
- ඉංග්‍රීසි මාධ්‍ය 92ම සමත්. A 9 සිසුන් 17 ක්
- ජපන් භාෂා විෂෙයන් 71ම සමත්. A සාමාර්ථ 15 ක්.
- කොරියානු භාෂා විෂය 73 ම සමත්. A සාමාර්ථ 9 ක්
- සිසුන් 763 දෙනාම සමත්. A9 සිසුන් 95, A8 සිසුන් 94, A7 සිසුන් 89
- iNaturalist නම් වෙඩ් අඩවිය හරහා දරුවෝ විශේෂ ඇගයීමකට
- නේවාසික කඳවුරු හරහා මඟ හැරුණු දරුවන්ට විධිමත් අධ්‍යාපනයක්
දකුණු ආසියාවේ විශාලතම ද්විතීයික ආදර්ශ පාසල හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ සමයේ ක්‍රියාත්මක කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව යමින් ද්විතීයික පාසල් දහසක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුල්ම පාසල ලෙස හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26ක මනරම් භූමි භාගයක ආරම්භ කළේ මේ පාසලයි. 2011 ජනවාරි මස 20 වැනිදා සිසු අයිතියට පත් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල වසර එකොළහකට ආසන්න කෙටි ගමන් මඟේ රන් සලකුණක් තබන්නට මෙවර හැකි වූයේ ලංකාවේ පාසල්වලින් වැඩිම සිසුන් පිරිසක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරමිනි. පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයට ලංකාවේ සියලු පාසල් අබිබවමින් 763 ක් වූ වැඩිම සිසු පිරිසක් ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ විදුහල වන අතර ඉතිහාසයේ ප්‍රථම වරට දිගු ඉතිහාසයක් උරුම වූ ජනප්‍රිය පාසල් අභිභවමින් 100% ක සාමාර්ථයක් ලැබීමට එම විදුහලට හැකි විය.
එවකට අධ්‍යාපන ඇමැති වූ වත්මන් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පයක් අනුව එදා ඇරැඹි දකුණු ආසියාවේ විශාලතම ද්විතියික ආදර්ශ පාසල වූ මෙය සෑම සමාන්තර ශ්‍රේණියකම පන්ති කාමර 17ක් දක්වා පවත්වා ගෙන යෑමට හැකි විය. රටේ සතර දිග්භාගයේම දරුවන් අධ්‍යාපනය ලබන මේ පාසලට වර්තමානයේ සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අනුවය. දැනට සිසුන් 6300 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම් කටයුතු කරන පාසලේ ආචාර්ය මණ්ඩලය 293 කි. අනධ්‍යයන සේවක සංඛ්‍යාව ද 40කට ආසන්නව සිටී. සමාන්තර ශ්‍රේණි පන්ති වැඩි වීම නිසා සිසුන් ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ විදුහලේ පරිපාලන ක්‍රියාවලිය ද පාසලටම ආවේණිකව ක්‍රියාත්මක වන්නකි.
