
සිය තරු පටි රැකගෙන කරන්න තිබෙන හැම දහදුරා වැඩක්ම කරමින් වැජඹුණු පොලිස් ලොක්කෙක් පොලිස් විශේෂ කාර්ය බළකායට අහඹු ලෙස කොටු වන්නේ පසුගිය 08 වෙනිදාය. ඒ නිධන් හෑරීමේ ජාවාරමක් පස්සේ පන්නමින් සිටියදී ගංජා තොගයක් සමඟිනි.
නිධන් ජාවාරම්කරුවන්ගේ ද සුරතලකු ලෙස කටයුතු කරමින් සිට ඇති මෙම පොලිස් ලොක්කා වෙන කිසිවෙකුත් නොව, මොණරාගල කොට්ඨාසය භාරව ඒ වන විට සිටි පොලිස් ප්රධානියාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් වන ඔහු නමින් සුනිල් ශාන්ත සිසිල කුමාර හේරත්ය. කැබිතිගොල්ලෑව පැත්තේ සිට උපසේවා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ඇති සිසිල කුමාර මේ සිදුවීම වන තුරුම පොලීසියේ සිටි බලවතෙක් යැයි සඳහන් කළ හොත් වරදක් නැති තරම්ය. ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායට හසුවීමෙන් පසුව පවා ඔහුව නිදහස් කර ගැනීමට දැවැන්ත බලපෑමක් පවා පොලිස් ලොක්කන්ට එල්ල වන්නට වූයේ ද ඔහුට ඇති එකී බලයේ තරම කියා පාමිනි. ඒ යැයි කියා ඔහුට එදා නිදහස උරුම නොවන්නේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සිය කොඳු නාරටි කෙළින් තබාගෙන සිටීම නිසාය. එසේ නොවන්නට මේ කතාව පරිවර්තනය වීමට තිබුණේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ගංජා සමඟ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි. එම මෙහෙයුම මුළුමනින්ම දියත් වෙන්නේ නිධන් ජාවාරම්කරුවන් පිරිසක් කොටු කර ගැනීමටය. එම ජාවාරම්කරුවන් සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර සිට හසුවෙතැයි විශේෂ කාර්ය බළකායේ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් පවා සිහිනෙකින්වත් සිතුවේ නැත. ඔහුගේ අත්අඩංගුවට ගැනීම මුළුමනින්ම සිදුවන්නේ හුදෙකලා සිදුවීමක් ලෙසිනි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මත්කුඩු සහ පාතාල අපරාධ මැඬලීමට සමගාමීව පසුගිය කාලය පුරාවටම නිධන් ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමක ද නිරතව සිටියේය. ඒ නිධන් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන ජාලයකින් විශේෂ කාර්ය බළකාය ශක්තිමත්ව සිටින බැවිනි. විශේෂ කාර්ය බළකා සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරට මොණරාගල සහ දිගාමඬුල්ල ආශ්‍රිතව සිදුවන මහා පරිමාණයේ නිධන් ගොඩගැනීමේ ජාවාරමක් ගැන තොරතුරක් ලැබෙන්නේ ඒ අනුවය. ඊට පොලිසියේ දූෂිත නිලධාරීන්ගේ ද සහය ඇති බව එම තොරතුරුවල කියැවුණත් ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් වනු ඇතැයි වරුණ ජයසුන්දර පවා නොසිතන්නට ඇත.
තමාට ලද මෙම තොරතුර පස්සේ පන්නමින් නිධන් ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ වගකීම වරුණ ජයසුන්දර විසින් පවරන්නේ විශේෂ කාර්ය බළකායේ ගාල්ල ප්‍රාදේශීය අණදෙන නිලධාරීන් සහකාර පොලිස් අධිකාරී කුලරත්නටය. ගාල්ල කඳවුරේ තෝරාගත් කණ්ඩායමක් යොදා බුද්ධි අංශයේද සහය ඇතිව කළ දීර්ඝ තොරතුරු විමර්ශනයකින් අනතුරුව කුලරත්න ඇතුළු විශේෂ කාර්ය බළකා කණ්ඩායම පසුගිය 07 වෙනිදා සියඹලාණ්ඩුව සහ මැදගම පැත්තේ කැරකෙමින් සිටින්නේ විමර්ශනයට ලක්වූ නිධන් ජාවාරම්කරුවන් නිධානයක් ගොඩ ගැනීමට සූදානම් වන බවට පැහැදිලි තොරතුරු ලැබීමත් සමඟිනි. ඒ වන විටත් ඔවුන් කාලයක් තිස්සේ ඒ පැත්තේ ඇති පෞරාණික ස්ථාන කඩා බිඳ දමමින් නිධන් සොයා ඇති බවට තොරතුරුද මෙම විශේෂ කාර්ය බළකා කණ්ඩායමට ලැබී තිබුණේය.
