සැලසුමක් තිබෙනවා නම් මේ රට වසර දෙකකින් ගොඩනඟන්න පුළුවන් | Page 2 | සිළුමිණ

සැලසුමක් තිබෙනවා නම් මේ රට වසර දෙකකින් ගොඩනඟන්න පුළුවන්

- අවුරුදු 15දී ලංකාවෙ මුල්ම විශාලතම ටියුෂන් පන්තිය පටන් ගත්තා
- අවුරුදු 29 දී කොළඹ හතේ ගෙවල් 09ක් තිබුණා
- කැන්ඩි සිටි සෙන්ටර් හැදුවේ කොළඹ හතේ අක්කර ගාණක් විකුණලා

කැන්ඩි සිටි සෙන්ටර් යනු විශ්මයක් දැයි සිතෙන්නේ නගරයක් මැද ඉදිකළ සාප්පු සංකීර්ණයක සාටෝපයට බොහෝ ගැඹුරින් ඇති රටේ අනාගත සංස්කෘතික ආර්ථික හා සමාජ රිද්මයේ ජීවමාන ගැඹුර රූපණය කරන බැවිනි. මේ දැවැන්ත කොන්ක්‍රීට් ගොඩනැගිල්ලට පදනම දමා ඇත්තේ ඒ සංස්කෘතික අනාගතය බව තේරුම් යන්නේ මේ වනවිට ඒ වටා කේන්ද්‍රගතව ගොඩනැඟෙන රටට අනන්‍ය ආර්ථික සමාජයේ පිළිබිඹුව පෙනෙන විටය. 

කැන්ඩි සිටි සෙන්ටර් සුවිසල් ව්‍යාපෘතිය මේ භූමියේ ප්‍රායෝගික කර සංස්කෘතිකව මළ නගරයක් බවට පත් කිරීමේ සම්ප්‍රදායික චින්තනයෙන් නුවර මුදා ගෙන නිර්මාණශීලී ලෙස ජීවමාන කළ කීර්තිමත් ව්‍යවසායකයා මා අබියස හිඳී. ජීවිතයෙන් උගත් දැනුමෙන් සමාජයක් ගොඩනැඟු සරසවියක් බඳු ඔහු තුසිත විජයසේනය. ඔහු හා කෙරෙන දිගු පිළිසඳරක් මෙසේ ලඝු කර ඔබ හමුවේ තබමි. ඒ එම කතාව මියැදෙමින් සිටින බව කියන ජාතියකට ජීවත් වීම යනු කුමක් දැයි කියා දෙන බැවිනි.

මම ඉපදුණේ කැලණියෙ. මගෙ තාත්තා අම්මා මට අවුරුදු 11 දී විතර නැති වුණා. ඔවුන් ගැන මතකය ගොඩක් අඩුයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. මේන් ස්ට්‍රීට් එකේ ව්‍යාපාරික මධ්‍යස්ථාන කීපයක් අපේ වත්කම් ලෙස තිබුණා. මට වඩා වැඩි වයස පරතරයක් තිබෙන වැඩිමහල් සහෝදරියො තුන්දෙනෙක් හිටියා. ඔවුන්ගෙන් දෙන්නෙක් විවාහ වුණා. එක් සහෝදරියක් විවාහ වුණේ නෑ.

මගේ පුංචි සන්දියේම මවුපියෝ නැති වුණාම එ්ක සමාජය දැක්කේ වෙන විදිහකට. සම්ප්‍රදායින සමාජය ඇතුළේ ඒ වකවානුවේ අප්‍රකාශිත මතයක් තිබුණා මම මහ කාලකණ්ණි දරුවෙක් කියලා. ඒක මට තදින් බලපෑවා. ඒ නිසාම මම හිතනවා මේ සමස්තයෙ මොනවා හරි දෝෂයක් තියනවා, මම තනියම නැගිටින්න ඕන කියලා.

මම මුලින්ම අධ්‍යාපනය ලබන්නෙ කැලණියේ ගුරුකුල විද්‍යාලයෙ. ඉන් පස්සේ ස්ටැෆර්ඩ් කොලේජ් එකට යනවා. මුල් අවස්ථාවේ සාමාන්‍ය පෙළ අසමත්. ඉතින් මම යනවා සමාන්‍ය පෙළ හදාරන්න බොරැල්ලේ වයි එම් බී ඒ එකේ මහින්දරත්න සර්ගෙ පන්තියට. පන්තියෙ ළමයි පහළොවයි.

