බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදු කළ කැප කිරීම කා අතරත් කතාබහට ලක් විණි.

අමරපුර නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ නුවරඑළිය දිශාවේ ප්‍රධාන සංඝනායක, මහනුවර මාපනාවතුර සම්බෝධි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ඇකිරියේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කුල දරුවන් පැවිදි කිරීම සිදු කළහ.

බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද අසපු ආරාමයේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන් ගත කිරීම සිදු වූ අතර, අමරපුර නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර අංකුඹුර ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඉහළ මුල්ලේ සුගුණ වංශාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

පොදි බඳින යුගයක අතහැරීමේ පාඩම කියා දුන් පවුලක් ලෙස ධර්මාවබෝධය දුර නොවේවා යන්න අප සැමගේ පැතුමයි.

Comments