පොතුහැර බෝධි සතා දරුපල නැති අයට කරන තෙල් සාත්තු ප්‍රෝඩාව | Page 2 | සිළුමිණ

පොතුහැර බෝධි සතා දරුපල නැති අයට කරන තෙල් සාත්තු ප්‍රෝඩාව

- දේවාලයට ඇතුළු වෙන තැනම තමන් දොස්තර කෙනකු නොවෙන බව සඳහන් කරලා
- උත්පලවණ්නා මෙහෙණි ආරාමයට ඉඩම් අරන් දෙනවා කියලා ජානකගෙයි පුතාගෙයි නමට ඒ ඉඩම් ලියාගෙන
- කාන්තාවන් විසි එක් දෙනෙක් දැනටමත් පොලිසියේ පැමිණිලි දාන්න සූදානමෙන්ලු
- මොහු රැකියාවක් නැති පුද්ගලයෙක්. ඒ වුණාට ගමන් බිමන් යන්නේ කෝටි ගණනක් වටිනා වාහනයක
- සෙනසුරාදා උදේ බෝධි පූජාවට මේ ව්‍යාජ දළදා මැදුරට පන්දහසක පමණ බැතිමතුන් පැමිණෙන බව ගම්වාසීන් පවසනවා

මේ ජම්බුද්වීපයට අභිනවයෙන් පහළ වූ බෝසත්තුමා ගැන කරුණු සෙවීමට පොතුහැර ඉස්ටේෂමෙන් බැස කොළඹ නුවර පාරට ආවෙමි. බෝසත්තුමාගේ කෙරුවාවල් ගැන පසුගිය සතියේ දිනක උදහැනැක්කක මෙසේ කරුණු සෙවීමට යෑමට පෙර කුසගින්නෙන් දාව ගිය කුස පුරවා ගැනීමට තැනක් සෙවීමු. 

ඒ වන විටත් පොතුහැර හන්දියේ විවෘතව තිබුණේ පලතුරු කඩයක් පමණි. මාත් ඡායාරූප ශිල්පියාත් පලතුරු කඩයට රිංගා උදේ පාන්දර ෆෘට් සැලඩ් දෙකක් ඕඩර් කර සිටියෙමු. එතැන තිබුණ පලතුරු දුටු විට අපට පෙනී ගියේ ඒ බොහෝ පලතුරු පුද පූජාවන්ට ගන්නා ඒවා බවය. විවිධ වර්ණවත් පරාවර්තිත මල් මාලා ද ඒ අතර විය.

"මේ පූජා වට්ටි අරන් යන දේවාලේ කොහෙද තියෙන්නේ?" කැෂියර් කූඩුවේ සිටි රූමත් මුදලාලි නෝනාගෙන් මම අසා සිටියෙමි. ඈ අසලම ඇගේ ගාඩ් එකට සිටියේ තරුණ මුදලාලි මහතාය.

"ඔය දේවාලවලට මිත්‍යා විශ්වාසවලට නම් දරාපු පැත්තක් මේක. ලංකාවේ හැම තැනකින්ම සෙනඟ පූජා තියන්න නිකවැරටියට ආවා. ඒක අන්තිමට නැවතුණා. බලු බල්ලෙක් නැති වුණා. ඒ කාලේ සමහර දවසට ලක්ෂ තුන හතරේ පූජා වට්ටි බිස්නස් තිබුණා. අන්තිමට මිනිසුන්ට තේරුණා රැවටුණු බව. නිකවැරටියේ මැස්සෝ ඇහිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දොලුකන්ද - බුදුගුණ අනන්තයි! බුදුගුණ අනන්තයි!! කියලා හරක්මස් කඩ වැස්සෙව්වා. බිත්තරයක්වත් පොඩි එකෙක්ට කන්න දෙන්න නැති වුණා. ඕකට මොකෑ වුණේ ඉතිං! ඉතිං!! අන්තිමට සියලු රෝග පිරිත් පැනෙන් හොඳ කරපු හාමුදුරුවෝ අසනීප වෙලා කොළඹ නවලෝක හොස්පිටල් එකේ නවත්තලා හොඳ කර ගත්තේ. දැන් දොලුකන්දත් මිනිස්සු යන්නැතුව වල් වැදිලා. මිනිස්සු බාර ඔප්පු කරන්න කන්ද උඩටම දාපු කොන්ක්‍රීට් පඩිපෙළ, හදපු බුදු මැදුර, දේවාල ඔක්කොම කැලේට ගියා. මිනිස්සු මිත්‍යා දේවල් පස්සේ ගිහිල්ලා සබ්බ සේසතම නැතිකර ගත්තාම තමයි ඇත්ත තේරුම් ගන්නේ.

