සියල්ල අභියෝග විදියට ගත්තා මිසක් මම අතෑරලා ගියේ නෑ | සිළුමිණ

සියල්ල අභියෝග විදියට ගත්තා මිසක් මම අතෑරලා ගියේ නෑ

නුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට 90 දශකයේදී නැතිවම බැරි ක්‍රීඩකයෙක් සිටියේය. පාපන්දු, ක්‍රිකට් පමණක් නොව විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායමේ ද හේ ක්‍රියාකාරී සාමාජිකයෙකි; පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි. පිට්ටනියට ම පාසල් කාලය ගෙවන්නට පුරුදු වූ ඔහුට විශ්වවිද්‍යාලයට යෑමේ ආසාව ඇති වෙන්නේ තමන්ගේ නිවෙසේ නැවතී සිටි අයියලා උසස් පෙළ ඉහළින් සමත් වී විශ්වවිද්‍යාලයට යනු දැකීමෙනි. මේ ක්‍රීඩා ශූරයා 13 වසරේදී මුළුමනින් ම අධ්‍යාපන කටයුතුවලට යොමු වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පළමුවරම ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් උසස් පෙළ ප්‍රතිඵල ලබා ගන්නා ඔහු, අද ලෝකයේ ප්‍රමුඛත ම සන්නාමවලට මිල නියම කිරීමට තරම් ස්වකීය ක්ෂේත්‍රයේ ඉදිරියට එන්නේ දැඩි මහන්සියෙනි; කැපවීමෙනි. වත්මන Isabella පුද්ගලික ආයතනයේ විකිණුම් හා අලෙවි සමාන්‍යාධිකාරී සහ Isabella Socks Manufacturing පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ඔහු බුද්ධික මුම්මුල්ලගේ ය. මේ ඔහුගේ දිවිසැරියේ මතක සටහන් පෙළ ගැස්මකි.

- මගේ තනතුර අවුරුදු තුනක් ඇතුළත උසස් නොවුණොත් එතැන තවත් ඉන්නේ නෑ කියලා මටම නීතියක් දාගත්තා
- මම ජීවිතේ අඩියෙන් අඩිය ඉදිරියට ආපු කෙනෙක්
- විශ්වවිද්‍යාලෙන් එළියට එද්දි මට මුකුත් තිබුණෙ නෑ. හැබැයි අද මට පරම්පරා ගණනකට දේවල් තියෙනවා
- මම මාස තුනක් විතර දරුණුවටම මහන්සි වෙලා ඉංග්‍රිසි ගොඩ දාගත්තා
- මිනිස්සු සතුටෙන් ඉන්නවා බලන්න මං හරි ආසයි  

සම්පූර්ණ නම?

ප්‍රභාත් බුද්ධික මුම්මුල්ලගේ

උපන්දිනය?

1975 ජූලි පළවැනිදා

කොහේද උපදින්නෙ?

මම පුත්තලමෙ උපදින්නෙ. හැබැයි හැදෙන්නෙ වැඩෙන්නෙ අනුරාධපුරේ.

පුත්තලමේ ඉපදිලා අනුරාධපුරේ හැදෙන්නෙ වැඩෙන්නෙ ඇයි?

මගේ තාත්තා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමක කෙනෙක්. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරද්දි අවුරුදු 5කට සැරයක් මාරුවීමක් ලැබෙනවා. මම පුත්තලමේ ඉපදුණාට ටික දවසකින් තාත්තාට මාරුවීමක් ලැබෙනවා අනුරාධපුරයට. ඉතින් අපට අනුරාධපුරයට යන්න වෙනවා. තාත්තාගේ නම සරණදාස. අම්මා චන්ද්‍රා, ඇය රැකියාවක් කළේ නෑ.

සහෝදර සහෝදරියන්

මට අයියලා දෙන්නයි, අක්කයි මල්ලියි ඉන්නෙ

පාසල් යන්නෙ?

මුලින්ම වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට ගියා. 8 වසරෙදි අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට යන්න මට අවස්ථාව ලැබුණා.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ගියේ ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වෙලාද?

