ඒක තමයි දැන් මගේ ෆැෂන් එක මනුස්සයෙක් විදිහට මම සාර්ථකයි | සිළුමිණ

ඒක තමයි දැන් මගේ ෆැෂන් එක මනුස්සයෙක් විදිහට මම සාර්ථකයි

ටීවී එකේ හිටපු පළියට මගෙ ක්ලාස් එකට ළමයි එන්නේ නැහැ

 

මයික්‍ර ෆෝනයක් අතට ගත්තම නිවේදකයෙක් වුණාට ඒ නිවේදකයාට හෝ නිවේදිකාවට සන්නීවේදකයෙක් වෙන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රවෘත්ති නිවේදනය තුළ බ්‍රෑන්ඩ් එකක් වුණු අයත් සීමිතයි. ඒ විදිහට රූපවාහිනිය තුළ නම බ්‍රෑන්ඩ් එකක් කර ගනිමින් වසර 18ක් නිවේදනය රැකියාව කරගත් වසර ගණනාවක් තිස්සේ එක පිට එක සම්මාන රැසකට හිමිකම් කී ඔහු නමින් සාරංග පතිරණ. ඔහු දැන් නිවේදනයට සමු දීලා. මේ ඔහුගේ කතාවයි.

 

අවුරුදු දහ අටක් වෙනවා ඔබේ රැකියාවේ පළපුරුද්දට, සාරංග එතරම් කාලයක් හිටපු රැකියාවෙන් එක පාරටම අයින් වෙන්නේ ඇයි?

සම්පූර්ණයෙන්ම මාධ්‍ය ජීවිතේට තිත තිබ්බා. අයින් වෙන්න ප්‍රධාන හේතුව තමයි මම මාධ්‍ය විෂය සම්බන්ධයෙන් පුද්ගලික ගුරුවරයෙක් හැටියට කටයුතු කරන්න පෙලඹීම. මම වසර 10ක් හිරු නාළිකාව එක්ක වැඩ කළා. මම අයින් වෙනවා කියලා දැන ගත්තම බොහෝ දෙනෙක් හිතුවේ ඉහළ කළමනාකාරිත්වය එක්ක මොකක් හෝ අමනාපකම් නිසා අයින් වුණා කියලා. හිරු ආදරණීය නවාතැනක් වුණා මට නම්. එම්. ඩි. රෙනෝ සිල්වා මහත්තයා ඉන්න කිව්වා. මම එතුමාට පැහැදිලි කරලා කිව්වා මම මොනා නිසාද අයින් වෙන්නේ කියලා. එතුමා හිත හොඳින් මට සමු දුන්නා.

 

හිත රැඳුණු තැනකින් මිදෙනවා කියන්නේ හිතට වේදනාවක් ..?

ඇත්ත. මම තීරණය ගත්තාට පස්සේ හරියට දුක් වුණා. හිරු නාළිකාවේ ක්‍රිඩා අංශය අනිත් නාළිකා එක්ක බැලුවම හැමදාම හිටියේ අංක එකට. ඒ අවුරුදු දහයට ක්‍රිඩා සම්මාන විතරක් 18ක් අරන් තියෙනවා. මගෙන් පස්සේ භාර ගත් දෙන්නා ඒ කාර්ය ඉටු කරයි කියලා විශ්වාස යි. මට හිත හදාගන්න අමාරු වුණා මාධ්‍ය ජීවිතෙන් හා හිරු පවුලෙන් ඈත් වෙන්න. ඒත් ඈත් වුණා.

 

ගත්ත තීරණය වැරදි යි කියලා පස්සේ දවසක හිතුණොත්..?

මම මගේ ජීවිතේ ගත්ත හැම තීරණයක්ම හොඳින් හිතලා බලලා ගත්ත තීරණ. පසු තැවිලා නැහැ. මේ තීරණයත් එහෙමමයි.

 

දැන් හිත නිදහස්ද..?

ඔව් ලොකු බරකින් නිදහස් වුණා වගේ හැඟීමක් එන්නේ. ඒ කාලය පුරා මම මගේ තනතුරු එක්ක මානසිකව වැටිලා හිටියේ. හේතුව වගකිම. නිව්ස් රූම් එකක් කියන්නේ ලොකු වගකීමක්. සියයට 500ක උපරිම දෙන්න ඕන. ඒක බරක් ඇත්තටම. රැකියාවෙන් ඉවත් වෙන්න ඕන නිදහස භුක්ති විඳින්න. දැන් නිදහස්. ඕන දෙයක් ඕන වෙලාවක කරන්න පුළුවන්. කාලය තියෙනවා.

 

මිඩියා හිටපු පළියට ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් ද ..?