සුවිශේෂී අධ්‍යාපන ඉලක්ක සාධනය කර ගැනීම අරමුණු කර ගනිමින් ඇරඹුණු මේ පාසල ආරම්භයේදී මෙරට පාසල් පද්ධතියට නව අත්දැකීමක් එක්කළේ මුල් කාලයේ හවස 3.30 දක්වා පාසල පැවැත්වීමෙනි. 2011 වසරේ කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවනීය චරිතයක් වූ එච්. එන්. ද සිල්වා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ආරම්භක විදුහල්පතිවරයායි. 2015 වසරේ සිට මේ දක්වා වත්මන් විදුහල්පති එම්. ආර්. ඩී. කසුන් ගුණරත්න පාසල වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කරන්නේ දින දින පාසල ජයග්‍රාහී මාවතකට ඔසවමිනි. ලංකාවේ පළමුවැනි ස්මාට් පන්ති කාමරය ලෙස කොරියානු රජයේ ආධාර ඇතිව ස්ථාපිත වූයේ මහින්ද රාජපක්ෂ විදුහලේය. ඉන්දියානු තක්රාල් සමාගමෙන් පරිත්‍යාග ලෙස ලැබී පරිගණක විද්‍යාගාරය, ඉංග්‍රීසි කථන පරිගණක විද්‍යාගාරය සහ තාක්ෂණ විද්‍යා පීඨය මෙරට කිසිම පාසලක දැකිය නොහැකි ආකාරයේ සුවිශේෂ ඉගැනුම් මධ්‍යස්ථානයන්ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට වැඩිම සිසු පිරිසක් ඉදිරිපත් කළ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ සිසුන් 763 දෙනාම සමත් වූ අතර A 9 සිසුන් 95 දෙනෙක් ද, A 8 සිසුන් 94 දෙනෙක් ද, A 7 සිසුන් 89 දෙනෙක් ද වූහ. මහින්ද රාජපක්ෂ විදුහලේ විශිෂ්ඨ ප්‍රතිපල අතර ජපන් භාෂා විෂයට පෙනි සිටි සිසුන් 71 දෙනාම සමත් වී ඇති අතර ඔවුන්ගෙන් 15 ක් A සාමාර්ථ ලබා ගෙන ඇත. එසේම කොරියානු භාෂා විෂයට සිසුන් 73 දෙනෙකු පෙනි සිටි අතර ඔවුන් සියලු දෙනාම සමත් වී ඇත. එම විෂයට A සාමාර්ථ 9 ක් ලබා ගෙන ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට සිසුන් 92 ක් පෙනි සිටි අතර එයින් A 9 ගත් සිසුන් පිරිස 17 කි. පාසලේ වූ සමානාත්තර පන්ති සංඛ්‍යාව 17 කි. කොවිඩ් කාලයේ මාර්ගගත ඉගැන්වීම් සිදු කළ ද හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ 763 ක් වූ විශාල සිසු පිරිසට මාර්ගගත ඉගැන්වීම පහසු දෙයක් වූයේ නැත. මන්ද මේ ද්විතීයික ආදර්ශ පාසල ආරම්භ වූ දා සිටම සාමාන්‍ය පෙළට වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් කරන්නට වූයේ මේ පාසලෙන් වීම විශේෂත්වයකි. මේ හෙයින් විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයට මේ මාර්ගගත ඉගැන්වීම් වඩාත් ශක්තිමත් කරන්නට කටයුතු කළ අතර විදුහල්පතිවරයා පවසන්නේ ඒ සාර්ථකත්වයේ ගෞරවය හිමි විය යුත්තේ ගුරුවරුන් ප්‍රමුඛ දරුවන්ට බවය.
කොවිඩ් හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට විෂය බාහිර කටයුතු මඟ හැරුණු අතර, දරුවන්ට ඒ අවස්ථාව යළි කෙසේ හෝ ලබාදීමට පාසල විවිධ පියවර ගත්හ. මහින්ද රාජපක්ෂ විදුහලේ ක්‍රීඩා 20 ක් පමණ ඇති අතර, විවිධ සංගම් 50 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේය. මේ සියලු දේ සිසුන්ට ලබාදීමටත්, මඟහැරී ගිය විෂය කොටස් සම්පූර්ණ කිරීමටත් නේවාසික කඳවුරු ශක්තිමත්ව පවත්වා ගිය අතර ඒවා අතිසාර්ථක විය. සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ ද ඉලක්ක කර ගනිමින් පැවැති මේ නේවාසික කඳවුරේදී සිසුන්ට විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට අවස්ථාව ලබා දුන්නේ වෙනස් වූ අත්දැකීම් සමඟය. මේ හරහා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වූ සිසුන්ට අධ්‍යාපනය විනෝදාස්වාදය, සතුට සමඟින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට හැකියාව ලැබුණු අතර පාසල් මිතුරු පරිසරයක් ඇති කිරීමට ඉන් පසුබිම වැටුණි.