ඇත්තටම මම ශිෂ්‍යත්වෙවත්, ඇතුළත් වීමේ විභාගෙවත් සමත් වුණේ නෑ. ඒකයි මට 6 වසරෙදි මධ්‍ය මහා විද්‍යාලයට එන්නත් බැරි වුණේ. 8 වසරෙදි මට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එන්න ලැබුණෙ රජයේ සේවකයන්ට දුෂ්කර පළාත්වල වැඩ කරද්දි රජයේ පාසලකට තමන්ගෙ දරුවන්ව ඇතුළත් කරගන්න ලැබෙන අවස්ථාව නිසා.

කොහොමද පාසල් කාලෙ ගෙවුණෙ?

ඒක ලස්සන කාලයක්. ලොකු පීඩනයක් තිබුණෙත් නෑ. මම පාපන්දු, ක්‍රිකට්, කැඩෙට් මේ හැමදේම කළා. බෑන්ඩ් එකේ හිටියා. අවුරුදු 8ක් ට්‍රම්පට් එක ගැහුවා.

තාත්තාට අවුරුදු 5න් 5ට මාරුවීම් ලැබෙනවා නම් ඔබ අනුරාධපුරේ දීර්ඝ කාලයක් ඉන්නෙ කොහොමද?

අපේ අධ්‍යාපන කටයුතු නිසා අනුරාධපුරේ ටික කාලයක් ගෙවන්න තාත්තා අම්මා තීරණය කරලා තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගෙයක් ලැබුණා ද?

ඔව්, අපිට බංගලාවක් හම්බු වුණා. ඇත්තටම ඒක කාමර 5ක් තිබුණ ලොකු ගෙයක්. ඒ නිසා කාමර කිහිපයක දුර පළාත්වලින් පාසලට එන ළමයි අපේ ගෙදර නැවතිලත් හිටියා.

ජවිපෙ කලබල කාලෙ අනුරාධපුරේ තත්ත්වය කොහොමද? ඔබේ සහ සහෝදරයන්ගෙ පාසල් ජිවිතයට ඒක බලපෑම් කළා ද?

ඔව්, අපි ඒ කාලෙ අනුරාධපුරේනෙ හිටියෙ. පාසල පාරෙන් එහා පැත්තෙ, අපි මෙහා පැත්තෙ. සමහර දවසට උදේ පාසලට යන්න පාරට එනකොට මුලින් ම දකින්නෙ මළ සිරුරු. මට එතකොට අවුරුදු 12ක් 13ක් විතර. අපිට ගොඩක් බලපෑම් කළේ නෑ.

පාසලේ ගොඩක් බාහිර වැඩ කළ ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කොහොමද?

මට තිබුණෙ D - 3 C - 5 යි. ගණිතයට, විද්‍යාවට හා බුද්ධාගමට තමයි D තිබුණෙ. මම තෝරා ගත්තෙ උසස් පෙළට ගණිත විෂයයන්. මම පාසල් ගියාට වැඩි හරියක් රැඳුණෙ පිට්ටනියෙ.

ක්‍රීඩාවට මුල් තැන දුන්නු ඔබ කොහොමද පළමු වරම ගණිත අංශයෙන් විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ?

මම ඇත්තටම 12 වසරෙදි ඉගෙන ගත්තෙ නෑ කිව්වොත් ඒක නිවැරදියි. ඒ කාලෙ අපේ ගෙදර නැවතිලා හිටියා කැබිතිගොල්ලෑව, පදවිය වගේ ඈත පළාත්වල ළමයි. එයාලා විශ්වවිද්‍යාලයට තේරිලා යද්දි මට ආශාවක් ආවා මාත් විශ්වවිද්‍යාලෙ යන්න ඕන කියලා. 13 වසරෙදි තමයි මම පාඩම් කරලා ඒ අරමුණට යන්න ඕන කියන අධිෂ්ඨානය ඇති කර ගත්තෙ.

අවුරුද්දකින් ගණිත අංශයෙන් ඉහළ ලකුණු ගන්න එක ලේසි වැඩක් නොවෙයි. මොනවද කළේ?

මම ඉස්කෝලෙ ඇරිලා සෙල්ලම් කරලා හයහ මාරට විතර තමයි ගෙදර එන්නෙ. ඒ ඇවිත් කාලා නිදාගෙන හරියට පාන්දර දෙකට නැඟිටලා ආයෙත් පාසල් යන වෙලාව වෙනකම්ම පාඩම් කළා. මහන්සි වුණා. මට පළමුවරම B-1,C-2,S-1 යි. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක වුණේ 25. මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට තේරුණා.