මම සර්ගෙන් ඇහුවා සර්, අපට පන්තිය ලොකු කරන්න බැරිද කියලා. සර් පුළුවන් කිව්වා. ඒ වකවානුවෙ හෝල්වල කරන දැවැන්ත ටියුෂන් පන්ති තිබුණෙ නෑ. මම කල්පනා කළා මේ අවකාශය පුළුල් කරලා වැඩි පිරිසකට අඩු මුදලකින් අධ්‍යාපනය ලබා ගන්න හැකි තැනක් හදන්න. එයින් අපිට ලාබයක් ගන්න. මේ විශාල ටියුෂන් සංස්කෘතිය ආරම්භ කළේ මම. ඇත්තටම මම දැන් ඒ ගැන වැඩිහිටියෙක් විදිහට කනගාටු වෙනවා. ඒක වැරිදි ක්‍රමයක්.

ඒ වෙනකොට මට වයස අවුරුදු 15යි. මම අක්කට කිව්වා ව්‍යාපාරයකට මට සල්ලි ටිකක් හොයලා දෙන්න කියලා. අක්කා ගෙදර තිබුණ රත්තරන් බඩුවලින් කොටසක් ග්‍රාමීය බැංකුවට උකස් කරලා මට දුන් ඒ සල්ලිවලින් මම බොරැල්ලෙ වයිඑම්බිඒ හෝල් එක අවුරුද්දකට බුක් කරලා ‘විදුබිම‘ අධ්‍යාපන ආයතනය පටන් ගන්නවා. ලංකාවෙ මුල්ම විශාලම ටියුෂන් පන්තිය විදිහට. මහින්දරත්න සර් තමයි ආයතනයේ අධ්‍යාපන ප්‍රධානියා වුණේ. නෝනිස් සර්, ග්‍රේරු සර්, වගේ ලංකාවේ විශිෂ්ට ගුරුවරු ආයතනයට ගෙන්වා පන්ති කාල සටහන් හදලා විශාල පන්ති ප්‍රමාණයක් පටන් ගන්නවා.

වැඩේ ඉතාම සාර්ථකයි. ළමයි හයසියයක් හත්සියයක් විදුබිමට ආවා. මමත් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වුණා. මාස හයක් යනකොට සල්ලි එන්න ගත්තා. මගේ මුල්ම ආදායම විදිහට ලැබුණේ රුපියල් විසිපන් දාහක්. ඒ කාලෙ ඕපල්, කේම්බ්‍රිජ් වාගෙ වාහන තිබ්බ කාලයක්. හා හා පුරා කියලා ලැබුණු මුදලින් මම ගන්නවා 4 ශ්‍රී මිනිමයිනර් එකක්. වාහනය ගන්නකොට මට වාහන පදින්න ලයිසන් ගන්න වයසවත් නෑ. 

අලුත් පරපුරට මට කියන්න තියෙන්නෙත්, ජීවිතය කලින් පටන් ගන්න. සිහින හදා ගන්න. සිහින හඹා යන්න. හදිස්සි නොවි කළමනාකරණය කරගෙන හිමින් ගමන යන්න. වරදින්නෙ නෑ. අභියෝග එන්නෙ සාර්ථක වෙනකොට. ඒ අභියෝග ඉස්සරහා නොවැටී ඉන්න අපිට ඕන තරම් විසඳුම් තියනවා. මේ කියන්නෙ මගෙ අත්දැකීමෙන්.

දැන් ටියුෂන් පන්ති සාර්ථකයි. මමත් සාමාන්‍ය පෙළ සමත් වුණා. ඔන්න වටෙන් ගොඩන් ඉරිසියාව මතුවෙන්න ගත්තා. පොඩි කොල්ලෙක් ලොකු ලාබයක් ලබන ව්‍යාපාරයක් කරගෙන යෑම කෙනකුට දරාගන්න බැරි වුණා. ඒ තත්ත්වයත් එක්ක මටත් මේ ව්‍යාපාරයට තියෙන උනන්දුව අඩු වුණා.