විශේෂ කාර්ය බළකාය විසින් ඒ වන විට රැස් කරගෙන තිබුණු තොරතුරුවලට අනුව මෙම නිධන් ජාවාරම් කල්ලියේ පේනකරුවෙක්ද සිටියේය. නිධන් ඇති තැන් කීමට බලයක් ඇතැයි කියනු ලබන මෙම පේනකරුවා මොරටුව එගොඩඋයනේ පදිංචිකරුවෙකි. මේ අය නිධන් ගොඩගැනීමට යන්නේ භූමිය අභ්‍යන්තරයේ ඇති පාෂාණ සහ වෙනත් ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණයක් රැගෙනය. එම උපකරණයේ හිමිකරු වූයේ පානදුර උඩහමුල්ලේ සිරිමල් උයනේ පදිංචිකරුවෙකි. ඉතාලියේ කලක් රැකියාවේ නිරතව සිටියෙක් වන ඔහු එම උපකරණය මෙරටට රැගෙන විත් තිබුණේ ඉතාලියේ සිටය.
සියඹලාණ්ඩුව සහ මැදගම පැත්තේ කරක් ගසමින් සිටි නිධන් ජාවාරම්කරුවන් අතර මේ දෙදෙනා ද සිටියේය. ඔවුන් දෙදෙනාව මොරටුව සහ පානදුරට ගොස් රැගෙන එන්නේ මොණරාගල පැත්තේ ටයිල් මල්ලී නමින් කුප්‍රකට පුද්ගලයකු විසිනි. ඒ ඔහුට අයත් ජීප් රථයක නංවාගෙනය. මේ අයව විශේෂ කාර්ය බළකාය විසින් පන්නන්නේ යැයි කියැවෙන්නේ මොරටුවේ සිටය. ඒ එන විට ස්කෑනරයද ඔවුන් රැගෙන ආ බව විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබුණේය. ඒ අනුව පැහැදිලි වූයේ මෙම පිරිස මොණරාගලට එන්නේ නිධානයක් සොයාගෙන බවය.
ටයිල් මල්ලිට අයත් ජීප් රථයේ නැඟී ඔවුන් තැනින් තැනට යන විට සහකාර පොලිස් අධිකාරී කුලරත්න ඇතුළු පොලිස් කණ්ඩායම ද ඒ අයට නොදැනෙන්නට ඔවුන් පස්සේම රැඳී සිටියේය. සහකාර පොලිස් අධිකාරී කුලරත්න සැලසුම් කරනුයේ සියඹලාණ්ඩුවේ ස්ථාන දෙකකදී ඔවුන් ගමන් කරන ජීප් රථය ක්ෂණික මාර්ග බාධකයකදී සෝදිසි කර ස්කෑනරය සමඟ ඔවුන්ව කොටු කර ගන්නටය. ඒ එම ජීප් රථය තුළ ස්කෑනරය ඇති බවට පැහැදිලිවම තොරතුරු ලැබී තිබුණු බැවිනි. හැම දෙයක්ම සැලසුම් කළ පරිදි සිදුවූවත් අවසාන මොහොතේදී වැඩේ ගැස්සී යන්නේ ඒ අයට ඇතිවුණු සැකයක් මත අතුරු මාර්ග ඔස්සේ බඩල්කුඹුර පැත්තට ඔවුන් වේගයෙන් ගමන් කරන්නට වූ බැවිනි. බඩල්කුඹුරේදී ඔවුන්ව පිළිගන්නට මඟට ඇවිත් සිටින්නේ එවකට සිටි මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ය. පොලිස් ජීප් රථයෙන් පැමිණ සිටි සිසිල කුමාර ටයිල් මල්ලිගේ ජීප් රථයේ සිටි පිරිස සිය පොලිස් ජිප් රථයට නංවා ගෙන මොණරාගල පිහිටි සිය නිල නිවෙස වෙත ගමන් කරන්නට වූයේ ටයිල් මල්ලිගේ ජීප් රථය පෙරටු කරගෙනය.