බැහැ. ඒ සඳහා අවශ්‍ය ඇකඩමික් සුදුසුකම් මට තියෙනවා. මම දැන් අතපසු වූ පී. එච්. ඩී එක කරන්න ඉන්නේ. හිරු එකේ ඉන්න ගමන් විශ්වවිද්‍යාල කිහිපයක වැඩ කළා බාහිර කථිකාචාර්යවරයකු විදිහට. අනිත් එක දැන් ඉන්න ළමයි ක්ලාස් එන්නේ ගුරුවරුන්ගේ සුදුසුකම් බලලා. ඉගෙන ගන්න උගන්වන්න පුළුවන් ද බලලා. මම ටීවී එකේ හිටපු පළියට ක්ලාස් එකට ළමයි එන්නේ නැහැ. එහෙම වුණා නම් මගේ ක්ලාස් එකේ ගොඩක් ළමයි ඉන්න ඕන. දෙතුන් දෙනෙක්ගෙන් වැඩේ පටන් ගත්තේ.

 

ස්ථීර රැකියාවක් නැතුව ආර්ථිකයට බලපෑමක් වෙන්න පුළුවන්..?

ඔව්. දෙයියනේ කියලා හිරු එකෙන් මට හොඳට සැලකුවා. හැමදේම ලැබුණා. හොඳ වැටුපක් ලැබුණා. මම අයින් වෙනවා කිව්ව ගමන්ම මගේ අම්මා ඇහුවේ පිස්සු ද හොඳ පඩියක් ගන්නවනේ ඒක අත අරින්නේ ඇයි කියලා. හැමෝම කිව්වා. ඒත් නිදහසට ඉඩ දුන්නා.

 

ඔබත් ෆැෂන් එකට ද ටියුෂන් කරන්නේ..?

ඔව්. ඒක තමයි මගේ ෆැෂන් එක දැන්.

 

මාධ්‍ය රැකියාවේ නිදහස ඇහිරිම නිසා සාරංගගේ පුද්ගලික ජීවිතේ අසාර්ථක වුණා ද..?

එක කාරණාවකදි විතරක් ඔව්. ඒක පුද්ගලික කාරණාවක්. ඒ හැංගුණ ජීවිතේ එහෙම්ම යට යන්න දුන්නා..ඒ හැරුණම එහෙම අසාර්ථක වුණේ නැහැ. මනුස්සයෙක් විදිහට මම සාර්ථකයි.

 

හොයපු ආදරේ ලැබුණද..?

දැන් නම් ලැ‍ෙබමින් පවතිනවා. ආදරේ විඳිනවා. ඒ ආදරේ තුළ හොයපු නිදහස තියෙනවා

 

හැමෝම හොයන්නේ නිදහස, ඇත්තටම ඔබ හොයන නිදහස මොකක්ද..?

මානසික නිදහස, මැරෙන ටිකට තට්ටු ගණන් ගෙවල් හදන්න සුපිරි වාහන ගන්න. ඒවා ගන්න මුදල් පස්සේ දුවන්න ඕන. අනිත් එක විශ්වාස ය. විශ්වාසය තිබ්බම ආදරේ රැකෙනවා. මනස නිදහස්. ඕන දෙයක් කරන්න නිදහස ඕන.

 

ඕන දෙයක් කරන්න නිදහස ලැබුණම ඒ නිදහසින් වැරදි දේ කරන්න පෙලඹෙන අය ඕන තරම් සමාජයේ ඉන්නවා,..?

ආදරේ කරලා විවාහ වුණාට ඒ විවාහ වුණේ ඇත්තටම ආදරේ කරලා නොවෙන්න පුළුවන්. බැඳිම් පවතින්නේ විශ්වාසය මත . ඒ තුළ ආදරේ, ලිංගිකත්වය, ඊර්ෂ්‍යාව හැමදේම පදනම් වෙලා තියෙනවා. විශ්වාසය ට සීමාමායිම් දාන්න බැහැ, මේ සමාජයේ අසම්මතයයි කියන කාරණා මත බිරිය හෝ පෙම්වතිය විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි කියලා හිතනවා. බිරිය හෝ සැමියා, පෙම්වතිය පෙම්වතා ලණුව දිග ඇරලා තියෙනවා ඕන තරම් දුර යන්න. ඒ යන්න ඕන දුර තීරණය කරන්න ඕන තමන් මිසක් වෙන කෙනෙක් නෙමෙයි. මම නිදහස කියලා ඉල්ලන්නේ අර යන්න පුළුවන්තාක් දුරට යන්න පුළුවන් නිදහස විතරයි. හැමදේම කිය කියා කරන්න ගියොත් කෝ නිදහස. විශ්වාසය රකින්න දැනගන්න ඕන. හරි පාරේ යන්නත් ඕන. ඒක පුද්ගලයා තීරණය කරන්න ඕන කාරණාවක්.

 

 

Comments