
සෑම අලුත් අවුරුද්දකම ඔබත් මාත් අපේ සැලසුම් හා ඉලක්ක අලුත් කරගන්නේ පුරුද්දකට මෙනි. පසුගිය වසරේ අප අතින් ඉටු වූ කොටස කෙසේ වුවද සෑම නව අවුරුද්දකම අප මේ සැලසුම් හා ඉලක්ක අලුතින් සාදා ගන්නේ කාලාන්තරයක් තිස්සේ පැවත එන චාරිත්‍රයක් ලෙසිනි. ජීවිතයේ කවර මොහොතක හෝ අපිට ඕනෑම දෙයක් අලුතින් අරඹන්නට හැකි නමුදු නව වසරක ආරම්භය හෝ අලුත් අවුරුද්ද අපට එය ජවයකින් හා උනන්දුවකින් යුතුව සිදු කරන්නට මඟ පාදයි. ඉතින්, දෙදහස් විසි තුනටද එය එයාකාරයෙන්ම අදාළය.
මෙසේ සැලසුම් කෙරෙන බොහෝ ඉලක්ක ආර්ථිකය, වෘත්තීය හෝ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් බව කැට තබා පවසන්නට පුළුවන. එහෙත් මේ සියල්ල සිදුවන්නේ හෝ ඉටුකර ගන්නට හැකි වන්නේ අපේ මානසික තත්ත්වය මතය. එබැවින් මෙවැනි මොහොතක අපේ මානසික සෞඛ්‍යය පිළිබඳ යම් ඉලක්කයක් තබා නොගන්නේ නම් එය අභාග්‍යයට කාරණයකි.
මානසික සෞඛ්‍යය සඳහා ඇත්තේ මොන සැලසුමක් දැයි යමෙකු අසන්නට පුළුවන. ඒ කතාව එක අතකින් ඇත්තය. ඊට මහා පරිමාණ සැලසුම් ඇත්තේ නොවේ. එහිලා අපට කරන්නට ඇත්තේ අපේ හුරුපුරුදු කළමනාකරණය කර ගැනීමකි. අලුතින් යම් පුරුද්දක් දෙකක් එක් කර ගැනීමකි. බොහෝ විට මේ කුඩා දේ සියල්ල එකට එක් වූ පසු ඊළඟ අවුරුද්දේ අපේ ඉහ - උර මත කඩාවැටෙන දාහක් ප්‍රශ්න හමුවේ අපේ මන සුව නො නැසී පවත්වාගෙන යන්නට අපට පුළුවන.
මේ කාරණයෙහිලා අපේ සැලකිල්ල හිමි විය යුතු මූලික දේ වන්නේ හිතේ සැනසිල්ලයි. මේ අවුරුද්දේ ජීවිතය ඒ හැටි ලේසිපාසු එකක් නොවේ. ශාරීරික මෙන්ම මානසික වශයෙන් ද අතිශය පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට අපට සිදුවනු ඇත.
ඒ හැම විටකම පාහේ ඇති වන්නට නියමිත පීඩාව දරා ගන්නට හුරුවක් අපට තිබිය යුතුය. එබැවින් අප කාට වුව සිත සැහැල්ලු කරන විකල්පයක් (relaxation technique) වුවමනා වෙයි. මේ සඳහා හොඳම තෝරා ගැනීම ලෙස සැලකෙන්නේ භාවනාවයි. එය චිත්ත පීඩා අඩු කර ගන්නටත්, මනස යහපත් ලෙස තබා ගන්නටත් මාහැඟි ඔසුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කියවීම හෝ සංගීතයට සවන් දීම වැනි ක්‍රියාකාරකම් මේ හා සමානවම අපේ සිත සැහැල්ලු කර ගන්නට උපකාර වෙයි. හොඳ නෑමක්, පිහිනුමක් හෝ උණු තේ කෝප්පයක්, කෝපි කෝප්පයක් වැනි සරල දෙයක් වුව සිත සැහැල්ලු කරන්නට උපකාරී වෙයි. එහෙත් ඇත්ත කතාව නම් අපට මේ කිසිවකට ඒ හැටි වේලාවක් නැති බවය. එබැවින් මේ අවුරුද්දේ අප කළ යුත්තේ සිතේ සැහැල්ලුව වෙනුවෙන් ද අපේ එදිනෙදා ජීවිතයේ ඉඩක් කඩක් වෙන් කර ගැනීමය.
