සඳගල ඉස්සූ මගෝඩියන් ගැන සැඟවුණු රහස් | සිළුමිණ

සඳගල ඉස්සූ මගෝඩියන් ගැන සැඟවුණු රහස්

- සොරකමට ගෑවුණු අයත් පොලිසියේ ගජ මිතුරෝ
- ඩිෆෙන්ඩරය පිටුපසින් සඳගල පැටවූ බූම් ට්‍රක් රිය ගරාජයක් ඇතුළට

සිංහල රාජවංශයේ අවසන් රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහය. ඔහු රජ රජ කළේ කුණ්ඩසාලය සිය අගනුවර කර ගනිමිනි. ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 තෙක් පුරා 32 වසරක් රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ජනවහරේ හැඳින්වූයේ සෙල්ලම් නිරිඳු ලෙසය. ඉතිහාසයට අනුව ඔහු විනෝදකාමී කාමභෝගී ජීවිතයක් ගත කළ පාලකයෙකි

උඩමළුව රක්ෂිතය ලෙස පුරාවිද්‍යා නිලධාරීන් විසින් නම් කර ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් විසින් ස්වකීය රාජධානියේ ඒ මාලිගාව ඉදිකර තිබුණේ යැයි සැලකෙන පරිශ්‍රයයි.

මෙම මාලිගා පරිශ්‍රය තිබූ ස්ථානය සම්බන්ධව පුරාවිද්‍යා සාධක ඉතා විරල විය. ඊට හේතුව ඔහුගේ ඇවෑමෙන් අවස්ථා ගණනකදී මේ භූමිය සතුරු ප්‍රහාරයන්ට ලක් වීමය.

වර්ෂ 1763දී ලන්දේසීහු මුළු නුවරම ගිනි ලෑහ. ඉංග්‍රීසි අධිරාජ්‍ය වකවානුවේ දී මේජර් හොස්ටන් විසින් සිදු කළ ආක්‍රමණයේදී මේ කුණ්ඩසාලේ මාලිගාව ගිනි තබා විනාශ කළේය. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ විහාරය ඉදි කළේ යැයි සැලකෙන්නේ එම මාලිගාවේ ඉතිරි වූ දැව දඬු හා සුන්බුන් රැගෙන ගොසිනි.

මේ සියලුම විතැන්වීම්වලින් පසු කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාලිගාව පිහිටි ස්ථානය සම්බන්ධව වූ එකම පුරාවිද්‍යා සලකුණ වූයේ “සඳගල” ලෙස ජනවහරේ පැමිණි ශෛලමය පුරාවිද්‍යා ස්මාරකයකි. 

මෙම ස්මාරකය මීටර් 1.8ක් පමණ දිග මීටර 1.2 ක් පළල අඩි දෙක හමාරක් පමණ උස, ටොන් එකකට වඩා වැඩි බරක් සහිත වූ කළු ගලකින් නිමවූවකි. මෙම පුරාවිද්‍යා ස්මාරකය පිළිබඳ මත දෙකක් ඉදිරිපත් වී තිබුණේය. ඒ එක් මතයක් වන්නේ එය සඳකඩ පහණක් බවය. නුවර යුගයේ සඳකඩපහණක මූලික ලක්ෂණ එහි ප්‍රකට වූයේය. අනෙත් මතය වූයේ නරේන්ද්‍රසිංහ රජු සිය අශ්වයා මතට ගොඩවූ පීඨිකාව මෙය බවය.

පුරා සියවස් ගණනක් තිස්සේ අවසන් සිංහල රජුගේ මාලිගාව පිළිබඳ එකම ඓතිහාසික සලකුණ කියා පෑ ඒ “සඳගල” පසුගිය දෙසැම්බර් 13 වැනිදා දේශපාලන බලයෙන් උදම්ව සිටින ධන වැද්දදෝ පිරිසක් කොල්ලකෑහ.

මේ පෙළ ගැසෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති කොල්ලකාරී බලවතුන් පිරිසක් ඓතිහාසික උරුම සම්පතක් මුළු ජාතියක් ඉදිරියේදීම කොල්ල කෑ අලජ්ජී ආකාරය සම්බන්ධ ජුගුප්සාජනක කතාවය.

