
- මගේ ප්‍රතිකාර සඳහා හෙළ වෙදකම, නිල වෙදකම, ගුප්ත ශාස්ත්‍රය මේ තුනම යොදා ගන්නවා
- හෙළ වෙදකම අනුව මුලින්ම සිදු කරන්නේ ශරීරය සකස් කිරීමයි. ප්‍රතිකාර ලබා දෙන්නේ ඊට අනුකූලවයි
- සුවකර ගන්න බැරිව රෝහල්වලින් එළියට දාන රෝගීන්ගේ අස්ථි සුවපත් කරනවා
- ආතරයිටිස්, මාංස පේශිගත රෝග, අංශ භාගය ඇතුළු සියලු සර්වාංග රෝගවලට සම්පූර්ණ සුවය
ඉඳුරුව රංචාගොඩ වෙදපරම්පරාවෙන් පැවත එන හෙතෙම වෙදකමට පමණක් නොව අංගම්පොර සටන් කලාව ද රංචාගොඩ පරම්පරාවෙන්ම උරුමකර ගත්තෙකි. මෙනිසා ඔහු නිල වෛද්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රවීණයකු වන අතර, හෙළ නිල වෙද ශාස්ත්‍රයට ගෞරව උපාධියකට ද හිමිකම් කියයි. ආතරයිටිස්, මාංශ පේෂිගත රෝග, කොන්ද කැක්කුම, අංශභාගය, ස්නායු රෝග ඇතුළු සියලු සර්වාංග රෝග සඳහා හේ ප්‍රතිකාර කරයි. ඇවිද ගැනීමට පවා අමාරුවෙන් ඔහු වෙත පැමිණෙන රෝගීන් ඔහුගේ ප්‍රතිකාරවලින් පසු ඇවිද යන ආකාරය සමාජ මාධ්‍ය තුළින් දකින විට මේ විශ්මිත වෙදැදුරා සොයා රටට අනාවරණය කළ යුතු යැයි ඉසිවර අරණ කල්පනා කළේ එනිසාය. ඒ අනුව ඔහු සොයා අපි දඹුල්ල යාපාගම බලා ගියෙමු.
ඓතිහාසික රංගිරි දඹුලු විහාරය පසුකර කිලෝමීටර් එකමාරක් පමණ ගිය තැන රංගිරි සෙවණ මාවත හමුවේ. එහි මීටර් පනහක් පමණ යන විට පාරම්පරික හෙළ වෙද මැදුර හමුවේ. අප එහි යනවිටත් රෝගීන් තම වාරය පැමිණෙන තෙක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණි. රෝගීන් බැලීමට මුල්තැන දුන් හෙතෙම අප සමඟ දොඩමළු වූයේ ආහාර ගැනීම සඳහා සවස තුනට පමණ ප්‍රතිකාරාගාරයෙන් පිටතට පැමිණි මොහොතේය.
දිනසිරි සොයිසාට සහ එම්. මිලී පෙරේරා යුවළට දාව වර්ෂ 1982දී දඹුල්ෙල්දී අංගන්පොඩි ප්‍රසන්නජිත් කුමාර ද සොයිසා මෙලොව එළිය දුටුවේය. ඒ පවුලේ සිවු වැනි දරුවා ලෙසය. ඔහුට වැඩිමහල් සහෝදරියන් තිදෙනකු සහ එක් බාල සහෝදරියක වේ. පවුලේ එකම පිරිමි දරුවා වූ ප්‍රසන්නජිත් බහ තෝරන වියේදීම මවගේ මෑණියන් වූ රංචාගොඩ සීලින් නෝනා හෙවත් රංචාගොඩ නිමල්හාමි වෙද හාමිනේ වාසය කළ ඉඳුරුව, ගෝණගල පිහිටි නිවෙස වෙත රැගෙන යාමට මවුපියෝ කටයුතු කළේ මිත්තණියගේ බලවත් ඉල්ලීම නිසාය. ඒ වන විටත් ප්‍රසන්නජිත්ගේ වේලපත්කඩය කියවා තිබූ රංචාගොඩ වෙදහාමිනේ තම පරම්පරාවට උරුම වූ හෙළ වෙදකම ඉදිරියට රැගෙන යන්නේ මේ දරුවා බව සැක හැර දැන සිටියාය. ඇය හෙළ වෙදකමට උපන් පරපුරක් වූ රංචාගොඩ වෙද පරපුරේ පස්වැනි පුරුක වූවාය. සිය මුණුබුරා තමා සමීපයේ රඳවාගැනීමට සිතූ ඇය සිය දියණියට හා බෑණාට ද එහි නතරවන ලෙස පැවසුවාය. වසර කිහිපයක් එහි වාසය කළ මවුපියෝ ප්‍රසන්ජිත් එහි තබා දියණියන් සිවු දෙනා සමඟ නැවත දඹුල්ලේ නිවෙසට පැමිණියෝය.