ඒත් මගෙ පළවෙනි ව්‍යාපාරයෙන් උපයපු මුදලුයි, පරම්පරාවෙන් ලැබුණු රන් කාසි ටිකයි, මට තිබුණ වත්කම් ටිකකුයි බැංකු ඇපයට තියලා අවුරුදු 18 දී මම කාර් ආනයනයට බැස්සා. ඒ ව්‍යාපාරය වගේම මගේ ජීවිතෙත් හොඳින් කළමනාකරණය කරගෙන අවුරුදු 18දීමයි විවාහ වෙන්නේ. අපිට ඉක්මනින් පුතෙක් ලැබුණා. ජීවිතේ ඉතාම හොඳින් පාලනය වෙන්න අවශ්‍ය අවබෝධය සහ පරිණතිය මට පුතාගෙ උපතත් එක්ක ලැබුණා. අවුරුදු 21 දී මට ඕන කරන ගාණට ඒ ව්‍යාපාරයෙන් ලාභ වුණා. ඒ මුදල් දේපළ වෙනුවෙන් ආයෝජනය කරලා අක්කර 29ක් ගත්තා කොළඹ හත සහ කොළඹ තුනෙන්. විදුලි බලාගාර හැදුවා. වතු හැදුවා. අවුරුදු 29 වෙනකොට මට කොළඹ හතේ ගෙවල් 09ක් තිබුණා.

මිනිස්සු චින්තනමය වශයෙන් වෙනස් වෙන වකවානුවක් ඒ යුගයෙ තිබුණේ. උතුරේ යුද්ධයක් තිබුණා. දේශීයත්වය එක්ක ලාංකේය චින්තන රටාවක් ඇති වෙමින් තිබුණෙ. අපි ලෝකය ගැන බැලුවොත් තමන්ගෙ ජාතිය දියුණු නොකර දියුණු වෙච්චි එකම රටක්වත් දකින්නෙ නෑ. මේ අවංක අධ්‍යාශය මත තරුණ ව්‍යාපාරිකයෙක් විදිහට මාත් අරගල එක්ක එකතු වුණා.

කැලණි සිංහල පදනම හැදුවේ මම මුල් වෙලා. ඒ සංගමයෙන් අපි දිඹුලාගල ගිහින් දිඹුලාගල හාමුදුරුවොත් එක්ක ජනාවාස ඇති කිරීමේ ව්‍යාපෘතියට එකතු වුණා. ජාතියක ව්‍යාපාරය සමඟ ක්‍රියාකාරී වෙලා හිටියා. මේ අතරේ 1985 දී රාජ්‍ය විරෝධී කටයුතු කළා කියලා අපව හංවඩු ගැහෙනවා. එය කාලේ රට තුළ ඇතිවෙන්නෙ ව්‍යාකූල තත්ත්වයක්. මා නුවරට එන්නේ ඒ වකවානුවෙ. වර්ෂ 1989 දී. මගෙ බිරිය නුවර කෙනෙක්. මම නුවර ඇවිත් අක්කර 65ක වත්තක් ගන්නවා. මා හිතනවා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය, මේ ආයෝජනය කියලා.

මම සෑම ආගමකට ගරු කරන ඉතාම ප්‍රායෝගික බෞද්ධයෙක්. ජය ශ්‍රී මහා බෝධිය, තිරියාය, සිරිපාදය ඇතුළු ආගමික සිද්ධස්ථාන බොහොමයක් සංවර්ධනය කරන්න මා මැදිහත් වුණා. සෑම ආගමක්ම මිනිස්සුන්ගෙ අධ්‍යාත්මය ගොඩ නඟනවා. ප්‍රායෝගික බෞද්ධයො ඒ සියලුම ආගම්වලට ගරු කරන බව මා විශ්වාස කරනවා. නුවර පදිංචි වීමත් එක්ක දළදා මාළිගාව, මහා නායක හිමිවරු සමඟ මගේ ඉතාම සමීප සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා.

මට ජීවිතයේ විශාල ස්වයං පාලනයක් තිබුණා. එයට කාරණා දෙකක් තියනවා. එකක් මගේ බිරිය සහ දරුවන්. අනෙක් කාරණාව ධර්මය. බෞද්ධ දර්ශනය තුළ ජීවත්වෙන මිනිසකුට අවශ්‍ය සංයමය, විනය, ස්වයං පාලනය, ඉබේම ලැබෙනවා.

මගෙ සාර්ථකත්වයට හේතුව වුණේ මගේ පවුල ඇතුළෙ බිරිය කළ භූමිකාව. ඇය ඉතාම හොඳින් දරුවන් හැදුවා. ඒ අත්දැකීමයි මම මගෙ ආයතනය ඇතුළෙ ප්‍රායෝගික කර තියෙන්නෙ. මාත් එක්ක වැඩ කරන ඉහළ කළමනාකාරිත්වයේ සියලු දෙනාගෙම බිරින්දෑවරු ඉන්නෙ ගෙදර. අපේ අරමුණ වෙන්න ඕන අද නෙමෙයි හෙට අරාක්ෂා කිරීමයි. ඒ අනාගත පරම්පාරව වෙනුවෙන් කැප වෙන්න ඕන. ගුණ ධර්ම එක්ක දරුවන්ට අධ්‍යාපනය ලබා දීමයි මම මෙයින් අදහස් කළේ.