උරුමය හා ඉතිහාසය පිළිබඳ අල්ප මාත්‍ර දැනුම්වත්කමක් සහිත නොදරුවෝ වුවත් මෙවැනි පුරාවස්තුවක ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පමණක් බව දනිති. එහෙත් වස්තුව සෙවීමේ අභිලාෂය සහිත මිථ්‍ාවෙන් අන්ධ වූ මුග්ධයන් පිරිසකගේ පෙරේත බැල්ම මේ පුරාවස්තුවට වැටෙන්නේ

එහි ගර්භයේ මුතු මැණික් සහිත නිධානයක් ඇති බවට වූ අතාර්කික විශ්වාසය සමඟිනි.

සියවස් ගණනාවක් මුළුල්ලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ගේ මාලිගා පරීශ්‍රය සලකුණු කරමින් නිරුපද්‍රිතව තිබුණු “සඳගල” පසුගිය වසරේ දෙසැම්බර් 13 වෙනිදා අතුරුදන් වන්නේ එකී බලවතුන්ගේ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ බව හෙළි වෙමින් ඇත්තේ “සඳගල” සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කරනු ලබන විමර්ශන ඔස්සේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළි වෙමින් ඇති අකාරයට අනුව සඳගල සොරා ගැනීම පිටුපස සිටින්නේ බලවතුන්ය. ඒ අතර දේශපාලනයට සම්බන්ධ වූවන් ද නැතුවාම නොවේ. සියල්ල සිදුවී ඇත්තේ සෙංකඩගල පුරවරය කේන්ද්‍ර කරගෙනය. ඒ අය හැම අතින්ම බලවත් වූවන් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන මෙම විමර්ශන අඩපණ කිරීමට දරන වෙහෙස අපමණය. ඒ අතර මෙකී ඇත්තන් සිය වර්ගයා බේරා ගැනීම උදෙසා ඇත්ත බොරුව බවට පත්කරමින් දූෂිත පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව ගහන්න පුළුවන් හැම ගේමක්ම ගසමින් ද සිටින බව දැන් පොලිසියේ නිලධාරින් අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව හමාරය.

අවසන් සිංහල රජුගේ මාළිගාව තිබුණු තැන සලකුණු කළ අවසන් පුරාවිද්‍යාත්මක සාධකය වූ “සඳගල” සොරා ගැනීමට ලක්වන්නේ දෙසැම්බර් 13 වෙනිදා මැදියම් 12.00ත් 1.00ත් අතර කාලයේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශන පැවරීමට පෙර මුල් විමර්ශන සිදු වන්නේ පල්ලෙකැලේ පොලිස් ස්ථානය මගිනි. ඊට අමතරව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ද විමර්ශන පැවරෙන්නේ සොරා ගැනීමට ලක්වූ “සඳගල” පුරාවස්තුවක් වූ බැවිනි. පල්ලෙකැලේ පොලිසියෙන් මෙන්ම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයත් සඳගල ඉස්සූ සොරුන් නීතිය හමුවට ගෙන එමින් සඳගල සොයා ගැනීමට කොතරම් උනන්දුවකින් කටයුතු කළේදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. “සඳගල” ගැන කෙරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට සිදු වන්නේ ද ඒ නිසාමය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට ගොස් සඳගල සොරා ගැනීම ගැන සිය විමර්ශන අරඹන්නේ සොරකමින් දෙසතියක් ඉක්ම ගිය තැනය. ඒ පොලිසිය නොදැන සිටියාට “සඳගලේ” සොරුන් කවුරුන්දැයි මුළු සෙංකඩගලම දැන සිටින පසුබිමක් තුළය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම සිය විමර්ශන අරඹන්නේ එතෙක් පල්ලෙකැලේ පොලිසිය විසින් කර ඇති විමර්ශනවල ප්‍රගතිය ද විමසා බැලීමකින් අනතුරුවය. එහෙත් එම විමර්ශනවල “සඳගලේ“ සොරු කොටු කර ගැනීමට තරම් පැහැදිලි ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවක් නම් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගියේ නැත.

ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ කළ සියුම් විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලිවම හඳුනා ගන්නේ සඳගල සොරා ගත් නඩය පමණක් නොව, ඒ පිටුපස සිටින මහ මොළ මෙන්ම බලවතුන් ද කවුරුන්දැයි කියාය. ඒ හැම දෙයක්ම සොයා ගන්නේ සාක්ෂි සහිතවය.