ඒ යැයි කියා සහකාර පොලිස් අධිකාරී කුලරත්න ඇතුළු විශේෂ කාර්ය බළකා නිලධාරීන් අධෛර්යට පත්වූයේ නැත. විශේෂ කාර්ය බලකා සේනා විධායක වරුණ ජයසුන්දරගේ උපදෙසින් තවදුරටත් නිධන් හොරු පස්සේ පන්නන්නට ගත්තේය. පැය ගණනාවක්ම පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස අසල රැක සිටියේය. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට එහිදී පෙනී ගියේ මෙම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමඟ ඉතාම කුළුපග පිරිසක් බවය. ඔවුන් එදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසෙන් පිටතට එන්නේ රෑ බෝ වීමෙන් අනතුරුවය. එදා මේ කණ්ඩායමේ නවාතැන බවට පත්වන්නේ ටයිල් මල්ලීගේ නිවෙසය. විශේෂ කාර්ය බලකායේ වෙස්වළාගත් කණ්ඩායමක් එදා රෑ එළිවෙන තුරුම ඒ නිවස අවට රැකවල් ලාගෙන සිටියේ මහා රෑ ඔවුන් නිධානයක් ගොඩ ගැනීමට යනු ඇතැයි සිතාය. එහෙත් සිතූ ලෙස ඔවුන් එදා ඒ නිවසින් අඩියක් පිටතට තැබුවේ නැත. පසුදින උදෑසනම අවදිවී ඔවුන් යන්නේ මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසටය. එහි ඔවුහු පැය හත අටක්ම රැඳී සිටියහ. එදා සවස් වන තුරුම කමින් බොමින් විනෝද වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිල නිවසේ කාලය ගත කරමින් සිට එළියට බසින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර විසින් පරිහරණය කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක නැඟීය. එම ජිප් රථයේ හිමිකරු මොණරාගල පැත්තේ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාර කටයුතු ගැන ඇත්තේ ගැටලුවකි. බොහෝ අය කියන්නේ ඔහු ගංජා ජාවාරම්කරුවෙක් බවය. එම පුද්ගලයා සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිතර වාහනවල ගමන් කරනු මොණරාගල පැත්තේ පොලිස් නිලධාරීන්ට මෙන්ම ගම් වැසියන්ටද සුලබ දසුනකි.
නිධන් හාරන්නට ආ පිරිස මෙම ජීප් රථයේ නැඟී එළියට එන්නේ මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය දෙසිනි. ඒ සිසිල කුමාර සමඟ තරුණ කාන්තාවක් ද එහි නංවාගෙනය. එම කාන්තාව මොණරාගල පැත්තේ තැනැත්තියකි. පිටත සිට ආවේෂණයේ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් ඇඳුමෙන් සිටි භටයන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හෝ කාන්තාවක් ජීප් රථයට ගොඩවූ බවක් දුටුවේ නැත. ඒ නිසා ඔවුන් සහකාර පොලිස් අධිකාරී කුලරත්නට දැනුම් දෙන්නේ නිධන් ජාවාරම්කරුවන් මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලයේ සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටින බවය. ඒ UP HK 3573 අංකය දරන ඔවුන් ගමන් කරන ජීප් රථයේ අංකය ද ලබා දෙමිනි.