අපේ ජීවිතයට එක්තරා දර්ශනයක්, දෘෂ්ටියක් අවශ්‍යය. එය එකවර පහල වන දෙයක් නොවේ. ක්‍රමයෙන් අපේ ජීවිත තුළ ඇතිවන්නකි. ඒ සඳහා ප්‍රබල දායකත්වය සපයන්නක් වන්නේ ළෙහිගුණය වර්ධනයයි. තවත් අයුරකින් පවසතොත් කෘතඥතාපූර්වක වීමයි. මේ කාරණය තවත් ආකාරයකින් අපට උපකාරී වෙයි. ඒ, මානසික ආතතිය අඩු කර ගන්නටත්, විශාදය ආදී රෝගවල මූලික ලක්ෂණ යටපත් කර දමන්නටත්, චිත්ත ස්වභාව ප්‍රීතිමත් මට්ටමක පවත්වා ගන්නටත්ය. මේ සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව ඇතැම් විටෙක පෙනෙන්නට ඉඩ තිබේ. එහෙත් ඔබේ කෘතඥතාපූර්වකබව හිමි විය යුතු ඔබේ කිට්ටුවන්තයන් තෝරා බේරාගෙන මේ කාරිය අරඹන්නට දෙදහස් විසිතුනේ ආගමනය හොඳ වටපිටාවක් සකසා තිබේ.
අගය කිරීම ද ඒ හා සමානවම ඔබ සිත සතුටින් තබන්නට හේතුවකි. අනෙකෙකු අගය කිරීම හරහා උපදින සැහැල්ලුවත් සතුටත් තරම් සැහැල්ලුවක් හෝ සන්තෘප්ත බවක් අපට වෙන කොයිබින් හෝ ලබා ගන්නට නොහැකිය. එබැවින් හැකිතාක් ඇගයුම, කෘතඥ වීම සිතේ සැහැල්ලුව ලබා දෙයි. එය කොයි ලෙසකින් හෝ වියදම් යන්නක් නොවේ. සමාජ මාධ්‍ය ජාල පාවිච්චියම මීට උදාහරණයක් ලෙස පෙන්විය හැකිය. එහිදී ඔබට කැමති පරිදි මේ ඇගයුම ඔබට ලබා දෙන්නට පුළුවන. හාර්ට් හෝ කෙයාරින් ඉමොජියකින් ඔබ යම් ඇගයුමක් කරන්නේ උතුරා යන සැබෑ හැඟීමකින් යුතුවය. මෙන්න මේ හැඟීම අපේ මානසික සහනයට ඉතා හොඳය.
වඩා වැදගත් වන්නේ කායික සෞඛ්‍යය ද මානසික සෞඛ්‍යය දැයි යමෙකු ඇසුවොත් අප වැටෙන්නේ සෑහෙන අමාරුවකය. ඊට හේතුව වන්නේ ඒ දෙක අතර එතරම්ම අන්‍යොන්‍ය බැඳීමක් තිබෙන බැවිනි. එකකට එකක් නැතුවම බැරි හෙයිනි. එබැවින් නව අවුරුද්දේ අපේ තවත් එක් සැලැස්මක් විය යුත්තේ මන සුව නැමැති කාසියේම අනෙක් පැත්ත යැයි සැලකිය හැකි කායික සුවතාව, මානසික සෞඛ්‍යය ගැන අවධානයක් යොමු කරන්නට කල්පනා කිරීමය. එය 2023 කියා වෙනසක් නොවේ. ප්‍රධාන අංග තුනකින් සමන්විත වන්නකි. එනම් පෝෂණය , ව්‍යායාමය හා නිසි විවේකයයි.