මම ඒ දේ හරියටම කළා. මගෙ හීනය පසුපස හඹා ගිහින් ස්ථාවර වුණා. මගෙ පවුලෙ අනාගතය විරක් නෙමෙයි, රටේ පවුල් ලක්ෂ ගාණක අනාගතය හැදුවා. 

‘KCC‘ කියන්නෙ මම ඒ දේ ගොඩනඟන්න හදපු කේන්ද්‍රය. එය පහසුවෙන් කළ වැඩක් නෙමෙයි. නව යෞවනයෙක් විදිහට තරුණ කාලෙදි උපයාගත් මුදල්වලින් කළ සමහර ආයෝජන නිසා මම ජීවිතේ සමහර අවස්ථාවල බිංදුවට වැටුණා. බොහෝ දැනුම්වත් කියපු, එහෙත් තමන් අසාර්ථක වෙච්චි අයගෙන් ලැබුණු උපදෙස් නිසා කොටස් වෙළෙඳපොළේ කළ ආයෝජන අසාර්ථක වුණා. හිතවතුන් කීපදෙනෙක් වෙනුවෙන් කළ විශාල ආයෝජන ෆේල් වුණා. ප්‍රතිඵලයක් ලෙස දේපළ වෙන්දේසි කරන්න ගිය අවස්ථා තිබුණා.

ඒ අත්දැකීම්වලින් මම තේරුම් ගත්තේ, ව්‍යාපාර ක්ෂේත්‍රය කෙසෙල් වගාවක් වගේ. ප්‍රධාන ශාක පවත්වා ගන්න මොටෙයියො පොඩි කරනවා. ඒක මට ඉතාම හොඳ අත්දැකීමක් වුණා. ඉතින් මම නුවර ඇවිත් KCC ව්‍යාපෘතිය කරන්න උත්සාහ කළා. ඒකට විරුද්ධ වුණා. බැංකුවලින් ණය දුන්නෙ නෑ. කොළඹ හතේ සහ තුනේ තිබුණ මගෙ අක්කර 29 ඇතුළු සියලුම දේපළ විකුණලා මේකට ආයෝජනය කළා. ඔක්කොමලා හිනා වුණා, සමච්චල් කළා. හැම පාලකයෙක්ම මට විහිළු කළා. මට හිටියෙ මහානායක හිමිවරු, බිෂොප් ඇතුළු ආගමික නායකයෝ විතරයි. අසාර්ථක වෙන බව හැමෝම කියද්දි මම ඒ ඉලක්කය සාර්ථකව නිම කළා.

මේ නුවර මැද්දෙ අපි හැදුවෙ ෂොපින් මෝල් එකක් නෙමෙයි. මේක සංස්කෘතික හා ආර්ථික කේන්ද්‍රයක්. මේ රටේ අනාගත සමාජය වෙනුවෙන් නිර්මාණය කළ ව්‍යාපෘතියක්. එතන තිබෙනවා මේ කොන්ක්‍රීට් ඉදිකිරීමට වඩා ඉතාම විශාල ගැඹුරු දාර්ශනික චින්තනයක්.