තවදුරටත් මේ අය කොටුකර ගැනීමට ප්‍රමාද කිරීම පසුතැවිල්ලට හේතුවක් වනු ඇති බව පැහැදිලිවම වටහා ගත් සහකාර පොලිස් අධිකාරී කුලරත්න සැලසුම් කරනුයේ අතරමඟදී මෙම ජීප් රථය නතර කර පරීක්ෂා කරන්නටය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගයෙන් ක්ෂණික මාර්ග බාධක සෝදිසි මුරපොළක් ස්ථාපිත කරනු ලබන්නේ මොණරාගල වැල්ලවාය මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදීය. ජීප් රථය එතැනට කිට්ටුවනවාත් සමඟ එය නතර කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ සංඥාවකි. එම සංඥාවට අවනත වෙමින් ජිප් රථය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අසල නතර කරනු ලැබීය. වම්පස පැති වීදුරුව පහත් කරමින් ඒ තුළ සිටි අයෙක් “මම මොණරාගල ඩිවිෂන්” යැයි තමාව හඳුන්වා දෙනු ලැබීය. ඒත් එක්කම විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඔහුට ආචාර කරමින් අනන්‍යතාව පරීක්ෂා කරනු ලබන්නේ ඒ සැබෑ ලෙසම මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාම දැයි සැක හැර දැන ගැනීමටය.
“සර්, එතකොට මේ කවුද?” සහකාර පොලිස් අධිකාරී කුලරත්න රියදුරු අසුනේ සිටි අය දෙස බලා විමසුවේය.
“ මේ මගේ පී. සී. ඩී.” යැයි පොලිස් අධිකාරීවරයා කීවේය.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහිදී පොලිස් රියදුරා යැයි කී ඒ පුද්ගලයාගේත් අනන්‍යතාව තහවුරු කිරීමට අමතක නොකළේය. එහිදී ඔහු මොණරාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින බොතේජු නැමැති පොලිස් කොස්තාපල්වරයා බව හඳුනා ගනු ලැබීය.
කාන්තාව ඇතුළු සිවු දෙනකුම ජිප් රථයේ පසුපස සිටියහ. ඒ අය අතර ටයිල් මල්ලී මෙන්ම මොරටුව සහ පානදුරෙන් පැමිණි දෙදෙනා ද සිටියේය. ඒ අයගේ අනන්‍යතාව පරික්ෂා කිරීමට යෑමේදී සිසිල කුමාරගෙන් එල්ල වන්නට වූයේ බලවත් විරෝධයකි. සිය බලය පවා විශේෂ කාර්ය බළකා නිලධාරීන් හමුවේ කියා පාන්නට ද ගත්තේය. ඒ වන විට පාලනය කිරීමට නොහැකි තැනට ඔහු පත්වන විට සහකාර පොලිස් අධිකාරී කුලරත්න උපදෙස් පතන්නේ සිය ප්‍රධානියා වූ විශේෂ කාර්ය බළකා සේනාවිධායක වරුණ ජයසුන්දරගෙනි. එහිදී ඔහුගෙන් උපදෙස් ලැබෙන්නේ ඉලක්කය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නොවන බැවින් ඒ ගැන ඔහුට පැහැදිලි කර දෙමින් සැකකරුවන් පරික්ෂා කරන ලෙසය. ගැටලුවක් පැන නඟින්නේ නම් තමා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවට වූ සහතිකයක් ද එහිදී සහකාර පොලිස් අධිකාරී කුලරත්නට සිය ප්‍රධානියාගෙන් ලැබුණේය.
එම වචනයෙන් පන්නරය ලද සහකාර පොලිස් අධිකාරී කුලරත්න ඇතුළු නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරගේ ගෝරනාඩු සතේකට මායිම් නොකර පිටුපස රැඳී සිටි සිවුදෙනාම ජීප් රථයෙන් බිමට බැස්සුවේය. අනතුරුව ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගත්තේය. මෙහිදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකයට ලක්ව සිටි මේ අය අත වූ ජංගම දුරකතන ද සිය භාරයට ගත්තේය. එම ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මතුවන්නේ මොණරාගල සහ ඒ අවට ඇති පෞරාණික වස්තූන් ඇති ස්ථානවල ඡායාරූප ගොන්නකි. එම පුරා වස්තූන්වලට මේ අයගේ බැල්ම වැටී ඇති බව ඔවුන් ඒ තැන්වලට ගොස් ලබා ගෙන ඇති ඡායාරූප එකින් එක විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේය. විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ පරීක්ෂාවට අනතුරුව පත්වන්නේ ජිප් රථයයි. ඒ ස්කෑනරය සොයාය.