ඉඳුරුව ගා/කාඩිගොඩ කනිටු විද්‍යාලයෙන් මුලකුරු කියැවූ ප්‍රසන්ජිත්, කුඩා කල සිටම දේවල් ප්‍රශ්න කරමින් ඉගෙනීමට රුචි විය. මවගේ වැඩිමහල් සහෝදරයන් වූ විල්බට්, ඉල්බට්, ගිල්බට් සහ ඊබට් පරම්පරාගත අංගම්පොර සටන් කලාවේ ප්‍රවීණයන් විය. මේ අය සරඹ කරන ආකාරය දකින ප්‍රසන්නජිත් කුඩා කාලයේදීම අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළේය. ඔහුගේ ලොකු මාමා වූ විල්බට් පෙරේරා අංගම් පොර සටන් කලාවේ ප්‍රබලතම අංගයක් වූ නිල වෙදකම ඔහුට දායාද කර දුන්නේය.
මිත්තණිය සමඟ වනරොදවල දුව පැන ඇවිද යමින් ගහකොළ හඳුනාගනිමින් හෙළවෙදකමේ අ’යනු ආ’යනු කියැ වූ ප්‍රසන්නජිත්ට ලොකු මාමාගෙන් ලැබුණු අංගම්පොර සටන් කලාවෙන් නිල ශාස්ත්‍රය තව තවත් ඔප්නංවා ගැනීමට මහත් පිටුබලයක් සැපයීය. මීට අමතරව මිත්තණිය සතු වූ ගුප්ත ශාස්ත්‍රය ද හෙතෙම ප්‍රගුණ කළේය. සිය මව මෙන්ම වැඩිමහල් සොහොයුරියන්ද මෙම ගුප්ත ශාස්ත්‍ර දැන සිටි බවත්, ඔවුන් විසින් දේවාල පවා පවත්වාගෙන ගිය බවත් හෙතෙම අප සමඟ පැවසීය.
“මගේ අම්මා වෙදකම් කරන්න වැඩිය පෙළඹුණේ නැති වුණාට ගුප්ත ශාස්ත්‍රය මඟින් එක එක බලපෑම් උඩ දිෂ්ටි වැටෙන උදවිය ඉන් මුදවා ගැනීමට කටයුතු කළා. මගේ සහෝදරියන්ටත් ගුප්ත ශාස්ත්‍රය හොඳින් පිහිටා තිබුණා. ඒ නිසා ඔවුන් දඹුල්ලේ ඒ කටයුතු කරගෙන ගියා. මම නැවතත් දඹුල්ලට ආවේ හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ. නමුත් වැඩි කල් එහේ ඉන්න ලැබුණේ නැහැ. වරින් වර ඉඳුරුවේ යන්න වුණා. මේ නිසා එක පාසලකට එක දිගට යන්න ලැබුණේ නැහැ. ඔය අතරතුර ඉඳුරුව විහාරයේ නායක හාමුදුරුවෝ මගේ දක්ෂතා දැකලා උන්වහන්සේ දැන සිටි ජ්‍යෝතිෂය ශාස්ත්‍රය, හස්ත ශාස්ත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැනුම මට ලබා දුන්නා. උන්වහන්සේ කොණ්ඩදෙණියේ හාමුදුරුවො වගේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ගොඩක් වැඩගත් හිමි නමක්.
මං කුඩා කාලයේ පටන් අසාමාන්‍ය දරුවෙක්. මං කියන දේවල් අනික් අයට වශ්වාස කරන්න බැරි තරම්. ඒ අය පුදුමෙන් වගේ තමයි මං දිහා බැලුවේ. මේ දේවල් අවබෝධ කරගත්ත ඉඳුරුව පන්සලේ හාමුදුරුවෝ සතු යන්ත්‍ර මන්ත්‍ර, නක්ෂත්‍රය හා ගුප්ත විද්‍යා දැනුම මට ලබා දුන්නා. නිල වෙදකම වගේම යකැදුරෙකු වීමට ඒ ලබපු දැනුමත් මං අද මේ වෙදකම සඳහා යොදා ගන්නවා.” ඒ අතීතය සිහි කරමින් ප්‍රසන්ජිත් වෙද මහතා කීවේය.