අනුරාධපුරයෙන් විභාගය කිරීමත් ඔබට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලපෑම් කරන්න ඇති?

ඔව්, අනිවාර්යයෙන්. දුෂ්කර පළාතක් නිසා අපිට ටිකක් අඩු ලකුණුවලින් යන්න අවස්ථාව උදා වුණා. කොළඹත් එක්ක බැලුවම ලකුණු 40ක 50ක පරතරයක් අපට තිබුණා. ඉතින් 1996 දි මම මොරටුව විශ්වවිද්‍යාලෙට ඇතුළත් වුණා. අනුරාධපුරයෙන් මොරටුව විශ්වවිද්‍යාලෙට 26ක් ගත්තා. මගේ රෑන්ක් එක 25 නිසා මාවත් තේරුණා.

අනුරාධපුරේ ඉඳන් ආව ඔබට එකපාර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න වුණාම අපහසුවක් වුණේ නැද්ද?

මට ආපු එකම බාධාව තමයි ඉංග්‍රීසි භාෂාව හොඳට බැරිකම. මුළුමනින්ම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන එකපාරම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න වුණාම ලොකු අපහසුවකට පත් වුණා. මම මාස තුනක් විතර දරුණුවට මහන්සි වෙලා ඉංග්‍රීසි ගොඩ දා ගත්තා.

විශ්වවිද්‍යාල කාලෙ මුළුමනින්ම ගෙදරින් ද වියදම් කළේ?

මට මහපොළ ශිෂ්‍යත්වෙ හම්බ වුණා. විශ්වවිද්‍යාලෙට ඇතුළත් වෙද්දි මහපොළ ලැබුණෙ රුපියල් 1600යි. හැබැයි හතර වැනි අවුරුද්ද වෙනකොට ඒක රුපියල් 2500ක් වුණා. ගෙදරින් රුපියල් දාහක්, එක්දාස් පන්සීයක් විතර එව්වා. ඒ දෙක හොඳටම ඇති ඒ දවස්වල ජීවත් වෙන්න. හතරවැනි අවුරුද්දෙ අපි පුහුණු වීම් සඳහා යම් කිසි ආයතනයකට යා යුතුමයි. ඒ සඳහා මම ගියේ Stretchline පුද්ගලික ආයතනයට. මාස තුනක් විතර එතැන ඉද්දි ඒ අය කිව්වා ඉගෙන ගන්න ගමන් එතැන වැඩ කරන්න කියලා. මට එතැනින් හම්බු වුණා රුපියල් 6,000ක්. ඒ 6,000ට අර 2,500ත් එකතු වුණාම මට ඒ කාලෙ ගුරුවරයෙක් ගන්නවටත් වඩා වැඩි ගාණක් අතට ලැබුණා.

විශ්වවිද්‍යාලෙන් ඉවත් වුණාට පස්සෙත් එතැන වැඩ කළා ද?

කළමනාකරණ පුහුණු වෙන්නෙක් විදියට සේවය කළා. එතනින් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ. ඒක මට ප්‍රායෝගික සරසවියක්. මම හැම වෙලාවෙම බැලුවෙ ජ්‍යේෂ්ඨ කළමනාකරුවන් වැඩ කරන හැටි. මට සිහිනයක් ඇති වුණා, කවදහරි මමත් පොඩි කාලයක් ඇතුළත මෙහෙම වෙන්න ඕන කියලා. එතකොට මට අවුරුදු 25යි.

තමන් වැඩ කරන, ඇසුරු කරන අයගේ දේවල් අපේ ජීවිතයට බලපානවා?

අනිවාර්යයෙන්. වැඩ කරන පරිසරය තමයි මාව ඇත්තට ම වෙනස් කළේ; මෙහෙම මාත් දියුණු වෙන්න ඕන කියන පෙලඹවීම ඇති කළේ. මම දකින දේ නිසා මට ආශාවක් ඇති වුණා මම කවද්ද මෙහෙම තැනකට එන්නෙ කියලා. ඒ අතරෙ අලුත් ආයතනයක් පටන් ගත්තා MAS එකෙන්ම Noyou Lanka කියලා. මම ඒකට සම්බන්ධ වුණා. මම ඒ ආයතනයට සම්බන්ධ වුණේ කළමනාකරුවෙක් විදියට.