ක්‍රියාකාරී ජීවිතය සන්සුන් හා තෘප්තිමත් මනසකට මඟ පෙන්වයි. අප එදිනෙදා ජීවිතයේ බොහෝ ක්‍රියාකාරීව වැඩ කරන නමුත් එයින් අපට ලැබෙන්නේ විඩාවක් මිස ප්‍රබෝධයක් නොවේ. එබැවින් ප්‍රබෝධමත් ක්‍රියාකාරී බවකට යම් ඔසුවක් අපට අවශ්‍යය. එය අපට ලැබෙන්නේ වෙන යම් කිසිවකින් නොව ව්‍යායාමයෙනි. එබැවින් අපේ දිනචර්යාවට ව්‍යායාම එක්කර ගැනීම ප්‍රබෝධමත් ජීවිතයකට මඟ පෑදෙයි. එය එතැනින් නවතින්නේ නොවේ, දීර්ඝකාලීන බෝනස් එකක් ද අපට ලබා දෙයි. ඒ ලෙඩ දුක්වලින් අඩු සිරුරක්, එනම් මනා කායික සෞඛ්‍යයක් ඒ හරහා අපට ලැබෙයි. දිනපතා හෝරා ගණනක් වැයවන කායවර්ධනශාලා හෝ ව්‍යායාම්ශාලා හෝ පදනම් කර ගත් සංකීර්ණ ව්‍යායාම මාලා නොව ඇවිදීම , බයිසිකල් පැදීම වැනි සරල පුරුද්දක් ජීවිතයට එක්කර ගැනීමෙන් මේ වාසිය අපට අත්පත් කර ගත හැකිවෙයි.
ඊළඟට විවේකයයි. විවේකය ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ අප ලබා ගන්නා නින්දේ ප්‍රමාණය හා ස්වභාවය මතයි. එය මන සුව පිණිස ප්‍රධාන වශයෙන් බලපාන්නාවූ සාධකයක් ද වෙයි. මනස මෙන්ම ශරීරයද නිරවුල්ව ක්‍රියාත්මක කරන්නට නම් මොළය අපෙන් යමක් පෙරළා බලාපොරොත්තු වෙයි. ඒ අන් කිසිවක් නොව, නින්දයි. අප නිසි නින්දක් නොලද විට මොළයට ඊළඟ දවසේ කටයුතු වෙනුවෙන් අවශ්‍යය විවේකය නොලැබෙයි. දිගින් දිගටම ප්‍රමාණවත් නින්දක් නොලැබීම චිත්තවේග කළමනාකරණයටත් ආතතිය පාලනයටත් අවශ්‍ය වටපිටාව නසා දමන්නට හේතු වෙයි. ඉනික්බිතිව එය ක්‍රමයෙන් මානසික රෝග තත්ත්වයන්ට හා ගැටලුවලට අත වනන්නට පටන් ගනී. එබැවින් මනසුව රැකෙනු පිණිස ප්‍රමාණවත් නින්දක් ගැන මේ වසරේවත් අපට අවධානයක් යොමු කරන්නට සිදු වෙයි.
ශරීරයට නිසි පෝෂණය හා ජලය ලබාදීම ද මෙහිලා එතරම්ම වැදගත් ය. එය ශාරීරික සෞඛ්‍යය කෙරේ බලපාන්නාවූ කාරණයකැයි මතුපිටින් සිතන්නට පුරුදු වී සිටියද එය අපේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වාගෙන යන්නට දරන දායකත්වය ද බොහෝ ඉහළ ය. එමෙන්ම හැකි සෑම විටකම විජලනය වළක්වා ගන්නට අප වග බලා ගත යුත්තේ එය කාංසාව හා විශාදය වැනි බරපතළ තත්ත්වවලට ද අත වනන්නට හේතුවක් වන බැවිනි.
සමාජ මාධ්‍ය දැන් දැන් අපේ ජීවිතයේ කොටසක් ලෙසින්ම වාගේ දැනෙන්නට පටන් ගෙන තිබේ. එබැවින් නිතැතින්ම පාහේ එය අපේ මානසික සෞඛ්‍යය කෙරේ සෘජුවම බලපාන්නා වූ සාධකයක් බවට ද පත් වී තිබේ. මෙන්න මේ හේතුව නිසා අපේ ඇඟිලි තුඩුවලින් ක්‍රියාත්මක වෙන සංවේදී තිරය හෝ යතුරු පුවරුව ගැන හෝ වෙනදාට වඩා වැඩියෙන් සිතන්නට අපට සිදු වෙයි. එය භාවිත කරන ආකාරය ගැන අමුතුවෙන් සිතා බලන්නට වෙයි. අප මෙහිදී වටහා ගත යුත්තේ දුරස්ථව ජීවත් වන්නවුන්ට ළංවනු පිණිස උදවු වන්නාක් මෙන්ම එය ළංව සිටින්නවුන් දුරස් කරන්නට ද හේතු වන බවය. අපේ සමීපතමයන්ගෙන් ඈත්ව තිරයක් සමඟ වැඩිමනත් කාලයක් ගෙවා දැමීම යනු අන්තර් පුද්ගල සබඳතාවලට මරු පහරකි. ඒ බැඳීම්වලට එයාකාරයෙන් හානි කර ගැනීම යනු අනෙක් අතට අපේ මානසික සෞඛ්‍යය කෙරේ ඇති වන ඍජු බලපෑමකි.