හෙතෙම තුරුණු වියට එළැඹීමත් සමඟ පාසල් යන අතරතුර තම වැඩිමහල් සොහොයුරිය හා එක්ව වෙදකමට හා දේවාල කටයුතුවලට නැඹුරු විය. ගමේ ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම අසල්වැසියන් ප්‍රතිකාර සහ විවිධ කටයුතු සඳහා ඔහු වෙත පැමිණෙන්නට පටන් ගත්තේය. ඔය අතරතුර සිය වැඩිමහල් සොහොයුරිය රිය අනතුරකට ලක්ව රෝහල් ගත කළ අතර, එහිදී ඇයගේ පාදයක් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණි. ඒ අතරතුර විෂබීජයක් ශරීරගත වීමෙන් ඇය මෙලොව හැර ගියාය. සිය සොහොයුරියට අත්වූ ඒ ඉරණමත් සමඟ ප්‍රසන්ජිත් හෙළ වෙදකමට වඩාත් නැඹුරු විය. ඒ තම සොහොයුරියට අත් වූ ඉරණම නැවත කිසිදු අෙයකුට අත් නොවන්නට වෙදකම් කරනවා යන තිර අදිටනනි. හෙතෙම ගොඩකවෙල, පල්ලෙ බැද්ද, නුවර ගුරුදෙණිය, බටුකච්චිය (ත්‍රිකුණාමලය), හෙළ උඩ කන්ද (සිංහරාජය), රත්නපුර ආදී විවිධ ප්‍රදේශවල ගමින් ගම ඇවිද යමින් අසරණ වූ රෝගීන් සුවපත් කිරීමට පටන් ගත්තේය.
“මගේ අක්කගෙ මරණෙන් පස්සේ ‘මෙච්චර වටින වෙදකමක් දැනගෙන අක්කට ඇයි මැරෙන්න ඉඩ දුන්නේ කියලා මා තුළ ඇති වෙච්ච ආතතිය මඟහරව ගන්න මං ප්‍රදේශයක් ප්‍රදේශයක් ගානේ ගමක් ගමක් ගානේ ඇවිද ඇවිද එවැනි හොඳ කරන්න අමාරු රෝගීන් සොයාගෙන ගොස් සුවපත් කළා. ඒ විදියට රෝගීන් දහස් ගණනක් මං සුවපත් කළා. ඇත්තටම මගේ හැකියාව එළියට ආවේ ඒ නිසයි. එහෙම නොවෙන්න මම වෙදකම හා ගුප්ත ශාස්ත්‍රය අතහැරලා කරාතේ සටන් කලාව ප්‍රගුණ කරමින් සිටියේ. ඒ වන විට මම කළුපටි පැලඳ තරගවලින් ජයග්‍රහණය කර වෙනස් මඟක යමින් සිටියේ. නමුත් දෛවය මාව වෙදකමට යොමු කළා. තුන් වේලෙන් එක වේලක් කාලා ඉතිරි සියලු කාලය රෝගීන් වෙනුවෙන් වෙදකම් කරන්න මං පෙළඹුණා. එහෙම වෙදකම් කරන විට වෛද්‍ය සහතිකයක් නැතිව වෙදකම් කරන්නේ කොහොමද කියලා මට බලපෑම් එල්ල වුණා. ඒ වනවිට අගමැති දි.මූ. ජයරත්න, දේශීය වෛද්‍ය අමාත්‍යවරයාව සිටියේ සාලින්ද දිසානායක සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් අමිල සුධීර රත්නායක යන අයගේ බොහෝ ඥාතීන් මම සුවපත් කර තිබුණා. වෙදකම් කළාට ඒ වන තෙක් වෙදකම් කරන්න සහතිකයක් ඕනෑ බව මම දැනගෙන හිටියේ නැහැ. කොටින්ම එහි ලියාපදිංචිය ලබා දෙන්නේ කොහොමද කියලා අදටත් මං දන්නෙ නැහැ. ඊට පස්සේ ආයුර්වේදයේ පාරම්පරික වෙදකමට ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කළා. පසුව මහාචාර්ය රණවීර යටතේ මට වෙදකම් කරන්න රෝගීන් යොමු කළා. මම ඒ අය සුවපත් කළා. ඒ විදිහට වෙදකම් කරලා සෑහෙන ලෙඩ්ඩු ප්‍රමාණයක් හොඳ කළාට පසුව මට ලියුමක් දුන්නා, ඔයා නිල වෙදකම කරන්නේ ඒකෙන් ලෙඩ්ඩු හොඳ වුණාට පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් නැහැ කියලා. ඊට පස්සේ ඒ රෝගීන්ට එම්.ආර්. අයි. රිපෝට් අරන් එන්න කිව්වා. ඒ ගේන හැම රිපෝට් එකක්ම නෝමල් වෙන්න එම්. ආර්.අයි. යන්ත්‍රයේ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ කියලා නැවත මාව ප්‍රායෝගික පුහුණු වැඩමුළු දොළහකට පමණ යොමු කළා. මං හොඳ කළ රෝගීන් මගේ කකුල් දෙක අල්ලා වැන්දා. පස්සේ ඒ රෝගීන් මට මුණ නොගස්සන්න ඒ අය කටයුතු කළා. මා ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ගොස් අදටත් ප්‍රතිකාර ලබා දෙනවා. ඒ නිසා මං වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මං සුවපත් කළ රෝගීන් රට පුරා ඉන්නවා. ඒ අයගෙන් අහල හරි කමක් නැහැ මට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලයි.”