ඊට අනුව “සඳගල” සොරා ගැනීම දිර්ඝකාලීනව කළ සැලසුමක ප්‍රතිඵලයකි. ඒ පිටුපස දේශපාලනයට සම්බන්ධ වූවෝ මෙන්ම ව්‍යාපාරික පෙළැන්තියක් ද සිටින්නේය. සොරකම සිදු වූ කාලසීමාව තුළ ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහයන් ගේ ඒ මාලිගා පරිශ්‍රය පැත්ත පළාතේ පොලිස් මුර සංචාරක රථ ගමන් නොකළේ ඇයි දැයි කියා ද මේ වන විට ඇත්තේ ගැටලුවකි. ඒ මෙම සොරකමට ගෑවී සිටින බොහෝ දෙනෙක්ට පොලිසියේ ගජ මිතුරන් රැසක්ම සිටින බැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එදා “සඳගල” සොරා ගැනීමට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ ඒ මාළිගා පරිශ්‍රයට ගිය කණ්ඩායම අතර ඒ කිට්ටුව පාත ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් සහ මුළු නුවරම දන්නා ව්‍යාපාරිකයෙක් ද සිට ඇත. එදා “සඳගල” සොරා ගැනීමට එතැනට මෙම ව්‍යාපාරිකයා ආවේ යැයි කියැවෙන්නේ ද තම ඩිෆෙන්ඩරයේ නැඟීය. මන්ත්‍රීවරයා ආවේ යැයි කියැවෙන්නේ යතුරුපැදියක නැඟීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණි යතුරුපැදියට අමතරව තවත් යතුරුපැදියක් ද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ ඒ මාලිගා පරිශ්‍රයට පැමිණ ඇත. මේ අය එහි එන්නේ “සඳගල” සොරා ගැනීමේදී කණ්ඩායමේ ආරක්ෂාවටය.

ටොන් එකකට වැඩි බරක් ඇති “සඳගල” කරේ තබාගෙන යා හැකි එකක් නොවූ බැවින් එය ඔසවන්නට එතැනට බූම් ට්‍රක් රථයක් රැගෙන එන්නේ දේශපාලනයට සම්බන්ධ වූවකුගෙන් ඉල්ලා ගෙනය. ඒ හැරුණු කොට “සඳගල” පටවා ගැනීමට කැන්ටර් වර්ගයේ රථයක් ද එහි රැගෙන විත් තිබුණේය. එම රථය ද ඉහත කී අයගෙන් ඉල්ලා ගත්තකි. ඔහු ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනයක් පවත්වා ගෙන යන අයෙක් වන අතර, මෙවැනි වාහන කුලියට ලබා දීමේ ව්‍යාපාරයක ද ඔහු නිරත වන්නෙකි. ඔහුගේ එම ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර අරුප්පල ප්‍රදේශයේය. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ “සඳගල” සොරකම් කිරීමට දින කිහිපයකට පෙර සිටම මෙම වාහන දෙක ඒ සඳහා සූදානම් කර තිබී ඇති බවකි.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ මාලිගා පරීශ්‍රයට “සඳගල“” සොරා ගැනීමට ගිය කණ්ඩායම කැන්ටර් වර්ගයේ රථය රැගෙන යන්නේ බූම් ට්‍රක් රථයෙන් ඔසවා “සඳගල” කැන්ටරයට පටවා ගැනීමේ අපේක්ෂාවෙනි. කැන්ටරයේ තට්ටුවට වඩා “සඳගල” විශාල වූ බැවින් සිදු වන්නේ බූම් ට්‍රක් රථයේම “සඳගල” රැගෙන යන්නටය.