එබැවින් සමාජ මාධ්‍ය පාවිච්චියේදී පරෙස්සම මේ අවුරුද්දේ අපේ සැලසුම්වලින් එකක් විය යුතුමය. එය අධිකතර පාවිච්චිය කාංසාව හා විශාදය වැනි රෝග තත්ත්වවලට ද මුල විය හැකිය. අනෙක් අතට, එහි අප දකින දේ අපේ සාමාන්‍ය ජීවිතය හා සංසන්දනය කරන්නට යෑම අන්තිම නරක විපාක ගෙන එන්නකි. මේ අතින් බලන කළ එහි යම් සීමාවක් තබා ගැනීම හැමතින්ම හොඳ පුරුද්දකි. පළමුවෙන්ම අප අත් හදා බැලිය යුත්තේ දවසේ වැඩි පැය ගණනක් එක දිගට එහි එල්ලී ඉන්නවා වෙනුවට නිශ්චිත කාල සීමාවකට වරක් යන මට්ටමට අප එහිම සීමාවක් පනවා ගැනීමයි. හුරුවන්නට හැකි නම් මානසික සංතුෂ්ටිය හා මානසික සෞඛ්‍යය වෙනුවෙන් අනුගමනය කළ හැකි හොඳම පුරුද්දක් වන්නේ දිනය පටන් ගන්නා වේලාවේත්, නින්දට යන මොහොතේත් සමාජ මාධ්‍ය ජාලවලට නොගොසින් සිටීමය.
ගෙවී ගිය අවුරුද්දේ පමණක් නොව අන් කවරදාත් අපට අසන්නට ලැබෙන චෝදනාවක් වන්නේ සේවා ස්ථානය නිසා අපේ මන සුව නැසෙන බවය. එය මුසාවක් නොවේ. රැකියාව නිසා මුළු ජීවිතයම අවුල් වී ගිය, නොඑසේ නම් ජීවිතය පවා අහිමි කර ගත් තැනැත්තන් ගැන දුක්බර කතා බොහොමයක් අප අසා ඇතුවාට සැක නැත. එය සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම බලාපොරොත්තු විය යුතු අවබෝධයකි. මෙහි ලා අපට ඇති කෙටි මාර්ග අතරින් වඩාත්ම සාර්ථක හා පහසු තෝරා ගැනීම වන්නේ සහකම්පනය, එනම් අනෙකා පිළිබඳ ගැඟීම (empathy ) යි. එය සේවා ස්ථානයක ජීවය රැකෙන මන්ත්‍රය යැයි කීවද වරදක් නොවේ. එහිලා අවධානය යොමු කළ යුතු වන අනෙක් ප්‍රධාන සාධකය වන්නේ යුතුකම් හා වගකීම් ගැන ඔබේ අපේ අවධානය හා අවබෝධය ය. තවත් අයුරකින් කිවහොත් පවසතොත් ඔබට පැවරුණු ඔබේ වගකීම, ඔබේ කොටස නොපිරිහෙළා ඉටු කිරීමය.
ඔබේ හැඟීම් ලියා තබන්නට හුරු වීම ද මානසික සහනය පවත්වාගෙන යෑමේ කදිම මඟකැයි කීම අලුත් කතාන්දරයක් නොවේ. පසුගිය වසරකදී සිදු කරන ලද එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ දිනකට විනාඩි පහළොවක් ලියන්නට හුරු වුවහොත් මානසික පීඩනය හා ආතතිය සම්බන්ධ තත්ත්ව සෑහෙන පමණකට අඩු කර ගන්නට හැකි බවය.