මීට අමතරව පාසලේ උපරිම සම්පත් හා හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් පුද්ගල හැකියා, මානව හැකියා සංවර්ධන විශේෂඥයන් පාසලට ගෙන්වා ගනිමින් විභාගයට මුහුණ ෙදන සිසුන්ට ඉගෙනුම් හැකියා ප්‍රවර්ධනයට දේශන සම්මන්ත්‍රණ දියත් කළේය. නිවසටම කොටු වී සිටි සිසුන්ගේ මනස සැකසීම වෙනුවෙන් විශේෂිත සම්මන්ත්‍රණ, චිත්ත වින්දන කුසලතා නංවන දේශන වැඩමුළු පැවැත්වීමෙන් විභාගයට කෙසේ මුහුණ දිය යුතු ද යන අවබෝධය සිසුන්ට සමීප කරවීමට විදුහල්පති ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයට හැකි විය.
පසුගිය කාලයේ සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලි කොතෙක් අතපසු වුවද සෑම කාල පරිච්ඡේදයකින්ම විනාඩි කිහිපය බැගින් එකතු කොට නව උදෑසන කියවීම් කාලයක් ලබා ගැනීමට කටයුතු කළේ විභාගයට පමණක් නොව නැණවත් සිසුන් දායාද කිරීමට එය අත්‍යාවශ්‍ය කරුණක් වන නිසාය. එමඟින් සිසුන්ට ලිවීමට, කියවීමට පමණක් නොව සිතීමේ හැකියා ද වර්ධනය කරවන්නට මහඟු රුකුලක් විය.
පාසලට විවිධ හැකියා ඇති දරුවෝ මෙන්ම විවිධ ආර්ථික පරිසර හිමි පවුල්වලින් පැමිණෙන දරුවෝ ද අධ්‍යාපනය ලබන්නට පැමිණෙති. ඒ සියල්ලෝම මහින්ද රාජපක්ෂයේ දරුවෝ යන තේමාව මතු කරමින් එවන් වූ අාර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන්ට සත්කාර කරන්නට පාසල ඉදිරිපත් විය. දරුවන්ගේ මවුපියන්ට ජූකී මැෂින් ලබාදීම, බ්ලොක් ගල් මැෂින් ලබා දීම හරහා ඒ සිසුන්ගේ ආර්ථික අපහසුතාවලට අත්වැලක් සපයන්නට පාසලට හැකි විය. මේ වන විට ජූකී මැෂින් 24 ක් හා බ්ලොක් ගත් මැෂින් 12 ක් ලබා දෙන්නට පාසල් කළමනාකාරීත්වයට හැකියාව ලැබී ඇත. පසුගියදා ඉහළ සාමාන්‍ය පෙළ සාමාර්ථ ලබාගත් සිසුවියෝ ද මේ අතර විය. ඊට අමතරව පාසලේ ‘සහන සෙවණ‘ ක්‍රියාත්මක වූයේ තවත් එවැනි අපහසුතාවලින් පිරි දරුවන්ට සරණක් වන්නටය. දෛනිකව අවශ්‍ය ආහාර, ඇඳුම් පැලදුම්, පොත්පත් ඇතුළත් මේ සහන කාමර 4 ක් පාසලේ ක්‍රියාත්මක වන අතර ඒවා අවශ්‍ය සිසුන්ට නොමිලයේ ලබා ගැනීමට හැකිවීම සුවිශේෂීය. දරුවන්ගේ ආර්ථික අපහසුතා පාසල මඟින් දැරීම නිසා ඒ සිසුන්ට නිරවුල් මනසකින් විභාගයට සූදානම් වීමට හැකි විය.
දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් ප්‍රායෝගික ජීවන අත්දැකීම් හරහා ලබාදෙමින් විභාගයට මුහුණ දෙන දරුවන්ට ව්‍යාපෘති පාදක අධ්‍යාපනයක් අනිවාර්ය විය. සෑම පන්තියක්ම ව්‍යාපෘතියක් කිරීම අත්‍යාවශ්‍ය විය. බහුවිධ හා බහුතල අත්දැකීම් එමඟින් සිසුන්ට ලබා ගැනීමට හැකි විය. අධ්‍යාපන කටයුතු සිදු කෙරීගෙන යන අතරතුරේම හරිත පරිසරයක් ගොඩනැඟීමේ විශාල කාර්ය භාරයක් පාසල තුළින් ඉටු විය. පරිසරයට දරුවෝ සංවේදී කරමින් පාසලේ අස්සක් මුල්ලක් නෑර මල්බර පරිසරයක් ඇති කිරීමට පාසල් ප්‍රධානීහු වෙහෙස විය.
