දිවි ගමන නිමා කළ රංගන පෞරුෂය බුද්ධි වික්‍රම මිය යනවිට අවුරුදු 83යි | Page 2 | සිළුමිණ

දිවි ගමන නිමා කළ රංගන පෞරුෂය බුද්ධි වික්‍රම මිය යනවිට අවුරුදු 83යි

වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එක ලෙස ජයගත් තවත් ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ කලා තරුවක් කලා අඹරින් නිවී ගියේය. ඒ පසුගිය 5 වැනිදාය. තාරා දේවී, දූදරුවෝ, ගම්පෙරළිය, සුසීමා, බවතරණ, අඹ යහළුවෝ වැනි ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ තිබූ ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක හදවත් සියුම් ලෙස ග්‍රහණය කරගත් ඔහු බුද්ධි වික්‍රමයි. මේ ඒ අසහාය කලාකරුවා ගැන සටහනකි.

 

1939 ජනවාරි 19 වැනි දින ගාල්ල හීනටිගලදී උපත ලද බුද්ධිසේන දයාරත්න වික්‍රම හෙවත් අප කවුරුත් දන්නා බුද්ධි වික්‍රම සිවුදෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නාය. හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතියීක අධ්‍යාපනය නිම කළේ පාසලේ දක්ෂතම සිසුන්ගේ නාම ලේඛනයේ ඉදිරියෙන්ම නම සටහන් කරමිනි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ සිය පියාගේ සේවා ස්ථාන මාරූ වීම් ඔස්සේ විවිධ පළාත්වල. විවිධ පුද්ගලයන් සමඟ ඇසුර ලබන්නට ඔහුට හැකි විය.

නමුදු සිය පියාගේ අවාසනාවන්ත මරණයත් සමඟින් කඩා වැටුණු තම පවුලට අත්වැලක් වීමට සිතූ බුද්ධි වික්‍රම 1959දී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ නිර්මාණකරුවකු ලෙසිනි.

ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, ෂෙල්ටන් ද සිල්වා සහ මර්වින් ජයතුංග යන කලා සගයන්ගේ ඇසුර ඔහුට ලැබෙන්නේ එහිදීය. ජී. ඩී. එල් පෙරේරා ආරම්භ කරනු ලැබූ කලා පෙළ නාට්‍ය කණ්ඩායමට එකතු වීමත් සමඟින් ඔහුගේ කලා දිවියේ ඇරඹුම සනිටුහන් වේ. විනී විතාරණගේ අවුරුද්ද වේදිකා නාට්‍ය තුළින් පාසල් වේදිකාව ග්‍රහණය කරගත් බුද්ධි වික්‍රම ජී.ඩී. එල් ගේ “මඟුල් මතේ“ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය. “අන්දරේලා, පරස්තාව, කාමරේ පොරේ, ජනේලය, තොටුපළ, මෙහෙව් ලෝකයක්, කෝන්තරේ, මනරංජන වැඩවර්ජන, හොටබරි යුද්දේ, අපායේ අවුරුදු, ශ්‍රී වික්‍රම වැනි නාට්‍ය ඔහු දායක වූ වේදිකා නාට්‍ය අතුරින් කැපී පෙනුණි.

1964 වසරේ ජී. ඩී. එල් පෙරේරාගේ සාමා චිත්‍රපටයෙන් සිනමාවට ද පිවිසි ඔහු සැඩොල් කඳුළු, වැලිකතර, හාරලක්ෂය චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක විය. විලේජ් බයි ද සී, වෝටර්, ගුඩ් මැරේජස්, ද ග්‍රේටස්ට් ගිෆ්ට් වැනි විදේශීය චිත්‍රපට සහ කතාමාලාවලට ද තම රංගන දායකත්වය ලබා දුන් බුද්ධි වික්‍රමයන් ලූෂන් බුලත්සිංහලයන්ගේ එක මවකගේ දරුවෝ ටෙලි කතා මාලාවෙන් පුංචි තිරයට පිවිස බොහෝ සේ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර විය. දශක දෙකක් වන් කාලයක් තුළ ගම් පෙරළිය, තාරාදේවී, සුසීමා, දූ දරුවෝ, බවතරණ, අඹ යහළුවෝ, බූමරංගය වැනි ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය 40කටත් වැඩි ප්‍රමාණයකට තම රංගන දායකත්වය සැපයූ බුද්ධි රඟපෑ සැම නාට්‍යයක්ම රසික සිත් තුළ තවමත් නොමැකී ඇතැයි සිතේ. ඒ අතරිනුත් ඔහු රංගනයෙන් දායක වූ “අඹ යහළුවෝ, කැන්දලන්ද, මෙන්ම දූ දරුවෝ හි පුන්සිරිලාගේ තාත්තා අදට ද ප්‍රේක්ෂක මතකයේ රැඳී තිබෙන චරිත අතර වේ.

තම ජීවන සහකාරිය වූ අයිරාංගනී වන්නකුකෝරාල ඔහුට මුණගැසෙන්නේ ද තම රැකියා ස්ථානයේ දීය. ඒ ඔහු පිඟන් සංස්ථාවේ සේවය කරන අතරතුරදීය. දැන හැඳුනුම්කම මත ඇති වූ ඒ ආදරය 1975 දී විවාහය දක්වා ගෙනයෑමට ඔවුන්ට හැකි විය. ඔවුන්ගේ දිවිය හැඩ කළේ එකම දියණිය වූ කුෂ්ලානි වික්‍රම ය. දියණියගේ විවාහය මෙන්ම මුනුපුරු නවීන් පුතු ලැබීමත් සමඟින් ඔවුන්ගේ දිවිය තවත් හැඩ විය.

2014 වසරේ බුද්ධි වික්‍රමයන්ට බයිපාස් සැත්කමත් කිරීමට සිදුවීම, සමඟ 2016 වසර වන විට ඔහුට සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඉවත් වීමට සිදු විය. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වී තිබුණේ ආර්. ආර්. සමරකෝන්ගේ දූවිලි වේදිකා නාට්‍යටයි. පාදයේ නහර ගැටගැසීමත් සමඟින් කකුලේ ඇති වූ අවහිරතා හේතුවෙන් මීට වසර තුනහමාරකට පමණ පෙර සිටම රෝද පුටුවකටම සීමා වූ ඔහු ඒ අතරතුර උකුල් අස්ථිය ආශ්‍රිත ආබාධයකට ද ලක් විය. කථනයේ අපහසුතාවයක් ද පැවති මුත් පාකින්සන් රෝගයට ගොදුරු වී ඇතැයි දැනගන්නට ලැබෙන්නේ 2017 වසරේදීය. ප්‍රිය බිරියගේ හා දියණියගේ ආදර සත්කාර මැද දිවි ගෙවූ බුද්ධි වික්‍රමයන් පසුගියදා හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලබන්නේ හදිසියේම ඇති වූ රෝගී තත්ත්වයක් උත්සන්න වීම නිසාය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 5 වැනිදා ඔහු අප අතරින් සමුගන්නේ තවත් ප්‍රතිභාපූර්ණ ශ්‍රේෂ්ඨ කලාකරුවකුගේ හිඩැස කලා ලොවට ඉතුරු කරමිනි. අවුරුදු 83ක් ආයු වැලඳූ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අවසන් කැමැත්තට අනුව පසුගිය 6 වැනිදා පවුලේ ඥාතීන්ගේ සහ රසිකයන්ගේ සෝ සුසුම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණි.

Comments