කිසිදු බාධාවකින් තොරව මහා රෑ “සඳගල” සොරාගත් මෙම කණ්ඩායම එය රැගෙන යන්නේ නිදහසේය. “සඳගල”ට ආරක්ෂාව දෙමින් ඉදිරියෙන්ම ගමන් ගන්නේ ඩිපෙන්ඩරයයි. එය පදවා ගෙන යන්නේ මුළු නුවරම නම කියූ විට දන්නා ව්‍යාපාරිකයෙකි. මේ ව්‍යාපාරිකයාගේ ඉතිහාසය අවුස්සා බැලීමේදී පෙනී යන්නේ ඔහුගේ ආරම්භය 88-89 භීෂණ සමය දක්වා දිව යන බවය. මොහු ව්‍යාපාරිකයෙක් ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ ගෙයින් ගෙට යමින් රසකැවිලි අලෙවි ව්‍යාපාරයක නිරත වෙමිනි. අද ඔහු පොලියට මුදල් දෙන කෝටිපතියෙකි. ඒ සඳහා ඔහුට අතහිත දුන්නේ යැයි කියනු ලබන්නේ අසපුවක භික්ෂුවකි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් ගේ මාලිගා පරිශ්‍රයෙන් සොරා ගත් “සඳගල” රැගෙන යමින් තිබුණේ කුණ්ඩසාලේ පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවෙස දෙසටය. ඩිෆෙන්ඩරය පිටුපස ගමන් කරන්නට වූයේ “සඳගල” පැටවූ බූම් ට්‍රක් රථයයි. යතුරුපැදි දෙක සහ කැන්ටර් රථය ගමන් කරන්නට වූයේ ඒ පිටුපසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ මෙම රථ පෙළේ එදින ගමනාන්තය බවට පත් වන්නේ ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවෙස බවය. එය තහවුරු කර ගැනීමට ප්‍රධාන සාක්ෂියක් ලැබෙන්නේ ඒ අසල පිහිටි ග්‍රාමීය බැංකුවේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව ඇති දර්ශන පෙළකි. ඒ හැරුණු කොට තවත් ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්ම මෙන්ම විද්‍යාත්මක සාක්ෂි රැසක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මේ වන ඇත්තේ “සඳගල“ රැගෙන ගිය කණ්ඩායම කවුරුන්දැයි තහවුරු කර ගනිමිනි.

එකී සාක්ෂි වලට අනුව පෙනී ගොස් ඇත්තේ මුලින්ම ව්‍යාපාරිකයාගේ ගෙවත්තට ඇතුළු කරනුයේ ඩිපෙන්ඩරය බවය. දෙවැනියට ගෙවත්තට ඇතුළු කරනුයේ “සඳගල” පැට වූ බූම් ට්‍රක් රථයයි. දින දෙකක්ම “සඳගල” තිබෙන්නේ මෙම ව්‍යාපාරිකයාගේ ගෙවත්තේ ඇති සුවිසල් ගරාජයේය. 15 වෙනිදා උදෑසන මේ නිවෙසට එන්නේ අමුත්තෙකි. ඔහු හදිසියේම මෙම නිවෙසට ආවේ ඇයිදැයි ඇත්තේ ගැටලුවකි. දුරකතන ජාල පරීක්ෂාවකදී ද පෙනී ගොස් ඇත්තේ “සඳගල” සොරකම සිදු වූ දින මෙන්ම පසුදින ද ඒ අමුත්තා “සඳගල” සොරගෙන විත් නි‍ෙවසේ තබාගෙන සිටි ව්‍යාපාරිකයා සමඟ අසාමාන්‍ය ලෙස දුරකතන ඇමතුම් හුවමාරුවී ඇති බවය. “සඳගල” සොරා ගැනීම සිදුවන විට කොළඹට නුදුරු ප්‍රදේශයක සිටියේ යැයි කියනු ලබන මොහු කුණ්ඩසාලේ ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට ආ පසු “සඳගල”ද එම නිෙවසින් අතුරුදන් වන්නේ ඊට සිදු වූ දෙයක් සොයා ගැනීමට අදටත් ඉඩක් නොතබමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන සෙවීමේ විමර්ශන පැවරීමත් සමඟ ඊට ගෑවුණු හැමෝම පාහේ අතුරුදන් වන්නේ ගෙවල් දොරවල් ද අත්හැර දමාය. ඒ කොළඹ පැත්තේ ආරක්ෂිත ස්ථානයකට සැඟවෙමිනි. ඒ පල්ලෙකැලේ පොලිසිය සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමඟ දැමූ සෙල්ලම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ දැමීමට නොහැකි බව දැන ගෙන විය හැකිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව “සඳගල” නමැති පුරාවිද්‍යාත්මක ස්මාරකය මින් පසු අනාගත පරපුරට දකින්ට ලැබෙනු ඇත්තේ ඡායාරූපයකින් හෝ වීඩියෝවකින් පමණි. ඒ “සඳගල” කුඩු කර ඒ තුළ ඇති මුතු මැණික් සොයා ඇති බව කියැවෙන බැවිනි. අඩුම තරමින් කුඩු කළේ යැයි කියැවෙන සැබෑ “සඳගලේ ” කෑල්ලක්වත් සොයා ගැනීමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට හැකියාවක් ලැබී නැත. ඒ අද වන විට ඒ අයට සිදු ඇත්තේ දේශපාලන පුත්‍රයාව මෙම අපරාධයෙන් බේරා ගැනීමට සංවිධානාත්මකව සිදුවන විමර්ශන නොමඟ යැවීම්වලින් ගැලවෙමින් දැඩි දුෂ්කර ක්‍රියාවකට මුහුණ දෙන්නටය.