“සර් ස්කෑනර් එක වාහනේ නැහැ. ෂුවර් එකටම ඒක ඇත්තේ ඩිවිෂන් මහත්තයාගේ බංගලාවේ.” සහකාර පොලිස් අධිකාරී කුලරත්න සිය ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට දුරකතන ඇමතුමක් ගෙන මෙම දැනුවත් කිරීම කරනුයේ තවදුරටත් ජිප් රථය නතර කරගෙන පරීක්ෂා කිරීමෙන් පලක් නොවන බව වටහාගැනීමෙන් අනතුරුවය.
වරුණ ජයසුන්දර මෙහිදී හිතුමතේට තීන්දුවක් ගන්නට ගියේ නැත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න අමතමින් හැම දෙයක් ගැනම ඔහුව දැනුවත් කළේය. එහිදී පොලිස්පතිවරයාගෙන් වරුණ ජයසුන්දරට ලැබෙන්නේ කොළ එළියකි. ඒ එම මෙහෙයුම අතරමඟ නතර නොකර අවසානයක් දක්වාම කරගෙන යන ලෙසටය. ඒත් එක්කම වරුණ ජයසුන්දරගෙන් ඇමතුමක් යන්නේ සහකාර පොලිස් අධිකාරී කුලරත්නටය. ඒ අනුව කුලරත්න ජීප් රථයේ සිටි කාන්තාවගේ අනන්‍යතාව සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව මාර්ගයේ ගමන් කරමින් තිබුණු ත්‍රීරෝද රථයක නන්වා පිටත් කර යවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස රැගෙන යන්නේ පොලිස් අධිකාරීවරයාගේ බංගලාවටය. ඒ ස්කෑනරය එහි තිබේදැයි සොයා පරීක්ෂා කරන්නටය. මෙහිදී විශේෂ කාර්ය බළකා සෙබළු ඔවුන් භාරයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරට තනතුරට ලැබිය යුතු ගෞරවය පවා නොඅඩුව ලබා දුන්නේය.
නිල නිවසට ගිය විශේෂ කාර්ය බළකා සෙබළු එහි අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කරන්නට වූයේ ස්කෑනරය අනිවාර්යෙන්ම ඔවුන් මෙහි සඟවා ඇති බවට වූ දැඩි විශ්වාසයක් මුල් කරගෙනය. එහෙත් ස්කෑනරයක් එහි නොවීය. ඒ නිසාම සහකාර පොලිස් අධිකාරී කුලරත්නගේ අවධානය යොමු වන්නේ නිවෙසේ සිවිලිම වෙතය. ඒ තුළට රිංගන විශේෂ කාර්ය බළකා සෙබළෙක් එහි තිබී පිටතට ගන්නේ පත්තර කඩදාසිවල ඔතා තිබුණු ගංජා ගස් තොගයකි. මිටි වශයෙන් සිවිලිම අස්සේ තිබුණු ගංජා ගස් එකින් එක පිටතට ගන්නට වූයේ කොයි කවුරුත් ඒ ගැන පුදුමයට පත්කරවමිනි. එසේ සිවිලිම අස්සේ තිබී අඩි පහමාරක් පමණ උසැති ගංජා ගස් 654ක් විශේෂ කාර්ය බළකා සෙබළු විසින් එළියට ගත්තේය. එම ගංජා ගස්වල බර කිලෝ 22යි ග්‍රෑම් 510කි. ඒ හැරුණු කොට සිලින්ඩාකාර කළු ගල් කුටිටියක ද එහි තිබී විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සොයා ගත්තේය. ඒ ගැන සොයා බැලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පෙනී ගියේ එය පුරා විද්‍යාත්මක ස්ථානයක සිදු කළ කැණීමකින් ලබා ගත් එකක් බවය. ඒ හැරුණු කොට පන්දම් දෙකක් ද විශේෂ කාර්ය බළකා සෙබළු විසින් සොයා ගත්තේ පොලිස් අධිකාරීවරයාගේ බංගලාවේ තිබියදීය. එහෙත් පැය ගාණක් පුරාවට වෙහෙසෙමින් සෙවූ ස්කෑනරය නම් එහි නොවීය. ඒ යැයි කියා දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව අතහැරිය නොහැකිය. ඒ ගංජා තොගයක් ඔහුගේ නිල නිවසේ තිබී සොයාගෙන තිබුණු බැවිනි. එම ගංජා ඒ වන විටත් තිබුණේ අමු මට්ටමින් වූ බැවින් තමාට පෙර නිල නිවසේ සිටි පොලිස් අධිකාරීවරුන් ඊට වගකිය යුතු යැයි කියන්නට