මේ දවස්වල ජීවිතය ඉතා අසීරුය. පොකැට්ටුවට බොහොමත්ම අහේනිය. ඉතින්, එබඳු වටපිටාවකදී මුදල්හදල් අපේ වුවමනාවට සරිලන පරිදි නැති වීම ද ඉහේ අමාරුව වැඩි කරන්නට හේතු වෙයි. එබැවින් මේ අවුරුද්දේ පුරුද්දක් වශයෙන් ආදායම් වියදම් ගැන සිතන්නට අපට සිදු වෙයි. වියදම් කරන්නට සල්ලියක් නැති වීමද, ණයතුරුස්වලට හිර වීම ද මන සුව නසන දුකකි. එබැවින් වියදම පාලනයකින් යුතුව සිදු කරන්නට මේ වසරේ අපට සිදු වෙයි. ඒ අපේ මන සුව වෙනුවෙන් මෙන්ම අපේ ආදරණීයයන්ගේ මන සුව වෙනුවෙනි. හෙට දවසේ කුමක්වේදැයි කිව නොහැකි තත්ත්වයක් යටතේ මන සුව පිණිස ඔබේ අත ඇති මුදල් වියදම් කරන්නට වන්නේ " නුවණක්කාරම" ආකාරයෙනි.
මන සුව ස්වයංසිද්ධ කාර්‍යයක් හෝ හුදෙකලාව අත්පත් කර ගත හැකි දෙයක් නොවේ. ඊට ප්‍රබලම දායකත්වය ලැබෙන්නේ ආශ්‍රයෙනි, පුද්ගල සබඳතාවලිනි. කොරෝනා වසංගත කාලයේදී ද, ආර්ථික ගැටලු, ඉන්ධන අර්බුදය ආදී කාරණා නිසා මේ වසරේදී ද අපට බොහෝ විට සිදු වූයේ හුදෙකලාව ජීවත් වන්නටය. අප බොහෝ විට පවුලක් වශයෙන්, අසල්වැසි හිත මිතුරු ආශ්‍රයෙන් ඒ හුදෙකලාව මකා ගන්නට පිළිවන් නොවේ දැයි සිතුවද තනිව ජීවත් වන්නවුන්ට මෙන්ම තට්ටු නිවාස හෝ නගරබද වටපිටාවල ජීවත් වූවන්ට ඒ කාලය ගෙවා දැමීම් අතිශය අසීරු වූ බව අප නොදන්නවා නොවේ. එබැවින් මිතුරු ඇසුර හැකි පමණ ලබන්නට සැලසුම් කළ යුතු අවුරුද්දකි මේ. මන සුව රැක ගෙන අභියෝගවලට මුහුණ දෙන්නට හා සටන් කරන්නට මිතුරු ඇසුර හොඳ ඔසුවකි; හයියකි.
අප අද ජීවත් වන්නේ පීඩාවම රජ කරන සමාජයකය. එය විසිතුනේදී වුව සුළඟට ගසා ගෙන ගියාක් මෙන් එක වර වෙනස් නොවන බව අපි දන්නෙමු. එබැවින් චිත්ත පීඩා කිසිවකුටත් ඒ හැටි නුහුරු නුපුරුදු ආධුනික ඒවා විය නොහැකිය. ඒවා දිය කර හරින ක්‍රම අප දැන ගත යුතුය. එසේ නො කොට ඒවා හිත් මුල්ලට වීසි කර දැමීමෙන් අන්තයේදී අපටම විශ්වාස කළ නොහැකි තරමේ මහත් ආතතියක්, පීඩාවක් හෝ බරක් එකවර හිස ඔසවනු ඇත. මේ කවර තත්ත්වයක් යටතේ වුව ඒ පීඩාව ගැන කිසිවකු සමඟ කිව යුතුමය. එසේ නොවී තනිව පුපුරා ගිය චිත්තපීඩාවල හිමිකරුවන් ගැන අප අසා නැතුවා නොවේ. එක්කෝ පවුලේ සාමාජිකයන්, විශ්වාස කටයුතු නෑයකු හෝ මිතුරකු එහිදී අපේ පළමු තේරීම විය හැකිය. එහෙත් එතැනින්ද නිවැරදි පිළිතුර නොලැබේ නම් උපදේශන, චිකිත්සාව හෝ වෛද්‍ය උපකාර පතන්නට හෝ පෙලඹීම ලැජ්ජාවට කාරණයක් ලෙස නොසැලකිය යුතුය.