සැලසුම තිබුණේ 96-97 වෙනකොට එය කරන්න. ව්‍යාපෘති 10ක් සැලසුම් කර කැන්ඩි සිටි සෙන්ටර් එක, කා පාක් එක, උඩ සිනමා ශාලා තුනක්, ඒක උඩ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ශාලාවක්, ඒක උඩ කැන්ඩියන් ඩාන්සින් ෆ්ලෝ එක, එයට උඩින් කේබල් කාර් පද්ධතියක් හන්තානට, යන්න එන්න කිලෝමීටර 3.9යි. එතනින් කනෙක්ට් කරනවා කෝච්චි පාරට. කෝච්චි පාර සහ රථගාල සම්බන්ධ කරමින් ෆ්ලයි ඕවර් එකක් මීටර 460ක්. ඒ දෙපස මහනුවරට ආවේණික අත්කම් පෙහෙකම් නිර්මාණ කුටි 100 තියෙනවා. කෝච්චි පාර උඩට කොන්ක්‍රීට් තල දෙකක් වැටෙනවා. අක්කර 35ක් ලැබෙනවා. ඒ උඩ හදනවා බස් ස්ටෑන්ඩ් එක. බස් 400ක් පාර්ක් කරන්න පුළුවන්. බස් 160ක් ස්ටැන්ඩඩ් තියෙනවා. වෛද්‍යවරු සඳහා චැනලින් සෙන්ටර් 150යි. පොළ තියනවා. පේමන්ට් කඩ 500ක් හදනවා. මීට අමතරව තට්ටු දෙකේ බස් රථ 65 ක් යොදවා චක්‍රීය ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම සහ ටැක්සි රථ 65 යොදවා ප්‍රවාහන අංශය දියුණු කිරීමටත් සැලසුම් කළා. ඒඩීබී එක අරමුදල් දෙන්න සූදානම් වෙලා හිටියා. එක් තැනකට සියල්ල ගොනු කරලා නුවර හරිත නගරයක් කිරීමේ සැලසුමක් කේසීසී එක හරහා කරන්න ගියෙ. මේ විදිහට තිබුණෙ ටෝකියෝවල. අපි ලෝකය දැක්කෙ ජපානෙදි. මම කළේ ලෝකයේ තියන දේ නුවරට ගැළපෙන විදිහට සැලසුම් කළ එක. ඉන් ව්‍යාපෘති දෙකයි ක්‍රියාත්මක වුණේ. මගේ ව්‍යාපෘති දහයම ක්‍රියාත්මක වුණා නම් මහනුවර වාසය කරන 135000 කට අධික පිරිසකට රැකියා අවස්ථා බිහි වෙන්න තිබුණා.

අලුතින් ගොඩනඟපු සිනමා සංකීර්ණය ඉන් එකක්. ඒක මගෙ පුතාගෙ සැලසුමක්. ඔහු ඇමරිකාවෙ ඉඳන් ඇවිත් මිනිස්සු වෙනුවන් කළ සැලසුමක්. ලෝකයෙ සිනමා කර්මාන්තය හා සම්බන්ධ සිනමා ශාලාවල නූතන තාක්ෂණික සම්ප්‍රදාය තමයි අපි ඒ හරහා මේ රටට හඳුන්වා දෙන්න උත්සාහ කළේ.

අන්තිමට අසීමිත කොන්දේසි මැද්දෙ අපි KCC නිර්මාණශීලී ව්‍යාපෘතිය හැදුවා. මේ අවස්ථාවේ ආයතනය තුළ 4800 වැඩ කරනවා. තව 875කට ළඟදි රැකියා අවස්ථා ලැබෙනවා. ඒ ඔක්කොම අවස්ථාව හැදුවේ මේ නුවර අහස යට.

අපි ඉන්නෙ පුරාණ බෝගම්බර වැවේ. පැත්තකින් දළදා මාළිගාව. අනෙක් පැත්තෙන් කිරි මුහුද, අනෙක් පැත්තෙන් හන්තාන කන්ද. අනික් පැත්තෙන් මුස්ලිම් පල්ලිය. අනික් පැත්තෙන් කතෝලික පල්ලිය. ඉහළින් බහිරව කන්ද. බුදු පිළිමය. අනික් පැත්තෙන් මම මැදිහත්වෙලා හදපු චෛත්‍ය වහන්සෙ අස්ගිරිය. අනෙක් පැත්තෙන් කතරගම දේවාලය. කැන්ඩි සිටි සෙන්ටර් එක පිහිටලා තියෙන්නෙ ඒ මැද. හතරවරම් දෙවියොත් එක්ක තමයි කැන්ඩි සිටි සෙන්ටර් එක ඉන්නෙ.

ලංකාව කියන්නෙ ලෝකයේ තැල්ල. ඒක තමයි බලය. කැන්ඩි සිටි සෙන්ටර් එක තියෙන්න ලංකාවේ හදවතේ. මේ වනවිට ලෝකයේ ලොකුම මොල් 572කින් මේක බලන්න ඇවිත් තියනවා. මේ මොඩ්ල් එක බලලා මට රටවල් 22කින් ආරාධනා කළා මේ ජාලය ව්‍යාප්ත කරන්න. කරච්චි සිටි සෙන්ටර් එක හදන්න ඩොලර් මිලියන 1000ක යෝජනාවක් ආවා. ඒ එකක්වත් මම පිළිගත්තෙ නෑ. දැන් මේ ඇති. මේ ඔස්සේ කරන්න තව විශාල වැඩ කොටසක් මට ඉතිරි වෙලා තියනවා. මේ කිසිදෙයක් සදාකාලික නෑ. ඒ අවබෝධයෙන් තමයි මා වැඩ කරන්නේ.