වත් ඔහුට විදිහක් නොවීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවෙසේ සිවිලිමේ තිබී ගංජා හමුවීම ගැන ඒ වන විටත් වරුණ ජයසුන්දර විසින් පොලිස්පතිවරයාව දැනුවත් කර තිබුණි. එහිදී පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දෙන්නේ පොලිස් අධිකාරීවරයාට යැයි කියා වෙනම නීතියක් නොමැති බැවින් හැමෝටම ක්‍රියාත්මක කරන නීතිය ඔහුට ද ක්‍රියාත්මක කරන ලෙසය. පොලිස් විශේෂ කාර්ය බළකාය කිසිදු චකිතයකින් තොරව එදා මහා රෑ සිසිල කුමාරව අත්අඩංගුවට ගත්තේ එබැවිනි. එසේ ඔහුව අත්අඩංගුවට ගන්නා විට නිධන් ජාවාරම්කරුවන් කට අරින්නට ගත්තේ ස්කෑනරය සඟවා ඇති තැන ද හෙළි කරමිනි. ස්කෑනරය ඒ වන විට තිබෙන්නේ බුද්ධම වැල්ලේපොල පැත්තේ නිවෙසකය. එහි සඟවා ඇත්තේ සෙනසුරාදා විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔවුන් පස්සේ පන්නන විට ඒ ගැන ඇති වුණු සැකයක් මතය. ඒ අනුව මහ රෑම විශේෂ කර්ය බළකා සෙබළුන් විසින් බුද්ධමට ගොස් ස්කෑනරය සොයා ගන්නේ එය සඟවාගෙන සිටි සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ය.
විශේෂ කාර්ය බළකාය විසින් දීර්ඝ මෙහෙයුමක් දියත් කරමින් සොයමින් සිටියේ එම ස්කෑනරය සහ එය යොදාගෙන නිධන් හාරමින් සිටි නිධන් හොරු පිරිසකි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර එම කල්ලියේ සාමාජිකයෙක් බව අත්අඩංගුවට ගන්නා තුරුම විශේෂ කාර්ය බළකාය දැන සිටියේ නැත. ඉන් එහාට කරන්නට තරම් විමර්ශනයක් ද විශේෂ කාර්ය බළකායට නොවීය. එතැන් සිට ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ සිට පැමිණ විමර්ශන භාරගන්නා තුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ඇතුළු පිරිසකට වෙන්කර තැබෙන්නේ පස්සර පොලීසියේ සිරමැදිරි දෙකකි. එක් සිරමැදිරියක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් වෙන්වන අතර සෙසු සිරමැදිරිය වෙන්වන්නේ ඔහුගේ රියදුරු ඇතුළු කල්ලිය වෙනුවෙනි. ඊට පසුගිය 12 වෙනිදා අලුත් සාමාජිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකතු කළේය. ඒ ඇතිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය සුදත් ධර්මදාසවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එදින රෑ ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ පොලිස් අධිකාරී නිල නිවසේ සිවිලිමෙන් මතුවී තිබුණේ ඔහු විසින් ජේයෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබාදුන් ගංජා තොගයක් වූ බැවිනි. එම ගංජා තොගය ඇතිමලේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් ස්ථානයට රැගෙන විත් ගොඩගසා තිබුණු නඩු භාණ්ඩවලින් කොටසකි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීම මත තමා එම ගංජා තොගය ලබා දුන් බවය. ඒ ගැන සොයා බැලීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මෙම නිලධාරියා මෙසේ ගංජා රැස් කිරීම අද ඊයේ පටන් සිදු කරන ක්‍රියාවක් නොවන බවය. මෙම නිලධාරියාගේ ඉතිහාසයම ගද ගසන බව පෙනී ගොස් හමාරය.