දිගට ඉගෙන ගන්න ඕන කියන සිතිවිල්ල ඇති වෙන්න බලපෑ හේතු කාරණා මොනවාද?

මම මගේ ජීවිතේ අඩියෙන් අඩියෙන් ඉදිරියට ආ කෙනෙක්. මම ආවෙ අනුරාධපුරේ වගේ දුෂ්කර පැත්තක ඉඳන්. පුද්ගලික අංශයේදී මේ වගේ ක්ෂේත්‍රවල ඉදිරියට එන්න පවුල් පසුබිම, පාසල් පසුබිම ආදිය ගොඩක් බලපානවා. අපට ඒක නෑ කියන්න බෑ. මම ඇත්තටම සුදුසුකම් සම්පූර්ණ කරගනිමින් ඒවා මූලික කරගෙන ඉදිරියට ආ කෙනෙක්. ඒ නිසා මම හිතා ගත්තා මට අර සහය නැති නිසා කාටවත් මුකුත් කියන්න බැරි තරමට මම ම මාව මුවහත් කරගන්න ඕන ඔපමට්ටම් කරගන්න ඕන කියලා. මට ඉදිරියට යන්න තියෙන එකම මාර්ගය ඒක කියලා මම අවබෝධ කරගත්තා. ඒ වෙනකොටත්ම විවෘත විශ්වවිද්‍යාලෙ කර්මාන්තකරණය සම්බන්ධ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් 2005 දි කරලා හිටියෙ. මම ම සාක්ෂාත් කරගත්තා මගේ කර්මාන්තමය හා නිෂ්පාදන දැනුම හොඳයි; දැන් මම ව්‍යාපාර කළමනාකරණය පැත්ත වර්ධනය කරගන්න ඕන කියලා.

ව්‍යාපාර කළමනාකරණය කරන්න හිතුවෙ ඇයි?

මම දුටු දෙයක් තමයි කොච්චර අත්දැකීම් ගත්තත් ඉදිරියට යන්න බෑ, ඒකට අවශ්‍ය න්‍යායාත්මක දැනුම නැත්නම් කියලා. ඒ නිසායි මම තීරණය කළේ මොරටුව විශ්වවිද්‍යාලෙම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය කරන්න. මම ඒක 2008 දි ඉවර කළා. මම මේ අවුරුදු 8 ඇතුළත මොනවද කළේ, මොනවද ලබාගෙන තියෙන්නෙ කියලා මම ආයෙත් මගේම දිහා හැරිලා හිතුවා. එතකොට මම හිටියෙ කළමනාකරුවෙක්ගෙ මට්ටමේ.

ඔබට තිබුණද සැලැස්මක් මම මේ අවුරුදුවල මේවා කරනවා කියලා?

අනිවාර්යයෙන් තිබුණා. මම අවුරුදු 10ක් 12ක් ඇතුළත සාමාන්‍යාධිකාරී මට්ටමට එන්න ඕන කියන සැලැස්ම මගේ හිතේ තිබුණා. මම මටම නීතියක් දාගෙන හිටියා මම කරන රැකියාවකදි මගේ තනතුර අවුරුදු 3ක් ඇතුළත උසස් නොවුණොත් මම එතැන තවදුරටත් ඉන්නෙ නෑ කියලා.

මේ ගමනෙ පැරදුණු තැනුත් ඇති

නැත්තෙ නෑ. මම සාර්ථක වුණු අවස්ථා වගේම අසාර්ථක වුණු අවස්ථාත් තිබුණා.

මම හොඳටම සාර්ථක වුණු අවස්ථාවල මගේ උසස්වීම් නොලැබුණු අවස්ථා තිබිලා තියෙනවා. කාර්ය සාධන හරියට අධීක්ෂණය වුණේ නෑ. එකම දේ මම ඒ සියල්ල ගත්තෙ අභියෝග විදියට. මම අතෑරලා ගිහින් නෑ.

මේ වෙනකොට ආයතන කීයක වැඩ කරලා තියෙනවාද?