තව සතුටු වෙන කරුණක් තියනවා. මා මැදිහත් වෙලා කුඩා ව්‍යාපාර දෙලක්ෂ අසූපන් දහසක් විතර බිහි කර තිබෙනවා. බැංකු 14ක් තිබෙනවා මාත් එක්ක සම්බන්ධ වෙච්චි. මේ කුඩා ව්‍යවසායකයන්ගේ කර්මාන්ත හඳුනා ගෙන ඒවා දියුණු කරන්න අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබා දෙමින් ඔවුන්ව අධීක්ෂණය කරමින් මා ඒ කටයුත්ත දිගටම කරනවා.

කිසිම දේශපාලකයෙක් මේ වැදගත්ම ක්ෂේත්‍රයට අත තිබ්බෙ නෑ. ලෝකයේ බොහෝ රටවල් ආර්ථිකව දියුණු වුණේ මේ සුළු හා මධ්‍ය පාරිමාණ ව්‍යවසායකයන් හින්දා. මේ ක්ෂේත්‍රය දියුණු වී ආර්ථිකව ශක්තිමත් වී චින්තනය නිදහස් වුණොත් මේ රටේ දේශපාලනයට පැවැත්මක් නැති වෙලා යනවා කියන එකයි මගේ මතය.

මේ විදිහට අපි හඳුනා ගෙන අධීක්ෂණය කරලා ණය අරන් දුන්න සමහර කුඩා ව්‍යවසායකයො අද ජාත්‍යාන්තරය අත්පත් කරන් ඉවරයි. එක සංවිධානය කළ එක ප්‍රදර්ශනයක දී අප හඳුනා ගත්ත එක් ගොරක නිෂ්පාදකයෙක් අද තායිලන්තයට ගොරකා අපනයනය කරනවා. මෙහෙම අය ලක්ෂ ගණනක් මා යටතෙ හැදිලා ඇති.

එක් උදාහරණයක් කියලා මේ කතාව ඉවර කරන්නම්. අපි චීස් ඉම්පෝට් කළා. එය නැවතුණා මේ තත්ත්වයත් එක්ක. අපට අවශ්‍ය වුණා හොඳම චීස් හදා ගන්න. ඒ සම්බන්ධව හොයාගෙන යනකොට හමුවුණා මැණික්හින්නෙ පුද්ගලයෙක්. ඔහු ජාත්‍යන්තර ආයතන දෙකක සේවය කර අත්දැකීම් ගත් කෙනෙක්. ඔහු කිව්වා මූලික ප්‍රාග්ධනයයි දවසකට කිරි බෝතල් 1000ක් තියනවා නම් අවශ්‍ය ප්‍රමිතිගත චීස් දෙන්නම් කියලා. ව්‍යාපෘතියක් හැදුවා. අවශ්‍ය ප්‍රාග් ධනය දුන්නා. කිරි ගොවින් හතළිහක් හදලා කිරි සැපයුම් යථාවත් කළා. අද ජාත්‍යාන්තරයට වඩා දහ ගුණයක් හොඳ චීස් අපට ලැබෙනවා. නැවුම් කිරි ලැබෙනවා. එයාගෙ ව්‍යාපෘතිය වටා පවුල් හතළිස් ගණනක් ඉන්නවා.

මේ රට ගොඩ ගන්න පුළුවන් රටක්. රත්තරන් පොළොවක් සොබාදහමේ ආශීර්වාදයක් සහිත රටක්. නිශ්චිත සැලසුමකට අවුරුදු දෙකක් වැඩ කිරීම පමණයි තියෙන්නෙ. ඒ සඳහා මා සතු යෝජනා විතරක් නෙමෙයි ආයෝජනත් තිබුණා. ඒත් ඉඩක් ලැබුණේ නෑ.

පුරවැසියො කල්පනා කරනවා නම් අපි අද විතරක් නෙමෙයි හෙටත් ජීවත් වෙන්න ඕන කියලා, දේශපාලකයො හිතනවා නම් මගෙන් පස්සෙත් රටක් තියෙන්න ඕන කියලා අපි මේ තරම් දුක්ඛිත තත්ත්වයට වැටෙන්න අවශ්‍ය නෑ.

ඡායාරූප - ශාන් රූපස්සර

Comments