භීෂණ සමයේදී හොඳ හොඳ සෙල්ලම් පෑ නිලධාරියෙක් ලෙස කියැවෙන සිසිල කුමාර කාලයක්ම සිට ඇත්තේ ඇමතිවරයකුගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙසිණි. ජවිපෙන් කැඩී වෙන්වූ ක්‍රියාකාරී දේශපාලනඥයෙක් වන ඔහු දැන් නියෝජනය කරනුයේ විපක්ෂයයි.
එකල එම ඇමැතිවරයා සමීපයේ රැඳී සිටියදී අල්ලන්නට හැකි ඉහළම තැන් අල්ලා ගෙන සිටි සිසිල කුමාර සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබීමෙන් පසු මොණරාගල පොලිස් කොට්ඨාසයේ සේවයට යන්නේ දේශපාලන ආශිර්වාදය ද ඇතිවය. එකල මොණරාගල පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින්නේ බදුල්ලේ වත්මන් පොලිස් ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ලය. සිසිල කුමාර නම් වූ සහකාර පොලිස් අධිකාරීවරයා එකල ගංජා ජාවාරම්කරුවන් සමඟ එක්ක කළ අනීතික දේවල් ඉවසා ගැනීමට නොහැකි වූ තැන ඔහු පොලිස්පතිවරයාට රහස් ලිපියක් මඟින් ඒ දේවල් දැනුවත් කරමින් ඉල්ලා සිටින්නේ ඔහුව කිසිදිනක මොණරාගල කොට්ඨාසයේ සේවයේ නොයොදවන ලෙසය. ඒ අනුව එවකට සිටි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් විසින් බුද්ධි අංශයෙන් ද වාර්තාවක් කැඳවා සිසිල කුමාරව කන්කසන්තුරේට යවන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල විසින් යොමු කළ ඒ ලිපිය පොලිසියේ මානව සම්පත් කළමනාකරණ අංශයේ ඇති සිසිල කුමාරගේ ලිපි ගොනු අතරට ද යවමිනි.
වැඩි කල් ඔහු කන්කසන්තුරේ රැඳී සිටියේ නැත. ඉලංගකෝන් පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගොස් පූජිත් ජයසුන්දර පොලිස්පතිධුරයට පත්වන විට ස්ථාන මාරුවක් ලැබ මීගමුව කොට්ඨාසයට ආවේය. ඒ පොලිස් අධිකාරීවරයෙක් ලෙසිනි. ඒ පැමිණි ඔහු පාස්කු ප්‍රහාරය එල්ල වන විට සේවයේ රැඳී සිටියේ කටුවපිටිය දේවස්ථානය පිහිටි ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. පාස්කු ප්‍රහාරය ගැන කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන චෝදනා එල්ලවී සිටින පොලිස් කණ්ඩායම අතර ඉහළින්ම නම කියැවෙන චරිතයක් වන්නේ ඔහුය. මොණරාගල කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස ඔහුට උසස්වීමක් පවා ලැබෙන්නේ මෙවැනි පසුබිමක් තුළදීය. මොණරාගල පොලිස් ප්‍රධානියා ලෙස ඔහු පත්වන්නේ ද ඒ වන විට මොණරාගල පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටි පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාමන්ත විජේසේකරව කපාගෙනය. ඒ පැමිණි ඔහුට අද සිදුව ඇත්තේ තමාගේ යටතේ තිබුණු පොලිස් ස්ථානයක පොලිස් සිරමැදිරියක කූරු ගණන් කරන්නටය. හැබැයි ඒ කොපමණ කාලයකටදැයි කියන්නට බැරිය. මන්ද යත්, මෙවැනි චෝදනාවන්ට ලක්ව මෙයට පෙර ගම්වැසියන් පවා ගස්බැඳ පොලිසියට භාරදුන් නිලධාරීන් අවසානයේදී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වාම උසස් වීම් ලබා ඇති බවට වූ සාක්ෂි, ඉතිහාසය තුළ මෙන්ම වර්තමානයේ දී ද විද්‍යමානව ඇති බැවිනි.