"දැන් එතකොට අලුතෙන් මිනිස්සු යන්න පටන් අරන් තියෙන්නේ කොහේද?"

"ඔය ඉස්සරහ තුංමං හන්දියෙන් යන්න තියෙන්නෙ. වදාකඩ පාර කිලෝමීටර් පහක් විතර ගියාම 'බෝසත් ජානක' තුමා අලුතෙන් හදන දළදා මාළිගාව තියෙනවා. එතැන එහා පැත්තේ තියෙන දේවාලවල පූජා තියන්න තමයි දැන් පලතුරු වට්ටි මල්මාලා දාලා ගෙනියන්නේ."

"දැන් නිකවැරටියේත්, දොලුකන්දෙත් නැති මෙතන තියෙන ඔප්ෂන් මොනාද"

"පිළිකා හොඳ කරනවා, තව එක එක ලෙඩ රෝග සුව කරනවා, බබාල නැති අයට බබාල හම්බ කරල දෙනවා."

"එතකොට මේ බෝසත්තුමා ඩොක්ටර් කෙනෙක් ද නැත්නම් වෙද මහත්තයෙක් ද?"

"අපෝ නැහැ. ඇතුළු වෙන තැනම ගහල තියෙනවා මෙයා දොස්තර කෙනෙක් නෙමෙයි කියලා."

"එතකොට මිනිස්සු මෙච්චර යන්නේ"

" ඕකත් තව ටිකක් දවස් ගිහාම තේරුම් ගනියි. කොහෙද මේ ගොං රැලට කියලත් බෑ නොකියත් බෑ. අපේ බිස්නස් එකත් කැඩෙනවානේ." 

අපට මුලින්ම දැනගැනීමට අවශ්‍ය වූයේ බුදු ගුණෙන් 'බෝසත්තුමාට' ලෙඩ සුව කළ හැකි ද යන ප්‍රශ්නයයි. මේ ගැන රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ හෑගොඩ විපස්සි හිමියන් විග්‍රහ කරන්නේ මෙසේය.

"දැන් උත්සාහ කරන්නේ රටේ චිරාත් කාලයක් පැවැති සම්ප්‍රදායන් විනාශ කරන්නයි. බුදුන් ලංකාවේ උපන්නා කියන මිථ්‍යාව පතුරු වන මුල් කාලයේදීම ඊට පියවර ගන්න කියලා අපි පෙන්වා දුන්නා. මේකත් ඔඩු දුවන්න කලින් පියවර නොගත්තොත් ඊටත් වඩා හානියක් මේ රටට සිද්ධ වෙන්න පුළුවන්. ඊටත් වඩා බුදුන්වහන්සේ කිසිම විටෙක කාගේවත් ලෙඩ සුව කළ බවක් ත්‍රිපිටකයේවත් අට්ඨ කතාවලත් සඳහන් නැහැ. බුදුන්වහන්සේ කළේ සංසාරික ලෙඩේ සුවකර ගැනීමට මඟ පෙන්වීමයි. නමුත් බුදු ගුණ බලයෙන් ලෙඩ සුව කරන බව පොතුහැර පුද්ගලයා පැවසීම නිසා ගිහි පැවිදි අය ඔහු පස්සෙන් යෑම හාස්‍යයක්. මේවාට මුළා වෙන ගිහි පැවිදි අය ඉන් ගලවා ගැනීමට වහාම ඊට අදාළ වගකිවයුතු රාජ්‍ය ආයතන පියවර ගත යුතුයි."

රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ මේ ව්‍යාජ දළදා මාළිගා භූමියට ගිය විට අපව මවිතයට පත්විය. එක්පසෙක දුර බැහැරින් එන වාහන නවත්වන්නට අංගණයකි. තවත් පසෙක විවිධාකාර ගොඩනැඟිලිය. දේව රූප, බුද්ධ රූප විවිධ ප්‍රමාණයෙනි. මෙහි යාබදව ඇත්තේ උත්පලවණ්නා මෙහෙණි ආරණ්‍යයයි. එහි වැඩ සිටින පොන්හිලව උත්පලවණ්නා මෙහෙණියගෙන් අප ප්‍රශ්න කළ විට උත්තර දුන්නේ උපේක්ෂා මෙහෙණියයි.

"පොතුහැර ජානක මුලින්ම ආවේ මේ මෙහෙණි ආරණ්‍යයේ බෝධි පූජා තියන්න. ඒ කාලේ මේ අවට යාබද ඉඩම ලෑන්ඩ් සේල් එකක් අරන් කට්ටි කළා. ජානක බැනර් එකක් ගැහුවා 'උත්පලවණ්නාරාමයට කෙත්වතු පූජාවට දායක වන්න කියලා.' ඒ කිව්වේ මිනිස්සුන්ට උත්පලවණ්නා මෙහෙණි ආරාමයට ඒ ඉඩම් අරන් දෙන්න කියලා. මිනිස්සුන්ව රැවැට්ටුවා.

"එතකොට මේ ඉඩම් උත්පලවණ්නා මෙහෙණියන්ගේ. එතකොට බෝසත් ජානක බලෙන් ද මේ ව්‍යාජ දළදා මාළිගාව ගහන්නේ?"

ජානකත් එක්ක ප්‍රශ්න ඇතිවෙන කොට තමයි උත්පලවණ්නා මෙහෙණිය දැන ගත්තේ ජානක බෝසතා මේ ඉඩම් ආරාමයට ලියන කොට එයයි එයාගේ පුතාගේ නමටයි ලියාගෙන කියලා. මේ ගැන පියවර ගන්න නීතිඥයකුට භාර දීලා තියෙන්නේ.

එදින උදේම පොතුහැර ටවුමෙන් බැසගත් අප මේ ප්‍රදේශයට ආවේ ත්‍රිරෝද රථයකිනි. ත්‍රිවිල් රියැදුරා අප අසන්නේ ද නැතිව ජානක බෝසතාණෝගේ ජාතකය අප ඉදිරියේ පැවසුවේ ස්වේච්ඡාවෙනි.

ජානක වැඩ කළේ බැංකුවක. ඉන්ටඩික් වුණා. එතකොටත් බැංකුවේ වැඩ ඇරුණාම බෝධි පූජා තියනවා. බෝධි පූජා පවත්වන්න නම් අති දක්ෂයා. දැන් ඔය ජානක මේ ආරාමෙට එනකොට අතේ සතේ නෑ. දැනුත් ඔය දළදා මාළිගා වගේම බිල්ඩින් ගාණක් ගැහුවට කොතනකවත් පින් පෙට්ටියක් නෑ. බැංකුවේ වැඩ කරපු නිසා මිනිහා දන්නවා සල්ලි අතගානකොට අහුවෙන්නැති වෙන්න ගේම දෙන්න."

"ඒ වුණාට ජානක මුදල් වංචා ගැන අහනකොට කියන්නේ තමන්ට බැංකු ගිණුමක්වත් නෑ කියලනේ? මේ මෙහෙණි ආරාමෙත් එක්ක ආරවුලක් ඇති වුණේ කොහොමද?"

"බෝධි පූජා ප්‍රොජෙක්ට් එක නැගල යනකොට ජානක බුදුගුණ බලෙන් ලෙඩවලට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා."

"ජානක බෝසතා වෙදකම් කළේ මොන රෝගවලටද?"

"පිළිකා රෝගයට, අස්ථි රෝගයට, දරුපල නැති ගැහැනු අයට දරුවන් ලබා ගන්නටත් ප්‍රතිකාර කළා."

මේ ත්‍රිරෝද රියැදුරා කියන පරිදි දරුපල බලාපොරොත්තුවෙන් එන කාන්තාවන් තනිව තම කුටියට ගෙන රහස් ප්‍රදේශවල මතුරන ලද තෙල් ගෑම නිසා කාන්තාවන්ගේ පුරුෂයන් සමඟ ජානක ගැටුම් කිහිපයක් ඇතිකර ගෙන ඇත. සමහර වෙලාවට රෝගවලට ප්‍රතිකාර කරන්න කියලා ලස්සන තරුණියන් තමන්ගේ කුටියට අරගෙන පියයුරුවල තෙල් ගෑම නිසා ගැටුම් ඇති වුණා.