Stretchline එකේ සහය කළමනාකරුවෙක් විදියට පටන් අරන් ඊළඟට මම Noyou Lanka එකේ වැඩ කළා. ඊට පස්සෙ Texlan Lanka එකේ හිටියෙ. එතැනින් මම Globe Knitting සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළා. එතැනින් මම Yong An Lanka පුද්ගලික සමාගමට ගියා. දැන් මම Isabella Group Of Company එකේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වගේම විකුණුම් හා අලෙවි සමාන්‍යාධිකාරීවරයා විදියටත් කටයුතු කරනවා. අපේ ආයතනය මුළුමනින්ම නිෂ්පාදන අපනයන කරන ආයතනයක්. ඇත්තටම අපිට ශක්තිමත් විදෙස් වෙළෙඳපොළක් තියෙනවා. අපිට 2016 ඉඳන් ඉතියෝපියාවෙත් ශාඛාවක් තියෙනවා.

තමන්ගෙ සේවයකයන් එක්ක ගනුදෙනු කරද්දි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නෙ මොනවා ගැනද?

මට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මගේ සේවකයන්ගෙ සතුට. සතුට මනින්න තියෙන කරුණු එකිනෙකාට වෙනස්. මේ අයගේ විදිය, විලාසිතාව හඳුනා ගන්න ඕන. හැබැයි ඕනෑම පුද්ගලයකු තමන් කරන වැඩ හා ගන්නා වගකීම අනුව ආයතනික මට්ටමෙන් යම් අධීක්ෂණයක් කරලා සතුටුදායක සේවකයෙක් බවට පත් කරන්න ඕන. ඒක ආයතනයේ දියුණුවට බලපානවා. කොච්චර වැඩ කළත් වැඩක් නෑ, කොච්චර සුදුසුකම් තිබුණත් වැඩක් නෑ වගේ සිතිවිලි තමන්ගෙ සේවකයන්ගේ සිතට දැනෙන විදියට වැඩ කරන්න හොඳ නෑ. මම ඒ ගැන ගොඩක් සැලකිලිමත්. කෙනෙක් තමන්ගෙ ආයතනයට උදේ වැඩට එන්න ඕන ආසාවෙන්. සේවකයන්ගේ සතුට මගේ අංක එක.

තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවෙ නැත්තෙ ඇයි?

මම එහෙම තීරණයක් ගන්නවා නම් ඒක ගන්න තිබුණෙ තරුණ කාලෙදි. දැන් මට 47ක්. මට තව ආයතනයක වැඩ කරන්න තියෙන්නෙ අවුරුදු 8යි. අනික මම මගේ අරමුණු සාධනය කරගත් කෙනෙක්. මනුස්සයෙක්ට පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානෙ. මට මගේ රැකියාවෙ තව යන්න තැනක් නෑ. තව සති දෙකකින් මම විදෙස්ගත වෙනවා, ජාත්‍යන්තර වෙළෙඳාම ගැන පූර්ණකාලීන පශ්චාත් උපාධියක් කරන්න. රැකියාවෙන් ඉවත් වෙලා නොවෙයි මම යන්නෙ.

රැකියාව කරන ගමන් පුළුවන් ද පූර්ණ කාලීන පශ්චාත් උපාධියක් කරන්න?

ඇත්තටම මගේ රැකියාවේ මගේ කොටස තමයි තීරණ ගැනීම. ඒකට මම ලංකාවෙ ඉන්නවද; ඉතියෝපියාවෙ ඉන්නවද; ඇමෙරිකාවෙ ඉන්නවද කියන එක බලපාන්නෙ නෑ. 2001ට ගියොත් මම උදේ 6ට පටන් අරන් රෑ 10 වෙනකම් එක දිගට වැඩ කළා. දැන් මම ඉන්නෙ ඊට උඩින්. මට තියෙන්නෙ තීරණ ගන්න එක. ඒවා ක්‍රියාත්මක කරන්න මට හොඳ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ දෙක සමබර කරගන්න මට අපහසු නෑ. මගේ ආයතන ප්‍රධානීන් දෙදෙනා හේමන්ත පෙරේරා සහ හිමන්ති පෙරේරා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ අයට මං ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ලෝකෙ තියෙන හොඳම සන්නාමවලටත් මිල නියම කරන්නෙ මම.

මොකද්ද දියුණුවේ රහස?