ඉබි යතුරු දමා වසා තිබුණු කුණ්ඩසාලේ ව්‍යාපාරිකයාගේ නි‍ෙවසේ තිබුණු ඩිපෙන්ඩරය මෙන්ම කැන්ටර ද කාටත් හොරා එළියට එන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විශ්වාස කරනුයේ මෙකී සංවිධානාත්මක සැලසුමට අනුවය. ඒ පසුගිය 05 වෙනිදාය. මෙම රථ දෙක කෑගල්ල මොරගොඩ ප්‍රදේශයේදී කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකගේ පරීක්ෂාවකට ලක්වන්නේ මෙදින සවස 4.30ට පමණය. ඒ පොලිස් ඉහළ නිලධාරියකුගේ අණකිනි. එම නිලධාරියා කෑගල්ලේ පොලිස් බලධාරීන්ට වාහන දෙකක අංක දෙකක් ලබා දෙමින් දැනුම් දෙන්නේ කුණුඩසාලේ “සඳගල” සොරකමට සම්බන්ධ මෙම වාහන දෙක පොලිස් භාරයට ගෙන එහි සිටින සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

එකී ඉහළ පොලිස් නිලධාරියාගේ අණින් ඔහු කී තැනේදීම එම වාහන දෙකම කෑගල්ල පොලිසියේ නිලධාරීන් එදා සිය භාරයට ගත්තේය. රථ දෙකේ රියැදුරන්ද අත්අඩංගුවට ගත්තේය. ඒ එක් අයෙක් දිවුලපිටියේ පදිංචිකරුවෙක් වූ ශිරොන් දිශාන්තය. අනෙකා මහනුවර හිරැස්සගල පදිංචිකරුවෙක් වන ප්‍රසාද් සංජීව නමැත්තෙකි. මේ දෙදෙනාව අත්අඩංගුවට ගෙන කැන්ටරය පරීක්ෂා කිරීමේදී එහි බක්කියේ තිබෙනු පොලිස් නිලධාරීන් දකිනු ලබන්නේ කළු ගල් කැබලි තොගයකි. ඒ ගැන මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් කියන්නේ එම කළු ගල් කැඩූ “සඳගලේ” කැබලි බවය.

එපමණක් නොව, හරියට තිර පිටපතක ජවනිකාවක් සිහියට නැඟෙන ආකාරයට ලොකු කතාවක් ඒ දෙදෙනා කියන්නට ගත්තේය. ඒ “සඳගල” සොරා ගත්තේ තමන් බවය. ඒ නියපොත්තකින්වත් කෙනිත්තිල්ලක් නොමැතිවය. අවසානයේදී මේ දේවල් පොලිස් පොතේ ද සටහන් කරමින් පැය ගාණක් පොලිස් ස්ථානයේ රඳවා ගෙන සිට මෙම “සඳගල” හොරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ ඒ අයට කරන්නට කිසිවක් ඉඩ නොතබාය. ඒ අහන්න උවමනා ප්‍රශ්න සියල්ලක්ම කෑගල්ල පොලිසිය විසින් ඉහළ අණින් අසා සටහන් කරගෙන තිබුණු බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වේලාව ඉතිරිව තිබෙන්නේ ද කෑගල්ලේ සිට මහනුවරට මේ දෙදෙනාව රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණි.

කැන්ටරයේ ඇත්තේ “සඳගලේ ” කොටස් යැයි ඒ අය කියන්නට වූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදු වන්නේ එම කළුගල් කොටස් රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර එහි ඇත්ත නැත්ත ගැන විද්‍යාත්මක විමර්ශනයකට ලක් කරන්නටය. ඒ “සඳගල” සොරා ගත්තවුන් මේ දාන සෙල්ලම ගැන හොඳ අවබෝධයක් ඇතිවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ඊට සිය ප්‍රතිචාරය දක්වන්නේ මහනුවර අරුප්පල පිහිටි ව්‍යාපාරික ස්ථානයක වාහන අංගනෙයක තිබුණු “සඳගල” ඔසවා ගෙන ගිය බූම් ට්‍රක් රථය අත්අඩංගුවට ගනිමිනි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන් බූම් ට්‍රක් රථය සිය භාරයට ගන්නා විට එම ව්‍යාපාරිකයාත් සිටින්නේ වහන් වීය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වනු ඇතැයි බියෙනි.