ඇතැම් වෛද්‍යවරුන් විසින් විවිධ ඖෂධ ලබා දෙමින් වසර ගණනාවක් තිස්සේ ප්‍රතිකාර කළ ද රෝග සුවපත් කිරීමට අපොහොසත්ය. එහෙත් හෙතෙම තෙල් සාත්තුව හා පත්තු මඟින් රෝගීන් සුවපත් කරයි. ඒ පිළිබඳ අපි ප්‍රසන්ජිත් වෙද මහතාගෙන් විමසුවෙමු.
“රෝග කාරකයක තියෙන ප්‍රධාන රෝග මූලය තමයි ඖෂධ නිවැරදිව හඳුනා නොගැනීම. ඒ වගේම රෝගකාරකය අනුව වෛද්‍යවරයා හඳුනා නොගැනීම. අපේ ශරීරයේ මූලික කොටස් හතක් තිබෙනවා. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජ්‍රා සහ ශුක්‍ර කියන මේ සප්ත ධාතුව අරගෙන බැලුවම ලේ ධාතුව, මාංශ පේෂි, ස්නායු, අස්ථි, ඇට මිදුළුවල ඇති ධාතු තමයි ශුක්‍ර සහ ඩිම්බ කියල අපි හඳුන්වන්නේ. මෙන්න මේ සප්ත ධාතූන් ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සිවු මහා භූතයන්ගෙන් නිමැවී තිබෙන මේ මනුෂ්‍ය ශරීරයේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවුණහොත් කෙනකු රෝගී තත්ත්වයට පත්වෙනවා. රෝග හට ගන්නේ වාත, පිත, කප කියන ත්‍රිදෝෂ කිපීමෙන්. ඒ අනුව චර්ම රෝග, අස්ථි රෝග, ස්නායු, කාටිලේජවල ඇතිවන රෝග, මාංශ පේෂි වල හටගන්නා වාත රෝග ආදී රෝග තත්ත්වයන් ඇති වෙනවා. මේ රෝග අතර බොහෝ දෙනකුට තිබෙන්නේ ස්නායු රෝග. මෙම ස්නායු රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඒවා සියයට සීයක් නිවැරදිව හඳුනා ගන්න ඕන.