"එතකොට ඔය දරුවෝ ලබාගන්න රහස් ප්‍රදේශයේ තෙල් ගා ගන්න ගැහැනු කවුරුවත් පොලිසියේ ඇන්ට්‍රියක්වත් දැම්මේ නැද්ද?" 

"දැන් ඔන්න කට්ටිය පොලිසියේ ඇන්ට්‍රි දාන්න පටන් අරන්"

ජානකගේ බෝසත් අසපුවේ ඇතුළු වන තැනම බෝඩ් එකක් ගසා ඇත්තේ තමන් වෛද්‍යවරයකු නොවන බවත්, බුදුගුණ බලෙන් ප්‍රතිකාර කරන තමන්ගෙන් කැමති නම් පමණක් ප්‍රතිකාර ගන්නා ලෙසත්ය.

ජානක බෝසතුන්ට එරෙහිව මුලින්ම හෙළිදරව් කරන ලද්දේ සමාජ ක්‍රියාකාරිකයකු වන නිලන්ත රණසිංහය. ව්‍යාජ බෝසත්ගේ ප්‍රතිකාර ගැන අප ඔහුගෙන් විමසා සිටියෙමු.

"ජානක රට පුරා බෝධි පූජා තිබ්බා. බුදුගුණ බලෙන් විශේෂයෙන් කාන්තාවන්ගේ ලෙඩ සුව කළා කියනවා. එහෙම ප්‍රතිකාර ලැබූ කාන්තාවන් විසි එක් දෙනෙක් දැනට තමන්ට වෙච්ච අතවර ගැන පොලිසියේ පැමිණිලි දාන්න සූදානමෙන් ඉන්නේ."

"ඉතින් ඇයි කවුරුත් කාන්තාවෝ තමන්ට කරපු අතවර ගැන පොලිසියේ පැමිණිලි මෙච්චරකල් නොදැම්මේ?"

"එක සැරයක් එක ගෑනු කෙනෙක් පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය වෙලේ බෝසත් ජානක වෙන වැඩකට පොලිසියට ඇවිල්ලා. ගෑනු කෙනා බලන් ඉද්දි පොලිසියේ ලොක්කා ජානකට දණ ගහල වැන්දලු! මේ වගේ තැනකින් සාධාරණයක් ඉෂ්ට වෙයිද කිලා ගෑනු කෙනා හැරිලා ආවා."

නිලන්ත පවසන්නේ හොර දළදා මාලිගාව ගැන පුවත රේඩියෝ - ටීවී ප්‍රවෘත්ති පළවීමටත් වඩා ආන්දෝලනාත්මක වී ඇත්තේ ෆේස්බුකිය තුළ බවය.

"මතුගම, ගම්පහ, රත්නපුර, මහනුවර, අනුරාධපුර පැතිවලින් කෝල් ආවා. චමුදිතගේ යූ ටියුබ් එකෙන් මේක මම හෙළිදරව් කළා. හැට්ටේ අස්සේ තෙල් ගානවා එව්වා. නිරුවතින් තෙල් ගාලා අනවශ්‍ය විදියට ලිංගික ප්‍රදේශවල තෙල් ගැල්වීම ගැනත් පැමිණිලි අපිට ආවා. මේවා එළිදරව් වෙනකොට තමයි මේ අතරවයට ලක්වෙච්චි අය නීතිය ඉදිරියට එන්න පටන් ගත්තේ."

පොලිස් වාර්තාවල ස්ත්‍රී දූෂණ පිළිබඳව සටහන් වන්නේ කරුණු කිහිපයක් යටතේය. ඒ දූෂණය කොට මරා දැමීම, දූෂණය කිරීම, දූෂණයට තැත් කිරීම, හිරිඔතප් බිඳීම ආදී වශයෙනි. මෙහිදී දූෂණයට තැත් කිරීම ද දූෂණයක් ලෙස සන්නිවේදන මාධ්‍ය මඟින් හෙළිදරව් වන්නට බැරිකමක් නැත. ඊටත් වඩා රහස් ප්‍රදේශයට තෙල් සාත්තුවක් දීම අනියම් ලෙස ස්ත්‍රී දූෂණයකට තැත් කිරීමක් නොවන්නේ කෙසේද?