මෙවර සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථ වාර්තා කළ දරුවෝ ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගිය දරුවෝ වෙති. iNaturalist නම් වෙබ් අඩවිය හරහා මේ විද්‍යාලයීය දරුවන්ගේ විද්‍යාත්මක ඇගැයීමක් සිදු වූ අතර ඔවුහූ මේ හරහා විශේෂ ඇගැයීමකට ලක්විය. එය ලංකාවේ ප්‍රථම වරට සිදු වූවක් විය. නායකත්වය හුරු දරු පිරිසක් සේම නායකත්ව දේශගුණයක් පාසල තුළ ඇති කිරිම මේ කාර්යයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.
නායකත්වයට හුරු දරු පිරිසක් විභාගයට කොතරම් අඩු කාලයක් තිබුණ ද සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් කරා මේ සිසුන්ව විවිධ පැති කරා යොමු කිරීමට පාසල ගත්තේ සුවිශාල කැප කිරීමකි. අධ්‍යාපනයෙන් පිරිපුන් මෙන්ම හුදෙක් විභාග අරමුණ කරගත් දරු පිරිසක් පමණක් නොව සාරධර්ම අගයන දරු පිරිසක් ඇති කිරීම, දේශීය වටිනාකම් ඉදිරියට ගෙනියන දරු පිරිසක් දායාද කිරීම මේ ගමනේ අරමුණ විය. ඒ සියලු දරුවන්ට විශ්ව දැනුමින් පෝෂණය කිරීමට විවිධ ක්‍රියාකාරකම් මේ දරුවෝ මේ කෙටි කාලය තුළ අත්කර ගත්හ.
පාසල පැමිණි මේ වසර එකොළහක කෙටි ගමන් මඟේ පැමිණි දුෂ්කරතා බොහෝය. ආරම්භය මෑතකදී නිසා පාසලේ ප්‍රගතියට ආදි සිසු සංගමයක් නැතිවීම විශාල අඩුවකි. මේ නිසාවෙන් සියලු වියදම් විවිධ අංශ හරහා සොයා ගැනීමට සිදුවෙයි. ඒ සියලු බාධාවන් තිබුණද දරුවන්ට පාසලින් ඉටුවිය යුතු අධ්‍යාපන ඉලක්ක සාධනය කරදීමට පාසලට හැකිවිය. මෙවැනි දරු පිරිසක් කළමනාකරණය කිරීමේ සියලු ගෞරවය විදුහල්පතිතුමාත්, මාධ්‍ය අංශභාර නියෝජ්‍ය විදුහල්පතිනි ටී. ඩී. ඩී වීරක්කොඩි, 10 ශ්‍රේණි ප්‍රධාන දොඩම්පේ සද්ධාවිමල හිමි හා 11 ශ්‍රේණි ප්‍රධාන රංජිත් ප්‍රේමකුමාර ඇතුළු ප්‍රමුඛ ගුරු මඬුල්ලට හිමි විය යුතුය.
100% සුදුසුකම් දැක්වූ පාසල්වලට අවස්ථාවක්
පසුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව උසස්පෙළ හැදෑරීම සඳහා 100% ක් සමත්වීම් දැක්වූ පාසල් ඇත්නම් ඒ පිළිබඳ සිළුමිණ පුවත්පත හරහා ඇගැයීමක් කිරීමට අපට හැකියාවක් ඇත. ඒ බව සනාථ කරමින් අදාළ පාසලේ විදුහල්පති හරහා පහත ඊමේල් ලිපිනයට ඉල්ලීමක් කිරීමෙන් ඔබ පාසල සඳහා අවස්ථාවක් ලබා දීමට හැකියාව ඇත.
[email protected]
ඡායාරූප - නිශ්ශංක විජේරත්න