නමුත් මේ වනතෙක් එලෙස ස්නායු රෝග සියයට සියයක් හඳුනාගත හැකි යන්ත්‍රයක් නිපදවා නැහැ. එම්.ආර්.අයි. ස්කෑනරයෙන්වත් මේ රෝග නිවැරදිව හඳුනා ගන්න බැහැ. එහෙම වුණාම ඇලපති වෙදකමේ කරන්නේ රෝගීකාරකය හඳුනා ගැනීමට සැක කරන ස්ථානයෙන් කොටසක් කපා ගෙන පරික්ෂා කිරීමයි. යම් හිරවීමක් ඇති ස්ථාන අනුමාන කර තවනවා. ස්නායු රෝග තත්ත්වයක් දරුණු තත්ත්වයට පත් වී තිබුණොත් එම ස්ථානයේ අස්ථි පංජරය ඇද වීමක් සිදු වෙනවා. මෙවැනි අවස්ථාවක එක්ස්රේ සටහනක් ලබාගෙන අස්ථි පංජරය විවිධ ශල්‍යකර්මවලට භාජනය කරනවා. ඒත් ඒ කිසිම දේකින් සුවයක් නොලබන අවස්ථා තමයි වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. එහෙම වෙන්න හේතුව තමයි මනුෂ්‍යයකුගේ ශරීරය නිසියාකාරයෙන් සකස් නොකර ප්‍රතිකාර ලබා දීම අපේ හෙළ වෙදකම අනුව අප මුලින්ම සිදු කරන්නේ ශරීරය සකස් කිරීමයි. ඒ සඳහා ශරීරය සකස් වී තිබෙන රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජ්‍රා සහ ශුක්‍ර කියන සප්ත ධාතුව සකස් කිරීමේ පිළිවෙළක් තිබෙනවා. මා ප්‍රතිකාර ලබා දෙන්නේ ඊට අනුකූලවයි. ඒකට තමයි අපි නිල වෙදකම කියලා කියන්නේ. මගේ ප්‍රතිකාර සඳහා හෙළ වෙදකම, නිල වෙදකම, ගුප්ත ශාස්ත්‍රය මේ තුනම යොදා ගැනෙනවා”
ඔහු සතුව තිබූ ශරීරය උණුසුම් කරන අපූරු යන්ත්‍රයක් අප ඇස ගැටිණ. ඒ පිළිබඳ අපි ප්‍රසන්ජිත් වෙද මහතාගෙන් විමසුවෙමු.
“මීට අවුරුදු පහකට පමණ ප්‍රථම ඇවිද ගන්න තියා නැඟිටගන්නවත් බැරි, අතේ ඇඟිල්ලක්වත් සොලව ගන්න බැරි රෝගියෙක් මගේ ළඟට ආවා. එයා රෝහලෙන් එළියට දාලා තිබුණේ ජීවත් වන මළ මිනියක් වගේ. ඇය ස්ත්‍රියක්; මගේ මිය ගිය අක්කා වගේමයි. ඇය මං ළඟට රැගෙන එද්දී ශරීරය මුළුමනින්ම විකෘති වෙලා තිබුණේ. අස්ථි ඇදවෙලා විරූපී වෙලා. එයා ස්නායු සම්බන්ධයෙන් දුර්වලම අඩියක හිටියේ; ඇල් වතුර නාවන්න බැහැ. ඒ නිසා ඇයව ගොඩ ගන්න මං මගේ දෑතින්ම ශරීරය උණුසුම් කර දෝවනය කරන යන්ත්‍රයක් නිර්මාණය කළා. ඖෂධීය ශාකවල පොතු කොළ මල් මුල් තම්බල ඒවයේ යුෂ අරගෙන නැවත ඒ යුෂ ඒකට එකතු කරලා උණුසුම් කරල ඉන් පිටවන වාෂ්ප ඇගේ ශරීරයට වැදෙන්න සැලස්සුවා. ඒ මඟින් කාලාන්තරයක් තිස්සේ ශරීරයේ පැවති මළ සෛල ඉවත් වෙනවා. ස්නායු ප්‍රාණවත් වෙනවා; සම පැහැපත් වෙනවා; සුන්දර වෙනවා. මාංශ පේෂි ටිෂූවල වර්ධනයක් ඇති වෙනවා, කාටිලේජවල තද බව සැහැල්ලු වෙනවා. අහිතකර මේද ශරීරයෙන් ඉවත් වෙනවා. ශරීරයට සැහැල්ලු බවක් දැනෙනවා. ශරීරය සැහැල්ලු වුණාම මනස සැහැල්ලු වෙනවා. මේ නිසා ඇය ක්‍රමයෙන් සුවපත් වෙන්න පටන්ගත්තා. දැන් ඇය මෙහි නැවතී මටත් සහාය වෙමින් ඉදිරි ප්‍රතිකාර කටයුතු කරගනිමින් රැඳී සිටිනවා. මේ වාෂ්ප දෝවනය මඟින් බොහෝ ලෙඩුන් ප්‍රමාණයක් මා සුවපත් කර තිබෙනවා.”
ඔබටත් ප්‍රසන්ජිත් වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි නම් නුවර මාර්ගයේ ඓතිහාසික රංගිරි දඹුලු විහාරය පසුකර කිලෝ මීටර් එහමාරක් පමණ ගිය තැන රංගිරි සෙවණ මාවතෙන් ඇතුළු වී එහි මීටර් පනහකි පමණ ගිය තැන පාරම්පරික හෙළ වෙද මැදුර හමුවේ.