එකක් කැපවීම. මගේ ගෙදරින්, මගේ බිරියගෙන් මට ලැබුණු සහයෝගය තව එකක්. මගේ පාසලේ ගුරුවරුන්ගේ ඉඳන් මම අද දක්වා වැඩ කළ ආයතනවල ප්‍රධානීන් හා සේවකයන්ගේ සහයෝගය. කාටවත් තනියෙන් ගොඩනැඟෙන්න බෑ. තාත්තගෙන් පුතාට එන තනතුරු අපට තිබිලා නෑ. මේ සියල්ල මම මහන්සියෙන් ගත් දේවල්. ඒ නිසා මේ සියල්ල මගේ දියුණුවේ කොටස්

ඔබ කියන්නෙ මේ ඔබ නෙළමින් ඉන්නේ මහන්සියෙන් වැපිරූ දේවල අස්වැන්න බව?

අනිවාර්යයෙන්. මට කවුරුත් මුකුත් දෝත පුදලා දීලා නෑ. මම ගොඩක් මහන්සි වුණා. අඩියෙන් අඩිය මම දියුණු වුණේ. විශ්වවිද්‍යාලෙන් එළියට එද්දි මට මුකුත් තිබුණෙ නෑ. හැබැයි අද මට පරම්පරා ගණනකට දේවල් තියෙනවා. ඒ මගේ මහන්සියේ ප්‍රතිඵල.

කවුද ජීවන සහකාරිය. ඇගෙන් මොන වගේ සහායක් ද ජීවිතේට ලැබෙන්නෙ?

මට මගේ බිරියව හමු වෙන්නෙ පාසල් යන කාලෙ. ඒ කියන්නෙ 1993දි. මගේ බිරිය මනෝජා ප්‍රියදර්ශනිත් පශ්චාත් උපාධිධාරිනියක්. ඇය දැනට ගුරුවරියක් විදියට සේවය කරනවා. අපි විවාහ වෙන්නෙ යාළු වෙලා අවුරුදු 10කට පස්සෙ. ඒ කියන්නෙ 2003 දී. ඇය තමයි මගේ දියුණුවේ රහස සහ ශක්තිය. අපිට පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු 7යි. පුතාගෙ නම සසේන් කිත්නුක.

පොත් කියවන්න කැමතිද?

ඉස්සර නම් පොත් කියවන්න පෙලඹිලා හිටියා. දැන්නම් විෂයානුබද්ධ දේවල් හදාරන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නෙ. අවශ්‍ය දේවල් හොයාගෙන ඒවා තමයි කියවන්නෙ

සංචාරය කරන්න කැමැති මොන පළාත්වලද?

නුවර එළිය, ගාල්ල වගේ පැතිවල ඇවිදින්න කැමැතියි.

බ්‍රෑන්ඩඩ්වලට මිල නියම කරන ඔබ බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?

එහෙම එකක් නෑ. මට ගැළපෙන දෙයක් හමු වුණොත් ඒක ගන්නවා මිසක් ඒකේ බ්‍රෑන්ඩ් එක මම බල බල ඉන්නෙ නෑ.

අවුරුදු 55ට තියෙන්නෙ තව අවුරුදු 8යි. විශ්‍රාම දිවිය ගත කරන්න හිතන් ඉන්නෙ කොහොමද?

මම මුළුමනින් ම වෙනස් වෙන්න ඉන්නෙ. 55න් පස්සෙ මම අලුත් වැඩකට අතගහනවා. මම හරි කැමැත්තෙන් ඉන්නෙ අවන්හලක් පටන් ගන්න. මම කැමැතියි මිනිස්සුන්ට කන්න දීලා ඒ අය සතුටෙන් ඒවා භුක්ති විඳින හැටි බලන්න.

දැන් මම අනුන්ගෙ සල්ලිවලින්නෙ මේ දේවල් කරන්නෙ. මට ඒක ලොකු බරක්. ලොකු වගකීමක්. මම ඒකෙන් නිදහස් වෙලා මගේම කියලා අවන්හලක් පටන් ගන්නයි හිතන් ඉන්නෙ. මිනිස්සු සතුටෙන් ඉන්නවා බලන්න මම හරි ආසයි.

සේයාරූ- මාලන් කරුණාරත්න

Comments