ඒත් ඉතින් රටේ කාන්තාවන් ලිංගික අඩන්තේට්ටමට ලක්වීමෙන් ලබන පීඩනයට නොදෙවෙනි පීඩනයක් ඒ සම්බන්ධ නඩු කටයුත්තකදී මාධ්‍ය මඟින් මෙය ප්‍රසිද්ධ වීමේ දී ඇයට අත්විඳින්නට සිදු වේ. "දූෂණයට ලක් වූ තරුණියක්" ලෙස සමාජය තුළ හංවඩු ගැසෙන ඇගේ සමස්ත ජීවිතය පුරාම ඕනෑම වැදගත් සිදුවීමකදී මේ සිද්ධිය ඇය තවදුරටත් දිගින් දිගටම පීඩනයට පත් කරවයි. ඒ අනුව එම කාන්තාවට මුළු ජීවිතය පුරාම යළි යළිත් එම අවාසනාවන්ත අත්දැකීමේ දෝංකාරය අත්විඳින්නට මැරි මැරි උපදියි. මේ නිසා අතවරයකට ලක් වුවත් ලිංගික පීඩනයකට පත් වුවත් අධිකරණයේ පිහිට ඉල්ලනවාට වඩා ඒ සිද්ධිය හැකිතාක් සමාජයෙන් වසන් කරගෙන අඩන්තේට්ටම නිසා සිදු වූ කායික මානසික අලාභය විඳ දරා ගැනීම වඩා නුවණැති පියවරක් ලෙස එම කාන්තාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය ද සැලකීම අරුමයක් නොවන බව අප සමඟ කතා කළ එක් තරුණියක පවසා සිටියාය.

"මේව බුද්ධාගමේ නමින් දළදා මාළිගාව විකුණන් කාලා සිදුවන අපරාධ. මේවා පොලිසිවලට කිව්වොත් අපි කසාදයක් කරගන්න ගියාම මනාලයගේ පැත්තේ අය අපේ ගෙදරට යන පාර ඇහුවොත් කියාවි, බෝසත් ජානක නිසා අමාරුවේ වැටිච්චි ගෑනු ළමයා නේද කියලා."

අපට මේ ගැන තවත් තරුණියක් කිව්වේ අපූරු කතාවකි. අප ඇගෙන් නම ඇසූ විට ඇය අපට කිව්වේ පොලිසියට එන දවස දන්වා එවන බවය.

"මං අපේ ගමේ පොලිසියට පැමිණිලි කරන්න ගිහාම මට වෙච්ච අපහාසේ හින්දම ලේඩි ලෝයර් කෙනෙක් එක්ක යන්න තීරණය කළා."

"ඔයා ඇඳුම් අයින් කරනකං මොනවද කළේ කියලා පොලිසියෙන් ඇහුවා. ඕගොල්ලන් ඕවා කර ගත්තේ ඕනකමින්ම වෙන්න ඕන. ඕගොල්ලන්ට ඕවා ටොයිස් වගේ වැඩ. කී සැරයක් ගා ගත්තද? දැන් බොරුවට පොලිසියට පැමිණිලි දාන්න එනවා" කියනවා. 

අති පූජනීය නුවර දළදා වහන්සේට කරන වතාවත් පොතුහැර හොර දළදා මාලිගයේදී කිරීම වැරදි බව මෙහිදී බොහෝ දෙනා අපට කියූ කතාවය.

"මේ ජානක බෝසතා රැකියාවක් නැති පුද්ගලයෙක්. ගමන් බිමන් යන්නේ කෝටි ගණනක් වටිනා වාහනයක. දැන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරනවා මේ හොර දළදා මන්දිරය හදන්න සල්ලි එකතු කළේ කොහොමද කියලා. ඊටත් වැඩිය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයම ප්‍රකාශයට පත්කරල තියෙනවා ජානක වෙද මහත්තයෙක් නෙමෙයි ප්‍රතිකාර කිරීම නීති විරෝධිය කියලා. මේ ප්‍රතිකාර ගන්න ගිහින් කවුරු හරි මළොත් තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවටයි සෞඛ්‍ය අමාත්‍යාශයටයි ඇස් ඇරෙන්නේ. අපි මේ කියන්නේ මහා විපතක් වෙන්න ඉස්සෙල්ලා. ඒකයි අපි පෞද්ගලිකවම වහාම ආයුර්වේද කොමසාරිස්ට මේකට මැදිහත් වෙන්න කිව්වේ."