සිය ගැලවිල්ලට ඔහු නම් කියන්නේ බූම් ට්‍රක් රථයත් කැන්ටරයත් තමාගෙන් කුලියට රැගෙන ගොස් මෙම අපරාධය කර ඇති බවය. ඊට තමාගේ අනුදැනුමක් නොමැති බව ද ඔහු කියන්නේ කුලියට රැගෙන ගොස් කරන දේට වගකීමක් තමාට නොමැති බව පවසමිනි. ඔහු එසේ කීවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති තොරතුරු ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ අනුව ඔහු සිටින්නේ තවත් එක් සැකකරුවෙක් ලෙසින් පමණි.

“සඳගල” හොරුන් කිසිවිටකත් මෙම සොරකම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනු ඇතැයි සිහිනෙකින්වත් සිතා නැත. ඒ අය සිතන්නේ මහනුවරින් පිටතට මෙම විමර්ශනය නොයනු ඇති බවය. මහනුවර සිටින පොලිසියේ බොහෝ අය මෙම සොරකමට ගෑවී සිටින බොහෝ අයගේ මිතුරන්ය. එහෙව් එකේ ඒ අය තමන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව හොඳ හැටි දැන සිටියහ.

දැන් ඒ අයට වැඩේ වැරැදී හමාරය.

හැම දෙයක්ම ඒ අය අතින් සිදු වන්නේ සැලසුමකට අනුවය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වන ලෙසිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නට ඒ අය ඉඩ දෙන්නේ නැත. සිදු වන්නේ ඔවුන් දන්නා කියන පොලිස් ලොක්කෝ හරහා පොලිසිවලට ඒ අයව හසුවන්නට ඉඩ හැරීමය. කෑගල්ලේ සිදු වූයේ එවැනි දෙයකි. එහි ඊළඟ පියවර තබන්නේ සැකකරුවන් අධිකරණයට භාර කිරීමය. මෙවැනි ගේමක් ගසන්නේ තමන්ට හසු වුවහොත් තවත් අයගේ නම් ගම් ඒ අයගේ කටින් එළියට එන නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද හොඳාකාරවම මේ වන විට දැන සිටිති. මේ අයව අල්ලා ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපය තුළ දිවා රෑ වෙහෙසුණේ ඒ වෙනුවෙනි. එහෙත් දැන් ඒ සියල්ල ඇත්තේ වතුරේ යමිනි.

කෑගල්ල මොරගොඩදී ඩිෆෙන්ඩරය සහ කැන්ටරය සමඟ දෙදෙනෙක් පොලිසියට හසු වෙමින් සඳගල සොරා ගත්තේ තමන් බව කියමින් ගල් කැට ටිකක් ද සමඟ ගැසූ ගේම වැරදුණු තැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා යමින් සිටි මෙම අපරාධයේ ප්‍රධාන පුරුක් කිහිපයක් බලාපොරොත්තු වූ ආකාරයටම තෙල්දෙණිය අධිකරණයට විත් පසුගිය 12 වෙනිදා බාර වෙන්නේ රක්ෂිත බන්ධනාගාරගත ද වෙමිනි.

ඒ අය අතර කුණ්ඩසාලේ මහවත්තේ පදිංචිව සිටින රොෂාන් දර්ශන නමැති ව්‍යාපාරිකයෙක් ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සාලිය පෙරේරා ද සිටියේය.

මේ අය මුල සිටම “සඳගල” සොරකමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට ලක් වූවෝය. “සඳගල”සොරා ගැනීමෙන් පසු දවසක් දෙකක් එය තිබුණේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් දර්ශන නමැති ව්‍යාපාරිකයාගේ ගෙදර ගරාජයේය. එහි ඇත්ත නැත්ත සොයා බලන්න පොලිසියට මුල සිටම උනන්දුවක් තිබී නැත. එසේ වී නම් “සඳගල” අනාගත පරපුර වෙනුවෙන් අදටත් සුරක්ෂිතය.

Comments