බොහෝ දෙනා කියන්නේ සෙනසුරාදා උදේ බෝධි පූජාවට ජානක බෝසතාගේ දළදා මැදුරට පන්දහසක පමණ බැතිමතුන් පැමිණෙන බවය. එහෙත් එක් අයෙකු අපට පවසා සිටියේ දෙමාපියන්ගෙන් බේරී බොහෝ පෙම්වතුන් මේ ස්ථානයට පැමිණෙන්නේ සෙල්ෆි ගැනීමට බවය.

හොර දළදා මාලිගයක් ගොඩනැඟීම හා බුද්ධාගමේ නාමයෙන් අයථා මුදල් රැස්කිරීම, බුදු බලයෙන් ප්‍රතිකාර කරන මුවාවෙන් කාන්තාවන් අතවරයට පත්කිරීම නොකියා කියන්නේ මෙරට රාජ්‍ය අංශයේ පරිපාලනයේ අකාර්යක්ෂම භාවයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කාර්යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් තම රාජකාරි හරිහැටි ඉටු කළා නම් ජානක බෝසතාණන්ට මෙතරම් දිග ගමනක් යන්නට හැකි වන්නේ නැත. ඊටත් වඩා පළාතේ පොලිසිය මේ ගැන වයඹ පළාත් පොලිසියට දැනුම්වත් කොට නිසි නීතිමය පියවර ගත්තා නම් තත්ත්වය මෙතරම් බරපතළ වන්නේ නැත.

මේ සියලු ප්‍රශ්නවල ආරම්භය වී ඇත්තේ පන්සල් අතර අධ්‍යාත්මිකව නොව භෞතිකව ඇති වී ඇති තරගයයි. මේ වෙළඳ ආර්ථිකය ආරම්භයට පෙර එදා දාන සීල භාවනාවට පොදු ජනතාව යොමු කළ පන්සල් අද දැවැන්ත තරගයකට පිවිස සිටී. එක් පන්සලක් ලොව උසම බුදු පිළිමය ඉදි කරයි. තව පන්සලක් ලොව දිගම බුදු පිළිමය ඉදි කරයි. තවත් පන්සලක් ලොව දිගම පෙරහැර කරයි. තවත් පන්සලක් බුදු පිළිමයට රන් ආලේප කරයි. තවත් පන්සලක් රම්‍ය සුරම්‍ය සුබ මාළිගා තුනම අත්හැර බුදු බව ලබාගත් බුදුන්වහන්සේ රන් රිදී මුතු මැණික් පිරුණු සම්බුද්ධරාජ මාළිගාවට වැඩමවයි. එබැවින්ම සිත නිවන තැනක් වෙනුවට ආශාවන්ට සිත වහල් කරන තැනක් බවට පන්සල පත් වෙමින් තිබේ. අද පන්සලේ න්‍යාය පත්‍රයේ ඉදිරියට පැමිණ තිබෙන්නේ සිත නිවන පින්කම්වලට වඩා සිත වෙහෙසවන කැරොල් උත්සවය. බුදු දහම විකෘති වෙමින් මනස නිවීමේ කාර්යයෙන් පන්සල ඈත්වීමත් පාරිභෝගිකවාදී සමාජය තුළ ජනතාව ආගමෙන් ඈත්වීමත් බෝසත් ජානකලා බහුල වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ජානක බෝසතා අපට මේ පුන පුනා කියන පරම සත්‍යය එයයි. ලංකාවේ පන්සල්වලටත් ඉහළින් ගොස් ව්‍යාජ දළදා මාළිගාවක් තනන්නට උන්නැහේ උත්සාහ කළේ මේ තරගය නිසා විය යුතුය.

සර්ධා විදානගමගේ

Comments